Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Showing posts with label සාහිත්‍යමය. Show all posts
Showing posts with label සාහිත්‍යමය. Show all posts

දුම්රියේ දී ඇය ව දුටුවෙමි!

Thursday, January 9, 2014

දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!

විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි  නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..

මෙතෙක් කල් මා නුදුටු  රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇයරුව
දිගු රැයක සිත හඬවන ඒ රුව

කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී  - මට ඉගැන්වූ ඇය..

නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...


'
මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.

"
නිවැරදි කල යුතු  ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..

"
හිටපිය ඔතැනඔහොම !"
හඬ නගයි මා හෘද සාක්ෂිය.

බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...

නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."

වියළි තන පුඩුවබිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා  ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට.. 

සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)

Tuesday, December 3, 2013

අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ.
මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.

වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..

තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.

පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා.

ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..

මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..

කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.

ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.

තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා.

මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ.  ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා.

තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.

වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ ?

අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.

ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.


පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ


බලාපොරොත්තුව

Monday, November 18, 2013

තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා


රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..


දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ  රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා... 



අරුත නුඹ නම්

Thursday, November 14, 2013

කවි සිතක නැගී දුක් හැඬුම්
සිඳිමි බිඳ ලමි නිය පිටින්
රිදෙන නෙත් යුග සනසමින්
කඳුළු පිසලමි වී සඳ කැළුම්..

නුඹ ලියන කවි කියවමින්
දෙතත් විවරණ මදහසින්
අරුත මා මිස අනෙක් නොව බව
දතත් නො විමසමි වදනකින්..

අකුර නිමියේ නගන පහන් පෙම
එළිය කරවයි ජීවිතේ 
අරුත නුඹ නම් ඇරඹුමෙහි සිට
ඉඩක් කුමට ද සිහිනයේ?

ප.ලි. :
වර්ෂා නංගිගේ කවියකට ලියපු පිළිතුරු කවියක්..කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබුණු එකේ බ්ලොග් එකේ පල කරන්න හිතුණා. 

සර්ව ආගමික ප්‍රේමය

Thursday, August 22, 2013





අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...





පින්තුරය උපුටා ගැනීම : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ6KYNQzYxOl_KJrRakcpv-A6JWwQa1z-hx9QeVVs43EQGrd7VmyN6PzmPrOPXeLT1uPMtI8tRAnDmgPKg7ekOY3gVTktNuiNp7BuBK8TSj7eQ75wRbBbAzDZ27PNyb887WaikY_TvFiw/s600/weddingar600.jpg

සරසවියේ පෙම්වතියට 2

Saturday, July 6, 2013



තවත් යන්තම් - පාට වැටෙන්නට
වත දොවනා නුඹ , දුහුවිලි යන්නට
දෝතට පුරවා - මලකඩ කිරි ගෙන
ක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මම

හෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන
එළලු කෙලවර - හොරෙන් සඟවගෙන
මැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙස
මලකඩ පාටින් - නුඹ වෙයි ලස්සන

ප්‍රේම යාත්‍රාව - නැංගුරම් ලන තැන
බස් තොටේ අපෙ - පුරුදු තැන වෙත
ඇවිත් හිටපන් - හැකි නම් මට පෙර
දිනා ගනිමු අපි - පෙම් මුල්ල සටන් වැද

මහපොළ දවසට - අපි පොහොසත් වන
කැන්ටිම කෙලවර - තනිවුණු මේසෙට
රුපියල් දිය කර - ප්ලේන්ටියක් ගෙන
ප්‍රේමය සමරමු - අනෙකුන් මග හැර..

හෙට ගැන සිහි කර - අපෙ උන් මග හැර
පීඩිත පන්තිය - වෙනුවෙන් හඬ දෙන
නුඹ තුරුලට ගෙන - ලොව අමතක කර
දෙතොල සිඹිමි මම - නළලත මගහැර..

ප.ලි :
මෑතක දී බ්ලොග් පල කරපු කවියක් ම ටිකක් සංස්කරණය කරන්න හිතුණා. අමතක වීමකින් නෙවෙයි, බ්ලොග් එකේ පල කළේ දයානන්ද අයියාගේ අදහසකට අනුව! මේ ගැන අදහස් දැනගන්න කැමතියි!
 :)

දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)

Sunday, March 3, 2013

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.

නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ලබා දීමට සුදුසු ම පුද්ගලයා වන්නේ එහි කතුවරයා යි. එසේත් නැතිනම් පද රචකයා යි. සයිබරය තුළ ඔබ මොබ සරද්දී හමු වුණු තවත් එක් සුමධුර ගීයක් පිළිබඳව, එහි පද රචකයා විසින් ම තබන ලද සටහනකි මේ..

ගීතය : දුල් මන බැන්ද
ගායනය : ශානිකා මධුමාලි
පද රචනය : නාරද විජයසුරිය
සංගීතය : උදාර සමරවීර




රාගයෙන් තොර ප්‍රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්‍රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?

සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !

යොවුන් ප්‍රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්‍රේමය හරහා පමණි !

එහෙයින්ම අපි ප්‍රේමණීය ලෙස ඉඳුරන් සතපවමු ! ප්‍රේමයක් නොමැතිව ආශාව පමණක් ඉටු කර ගැනීමට යාම සම්බෝල නැතිව ඉඳි ආප්ප ගිල දැමීමකි !

අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රේමය පිලිබඳ ඉරණම විසඳීම දෙයාකාරය ! මන්ද යත් ආශාවන් සතපා ගත් පසු ඉතිරිවන්නේ හිස් බවක් නම් ප්‍රේමයක් අත් නොදකින පිරිමියා පලා යයි ;
ගැහැණියට එසේ යන්නට නොහැක .ඇය " කන්‍යා භාවය " නම් දඬුවමෙන් බැඳ තබා ඇත .

දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා

ලෝකය මවන ලද්දක් නම් , සර්වබලධාරියා අසාධාරණයක් කර ඇත ; මහා බ්‍රහ්මයා අව සිහියෙන් සිට ඇත ! එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට
යටත් කරයි ,

ප්‍රේමය සහ ආශාවන් සන්තර්පනය කර ගැනීම මානුෂික අවශ්‍යතාවයකි ; වැඩිහිටි සමාජයට එය උහුලන්නට බැරිය ! සංස්කෘතිය සහ සභ්‍යත්වය ඔසවා එයින් පහර දී සමාජය ඉදිරියේ තරුණ පෙළ මාණසිකව ඝාතනය කරති .
වරක් ලත් පහස නැවත නැවත ලැබීමේ ආශාව උපතේ සිටම ජීවීන්ට පොදු ධර්මතාවයකි ;
යටපත් කර ගන්නා තරමට පොළා පනින ආශාවන් අත්‍යන්තයෙන්ම ස්වභාවික බව පිළිගන්නට
මේ ධාර්මික සමාජය ඔබට ඉඩ නොදෙයි !අපි අපව රවටා ගනිමින් සිටිමු

මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ

අවසානයේ අසරණ වන්නේ ගැහැනියයි ; අපේ සමාජය මේ කතාව කියන්නට අපූරු වාග් මාලාවක් යොදා ගනී . "පිරිසිදු කම නැති කළා " " ගැහැනියක් බවට පත් වුණා "

ගනු දෙනුවේ අනෙක් පාර්ශ්වය වූ පිරිමියාට කිසිවක් සිදු වන්නේ නැත . ඔහුව නාවා ගෙට ගත හැකිය ! ගැහැණිය සියලු පව් කර ගසා ගත යුතුය ! ඇය සමාජයට මැසිවිලි කියයි
" මාව අනාථ කළා " ඇතැම් විට ඇය "කන්‍යා භාවයම " ආයුධයක් කර ගනී .
තමා විසින්ම පොළඹවා ගත් පිරිමියා වරද කරුවෙකු බවට පත් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ගනී ! ආදරණීය සම්භෝගය අවසන් කර නැගිටින විට ස්ත්‍රී දුෂකයෙක් බවට පත් වී හමාරය !
ගල් යුගයේ පවා නොතිබුණු වනචාරී සංකල්ප දේවත්වයෙන් සළකන සමාජයකට ඔහොම වෙලා මදිය !
ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !
ගැහැනියගේ පැත්තෙන් මේ වනාහී වටිනා පුජා භාණ්ඩයකි ! ලේ තැවරුණු රෙදි කඩ වනාහී පාරිශුද්ධ භාවයේ සංකේතයකි ! එහෙයින් ප්‍රේමයේ සැබෑ ප්‍රහර්ෂය විඳ ඇත්නම් විවාහ වන්නට බාධාවකි ; පිරිමියෙකුට ඕනෑ තරම් ජීවිතය විඳින්නට අවසර තිබේ .
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැතැයි ඔවුහු දනිති !

සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ ......... //

පෙම්වතා හැර යාමෙන් තනිවන තරුණිය , ප්‍රේමය අහිමිවීමේ වියෝ දුකට වඩා වැඩි භයානක ඉරණමකට මුහුණ දෙයි , ඈ විවාහ විය යුතුය . ඒ පිරිමියෙකු සමගය . ඔහුද මේ තිරිසන් සමාජයේ අංශුවකි . තමා අතීතයේ කෙතරම් ගැහැණුන් සමග යහන් ගත වූවත් තම මනාළිය කාන්යාවක් විය යුතුය . විවාහයට මුහුණ දෙන තරුණිය ප්‍රේමය දත යුතුය ! කන්යාවියක්ද විය යුතුය !
මධු සමය අවමංගල රාත්‍රියකි ,
අපේ රටවල යොවුන් ප්‍රේමය ඛේදවාචකයකි !
මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ

(ගණිකා නිවාස සහ කන්‍යා භාවය පිළිසකර කිරීමේ ශල්‍යාගාර වලට ඇඟිල්ල දිගු කිරීමට මේ සමාජයට අයිතියක් නැත )

නාරද විජයසුරිය 



උපුටා ගැනීම : https://www.facebook.com/kwijewardena1/posts/408560075903765

හුණුවටයේ කතාව නැරඹුයෙමි.

Monday, January 28, 2013




හෙල ගැඹුරුයි
පුත නොබලන්

සෙලවෙන කොට
වැල් පාලම
දෑස බයෙන්
බිම නොබලන්

අපට පුතේ 
මගක් නැතේ
මේ මග මිස
යමන පුතේ 

දෙවියෝ බලයි
මුණ නුඹේ
නුඹව රකියි 
යමන් පුතේ




සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් වචන කිහිපයක් නොවන්නට මෙය විදේශීය බව කිසිවෙකුට නොසිතෙන තරම් ම ලාංකීය ය. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍යයේ එන 'වැල් පාලමේ ගීතය' නම් ගීතය ඒ බව නොදන්නා වුන්ගේ දැන ගැනීම පිණිස සිහිපත් කරමි. 

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබ, ගාල්ලේ 'Hall de Galle' ශාලාවේ වේදිකා ගත වුණු 'හුණුවටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය රස විඳීමේ භාග්‍යය මට ද හිමි විය. රසවින්දනයේ උච්ඡත ම අවස්ථාවට පැමිණ, මා ලද අත්දැකීම, බෙදා ගනු පිණිස, දවස ගෙවෙන්නට පළමු මෙසේ යුනිකෝඩ් කරමි.

යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා 
මගේ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගනියි නිරතුරු

ස්වර්ගෙට ගිය කළේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ..

හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු වුණු අතර, 1999 දී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකු යොදා ගනිමින් දෙවන වර නිර්මාණය විය. 1967 සිට 1999 දක්වා වසර 32ක් එක ම චරිත රඟ දැක්වූ නළු නිළියන්ට, තව දුරටත් එය සිදු කිරීම සැබවින් ම අසීරු කරුණක් වන්නට ඇත. හෙන්රි ජයසේනයන් විසින් ම 'හුණු වටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය කරන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳව, තෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් ඔහු දක්වන අදහසෙහි ඒ බව සඳහන් වෙයි.

මට නරඹන්නට අවකාශ ලැබුණේ මෙකී තෙවන නිෂ්පාදනය යි. පැරණි නළු නිළියන් අතුරින් තිදෙනෙක් පමණක් මෙහි රඟන අතර, සෙසු සියල්ලන් ම පාහේ අලුත් නළු නිළියන් ය. පෙර වෙනත් චරිත රඟ පෑ 'නිමල් ජයසිංහ' අද පොතේ ගුරු චරිතය රඟපායි. එදා ෂව්වාගේ චරිතය රඟපෑ 'චූලා කාරියවසම්' අදත් එම චරිතය ම රඟපායි. එදා නොන්ඩි සොල්දාදුවා ලෙස රඟපෑ 'විජිත සල්ගාදු' අදත් එම චරිතය ම වෙනත් නළුවෙකු(ලලිත් ජයකාන්ත) සමග රඟපායි.

කෙසේ නමුත් අද වෙද්දී එහි ප්‍රධාන නළු නිළි දෙපල ම ජීවතුන් අතර නැත. එදා හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් ඔපවත් වුණු අසඩක්ගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට නලීන් ප්‍රදීප් උඩුවෙල දරණ උත්සාහය සාර්ථක බව මගේ හැඟීමයි. එදා මානෙල් ජයසේන රඟ දැක්වූ ගෘෂාගේ චරිතයට අද පණ  පොවන්නේ රුවනි මනම්පේරියි. 
ප්‍රධාන කොටස් දෙකක් යටතේ දිවෙන මෙහි අංක 5කි. සිව්වෙනි අංකයේ දී හෙවත් විනිශ්චයකරු පිලිබඳ කතාවේ, පළමු අංකයේ දී සබයට පිවිසෙන අසඩක්, සමස්ත කතාව පුරා ම මතුවුණු සෙසු චරිත සියල්ල ම අභිබවා සිය නායකත්වය සටහන් කරන්නේ සිය රංගන කාලය පැයකටත් අඩුවෙන් ලබා ගනිමිනි. ඒ තරම් කෙටි කාලයකින්, නරඹන්නන් තුළ, ප්‍රධාන චරිතය වූ අසඩක් කෙරේ පහන් හැඟීමක් ඇති කිරීම සැබවින් ම දුෂ්කර කටයුත්තක් බව නොකිව මනා ය. ඒ සඳහා මස් වන සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවක් අදාළ රංගන ශිල්පියා සතු විය යුතු ය. හෙන්රි ජයසේනයන් සතුව  ඒ ප්‍රතිභාව තිබුණු බව අපි දනිමු. ක්ෂේත්‍රයේ හෙන්රි ජයසේනයන් තරම් ප්‍රවීනයෙක් නොවුනත්, නලින් ප්‍රදීප්ගේ රංගනය ද සැබවින් ම ප්‍රශංසනීය එකකි. 

හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.

ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති. 

නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි.  තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.

මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්‍රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි. 

වේදිකාව මත, හුණු වටයේ කතාව එසේ දිවෙද්දී වේදිකාව පිටුපස අසඩක් ඉදිරියේ වූ යුෂ්මතිය හෙවත් ගෘෂා, සැබෑ ජීවිතයේ දී, හෙන්රි ජයසේනයන්ගේ ආදරණීය බිරිඳ විය. අද ඔවුන් දෙදෙනා ම ජීවතුන් අතර නැත. නමුත් ඔවුනගේ රංගනයෙන් හැඩ වූ 'හුණු වටයේ කතාව' අපට දායාද වී ඇත. මේ සිය ආදරණිය ගෘෂා හෙවත් මානෙල් ජයසේන නම් ආදරවන්තියට, අසඩක් හෙවත් හෙන්රි ජයසේන නම් ආදරවන්තයා ලියු කවියකි. අවාසනාවකට මෙන් මෙය ලියවෙද්දී මානෙල් ජයසේන අප අතරින් සමුගෙන ගොසිනි.

අසඩක් ලෙස වෙස් ගත් මා
කොතෙක් නම් වෙලා බලා සිටියෙම් ද
වේදිකාවේ පසෙක සිට
ඔබේ විස්කම්
මගේ ගෘෂාවෙනි..

පා ඇඟිලි තුඩගින්
කඳු ප්‍රාන්තයට පිය නැඟූ ගමන්
කරේ හොවාගෙන
ළදරු මයිකල් කුමරුවන්
ඔබේ උණුසුම ඔහුට දුන් ඔබ
මුළු රටකට ම දුන්නා නොවේ ද
ඔබේ අභිරංගනයේ උණුසුම

මුළු දැයකට ම බෙදුවා නොවේ ද
ඔබේ දෑස, දෑත දෙපයේ
හුරුබුහුටි මහිමය!

තවමත් සිතින් බලා සිටිමි මම
මගේ ම ගෘෂවෙනි
ඔබේ ඒ
නො මියෙන මහා ප්‍රතිභා දෙස
ඔබේ ලලිත රුව දෙස

මට නම් 
දිවි ඇති තෙක් ම නොමියේ
ඔබේ ඒ මහා ප්‍රතිභා..

ඔබ නොලද්දේ ය 
පඬුරු - ඵලක - තිලිණ
ඔබේ මහා ප්‍රතිභාවට
මේ තාක් කල්...

මායිම් නොකළා ය ඔබ
කිසිවිටෙකත් 
ඒ සා පුද පඬුරු
නිරතුරුව ම ලද නිසා
මුළු මහත් දැයක ම 
ප්‍රසාද - ප්‍රණාම

ලද නිසා ඔබ
සුවහසක් ප්‍රේක්ෂක දනන්ගේ
උණුසුම් සෙනෙහස..

අත්වැල් බැඳ සිටිමු අපි
මගේ ගෘෂාවෙනි
දායාද පුදමින්
හෙළ කරලියේ 
අලුත් පරපුරකට..




ප.ලි: 
අද නාට්‍යය නරඹන්නට ගොස් සිටිය දී, එහි දී ම හමු වී, හරි හැටි මුහුණ වත් නොදැක, නිකමට කළ ඉල්ලීමකින්, නුඹට ලැබුණු නාට්‍යයේ විස්තර අඩංගු සමරු පොත මට දෙන්නට තරම් කාරුණික වුණු නාඳුනන මහත්මයාණෙනි. නුඹට බොහොම ස්තුතියි.

සංසාරගත ප්‍රේමය

Saturday, November 10, 2012


මා මුසපත් කරවන
උපුල් නයන යුගැත්තිය,
කන මී සා මිහිර වගුරන
සිහින් සරැත්තිය,
නෙතඳුන් සා දසුන් මවන
සියුම් රුවැත්තිය,
අමා රසයෙන්
ම' සිත කුල්මත් කරන්නිය,
දිමුතු දසන් දිදුලවා
මුතු සිනා වස්සානය හැඩ කරන්නිය,
ම' පුන් රත් පියුම නුඹ
සිත් විල සරසවන්නි ය..


ශ්වේත වර්ණ වළා වියන යට
සුපුෂ්පිත නේක කුසුම් මැද
පංච කල්‍යාණිය,
නුඹ විරාජමානවන්නීය..

පබාවතිය සේ නුඹ,
වීරිය පෙරුම් පුරවන්නී ය.
මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,
සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...

සංසාර සයුරු වෙරළ අසබඩ
නුඹේ නවාතැන පල වෙත,
තීර්ථ යාත්‍රාව පදවන්නා වෙමි මම
පරිබ්‍රාජක වෙස් ගෙන..














ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

Tuesday, August 21, 2012

මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි.

මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත 'ගුරු ගීතය' නම් අද්විතීය කෘතිය යුනිකෝඩ් කරන ලදී.

ගුරු ගීතය PDF ගොනුව මෙතැනින් බාගත කළ හැකි ය!


ප.ලි :

2011 වසරේ අගෝස්තු මස 21 වන දින, එතෙක් Nj_A  ලෙස තිබූ බ්ලොගය අරුණැල්ල නමින් ලියන්නට ගෙන මේ වන විට වසරක් ගතවී ගොස් හමාර ය. වසරක් තුල Page Views 40,000 කට අධික සංඛ්‍යාවක් අරුණැල්ලට හිමි කර දෙමින් මේ දක්වා අරුණැල්ල සමග රැඳී හුන් ඔබ සැමට අරුණැල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි!

 සයිබරයේ කරක් ගසා කොතෙක් සෙව්වත් scan කරන ලද pdf ගොනුවක් ලෙස මිස සොයාගත නොහැකි වූ ගුරු ගීතය යුනිකෝඩ් කිරීමෙහිලා,

ස්වායක්ත ලියන නුවන් තාරක සොහොයුරා
නේජා ලියන රුවී
ගිනි කුරුල්ලා හෙවත් සමිල අයියා
අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා
ක්සැන්ඩරගේ කොලම ලියන ක්සැන්ඩර්
සුදාගේ සිතුවිල්ලක් ලියන මුදිත සුදාරක
Feels Like ලියන සඳුනි
බිම්සර
සිතුම් පැතුම්
චතුර බුද්ධික
ජනරඟ විජයිඳු දේවසුරේන්ද්‍ර
සඳ කිඳුරා
දඟ මල්ල
දඟකාරි
හසිත අයියා
ප්‍රදීප් අයියා
මී ගොඩයා
පුබුදු මල්ලි
ඇතුළු පිරිසත්, විශේෂයෙන් Red Riding Hood දක්වූ සහයෝගයත් බෙහෙවින් ම අගය කළ යුතු ය.

අරුණැල්ල වෙනුවෙන් එක කමෙන්ට් එකක් හෝ යෙදූ මගේ මිත්‍රයින්ටත්, අරුණැල්ලට ඇවිත්, රහසෙන් ම නික්ම ගිය දහස් ගණනටත් බොහොමත් ම ස්තුතියි! ඔබේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි!

ජය වේවා!!


ඇය සහ හදවත

Thursday, August 16, 2012

ඇඟ හිරිගඩු පිපෙන
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..

ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..

කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..

මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..

නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..

ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..

ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,

වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..







අනිත්‍යය, මල සහ සමීකරණය

Thursday, June 7, 2012

"කුසුමක් නම්
පිපී,
සුවඳ විහිදා,
පර ව යා යුතුමැයි.."

නැත නැත..
අද තාක්ෂනය 
බොහෝ දියුණු ය...
තොපේ ඔය අනිත්‍යය 
අපේ අලුත් නිර්දේශයේ නැත..

දරුවෙනි බලව..
අපේ දැනුම ඉහල ය
විද්‍යාව අතැඹුලකි මට
වර..
සුත්‍ර ගත කරමු අපි මල..

පුදුමයකි,
කැපී ගියේය
සුළු වී,
දෙපස වූ සුවඳ..


දානය දන් දීම

Wednesday, May 2, 2012

දොරින් දොර ඇවිද
නොලැබෙන ලදුව
එකමෙකෙක්
ඈ දැක,
දුන් දානය ගෙන
පැලට විත් බුදින සඳ..

පිල්කඩට වී පතයි
නකුටු බල්ලෙක්
ඇගේ ඉඳුලෙන්
කුස පුරවා ගන්නට..


ප.ලි.:
ලියපු දේට වඩා දෙයක් දැනෙනවා වගේ නම් ඒ ගැන අදහසත් කියලා ම යන්න..





පින්තුරය ගත්තේ මෙතනින්

මිදීම

Wednesday, April 25, 2012



විරාගී පිලි දැවටි
අනුරාගී කය,
සිඳ ගනිත් වල 
කල දුටු කල..

සයුර මැද

Monday, February 20, 2012

සුළඟේ ලෙළෙන
ලන්තෑරුම සවි කරලා,
හබලට රිදෙන
අත්දඬු යළි පිරිමදලා,
ඔරු කඳ උඩින් නැගෙනා
රළ බිඳ දමලා
සයුරේ සරමි
සරනා මින් කැල සොයලා..

තනිය දැනෙයි
මහ මෙරකට වඩා උස
ඔරුවක්‌ පෙනෙයි
සැලෙනා එළියෙන් දුරක
සිත නුඹ වෙතයි
කිමිදෙන රස පෙම් විලක
සිහිනක රැඳී එන්නට
සිත් වෙයි
සොඳුරිය නුඹ වෙතට..

සුරතල් පුතුන්
කිරි සිනහා සලන වෙලේ
වරම් නොමැත
හිස පිරිමදිනට නුඹගේ
වෙහෙසිය යුතුයි
රකිනට නුඹ සොඳුරේ
දිරි ගමි තවත්
නැත වෙහෙසක් තව දැනුණේ..


මම,
~Nj~

චපල කුසුම..

Thursday, January 26, 2012

රොන් සොයා සරන බඹරෙක්
දැක පින්නෙන් තෙත් වූ
විකසිත නොවූ රෝස කුසුමක්
අරුණැල්ලෙහි
විකසිත වන්නට තතනන..

නොවී දෙබරෙකු විලස
රොන් උරමි මම ආදරෙන්
නොතලා කිසි දිනෙක
රැක ගනිමි සෙනෙහසින්...

හිනැහුණි කැකුළ
විකසිත ව කුසුමක් ලෙස
එ හසරැල්ලෙන්
අමන්දානන්දයට පත් ව
රොන් උරනු වෙනුවට
මල වට සරන්නට විය බඹරු...

කෙමෙන් මලට ලං ව
පරෙස්සමින් රොන් උරා
මල නොතලා නික්ම
පසෙකට වී
බලා හිඳින්නට වීය
එ මල දෙස ම
වෙහෙස නිවෙන තුරු..

ඒ අතරෙහි
මල දෙසට
පියා සලන
තවත් බඹරෙකු දැක
සිනාසුණි මල
බලා හුන් බඹරු නොදැක..

රොන් උරත් නම්
තවත් බඹරු නුඹ
අරුම කිම මා
නුඹ හිමි බඹරිඳු ව
නික්මිණි බඹරු
කුසුම අතහැර...

මම
~Nj~



නින්ද නැති කල

Wednesday, December 28, 2011



අවකාශ නැති කල,
රැඳෙන්නට 
දෙනෙත් කෙවෙණි අග,
සිහිනයක් වී..
අවදිව
සිතිවිලි ගොනු කරමි..
පද එකිනෙක
ගලපන්නෙමි..
ව්‍යර්තව ගිය කල
ගුලි කොට
විසි කර
කාමරයේ මුල්ලකට
නුඹේ මතකය,
සැතපෙන්නෙමි..
ව්‍යර්ථ වූ
නිද්‍රා ගත වීමේ 
උත්සාහය ඇතිව,
බලා හිඳින්නෙමි..


මම
~Nj~

අසිරිය

Tuesday, December 13, 2011



ඉරා අඳුරු කඩ
නැගෙන විට හිරු
ගිලිහෙන්නට පළමු
වියලෙන්නට වන
පත් අග රැඳී
පිනි බිඳක්
විඳ ගන්නේ
යම් සේ ද
එ හිරු කිරණින් ම
විකසිත වන
කැකුළක අසිරිය
එපරිද්දෙන් ම...

භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!

Thursday, October 20, 2011


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි.

මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා නිපුණතාවය වැඩි දියුණු කිරීමේත්, නිර්මාණශීලී කලා ප්‍රකාශන හැකියාව තවත් ඉහලට ගෙන ඒම වෙනුවෙන් වූ භාෂා කලා ඇකඩමියක අවශ්‍යතාව ඇති ව තිබේ.

ශ්‍රී ලාංකේය කවීන් සියලු දෙනාගේ ම කවි ඇතුලත් කාව්‍ය සංග්‍රහයක් එලි දැක්වීමේ අරමුණෙන් පසුගිය දිනෙක එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණි. ඒ හා බැඳුණු, මගේ අත්දැකීම් පිළිබඳව පෙර ලියූ ලිපියක සඳහන් වුවා ඔබට මතක ඇති බවට සැකයක් නැත. එහි ප්‍රධාන අරමුණ එසේ වුවත්, භාෂාව, සාහිත්‍ය සහ කලාව අධ්‍යයනය සඳහා වන ඇකඩමියක් ආරම්භ කිරීමේ පිඹුරුපත් සැකසීම, එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමේ උත්සවයේ අරමුණක් වූ බව එම කටයුත්තට සහභාගී වූ බොහෝ දෙනා නොදන්නවා විය නොහැක.

මේ වන විට භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර අවසන් ය. මෙම ඇකඩමියේ අරමුණ භාෂාව සහ සාහිත්‍ය කලා අවබෝධයෙන් පිරිපුන් නිර්මාණකරුවන්ගෙන් සපිරි නව පරපුරක් මගින් අප රටේ සංස්කතෘතික ජීවිතය සාරවත් කිරීම සහ සුරක්ෂිත කිරීමයි.

2013 වසරේ ජනවාරියේ ඇකඩමියේ අධ්‍යයන කටයුතු ඇරඹීමට සැළසුම් කර තිබේ. ඔබ මේ පණිවුඩය සියළු දෙනා වෙත ගෙන යන්න. ඔවුන් සමග ඔබත් ඊට සම්බන්ධ වන්න. අපි සදා නොවෙනස් මිතුරු මිතුරියන් ලෙස එකට වැඩ කරමු!

මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රමුඛ වි‍ශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන, භාෂා සාහිත්‍ය කලා ඇකඩමියෙහි අධ්‍යයන කටයුතු ජනවාරියේදී ඇරඹීමට නියමිත ය. මෙහි පාඨමාලා පහත පරිදි වේ.









පළමු පියවර (ඩිප්ලෝමා)


සම්භාව්‍ය සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය, සිංහල සාහිත්‍ය ඉතිහාසය



දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)-


ලෝක සාහිත්‍ය (රුසියානු,ඉංග්‍රීසි,ඉන්දියානු,අප්‍රිකානු) ,භාෂාවේ ඉතිහාසය,කලාවේ ඉතිහාසය, කලා විචාරය



ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම්


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන් ඇදුරියන්,වෘත්තීයවේදීන් වෘත්තීයවේදිනියන්,සරසවි සිසුන් සිසුවියන්, පාසල් ගුරුවරුන් ගුරුවරියන්, උසස් පෙළ සිංහල සිසු සිසුවියන්,කලා රස වින්දනය අගයන වැඩිහිටියන්.


සති අන්තයේ එක් දිනක් බැගින් කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂයය සන්ධාරය හේතුවෙන් පාඨමාලා කාලය වසර දෙකකට වඩා වැඩි වනු ඇත.

පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී මාධ්‍ය/කලා/අධ්‍යපාපන ක්ෂේත්‍ර වල,රැකියා සඳහා තෝරා ගැනීමේදීත් ඒවායේ උසස්වීම් දීමේදීත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත.

ආසන සීමිත ගනනක් බැවින් ඔබේ අයදුම්පත් නොපමාව එවන්න.
brahaspathi@ymail.com


වැඩි විස්තර සඳහා 

අහසට පොළොව සේ..

Monday, August 29, 2011

ගිම්හානයේ
චණ්ඩ හිරු රැසින්
වියළි සුළඟින්
කර්කශ මහ පොළොවට..
වස්සානයේ
සිහිල් දිය බිඳු වැටී
මිහිකත සනහාලමින්
නිම්න දිගේ ගලද්දී..
අහසට පොළොවත්
පොළොවට අහසත්
නැතිව බැරි බව
තේරුම් ගනීවි
මුළු ලෝකයා ම..
 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading