අවුරුදු විසි එකක ජීවිත කාලය පුරාවට වැඩි ම සතුටක් ලැබූ දවසේ ඒ සතුට ගිලිහෙන්නට පළමු ලියමි.
හිතාදර දුයිෂෙන්,
ගුරු ගීතය කියවූ පළමු වර පටන්, මා උගත් නොයෙක් විධ වූ ගුරුවර ගුරුවරියන්ගේ මුහුනුවර හා මුසු ව, මහා පෞරුෂයකින් හෙබි, චිත්‍රයකින් ඇඳ මෙසේ යැයි දැක්විය නොහැකි සුවිසල් රුවක් ලෙස නුඹේ රුව හදේ ඇඳී තිබුණි. කවදාක හෝ, කුමන අයුරකින් හෝ, අල්තීනායිට නුඹ වූ සර්ව සම්පුර්ණ ගුරුවරයා වීමේ නොනිත් ආශාවකින් මම පෙළුනෙමි. අද මගේ සිහිනය සැබෑ වී ඇතැයි හැඟෙයි.
මා නුඹ තරම් දක්ෂ ගුරුවරයෙක් නොවුවත්, නුඹ තරම් ඉවසිලිවන්ත නොවුවත්, මගෙන් උගත්තවුන් අල්තීනායි තරම් අසරණ වුන් නොවුවත්, උන්ගේ දෙමාපියන් ඉගෙනීමේ වටිනාකම නොදන්නවුන් නොවුවත්, අද මා ලැබූ යම් සාර්ථකත්වයක් වේ නම් එහි අයිතිය සම්පුර්ණයෙන් ම නුඹ සතු ය.
යම් යම් පරිපාලන ගැටළු කිහිපයක් හේතුවෙන්, ඉගෙන ගන්නට බැරිව, අසරණ ව හුන්, ඒ කුඩා වුන් සමුහය වෙත යද්දී මට අවැසි වුයේ, නුඹෙන් අල්තීනායි ලද දෙයින් දහසකින් එකක් හෝ මගෙන් උගන්නා උන්ට ලබා දීම යි.
මම නුඹ තරම් කල් එහි නො ඉගැන්වුයෙමි. නුඹ තරම් මම දක්ෂ නොවූයෙමි. මා ඉගැන්වූයේ මට ආගන්තුක වූ බසකිනි. නමුත් මම උන්ට සමීප වුයෙමි. සමහර විට නුඹට අල්තීනායි ආදරය කළ තරම් උන් මට ආදරය නොකරන්නට අත. නමුත් මට ඒ තරම් යැයි දැනෙන තරම් උහු ආදරය කළහ.
එහි යන්නේ කුමක් සඳහා දැයි මම නොදැන උන්නෙමි. මට උගන්වන්නට වෙන්නේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා උන් පිරිසකට පමණක් බව මම දැන උන්නෙමි. මම උන්ට භෞතික විද්‍යාවේ සිට ගණිතයටත්, තොරතුරු තාක්ෂණයේ සිට සිංහලටත් ඉගැන්වුයෙමි. දවස් හතරෙන් තුනක කාලච්ඡේද හතක් ඉගැන්වුයෙමි. ඉතිරි දවසේ කාලච්ඡේද හයක් ඉගැන්වුයෙමි. එය මට වෙහෙසකර නොවීය. මද වෙහෙසක් දැනෙද්දී මගේ ඉදිරියේ මැවුණේ නුඹේ රුවයි. පරම්පරා ගණනාවක් පුරාවට අකුරක් වත් කියවා ගන්නට නොදත් එවුන්ගේ අලුත් පරම්පරාවට, වචන උගන්වන නුඹ වෙහෙසට පත් නොවී ඉන්නට තනන අයුරු මට මැවී පෙනුණි. ඒ දකින මගේ වෙහෙස ඉබේටම මැකී ගියේ ය.
මා ඉගැන්වූයේ ප්‍රාථමික අංශයට පමණක් නොවේ. සමහරෙක් උසස් පෙළ සිසුන් වුහ. සමහර උන් මෙවර සාමාන්‍ය පෙළ කරන්නාහ. තවත් අයෙක් සාමාන්‍ය පෙළ කරන්නේ ලබන වසරේ ය. දවස් දෙකක් ප්‍රාථමික අංශයේ උන් ද මගෙන් සිංහල උගත්තාහ.
මා එහි ගියේ ටික කලකට ය. වර්ජනය තිබෙන තුරු ය. සැබවින් ම මා එහි සිටියේ දින හතරකි. නමුත් ඒ දින හතර තුළ මම බොහෝ දේ උගත්තෙමි. මා දන්නා බොහෝ දේ ඉගැන්වුයෙමි. සිංහලට වඩා යමක් ඔවුන්ට කියා දෙන්නට උත්සාහ කලෙමි. ගණිත ගැටළුවකට වඩා යමක් විසඳන්නට ඔවුන් පෙළඹවුයෙමි. තොරතුරු තාක්ෂණයට වඩා යමක් ඔවුන් ලවා සොයවන්නට මට උවමනා විය. භෞතික විද්‍යාවට වඩා යමක් ඔවුන් සිතනු දැකීම මගේ අරමුණ විය. සැබවින් ම, නුඹ වැන්නෙක් වන්නට මට උවමනා විය. සත්‍යයකි. මම නුඹව කොපි කළෙමි. මම නුඹේ පිටපතක් වන්නට උත්සාහ කළෙමි.
සමහර විට මා සාර්ථක වන්නට ඇත.මට එසේ සිතෙයි. මා අසාර්ථක වුවා නම්, මා වට කරගෙන, ඉල්ලීම් කරමින්, රඳවා ගන්නට උන් උත්සාහ නොකරන්නට ඉඩ තිබුණි. භෞතික විද්‍යාව උගන්වන්නට, මාව දිගට ම ඉල්ලා නොසිටින්නට ඉඩ තිබුණි. ඒ හැරත්, මා යන්නට සැරසෙන විට, උන් කුරුටු ගා දුන් අදහස් වල ඒ තරම් ම දේ නොතිබෙන්නට ඉඩ තිබුණි. ඒ හැරත් ඒ දේවල් කියවද්දී මගේ දෑස් තෙත් නොවන්නට ඉඩ තිබුණි. අඩු තරමේ උන් හැර එද්දී, තෙත බරිත වුණු මගේ දෑස් ඒ පුංචි එවුන්ගෙන් සඟවා ගන්නට මට සිදු නොවන්නට ඉඩ තිබුණි.
මා යළි එහි එනු දකින්නට උන්ට ඕනෑ ය. මට එය පොරොන්දු වන්නට ද සිදු විය. මම පොරොන්දු වුයෙමි. එය මුළු හදින් ම වූ පොරොන්දුවකි. රකින්නට හිතාගෙන වුන් පොරොන්දුවකි. නැවතත් කවදාක හෝ උන් වෙත යන්නට මට අවශ්‍ය ය. ඒ පුංචි එවුන්ගේ මුහුණු ටික යලි දකින්නට මට ඕනෑ ය. දෙවියන් මට ඉඩ දෙන්නේ නම්, මම සැබවින් ම යලිත් එහි යන්නට කැමැත්තෙමි. අඩු තරමින් උන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය බලන්නට හෝ යන්නට මම ආශා කරමි.
බොහොමයක් උන් තවම අවුරුදු දොළහක් දහ හතරක් තරම් වුන් ය. සමහර විට ඒ කුඩා වුන්ට මා පිලිබඳ වැඩි කලක් මතක නොතිබෙනු ඇත. වෙනත් ගුරුවරයෙක් පැමිණ උගන්වද්දී, කෙමෙන් උන් ඉහල පන්ති වලට යද්දී මා අමතක වුවහොත් ඒ පිලිබඳ මම පුදුම නොවෙමි. ඒ සියල්ල පසෙක තබා, අද මා වෙත පල කෙරුණු උන්ගේ ප්‍රතිචාරය ගැන මම බෙහෙවින් ම සතුටු වෙමි.
දින හතරක් ඉගැන්වීම වෙනුවෙන් අපට වේතනයක් පිරිනැමුණි. එය, මහපොළ මාසික දීමනාවට වඩා යන්තමින් වැඩි ගණනකි. ඒ මුදලේ අගය මට ඒ තරම් වැදගත් නොවේ. මගේ මහන්සියෙන් පළමු වරට මුදලක් ඉපැයුවේ අද ය. ලැබී පැය හයක් ගත වන්නට පළමු එය සම්පුර්ණයෙන් ම පාහේ අවසන් විය. . එයින් බොහෝ දේ කරන්නට කලක පටන් සිතා සිටියෙමි. එයින් බොහෝ දේ ඉටු කළෙමි. තවත් කිහිපයකට මුදල් වෙන් කරගෙන හිඳිමි. සියල්ල අවසානයේ, පළමු වරට යුතුකමක් ඉටු කළ බව හැඟෙයි. සැබවින් ම මම අද අමන්දානන්දයට පත්ව සිටිමි.
වේතනයෙන් ඉතිරි වූ රුපියල් පනහක මුදල අත තබාගෙන මම එයින් කළ යුත්තක් කල්පනා කරමි. අද මට මුදලට ලබා ගත නොහැකි බොහෝ දේ හිමි ව තිබේ. ජීවිත කාලය තුළ කෙදිනක වත් නොලැබූ තරම් සතුටකට මම පත්ව සිටිමි. මට ඒ සතුට ලබා දුන් දෙවියන් වහන්සේට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
එමෙන් ම, ගුරු ගීතයේ පිටු අතරින් මතු වූ නුදුටු ගුරුවරයාණෙනි. මම නුඹට ස්තුතිවන්ත වෙමි!
Subscribe to:
Post Comments (Atom)
ජය වේවා මල්ලියේ.. වෙන කියන්නට කිසිවක්ම නැත.. ඔයාව මහ ලොකුවට අඳුරන්නේ නැති වුනාට මේක කියෙව්වාම හිතට මාර ආඩම්බරයක් ආවා..
ReplyDeleteප.ලි. මේ අර පනහෙන් මේ මන් වගේ අහිංසක තැනැත්තියෙකුට රිලෝඩ් එකක් දාලා අද දවසේ පිනකුත් කරගන්න ඉතින්.. ;)
බොහොම ස්තුතියි අක්කේ.. ඇයි නැත්තේ? අපි හොඳට හඳුනනවා නේ! :-)
DeleteReload එකක් දාන්න කියලා ගොඩක් අය ඉල්ලීම් කළා. බලමු. අපි කුසපත් ඇදීමක් කරලා ජයග්‍රාහකයා තෝරා ගනිමු! :)
ඒක තමා තියෙන අරුමේ. ඔයාව මුණගැහුනේ එක සැරයයි.. ඒත කාලයක් ඉඳන් දන්නවා කියලා හිතෙන තරමට සමීපයි.. :)
Deleteහරි හරි එහෙනම් කුසපත් අඳින්නකෝ..
:) අනිවාර්යයෙන් ම.
Deleteඅක්කා පිළිබඳවත් ඒ වගේ ම යි!
නියමයි මල්ලෝ..
ReplyDeleteඋඹත් එහෙනම් කොහොමහරි දුයිෂෙන් කෙනෙක් වුනා නේ?
:)
(Y)
දවසක අපේ පාරෙත් වෙනසක් කරන්න උඹට පුලුවන්වෙයි..
තෙරුනානේ?
ජයවේවා!
අපෝ නෑ.. දුයිෂෙන් කෙනෙක් වෙන්න තියා හිතන්න වත් බැහැ. මම පොඩි අනුකරණය කිරීමක් කළා විතරයි.
Deleteසමහර විට වෙනසක් කරන්න පුළුවන් වෙයි. ඒත් ඊට කලින් බොහොම දුර යන්න තියෙනවා නේ අයියේ!
ජය වේවා!!
නුඹේ හිතෙන් ගලා ආ නිර්ව්‍යාජ අදහස් ගොන්නේ වචන අතර ලියවුන දේ බොහෝය, කියවුන දේ අනන්තයි. මගේ පලමු පඩිපත (එයද ඉගැන්වීමෙන් ඉපැයූවක්) අරන් ගෙදර ආ දා මතක් විය.
ReplyDeleteඅරකී ස්ථානයේ දැනට පවතින තත්වය උඩ නන්නත්තාර වූ දරුවන් ද දහසක් ප්‍රශ්ණ අතරේ අඳුරේ අතපත ගාන දෙමාපියන් ද දෑසින් දුටුවෙමි. නුඹ මෙන්ම මා ශිල්ප ලද නිදහස් අධ්‍යාපනයට අනේකවර පින් දුන්නෙමි. ලිවිය නොමනා බොහෝ දේ දුටුවෙමි. එවන් තැනක අරකී දරුවන්ට යම් සෙතක් කරන්න නුඹට පුළුවන් වුනා නම් එය පිණකි.
මලේ සම්පූර්ණ කරයුතු නුඹේ ගමන දිරියෙන් ඉදිරියට යන්න පතනවා.
අඩුපාඩු ඉක්මනින් නිවැරදි නොවන තැන, අහිංසකයන්ට වන්දි ගෙවීමට සිදු වෙනවා. වාසනාවකට වගේ මෙතැන තත්වය ඒ තරම් ම දරුණු වුණේ නැහැ. ඒ වගේ ම මේ වන විට සම්පුර්ණයෙන් ම පාහේ ගැටලුව විසඳි තිබෙනවා.
Deleteවෙලාවේ හැටියට කළ යුතු වූ දේ අපි කළෙමු. අවසානයේ ඒ පිළිබඳව හැරී බලද්දී ආත්ම තෘප්තියක් පමණක් හිමි ව තිබේ!
කොතරම් මුදල් හම්බකරත් අත්මතෘප්තිය හම්බකරන්න බැහැ ඔබ ඒ නිසා වසනාවන්තයි
ReplyDeleteඅනිවාර්යයෙන් ම. බොහොම ස්තුතියි රොබින්!
Deleteගුරුවෘත්තීය කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම වෘත්තීයක්! ළමයෙක්ගේ ජීවිතේ ඉරණම තීරණය කරන්නේ සමහරවිට එක ගුරුවරයෙක් වෙන්න පුලුවන්! ජය!
ReplyDeleteගුරු හා වෛද්‍ය වෘත්තීය කියන දෙකට ම මම බොහොමත් ම කැමතියි. අවාසනාවකට පාඩම් කරන්න තිබෙන නොහැකියාව හින්දා මට වෛද්‍ය ක්ෂේත්‍රය වෙත යන්න හිතුනේ නැහැ. නමුත් මා ඉගෙනුම ලබන ක්ෂේත්‍රයට එතරම් අදාල නොවුනත්, වරින් වර මා උගත් දේවල් ඉගැන්වීමේ වාසනාව ලැබී තිබෙනවා. ඒ පිලිබඳ බොහොම සතුටු වෙනවා.
Deleteජය වේවා!!
සිරාවටම දාන්න දෙයක් තව කෙනෙක්ට කියල දීල සහ යුතුකම් ඉෂ්ට කරලා ලබාගන්න සතුට වෙන මොන දෙකින්වත් ලබාගන්න අමාරුයි!
ReplyDeleteසිරාවටම හිතට දැනුන!
කිහිප වරක් ඒ සතුට ලබලා තිබුණත්, මේ තරම් දැනුණු දිනයක් ගැන හිතා ගන්න බැහැ. ඒ ගැන ආඩම්බරයක් තිබෙනවා.
Deleteලිපිය හිතට දැනුණා නම් බොහොම සතුටුයි! ජය වේවා!!
පට්ටයි මචං. ගුරු ගීතය ලියැවුනේ උඹල වගේ මිනිස්සු හදන්න තමයි. කවුරු හරි කෙනෙක් මේ කතාව කියවලා, ඒ අනුව ගුරු ගීතය හොයාගෙන කියවලා කවද හරි දවසක ලෝකෙම වෙනස් කරන්න යම් දෙයක් කළොත්...... ඊට වඩා සතුටක් නැහැ එතන...
ReplyDeleteඅනිවාර්යයෙන් ම. හරි හැටි කියවූ මිනිසෙකුගේ ජීවිතය, පළමු කියවීමෙන් ම වෙනස් කරන්න තරම් ප්‍රබලව ලියවෙලා තියෙනවා. මේ ලියවුනු දේ, එවැනි කාර්යයකට හේතු වෙනවා නම්, ඊටත් වඩා සතුටක් නම් නැහැ. බොහොම ස්තුතියි මිත්‍රයා!
Deleteසත්තකින්ම...වචන වල තිබෙන අවාජ්‍යබව හන්දම මොනාදෝ නොදන්න හැඟීමක් හිත මැද්දට පැන්නා..
ReplyDeleteබොහොම ස්තුතියි ළිහිණි! හිතට දැනුණු දේ ඒ විදියට ම ලිව්වා. එච්චරයි!
Deleteජය වේවා!!
Very good work malla. Our country needs the teachers like you. Plz accept my salute.
ReplyDeleteThank you akka. And I'm not a that big man to accept salutes from you! LOL!!
DeleteI did what I had been asked to do. That's all. And now I'm so happy to see what have I done!
ඇත්ත ගුරු ගිතය නිසා එහි හැඟීම් සහ අදහස ආරෝපනය කරගන්න පුළුවන් කෙනා හැබැම ගුරුවරයෙක් දුයිෂෙන් නූගත් කම්කරුවෙක් ඒත් ඔහුගේ චරිතය තුලින් උගතහැකි දේ බොහොමයි.
ReplyDeleteඔබ ඒ ඇසුරින් වයස් සිමාවකින් තොරව දරුවන් පිරිසකට උගන්වල ලබා ගත් දැනුමට සරිලන වැටුපක් නොවුණත් හිතේ සතුට දුයිෂෙන්ටත් වඩා වැඩියෙන් දැනෙන එක අරුමයක් නෙවේ. ඒක සදාකාලිකම මතකයක්ම වේවි.
අතට ලැබුණ ගනනට වඩා චිංගිස් අයිත්මාතෙව් දුයිෂෙන් හරහා මැවූ ලෝකය වඩාත් තදින් හිතට දැනේවි. දින හතරක් බෙදාදුන් දැනුම එයයි.
බොහොම ස්තුතියි අයියේ. ඇත්තට ම ඒ ලද අත්දැකීම මුදලට වඩා බොහොම වටිනවා. ලැබුණු තෘප්තිය කෝටි ගාණකටවත් වත් මිල කරන්න බැහැ!
Deleteජය වේවා!
මල්ලි, මට උඹ ගැන ආඩම්බරයි. ගුරු ගීතය නොමිලේ බෙදාදෙද්දි, දුයිෂෙන් අල්තිනායි ගැන බ්ලොග් පෝස්ට් දාද්දි,උඹේ බ්ලොග් එකේ නිෂ්මිට ඉඩක් වෙන් වෙද්දි, උඹ ලොකු දෙයක් කරන බව තේරුණා. මට උඹ විශේෂ වෙන්නේ උඹ හිතන විදිය නිසා. සුබ ගමන් මල්ලි. අපේ රටේ හෙට දවස උඹ වගේ ගුරුවරුන් බලාපොරොත්තු වෙනවා. ජය...!
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ. ගුරුවරයෙක් වෙන්න ආසාවක් තිබුණත්, දැන් ඉන්න ක්ෂේත්‍රය ගුරු වෘත්තියට බොහොම දුරයි. නමුත් මා දන්නා දෙයක් තවත් අයෙක්ට කියා දෙන්න තිබෙනවා නම්, ඊට වඩා සතුටක් නැහැ.
Deleteඒ වගේ ම අගය කිරීමට බොහොම ස්තුතියි.
අරුණැල්ල එක්ක බොහොම කාලයක සිටන් ම එකතු වෙලා හිටියාට බොහොම ස්තුතියි!
ජය වේවා!
හ්ම්... මම කියන්නේ ඔබ අපිට සම්පතක් කියලා.ජය වේවා !
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා!!
Deleteජය වේවා!
තමන් දන්න දෙයක් කියලදීල යුතුකමක් ඉටු කළා කියලා දැනගත්තාම දැනෙන ආත්ම තෘප්තිය වෙන කිසිවකට සම කරන්න බෑ.
ReplyDeleteඔබට ජය!
අනිවාර්යයෙන් ම.. බොහොම සතුටුයි.. :)
Deleteඒ වගේ ම ඔබේ අදහසටත් බොහොම ස්තුතියි! :)
ජය වේවා!!
ගොඩාක් කාලෙකට පස්සෙ කියවපු, ගොඩාක්ම වටින කතාවක්.ගොඩාක් අය කියලා තියෙනවා වගේ මේ කතාව හිතේ කොණක සටහන් වුණා මටත් නොදැනීම..නොමැකෙන්න.
ReplyDeleteහරිම ආඩම්බරයි සහෝ...
ජයවේවා!
බොහොම ස්තුතියි නංගියෝ! මා ලබපු අත්දැකීම බෙදා ගන්නයි ඕනෑ වුණේ. එයින් ඔබත් දෙයක් ලබා ගත්තා නම්, බොහොම සතුටුයි!
Deleteජය වේවා!!
අන්න එල කොල්ලෙක්...
ReplyDeleteඔහොම යං... ඔහොම යං..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි රජෝ!!
Deleteජය වේවා!
උඹට කියාන්න බං තාම පොතේ පිටු 20යි කියෙව්වෙ......මං වගේ කාලකන්නියෙක්.....
ReplyDeleteඉතිරි ටිකත් ඉක්මනින් කියවන්න. කැම්පස් පටන් ගන්න වැඩි කාලයක් නෑ නේ. තව පිටු 70ක් විතර තියෙනවා මගේ හිතේ!
Deleteමමත් ගුරුවරයෙක්. වසරක කාලයක් පුංචිම පුංචි එකාගේ ඉඳලා වයස 45-50 ගණන් වල අය දක්වාත් සිසුන් සහ ගුරුවරුන් වෙතත් මම මගේ ශිල්පය ලබා දුන්නා. එදා මම ගුරුවරුන්ට උගන්වද්දී ඔවුන්ගෙන් ලැබූ ආසිරි අද වෙනකම්ම මගේ පස්සේ තියන බව මට දැනෙනවා. ජීවිතේ තියෙන්නේ විඳින්න. ආත්ම තෘප්තිය තියේ නම් එච්චරයි. ඒ අතින් ඔබ වාසනාවන්තයි.
ReplyDeleteඉතුරු පනහ ඉතුරු කරන්න. පොඩි ගානක් වුනත් මහා මෙරක් වගේ දැනේවි.
ගුරුවරයෙක් වත්, වෛද්‍යවරයෙක් වත් වෙන්න තරම් වාසනාවක් නොලැබුණු හින්දා, ලද දෙයින් සතුටු වෙන්වා. පුළුවන් වෙලාවට, පුළුවන් දෙයක් උගන්වන්න උත්සාහ කරනවා. එයින් ලැබෙන ආත්ම තෘප්තිය මුදලට වඩා වැදගත් නේ!
Deleteඒ වගේ ම ඔබ පුර්ණ කාලින ගුරුවරයෙක් බව දැන ගැනීම සතුටක් අයියේ.
ජය වේවා!!
මේ වගේ නිර්මාණාත්මක වැදගත් පණිවිඩ සමාජ ගත කරන බ්ලෝග් පාසල් ළමුන්ගේ නෙත ගැටෙනවා නම් ආනගතය හරි අද පත්ව තිබෙන මංමුලා බවින් මිදෙනු ඇත.සුභ පැතුම් මල්ලී
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ! :)
Deleteසුභ පැතුම් රැංගෝ..
ReplyDeleteවැඩ කරහම ලැබෙන සතුට ගැන කියන්න වචන නැහැ..තමන්ගේ දැනුම ශ්‍රමය වැය කරලා යමක් කල විට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..
අනිවාර්යයෙන් ම අක්කේ. ඒ සතුට පළමුවෙනි වතාවට වින්දා. ඒ පිළිබඳව අමතර සතුටකුත් තිබෙනවා.
Deleteබොහොම ස්තුතියි අක්කේ!
කෙනෙක්ගේ ඇස් පාදන එක මහා පිනක් .අනාගතේ දුයිෂෙයින් ට මගේ සුභ පැතුම්. අර රුපියල් පනහා පරිස්සම් කරලා ආරක්ෂා කරලා තියාගනින් මචං සැමරුමක් විදිහට .අනාගතේ දවසක උඹට ඕක දිහා බලලා ජීවිතේ කවදාවත් නොවිඳි සතුටක් ලබන්න පුළුවන් වේවි.
ReplyDeleteඑහෙමයි. බොහෝ දෙනෙක්ගේ උපදෙස වුණේ එහෙම කරන්න. ඒ හින්දා ඉතිරි කරලා තිබ්බා. :)
Deleteඅනාගතයේ ගුරු වෘත්තියේ යෙදෙන්න ලැබෙන එකක් නැහැ පැතුම්. ඉදිරියේ දී පුහුණු වීම් කාලයන් යෙදෙන නිසා බොහෝ කාර්යය බහුල වේවි. එතකොට මේ ලැබූ අත්දැකීම් සියල්ල මතකයක් පමණක් ම වේවි.
බොහොම ස්තුතියි ඔබේ අදහසට!
පට්ට මචං රැනගෝ
ReplyDeleteලෝකයේ ගොඩක් මිනිස්සු ගරුකරන රස්සාව ටික දවසකට හරි කරන්න ලැබුන ඒක උඹේ වාසනාව.ගුරුවරයෙක් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ තියෙන්නේ ගුරුවරයගේ විදිහ අනුව තමා තීරණය වෙන්නේ ඉන්න ළමයි ටික බුද්ධිමත් ජනතාවක් වෙනවද අමු ගොබ්බයො රෑනක් වෙනවද කියන එක
උඹට ජය....!
බොහොම ස්තුතියි මඩයෝ. මට පුළුවන් උපරිමය කරන්න උත්සාහ කළා.
Deleteජය වේවා!!
නියමයි රැංගෝ!! පහු වෙල අහරි මේ පොස්ටුව දැකීම , පෝස්ටුව බලන්න එන්න ලැබීම සතුටක්!!!
ReplyDeleteගුරුවරයෙක් කියන අත්දැකීම මටත් තියෙනවා.. අදටත් මම ඒ අත්දැකීම විඳිනවා... ඒත් වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් කියන අකුරුටිකට සාධාරනයක් ඉශ්ඨ කරනන් මට තව කල් යාවි!!!මේ ලියැවුනු අකුරු වල තියෙන ආත්ම තෘප්තිය මටත් හොදින්ම තේරුනෙ ඒකයි!!
ඇත්ත, ගුරුවරයෙක් කියන භූමිකාව ඇතුලෙ, මේ ලෝකෙ ලබන්න පුලුවන් ලොකුම සතුට, "ආත්මීය සතුට" ලබන්න පුලුවන්...
ජය වේවා!!!
ඒ සතුට ලැබුවා අක්කේ. ඔයාත් ගුරුවරියක් ද? එහෙනම් ඔයා මට වඩා වාසනාවන්තයි. ඒ වගේ ම හැමදාමත් වගේ මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි!
Deleteජය වේවා!
ඔයා ගැන ආඩම්බරයි මල්ලි.
ReplyDeleteමම වඩාත් ම ප්‍රිය කරන වෘත්තීන් දෙකෙන් එකක නියුතු වෙන්න තරම් ඔයාත් වාසනාවන්තයි අක්කේ! එහෙම එකේ, ඔයා ගැනයි මම ආඩම්බර විය යුත්තේ.
Deleteජය වේවා!
ලස්සන ලියැවිල්ලක්... බ්ලොග් ලෝකයේ ඔබටම අනන්‍ය වූ ඉඩක් ඔබ හදාගෙන තියෙන බව තමයි මගේ හැගීම... ජය !
ReplyDeleteබොහොම ස්තුතියි සිරා. ඒ ඉඩ නිර්මාණය කර දුන්නේ අරුණැල්ල සමග රැඳී හුන් ඔබයි. එහි ගෞරවයෙන් වැඩි කොටසක් අරුණැල්ලෙහි ලියවෙන සෑම ලිපියක් හා ම වගේ රැඳෙන ඔබටත් හිමියි!
Deleteජය වේවා!
මම රැංගෝගෙ කමෙන්ට් කියවලා තිබ්බට අරුණැල්ලට ඇවිත්ම නෑනෙ. දැනුත් වුනේ මම වයිෆුත් එක්ක බ්ලොග් කියවා ඉඳලා මම නැගිට්ලා කඩේට ගිහිල්ලා එනකොට එයා මොකද ලින්ක් එකකින් මේක ඇරලා තිබ්බා.
ReplyDeleteනියම අත්දැකීම. මමත් ගුරුවරයෙක්නෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මට හිතෙන හැටි කියවනවා.. බොහොම සතුටුයි ඔබත් ගුරුවරයෙක් වීම ගැන.. ඒ බව බ්ලොග් එක කියවන නිසා කලින් දැනගෙන හිටියේ..
Deleteපැමිණීම අහම්බයක් වුණත්, අරුණැල්ලට ඔබව ආදරයෙන් පිළි ගන්නවා. දිගට ම අරුණැල්ල එක්ක රැඳෙන්න..
ජය වේවා!
ඇති විශිෂ්ට ලියවිල්ලක්
ReplyDeleteබොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ!
Delete