Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)

Tuesday, December 3, 2013

අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ.
මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.

වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..

තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.

පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා.

ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..

මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..

කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.

ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.

තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා.

මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ.  ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා.

තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.

වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ ?

අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.

ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.


පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ


බලාපොරොත්තුව

Monday, November 18, 2013

තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා


රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..


දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ  රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා... 



අවසානයේ සමනලයා මිය ගියේ ය.

Friday, November 15, 2013

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ .

හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ..

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ .

සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ

පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ  පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ .


තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ 
මටසිළුටු තටු .

ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා  රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ .




අරුත නුඹ නම්

Thursday, November 14, 2013

කවි සිතක නැගී දුක් හැඬුම්
සිඳිමි බිඳ ලමි නිය පිටින්
රිදෙන නෙත් යුග සනසමින්
කඳුළු පිසලමි වී සඳ කැළුම්..

නුඹ ලියන කවි කියවමින්
දෙතත් විවරණ මදහසින්
අරුත මා මිස අනෙක් නොව බව
දතත් නො විමසමි වදනකින්..

අකුර නිමියේ නගන පහන් පෙම
එළිය කරවයි ජීවිතේ 
අරුත නුඹ නම් ඇරඹුමෙහි සිට
ඉඩක් කුමට ද සිහිනයේ?

ප.ලි. :
වර්ෂා නංගිගේ කවියකට ලියපු පිළිතුරු කවියක්..කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබුණු එකේ බ්ලොග් එකේ පල කරන්න හිතුණා. 

අද අපේ රිසල්ට්ස් cover of අද අපේ තාත්තා - Ruhuna RockzZz

Wednesday, September 11, 2013

ජනප්‍රියත්වය යනු බොහෝ විට වර්තමානයේ නිර්මාණය වන ගීතයක ප්‍රධාන ම අභිමතාර්ථය යි. එසේ නිර්මාණය වී ජනප්‍රිය වන ගීත වල‍ට වෙනස් රූප රචනා යෙදීම හෝ ඒ ගීතවල තනු යොදාගෙන ලියැවුණු පද මාලා වලට රූප රචනා නිර්මාණය කිරීම අලුත් දෙයක් නොවේ.

නමුත් මෙසේ නිර්මාණය වන ගීත බොහෝ විට සමාජයේ උපහාසයට ලක් වෙයි. මුල් ගීතය විනාශ කරන බවට එහෙමත් නැති නම් කන බවට චෝදනාවට ලක් වෙයි.. විශේෂයෙන් ම ගීතයේ මුල් නිර්මාණකරුවා අපහසුතාවට පත් වීම මෙමගින් බොහෝ විට සිදු වේ.. මෙය ද අලුත් දෙයක් නොවේ.

නමුත් මෙසේ නිර්මාණය වන ගීතයක් මුල් නිර්මාණ කරුවාගේ ඇගයීමට ලක් වෙනවා නම්, එහෙමත් නැතිනම් එසේ කෙරුණු ප්‍රතිනිර්මාණය ප්‍රසිද්ධ කරවීම මුල් නිර්මාණ කරු අතින් ම සිදු වෙනවා නම්, එය සැබවින් ම අලුත් දෙයකි. අමුතු දෙයකි.

අපි එය කළෙමු. රුහුණු විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ දහතුන් වන ශිෂ්‍ය කණ්ඩායමේ අපි සාර්ථකව ඒ ප්‍රතිනිර්මාණය කළෙමු.

මේ දිනවල බෙහෙවින් ම ජනප්‍රිය ' අද අපේ තාත්තා' ගීතය අපි ප්‍රතිනිර්මාණය කළේ විශ්ව විද්‍යාල ජීවිතය, එහෙමත් නැතිනම් uni life එක සහ විභාග පදනම් කර ගත් පද මාලාවක් යොදා ගනිමිනි.

එය සාර්ථක ව තිබේ.. ඒ බව කියන්නේ අප නොවේ. ගීතය ඇසූ අපේ මිතුරු මිතුරියන් ද නොවේ. ගීතයේ මුල් නිර්මාණකරුවා යි.!



ඉතින් ඒ විශිෂ්ටත්වය කියන්නට මීට වඩා අටුවා ටීකා අවශ්‍ය ද?
රුහුණේ වීම ගැන අපිට ආඩම්බර නොවී සිටිය හැකි ද!!

ගීතය මෙතැනින් අහන්න/ බලන්න!!




සර්ව ආගමික ප්‍රේමය

Thursday, August 22, 2013





අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...





පින්තුරය උපුටා ගැනීම : http://4.bp.blogspot.com/-lNbIXdXSaAM/UdBZinWCg6I/AAAAAAAAkBk/P4CY6KRpqwI/s600/weddingar600.jpg

පැන්සල - The best software ever for Sinhala typing!

Monday, August 5, 2013

Serandibsoft විසින් පැන්සල නවතම සංස්කරණය වන Version 2.13.7.1 (Redefined) එළි දක්වන්නේ හදපිරි සතුටෙනි .මෙහි කළින් නොතිබුනාටත් වඩා ඉතා උසස් මට්ටමේ නවමු අංග රැසක් අන්තර්ගත කොට තිබේ.මෙය මෙතෙක් දුරට දියුණු කිරීමට බෙහෙවින්ම හේතු වූයේ පාඨක ඔබෙන් ලැබුණු ප්‍රතිචාර වේ. දැන් කාලය එළඹ තිබෙන්නේ Google IME, Singreesi, realtime Singlish වැනි මෘදුකාංග ඉවත ලෑමටයි.

පැන්සල නවතම සංස්කරණයට එක්කොට ඇති විශේෂ අංග කීපයක් වන්නේ,

1. Auto Words suggestion (For both Office and Unicode modes)
2. Fixed over 30 typing errors.
3. The New Virtual keyboard that will ease your typing with difficult words.
4. New extra option panel to easily navigate various options.
5. Search Google for typed Sinhala word.
6. Get the relevant English word for typed Sinhala word.
7. Use Ctrl+Space as the Pencil Activate/Deactivate hot key.
8. Improved new Settings windows that can customize many more options than previous.
9. Application performance was increased with new sleek design.
10. Report a problem easily through in-built problem reporter.
සහ තවත් බොහෝ දෑ මෙහි අන්තර්ගත වේ.

මෙම අලුත් සංස්කරණයේ ඇති Auto words suggestion, Virtual Keyboard, Search with Google and Find the English word, Report a problem වැනි අංගයන් වෙනදාටත් වඩා ඔබගේ සිංහල ටයිප් කිරීමේ හැකියාවන් පහසු කරන බව නොඅනුමානය.

නව සංස්කරණය භාවිතා කිරීමෙන්ම එහි ඇති වෙනස අත් විඳගන්න. ලංකාවේ Unicode හා Office යන ඕනෑම සිංහල අකුරු විශේෂයක් භාවිතයෙන් Real-time සිංහල ලිවිය හැකි එකම මෘදුකාංගය පැන්සල බව මතක් කරන්නේ ආඩම්බරයෙනි.

පැරණි මෘදුකාංගයේ තිබූ සියළුම අක්ෂර වින්‍යාස සම්බන්ධ ගැටළු සියල්ලක්ම පාහේ මෙහි නිවැරදි කර ඇත. එමෙන්ම අලුතින් එක් කරන ලද "Ctrl+Space" Hot Key එක නිසා සිංහල භාවිතය ඉතා පහසුය.

පැන්සල නොමිලේම භාගත කරගැනීම සඳහා පහත link එකට පිවිසෙන්න.

උපකාරක වීඩියෝව නැරඹීම සඳහා පහත link එකට පිවිසෙන්න.

සියළුම හිමිකම් ඇවිරිණි.
තුසිත මනතුංග
ඉංජිනේරු පීඨය,
රුහුණු විශ්ව විද්‍යාලය .

උපුටා ගැනීම : තුසිත මනතුංගගේ සටහනකිනි.

ගීතයක් ගැන : සුභාරතී මැණිකේ

Wednesday, July 10, 2013

අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා.

මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ.

දුෂ්කර, කටුක එකක් වුණු මේ චාරිකාව අපේ කතා නායකයාව බොහොම වෙහෙසට පත් කරනවා. තැඹිලි මිශ්‍ර දුඹුරු පාටින් දිලිසෙන, අව්වට පුපුරු ගහන කාන්තාරයක් වගේ ගමන් මග අතරමැද එක්තරා තැනක දී ඔහු ගමන් කරන රථය නවත්වන්න සිදු වෙන්නේ පාර මාරු වෙන, සිය ගණනක් වුණු එළු රංචුවකට ඉඩ දෙන්න. පැය ගණනක් තිස්සේ හුරු වුණු ඒකාකාර දර්ශන පථය වෙනස් කරමින් මතු වුණු මේ දර්ශනය රථයේ හුන් පිරිසට බොහොම චමත්කාර ජනක එකක් වුණු බවට සැකයක් නැහැ.. බොහොම පිළිවෙලකට දක්කාගෙන ආ මේ එළු රංචුවේ ගොපල්ලා නම් පෙනෙන්නට හිටියේ නෑ. විමසිල්ලෙන් බලද්දී, තරමක වෙලාවකට පස්සේ, එළු පැටවුන් අතරින් පුංචි කෙල්ලක් මතු වෙනවා. මේ පුංචි කෙල්ල, බොහොම සුරුවමින් එළු රංචුව පාලනය කරනවා දකිද්දී මේ ලස්සන දර්ශනයේ නිර්මාණ කාරියත් එක්ක වචන කිහිපයකින් දොඩමලු වෙන්න අපේ කතා නායකයාට සිත් වෙනවා.

ඇය වෙත පාන මද සිනහවට ඇයත් පෙරලා දක්වා සිනාසෙනවා. මේ සිනහව ඔවුනොවුන් අතරේ කතාවක් ඇති වෙන්න මග පාදනවා.


"දුවගේ නම මොකක් ද? "

ඔහු බොහොම ආදරයෙන් අහනවා..

"සුභාරතී මැණිකේ"
ඇය නළලට වැටුණු කෙස් රොදක් පසුපසට කරමින්, කටකාර කෙල්ලක් වගේ පිළිතුරු දෙනවා..

"සුභාරතී මැණිකේ.... සුභාරති කියන්නේ දෙමළ නමක් නේ.. මැණිකේ කියන්නේ සිංහල නමක්.. දුව සිංහල ද? දෙමළ ද?"

ඔහුට තවත් ප්‍රශ්නයක්.. මේ ප්‍රශ්නයට නම් කටකාර කෙල්ලගෙන් පිළිතුරක් නැති හැඩයි.

ඇය නොදන්නා බව හඟවන්න හිස දෙපැත්තට වනනවා..
විස්තර දැන ගන්නා අදහසින් ඔහු තවත් ටිකක් කතා බහ කරනවා..

"දුවගේ අම්මාගේ ගම කොහෙද?"

"මෙහේ ම තමයි.."

"එතකොට තාත්තා .?"

"ගාල්ලේ ඇත්තිලිගොඩ"

ඇගේ පිළිතුරෙන් ඔහුට කතාව අවබෝධ වෙනවා..

ඇත්තට ම තමන් මුලින් ඇගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර මොකක් ද? තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ඇය ළඟ විතරක් නෙවෙයි, තමන් ළඟත් නැහැ නේ ද කියලා ඔහුට වැටහෙනවා.. ජාති, ආගම් භේද කොයි තරම් දුරකට මිනිස්සු බෙදන්න භාවිත වුණත්, ඒ බෙදීම් කොයි තරම් නොදියුණු ගණයේ ඒවා ද කියලා ඔහුට අවබෝධ වෙනවා.. ආදරය හමුවේ ඒ බෙදීම් නැති ව ගිහින් මනුෂ්‍යත්වය නම් හේතු සාධකය ඉදිරියට එනවා. මේ මනුෂ්‍යත්වය ඉදිරියේ කිසිම බෙදීමක් තවදුරටත් වලංගු වෙන්නේ නැහැ..

අපි මෙතෙක් කතා කළ 'කතා නායකයා' ප්‍රවීණ ගීත රචක, 'රත්න ශ්‍රී විජේසිංහයන්'..

මේ සංවේදී සිදුවීම ඔහු අතින් ගීතයකට නැගෙනවා.. මේ ගීතයේ එක්තරා විශේෂයක් තිබෙනවා.. මේ රචකයාගේ සෙසු බොහෝ ගීත වල දී වගේ ම මෙහිදීත් ඇත්ත ම නම් ගම් ම භාවිත වෙනවා. මේ පද මාලාව තවත් අලංකාරවත් වන්නේ ජානක වික්‍රමසිංහයන්ගේ මියුරු හඬින්..

නින්දවුර් කලපුව ළඟ - ඔලුවිල් යන පාරේ
නින්ද නැති ඇහෙන් බලනා - සුභාරතී මැණිකේ
මට ලියන්න බැරි කවියේ - මට ලියන්න බැරි කවියේ...

යුද්ධය ඇවිත් මුළු ගං ගොඩ - ගිනියම් වුණු දවසේ
ගං සූරිය මලක් වගේ - මැලවී ගිය මුහුණේ
ඇත්ත කියාපන් නංගියෙ - කඳුළු නේද තිබුණේ..

අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේ
අම්මා නුඹේ මඩකලපුවෙ බත තිරි කර දුන්නේ
රත්තරනේ නුඹ කව්රුද - සිංහල මට නොදැනේ...

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : ජානක වික්‍රමසිංහ

ගීතය මෙතැනින් අහන්න.

සරසවියේ පෙම්වතියට 2

Saturday, July 6, 2013



තවත් යන්තම් - පාට වැටෙන්නට
වත දොවනා නුඹ , දුහුවිලි යන්නට
දෝතට පුරවා - මලකඩ කිරි ගෙන
ක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මම

හෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන
එළලු කෙලවර - හොරෙන් සඟවගෙන
මැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙස
මලකඩ පාටින් - නුඹ වෙයි ලස්සන

ප්‍රේම යාත්‍රාව - නැංගුරම් ලන තැන
බස් තොටේ අපෙ - පුරුදු තැන වෙත
ඇවිත් හිටපන් - හැකි නම් මට පෙර
දිනා ගනිමු අපි - පෙම් මුල්ල සටන් වැද

මහපොළ දවසට - අපි පොහොසත් වන
කැන්ටිම කෙලවර - තනිවුණු මේසෙට
රුපියල් දිය කර - ප්ලේන්ටියක් ගෙන
ප්‍රේමය සමරමු - අනෙකුන් මග හැර..

හෙට ගැන සිහි කර - අපෙ උන් මග හැර
පීඩිත පන්තිය - වෙනුවෙන් හඬ දෙන
නුඹ තුරුලට ගෙන - ලොව අමතක කර
දෙතොල සිඹිමි මම - නළලත මගහැර..

ප.ලි :
මෑතක දී බ්ලොග් පල කරපු කවියක් ම ටිකක් සංස්කරණය කරන්න හිතුණා. අමතක වීමකින් නෙවෙයි, බ්ලොග් එකේ පල කළේ දයානන්ද අයියාගේ අදහසකට අනුව! මේ ගැන අදහස් දැනගන්න කැමතියි!
 :)

මිතුරු දම් බිඳුණු පසු..

Tuesday, July 2, 2013

ජීවිතය නම් කෙටියි ආ මග
යා යුතුව ඇත තව බොහෝ දුර
කටු කොහොල් මැද - ගල් ගොඩැලි වල
තවත් සිර වෙයි - අපේ ජීවිත..

තරඟයක් මැ යි අපේ ජීවිත
අරමුණක් වෙත ඇදෙන ගමනක
තියුණු වන විට අපේ තරඟය
තවත් නැති වෙයි නුඹට කාලය..

ලොවේ හසරක් දැනෙන දා සිට
ඊයේ වාගේම අදත්, තව හෙට
වැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙස
දුවමු අපි - සිතිජය දිහාවට...

එකෙක් පරදා දිනන දවසක
සව්දියට නැත අපට කාලය
උනුන් පහු කර සැතපුමක් ගිය තැන
හැරී බලමු අපි මග හැරුණු දේ ගැන...

කඳුළු රැඳවෙයි දෙනෙත් අද්දර
සොඳුරු මතක අපෙ රැඳුණු තැන්වල
සිතුම් නවතියි තවත් මොහොතක,
ඒත් තව නැත අපට කාලය!!!


සරසවියේ පෙම්වතියට

Tuesday, May 28, 2013



කන රිදෙන්න හෝන් ගහන
පාට පාට, ලොකු ලොකු කාර් වල
සයිලන්සර් පිහිදා ගෙන ඇවිත්
දාඩියට මුහුණේ ඇලුණු
කළු පාට - දුම් රොටු
දුඹුරු පාට - දුවිලි
සෝදා ගෙන,
පයිප්පයෙන් එන
මලකඩ වතුරෙන්,
තෙත මාත්තු කර
සායම ගිය
චීත්ත ගවුමේ
දිග ඇරුණු බෝරිච්චි අතින්,
ඉරුණු කෙලවර සඟවගෙන..

අව්වට තඹ වුණු
කිවුලට සේදුනු
කෙස් ගුලිය උණ්ඩි කර බැඳ
වරෙන් නුඹ,
හන්දියේ
අපේ ප්‍රේම යාත්‍රාව
ගාල් කරන තැනට..
වෙනදා වගේ ම
පෙම් මුල්ල අල්ල ගන්න
මට කලින් නුඹ'විත් හිටපන්
බස් නැවතුම් පොලට..

ආදරියේ..
අළු පැහැ මුහුණට
වත්සුණු මොකට ද?
රතු වුණු දෑසට
අංජන මොකටද?
පිච්ච රටා නැති වුණාට
තඹ පාට කෙස් වල,
තවමත් සුවඳයි
ඉස්සර වගේ ම..

අපි පොහොසත් වුණාම
මහපොළ ලැබෙන දාට
වරෙන් කැන්ටිමේ කෙලවර
පාළු මේසයක් ළඟට
අපේ ප්‍රේමය සමරන්න
අමෘතයට ටිකක් අඩු රස
තුනේ ප්ලේන්ටියක්
තොල ගාන්න..

අඹ ගහ යට බැංකුව උඩ
මගෙ පපුවට තුරුළු වෙලා
මුළු ලෝකෙම අමතක කර
අපිට අපි අමතක වෙන්න
නළලට නොවෙයි,
දෙතොලට හාදුවක් දෙන්න...




සඳ, නුඹ බැස යන්න...

Monday, April 22, 2013

තරු කැටවල තනි රකින්න
නෙක තරු මැද සඳක් වෙන්න
කළුවර රැය එළිය වෙන්න
රෑ අහසට නුඹ නැගෙන්න..

හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න
දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න
සංහිඳ ළඟ නතර වෙන්න
මල් පහන අරන් නිවාලන්න..

නුඹේ මතක මන්දිරයේ
එළිය දැනෙන පාළු පැලේ
අගුවක හෝ පිල්කඩයේ
බිම් අඟලක් මට සෑහේ!




සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය

Saturday, April 20, 2013

නුඹට වෛර කළ කඳුළ,
බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,
නුඹ වෙනුවෙන් වග උත්තර බඳින
මගේ නෙත් බොඳ කළා...

නුඹට වෛර කළ කේශ නාලිකා,
නුඹ දැක ගන්නට
නොනිත් ආශාවෙන් පෙළුණු
දෙඇස, ලෙයින් පිරවුවා..

නුඹ වෙනුවෙන් නික්මන්න
අකමැති වුණු ඉකිය,
නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම
මොහොතකට ඇද සිර කළා..

නුඹේ සුවඳට වෛර කළ නාසය,
ඒ සුවඳ යළි නො එන්නට,
ඇසෙහි පිරවුණු කඳුළු ගෙන
සංවේදක වසා දැමුවා..

නුඹේ හඬ අසන්නට රිසි ව
වට පිට බලන විට හිස,
නුඹේ හඬට වෛර කළ දෙකන්
තදින් අගුළු වැටුණා..

සර්වාංගය දෙපිළකට බෙදී
නුඹ නිසා ගැටෙන විට,
අන් මත නො ඉවසූ සිත
නුඹ වෙත ම සිත් ඇති ව
නුඹ වෙන අතක යනු දැක
හදේ දොරගුළු වසා දැමුවා!

වෙන් ව ගිය මිතුරාට

Tuesday, March 19, 2013

සහසක් සතන් සුව සදවන වරම් ලබා

පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා
පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා
කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා..

මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු
නිල් දිය දහර වී එක ගඟකට වැටුණු
සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු
ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු..

සසර සරන තුරු අප අතරේ ඉපදේවා
නුඹේ සිනා මුව මඩලේ දිදුලාවා
මින් මතු සසර මග අනතුරු නොම වේවා..
මෙතේ බුදුන් දැක නිවනෙන් සැනසේවා.

ප.ලි:
මේ පද පෙල, මියගිය වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනුවෙන් ගැයෙන ගීතයක් සඳහා සුදුසු ද? අඩුපාඩු සහ වෙනස් විය යුතු තැන් මොනවා ද කියා පුළුවන් නම් පහළින් කොමෙන්ටුවක් විදිහට යොදන්න.. 

දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)

Sunday, March 3, 2013

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.

නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ලබා දීමට සුදුසු ම පුද්ගලයා වන්නේ එහි කතුවරයා යි. එසේත් නැතිනම් පද රචකයා යි. සයිබරය තුළ ඔබ මොබ සරද්දී හමු වුණු තවත් එක් සුමධුර ගීයක් පිළිබඳව, එහි පද රචකයා විසින් ම තබන ලද සටහනකි මේ..

ගීතය : දුල් මන බැන්ද
ගායනය : ශානිකා මධුමාලි
පද රචනය : නාරද විජයසුරිය
සංගීතය : උදාර සමරවීර




රාගයෙන් තොර ප්‍රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්‍රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?

සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !

යොවුන් ප්‍රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්‍රේමය හරහා පමණි !

එහෙයින්ම අපි ප්‍රේමණීය ලෙස ඉඳුරන් සතපවමු ! ප්‍රේමයක් නොමැතිව ආශාව පමණක් ඉටු කර ගැනීමට යාම සම්බෝල නැතිව ඉඳි ආප්ප ගිල දැමීමකි !

අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රේමය පිලිබඳ ඉරණම විසඳීම දෙයාකාරය ! මන්ද යත් ආශාවන් සතපා ගත් පසු ඉතිරිවන්නේ හිස් බවක් නම් ප්‍රේමයක් අත් නොදකින පිරිමියා පලා යයි ;
ගැහැණියට එසේ යන්නට නොහැක .ඇය " කන්‍යා භාවය " නම් දඬුවමෙන් බැඳ තබා ඇත .

දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා

ලෝකය මවන ලද්දක් නම් , සර්වබලධාරියා අසාධාරණයක් කර ඇත ; මහා බ්‍රහ්මයා අව සිහියෙන් සිට ඇත ! එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට
යටත් කරයි ,

ප්‍රේමය සහ ආශාවන් සන්තර්පනය කර ගැනීම මානුෂික අවශ්‍යතාවයකි ; වැඩිහිටි සමාජයට එය උහුලන්නට බැරිය ! සංස්කෘතිය සහ සභ්‍යත්වය ඔසවා එයින් පහර දී සමාජය ඉදිරියේ තරුණ පෙළ මාණසිකව ඝාතනය කරති .
වරක් ලත් පහස නැවත නැවත ලැබීමේ ආශාව උපතේ සිටම ජීවීන්ට පොදු ධර්මතාවයකි ;
යටපත් කර ගන්නා තරමට පොළා පනින ආශාවන් අත්‍යන්තයෙන්ම ස්වභාවික බව පිළිගන්නට
මේ ධාර්මික සමාජය ඔබට ඉඩ නොදෙයි !අපි අපව රවටා ගනිමින් සිටිමු

මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ

අවසානයේ අසරණ වන්නේ ගැහැනියයි ; අපේ සමාජය මේ කතාව කියන්නට අපූරු වාග් මාලාවක් යොදා ගනී . "පිරිසිදු කම නැති කළා " " ගැහැනියක් බවට පත් වුණා "

ගනු දෙනුවේ අනෙක් පාර්ශ්වය වූ පිරිමියාට කිසිවක් සිදු වන්නේ නැත . ඔහුව නාවා ගෙට ගත හැකිය ! ගැහැණිය සියලු පව් කර ගසා ගත යුතුය ! ඇය සමාජයට මැසිවිලි කියයි
" මාව අනාථ කළා " ඇතැම් විට ඇය "කන්‍යා භාවයම " ආයුධයක් කර ගනී .
තමා විසින්ම පොළඹවා ගත් පිරිමියා වරද කරුවෙකු බවට පත් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ගනී ! ආදරණීය සම්භෝගය අවසන් කර නැගිටින විට ස්ත්‍රී දුෂකයෙක් බවට පත් වී හමාරය !
ගල් යුගයේ පවා නොතිබුණු වනචාරී සංකල්ප දේවත්වයෙන් සළකන සමාජයකට ඔහොම වෙලා මදිය !
ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !
ගැහැනියගේ පැත්තෙන් මේ වනාහී වටිනා පුජා භාණ්ඩයකි ! ලේ තැවරුණු රෙදි කඩ වනාහී පාරිශුද්ධ භාවයේ සංකේතයකි ! එහෙයින් ප්‍රේමයේ සැබෑ ප්‍රහර්ෂය විඳ ඇත්නම් විවාහ වන්නට බාධාවකි ; පිරිමියෙකුට ඕනෑ තරම් ජීවිතය විඳින්නට අවසර තිබේ .
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැතැයි ඔවුහු දනිති !

සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ ......... //

පෙම්වතා හැර යාමෙන් තනිවන තරුණිය , ප්‍රේමය අහිමිවීමේ වියෝ දුකට වඩා වැඩි භයානක ඉරණමකට මුහුණ දෙයි , ඈ විවාහ විය යුතුය . ඒ පිරිමියෙකු සමගය . ඔහුද මේ තිරිසන් සමාජයේ අංශුවකි . තමා අතීතයේ කෙතරම් ගැහැණුන් සමග යහන් ගත වූවත් තම මනාළිය කාන්යාවක් විය යුතුය . විවාහයට මුහුණ දෙන තරුණිය ප්‍රේමය දත යුතුය ! කන්යාවියක්ද විය යුතුය !
මධු සමය අවමංගල රාත්‍රියකි ,
අපේ රටවල යොවුන් ප්‍රේමය ඛේදවාචකයකි !
මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ

(ගණිකා නිවාස සහ කන්‍යා භාවය පිළිසකර කිරීමේ ශල්‍යාගාර වලට ඇඟිල්ල දිගු කිරීමට මේ සමාජයට අයිතියක් නැත )

නාරද විජයසුරිය 



උපුටා ගැනීම : https://www.facebook.com/kwijewardena1/posts/408560075903765

වෙන් වීම

Thursday, February 21, 2013



දෑත බිම ඔබා, පස්සට වාරු වී
ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ
නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම
සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම..


වක්කඩ ළඟ, දිය බොර කර නටාපු
තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි
තටු අකුලාගෙන,කඳුළු දරාගෙන,
මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි
ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම..


රතු රෝස මල් වෙනුවට දෑතේ,
සුදු අරලියා මල් පිපිලා
රොබරෝසියා මල් යහනා වෙනුවට
වතුසුදු මල් පාවඩ එළලා.
එරබදු ගස් අස, කොහෝ නාද නෑ
කණ කොක් හඬ දෙයි, සවන් උගුළුවා..


දෙතොල් අග, මුදු සිනා රැඳෙව් නුඹ,
කඳුළු විලක උල්පත වෙලා
මගුල් තුලාවට ගෙන ආ පිරුවට,
නුඹ යන මග පාවාඩ වෙලා
රන් කෙණ්ඩියෙ පැන් වෑහෙයි සොඳුරියේ,
අෂ්ටක හඬ නම් නොඑයි ගලා..


මිදුලේ කෙළවර
ගාඩිනියා ගස
කොළ එහි හැර දා,
සුදු මල් පළඳා
නුඹ' මළගම වෙනුවෙන්
සළුවක් ඇඳලා..



ප.ලි :

බොහොම කාලෙකින් අරුණැල්ල පැත්තේ වගේ ම, මුහුණු පොත පැත්තේ එන්නත් බැරි වුණේ විභාග කටයුතු නිසා, ටිකක් නෙවෙයි, බොහොම කාර්යය බහුල වෙලා හිටපු හින්දයි! කොහොම නමුත් අවසානයේ සුබ ආරංචියක් ගෙන එන්න පුළුවන් වුණා.

අපි මුහුණ දෙන විභාග බොහොමයක පළමු වාරයේ දී, බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය ලබා ගන්න බැරි වුණොත් දෙවන හෝ තෙවන වර උත්සාහ කරන්න හැකියාව තිබෙනවා. නමුත් සමහර අවස්ථා ලැබෙන්නේ ජීවිතයට ම එක වරයි.

රැංගෝගේ ජීවිතයේ දී එවැනි විභාග තුනකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. පළමුවැන්න 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය. දෙවැන්න සහ තෙවැන්න විදියට විශ්ව විද්‍යාලයේ පළමු වසරට අදාළ විභාග දෙක. අනාගතයේ වෘත්තීය ලෙස තෝරා ගන්නා ක්ෂේත්‍රය තීරණය කෙරෙන්නේ මේ විභාග දෙකෙහි ලකුණු මත.තමන් කැමති විෂයය ක්ෂේත්‍රය ඔස්සේ ඉගෙන ගන්න අවස්ථාව හිමි කර ගන්න නම්, අඩු තරමේ මුල් 75 අතරට පැමිණීම අවශ්‍යයි.

විභාගයට බොහොම සාර්ථකව මුහුණ දෙන්න වගේ ම, සැළකිය යුතු තරම් හොඳ තත්වයේ ප්‍රතිඵලයක් ලබා ගන්නත් රැංගෝට පුළුවන්කම ලැබුණා. ඒ අනුව විදුලි හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව හදාරන්න අවස්ථාව හිමි වුණා. ඒ වෙනුවෙන් උදව් උපකාර කළ හැම කෙනෙක්ට ම බොහොම ස්තුතියි!

හුණුවටයේ කතාව නැරඹුයෙමි.

Monday, January 28, 2013




හෙල ගැඹුරුයි
පුත නොබලන්

සෙලවෙන කොට
වැල් පාලම
දෑස බයෙන්
බිම නොබලන්

අපට පුතේ 
මගක් නැතේ
මේ මග මිස
යමන පුතේ 

දෙවියෝ බලයි
මුණ නුඹේ
නුඹව රකියි 
යමන් පුතේ




සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් වචන කිහිපයක් නොවන්නට මෙය විදේශීය බව කිසිවෙකුට නොසිතෙන තරම් ම ලාංකීය ය. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍යයේ එන 'වැල් පාලමේ ගීතය' නම් ගීතය ඒ බව නොදන්නා වුන්ගේ දැන ගැනීම පිණිස සිහිපත් කරමි. 

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබ, ගාල්ලේ 'Hall de Galle' ශාලාවේ වේදිකා ගත වුණු 'හුණුවටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය රස විඳීමේ භාග්‍යය මට ද හිමි විය. රසවින්දනයේ උච්ඡත ම අවස්ථාවට පැමිණ, මා ලද අත්දැකීම, බෙදා ගනු පිණිස, දවස ගෙවෙන්නට පළමු මෙසේ යුනිකෝඩ් කරමි.

යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා 
මගේ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගනියි නිරතුරු

ස්වර්ගෙට ගිය කළේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ..

හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු වුණු අතර, 1999 දී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකු යොදා ගනිමින් දෙවන වර නිර්මාණය විය. 1967 සිට 1999 දක්වා වසර 32ක් එක ම චරිත රඟ දැක්වූ නළු නිළියන්ට, තව දුරටත් එය සිදු කිරීම සැබවින් ම අසීරු කරුණක් වන්නට ඇත. හෙන්රි ජයසේනයන් විසින් ම 'හුණු වටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය කරන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳව, තෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් ඔහු දක්වන අදහසෙහි ඒ බව සඳහන් වෙයි.

මට නරඹන්නට අවකාශ ලැබුණේ මෙකී තෙවන නිෂ්පාදනය යි. පැරණි නළු නිළියන් අතුරින් තිදෙනෙක් පමණක් මෙහි රඟන අතර, සෙසු සියල්ලන් ම පාහේ අලුත් නළු නිළියන් ය. පෙර වෙනත් චරිත රඟ පෑ 'නිමල් ජයසිංහ' අද පොතේ ගුරු චරිතය රඟපායි. එදා ෂව්වාගේ චරිතය රඟපෑ 'චූලා කාරියවසම්' අදත් එම චරිතය ම රඟපායි. එදා නොන්ඩි සොල්දාදුවා ලෙස රඟපෑ 'විජිත සල්ගාදු' අදත් එම චරිතය ම වෙනත් නළුවෙකු(ලලිත් ජයකාන්ත) සමග රඟපායි.

කෙසේ නමුත් අද වෙද්දී එහි ප්‍රධාන නළු නිළි දෙපල ම ජීවතුන් අතර නැත. එදා හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් ඔපවත් වුණු අසඩක්ගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට නලීන් ප්‍රදීප් උඩුවෙල දරණ උත්සාහය සාර්ථක බව මගේ හැඟීමයි. එදා මානෙල් ජයසේන රඟ දැක්වූ ගෘෂාගේ චරිතයට අද පණ  පොවන්නේ රුවනි මනම්පේරියි. 
ප්‍රධාන කොටස් දෙකක් යටතේ දිවෙන මෙහි අංක 5කි. සිව්වෙනි අංකයේ දී හෙවත් විනිශ්චයකරු පිලිබඳ කතාවේ, පළමු අංකයේ දී සබයට පිවිසෙන අසඩක්, සමස්ත කතාව පුරා ම මතුවුණු සෙසු චරිත සියල්ල ම අභිබවා සිය නායකත්වය සටහන් කරන්නේ සිය රංගන කාලය පැයකටත් අඩුවෙන් ලබා ගනිමිනි. ඒ තරම් කෙටි කාලයකින්, නරඹන්නන් තුළ, ප්‍රධාන චරිතය වූ අසඩක් කෙරේ පහන් හැඟීමක් ඇති කිරීම සැබවින් ම දුෂ්කර කටයුත්තක් බව නොකිව මනා ය. ඒ සඳහා මස් වන සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවක් අදාළ රංගන ශිල්පියා සතු විය යුතු ය. හෙන්රි ජයසේනයන් සතුව  ඒ ප්‍රතිභාව තිබුණු බව අපි දනිමු. ක්ෂේත්‍රයේ හෙන්රි ජයසේනයන් තරම් ප්‍රවීනයෙක් නොවුනත්, නලින් ප්‍රදීප්ගේ රංගනය ද සැබවින් ම ප්‍රශංසනීය එකකි. 

හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.

ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති. 

නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි.  තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.

මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්‍රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි. 

වේදිකාව මත, හුණු වටයේ කතාව එසේ දිවෙද්දී වේදිකාව පිටුපස අසඩක් ඉදිරියේ වූ යුෂ්මතිය හෙවත් ගෘෂා, සැබෑ ජීවිතයේ දී, හෙන්රි ජයසේනයන්ගේ ආදරණීය බිරිඳ විය. අද ඔවුන් දෙදෙනා ම ජීවතුන් අතර නැත. නමුත් ඔවුනගේ රංගනයෙන් හැඩ වූ 'හුණු වටයේ කතාව' අපට දායාද වී ඇත. මේ සිය ආදරණිය ගෘෂා හෙවත් මානෙල් ජයසේන නම් ආදරවන්තියට, අසඩක් හෙවත් හෙන්රි ජයසේන නම් ආදරවන්තයා ලියු කවියකි. අවාසනාවකට මෙන් මෙය ලියවෙද්දී මානෙල් ජයසේන අප අතරින් සමුගෙන ගොසිනි.

අසඩක් ලෙස වෙස් ගත් මා
කොතෙක් නම් වෙලා බලා සිටියෙම් ද
වේදිකාවේ පසෙක සිට
ඔබේ විස්කම්
මගේ ගෘෂාවෙනි..

පා ඇඟිලි තුඩගින්
කඳු ප්‍රාන්තයට පිය නැඟූ ගමන්
කරේ හොවාගෙන
ළදරු මයිකල් කුමරුවන්
ඔබේ උණුසුම ඔහුට දුන් ඔබ
මුළු රටකට ම දුන්නා නොවේ ද
ඔබේ අභිරංගනයේ උණුසුම

මුළු දැයකට ම බෙදුවා නොවේ ද
ඔබේ දෑස, දෑත දෙපයේ
හුරුබුහුටි මහිමය!

තවමත් සිතින් බලා සිටිමි මම
මගේ ම ගෘෂවෙනි
ඔබේ ඒ
නො මියෙන මහා ප්‍රතිභා දෙස
ඔබේ ලලිත රුව දෙස

මට නම් 
දිවි ඇති තෙක් ම නොමියේ
ඔබේ ඒ මහා ප්‍රතිභා..

ඔබ නොලද්දේ ය 
පඬුරු - ඵලක - තිලිණ
ඔබේ මහා ප්‍රතිභාවට
මේ තාක් කල්...

මායිම් නොකළා ය ඔබ
කිසිවිටෙකත් 
ඒ සා පුද පඬුරු
නිරතුරුව ම ලද නිසා
මුළු මහත් දැයක ම 
ප්‍රසාද - ප්‍රණාම

ලද නිසා ඔබ
සුවහසක් ප්‍රේක්ෂක දනන්ගේ
උණුසුම් සෙනෙහස..

අත්වැල් බැඳ සිටිමු අපි
මගේ ගෘෂාවෙනි
දායාද පුදමින්
හෙළ කරලියේ 
අලුත් පරපුරකට..




ප.ලි: 
අද නාට්‍යය නරඹන්නට ගොස් සිටිය දී, එහි දී ම හමු වී, හරි හැටි මුහුණ වත් නොදැක, නිකමට කළ ඉල්ලීමකින්, නුඹට ලැබුණු නාට්‍යයේ විස්තර අඩංගු සමරු පොත මට දෙන්නට තරම් කාරුණික වුණු නාඳුනන මහත්මයාණෙනි. නුඹට බොහොම ස්තුතියි.

අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා...

Saturday, January 12, 2013

ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්‍රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් මේ පිලිබඳ නොලියා ම බැරි නිසයි කාලෙකට පස්සේ අරුණැල්ල දිහාවට ආවේ.

එක ම පාසලක, එක ම පන්තියක බොහෝ වෙලාවට ඉගෙනුම ලබන්නේ එක ම ගමක, එහෙම නැත්නම් එක ම නගරයක, එහෙමත් නැත්නම් එක ම දිස්ත්‍රික්කයක ළමයි. දුර පළාත් වලින් ඇවිත්, නගරයේ පාසලක ඉගෙන ගන්න අය නැතිවා ම නෙවෙයි. නමුත් බහුතරයක් එහෙම නෑ.

පාසල් කාලයේ දී අපට හමු වෙන මිත්‍රයන්, පහ වසරේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන අදියර තුනේ දී කොටස් වශයෙන් අපෙන් වෙන් වෙලා යනවා. අපි කාටත් පාසල හැර යන මොහොතේ දුකක් දැනුණත්, ඔවුන්ගේ වෙන් වීම ඒ තරම් ම නොදැනෙන්නේ ඔවුන්ගෙන් බහුතරයක් පසු කාලිනවත් නිරන්තරයෙන් මුණ ගැසෙන නිසා. 

නමුත් විශ්ව විද්‍යාලයකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මුළු රට ම නියෝජනය වන පරිදියි තෝරා ගැනෙන්නේ. බොහොම වෙලාවට එක් දිස්ත්‍රික්කයකින්, එක් පීඨයකට තෝරා ගැනෙන ශිෂ්‍ය සංඛ්‍යාව උපරිමව අදාළ කණ්ඩායමේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10 % ඉක්මවන්නේ නැහැ. (නමුත් සමහර අවස්ථා වලදී නම් මෙය වෙනස් වෙනවා.)

කොහොම නමුත් අපට විශ්ව විද්‍යාලයේ දී හමු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරය, වෙනත් දිස්ත්‍රික්ක වල සිට පැමිණි අය කියන කරුණ මා සම්බන්ධව නම් නිවැරදියි. වසර හතරක කාලයක් එකට ගත කරලා, දුක සැප බෙදාගෙන ආයෙත් සුපුරුදු පරිදි තම තමන්ගේ ගම් බිම් බලා යන්න අපි හැමෝට ම සිදු වෙනවා. විභාග, කුප්පි, Assignments, Tutorials, One to One, Practicals, Report Writing අතරේ ගෙවෙන මේ කාලය ජීවිතයේ වටිනා ම කාල වලින් එකක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ අතරේ විවිධ වයස්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ගනුදෙනු කරන්නත්, ඔවුන් එක්ක සුහදව කටයුතු කරන්නත් අපට සිදු වෙනවා.



වරින් වර ක්‍රියාත්මක වුණු වර්ජන හේතුවෙන්, අනෙක් වසර වලට තිබුණු දේශන කාල සටහන් සංශෝධනය කළ නිසා, අපි කැම්පස් එකට එද්දී සහ මේ වන තුරු ම වැඩි කාලයක් ගත කරන්න සිදු වුනේ අවසන් වසරේ අයියලා අක්කලා එක්ක. සමහර කාල වල දී මුළු කැම්පස් එකට ම හිටියේ අපේ 200ත්, අවසන් වසරේ 200ත් විතාරයෝ. කැම්පස් එකට ආගන්තුක අපිට, කැම්පස් එකෙන් යන්න ඔන්න මෙන්න හිටපු ඒ අයියලා අක්කලාගෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තිබුණා. අපි විශ්ව විද්‍යාලයට ඇවිත් ගත වුණු වසරකට ටිකක් වැඩි ඒ කාල සීමාව තුළ ඔවුන් හා අප අතර ගොඩ නැගුණේ පුදුමාකාර බැඳීමක්. අධ්‍යයන කටයුතුවල දී වගේ ම විවිධ බාහිර කටයුතු හා ක්‍රීඩා වලදී ඒ බැඳීම තවත් ශක්තිමත් වුණා.

නමුත් ඔවුන්ට සමු දෙන්න කාලය ඇවිත්. අද ජනවාරි 12 වෙනිදා. හෙට හවස් වෙද්දී ඔවුන් පීඨයෙන් පිට වී යෑමට නියමිතයි. බොහොම දුර පළාත් වල ඉඳලා ආපු ඔවුන්ගෙන් බොහොම දෙනෙක් ආයෙත් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ආසියාවේ ආශ්චර්යයට පිං සිද්ධ වෙන්න බොහොමයක් දෙනා විදේශ ගත වේවි. තවත් අය ලබන රැකියා, අපි ඉගෙන ගන්නා ක්ෂේත්‍රයේ නොවෙන නිසා වැඩ බිම් වලදී හමු වීමේ ප්‍රවණතාවත් බොහොම අඩුයි. ඒ නිසා සමහර අය දැක ගන්න ලැබෙන අවසන් වාරය හෙට වෙන්න පුළුවන්.

සිව් වසරක සරසවි ජීවිතය තුළ, තමන්ගේ කණ්ඩායම හැර අඩු ම ගණනේ තවත් ශිෂ්‍ය කණ්ඩායම් 6ක් එක්ක ගනුදෙනු කරන්න අපි හැමෝට ම සිදු වෙනවා. ඒ අතරින් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් අපෙන් සමු අරගෙන නික්ම යන අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ අතරින් පළමුවැන්න. ඒ නිසා සමහර විට මේ වගේ හැඟීමක් දැනෙනවා ඇති. ඒ කොහොම වුණත්, අපිට වඩා බොහොම කල් මේ බිමේ විස්කම් කරපු, විශ්ව විද්‍යාලය වෙනුවෙන් බොහොම දේ කළ ඔවුන් නැති අඩුව පුරවන්න සමහර විට අපිට කවදාවත් බැරි වෙයි. නමුත් ඒ දේ කරන්න උත්සාහ කළ යුතුයි කියලා හැඟීමක් තදින් දැනෙනවා.

තවත් අවුරුදු තුනකින් අපිත් විශ්ව විද්‍යාලය හැර යා යුතුයි නේ ද කියලා කල්පනා වෙද්දී, සාංකාවක් වගේ හැඟීමක් දැනෙනවා. මේ කවිය උපුටා ගත්තේ අපේ ම අක්කා කෙනෙක්ගේ සටහනකින්.


අඹ ගහ, තාමත් හොයනවද අපිව
බංකුව අදත් අපි ගැන ඇහුවලු නේද
එතකොට අර හොස්ටල් එකේ
එක පෙළට තිබ්බ මේස ටික එහෙම
වෙන කාට හරි අයිති ඇති නේද
සිවිල් එක ගාව ලොකු ගහ යට
මිකැනිකල් බෙන්ඩ් එක ලඟ
තාමත් කට්ටිය මුණගැහෙනවැති
උදේට අපි ලෙක්චර්ස් යන පාරෙ
තාමත් මැයි මල් වැටෙනවා ඇති
වේලිච්ච කොල අහුලනවද තව අයත්?

ලෙක්චර්ස් අස්සෙ අපි තරම් හොඳට
කවුරුත් චිට් පාස් කරාවිද මන්දා
ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් වල ගහපු හොර සයින්
තාමත් මතකයි අද වගේ මට
රෑ තිස්සෙ නිදිමරන් ගොඩ දාපු ටියුට්
මෙච්චර ගොඩක් තිබුනද මන්දා

ලයිබ්‍රරියෙ තුන්වෙනි මේසෙට
දැන් නම් වෙන අය ඇවිත් ඇති
කැන්ටින් එකේ තාමත්
කුප්පි එහෙමත් යනවත් ඇති
කැම්පස් එකේ කොට තාප්ප උඩ
පෝළිමට දැනුත් වෙන අය ඉඳන් ඇති
කොල්ලොන්ගෙ හොස්ටල් එකේ
සිංදු සද්දෙ දෝංකාර දෙනව ඇති
ෆැකල්ටිය ඇතුළෙ මේ දැනුත්
කැන්ටින් එකේ පුටු මේස වලට
ඉඳහිට අපිවත් මතක් වෙනව ඇති

Bucket, Social ,Going Down අස්සෙ
අවුරුදු හතරක් ගෙවුනද මන්ද
මතක ඇහිඳිනව මං නම් තාම
අද ඊයෙ වගෙ, 
දයාබර රුහුණ....




විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, එහෙමත් නැත්නම් ඉංජිනේරු ශිෂ්‍යයා කියන භුමිකාවේ සිට ඉංජිනේරුවා කියන භූමිකාව දක්වා සංක්‍රමණය වන 10th එකේ එහෙමත් නැත්නම් දහ වන ශිෂ්‍ය කණ්ඩායමේ අයියලා අක්කලා හැම දෙනාට ම ප්‍රීතිමත් සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.
 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading