පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා
පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා
කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා..
මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු
නිල් දිය දහර වී එක ගඟකට වැටුණු
සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු
ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු..
සසර සරන තුරු අප අතරේ ඉපදේවා
නුඹේ සිනා මුව මඩලේ දිදුලාවා
මින් මතු සසර මග අනතුරු නොම වේවා..
මෙතේ බුදුන් දැක නිවනෙන් සැනසේවා.
ප.ලි:
මේ පද පෙල, මියගිය වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනුවෙන් ගැයෙන ගීතයක් සඳහා සුදුසු ද? අඩුපාඩු සහ වෙනස් විය යුතු තැන් මොනවා ද කියා පුළුවන් නම් පහළින් කොමෙන්ටුවක් විදිහට යොදන්න..
කවි ගැන අඩුපාඩු කියන්න මම නොදනමි.ඒ කෙසේ වෙතත් සංවේදි වෙන්ව යාමකි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අය්යත් ඉතින් මගේ කවිවල සමහර තැන් ලස්සනට එඩිට් කරලා දීලා තියෙනවනේ.ඒක නිසා පුංචි අදහසක් විතරක් කියන්නම්,
ReplyDeleteපළමුවෙනි කවියේ නම් හදන්න ඕනෑ යමක් පේන්නෙ නැහැ.දෙවෙනි කවියෙ අග පදයෙ නෙතු අග කඳුලක් රැන්දු..කියන එකෙන් මුල පද තුනේ ගලා යෑමට හානියක් වෙලා වගේ දැනෙනවා.ඒ ඔයා කියලා තියෙන අදහසම වෙන විදියකට කියන්න පුළුවන් වුණොත් වඩාත් හොද වේවි.නැත්නම් මුල් පද තුනට අසාධාරණයක් කළා වගෙයි.මං හිතන්නෙ ඒක වෙලා තියෙන්නෙ රැන්දූ කියන වචනය නිසා.මුල පද තුනේ වගේ ණු අකුරෙන් ඉවර වුණොත් ඒක හරියාවි.
ඊළගට අන්තිම කවියෙ දිදුලාවා කියන පදය නිකම් ටිකක් අව්‍යක්තයි වගේ.ඒකට දමන්න පුළුවන් වෙන වචනයක් ගැන පොඩ්ඩක් හිතන්නකෝ.නැතත් කමක් නැහැ.එහෙම වුණොත් වඩාත් හොදයි කියලයි හිතෙන්නේ.එතනත් ශබ්දයේ අඩුවක් වගේ.අනිත් පද වේවා කියන ශබ්දයෙන් ඉවර වෙලා තියෙද්දි මේක ඒ විදියට ඉවර නොවී තිබීම වෙන්න පුළුවන්.
තව පොඩි දෙයක්.අන්තිම කවියෙ මුල පදයෙ අප අතරේ කියන එක අප'තර කියලා වෙනස් කළෝතින් විරිත බිදෙන එකක් නැහැ...
..ඒ වගේම මේ සියල්ල අදහස් පමණයි.අය්යා කැමති විදියකට කවිය එඩිට් කරන්න.මෙහෙම වුණෝතින් වඩාත් හොද වෙයි කියලා හිතුණ අදහස් ටික තමයි ලියුවේ!
..ඒත් අඩුපාඩු වගේම කවියේ වැඩිපුරම දැනුනු තැන් ටික ගැනත් කියන්න එපායෑ.මට වැඩිපුරම දැනුනේ දෙවෙනි කවියේ මුල පද දෙක.ඒ ටික හරිම අපූරුයි..//මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු-නිල් දිය දහර වී එක ගඟකට වැටුණු//... හරිම ලස්සනයි ඒ පද දෙක.හිත පිරිමැදෙන විදියෙ යමක් ඒ පදවල තියෙනවා...
..සමස්තයක් විදියට ගීතයකට හොදට ගැළපෙනවා කියලා හිතෙනවා.වොයිස් කෙරුණොත් බ්ලොග් එකේ දමන්න ඕනෑ අපටත් අහන්න..
කවි පද ටික නම් හොඳයි සංවේදීයි. අඩුපාඩුවක් කියන්න තරම් දැනීමක් මට නෑ සහෝදරයා. නමුත් කවි ටික හොඳයි කියන හැඟීම තියෙනවා
ReplyDeleteනොදැන ආවා සේම, නොදැනම යන්නට වීම ජීවිතයයි !
ReplyDeleteපහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණී
ReplyDeleteපියුමක් සේ ම පිපිලා ලොව සුවඳ දුණී
කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණී
සැඟවී ගියේ අයි නොකියම මලනුවනී.
මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු
නිල් දිය දහර වී එක ගඟකට වැටුණු
සිනහව නුඹ ම විය තොල් පෙති අග පිපුණු
ඒ සිනහව ම ඇයි නෙතු අග කඳුලක් රැඳුණු..
සසර සරන තුරු අප අතරම යළි ඉපදෙන්නයි
නුඹේ සිනා මුව සඳ මඩලක් සේ දිදුලන්නයි
මින් මතු සසර මග අනතුරු නොම වෙන්නයි.
මෙතේ බුදුන් දැක ඔබ නිවනෙන් සැනසෙන්නයි
ඔන්න ඔහොමයි