Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සඳ දිය වී සුනිල දියේ - අහස යටින් ඉරක් පිපේ

Saturday, November 8, 2014

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ මට මග නොහැරේ.
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ..

මල් පිබිදී හදගිස්සේ
කොඳ සිතුවිලි ලිහී වැටේ
පියුම් පිපී සිතුම් විලේ
මුවරද මුසු පවන් රොදේ
සුවඳ දැනේ ආදරේ...

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ..

වන වදුලේ තුරු අතරේ
කඳු අතරේ නිම්න දිගේ
ගං තීරේ රැළි අතරේ
සිත් පත්ළේ නිසන්සලේ..
සැගව තිබේ ආදරේ..

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ නුඹේ මග නොහැරේ
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ...

ගායනය : නෙත්මි දසනායක / උමේෂ් දිසානායක
පද රචනය : වර්ෂා රණසිංහ / නජාත් අක්රම්
තනුව : සුසිත චාමිකර
සංගීතය : යහජ කල්හාර

ශ්‍රව්‍ය සංකලනය : ධනුෂ්ක ලියනගේ 

නිරුපණය : අමන්දා අබේසුරිය / නජාත් අක්රම්
රූප රචනය සහ අධ්‍යක්ෂණය : සුරම්‍ය අමල්
කැමරාකරණය සහ සංස්කරණය : තේජාන් ආරියරත්න





දහම් සදහම් ගැටුම

Monday, June 16, 2014

වසන්තය අග - ගිම්හානයට පෙර
පිපුණු කුසුම් වල වස මුසු ව ඇත
මකරන්ද සුළඟේ එතෙන විට
සුවැති මද නල නුඹ නසනු ඇත

සබඳ, මතක ද අඳ කුඹුර ළඟ
මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස
අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය
ඇගේ දෑස මිස,
නම මතක නැත...
ඇනිකට් එක ළඟ මාළු නටන තැන
සිනාසුණු තන්ගමනි මතක ද?
පුංචි රතු මොට්ටුව
තියා නළලත
පිච්ච මල් වැල් හිස පැළඳු ඇය..

දහම් සදහම් ගැටෙන විට
නෑකම් අමතක ද නුඹට
එක පත බෙදා ගත් මිනිසුන්
එදිරි වී එයි අවි අමෝරාගෙන..
වැව් බැම්ම උඩ පන්දු කෙළින තැන
රාඝවන් නැත මොහොමඩ් ද අද නැත
පාළු කතරකි සිනා හඬ නැති
දවන දුහුවිලි සුළඟපමණ ය..

සුදු වැලි අතුල මාවත කෙළවර
රතු ලේ තැවරුණු පාට මැකී ගිය
හිසෙන් ගිලිහුණු පිච්ච මලක් ඇත
පොසොන් සඳ මැකී
රාමලාන් සඳ නැගෙන විට
බිම බලා ගත් පලු ගසක් යට....

වියැළුණු සිතක්

Wednesday, May 14, 2014

හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති
කිසිවෙකුත් තව - පය ගසා නැති
දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති
පතොක් ගසුත් පණ ගසනවා සකි

කටුක ගිරි හිස - වලාකුළු ඇති
සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති
විටින් විට වැහි - වැටෙනවා ඇති
හැඟුම් ළපටි දළු - දමනවා ඇති

පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති
පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇති
විෂ පතොක් කටු - ඇනුණු සිදුරු ඇති
බිඳුණු සිහිනවල - කැබලි ද එහි ඇති

නියගෙටත් නොසිඳෙන - උල්පතක් ඇති
උණුසුම් කඳුලැලි - ඉන් උනනවා ඇති
මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති



සඳ - හිරු - තරු

Wednesday, April 30, 2014

සඳ නැගෙන විට - සඳේ තනියට
සිය ගණන් තරු මැවෙනවා 
නිල් ගුවන් තෙර - අඳුරු මුලුවල
තරු යුවළ පෙම් කරනවා 

හිරු නැගෙන විට - සඳට පෙම් කළ 
තරු එකින් එක මැකෙනවා 
තරු නැතත් ලොව - එළිය වනු දැක 
නිරාමිස සුව විඳිනවා 

සෙනගක තනි වී - තරු මතක් වී 
හිරු ද කඳුලැලි හෙලනවා 
හෙලන සුසුමන් - නගන කඳුලැල් 
අඳුරු වලාවල රැඳෙනවා 

තවත් මොහොතක - හිරු ද ඉඳහිට 
සඳට රහසින් නැගෙනවා 
සඳුත් නොදැන ම - බියපත් තරු රල 
හිරු නොදැක ම මැකෙනවා 

සඳුට රහසේ - හිරුට පෙම් කළ 
පහන් තරුවක් තිබෙනවා 
හිරුගේ තනියට - තවම ඉඳ හිට 
අලුයම් අහසේ නැගෙනවා..

අහවර පෙමක්

Tuesday, March 11, 2014

උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග

ඕ නොදන්නී ය - කවියක් වන වග
මිහිරි මතකය - එක් සොඳුරු යුගයක
ප්‍රේමය මළ තැන - හර බැර එක් කර
හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ

සයුර හඬන තැන - අඳුරු වලා මැද
රිදී ඉරක් විය - මැවෙන මැකී යන
ගල් දෙබොක්කාවක - රළ මැරෙන තැන
වැටකෙයියා කටු ඇණී - මියැදුණේ ය අපේ ප්‍රේමය

එහෙන් මෙහෙන් එකිනෙක අහුලා ගෙන
දුහුවිලි පිහිදා අත්ලෙහි ගුලි කල
පිළිවෙළක් නැති හැඟුම් පොදි ඇත
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය


දුම්රියේ දී ඇය ව දුටුවෙමි!

Thursday, January 9, 2014

දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!

විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි  නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..

මෙතෙක් කල් මා නුදුටු  රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇයරුව
දිගු රැයක සිත හඬවන ඒ රුව

කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී  - මට ඉගැන්වූ ඇය..

නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...


'
මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.

"
නිවැරදි කල යුතු  ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..

"
හිටපිය ඔතැනඔහොම !"
හඬ නගයි මා හෘද සාක්ෂිය.

බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...

නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."

වියළි තන පුඩුවබිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා  ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට.. 
 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading