Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

මගේ පැමිණීම සහ ඔබේ නොපැමිණීම - කෙටි කතාව

Saturday, June 30, 2012

සත් සමුදුරෙන් එහා දුර රටක හැදිලා වැඩිලා ආයෙමත් තමන්ගේ මවු රට හොයාගෙන ආපු ඔයා, උපන් බිමෙන් සැතපුම් ගාණක් ඈතට ඇවිත් ගාල්ලේ ම නතර වෙන්න හේතුව සමහර විට අපි දෙන්නා හමු විය යුතුයි කියලා දෛවයේ ලියවී තිබීම වෙන්න ඇති.

මුලින් ම ඔයාව දැකපු දවසේ ඔයාගේ මුහුණේ තිබුණු ඒ ලස්සන හිනාව දිහා බලාගෙන කොයි තරම් වෙලා හිටියත් ඇති වෙන එකක් නැහැ කියලා මට හිතුණේ එවෙලාවේ ම යි. කළු පාට ෆර්දාවෙන් වට වෙලා සුදු පාටින් හඳක් වගේ බැබලෙන ඔයාගේ සුන්දර වතේ තිබෙන ඒ පුදුමාකාර සුන්දරත්වය දැක්කේ මං විතරක් නොවුණට, ඒ සුන්දර වත මගේ කර ගන්න පෙරුම් පිරූ පළමුවැන්නා මම වෙන්න ඇති. ඔයාගේ යාළුවෝ කියපු දේවල් වලින් මට හිතුණේ එහෙමයි.

වචනයකට දෙකකට වඩා හුවමාරු කර නොගත්තත්, දෙතුන් වරකට වඩා හමු නොවුණත් ඒ වාර කිහිපයේ ඇති වුණු බැඳීම මහා විශාල එකක් විදිහට මට දැනුණා. මගේ හිතේ ඇති වුණු හැගීම ම ඔයාගේ හිතෙත් ඇති වෙලා ද කියලා දැන ගන්න තිබුණු උවමනාව හින්දා හවස් වරුවේ තිබුණු වැඩ සේරම අතැරලා දාලා ඔයා හමු වෙන්න ම කියලා කරාපිටිය දිහාවට ආවේ, හිතේ තෙරපෙන, හිතට වද දෙන සිතුවිලි කන්ද ඔයා දිහාවට තල්ලු කරලා දාලා හිත සැහැල්ලු කර ගන්න හිතාගෙන.

"අයියා මොකද මෙහේ කරන්නේ? අද කැම්පස් නැතෙයි??"


ඔයාගේ ඒ සුන්දර මුහුණ දිහා බලාගෙන කල්පනා ලෝකයක කිමිදෙමින් හිටිය මං පියවි ලෝකයට ආවේ තිවංකයාගේ හඬින්. මගේ හීන ලෝකය බිඳ වැටීමත් එක්ක තරහවක සේයාවක් හිතේ ඇති වෙලා මැකිලා ගියේ ඒ මුහුණ දැක්කේ කාලෙකට පස්සේ නිසා. තිවංක කියන්නේ අපේ මාමා කෙනෙක්ගේ පුතා. නෑ කම ටිකක් දුර එකක් වුණාට තිවංකයගෙයි මගෙයි තිබුණේ නෑ කමට එහා යාලු කමක්. කරාපිටිය හන්දියේ රෑ කඩයක අයිතිකාරයෝ තිවංකලා. ඕන වෙලාවක කරාපිටියේ බස් නැවතුම ළඟ වට දෙක තුනක් කරකෙද්දී තිවංකයා කොහෙන් හරි මතු වෙනවා. 


"අද හවස වැඩ නෑ මල්ලි. යාලුවෙක් හම්බ වෙන්න ආවා පොඩි වැඩ වගයකට.."


"එහෙම ද? කෑල්ලක් ද?"


"පිස්සු ද මල්ලි.. අපිට මොන කෑලි ද? අපි තාම තනිකඩ මිනිස්සු නේ.."


ආපු කාරණේ තිවංකයට කියන්න බැරි කමක් නොතිබුණාට ඔයාට කෑල්ල කියලා කියපු හින්දා ද මන්දා, මොකද්දෝ තරහවක් හිතට ඇවිත් තිබුණේ.

"පොඩ්ඩක් හිටපන් මලයෝ " කියලා ටික වෙලාවකට තිවංකයාව මග ඇරපු මම, අතේ තිබුණු ෆෝන් එකේ ඔයාගේ පින්තුරය දිහා ආයෙත් පාරක් බලලා සාක්කුවේ දමා ගත්තා.

දොළහයි තිහට අපේ දිවා අහාර විවේකය දෙද්දී කැම්පස් එකෙන් එළියට ආපු මම පැය හතරකටත් වඩා කරාපිටියට වෙලා කාලය කාපු බව වැටහුණේ බයිසිකලයේ පාලන මුහුණතේ වුණු ඔරලෝසුව දැකීමෙන්. මේ තරම් වෙලා මම කළේ මොනවා ද?  හපුගල ඉඳලා කරාපිටියට එන්න විනාඩි 10ක් වත් ගත වුණේ නැති බව හොඳට මතකයි. ඊට පස්සේ, කොයි මොහොතක හෝ ඔයා එළියට ඒවි කියන බලාපොරොත්තුව ඇතිව, වෛද්‍ය පීඨයේ ගේට්ටුවට ටිකක් එහායින් බයිසිකලය නවත්තගෙන බලාගෙන හිටියා. දිවා විවේකයේ බොහෝ දෙනෙක් එළියට ආවත් ඔයා ආවේ නැති නිසා, අඩු ගානේ දේශන ඉවර වෙලා යද්දී වත් දකින්න බලාපොරොත්තුවෙන් ගෙදර නොයා නැවතුණා. කම්මැලි කම යන්න කියලා බුකියෙන් සොයා ගත්ත ඔයාගේ ඡායාරුප ටික දහස් වන වතාවටත් බලන්න කියලා ආයෙත් පටන් ගත්තා. කලින් කොයි තරම් බලලා තිබුණත් හැම එකක ම තිබුණේ පළමු වර බලද්දී දැනෙන තරම් නැවුම් බවක්. පැය තුනකටත් වඩා කාලයක් මම ඒ විදියට කාලය ගෙවලා තිබුණා කියලා දැනෙද්දී, මගේ මුහුණ ලජ්ජාවෙන් රතු වෙනවා, පසුපස බලන කන්නාඩියෙන් මට පෙනුණා. 


"කොහොමද මල්ලි දැන් පාඩම් වැඩ? ලබන අවුරුද්දේ විභාගේ නේ ද?"


ඒ බව තිවංකයාට පෙනේවි කියලා බය හිතුණු නිසා යි, උත්තරයක්‌ බලාපොරොත්තු නොවුණු, පිළිතුරු දැනගෙන හිටපු ප්‍රශ්නයක් අහලා, වෙන කතාවක් ඇදලා ගන්න කල්පනා කළේ.


දවස් දහ හතරකට පස්සේ ඔයාව දකින්න එනවා කියලා, ඔයාව මගේ කර ගන්න මට වැඩිපුර ම උදවු කරන මදනායකයට වත් නොකිව්වේ, මගේ පැමිණීම ඔයා වෙනුවෙන් ම වුණු නිසා.

ටිකෙන් ටික හතර පහු වෙද්දීත් ඔයා ආවේ නැති හින්දා මදනයකට මෙසේජ් එකක් දාලා අහනවා හැර මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. 


"මචං. අද ආව ද? මොකද වෙන්නේ??"

පණිවුඩය යැව්වට පස්සේ, පිළිතුරු එන්න ගත වුණු මිනිත්තු දෙකක කාලය මට දැනුනේ පැය ගණනක් වගේ. අන්තිමේ දී බලාපොරොත්තු වුණු කෙටි පණිවුඩය ආවා..

"එයා අද ආවේ නෑ මචං. එයාලට මගුල් ගෙදරක් තියෙනවා ලු. ලබන සතියේ ඉඳලා ඒවි.."

බයිසිකලයේ සුදු පාට මුහුණතේ වුණු කළු පාට පැල්ලමක් ඇඟිල්ලෙන් පිහිදා දැමූ මම ආපහු ගෙදර එන්න පිටත් වුණා.හිතට ආපු හැගීම දුකක් ද? තරහවක් ද? කලකිරීමක් ද කියලා මට තේරුමක් තිබුණේ නැහැ.ඒත් එද්දී ගියර් පහ ම මාරු කරන්න මීටර් 100 ක දුරක් වත් ධාවනය නොකළ බව නම් මට මතක තිබුණා..


ප.ලි:     මෙය හිතලුවක් පමණි.. නම්, ගම්, සිද්ධීන් සියල්ල මනඃකල්පිත ය..

වාස්තවික ලෝකය, විද්‍යාත්මක ක්‍රමය සහ ආත්මාර්ථකාමිත්වය.. (අපේ දැනුම ලිපි අංක 2)

Thursday, June 28, 2012


අප අවට පවතී යයි සිතන ලෝකය (හෙවත් වාස්තවික ලෝකය) සැබවින් ම පවතී ද යන්න (යතාර්ථය ද යන්න) සිතා බැලීමට වටිනා කරුණකි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරනුයේ ඒ පිළිබඳව යි.




මේ (වාතවික) ලෝකයේ පවතී යැයි හැඟෙන යම් යම් දෑ, අපගේ පංචෙන්ද්‍රිය භාවිත කරමින් අපි දැන ගන්නෙමු. උදාහරණයක් ලෙස,මට මේ ලියන ලද අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. ඔබගේ තිරයේ දෝෂයක් නොවේ නම් ඔබට ද නිසැකව ම ඒ අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. එහි ගැටළුවක් නැත. නමුත් මා කළු පැහැය යැයි හඳුන්වන දෙය සහ ඔබ කළු පැහැය යැයි හඳුන්වන දෙය එක ම වේ ද? සරලව අපි මෙසේ සිතමු. උපතේ පටන් මගේ දෑසේ යම් ගැටළුවක් නිසා ව්‍යවහාරයේ පවතින කළු පැහැය රතු පැහැයෙනුත්, රතු පැහැය නිල් පැහැයෙනුත්, නිල් පැහැය කළු පැහැයෙනුත් පෙනෙයි යැයි සිතමු. එවිට මා කළු පැහැය ලෙස හඳුන්වන්නේ රතු පැහැය යි. රතු පැහැය ලෙස හඳුන්වන්නේ නිල් පැහැය යි. නිල් පැහැය ලෙස හඳුන්වන්නේ කළු පැහැය යි. 

ඔබ මේ අකුරු දැක ඒවා කළු පැහැති යැයි කිව හැකි ය. නමුත් මට ඒවා පෙනෙන්නේ ඔබ හඳුන්වන ආකාරයට නිල් පැහැයෙනි. එසේ වුවත්, අදාල පාට මා හඳුන්වන්නේ කළු ලෙස ය. එහි දී ප්‍රවාදය එක ම වී ඇත. හේතුව අප ජීවත් වන සංස්කෘතිය එක ම වීම යි. නමුත් මගේ වාස්තවික ලෝකය සහ ඔබේ වාස්තවික ලෝකය වෙනස් ඒවා දෙකකි. ඒ අනුව පැහැදිලි විය යුත්තේ යතාර්ථය ලෙස දෙයක් නැති බව සහ පවතී යැයි අප සිතා සිටින වාස්තවික ලෝකය (සංවේදනය වන ලෝකය) අපේ විඥ්ඥානය විසින් කරනු ලැබූ නිර්මාණයක් පමණක් බවත් ය. එනම්, වාස්තවික ලෝකය යනු අපගේ විඥ්ඥානය පවතින තුරු පවතින, අප මිය යද්දී මිය යන, ජීවත් වන වුන් හා රැඳී සිටින මායාවක් බවයි. බටහිර විද්‍යාව මගින් කෙරෙන්නේ මේ මායාව යතාර්ථයක් බව අවබෝධ කරවමින් ඊට අදාල ප්‍රවාද ගෙතීමයි. මේ ප්‍රවාද අපේ සිතට කාවදින තරම අනුව යතාර්ථය යන සංකල්පය අප තුළ පවතී ද නැති ද යන්න තීරණය වේ..

සරලව  (බටහිර) විද්‍යාව යනු පංචෙන්ද්‍රියයන් මගින් දැන ගන්නා දේ විද්‍යාත්මක ක්‍රමය භාවිත කරමින් වඩාත් නිවැරදි ද යි දැන ගැනීම ලෙස විග්‍රහ කළ හැකි ය. මෙහි යම් යම් තැන සඳහා ඌන පූර්ණයන් යෙදී තව තවත් හැඩ වීම විවිධ අර්ථ දැක්වීම් යටතේ සිදු කෙරෙයි. නමුත් මුලික වශයෙන් සංවේදන ආකාරයෙන් දැන ගන්නා දේ පිළිබඳව කෙරෙන අධ්‍යයනයක් ලෙස මෙය සැළකීමේ වරදක් නොපෙනෙයි. 

මෙහි දී විද්‍යාත්මක ක්‍රමය ලෙස ඉදිරිපත් වන්නේ යම් අයෙක්, සිය සංවේදනයක් හරහා දැන ගනු ලබන යම් දෙයක් පිළිබඳව කෙරෙන විග්‍රහයකි. උදාහරණයක් ලෙස, දහවල් කාලයේ එළිමහනට ගිය විට මට උණුසුමක් දැනෙයි. මා ඒ පිළිබඳව දැනුමක් නිර්මාණය කරන්නෙක් නම්, මගේ කාර්යය වනුයේ ඊට අදාල හේතු විග්‍රහ කරමින් ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් ගෙතීමයි. නමුත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවේ.. විග්‍රහ කිරීමේ පහසුව සඳහා කාලය යන වචනය යොදා ගන්නා අතර, එහි අදහස ඔබ තුළ ඒ පිළිබඳව ඇති සාමාන්‍ය අදහස ම වේ.(කාල ඒකක සම්බන්ධ නොවේ.) පළමුවෙන් ම, එළිමහන සහ දහවල් කාලය යනු කුමක්දැයි අර්ථ දක්විය යුතු ය. ඊළඟට උණුසුම යන සංවේදනය කවරක් දැයි අර්ථ දක්වා ගත යුතු ය. 

මෙහි දී කළ යුතු උපකල්පනයක් වන්නේ, මා දකින දේ අනෙක් අයත් දකින බවත්, මට දැනෙන දේ අනෙක් අයටත් දැනෙන බවත් ය. එනම් මා එළිමහන ලෙස දකින දෙය, ඒ ආකාරයෙන් ම ලෝක වාසි සියලු දෙනා දකිනා බව උපකල්පනය කළ යුතු ය. ඒ සඳහා ආලෝකය යන්න මා අත් විඳින ආකාරය අන් සියලු දෙනා අත් විඳින ආකාරයට සමාන බව උපකල්පනය කිරීමට සිදු වේ.

තව ද යම් 'වෙලාවක් (ලෙස අප හඳුන්වන දෙයක්) ' දහවල් කාලය ලෙස මා අර්ථ දක්වනවා නම්,  අන් අය ද ඒ වෙලාව ඒ ආකාරයට ම අර්ථ දක්වා ගත යුතු ය. දැන් දවල් යයි මා කීවොත්, විරුද්ධ අයට ඊට විරුද්ධ විය හැකි ය යන ප්‍රවාදය මත මෙය සාපේක්ෂව පහසු විය හැකි ය.නමුත් මා දහවල් ලෙස හඳුන්වන කාලයේ අන් අයට හැඟෙන්නේ මට හැඟෙන දේ ම නොවන්නේ නම් මෙය ගැටළුවක් විය හැකි ය. ඒ අනුව මේ ප්‍රවාදය ගෙතීම ද එතරම් පහසු නැති බව පෙනී යනු අත. දවසක් ලෙස අප හඳුන්වන කාලය තුළ, දහවල් කාලය යන්න මා අත්දකිනා ලෙස ම අන් සියලු දෙනා ම අත් දකිනා බව මට උපකල්පනය කිරීමට සිදු වෙයි.

අවසානයේ මට උණුසුම ලෙස දැනෙන සංවේදනය එලෙසින් ම අදාල කාලයේ, අදාල තැනට යන සෙසු අයට ද දැනෙන බව ස්ථිර කර ගත යුතු ය. මෙහි දී කිරීමට අපහසු ම දෙය මෙයයි. කෙනෙක්ට යම් සංවේදනයක් දැනෙන ආකාරය, තවත් කෙනෙක්ට එය දැනෙන ආකාරයට සමාන ද? නැතිද යන වග තීරණය කිරීමට බෙහෙවින් ම අසීරු ය. උදාහරණයක් ලෙස, දුක ලෙස හඳුන්වන හැගීම, කෙනෙක්ට දැනුනු විට ඔහු හෝ ඇය හඬා වැටෙන්නට පුළුවන. නැතහොත් කලහකාරී ලෙස හැසිරීමට පුළුවන. නැතිනම් ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නට පුළුවන. මෙය එක් එක් පුද්ගලයා අදාල හැගීමට මුහුණ දෙන ආකාරය වෙනස් වීම මිසක්, හැගෙන ආකාරයේ වෙනසක් නොවේ යයි අයෙකුට තර්ක කළ හැකි ය. නමුත් එක් එක් පුද්ගලයා වෙනස් ආකාර වලින් හැසිරීම, එක ම හැගීම එක ම ආකාරයට දැනුනු එක් එක් අයගෙන් බලාපොරොත්තු විය නොහැක. එ නිසා හැගීම් දැනෙන ආකාරය වෙනස් විය හැකි අතර, මේ ප්‍රවාදය ගෙතීමේ දී සියලු දෙනා සම්බන්ධව උණුසුම යන හැගීමෙහි අර්ථ දැක්වීම එක ම බව උපකල්පනය කිරීමට සිදු වේ.

දැන් අදාල පරීක්ෂණය දෙසට හැරෙමු. මෙහි දී අප ප්‍රවාදය ගොතන්නේ ප්‍රධාන උපකල්පන තුනක් මත සිට ය. යම් හෙයකින් එක් උපකල්පනයක් හෝ බිඳ වැටුනේ නම්, සමස්ත ප්‍රවාදය ම බිඳ වැටෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිතර ප්‍රති නිර්මාණය වන්නේ ඒ හේතුව නිසා විය හැකි ය. මොහොතකට අදාල උපකල්පන තුන දෙස බලමු. 

මේ උපකල්පන තුනෙහි ප්‍රධාන ලක්ෂණයක් වන බව පෙනී යනු ඇත. එනම්, එ උපකල්පන තුන සඳහා ම යොදා ගෙන ඇත්තේ, මා දකින දෙය ඇත්තට ම පවතිනවා ය යන්න සහ ඒ දේවල් අන් අයත් එලෙසින් ම විඳිනවා ය යන්න යි. එනම් මම යන පුද්ගලයා වටා, හෙවත් මගේ විඥ්ඥානය වටා අදාල ප්‍රවාදය ගෙතී ඇත. එනම් ඒ ප්‍රවාදයෙහි ඇත්තේ මමත්වය යි. හෙවත් ආත්මාර්ථකාමීත්වය යි.

මා දකින දේ හරි ය. මට සියලු දේ හරියට පෙනිය යුතු ය. මගෙන් පිට යතාර්ථයක් නැත යන කරුණු සියල්ල එයින් කියවේ. අප සලකන ලද සුළු උදාහරණය තුළ ද ඒ ලක්ෂණ මැනවින් පිළිබිඹු විය. මෙවැනි ප්‍රවාද දහස් ගණනකින් සකස් වුණු බටහිර විද්‍යාව තුළ ආත්මාර්ථකාමීත්වය ගැබ් වන්නේ මේ ලෙසිනි. එවැනි සංස්කෘතියක් තුළ ආත්මාර්ථකාමී වනවා මිස, අන්‍යයන් ගැන සිතීමක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.

අපේ සංස්කෘතිය තුළ මෙවැනි ලක්ෂණ පැවතී නැත. පවතී ඇතත් ඒ අල්ප වශයෙනි. මිනිසා යනු තවත් එක් සත්වයෙක් සහ පරිසරයේ ම කොටසක් විනා එහි හිමිකරු නොවන බව අවබෝධ කර ගැනීම තිබුනේ අප සංස්කෘතියේ මිස මමත්වයෙන් ලෝකය දෙස බලන බටහිර සංස්කෘතිය (සහ විද්‍යාව) තුළ නොවේ.ඒ නිසා සමස්ත ලෝකය (මනුෂ්‍යයින්, සත්වයින් සහ සියලු පරිසර පද්ධති) දෙස බැලීමේ දී සාපේක්ෂව අපේ සංස්කෘතිය සහ අපේ දැනුම පරිසරයට සහ ලෝකයට වඩාත් හිතකර එකක් බව කිව හැකි ය. 

අසල්වැසියාට ප්‍රේම කිරීම හෙවත් බණ්ඩි ගුරාගේ ඛේදාන්තය

Sunday, June 24, 2012




අතේ එකෙකි
කරේ එකෙකි
බණ්ඩි ගුරා එක්ක තුනකි
නළඟන සේ ඇය,
පසු පස්සෙනි..

ශී ශී අනේ ඒ සී මදි
මේක ඇතුලේ හරි රස්නෙයි
තව මොනවද ඇය කියවයි
බණ්ඩි ගුරා පවන් සලයි..

වැඩිමහල්ලා ලෙඩ පාට ය
ආලි මෑලි ගතිය ඇති ය
දෑස ඔහුගේ, ඇගේ මෙන් ය
නාසය නම් ගුරුගේ වැන්න..

බාලයා නම් දඟ පාට ය
දෑස, ඇගේ ලෙස ම නිල් ය
පාටින් නම් බොහෝ සුදු ය
බණ්ඩි ගුරා ගුරා වගේ නැති ය..

බටහිරට එහා ගිය අපේ දැනුම - ලිපි පෙළක ආරම්භය

Tuesday, June 19, 2012





කවුරුන් පිළි ගත්තත් නොගත්තත්, අද ලෝකය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතී. බටහිර දැනුම මත පදනම් ව කෙරෙන ඊනියා සංවර්ධනය ක්‍රියාවලිය නිසා දිනෙන් දින සම්පත් විනාශ වෙමින් පෘථිවියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල වෙයි. එසේ වීමට නම් අප භාවිත කරන දැනුම නිවැරදි සහ භාවිත කළ යුතු දැනුම නොවිය යුතු ය. මිනිසා යනු පරිසරයේ එක් කොටසක් විනා එහි හිමිකරු නොවේ. ඒ බව අප අවබෝධ කර ගත යුතු ය. මෙම රටාව වෙනස් විය යුතු ය. එසේ වීමට නම් බටහිර දැනුම උඩු යටිකුරු වන ආකාරයේ වෙනත් දැනුමක් මගින් එය ප්‍රතිස්ථාපනය (replace) විය යුතු ය. එම දැනුම සිංහල බෞද්ධ දැනුම මත පදනම් වූවක් කරවා ගැනීම සඳහා දියත් කෙරෙන මහාචාර්ය නලින් ද සිල්වා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නම් සංකල්පය සහ එයින් කෙරෙන යම් යම් පැහැදිලි කිරීම මා අවබෝධ කර ගත් ආකාරය මත පදනම් ව සරල ව  පැහැදිලි කිරීම සඳහා මේ ලිපි පෙල ලියැවේ..


අප යම් දෙයක් පිළිබඳව දන්නවා යනු ඒ පිළිබඳව යම් ප්‍රවාදයක් නැතිනම් කතාවක් අප නිර්මාණය කරගෙන ඇති බව යි.. උදාහරණයක් ලෙස ඔබ දැන් පරිඝනකය ඉදිරිපිට ට වී මේ සටහන කියවනවා විය හැකි ය. ඔබ වාඩි වී සිටින්නේ පුටුවක් මත යැයි සිතමු. ඔබ 'පුටුව පිළිබඳව දන්නවා' යනු, ලී කකුල් හතරක් මත තවත් ලැල්ලක් යොදා, හේත්තු වන්නට තවත් කොටසක් සවි කර ඇති දෙය පුටුව යැයි කතාවක් යමෙකු නිර්මාණය කර ඒ දැනුම ඔබට ලබා දී ඇති බවයි. ඒ කතාව අසා නොතිබෙන්නට ඒ පුටුවක් යැයි ඔබට අවබෝධ නොවන්නට පුළුවන්. මෙහි දී භාෂාව වැදගත් නොවේ. වැදගත් වන්නේ සංකල්පය යි.

බොහෝ විට මෙලෙස නිර්මාණය කරන ලද කතාව වැරදි වීමට හැකියාවක් ඇත. එවිට වඩාත් නිවැරදි වූ කතාවක් මගින් අදාල සංකල්පය ප්‍රතිස්ථාපනය කිරීමට සිදු වේ. උදාහරණයක් ලෙස කරකැවෙන පුටුවක් අප මුලින් කියූ කතාවට නොගැළපේ. එසේ නම් ඒ කතාව වැරදි එකකි. ඒ නිසා එය වෙනත් කතාවක් මගින් ප්‍රතිස්ථාපනය කළ යුතු ය. දැනුම යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් මිස සොයා ගත් දෙයක් නොවන්නේ මේ ආකාරයට ය. මේ දැනුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි.

කෙටියෙන් සහ සරලව කියන්නේ නම් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හරහා නිර්මාණය වූ දැනුමක් බටහිරයන් සතු වන අතර, සිංහල බෞද්ධ සංස්කෘතිය හරහා නිර්මාණය වූ දැනුමක් අප සතුව ඇත. මෙහිදී සැලකිය යුතු වන්නේ, මේ දැනුම නිර්මාණය කිරීම සිදු වූ සංස්කෘතිය හැඳින්වීමට අදාල නම් යෙදීම සහ අදාල ආගම් අතර සෘජු සම්බන්ධයක් නැති බව යි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් බුදු දහම නො ඇදහුවත් ඔවුන් සතු වූ දැනුම ගැනෙන්නේ ද සිංහල බෞද්ධ දැනුමෙහි කොටසක් වශයෙනි. සිංහල බෞද්ධ සංස්කෘතිය මගින් අප ලබා ගත දැනුමට අමතරව වේදය, සිද්ධ සහ යුනානි දැනුම ආදී වශයෙන් තවත් රටවල් සහ ආගම් වල සංස්කෘතීන් හා බැඳුනු දැනුම පවතී. මේ ලිපි පෙළ පුරා කතා බහ කෙරෙන අපේ දැනුම යනු සිංහල බෞද්ධ දැනුමයි. 

අප පිළි ගත්තත් නැතත් අද ලෝකය බටහිර ආධිපත්‍යයට නතු ව පවතී. එය දේශපාලනිකව පමණක් නොව දැනුම මගින් ද සිදු කරන ලද්දකි. අද සෑම පාසලක ම සහ විශ්ව විද්‍යාලයක ම පාහේ ඉගැන්වෙන්නේ බටහිර දැනුමයි. අප කුඩා කළ පටන් ම මනසට කාවද්දා ඇත්තේ බටහිර දැනුම නිවැරදි බව සහ එය එක ම නිවැරදි දැනුම බවයි. අතරින් පතර අපේ දැනුම ගැන අසන්නට ලැබුණත් එය පිළි නොගන්නට හෝ එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට බටහිර දැනුම යොදා ගන්නට අප පෙළඹී ඇත්තේ එබැවිනි. මේ පෙළඹවීම නොවන්නට හුදෙක් දේශපාලනික වශයෙන් පමණක් අප පාලනය කරන්නට හෝ බලපෑම් කරන්නට බටහිරයන්ට ඉඩ නොලැබිය හැකි ය.

සිංහල බෞද්ධ සංස්කෘතිය වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයක් සහිත එකකි. අපේ රටේ කර්මාන්ත සඳහා යකඩ තලද්දී බටහිරයන් නිරුවතින් දඩයම් කරමින් ජීවත් වූ බව ජන වහරේ පවතී. එය සත්‍ය වුවත් නැතත්, අතීතයේ අප සතුව සුවිශාල දැනුම් සම්භාරයක් තිබී ඇත. ඒ කාලයේ බටහිරයන් සතුව එවැන්නක් තිබී හෝ නොතිබී අද බටහිර දැනුම ලෝකය පුරා පැතිරී යන තරම් විශාලව වැඩී ඇත. දැනුම යනු නිර්මාණය වන දෙයක් බව කලින් සඳහන් කළෙමි. අපට වඩා බොහෝ දුර්වල ව පවතී ඔවුනගේ දැනුම අද මේ තරම් විශාලව වැඩී ඇත්නම්, අප සතු වූ දැනුම ඔස්සේ යමින් නව ප්‍රවාද නිර්මානය කළේ නම් අද අපේ දැනුම බටහිරට වඩා ඉදිරියෙන් පිහිටන්නට ඉඩ තිබිණි. මෙහි සැළකිය යුතු දෙයක් ඇත. අපේ රටේ මහා විශාල වැව් හැදුවේ අද ජලාශ සෑදීමේ දී තරම් පරිසර විනාශයක් නොකර ය. සුවිසල් දාගැබ් තැනුවේ අද ගොඩනැගිලි ඉදි කරද්දී මෙන් පරිසරය විනාශ නොකර ය. අපේ සංස්කෘතිය බැඳී පැවතුනේ පරිසරයත් සමග ය.

සමහර විට අපේ දැනුම මගින් පරිඝනක නො තැනෙන්නට ඉඩ තිබිණි. නමුත් ඊට එහා ගිය නිර්මාණ කෙරෙන්නට ඉඩ තිබිණි. රෝද සවි කළ කරත්තයක් හදා ගන්නට බටහිරයන් නොහැකිව තිබූ අවධියේ රාවණා දඬු මොණරයෙන් ගොස් සීතා පැහැරගෙන ආ බව අපේ ජන ප්‍රවාදයේ සඳහන් වේ. තව ද එය භාරතයේ ලියැවුණු රාමායනයේ සඳහන් වෙයි. කියන කරන සෑම දෙයක් ම පිළි ගන්නට බටහිර පොත් පත් වල සඳහන් සාක්ෂි, සාධක ඉල්ලන්නන්ට මෙය විහිළුවක් විය හැකි ය. එහෙත් එයට එක් හේතුවක් විය හැකි යැයි මට සිතේ. බොහෝ දුරට රාවණා දඬු මොණරයෙන් ගිය කාලයේ බටහිරයන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණය සහ ලේඛනය දුර්වල වී පවතින්නට ඉඩ ඇත. ඒ හේතුව නිසා එක්කෝ අදාල සිද්ධිය බටහිරට සැල නොවන්නට ඇත. නැතිනම් ඒ පිළිබඳව තේරුම් ගැනීමට හෝ ලියා තැබීමට ඔවුනට නොතේරුණා විය හැකි ය. භාරතයේ සහ ලංකාවේ ඒ පිලිබඳ සඳහන් පවතීමටත් බටහිරට නොලැබීමටත් හේතුව බොහෝ විට එය විය හැකි ය..

බටහිර දැනුමේ දෝෂ නිසා සහ නිවැරදි සංවිධානාත්මක බවින් තොර වීම නිසා අද පරිසරය බොහෝ දුරට විනාශ වී ඇත. නමුත් අපේ දැනුම වර්ධනය වී නම් මෙවැනි විනාශයක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. සංවර්ධනය යනු පරිසරය සහ තමාට වැදගත් නොවේ යැයි හිතෙන දේ විනාශ කරමින් ආත්මාර්ථකාමීව සිදු කෙරෙන වැඩ පිළිවෙලක් නොවිය යුතු ය. පරිසරය සමග එහි ම කොටසක් ලෙස සිටිමින් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම නිවැරදි පැවැත්මයි.

භාෂාව හැසිරවීමේ දී හැකි තාක් සරලව සහ සෘජුව අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ ගතිමි. මෙය බටහිර අදහස් වලින් හිස පුරවා ගත් කෙහෙතලාට නොතේරෙන්නට පුළුවන. ඇනෝ අදහස් බොහොමයක් වැටෙන්නට පුළුවන.අරුණැල්ලේ හිට්ස් අඩු වීමට ද පුළුවන. නමුත් මේ ලිපි පෙල ඉදිරියට ද ලියවෙනු ඇත..


විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සහ ඇනෝගේ සිත් රිදුම

Sunday, June 10, 2012


මෑතක දී මා, රත්තා හෙවත් රත්ගමයා සමග සතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් ශාලාවේ ගත කළ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත. එසේ නම් ඒ අවධියේ දින පතා සිදු වූ දෑ අරුණැල්ල බ්ලොගයේ සංක්ෂිප්තව පළ කළ බව ද නිසැකව ම මතක තිබිය යුතු ය. ඒ ලිපි පෙළෙහි දෙවන සහ තෙවන ලිපි වල යම් තැනක සඳහන් කළ මයිනන් යන වචනය නිසා එක්තරා ඇනෝ කෙනෙක්ට රිදී තිබිණි. එක ම කොමෙන්ටුව ලිපි දෙකෙහි ම යෙදීම නිසා ඒ බව හොඳින් ම පෙනෙයි. මේ සටහන ලියැවෙන්නේ එකී ඇනෝට මඩ ගැසීමට වත්, මගේ වරද පිළි ගැනීමට වත්, එය ප්‍රතික්ෂේප කිරීමට වත් නොව එකී යෙදුම එසේ යොදන්නට හේතු වුණු දෑ පිලිබඳ සඳහන් කිරීමට යි. (මට පහර දීමේ ගැටළුවක් නැත. නමුත් අදාල කොමෙන්ටුවෙහි මගේ පාසලට සහ නිවැසියන්ට යම් ආකාරයක අපහාසයක් සිදු කෙරෙන ආකාරයේ දෑ සඳහන් වී ඇති බවට මට ඇති වූ හැගීම විසින් මෙම පොස්ටුව මෙසේ යෙදීමට පොළඹවන ලදී.) මෙය කියවන ඔබේ වගකීම වන්නේ මා කළ ප්‍රකාශය එසේ කිරීම වැරදි ද නැති ද යන වග තීරණය කිරීමයි.

මානවයා පමණක් නොව වෙනත් ජීවින් ද, ජීවත් වීමේ දී යම් සැකැස්මක් අනුව ජීවත් වීමට කාලයත් සමග හුරු වී ඇත. මානවයා සැලකීමේ දී, සෙසු සතුනට වඩා විධිමත් වූ, සැකැස්මක් ගොඩනගා ගෙන එය සංස්කෘතිය ලෙස නම් කරගෙන ඇත. ලෝකයේ විවිධාකාර රටවල් වලට අනුරූපව සහ විවිධ සමාජ රටා වලට අනුරූපව එක් එක් ආකාර වලින් යුතු සංස්කෘතික ලක්ෂණ දැකිය හැකි වෙයි. යම් යම් සමාජ ස්ථරවල සහ සංස්කෘතීන් වල ලක්ෂණ අවශෝෂණය කර ගැනීම නිසා, සමහර සංස්කෘතීන් වල, වෙනත් සංස්කෘතීන් වල ලක්ෂණ ද දැකිය හැකි වෙයි. පොදුවේ ගත් කළ, අප විසින් සලකනු ලබන සෑම ක්ෂුද්‍ර ප්‍රමාණයේ සමාජ කොටසක ම පාහේ උප සංස්කෘතියක් දැකිය හැකි අතර, එකී සංස්කෘතිය, එහි මව් සංස්කෘතියෙන් ව්‍යුත්පන්න වූ එකකි. අදාල සංස්කෘතික ලක්ෂණ වෙනස් වන නිසා බොහෝ විට උප සංස්කෘතීන් තුල සන්නිවේදනය සඳහා යෙදෙන්නා වූ භාෂාව ද මුල් භාෂාවේ ව්‍යුත්පන්නයකි. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව මවු සංස්කෘතිය වන උප සංස්කෘතික ඒකක රැසක් දැකිය හැකි ය. ජන වර්ගයෙන් ජන වර්ගයට, ආගමෙන් ආගමට, පලාතෙන් පලාතට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පමණක් නොව ගමෙන් ගමට ද වෙන් වෙන් වූ උප සංස්කෘතික ලක්ෂණ දැකිය හැකි ය. ඒවායේ භාවිත වන භාෂාව ද එකිනෙකට වෙනස් වෙයි. 

කුඩා දරුවන් අතර භාවිත වන භාෂාව වැඩුණු අය අතර භාවිත වන භාෂාවට බොහෝ සෙයින් වෙනස් ය. තරුණ කොටස් අතර භාවිත වන භාෂාව යනු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ භාෂාව නොවේ. විශ්ව විද්‍යාල උප සංස්කෘතිය යනු මෙරට බොහෝ අයට ප්‍රශ්නයක් වූ එකකි. එහි භාවිත වන භාෂාව එයින් පිටත යෙදෙන භාෂාවට සමාන වුවත්, යම් යම් වෙනස්කම් සහ වෙනස් යෙදුම් සහිත එකකි. 

අපේ ඇනෝ තුමා සිය අදහසේ සඳහන්  කළ පරිදි ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන් 1998 දී පිට වූ අයෙකි. එනම් අදාළ උප සංස්කෘතිය පිලිබඳ මනා වැටහීමක් ඇති අයෙකි. එවැන්නෙකුට, මෙවැනි ගැටළුවක් ඇති වීම මට නම් පුදුම එළවන සුළු එකකි. නමුත්, ඔහුගේ අදහස ම ඇති වී, කොමෙන්ටුවක් නොයොදා ගිය තවත් අය සිටිය හැකි නිසා, මෙසේ කරුණු දක්වමි.

විශ්ව විද්‍යාලය යනු ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබා දීම සහ නව දේ සොයා ගැනීම/සමීක්ෂණ (Researches) වෙනුවෙන් වූ ආයතනයකි. අධ්‍යයනය(academic) ට අදාල දෑ සිදු කිරීම එහි ප්‍රධාන කර්තව්‍යය (Major Objective) වෙයි. එකී කර්තව්‍යයේ යෙදෙන්නන් හෙවත් අධ්‍යයන කාර්ය මණ්ඩලය බහුතර සේවකයන් (major staff) ලෙස හැඳින්වීමේ වරදක් නැතැයි සිතමි. එසේ නම් ඉතිරිය (අනධ්‍යන කාර්යමණ්ඩලය) සුළුතර සේවකයන්(minor staff) ලෙස (සුළු සේවකයන් නොවේ) හැඳින්වීමේ වරදක් මට නම් නොපෙනෙයි. අදාල වැඩ වර්ජනය සිදු කළේ අනධ්‍යන කාර්ය මණ්ඩලය නිසා, එය minor staff හි වර්ජනයක් ලෙස හැඳින්වීමේ වරදක් ද නොදකිමි. (මේ කරුණු වල යම් වරදක් දකින්නේ නම් ඒවා පෙන්වා දීම මහත් ගෞරවයෙන් සළකමි.)

මා පෙර සඳහන් කළ පරිදි ම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළ භාවිත වන භාෂාව ද සාමාන්‍ය ව්‍යවහාරයෙන් යම් යම් අපගමනයන් දක්වයි. බොහෝ පාඨමාලාවන් සංඛ්‍යාවක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වුනත්, ඒවා ඉගෙන ගන්නට එන බහුතරයක් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලබා පැමිණියවුන් වන නිසා අදාල අධ්‍යයන කටයුතු වල දී සහ ඉන් බැහැර දී යෙදෙන ඉංග්‍රීසි වචන සාමාන්‍ය ව්‍යවහාරයේ දී තමන්ගේ කර ගැනීම වෙනුවෙන් සිංහල ඌරුවට සකස් කර ගැනීම සහ කෙටි කිරීම බොහෝ විට සිදු වේ. ප්‍රොෆෙසර් හෙවත් මහාචාර්ය වරයා ප්‍රොපා ද, ඉංජිනේරුවා (ඉංජා) ද, මෙඩිකල් ස්ටුඩන්ට් හෙවත් වෛද්‍ය ශිෂ්‍යයා මෙඩ්ඩා ද, කලා ශිෂ්‍යයා ආටා සහ කලා ශිෂ්‍යයාව ආටිය වන්නේ ද එහි ප්‍රථිපලයක් ලෙස ය. මේ ආදී වශයෙන් විශ්ව විද්‍යාලය තුළ යෙදෙන වෙනස් වූ වචන සංඛ්‍යාව තරමක් විශාල ය. 

මේ තත්වය තුළ මයිනර් ස්ටාෆ් එක මයිනන් වීම වැලැක්විය නොහැක්කකි. මෙහි දී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ අදාල වචන යෙදීමේ දී කිසිසේත් ම අදාල පුද්ගලයන්ට අපහාස කිරීම අරමුණු කර නොගැනීමයි. සිය පහසුව වෙනුවෙන් ඒ වචන යෙදුවත් කිසිම වෙලාවක එකී යෙදුමකට හෝ අදාළ පුද්ගලයන්ට සමච්චල් කිරීමක් අදාල සංස්කෘතිය තුළ දක්නට නැත. වසර හතරක් විශ්ව විද්‍යාලයේ ගත කළ අපේ ඇනෝතුමා, අලයෙකු නොවුනේ නම් ඒ පිලිබඳ දැන සිටිය යුතු ය. (මෙහි අලයා යන්න සෑදී ඇත්තේ alone යන්නෙනි (මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට අනුව). මෙය යෙදුවේ ද, අපහාස කිරීමේ අරමුණකින් නම් නොවේ!)

විවිධ උප සංස්කෘතීන් හි යෙදෙන වචන වෙනස් වීම සහ එක ම වචනයට සංස්කෘතීන් කිහිපයක වෙනස් අර්ථ තිබීම නිසා ගැටළු ඇති විය හැකි ය. ඇහැක් විදියට කනක් අඳින්න යැයි උපදෙස් දුන් විට කන වෙනුවට ඇසක් ඇඳීම සිදු වන්නේ එකී අන්තර් උප සංස්කෘතික අනවබෝධය නිසාවෙනි. මේ ඇති වූ ගැටලුව ඇති වුයේ ද එහි ම ප්‍රතිඵලයක් ලෙසට බව මගේ හැගීමයි. 

ඒ ලිපිය ලිවීමේ දී මා අතින් වරදක් සිදු වී ඇත. විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුල යෙදෙන වචන බ්ලොගය ලිවීමේදී යොදා ගැනීම නොකළ යුත්තකි. එතරම් නොසිතා මවිසින් කළ දේ ඇනෝතුමාගේ සිත් රිදුමට හේතු වී ඇති බව හැගෙයි. ඒ පිළිබඳව මගේ කනගාටුව පල කරමි. මෙයින් මතු ඒ වරද නොකර සිටීමට උත්සාහ දරන අතර අත්වැරැද්දකින් එවැන්නක් සිදු වුවහොත් සමාව භජනය කරන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටිමි!


අනිත්‍යය, මල සහ සමීකරණය

Thursday, June 7, 2012

"කුසුමක් නම්
පිපී,
සුවඳ විහිදා,
පර ව යා යුතුමැයි.."

නැත නැත..
අද තාක්ෂනය 
බොහෝ දියුණු ය...
තොපේ ඔය අනිත්‍යය 
අපේ අලුත් නිර්දේශයේ නැත..

දරුවෙනි බලව..
අපේ දැනුම ඉහල ය
විද්‍යාව අතැඹුලකි මට
වර..
සුත්‍ර ගත කරමු අපි මල..

පුදුමයකි,
කැපී ගියේය
සුළු වී,
දෙපස වූ සුවඳ..


කවුළුවෙන් එපිට වසන්තය

Sunday, June 3, 2012

කාමරය පුරා දෑස් ඔබ මොබ දුවන්නට විය..

තැන් තැන් වල
අවුස්සා දැමූ 
කඩදාසි ගොඩවල් ය...
තවත් තැනෙක
ගොඩ ගැසුණු
කිලිටි රෙදි තොගයකි..
දාස් (Daas) පොත මත
දුවිලි බැඳී ඇත..
වසා නොදැමූ ජනේලයේ
මකුළු දැල මත
කෘමී ශේෂ රැසකි..

හෙමින් සීරුවේ කවුළුව වෙතට ලං වුනෙමි..

වසන්තයේ පිපි
සුන්දර කුසුම්
තවමත් විකසිත ය..
අතුපතර විහිදූ
මැයි ගස
කොළ නොපෙනෙන තරම් ම
රතු පැහැතිය..

කවුළුවෙන් එපිට වසන්තයේ මා කොටසක් නොවන නිසා,

වසා දැමුවෙමි ජනේලය
මහා හඬින්..
පියනට හසු වුණු
මකුළුවා
යන්තමින්
අඬුවක් සොලවනු
දුටුවෙමි!!



 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading