අවුරුදු ගණනාවක් පුරාවට,එහෙමත් නැත්නම් ජීවිත කාලය පුරාවට ගොඩ නැගුණු මතකයන්, හැම දේ ම මාසයක් දෙකක් ඇතුලත අමතක කරලා, ජීවිතේ අලුතින් ම පටන් ගන්න එක ලේසි නැහැ. නැති වී ගිය සම්බන්ධතා නිසා බිඳ වැටුණු මානසික තත්වය ගොඩ ගන්න තවත් ඒ වගේ ම සම්බන්ධතා බොහොමයක් අවශ්‍ය වෙනවා. ඒත් එහෙම වෙලා තියෙන වෙලාවක හුදෙකලා වෙන්න සිදු වුනොත්? එහෙම වුණොත් ඒ මතකයන් නිසා පිස්සු නොහැදී බේරෙන්න ලැබෙනවා නම් වාසනාවක්.
ආදරය කරන
කෙනෙක් ආදරයෙන් පරදින එක ජීවිතය නැති කර ගන්න තරම් දෙයක් නෙවෙයි. ඒත්, දන්න කියන
කාලේ ඉඳලා ම ආශ්‍රය කරලා, හිතා ගන්න බැරි තරම් ලං වෙලා, ඒ තරම් ම, නැත්නම් ඊටත්
වඩා ආදරය කරපු දෙන්නෙක්ට තමන්ගේ වැරද්දක් නැතිව, සමාජයේ යම් යම් සම්මතයන් නිසා වෙන් වෙන්න සිද්ධ වෙනවා නම්, එතන
දී හිත හදා ගන්න විදියක් තියෙනවා ද? ඊළඟ ආත්මයේ දී වත් අපි දෙන්නට එකතු වෙන්න
ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වෙන් වෙමු කියලා ඔයා කියද්දී, මම ඊළඟ ආත්මයක් ගැන
විශ්වාස කරන්නේ නැති බව සමහර විට ඔයාට අමතක වෙන්න ඇති.
කැම්පස් එකේ
නිවාඩුවත් එක්ක ම ගෙදරට වෙලා තනියෙන් ඉන්නේ නැතුව, පේරාදෙණියේ ආවේ පිස්සු නොහැදී
ඉන්න කියලා කියන එකේ වරදක් නැහැ.. ඇත්තට ම මම ආවේ ඒ මතකයන් අමතක කරන්න.සැරින් සැරේ
ඔයා මට කතා කරන්න උත්සාහ කළත්, මම පිළිතුරු නොදුන්නේ ඔයාගෙන් ඈත් වෙන්න හිතාගෙන මේ
ආපු ගමන ඵල රහිත එකක් කර ගන්න ඕන නැති නිසාමයි. පිළිගන්න අකමැති වුණත්, ආයෙමත් ගමේ ගියාම ඔයාව දකිද්දී ඒ අමතක කරපු මතකයන් හැම එකක් ම මතක් වෙන බව මම හොඳින්
ම දැනගෙන හිටියා.
වසන්තයේ අගදී
ත් පේරාදෙණිය බොහොම සුන්දරයි. කහ පාට ට, රෝස
පාට ට රොබරෝසියා මල නොපිපුනාට රතු ම රතු පාටට මහා විශාල මැයි ගස් පිරී ඉතිරිලා
යන්න තරම් පිපුණු මැයි මල්, මුළු පේරාදෙණිය ම ලස්සන කරනවා. සැරින් සැරේ හමන සිසිල්
සුළං රැල්ලට පාට පාට මල් පෙති බොහොම සීරුවට පාවෙලා ඇවිත් ආදරෙන් පොළොව වැළඳ
ගන්නවා. හරියට බොහොම කාලයක් වෙන් වෙලා හිටපු ආදරවන්තියක් තමන්ගේ ප්‍රියයා හමු
වෙනවා වගේ..
අක්බාර් පාලම උඩට
වෙලා පහළින් පෙනෙන ආදර වීදිය දිහා බලාගෙන ඉන්න මට, ආදරෙන් තුරුළු වුණු පෙම් යුවළ
බොහොම හෙමින් ඒ දිගේ පියමං කරනවා දකිද්දී මතක් වෙන්නේ මගේ අතේ එල්ලිලා ගියපු
ඔයාව.. ඒ හැම දේ ම දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. හරියට බොහොම ලස්සන දර්ශනයක්
මවමින්, ඉර බැහැගෙන ගියාට පස්සේ අක්බාර් පාලම ඝන අඳුරේ ගිලෙනවා වගේ.
හිතේ ඇති වුණු
කණස්සල්ලෙන් මිදෙන්න වෙන්න ඇති සමහර විට මම පාලමෙන් එහා පැත්තට යන්න ඇත්තේ. ඒත් පාලමෙන්
එහා පැත්තේ, මහා විශාලව වැඩුණු කඩොලාන ගහ යට, පෙම් සුව විඳින පෙම්වතුන් ආයෙමත් මගේ
හිත චංචල කළා. ලස්සනට පිපුණු මල් වලින් සැරසුණු, ක්‍රමානුකුල මාවත් දිගේ තේරුමක්
නැතිව ඔහේ ඇවිදලා මම ආයෙමත් ආවේ අක්බාර්
පාලම උඩට. දැන් ටිකෙන් ටික ඉර බැහැගෙන යන්න සැරසෙනවා. පරිසරය පුදුමාකාර විදියට
ලස්සනයි. පාලමේ එක බැම්මකට හේත්තු වෙලා ගඟ දිහාව බලාගෙන ඉඳිද්දී, මට කාලය ගත වෙනවා
දැනුනේ නැහැ.
මගේ උරහිස මත කවුරු
හරි සීරුවට ඇත තියනවා වගේ දැනුණු හින්දා ඒ දිහාව බැලුවා.
“මොකද මෙතන
තනියම කරන්නේ? කතා නොකරන්නේ මාත් එක්ක තරහා වෙලා ද?”
ඒ ඔයාගේ ම සුපුරුදු
ලයාන්විත කට හඬ..
මම කොහොම ද මගේ
ඇස් අදහා ගන්නේ? ඔයා ඇත්තට ම මාව හොයාගෙන ඇවිත්..මගෙන් පිළිතුරක් නැති නිසා
සැතපුම් සිය ගානක් ගෙවාගෙන, ඔයා මාව හොයාගෙන ඇවිත්..
“ආදරේ
කියන්නේ මේක නෙවෙයි ද?”
මගේ උරහිස මත
තිබුණු ඔයාගේ අත උඩින් මගේ අත තියන ගමන් මම මගෙන් ම අහ ගත්තා..
සැ.යු:
සම්පුර්ණයෙන් ම හිතලුවකි.. සැබෑ ජීවිතයට මෙලෝ සම්බන්ධයක් නැත!
ප/ලි:
නව කතාවක ලක්ෂණ වලට සමාන ලක්ෂණ සහිත කෙටි කතාවක් ලියන්න ආසාවක් තිබුණා. ඒ වගේ ම පේරාදෙණියේ දී අත්විඳපු සමහර දේවල් නිසා මෙහෙම ලියන්න හිතුණා.අඩුපාඩු බොහොමයක් තියෙන්න පුළුවන්. (භාෂාව ටිකක් බොළඳ වැඩි වීම ඇතුළුව)
ඒවා පෙන්වා දීම ශක්තියක් වේවි!
ඒවා පෙන්වා දීම ශක්තියක් වේවි!