Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Showing posts with label Emotional. Show all posts
Showing posts with label Emotional. Show all posts

නුඹ එන්න සීරුවට - ඒ වරම මට දෙන්න

Friday, June 10, 2016

කප්පරක් දුක් පිරුණු - ඇස් අඬන හදවතට
තත්පරත් හිත බිඳින - හීනයක් දිග වැඩිද
තුරුළු වී උන්නාට - සීතලට තනි රැයක
උණු කඳුළු ඇස් තවන - මේ තරම් මට කුමට

හීනියට ඇස් අරින - හීනයක දැවටෙන්න
මල් පිරුණු සිහිනයක - තුහිනයක පැටලෙන්න
හිත් නොබිඳි ප්‍රේමයක - මල් සරය විඳ ගන්න
නුඹ එන්න සීරුවට  - ඒ වරම මට දෙන්න

දහම් සදහම් ගැටුම

Monday, June 16, 2014

වසන්තය අග - ගිම්හානයට පෙර
පිපුණු කුසුම් වල වස මුසු ව ඇත
මකරන්ද සුළඟේ එතෙන විට
සුවැති මද නල නුඹ නසනු ඇත

සබඳ, මතක ද අඳ කුඹුර ළඟ
මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස
අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය
ඇගේ දෑස මිස,
නම මතක නැත...
ඇනිකට් එක ළඟ මාළු නටන තැන
සිනාසුණු තන්ගමනි මතක ද?
පුංචි රතු මොට්ටුව
තියා නළලත
පිච්ච මල් වැල් හිස පැළඳු ඇය..

දහම් සදහම් ගැටෙන විට
නෑකම් අමතක ද නුඹට
එක පත බෙදා ගත් මිනිසුන්
එදිරි වී එයි අවි අමෝරාගෙන..
වැව් බැම්ම උඩ පන්දු කෙළින තැන
රාඝවන් නැත මොහොමඩ් ද අද නැත
පාළු කතරකි සිනා හඬ නැති
දවන දුහුවිලි සුළඟපමණ ය..

සුදු වැලි අතුල මාවත කෙළවර
රතු ලේ තැවරුණු පාට මැකී ගිය
හිසෙන් ගිලිහුණු පිච්ච මලක් ඇත
පොසොන් සඳ මැකී
රාමලාන් සඳ නැගෙන විට
බිම බලා ගත් පලු ගසක් යට....

වියැළුණු සිතක්

Wednesday, May 14, 2014

හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති
කිසිවෙකුත් තව - පය ගසා නැති
දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති
පතොක් ගසුත් පණ ගසනවා සකි

කටුක ගිරි හිස - වලාකුළු ඇති
සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති
විටින් විට වැහි - වැටෙනවා ඇති
හැඟුම් ළපටි දළු - දමනවා ඇති

පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති
පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇති
විෂ පතොක් කටු - ඇනුණු සිදුරු ඇති
බිඳුණු සිහිනවල - කැබලි ද එහි ඇති

නියගෙටත් නොසිඳෙන - උල්පතක් ඇති
උණුසුම් කඳුලැලි - ඉන් උනනවා ඇති
මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති



අහවර පෙමක්

Tuesday, March 11, 2014

උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග

ඕ නොදන්නී ය - කවියක් වන වග
මිහිරි මතකය - එක් සොඳුරු යුගයක
ප්‍රේමය මළ තැන - හර බැර එක් කර
හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ

සයුර හඬන තැන - අඳුරු වලා මැද
රිදී ඉරක් විය - මැවෙන මැකී යන
ගල් දෙබොක්කාවක - රළ මැරෙන තැන
වැටකෙයියා කටු ඇණී - මියැදුණේ ය අපේ ප්‍රේමය

එහෙන් මෙහෙන් එකිනෙක අහුලා ගෙන
දුහුවිලි පිහිදා අත්ලෙහි ගුලි කල
පිළිවෙළක් නැති හැඟුම් පොදි ඇත
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය


දුම්රියේ දී ඇය ව දුටුවෙමි!

Thursday, January 9, 2014

දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!

විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි  නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..

මෙතෙක් කල් මා නුදුටු  රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇයරුව
දිගු රැයක සිත හඬවන ඒ රුව

කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී  - මට ඉගැන්වූ ඇය..

නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...


'
මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.

"
නිවැරදි කල යුතු  ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..

"
හිටපිය ඔතැනඔහොම !"
හඬ නගයි මා හෘද සාක්ෂිය.

බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...

නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."

වියළි තන පුඩුවබිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා  ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට.. 

බලාපොරොත්තුව

Monday, November 18, 2013

තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා


රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..


දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ  රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා... 



සර්ව ආගමික ප්‍රේමය

Thursday, August 22, 2013





අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...





පින්තුරය උපුටා ගැනීම : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ6KYNQzYxOl_KJrRakcpv-A6JWwQa1z-hx9QeVVs43EQGrd7VmyN6PzmPrOPXeLT1uPMtI8tRAnDmgPKg7ekOY3gVTktNuiNp7BuBK8TSj7eQ75wRbBbAzDZ27PNyb887WaikY_TvFiw/s600/weddingar600.jpg

ගීතයක් ගැන : සුභාරතී මැණිකේ

Wednesday, July 10, 2013

අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා.

මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ.

දුෂ්කර, කටුක එකක් වුණු මේ චාරිකාව අපේ කතා නායකයාව බොහොම වෙහෙසට පත් කරනවා. තැඹිලි මිශ්‍ර දුඹුරු පාටින් දිලිසෙන, අව්වට පුපුරු ගහන කාන්තාරයක් වගේ ගමන් මග අතරමැද එක්තරා තැනක දී ඔහු ගමන් කරන රථය නවත්වන්න සිදු වෙන්නේ පාර මාරු වෙන, සිය ගණනක් වුණු එළු රංචුවකට ඉඩ දෙන්න. පැය ගණනක් තිස්සේ හුරු වුණු ඒකාකාර දර්ශන පථය වෙනස් කරමින් මතු වුණු මේ දර්ශනය රථයේ හුන් පිරිසට බොහොම චමත්කාර ජනක එකක් වුණු බවට සැකයක් නැහැ.. බොහොම පිළිවෙලකට දක්කාගෙන ආ මේ එළු රංචුවේ ගොපල්ලා නම් පෙනෙන්නට හිටියේ නෑ. විමසිල්ලෙන් බලද්දී, තරමක වෙලාවකට පස්සේ, එළු පැටවුන් අතරින් පුංචි කෙල්ලක් මතු වෙනවා. මේ පුංචි කෙල්ල, බොහොම සුරුවමින් එළු රංචුව පාලනය කරනවා දකිද්දී මේ ලස්සන දර්ශනයේ නිර්මාණ කාරියත් එක්ක වචන කිහිපයකින් දොඩමලු වෙන්න අපේ කතා නායකයාට සිත් වෙනවා.

ඇය වෙත පාන මද සිනහවට ඇයත් පෙරලා දක්වා සිනාසෙනවා. මේ සිනහව ඔවුනොවුන් අතරේ කතාවක් ඇති වෙන්න මග පාදනවා.


"දුවගේ නම මොකක් ද? "

ඔහු බොහොම ආදරයෙන් අහනවා..

"සුභාරතී මැණිකේ"
ඇය නළලට වැටුණු කෙස් රොදක් පසුපසට කරමින්, කටකාර කෙල්ලක් වගේ පිළිතුරු දෙනවා..

"සුභාරතී මැණිකේ.... සුභාරති කියන්නේ දෙමළ නමක් නේ.. මැණිකේ කියන්නේ සිංහල නමක්.. දුව සිංහල ද? දෙමළ ද?"

ඔහුට තවත් ප්‍රශ්නයක්.. මේ ප්‍රශ්නයට නම් කටකාර කෙල්ලගෙන් පිළිතුරක් නැති හැඩයි.

ඇය නොදන්නා බව හඟවන්න හිස දෙපැත්තට වනනවා..
විස්තර දැන ගන්නා අදහසින් ඔහු තවත් ටිකක් කතා බහ කරනවා..

"දුවගේ අම්මාගේ ගම කොහෙද?"

"මෙහේ ම තමයි.."

"එතකොට තාත්තා .?"

"ගාල්ලේ ඇත්තිලිගොඩ"

ඇගේ පිළිතුරෙන් ඔහුට කතාව අවබෝධ වෙනවා..

ඇත්තට ම තමන් මුලින් ඇගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර මොකක් ද? තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ඇය ළඟ විතරක් නෙවෙයි, තමන් ළඟත් නැහැ නේ ද කියලා ඔහුට වැටහෙනවා.. ජාති, ආගම් භේද කොයි තරම් දුරකට මිනිස්සු බෙදන්න භාවිත වුණත්, ඒ බෙදීම් කොයි තරම් නොදියුණු ගණයේ ඒවා ද කියලා ඔහුට අවබෝධ වෙනවා.. ආදරය හමුවේ ඒ බෙදීම් නැති ව ගිහින් මනුෂ්‍යත්වය නම් හේතු සාධකය ඉදිරියට එනවා. මේ මනුෂ්‍යත්වය ඉදිරියේ කිසිම බෙදීමක් තවදුරටත් වලංගු වෙන්නේ නැහැ..

අපි මෙතෙක් කතා කළ 'කතා නායකයා' ප්‍රවීණ ගීත රචක, 'රත්න ශ්‍රී විජේසිංහයන්'..

මේ සංවේදී සිදුවීම ඔහු අතින් ගීතයකට නැගෙනවා.. මේ ගීතයේ එක්තරා විශේෂයක් තිබෙනවා.. මේ රචකයාගේ සෙසු බොහෝ ගීත වල දී වගේ ම මෙහිදීත් ඇත්ත ම නම් ගම් ම භාවිත වෙනවා. මේ පද මාලාව තවත් අලංකාරවත් වන්නේ ජානක වික්‍රමසිංහයන්ගේ මියුරු හඬින්..

නින්දවුර් කලපුව ළඟ - ඔලුවිල් යන පාරේ
නින්ද නැති ඇහෙන් බලනා - සුභාරතී මැණිකේ
මට ලියන්න බැරි කවියේ - මට ලියන්න බැරි කවියේ...

යුද්ධය ඇවිත් මුළු ගං ගොඩ - ගිනියම් වුණු දවසේ
ගං සූරිය මලක් වගේ - මැලවී ගිය මුහුණේ
ඇත්ත කියාපන් නංගියෙ - කඳුළු නේද තිබුණේ..

අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේ
අම්මා නුඹේ මඩකලපුවෙ බත තිරි කර දුන්නේ
රත්තරනේ නුඹ කව්රුද - සිංහල මට නොදැනේ...

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : ජානක වික්‍රමසිංහ

ගීතය මෙතැනින් අහන්න.

මිතුරු දම් බිඳුණු පසු..

Tuesday, July 2, 2013

ජීවිතය නම් කෙටියි ආ මග
යා යුතුව ඇත තව බොහෝ දුර
කටු කොහොල් මැද - ගල් ගොඩැලි වල
තවත් සිර වෙයි - අපේ ජීවිත..

තරඟයක් මැ යි අපේ ජීවිත
අරමුණක් වෙත ඇදෙන ගමනක
තියුණු වන විට අපේ තරඟය
තවත් නැති වෙයි නුඹට කාලය..

ලොවේ හසරක් දැනෙන දා සිට
ඊයේ වාගේම අදත්, තව හෙට
වැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙස
දුවමු අපි - සිතිජය දිහාවට...

එකෙක් පරදා දිනන දවසක
සව්දියට නැත අපට කාලය
උනුන් පහු කර සැතපුමක් ගිය තැන
හැරී බලමු අපි මග හැරුණු දේ ගැන...

කඳුළු රැඳවෙයි දෙනෙත් අද්දර
සොඳුරු මතක අපෙ රැඳුණු තැන්වල
සිතුම් නවතියි තවත් මොහොතක,
ඒත් තව නැත අපට කාලය!!!


සඳ, නුඹ බැස යන්න...

Monday, April 22, 2013

තරු කැටවල තනි රකින්න
නෙක තරු මැද සඳක් වෙන්න
කළුවර රැය එළිය වෙන්න
රෑ අහසට නුඹ නැගෙන්න..

හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න
දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න
සංහිඳ ළඟ නතර වෙන්න
මල් පහන අරන් නිවාලන්න..

නුඹේ මතක මන්දිරයේ
එළිය දැනෙන පාළු පැලේ
අගුවක හෝ පිල්කඩයේ
බිම් අඟලක් මට සෑහේ!




දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)

Sunday, March 3, 2013

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.

නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ලබා දීමට සුදුසු ම පුද්ගලයා වන්නේ එහි කතුවරයා යි. එසේත් නැතිනම් පද රචකයා යි. සයිබරය තුළ ඔබ මොබ සරද්දී හමු වුණු තවත් එක් සුමධුර ගීයක් පිළිබඳව, එහි පද රචකයා විසින් ම තබන ලද සටහනකි මේ..

ගීතය : දුල් මන බැන්ද
ගායනය : ශානිකා මධුමාලි
පද රචනය : නාරද විජයසුරිය
සංගීතය : උදාර සමරවීර




රාගයෙන් තොර ප්‍රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්‍රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?

සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !

යොවුන් ප්‍රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්‍රේමය හරහා පමණි !

එහෙයින්ම අපි ප්‍රේමණීය ලෙස ඉඳුරන් සතපවමු ! ප්‍රේමයක් නොමැතිව ආශාව පමණක් ඉටු කර ගැනීමට යාම සම්බෝල නැතිව ඉඳි ආප්ප ගිල දැමීමකි !

අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රේමය පිලිබඳ ඉරණම විසඳීම දෙයාකාරය ! මන්ද යත් ආශාවන් සතපා ගත් පසු ඉතිරිවන්නේ හිස් බවක් නම් ප්‍රේමයක් අත් නොදකින පිරිමියා පලා යයි ;
ගැහැණියට එසේ යන්නට නොහැක .ඇය " කන්‍යා භාවය " නම් දඬුවමෙන් බැඳ තබා ඇත .

දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා

ලෝකය මවන ලද්දක් නම් , සර්වබලධාරියා අසාධාරණයක් කර ඇත ; මහා බ්‍රහ්මයා අව සිහියෙන් සිට ඇත ! එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට
යටත් කරයි ,

ප්‍රේමය සහ ආශාවන් සන්තර්පනය කර ගැනීම මානුෂික අවශ්‍යතාවයකි ; වැඩිහිටි සමාජයට එය උහුලන්නට බැරිය ! සංස්කෘතිය සහ සභ්‍යත්වය ඔසවා එයින් පහර දී සමාජය ඉදිරියේ තරුණ පෙළ මාණසිකව ඝාතනය කරති .
වරක් ලත් පහස නැවත නැවත ලැබීමේ ආශාව උපතේ සිටම ජීවීන්ට පොදු ධර්මතාවයකි ;
යටපත් කර ගන්නා තරමට පොළා පනින ආශාවන් අත්‍යන්තයෙන්ම ස්වභාවික බව පිළිගන්නට
මේ ධාර්මික සමාජය ඔබට ඉඩ නොදෙයි !අපි අපව රවටා ගනිමින් සිටිමු

මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ

අවසානයේ අසරණ වන්නේ ගැහැනියයි ; අපේ සමාජය මේ කතාව කියන්නට අපූරු වාග් මාලාවක් යොදා ගනී . "පිරිසිදු කම නැති කළා " " ගැහැනියක් බවට පත් වුණා "

ගනු දෙනුවේ අනෙක් පාර්ශ්වය වූ පිරිමියාට කිසිවක් සිදු වන්නේ නැත . ඔහුව නාවා ගෙට ගත හැකිය ! ගැහැණිය සියලු පව් කර ගසා ගත යුතුය ! ඇය සමාජයට මැසිවිලි කියයි
" මාව අනාථ කළා " ඇතැම් විට ඇය "කන්‍යා භාවයම " ආයුධයක් කර ගනී .
තමා විසින්ම පොළඹවා ගත් පිරිමියා වරද කරුවෙකු බවට පත් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ගනී ! ආදරණීය සම්භෝගය අවසන් කර නැගිටින විට ස්ත්‍රී දුෂකයෙක් බවට පත් වී හමාරය !
ගල් යුගයේ පවා නොතිබුණු වනචාරී සංකල්ප දේවත්වයෙන් සළකන සමාජයකට ඔහොම වෙලා මදිය !
ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !
ගැහැනියගේ පැත්තෙන් මේ වනාහී වටිනා පුජා භාණ්ඩයකි ! ලේ තැවරුණු රෙදි කඩ වනාහී පාරිශුද්ධ භාවයේ සංකේතයකි ! එහෙයින් ප්‍රේමයේ සැබෑ ප්‍රහර්ෂය විඳ ඇත්නම් විවාහ වන්නට බාධාවකි ; පිරිමියෙකුට ඕනෑ තරම් ජීවිතය විඳින්නට අවසර තිබේ .
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැතැයි ඔවුහු දනිති !

සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ ......... //

පෙම්වතා හැර යාමෙන් තනිවන තරුණිය , ප්‍රේමය අහිමිවීමේ වියෝ දුකට වඩා වැඩි භයානක ඉරණමකට මුහුණ දෙයි , ඈ විවාහ විය යුතුය . ඒ පිරිමියෙකු සමගය . ඔහුද මේ තිරිසන් සමාජයේ අංශුවකි . තමා අතීතයේ කෙතරම් ගැහැණුන් සමග යහන් ගත වූවත් තම මනාළිය කාන්යාවක් විය යුතුය . විවාහයට මුහුණ දෙන තරුණිය ප්‍රේමය දත යුතුය ! කන්යාවියක්ද විය යුතුය !
මධු සමය අවමංගල රාත්‍රියකි ,
අපේ රටවල යොවුන් ප්‍රේමය ඛේදවාචකයකි !
මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ

(ගණිකා නිවාස සහ කන්‍යා භාවය පිළිසකර කිරීමේ ශල්‍යාගාර වලට ඇඟිල්ල දිගු කිරීමට මේ සමාජයට අයිතියක් නැත )

නාරද විජයසුරිය 



උපුටා ගැනීම : https://www.facebook.com/kwijewardena1/posts/408560075903765

වෙන් වීම

Thursday, February 21, 2013



දෑත බිම ඔබා, පස්සට වාරු වී
ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ
නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම
සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම..


වක්කඩ ළඟ, දිය බොර කර නටාපු
තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි
තටු අකුලාගෙන,කඳුළු දරාගෙන,
මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි
ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම..


රතු රෝස මල් වෙනුවට දෑතේ,
සුදු අරලියා මල් පිපිලා
රොබරෝසියා මල් යහනා වෙනුවට
වතුසුදු මල් පාවඩ එළලා.
එරබදු ගස් අස, කොහෝ නාද නෑ
කණ කොක් හඬ දෙයි, සවන් උගුළුවා..


දෙතොල් අග, මුදු සිනා රැඳෙව් නුඹ,
කඳුළු විලක උල්පත වෙලා
මගුල් තුලාවට ගෙන ආ පිරුවට,
නුඹ යන මග පාවාඩ වෙලා
රන් කෙණ්ඩියෙ පැන් වෑහෙයි සොඳුරියේ,
අෂ්ටක හඬ නම් නොඑයි ගලා..


මිදුලේ කෙළවර
ගාඩිනියා ගස
කොළ එහි හැර දා,
සුදු මල් පළඳා
නුඹ' මළගම වෙනුවෙන්
සළුවක් ඇඳලා..



ප.ලි :

බොහොම කාලෙකින් අරුණැල්ල පැත්තේ වගේ ම, මුහුණු පොත පැත්තේ එන්නත් බැරි වුණේ විභාග කටයුතු නිසා, ටිකක් නෙවෙයි, බොහොම කාර්යය බහුල වෙලා හිටපු හින්දයි! කොහොම නමුත් අවසානයේ සුබ ආරංචියක් ගෙන එන්න පුළුවන් වුණා.

අපි මුහුණ දෙන විභාග බොහොමයක පළමු වාරයේ දී, බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය ලබා ගන්න බැරි වුණොත් දෙවන හෝ තෙවන වර උත්සාහ කරන්න හැකියාව තිබෙනවා. නමුත් සමහර අවස්ථා ලැබෙන්නේ ජීවිතයට ම එක වරයි.

රැංගෝගේ ජීවිතයේ දී එවැනි විභාග තුනකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. පළමුවැන්න 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය. දෙවැන්න සහ තෙවැන්න විදියට විශ්ව විද්‍යාලයේ පළමු වසරට අදාළ විභාග දෙක. අනාගතයේ වෘත්තීය ලෙස තෝරා ගන්නා ක්ෂේත්‍රය තීරණය කෙරෙන්නේ මේ විභාග දෙකෙහි ලකුණු මත.තමන් කැමති විෂයය ක්ෂේත්‍රය ඔස්සේ ඉගෙන ගන්න අවස්ථාව හිමි කර ගන්න නම්, අඩු තරමේ මුල් 75 අතරට පැමිණීම අවශ්‍යයි.

විභාගයට බොහොම සාර්ථකව මුහුණ දෙන්න වගේ ම, සැළකිය යුතු තරම් හොඳ තත්වයේ ප්‍රතිඵලයක් ලබා ගන්නත් රැංගෝට පුළුවන්කම ලැබුණා. ඒ අනුව විදුලි හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව හදාරන්න අවස්ථාව හිමි වුණා. ඒ වෙනුවෙන් උදව් උපකාර කළ හැම කෙනෙක්ට ම බොහොම ස්තුතියි!

අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා...

Saturday, January 12, 2013

ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්‍රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් මේ පිලිබඳ නොලියා ම බැරි නිසයි කාලෙකට පස්සේ අරුණැල්ල දිහාවට ආවේ.

එක ම පාසලක, එක ම පන්තියක බොහෝ වෙලාවට ඉගෙනුම ලබන්නේ එක ම ගමක, එහෙම නැත්නම් එක ම නගරයක, එහෙමත් නැත්නම් එක ම දිස්ත්‍රික්කයක ළමයි. දුර පළාත් වලින් ඇවිත්, නගරයේ පාසලක ඉගෙන ගන්න අය නැතිවා ම නෙවෙයි. නමුත් බහුතරයක් එහෙම නෑ.

පාසල් කාලයේ දී අපට හමු වෙන මිත්‍රයන්, පහ වසරේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන අදියර තුනේ දී කොටස් වශයෙන් අපෙන් වෙන් වෙලා යනවා. අපි කාටත් පාසල හැර යන මොහොතේ දුකක් දැනුණත්, ඔවුන්ගේ වෙන් වීම ඒ තරම් ම නොදැනෙන්නේ ඔවුන්ගෙන් බහුතරයක් පසු කාලිනවත් නිරන්තරයෙන් මුණ ගැසෙන නිසා. 

නමුත් විශ්ව විද්‍යාලයකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මුළු රට ම නියෝජනය වන පරිදියි තෝරා ගැනෙන්නේ. බොහොම වෙලාවට එක් දිස්ත්‍රික්කයකින්, එක් පීඨයකට තෝරා ගැනෙන ශිෂ්‍ය සංඛ්‍යාව උපරිමව අදාළ කණ්ඩායමේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10 % ඉක්මවන්නේ නැහැ. (නමුත් සමහර අවස්ථා වලදී නම් මෙය වෙනස් වෙනවා.)

කොහොම නමුත් අපට විශ්ව විද්‍යාලයේ දී හමු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරය, වෙනත් දිස්ත්‍රික්ක වල සිට පැමිණි අය කියන කරුණ මා සම්බන්ධව නම් නිවැරදියි. වසර හතරක කාලයක් එකට ගත කරලා, දුක සැප බෙදාගෙන ආයෙත් සුපුරුදු පරිදි තම තමන්ගේ ගම් බිම් බලා යන්න අපි හැමෝට ම සිදු වෙනවා. විභාග, කුප්පි, Assignments, Tutorials, One to One, Practicals, Report Writing අතරේ ගෙවෙන මේ කාලය ජීවිතයේ වටිනා ම කාල වලින් එකක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ අතරේ විවිධ වයස්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ගනුදෙනු කරන්නත්, ඔවුන් එක්ක සුහදව කටයුතු කරන්නත් අපට සිදු වෙනවා.



වරින් වර ක්‍රියාත්මක වුණු වර්ජන හේතුවෙන්, අනෙක් වසර වලට තිබුණු දේශන කාල සටහන් සංශෝධනය කළ නිසා, අපි කැම්පස් එකට එද්දී සහ මේ වන තුරු ම වැඩි කාලයක් ගත කරන්න සිදු වුනේ අවසන් වසරේ අයියලා අක්කලා එක්ක. සමහර කාල වල දී මුළු කැම්පස් එකට ම හිටියේ අපේ 200ත්, අවසන් වසරේ 200ත් විතාරයෝ. කැම්පස් එකට ආගන්තුක අපිට, කැම්පස් එකෙන් යන්න ඔන්න මෙන්න හිටපු ඒ අයියලා අක්කලාගෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තිබුණා. අපි විශ්ව විද්‍යාලයට ඇවිත් ගත වුණු වසරකට ටිකක් වැඩි ඒ කාල සීමාව තුළ ඔවුන් හා අප අතර ගොඩ නැගුණේ පුදුමාකාර බැඳීමක්. අධ්‍යයන කටයුතුවල දී වගේ ම විවිධ බාහිර කටයුතු හා ක්‍රීඩා වලදී ඒ බැඳීම තවත් ශක්තිමත් වුණා.

නමුත් ඔවුන්ට සමු දෙන්න කාලය ඇවිත්. අද ජනවාරි 12 වෙනිදා. හෙට හවස් වෙද්දී ඔවුන් පීඨයෙන් පිට වී යෑමට නියමිතයි. බොහොම දුර පළාත් වල ඉඳලා ආපු ඔවුන්ගෙන් බොහොම දෙනෙක් ආයෙත් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ආසියාවේ ආශ්චර්යයට පිං සිද්ධ වෙන්න බොහොමයක් දෙනා විදේශ ගත වේවි. තවත් අය ලබන රැකියා, අපි ඉගෙන ගන්නා ක්ෂේත්‍රයේ නොවෙන නිසා වැඩ බිම් වලදී හමු වීමේ ප්‍රවණතාවත් බොහොම අඩුයි. ඒ නිසා සමහර අය දැක ගන්න ලැබෙන අවසන් වාරය හෙට වෙන්න පුළුවන්.

සිව් වසරක සරසවි ජීවිතය තුළ, තමන්ගේ කණ්ඩායම හැර අඩු ම ගණනේ තවත් ශිෂ්‍ය කණ්ඩායම් 6ක් එක්ක ගනුදෙනු කරන්න අපි හැමෝට ම සිදු වෙනවා. ඒ අතරින් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් අපෙන් සමු අරගෙන නික්ම යන අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ අතරින් පළමුවැන්න. ඒ නිසා සමහර විට මේ වගේ හැඟීමක් දැනෙනවා ඇති. ඒ කොහොම වුණත්, අපිට වඩා බොහොම කල් මේ බිමේ විස්කම් කරපු, විශ්ව විද්‍යාලය වෙනුවෙන් බොහොම දේ කළ ඔවුන් නැති අඩුව පුරවන්න සමහර විට අපිට කවදාවත් බැරි වෙයි. නමුත් ඒ දේ කරන්න උත්සාහ කළ යුතුයි කියලා හැඟීමක් තදින් දැනෙනවා.

තවත් අවුරුදු තුනකින් අපිත් විශ්ව විද්‍යාලය හැර යා යුතුයි නේ ද කියලා කල්පනා වෙද්දී, සාංකාවක් වගේ හැඟීමක් දැනෙනවා. මේ කවිය උපුටා ගත්තේ අපේ ම අක්කා කෙනෙක්ගේ සටහනකින්.


අඹ ගහ, තාමත් හොයනවද අපිව
බංකුව අදත් අපි ගැන ඇහුවලු නේද
එතකොට අර හොස්ටල් එකේ
එක පෙළට තිබ්බ මේස ටික එහෙම
වෙන කාට හරි අයිති ඇති නේද
සිවිල් එක ගාව ලොකු ගහ යට
මිකැනිකල් බෙන්ඩ් එක ලඟ
තාමත් කට්ටිය මුණගැහෙනවැති
උදේට අපි ලෙක්චර්ස් යන පාරෙ
තාමත් මැයි මල් වැටෙනවා ඇති
වේලිච්ච කොල අහුලනවද තව අයත්?

ලෙක්චර්ස් අස්සෙ අපි තරම් හොඳට
කවුරුත් චිට් පාස් කරාවිද මන්දා
ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් වල ගහපු හොර සයින්
තාමත් මතකයි අද වගේ මට
රෑ තිස්සෙ නිදිමරන් ගොඩ දාපු ටියුට්
මෙච්චර ගොඩක් තිබුනද මන්දා

ලයිබ්‍රරියෙ තුන්වෙනි මේසෙට
දැන් නම් වෙන අය ඇවිත් ඇති
කැන්ටින් එකේ තාමත්
කුප්පි එහෙමත් යනවත් ඇති
කැම්පස් එකේ කොට තාප්ප උඩ
පෝළිමට දැනුත් වෙන අය ඉඳන් ඇති
කොල්ලොන්ගෙ හොස්ටල් එකේ
සිංදු සද්දෙ දෝංකාර දෙනව ඇති
ෆැකල්ටිය ඇතුළෙ මේ දැනුත්
කැන්ටින් එකේ පුටු මේස වලට
ඉඳහිට අපිවත් මතක් වෙනව ඇති

Bucket, Social ,Going Down අස්සෙ
අවුරුදු හතරක් ගෙවුනද මන්ද
මතක ඇහිඳිනව මං නම් තාම
අද ඊයෙ වගෙ, 
දයාබර රුහුණ....




විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, එහෙමත් නැත්නම් ඉංජිනේරු ශිෂ්‍යයා කියන භුමිකාවේ සිට ඉංජිනේරුවා කියන භූමිකාව දක්වා සංක්‍රමණය වන 10th එකේ එහෙමත් නැත්නම් දහ වන ශිෂ්‍ය කණ්ඩායමේ අයියලා අක්කලා හැම දෙනාට ම ප්‍රීතිමත් සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.

සංසාරගත ප්‍රේමය

Saturday, November 10, 2012


මා මුසපත් කරවන
උපුල් නයන යුගැත්තිය,
කන මී සා මිහිර වගුරන
සිහින් සරැත්තිය,
නෙතඳුන් සා දසුන් මවන
සියුම් රුවැත්තිය,
අමා රසයෙන්
ම' සිත කුල්මත් කරන්නිය,
දිමුතු දසන් දිදුලවා
මුතු සිනා වස්සානය හැඩ කරන්නිය,
ම' පුන් රත් පියුම නුඹ
සිත් විල සරසවන්නි ය..


ශ්වේත වර්ණ වළා වියන යට
සුපුෂ්පිත නේක කුසුම් මැද
පංච කල්‍යාණිය,
නුඹ විරාජමානවන්නීය..

පබාවතිය සේ නුඹ,
වීරිය පෙරුම් පුරවන්නී ය.
මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,
සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...

සංසාර සයුරු වෙරළ අසබඩ
නුඹේ නවාතැන පල වෙත,
තීර්ථ යාත්‍රාව පදවන්නා වෙමි මම
පරිබ්‍රාජක වෙස් ගෙන..














මම, අමන්දානන්දයට පත්ව සිටිමි!

Friday, October 12, 2012

අවුරුදු විසි එකක ජීවිත කාලය පුරාවට වැඩි ම සතුටක් ලැබූ දවසේ ඒ සතුට ගිලිහෙන්නට පළමු ලියමි.

හිතාදර දුයිෂෙන්,

ගුරු ගීතය කියවූ පළමු වර පටන්, මා උගත් නොයෙක් විධ වූ ගුරුවර ගුරුවරියන්ගේ මුහුනුවර හා මුසු ව, මහා පෞරුෂයකින් හෙබි, චිත්‍රයකින් ඇඳ මෙසේ යැයි දැක්විය නොහැකි සුවිසල් රුවක් ලෙස නුඹේ රුව හදේ ඇඳී තිබුණි. කවදාක හෝ, කුමන අයුරකින් හෝ, අල්තීනායිට නුඹ වූ සර්ව සම්පුර්ණ ගුරුවරයා වීමේ නොනිත් ආශාවකින් මම පෙළුනෙමි. අද මගේ සිහිනය සැබෑ වී ඇතැයි හැඟෙයි.

 මා නුඹ තරම් දක්ෂ ගුරුවරයෙක් නොවුවත්, නුඹ තරම් ඉවසිලිවන්ත නොවුවත්, මගෙන් උගත්තවුන් අල්තීනායි තරම් අසරණ වුන් නොවුවත්, උන්ගේ දෙමාපියන් ඉගෙනීමේ වටිනාකම නොදන්නවුන් නොවුවත්, අද මා ලැබූ යම් සාර්ථකත්වයක් වේ නම් එහි අයිතිය සම්පුර්ණයෙන් ම නුඹ සතු ය.

යම් යම් පරිපාලන ගැටළු කිහිපයක් හේතුවෙන්, ඉගෙන ගන්නට බැරිව, අසරණ ව හුන්, ඒ කුඩා වුන් සමුහය වෙත යද්දී මට අවැසි වුයේ, නුඹෙන් අල්තීනායි ලද දෙයින් දහසකින් එකක් හෝ මගෙන් උගන්නා උන්ට ලබා දීම යි.

මම නුඹ තරම් කල් එහි නො ඉගැන්වුයෙමි. නුඹ තරම් මම දක්ෂ නොවූයෙමි. මා ඉගැන්වූයේ මට ආගන්තුක වූ බසකිනි. නමුත් මම උන්ට සමීප වුයෙමි. සමහර විට නුඹට අල්තීනායි ආදරය කළ තරම් උන් මට ආදරය නොකරන්නට අත. නමුත් මට  ඒ තරම් යැයි දැනෙන තරම් උහු ආදරය කළහ.

එහි යන්නේ කුමක් සඳහා දැයි මම නොදැන උන්නෙමි. මට උගන්වන්නට වෙන්නේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා උන් පිරිසකට පමණක් බව මම දැන උන්නෙමි. මම උන්ට භෞතික විද්‍යාවේ සිට ගණිතයටත්, තොරතුරු තාක්ෂණයේ සිට සිංහලටත් ඉගැන්වුයෙමි. දවස් හතරෙන් තුනක කාලච්ඡේද හතක් ඉගැන්වුයෙමි. ඉතිරි දවසේ කාලච්ඡේද හයක් ඉගැන්වුයෙමි. එය මට වෙහෙසකර නොවීය. මද වෙහෙසක් දැනෙද්දී මගේ ඉදිරියේ මැවුණේ නුඹේ රුවයි. පරම්පරා ගණනාවක් පුරාවට අකුරක් වත් කියවා ගන්නට නොදත් එවුන්ගේ අලුත් පරම්පරාවට, වචන උගන්වන නුඹ වෙහෙසට පත් නොවී ඉන්නට තනන අයුරු මට මැවී පෙනුණි. ඒ දකින මගේ වෙහෙස ඉබේටම මැකී ගියේ ය.

මා ඉගැන්වූයේ ප්‍රාථමික අංශයට පමණක් නොවේ. සමහරෙක්  උසස් පෙළ සිසුන් වුහ. සමහර උන් මෙවර සාමාන්‍ය පෙළ කරන්නාහ. තවත් අයෙක් සාමාන්‍ය පෙළ කරන්නේ ලබන වසරේ ය. දවස් දෙකක් ප්‍රාථමික අංශයේ උන් ද මගෙන් සිංහල උගත්තාහ.

මා එහි ගියේ ටික කලකට ය. වර්ජනය තිබෙන තුරු ය. සැබවින් ම මා එහි සිටියේ දින හතරකි. නමුත් ඒ දින හතර තුළ මම බොහෝ දේ උගත්තෙමි. මා දන්නා බොහෝ දේ ඉගැන්වුයෙමි. සිංහලට වඩා යමක් ඔවුන්ට කියා දෙන්නට උත්සාහ කලෙමි. ගණිත ගැටළුවකට වඩා යමක් විසඳන්නට ඔවුන් පෙළඹවුයෙමි. තොරතුරු තාක්ෂණයට වඩා යමක් ඔවුන් ලවා සොයවන්නට මට උවමනා විය. භෞතික විද්‍යාවට වඩා යමක් ඔවුන් සිතනු දැකීම මගේ අරමුණ විය. සැබවින් ම, නුඹ වැන්නෙක් වන්නට මට උවමනා විය. සත්‍යයකි. මම නුඹව කොපි කළෙමි. මම නුඹේ පිටපතක් වන්නට උත්සාහ කළෙමි.

සමහර විට මා සාර්ථක වන්නට ඇත.මට එසේ සිතෙයි. මා අසාර්ථක වුවා නම්,  මා වට කරගෙන, ඉල්ලීම් කරමින්, රඳවා ගන්නට උන් උත්සාහ නොකරන්නට ඉඩ තිබුණි. භෞතික විද්‍යාව උගන්වන්නට, මාව දිගට ම ඉල්ලා නොසිටින්නට ඉඩ තිබුණි. ඒ හැරත්, මා යන්නට සැරසෙන විට, උන්  කුරුටු ගා දුන් අදහස් වල ඒ තරම් ම දේ නොතිබෙන්නට ඉඩ තිබුණි. ඒ හැරත් ඒ දේවල් කියවද්දී මගේ දෑස් තෙත් නොවන්නට ඉඩ තිබුණි. අඩු තරමේ උන් හැර එද්දී, තෙත බරිත වුණු මගේ දෑස් ඒ පුංචි එවුන්ගෙන් සඟවා ගන්නට මට සිදු නොවන්නට ඉඩ තිබුණි.

මා යළි එහි එනු දකින්නට උන්ට ඕනෑ ය. මට එය පොරොන්දු වන්නට ද සිදු විය. මම පොරොන්දු වුයෙමි. එය මුළු හදින් ම වූ පොරොන්දුවකි. රකින්නට හිතාගෙන වුන් පොරොන්දුවකි. නැවතත් කවදාක හෝ උන් වෙත යන්නට මට අවශ්‍ය ය. ඒ පුංචි එවුන්ගේ මුහුණු ටික යලි දකින්නට මට ඕනෑ ය. දෙවියන් මට ඉඩ දෙන්නේ නම්, මම සැබවින් ම යලිත් එහි යන්නට කැමැත්තෙමි. අඩු තරමින් උන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය බලන්නට හෝ යන්නට මම ආශා කරමි.

බොහොමයක් උන් තවම අවුරුදු දොළහක් දහ හතරක් තරම් වුන් ය. සමහර විට ඒ කුඩා වුන්ට මා පිලිබඳ වැඩි කලක් මතක නොතිබෙනු ඇත. වෙනත් ගුරුවරයෙක් පැමිණ උගන්වද්දී, කෙමෙන් උන් ඉහල පන්ති වලට යද්දී මා අමතක වුවහොත් ඒ පිලිබඳ මම පුදුම නොවෙමි. ඒ සියල්ල පසෙක තබා, අද මා වෙත පල කෙරුණු උන්ගේ ප්‍රතිචාරය ගැන මම බෙහෙවින් ම සතුටු වෙමි.

දින හතරක් ඉගැන්වීම වෙනුවෙන් අපට වේතනයක් පිරිනැමුණි. එය, මහපොළ මාසික දීමනාවට වඩා යන්තමින් වැඩි ගණනකි. ඒ මුදලේ අගය මට ඒ තරම් වැදගත් නොවේ. මගේ මහන්සියෙන් පළමු වරට මුදලක් ඉපැයුවේ අද ය. ලැබී පැය හයක් ගත වන්නට පළමු එය සම්පුර්ණයෙන් ම පාහේ අවසන් විය. . එයින් බොහෝ දේ කරන්නට කලක පටන් සිතා සිටියෙමි. එයින් බොහෝ දේ ඉටු කළෙමි. තවත් කිහිපයකට මුදල් වෙන් කරගෙන හිඳිමි. සියල්ල අවසානයේ, පළමු වරට යුතුකමක් ඉටු කළ බව හැඟෙයි. සැබවින් ම මම අද අමන්දානන්දයට පත්ව සිටිමි.

වේතනයෙන් ඉතිරි වූ රුපියල් පනහක මුදල අත තබාගෙන මම එයින් කළ යුත්තක් කල්පනා කරමි. අද මට මුදලට ලබා ගත නොහැකි බොහෝ දේ හිමි ව තිබේ. ජීවිත කාලය තුළ කෙදිනක වත් නොලැබූ තරම් සතුටකට මම පත්ව සිටිමි. මට ඒ සතුට ලබා දුන් දෙවියන් වහන්සේට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

එමෙන් ම, ගුරු ගීතයේ පිටු අතරින් මතු වූ නුදුටු ගුරුවරයාණෙනි. මම නුඹට ස්තුතිවන්ත වෙමි!


රිද්මය නංවයි පෙර ලෙස රළ බිඳ

Tuesday, September 25, 2012

මුහුදු රැල්ලක්
ඇතුලේ සැඟවුණු
පෙණ කැටි අහුරක
සිර වුණු ඉකියක්
හැඬවුණු මොහොතක
නුඹ හා මා හුන්
වෙරළ පසු කළ
තුන්වෙනි පන්තියේ
දුම්රිය මැදිරිය
දෙදරා වැළපෙනු
අසා උන්නෙමි මම
සැන්දෑ යාමෙක.

පෙර එක් දවසක
සැන්දෑ මොහොතක
මා තුරුලෙහි හිඳ
නුඹ කල් ගෙවූ
ඒ ගල් කුළු මත
වෙන වෙන අය අද..
ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක්

Wednesday, September 5, 2012

2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, එහි වූ Red Riding Hood සොයුරිය හමු ව ඇය හා එදින සවස් කාලය ගත කළෙමි.


මා සිතා උන්නාට වඩා බෙහෙවින් ම වෙනස් ආකාරයකට ය අදාල උත්සවය සුදානම් කර තිබුණේ. උත්සවය පටන් ගෙන තරමක් වෙලා ගත වුව ද මා බලා හුන් චරිතය, පැමිණුනේ නැත. මද වෙලාවක් ගත වූ තන්හි නිවේදනය කළ සොයුරා ප්‍රකාශ කළේ, ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් පැමිණි රථයේ යම් දෝෂයක් හේතුවෙන් සුළු පමාවක් වනු ඇති නමුත්, ඔහු අනිවාර්යයෙන් ම පැමිණෙන බවයි.

තවත් අඩ හෝරාවක් පමණ ගෙවුණු තැන, විජේසිංහයන් උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සිය බිරිඳගේ යම් අසනීප තත්වයක් නිසා තමන් පැමිණීම ප්‍රමාද වූ බවත්, පැමිණෙන අතරතුර දී රථය කාර්මික දෝෂයකට ලක් වීමෙන් තව දුරටත් ප්‍රමාද වූ බවත් දැන ගන්නට ලැබුණි. ඉන් අනතුරුව,  බෙහෙවින් ම හරවත් දේශනයකින් සභාව පෝෂණය කිරීමට ඔහු සමත් විය. දේශනයේ දී විජේසිංහයන් යෙදූ සාරවත් වදන් හා වැකි මට ඒ ආකාරයෙන් ම සිහියට නොනැගෙන හෙයින්, ඒ දේශනය පිලිබඳ කියන්නට ගොස් මගේ ග්‍රාම්‍ය වදන්, වැකි යොදා එතුමාණන්ට අපහාසයක් කිරීමට මම අකමැත්තෙමි. නමුත් දේශනය අවසානයේ, මා වරකට දෙකකට වඩා අසා නැති, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් ගැයෙන "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික" නම් සුමධුර ගීතය සහ ඊට පසුබිම් වූ සිද්ධි සමුහය පිළිබඳව විස්තර කෙරුණු බව කිව මනා ය.

දිනය ගත වී අවසන් වෙද්දී, කෙමෙන් රෑ බෝ වෙද්දී, යළි ගම් බිම් බලා එන්නට සැරසුණු මට, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෞද්ගලික රථයෙන් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි විය. කලකට පෙර, එතුමාගේ තරු ලකුණ පොතේ, කියවූ පද දෙකක අනුසාරයෙන් මා ලියන්නට උත්සාහ කළ කවියක් (හෝ එවැන්නක්) අඩුපාඩු විමසා ගන්නට එතුමා අතට පත් කළෙමි. මගේ නම හෝ දුරකථන අංකයක් එහි සඳහන් කරන්නට අමතක වුයෙන් පසු දා දුරකතනයෙන් ඔහු අමතන්නට පොරොන්දු වූ මම සතර දේවාලය ළඟින් බැස ගත්තෙමි.

පොරොන්දු ප්‍රකාරව ඉරිදා දින ඔහු අමතන්නට බැරි වුණු අතර, සඳුදා බැහැරක ගොස් එමින් සිටි මම සතර දේවාලය අසල අවමඟුල් සැරසිලි දුටුවෙමි. නරකක හෝ නපුරක සේයාවක් සිතේ ඇඳි වහා ම මැකී ගියේ එවැන්නක් වෙතැයි මා සිහිනයකින් වත් නොසිතු හෙයිනි. නිවසට පැමිණි මම ඇඳුම් අහවර නොකර ම රත්න ශ්‍රී විජේසිංහයන් ඇමතුවෙමි.

"සර්. මම එදා වාහනේ දී සර් ට කවිය දුන්නු කෙනා කතා කරන්නේ."
"ඔව්. කියන්න.."
"සර් ඒ කවිය බැලුවා ද? මට ඇමතුමක් දෙන්න කිව්වා."
"අපේ ගෙදර මළ ගෙයක් වෙලා දරුවෝ. මට ඒක බලන්න වුනේ නැහැ."
"කවුද සර්?"
"මගේ නෝනා නැති වුණා."
සිදු වුයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වූ මම ගොළු වීමි. මා සිහි එලවා ගනිද්දී, දුරකථනය විසන්ධි වී තිබුණි.

මට එක වර ම සිහි වූයේ විජේසිංහයන් ඇය පිලිබඳ රචිත කවි සහ ගීත යි. ඒවායේ පරිදි ඔහු සිය බිරිඳට කෙතරම් ආදරය කළේ ද යන වගයි. වෙසෙසින් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය යි.


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ


ලේන කුලයේ සිට පතා ආ බෝසතුන් සේ, රත්න ශ්‍රී ද සිය බිරිඳට දැඩි ව ආලය කළ බව දැන හුන් මට අවමංගල්‍ය උත්සවය සඳහා කෙසේ හෝ සහභාගී විය යුතු බව හැඟුණි. එබැවින් අවසන් කටයුතු සිදු කෙරෙන දින මම, මිත්‍ර නුවන් ද සමග එහි යන්නට තීරණය කළෙමි. මීට පෙර ඇයව දැක නැතත්, බෙහෙවින් ම හිතවත් කිසිවකුගේ අවමගුලකට සහභාගී වනවා ය යන හැඟීම අප සිත් තුළ විය. 

නිවසේ දී අපි යළිත් වරක් රත්න ශ්‍රී විජේසිංහයන් හමු වීමු. මා කවුරුන්දැයි හඳුනා ගත්  පසු විජේසිංහයන්,

"පුතා නේද මට කවියක් දුන්නේ?"

"එහෙමයි සර්"

"මේක තමයි පුතේ කවිය. නරක ම කවිය."


මේ දක්වා මට ජීවිතයේ අමතක නොවන තරම් විශේෂ සිදුවීම් තිබී නැත.  මා බෙහෙවින් ම අගය කරන, ශ්‍රේෂ්ඨතම පුරුෂයා බෙහෙවින් ම සංවේදී ව මා ඉදිරිපිට හිඳ, වෙවුලන ස්වරයෙන් කියූ  ඒ වචන කිහිපය, ඒ වචන වලටත් වඩා ඔහුගේ ස්වරය මට කෙදිනක වත් අමතක නොවනු ඇතැයි මට සිතේ.

අස්වැන්නේ මේ පිළිබඳව වඩාත් විස්තර සහිතව සටහනක් පල වුණු අතර මේ සටහන මගින් කළේ හේමමාලා විජේසිංහයන්ගේ අවමංගල්‍යය හා බැඳි මගේ ජීවිතය හා සම්බන්ධ වුණු සිදුවීම් පිළිබඳව යම් සඳහනක් කිරීම පමණි.  මේ සටහනට විරාමයක් තැබෙන්නේ ද අදාල ලිපියේ අවසානයේ වූ වැකියෙනි.

බදාදා හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.



ප.ලි:- 
මෙතෙක් කල් දුරකථන ඇමතුමකින් හෝ වත් පොතේ දෙබසකින් මිස සජීවී හමු වීමක් වන්නට නොයෙදුණු දයානන්ද රත්නායක අයියා (අස්වැන්න) හමු වන්නට ද එදා අවකාශ සැලසිණි. 

එමෙන් ම එකොලොස්වන පැය උත්සවයේ දී  Red Riding Hood අක්කා පිට ව ගිය පසු, දන්නා හඳුනන කිසිවෙක් නැතිව, එතැන තනිව හුන් මා හා මිත්‍ර ව කතා කරමින් තවත් බොහෝ දෙනෙක් හඳුන්වා දුන් බුන්දියේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් අක්කාට ද මම බෙහෙවින් ම කෘතඥ වෙමි.

ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

Tuesday, August 21, 2012

මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි.

මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත 'ගුරු ගීතය' නම් අද්විතීය කෘතිය යුනිකෝඩ් කරන ලදී.

ගුරු ගීතය PDF ගොනුව මෙතැනින් බාගත කළ හැකි ය!


ප.ලි :

2011 වසරේ අගෝස්තු මස 21 වන දින, එතෙක් Nj_A  ලෙස තිබූ බ්ලොගය අරුණැල්ල නමින් ලියන්නට ගෙන මේ වන විට වසරක් ගතවී ගොස් හමාර ය. වසරක් තුල Page Views 40,000 කට අධික සංඛ්‍යාවක් අරුණැල්ලට හිමි කර දෙමින් මේ දක්වා අරුණැල්ල සමග රැඳී හුන් ඔබ සැමට අරුණැල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි!

 සයිබරයේ කරක් ගසා කොතෙක් සෙව්වත් scan කරන ලද pdf ගොනුවක් ලෙස මිස සොයාගත නොහැකි වූ ගුරු ගීතය යුනිකෝඩ් කිරීමෙහිලා,

ස්වායක්ත ලියන නුවන් තාරක සොහොයුරා
නේජා ලියන රුවී
ගිනි කුරුල්ලා හෙවත් සමිල අයියා
අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා
ක්සැන්ඩරගේ කොලම ලියන ක්සැන්ඩර්
සුදාගේ සිතුවිල්ලක් ලියන මුදිත සුදාරක
Feels Like ලියන සඳුනි
බිම්සර
සිතුම් පැතුම්
චතුර බුද්ධික
ජනරඟ විජයිඳු දේවසුරේන්ද්‍ර
සඳ කිඳුරා
දඟ මල්ල
දඟකාරි
හසිත අයියා
ප්‍රදීප් අයියා
මී ගොඩයා
පුබුදු මල්ලි
ඇතුළු පිරිසත්, විශේෂයෙන් Red Riding Hood දක්වූ සහයෝගයත් බෙහෙවින් ම අගය කළ යුතු ය.

අරුණැල්ල වෙනුවෙන් එක කමෙන්ට් එකක් හෝ යෙදූ මගේ මිත්‍රයින්ටත්, අරුණැල්ලට ඇවිත්, රහසෙන් ම නික්ම ගිය දහස් ගණනටත් බොහොමත් ම ස්තුතියි! ඔබේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි!

ජය වේවා!!


ඇය සහ හදවත

Thursday, August 16, 2012

ඇඟ හිරිගඩු පිපෙන
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..

ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..

කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..

මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..

නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..

ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..

ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,

වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..







ඇගෙයි වරද (සත්‍ය සිද්ධියක් ඇසුරෙනි)

Friday, May 18, 2012


අඩවන් වූ නෙත් සඟලේ
නුරා ගින්න ඇවිලිලා,
ඊට යටින් කඳුලැල්ලක්
යාන්තමට වියළිලා,
තව ටිකකින් අන්ධකාරේ 
සැඟවෙයි ඇය නික්මිලා,
ඒ එක්ක ම කඳුලැල්ලත්
මැකී යාවි වියළිලා..

අපේ අතේ නෑ වරදක්
ඇයයි වරදේ බැඳෙන්නේ,
මැකී ගියත් කඳුළු බිඳුව
යළි නෙතගට උනන්නේ,
මහ ගඟකින් දිය දෝතක්
බිව්වට නැහැ දැනෙන්නේ,
ගඟෙන් වතුර බී යන උන්
මුහුදට ආවඩන්නේ!!





 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading