අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා.
මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ.
දුෂ්කර, කටුක එකක් වුණු මේ චාරිකාව අපේ කතා නායකයාව බොහොම වෙහෙසට පත් කරනවා. තැඹිලි මිශ්‍ර දුඹුරු පාටින් දිලිසෙන, අව්වට පුපුරු ගහන කාන්තාරයක් වගේ ගමන් මග අතරමැද එක්තරා තැනක දී ඔහු ගමන් කරන රථය නවත්වන්න සිදු වෙන්නේ පාර මාරු වෙන, සිය ගණනක් වුණු එළු රංචුවකට ඉඩ දෙන්න. පැය ගණනක් තිස්සේ හුරු වුණු ඒකාකාර දර්ශන පථය වෙනස් කරමින් මතු වුණු මේ දර්ශනය රථයේ හුන් පිරිසට බොහොම චමත්කාර ජනක එකක් වුණු බවට සැකයක් නැහැ.. බොහොම පිළිවෙලකට දක්කාගෙන ආ මේ එළු රංචුවේ ගොපල්ලා නම් පෙනෙන්නට හිටියේ නෑ. විමසිල්ලෙන් බලද්දී, තරමක වෙලාවකට පස්සේ, එළු පැටවුන් අතරින් පුංචි කෙල්ලක් මතු වෙනවා. මේ පුංචි කෙල්ල, බොහොම සුරුවමින් එළු රංචුව පාලනය කරනවා දකිද්දී මේ ලස්සන දර්ශනයේ නිර්මාණ කාරියත් එක්ක වචන කිහිපයකින් දොඩමලු වෙන්න අපේ කතා නායකයාට සිත් වෙනවා.
ඇය වෙත පාන මද සිනහවට ඇයත් පෙරලා දක්වා සිනාසෙනවා. මේ සිනහව ඔවුනොවුන් අතරේ කතාවක් ඇති වෙන්න මග පාදනවා.
"දුවගේ නම මොකක් ද? "
ඔහු බොහොම ආදරයෙන් අහනවා..
"සුභාරතී මැණිකේ"
ඇය නළලට වැටුණු කෙස් රොදක් පසුපසට කරමින්, කටකාර කෙල්ලක් වගේ පිළිතුරු දෙනවා..
"සුභාරතී මැණිකේ.... සුභාරති කියන්නේ දෙමළ නමක් නේ.. මැණිකේ කියන්නේ සිංහල නමක්.. දුව සිංහල ද? දෙමළ ද?"
ඔහුට තවත් ප්‍රශ්නයක්.. මේ ප්‍රශ්නයට නම් කටකාර කෙල්ලගෙන් පිළිතුරක් නැති හැඩයි.
ඇය නොදන්නා බව හඟවන්න හිස දෙපැත්තට වනනවා..
විස්තර දැන ගන්නා අදහසින් ඔහු තවත් ටිකක් කතා බහ කරනවා..
"දුවගේ අම්මාගේ ගම කොහෙද?"
"මෙහේ ම තමයි.."
"එතකොට තාත්තා .?"
"ගාල්ලේ ඇත්තිලිගොඩ"
ඇගේ පිළිතුරෙන් ඔහුට කතාව අවබෝධ වෙනවා..
ඇත්තට ම තමන් මුලින් ඇගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර මොකක් ද? තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ඇය ළඟ විතරක් නෙවෙයි, තමන් ළඟත් නැහැ නේ ද කියලා ඔහුට වැටහෙනවා.. ජාති, ආගම් භේද කොයි තරම් දුරකට මිනිස්සු බෙදන්න භාවිත වුණත්, ඒ බෙදීම් කොයි තරම් නොදියුණු ගණයේ ඒවා ද කියලා ඔහුට අවබෝධ වෙනවා.. ආදරය හමුවේ ඒ බෙදීම් නැති ව ගිහින් මනුෂ්‍යත්වය නම් හේතු සාධකය ඉදිරියට එනවා. මේ මනුෂ්‍යත්වය ඉදිරියේ කිසිම බෙදීමක් තවදුරටත් වලංගු වෙන්නේ නැහැ..
අපි මෙතෙක් කතා කළ 'කතා නායකයා' ප්‍රවීණ ගීත රචක, 'රත්න ශ්‍රී විජේසිංහයන්'..
මේ සංවේදී සිදුවීම ඔහු අතින් ගීතයකට නැගෙනවා.. මේ ගීතයේ එක්තරා විශේෂයක් තිබෙනවා.. මේ රචකයාගේ සෙසු බොහෝ ගීත වල දී වගේ ම මෙහිදීත් ඇත්ත ම නම් ගම් ම භාවිත වෙනවා. මේ පද මාලාව තවත් අලංකාරවත් වන්නේ ජානක වික්‍රමසිංහයන්ගේ මියුරු හඬින්..
නින්දවුර් කලපුව ළඟ - ඔලුවිල් යන පාරේ
නින්ද නැති ඇහෙන් බලනා - සුභාරතී මැණිකේ
මට ලියන්න බැරි කවියේ - මට ලියන්න බැරි කවියේ...
යුද්ධය ඇවිත් මුළු ගං ගොඩ - ගිනියම් වුණු දවසේ
ගං සූරිය මලක් වගේ - මැලවී ගිය මුහුණේ
ඇත්ත කියාපන් නංගියෙ - කඳුළු නේද තිබුණේ..
අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේ
අම්මා නුඹේ මඩකලපුවෙ බත තිරි කර දුන්නේ
රත්තරනේ නුඹ කව්රුද - සිංහල මට නොදැනේ...
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : ජානක වික්‍රමසිංහ
ගීතය මෙතැනින් අහන්න.
Subscribe to:
Post Comments (Atom)
basa hasiraweema awastawata atishaya uchita ha nirmanatmaka bawa hagee.(y)
ReplyDeleteජය වේවා !
~Anu
බොහොම ස්තුතියි මිත්‍රයා!! (Y)
Deleteශාන්තිනී තෙමා වැටේ නළන කුංකුමං ගීතයත් මතක් වුණා.
ReplyDeleteහ්ම්ම්ම්.. ඒ ගීතය ගැනත් යම් යම් දේවල් කිහිපයක් කියන්න තියෙනවා. ඒත් ඒ දේවල් බ්ලොග් එකේ සටහන් කිරීම ඒ තරම් සුදුසු නැහැ කියලයි හිතෙන්නේ.
Deleteජය වේවා!!!
තේරුම ලස්සනයි..කතාව ඇත්ත උනාට එක ගොඩක් අය තෙරුම් ගන්නෙ නැ.
ReplyDeleteහ්ම්ම්... ඒත් තේරුම් ගන්න අයත් ඉන්නවා නේ!!
Deleteකාලෙකට පස්සේ අදහසක් පල කරලා.. බොහොම ස්තුතියි! :)
අර්ථවත් ගීතයක්.
ReplyDeleteහ්ම්ම්..
Deleteජයවේවා!!
අවාසනාවකට මේ ගිය ඇතුලත් ජානකගේ සිඩි එක මගේ අතින් නැතිවුණා අද මේ ගීයේ සීඩි එකවත් හොයාගන්න නෑ.
ReplyDeleteවාර්ගික සමානාත්මතාවය ගැන හොදම අදහස් ලියැවුනේ රත්න ශ්‍රී අතින්
මේ ගීතය හොයා ගන්න මාත් බොහොම වෙහෙසක් දැරුවා. අන්තර්ජාලයේ පවා බාගත කළ හැකි විදියේ පිටපත් තිබුණේ නැහැ.
Deleteබොහොම ස්තුතියි අයියේ අදහසට! ජය වේවා!!
මල්ලී ආයේමත් ලියන්න ගත්ත එක ගැන සතුටුයි.
ReplyDeleteවිවේකයක් ලැබුණු ගමන් ලියනවා අක්කේ! බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට! :D
Deleteහුගාක් ගිත වලටත් වඩා නිදාන කතව ලස්සනයි.එක දෑන ගත්තම ගිතය වඩාත් ලස්සනයි
ReplyDeleteඇත්තට ම.. බොහොම ස්තුතියි Damith! :)
Deleteකාලයකින් ඔබෙන් විවරණයක්....
ReplyDeleteමේ ගීතය ගැන මා දැන සිටියේ නැහැ. විවරණයට ස්තුතියි.
ගීතය පිළිබඳව මා දැන ගත්තෙත් අහම්බෙන්. බොහොම ස්තුතියි අක්කේ!! :)
Deleteලස්සන ගීයක්..සංගීතයේ මායාමය ගතියක් තියනවා..ස්තුතියි රැංගෝ..
ReplyDelete