Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

රිද්මය නංවයි පෙර ලෙස රළ බිඳ

Tuesday, September 25, 2012

මුහුදු රැල්ලක්
ඇතුලේ සැඟවුණු
පෙණ කැටි අහුරක
සිර වුණු ඉකියක්
හැඬවුණු මොහොතක
නුඹ හා මා හුන්
වෙරළ පසු කළ
තුන්වෙනි පන්තියේ
දුම්රිය මැදිරිය
දෙදරා වැළපෙනු
අසා උන්නෙමි මම
සැන්දෑ යාමෙක.

පෙර එක් දවසක
සැන්දෑ මොහොතක
මා තුරුලෙහි හිඳ
නුඹ කල් ගෙවූ
ඒ ගල් කුළු මත
වෙන වෙන අය අද..
ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

දුයිෂෙන් නොකී කවිය

Sunday, September 16, 2012

සැඩ සුළඟ, මද පවනක් ව
තුරු ගොමු සිසාරා හමන
වියළි හිම කැට
තෙත බරිත වී
ධවල කඳු හිස්
සුනිල්වන් වන
සුපුෂ්පිත කුසුම්හි මකරන්දය
බඹර පහසින් ගෙත්තම් වන
වසන්තය එළඹෙන තුරු
කටුක ශිශිරය අවසන් ව,
බලා හිඳිමි මම
පොප්ලර් අතු අතරින්
තිමිරය ඉරාගෙන
නැගෙන හිරු දකින්නට..

කඳු ඉහත්තාවේ
පාසලට ඉහළින්
නුඹ  ගුරු තරුව කරවා,
පොප්ලර් ගස් සෙවනෙහි හිඳ
යළිත් ගුරු ගීතය ලියන්නට
අල්තීනායි විය නොහැකි ය මට..

නුඹේ තේජස ඉදිරිපිට
යළිත් තේජස් වන අයුරු මට
උගන්වනු මැන කමා කර
සුලෙයිමානවා මැතිණිය..

අසරණව නුඹ නොදැක නික්මුණ
වියපත් ලියුම් බෙදන්නා වෙමි මම..

නගරය

Saturday, September 8, 2012

ආං බලාපියව්...
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!

තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?

හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..

ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..




රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක්

Wednesday, September 5, 2012

2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, එහි වූ Red Riding Hood සොයුරිය හමු ව ඇය හා එදින සවස් කාලය ගත කළෙමි.


මා සිතා උන්නාට වඩා බෙහෙවින් ම වෙනස් ආකාරයකට ය අදාල උත්සවය සුදානම් කර තිබුණේ. උත්සවය පටන් ගෙන තරමක් වෙලා ගත වුව ද මා බලා හුන් චරිතය, පැමිණුනේ නැත. මද වෙලාවක් ගත වූ තන්හි නිවේදනය කළ සොයුරා ප්‍රකාශ කළේ, ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් පැමිණි රථයේ යම් දෝෂයක් හේතුවෙන් සුළු පමාවක් වනු ඇති නමුත්, ඔහු අනිවාර්යයෙන් ම පැමිණෙන බවයි.

තවත් අඩ හෝරාවක් පමණ ගෙවුණු තැන, විජේසිංහයන් උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සිය බිරිඳගේ යම් අසනීප තත්වයක් නිසා තමන් පැමිණීම ප්‍රමාද වූ බවත්, පැමිණෙන අතරතුර දී රථය කාර්මික දෝෂයකට ලක් වීමෙන් තව දුරටත් ප්‍රමාද වූ බවත් දැන ගන්නට ලැබුණි. ඉන් අනතුරුව,  බෙහෙවින් ම හරවත් දේශනයකින් සභාව පෝෂණය කිරීමට ඔහු සමත් විය. දේශනයේ දී විජේසිංහයන් යෙදූ සාරවත් වදන් හා වැකි මට ඒ ආකාරයෙන් ම සිහියට නොනැගෙන හෙයින්, ඒ දේශනය පිලිබඳ කියන්නට ගොස් මගේ ග්‍රාම්‍ය වදන්, වැකි යොදා එතුමාණන්ට අපහාසයක් කිරීමට මම අකමැත්තෙමි. නමුත් දේශනය අවසානයේ, මා වරකට දෙකකට වඩා අසා නැති, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් ගැයෙන "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික" නම් සුමධුර ගීතය සහ ඊට පසුබිම් වූ සිද්ධි සමුහය පිළිබඳව විස්තර කෙරුණු බව කිව මනා ය.

දිනය ගත වී අවසන් වෙද්දී, කෙමෙන් රෑ බෝ වෙද්දී, යළි ගම් බිම් බලා එන්නට සැරසුණු මට, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෞද්ගලික රථයෙන් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි විය. කලකට පෙර, එතුමාගේ තරු ලකුණ පොතේ, කියවූ පද දෙකක අනුසාරයෙන් මා ලියන්නට උත්සාහ කළ කවියක් (හෝ එවැන්නක්) අඩුපාඩු විමසා ගන්නට එතුමා අතට පත් කළෙමි. මගේ නම හෝ දුරකථන අංකයක් එහි සඳහන් කරන්නට අමතක වුයෙන් පසු දා දුරකතනයෙන් ඔහු අමතන්නට පොරොන්දු වූ මම සතර දේවාලය ළඟින් බැස ගත්තෙමි.

පොරොන්දු ප්‍රකාරව ඉරිදා දින ඔහු අමතන්නට බැරි වුණු අතර, සඳුදා බැහැරක ගොස් එමින් සිටි මම සතර දේවාලය අසල අවමඟුල් සැරසිලි දුටුවෙමි. නරකක හෝ නපුරක සේයාවක් සිතේ ඇඳි වහා ම මැකී ගියේ එවැන්නක් වෙතැයි මා සිහිනයකින් වත් නොසිතු හෙයිනි. නිවසට පැමිණි මම ඇඳුම් අහවර නොකර ම රත්න ශ්‍රී විජේසිංහයන් ඇමතුවෙමි.

"සර්. මම එදා වාහනේ දී සර් ට කවිය දුන්නු කෙනා කතා කරන්නේ."
"ඔව්. කියන්න.."
"සර් ඒ කවිය බැලුවා ද? මට ඇමතුමක් දෙන්න කිව්වා."
"අපේ ගෙදර මළ ගෙයක් වෙලා දරුවෝ. මට ඒක බලන්න වුනේ නැහැ."
"කවුද සර්?"
"මගේ නෝනා නැති වුණා."
සිදු වුයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වූ මම ගොළු වීමි. මා සිහි එලවා ගනිද්දී, දුරකථනය විසන්ධි වී තිබුණි.

මට එක වර ම සිහි වූයේ විජේසිංහයන් ඇය පිලිබඳ රචිත කවි සහ ගීත යි. ඒවායේ පරිදි ඔහු සිය බිරිඳට කෙතරම් ආදරය කළේ ද යන වගයි. වෙසෙසින් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය යි.


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ


ලේන කුලයේ සිට පතා ආ බෝසතුන් සේ, රත්න ශ්‍රී ද සිය බිරිඳට දැඩි ව ආලය කළ බව දැන හුන් මට අවමංගල්‍ය උත්සවය සඳහා කෙසේ හෝ සහභාගී විය යුතු බව හැඟුණි. එබැවින් අවසන් කටයුතු සිදු කෙරෙන දින මම, මිත්‍ර නුවන් ද සමග එහි යන්නට තීරණය කළෙමි. මීට පෙර ඇයව දැක නැතත්, බෙහෙවින් ම හිතවත් කිසිවකුගේ අවමගුලකට සහභාගී වනවා ය යන හැඟීම අප සිත් තුළ විය. 

නිවසේ දී අපි යළිත් වරක් රත්න ශ්‍රී විජේසිංහයන් හමු වීමු. මා කවුරුන්දැයි හඳුනා ගත්  පසු විජේසිංහයන්,

"පුතා නේද මට කවියක් දුන්නේ?"

"එහෙමයි සර්"

"මේක තමයි පුතේ කවිය. නරක ම කවිය."


මේ දක්වා මට ජීවිතයේ අමතක නොවන තරම් විශේෂ සිදුවීම් තිබී නැත.  මා බෙහෙවින් ම අගය කරන, ශ්‍රේෂ්ඨතම පුරුෂයා බෙහෙවින් ම සංවේදී ව මා ඉදිරිපිට හිඳ, වෙවුලන ස්වරයෙන් කියූ  ඒ වචන කිහිපය, ඒ වචන වලටත් වඩා ඔහුගේ ස්වරය මට කෙදිනක වත් අමතක නොවනු ඇතැයි මට සිතේ.

අස්වැන්නේ මේ පිළිබඳව වඩාත් විස්තර සහිතව සටහනක් පල වුණු අතර මේ සටහන මගින් කළේ හේමමාලා විජේසිංහයන්ගේ අවමංගල්‍යය හා බැඳි මගේ ජීවිතය හා සම්බන්ධ වුණු සිදුවීම් පිළිබඳව යම් සඳහනක් කිරීම පමණි.  මේ සටහනට විරාමයක් තැබෙන්නේ ද අදාල ලිපියේ අවසානයේ වූ වැකියෙනි.

බදාදා හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.



ප.ලි:- 
මෙතෙක් කල් දුරකථන ඇමතුමකින් හෝ වත් පොතේ දෙබසකින් මිස සජීවී හමු වීමක් වන්නට නොයෙදුණු දයානන්ද රත්නායක අයියා (අස්වැන්න) හමු වන්නට ද එදා අවකාශ සැලසිණි. 

එමෙන් ම එකොලොස්වන පැය උත්සවයේ දී  Red Riding Hood අක්කා පිට ව ගිය පසු, දන්නා හඳුනන කිසිවෙක් නැතිව, එතැන තනිව හුන් මා හා මිත්‍ර ව කතා කරමින් තවත් බොහෝ දෙනෙක් හඳුන්වා දුන් බුන්දියේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් අක්කාට ද මම බෙහෙවින් ම කෘතඥ වෙමි.
 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading