Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

හුණුවටයේ කතාව නැරඹුයෙමි.

Monday, January 28, 2013




හෙල ගැඹුරුයි
පුත නොබලන්

සෙලවෙන කොට
වැල් පාලම
දෑස බයෙන්
බිම නොබලන්

අපට පුතේ 
මගක් නැතේ
මේ මග මිස
යමන පුතේ 

දෙවියෝ බලයි
මුණ නුඹේ
නුඹව රකියි 
යමන් පුතේ




සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් වචන කිහිපයක් නොවන්නට මෙය විදේශීය බව කිසිවෙකුට නොසිතෙන තරම් ම ලාංකීය ය. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍යයේ එන 'වැල් පාලමේ ගීතය' නම් ගීතය ඒ බව නොදන්නා වුන්ගේ දැන ගැනීම පිණිස සිහිපත් කරමි. 

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබ, ගාල්ලේ 'Hall de Galle' ශාලාවේ වේදිකා ගත වුණු 'හුණුවටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය රස විඳීමේ භාග්‍යය මට ද හිමි විය. රසවින්දනයේ උච්ඡත ම අවස්ථාවට පැමිණ, මා ලද අත්දැකීම, බෙදා ගනු පිණිස, දවස ගෙවෙන්නට පළමු මෙසේ යුනිකෝඩ් කරමි.

යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා 
මගේ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගනියි නිරතුරු

ස්වර්ගෙට ගිය කළේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ..

හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු වුණු අතර, 1999 දී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකු යොදා ගනිමින් දෙවන වර නිර්මාණය විය. 1967 සිට 1999 දක්වා වසර 32ක් එක ම චරිත රඟ දැක්වූ නළු නිළියන්ට, තව දුරටත් එය සිදු කිරීම සැබවින් ම අසීරු කරුණක් වන්නට ඇත. හෙන්රි ජයසේනයන් විසින් ම 'හුණු වටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය කරන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳව, තෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් ඔහු දක්වන අදහසෙහි ඒ බව සඳහන් වෙයි.

මට නරඹන්නට අවකාශ ලැබුණේ මෙකී තෙවන නිෂ්පාදනය යි. පැරණි නළු නිළියන් අතුරින් තිදෙනෙක් පමණක් මෙහි රඟන අතර, සෙසු සියල්ලන් ම පාහේ අලුත් නළු නිළියන් ය. පෙර වෙනත් චරිත රඟ පෑ 'නිමල් ජයසිංහ' අද පොතේ ගුරු චරිතය රඟපායි. එදා ෂව්වාගේ චරිතය රඟපෑ 'චූලා කාරියවසම්' අදත් එම චරිතය ම රඟපායි. එදා නොන්ඩි සොල්දාදුවා ලෙස රඟපෑ 'විජිත සල්ගාදු' අදත් එම චරිතය ම වෙනත් නළුවෙකු(ලලිත් ජයකාන්ත) සමග රඟපායි.

කෙසේ නමුත් අද වෙද්දී එහි ප්‍රධාන නළු නිළි දෙපල ම ජීවතුන් අතර නැත. එදා හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් ඔපවත් වුණු අසඩක්ගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට නලීන් ප්‍රදීප් උඩුවෙල දරණ උත්සාහය සාර්ථක බව මගේ හැඟීමයි. එදා මානෙල් ජයසේන රඟ දැක්වූ ගෘෂාගේ චරිතයට අද පණ  පොවන්නේ රුවනි මනම්පේරියි. 
ප්‍රධාන කොටස් දෙකක් යටතේ දිවෙන මෙහි අංක 5කි. සිව්වෙනි අංකයේ දී හෙවත් විනිශ්චයකරු පිලිබඳ කතාවේ, පළමු අංකයේ දී සබයට පිවිසෙන අසඩක්, සමස්ත කතාව පුරා ම මතුවුණු සෙසු චරිත සියල්ල ම අභිබවා සිය නායකත්වය සටහන් කරන්නේ සිය රංගන කාලය පැයකටත් අඩුවෙන් ලබා ගනිමිනි. ඒ තරම් කෙටි කාලයකින්, නරඹන්නන් තුළ, ප්‍රධාන චරිතය වූ අසඩක් කෙරේ පහන් හැඟීමක් ඇති කිරීම සැබවින් ම දුෂ්කර කටයුත්තක් බව නොකිව මනා ය. ඒ සඳහා මස් වන සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවක් අදාළ රංගන ශිල්පියා සතු විය යුතු ය. හෙන්රි ජයසේනයන් සතුව  ඒ ප්‍රතිභාව තිබුණු බව අපි දනිමු. ක්ෂේත්‍රයේ හෙන්රි ජයසේනයන් තරම් ප්‍රවීනයෙක් නොවුනත්, නලින් ප්‍රදීප්ගේ රංගනය ද සැබවින් ම ප්‍රශංසනීය එකකි. 

හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.

ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති. 

නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි.  තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.

මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්‍රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි. 

වේදිකාව මත, හුණු වටයේ කතාව එසේ දිවෙද්දී වේදිකාව පිටුපස අසඩක් ඉදිරියේ වූ යුෂ්මතිය හෙවත් ගෘෂා, සැබෑ ජීවිතයේ දී, හෙන්රි ජයසේනයන්ගේ ආදරණීය බිරිඳ විය. අද ඔවුන් දෙදෙනා ම ජීවතුන් අතර නැත. නමුත් ඔවුනගේ රංගනයෙන් හැඩ වූ 'හුණු වටයේ කතාව' අපට දායාද වී ඇත. මේ සිය ආදරණිය ගෘෂා හෙවත් මානෙල් ජයසේන නම් ආදරවන්තියට, අසඩක් හෙවත් හෙන්රි ජයසේන නම් ආදරවන්තයා ලියු කවියකි. අවාසනාවකට මෙන් මෙය ලියවෙද්දී මානෙල් ජයසේන අප අතරින් සමුගෙන ගොසිනි.

අසඩක් ලෙස වෙස් ගත් මා
කොතෙක් නම් වෙලා බලා සිටියෙම් ද
වේදිකාවේ පසෙක සිට
ඔබේ විස්කම්
මගේ ගෘෂාවෙනි..

පා ඇඟිලි තුඩගින්
කඳු ප්‍රාන්තයට පිය නැඟූ ගමන්
කරේ හොවාගෙන
ළදරු මයිකල් කුමරුවන්
ඔබේ උණුසුම ඔහුට දුන් ඔබ
මුළු රටකට ම දුන්නා නොවේ ද
ඔබේ අභිරංගනයේ උණුසුම

මුළු දැයකට ම බෙදුවා නොවේ ද
ඔබේ දෑස, දෑත දෙපයේ
හුරුබුහුටි මහිමය!

තවමත් සිතින් බලා සිටිමි මම
මගේ ම ගෘෂවෙනි
ඔබේ ඒ
නො මියෙන මහා ප්‍රතිභා දෙස
ඔබේ ලලිත රුව දෙස

මට නම් 
දිවි ඇති තෙක් ම නොමියේ
ඔබේ ඒ මහා ප්‍රතිභා..

ඔබ නොලද්දේ ය 
පඬුරු - ඵලක - තිලිණ
ඔබේ මහා ප්‍රතිභාවට
මේ තාක් කල්...

මායිම් නොකළා ය ඔබ
කිසිවිටෙකත් 
ඒ සා පුද පඬුරු
නිරතුරුව ම ලද නිසා
මුළු මහත් දැයක ම 
ප්‍රසාද - ප්‍රණාම

ලද නිසා ඔබ
සුවහසක් ප්‍රේක්ෂක දනන්ගේ
උණුසුම් සෙනෙහස..

අත්වැල් බැඳ සිටිමු අපි
මගේ ගෘෂාවෙනි
දායාද පුදමින්
හෙළ කරලියේ 
අලුත් පරපුරකට..




ප.ලි: 
අද නාට්‍යය නරඹන්නට ගොස් සිටිය දී, එහි දී ම හමු වී, හරි හැටි මුහුණ වත් නොදැක, නිකමට කළ ඉල්ලීමකින්, නුඹට ලැබුණු නාට්‍යයේ විස්තර අඩංගු සමරු පොත මට දෙන්නට තරම් කාරුණික වුණු නාඳුනන මහත්මයාණෙනි. නුඹට බොහොම ස්තුතියි.

25 comments

  1. අතීතයේ සොඳුරු මතකයක් අලුත් කළාට ගොඩක් ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අරුණැල්ල වෙත ගොඩවැදුනාට ස්තුතියි අක්කේ.. :)

      Delete
  2. බලලා නම් නෑ තාම.. ඒත් බලන්න වටිනවා කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම..
      බැලිය යුතු ම එකක්!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හුණු වටය ලිළිබඳව දැන සිටියද මේතරම් විස්තරයක් නම් කලින් දැන සිටියේ නැ.මල්ලීට ස්තුතියි අපිව දැනුවත් කලාට.මොකද දැන් අපේ පැත්තට නොයෙන්නේ.වැරදි දෙයක්වත් ලියවෙනවද මගේ අතින්.?
      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
    2. අනේ නෑ අක්කේ. මේ දවස්වල ටිකක් කාර්යය බහුල වෙලා හිටියේ.. දැන් නම් නිදහස්!! අනිවාර්යයෙන් ම ඇවිත් යන්නම්!

      Delete
  4. නියමයි ඈ.ඇත්තටම මට සතුටු හිතුනා හොද රස‍‍ඥතාවයක් තියෙන අය ඉන්නවා කියන එක.ඒ නාට්‍යයේ ගීත පදවලට සුපිරි රගපෑම් වලට ඇත්තයම මං ආදරෙයි

    ReplyDelete
    Replies
    1. හිතුවට වඩා සෙනගක් නාට්‍යය නරඹන්න ඇවිත් හිටියා. මාත් හිතුවේ නැහැ ඒ තරම් පිරිසක් ඒවි කියලා... කොහොම වුණත් බොහොම අපුරු නාට්‍යයක් නේ!

      Delete
  5. කාලයක් උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුලත් කරලා තිබුණා නේද?හොඳ ලිපියක් !

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕන.. මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන් නේ. ඒ නිසා ඒ ගැන ඒ තරම් අවබෝධයක් නෑ! බොහොම ස්තුතියි රෙහානි!

      Delete
  6. මාත් ගිය අවුරුද්දෙ බැලුවා.ඉස්කෝලෙන් ඩ්‍රාමා කරන උන්ව විතරයි එක්ක ගියේ.අපි සෙට් එකත් ඩ්‍රාමා කරනව කියල බොරු කියල මේක බලන්න ගියා...

    සුදුසීයා ලියපු කවිය නම් පුදුම ලස්සනයි අය්යේ.අනේ ඒක දකින්න එතුමිය ජීවත් වෙලා හිටියනං කියලා හිතුණ..!

    ReplyDelete
    Replies
    1. මම දන්න කියන කාලෙක ගාල්ලට ආවේ මේ පාර. ඒ හින්ද අවස්ථාව ලැබුණු ගමන් බැලුවා.. බොරු කිව්වත් නරක දේකට නෙවෙයි නේ..

      ඇත්තටම ඒ කවිය නම් අගෙයි! කවිය නොදැක්කට ඔහු ආදරය කළ තරම එතුමිය දැනගෙන ඉන්න ඇති!

      Delete
  7. ඉස්සෙල්ලාම හුණුවටය බැලුවෙ ජාතික රූපවාහිනියෙන්..ඒ නිසා සින්දු කවි සමහර දෙබස් එහෙම ගොඩක් මතක තිබුනා..
    වේදිකාවෙදි බැලුවත් පසුපස පේලිවල සිටි නිසා ලොකු රසයක් නම් ලබන්න බැරිවුනා..ස්තුතියි රැංගෝ මතක පොත අවදි කලාට...

    නලින් ප්‍රදීප්ගේ රංගන ප්‍රතිභාව ගැන සැකයක් නැහැ..ඔහු මේ චරිතයට සාධාරණයක් කරන්න ඇති බව මගෙත් හැඟීම..

    ReplyDelete
    Replies
    1. සුදු සීයාගේ රංගනය දකින්න තරම් මා පින් කර නෑ! කොහොම වුණත් නාට්‍යය පිලිබඳ සෑහීමකට පත් වෙනවා කියන්නේ නලින්ගේ රංගනය සාධාරණ විය යුතුයි කියන එකම නේ!!
      ජය වේවා අක්කේ!

      Delete
  8. නාට්‍යය බලන්න ලැබුනෙ නැති උනත් මේ නාට්‍යයේ එන කථාවත් ගීතත් අහල තියෙනව. බලන්නත් ගොඩක් කැමැත්තෙන් ඉන්න නාට්‍යයක් මේ.
    හෙන්රි ජයසේනයන් ලිව්ව කවිය හරිම ලස්සනයි. ඇය ඒ කවිය දුටුවා නම් කොයි තරම් හොඳද කියල මටත් හිතුනා..

    ReplyDelete
    Replies
    1. මාත් නරඹන්න කලින් ගීත ටික සහ කතාව අහලා තිබුණා. නාට්‍යයෙන් නම් හොඳ වින්දනයක් ලැබුවා. අවස්ථාවක් ලැබුනොත් මග හරින්න එපා!

      Delete
  9. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා. කොමෙන්ටු නොදැම්මට මේ මම නිතර යන එන පැත්තක් නේ!!

      Delete
  10. හුණුවටයේ කතාව අපට උසස්පෙලට තිපුණ නිසා නාට්‍ය කීපවතාවක්ම නැරමුවා ඒකාලේ හිටියේ හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන මුලු නාට්‍යම කටපාඩම්

    ReplyDelete
    Replies
    1. ඒ වාසනාව අපට හිමි වුණේ නෑ නේ අයියේ.. ඉරිසියා හිතෙනවා!! :)

      Delete
  11. අඩසන් කලා කරුවා නැතිනම් අපේ සුදු සීයා අප අතරින් සමු අරන්,
    එහෙත් මෙම නාට්‍ය අපට ගෙන එන චින්තනය විශිෂ්ඨයි.
    සියලු දෙනාගේම රංග භූමිකාවන් ද එ පරිදිමය. නාට්‍ය ගැන වර්ණනාවක් ම නොව, ඔබ අපගේ හුණු වටය මතකය ආවර්ජනය කළාට ද තුති.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවටත් බොහොම ස්තුතියි අක්කේ! ජය වේවා!

      Delete
  12. //මගේ යාළුවො මං එනතුරු
    උන්දැ බලා ගනියි නිරතුරු//

    ඉස්සර යාළුවො ඔහොම උනාට දැන් අයනම් විස්වාස කරන්න අමාරුයි....

    නැ නැ ගෙදර තියල ගිය කෙනා

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්!! කාලය මැවූ වෙනසක අරුමේ!! ;)

      Delete

 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading