මා සිතා උන්නාට වඩා බෙහෙවින් ම වෙනස් ආකාරයකට ය අදාල උත්සවය සුදානම් කර තිබුණේ. උත්සවය පටන් ගෙන තරමක් වෙලා ගත වුව ද මා බලා හුන් චරිතය, පැමිණුනේ නැත. මද වෙලාවක් ගත වූ තන්හි නිවේදනය කළ සොයුරා ප්‍රකාශ කළේ, ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් පැමිණි රථයේ යම් දෝෂයක් හේතුවෙන් සුළු පමාවක් වනු ඇති නමුත්, ඔහු අනිවාර්යයෙන් ම පැමිණෙන බවයි.
තවත් අඩ හෝරාවක් පමණ ගෙවුණු තැන, විජේසිංහයන් උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සිය බිරිඳගේ යම් අසනීප තත්වයක් නිසා තමන් පැමිණීම ප්‍රමාද වූ බවත්, පැමිණෙන අතරතුර දී රථය කාර්මික දෝෂයකට ලක් වීමෙන් තව දුරටත් ප්‍රමාද වූ බවත් දැන ගන්නට ලැබුණි. ඉන් අනතුරුව, බෙහෙවින් ම හරවත් දේශනයකින් සභාව පෝෂණය කිරීමට ඔහු සමත් විය. දේශනයේ දී විජේසිංහයන් යෙදූ සාරවත් වදන් හා වැකි මට ඒ ආකාරයෙන් ම සිහියට නොනැගෙන හෙයින්, ඒ දේශනය පිලිබඳ කියන්නට ගොස් මගේ ග්‍රාම්‍ය වදන්, වැකි යොදා එතුමාණන්ට අපහාසයක් කිරීමට මම අකමැත්තෙමි. නමුත් දේශනය අවසානයේ, මා වරකට දෙකකට වඩා අසා නැති, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් ගැයෙන "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික" නම් සුමධුර ගීතය සහ ඊට පසුබිම් වූ සිද්ධි සමුහය පිළිබඳව විස්තර කෙරුණු බව කිව මනා ය.
දිනය ගත වී අවසන් වෙද්දී, කෙමෙන් රෑ බෝ වෙද්දී, යළි ගම් බිම් බලා එන්නට සැරසුණු මට, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෞද්ගලික රථයෙන් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි විය. කලකට පෙර, එතුමාගේ තරු ලකුණ පොතේ, කියවූ පද දෙකක අනුසාරයෙන් මා ලියන්නට උත්සාහ කළ කවියක් (හෝ එවැන්නක්) අඩුපාඩු විමසා ගන්නට එතුමා අතට පත් කළෙමි. මගේ නම හෝ දුරකථන අංකයක් එහි සඳහන් කරන්නට අමතක වුයෙන් පසු දා දුරකතනයෙන් ඔහු අමතන්නට පොරොන්දු වූ මම සතර දේවාලය ළඟින් බැස ගත්තෙමි.
පොරොන්දු ප්‍රකාරව ඉරිදා දින ඔහු අමතන්නට බැරි වුණු අතර, සඳුදා බැහැරක ගොස් එමින් සිටි මම සතර දේවාලය අසල අවමඟුල් සැරසිලි දුටුවෙමි. නරකක හෝ නපුරක සේයාවක් සිතේ ඇඳි වහා ම මැකී ගියේ එවැන්නක් වෙතැයි මා සිහිනයකින් වත් නොසිතු හෙයිනි. නිවසට පැමිණි මම ඇඳුම් අහවර නොකර ම රත්න ශ්‍රී විජේසිංහයන් ඇමතුවෙමි.
"සර්. මම එදා වාහනේ දී සර් ට කවිය දුන්නු කෙනා කතා කරන්නේ."
"ඔව්. කියන්න.."
"සර් ඒ කවිය බැලුවා ද? මට ඇමතුමක් දෙන්න කිව්වා."
"අපේ ගෙදර මළ ගෙයක් වෙලා දරුවෝ. මට ඒක බලන්න වුනේ නැහැ."
"කවුද සර්?"
"මගේ නෝනා නැති වුණා."
සිදු වුයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වූ මම ගොළු වීමි. මා සිහි එලවා ගනිද්දී, දුරකථනය විසන්ධි වී තිබුණි.
මට එක වර ම සිහි වූයේ විජේසිංහයන් ඇය පිලිබඳ රචිත කවි සහ ගීත යි. ඒවායේ පරිදි ඔහු සිය බිරිඳට කෙතරම් ආදරය කළේ ද යන වගයි. වෙසෙසින් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය යි.
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී
මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
ලේන කුලයේ සිට පතා ආ බෝසතුන් සේ, රත්න ශ්‍රී ද සිය බිරිඳට දැඩි ව ආලය කළ බව දැන හුන් මට අවමංගල්‍ය උත්සවය සඳහා කෙසේ හෝ සහභාගී විය යුතු බව හැඟුණි. එබැවින් අවසන් කටයුතු සිදු කෙරෙන දින මම, මිත්‍ර නුවන් ද සමග එහි යන්නට තීරණය කළෙමි. මීට පෙර ඇයව දැක නැතත්, බෙහෙවින් ම හිතවත් කිසිවකුගේ අවමගුලකට සහභාගී වනවා ය යන හැඟීම අප සිත් තුළ විය.
නිවසේ දී අපි යළිත් වරක් රත්න ශ්‍රී විජේසිංහයන් හමු වීමු. මා කවුරුන්දැයි හඳුනා ගත් පසු විජේසිංහයන්,
"පුතා නේද මට කවියක් දුන්නේ?"
"එහෙමයි සර්"
"මේක තමයි පුතේ කවිය. නරක ම කවිය."
මේ දක්වා මට ජීවිතයේ අමතක නොවන තරම් විශේෂ සිදුවීම් තිබී නැත. මා බෙහෙවින් ම අගය කරන, ශ්‍රේෂ්ඨතම පුරුෂයා බෙහෙවින් ම සංවේදී ව මා ඉදිරිපිට හිඳ, වෙවුලන ස්වරයෙන් කියූ ඒ වචන කිහිපය, ඒ වචන වලටත් වඩා ඔහුගේ ස්වරය මට කෙදිනක වත් අමතක නොවනු ඇතැයි මට සිතේ.
අස්වැන්නේ මේ පිළිබඳව වඩාත් විස්තර සහිතව සටහනක් පල වුණු අතර මේ සටහන මගින් කළේ හේමමාලා විජේසිංහයන්ගේ අවමංගල්‍යය හා බැඳි මගේ ජීවිතය හා සම්බන්ධ වුණු සිදුවීම් පිළිබඳව යම් සඳහනක් කිරීම පමණි. මේ සටහනට විරාමයක් තැබෙන්නේ ද අදාල ලිපියේ අවසානයේ වූ වැකියෙනි.
බදාදා හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.
ප.ලි:-
මෙතෙක් කල් දුරකථන ඇමතුමකින් හෝ වත් පොතේ දෙබසකින් මිස සජීවී හමු වීමක් වන්නට නොයෙදුණු දයානන්ද රත්නායක අයියා (අස්වැන්න) හමු වන්නට ද එදා අවකාශ සැලසිණි.
එමෙන් ම එකොලොස්වන පැය උත්සවයේ දී Red Riding Hood අක්කා පිට ව ගිය පසු, දන්නා හඳුනන කිසිවෙක් නැතිව, එතැන තනිව හුන් මා හා මිත්‍ර ව කතා කරමින් තවත් බොහෝ දෙනෙක් හඳුන්වා දුන් බුන්දියේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් අක්කාට ද මම බෙහෙවින් ම කෘතඥ වෙමි.
ලියල තියෙන විදිය අපූරුයි!!
ReplyDeleteහේමමාලී මැතිනියනි ! ඔබට නිවන් සුව!!
ස්තුතියි මිත්‍රයා!
Deleteමල්ලි මේක ලියලා තියෙන්නේ පැය 48 ක් ඇතුළත හඳුනාගත් සුන්දරම මිනිසෙකුගේ අසුන්දරම අත්දැකීම විදියට. ඒත් ඒ සොදුරු මිනිසා මට මුල්වරට හමුවුනේ සුබ උදෑසන කෘතිය ලියූ දවස්වල එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්.
ReplyDeleteඒ සොඳුරු මිනිසා කතාබහේදි යොදන ඇතැම් වචන කවි වගේමයි. විනාඩි කීපයක් කතා කළත් මහා දැනුම සම්භාරයක් සහිත පුස්තකාලයක් එක්ක ගතකලා වගේ හැගීමක් එනවා.
ඇය වෙනුවෙන් ඔහු ලියූ කිවි සහ ගිත සංඛාව ප්‍රමාණාත්මකව බැලුවොත් ඉතාම ඉහළයි.හැබැයි ඒ සියල්ලම අද අපේ අත්දැකීම් බවට පත්වෙලා. එකම කවියකවත් එකම ගීයකවත් ඇගේ නම් සඳහන් නොවීම මේවා සදාකාලික නිර්මාණ බවට පත්වෙන්න එක හේතුවක්.
කෙටියෙන් ලිව්වත් මේ සටහන අති විශිෂ්ඨ සටහනක්.
ආයෙ දවසක නිදහසේ හමුවෙමු.
හේමමාලි සොයුරියනි ඔබට සුබ රාත්‍රියක්ම වේවා.
අයියාගේ සටහන කියෙව්වට පස්සෙයි මටත් ඒ ගැන ලියන්න හිතුනේ. වෙනත් අය කියන දේවල් බොහොමයක් අහලා තිබුණත්, ඔහුව සැහෙන්න තරම් දුරට තේරුම් ගන්න ලැබුණු පළමු අවස්ථාව මේ.
Deleteඅනිවාර්යයෙන් ආයෙත් හමු වෙමු!!
තමන්ගේ බිරිඳ අසනීප තත්වයේ සිටියත් තමන් භාරගත් දේ පැහැර හරින්නේ නැතිව 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමට සහභාගිවීම ගැනත් ඔබ මළගම ගැන නොදැන දුන්න ඇමතුමට එතුමා ප්‍රතිචාර දක්වපු අන්දමත් ගැන මලයගෙ කතාව ඇසුවම රත්න ශ්‍රී මහතා ගැන තිබුනු ගෞරවය තවත් වැඩි වුනා. බොහෝමත් ස්තූතියි මේ අත්දැකිම අපි එක්ක බෙදාහදා ගත්තාට
ReplyDeleteමම අහපු දැකපු දේවල් ටික ලිව්වා අයියේ! ඇත්තට ම මාත් එතුමාට බොහොම ගෞරව කරනවා. මේ සිදුවීමෙන් ඒ ගෞරවය තවත් වැඩි වුනා.
Delete(දයානන්ද රත්නායක ) අස්වැන්න කියෙව්වට පස්සෙයි මේ පොස්ටුව මම දැක්කේ..සන්තෝසයි මේ ලිපියත් කියවන්න ලැබුන එක ගැන.
ReplyDeleteහේමමාලි මැතිනියනි,සසර කෙලවර ඉක්මනින් නික්මෙන්නට ලැබේවා..!
මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි යාළුවා!!
Deleteකිරි ශිරා සියක් ඉල්පී කෘෂ ලමට ඇදී එත්මැයි
ReplyDeleteපියයුරෝ දෙදෙන හොරැහින් බිම බලාගෙන හඬත්මැයි
ලේ කඳුළු බින්දු නොසිඳී ලැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දරුවෝ ආරක්ෂා කරත් මැයි!
හේමමාලි මැතිනියට නිවන් සුව!
රත්න ශ්‍රී ගේ ම කවියක්..
Deleteඑසේ ම වේවා!!
ගොඩ දෙනෙක්ව හම්බවෙලා තියෙන පාටයි! එතුමාව වරක් මා දැක තිබෙනවා! එපමනයි මතකයකට තියෙන්නේ!
ReplyDeleteඒ අතින් මම යන්තමින් වගේ වාසනාවන්තයි!!
Deleteජය වේවා!!
ඔය උත්සවයට එන්නට මගේ මිත්‍රයා ඉසුරු මට ආරාධනා කලත් මට එන්නට නොහැකි වුනා.. ඔහුගේ ගම් ප්‍රදේශයේ අයෙක් නිසා රත්න ශ්‍රී විජේසිංහ මහතා ඔහු හොදට හදුනන කෙනෙක්... ඔහුගේ අතින් ලියැවුන පද වැල් ගැන විවාදයක් නැත... ඒවා ආයාසයකින් තොරව ලියැවුන ඔහුගේම ජීවිත අත්දැකීම් සමුදායකි...
ReplyDeleteඑතුමියට නිවන් ලැබේවා !
අද ලංකාවේ ඉන්න අංක එකේ කවියා ඔහු බවට වාදයක් නැහැ!
Deleteඑසේ ම වේවා..
හරිම දුකක් දැනුනේ මේ සටහන කියවන විට!
ReplyDeleteමරණය පොදු නමුත් අකාල මරණයක් හැම විටම දුක දෙගුණ කරනවා.
කපුගේ ගැයූ සින්දුවේ මුල් කවිය එයිට වඩා දිගයි කියායි මට මතක. ඒ කවි පොතේ නම වස්සානය වගේ එකක්. පොත මා ගාව තියෙනවා. හොයා ගත් වෙලාවක මුළු කවියම දාන්නම්.
ඔව්.. ඒ වස්සානය පොතේ කවියක්!! අනිවාර්යයෙන් ම. එතුමාගේ පොත් ටික නැති පුස්තකාලයකින් වැඩක් නැහැ!!
Deleteරත්න ශ්‍රී විජේසිංහයන්ගේ බිරිඳට නිවන් සුව පතන්නට මමත් එකතු වෙනවා...
ReplyDeleteඅපි හැමෝම ඇයට නිර්වාන සම්පත්තිය ප්‍රාර්ථනා කරමු..
Deleteසංවේදී සටහනක්. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ බිරිදට නිවන් සුව !!
ReplyDeleteඑසේ ම වේවා..
Deleteලියල තියෙන විදිය නම් පට්ටයි මලයෝ..මටත් එදා එන්න තිබුන නම් මරු.. :/
ReplyDeleteහේමමාලා මැතිනියට නිවන් සුව අත්වේවා කියල ප්‍රර්ථනා කරමු අපි හැමෝම.. :(
ස්තුතියි අයියේ.. ඒත් මං බැලුවා අයියා ආවේ නැත්තේ ඇයි කියලා!!
Deleteරත්න ශ්‍රී කියන්නෙ ශ්‍රේෂ්ඨයෙක්....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට කවියෙන්....ඒත් අවාසනාවකට වගේ ඔහුව පාවිච්චි වුනා.
ReplyDeleteඔහුගේ බිරිද ගැන කිසිවක් නොදන්නා මුත්(කවි වලින් හැර) කවියෙකුට බිරිදක් වීමම ශ්‍රේෂ්ඨයි. එය ඉතාම අමාරු කාර්යයක්. එවැන්නියකට සියලු ලෞකික අපේක්ෂාවන් දැඩිව පාලනය කරගන්න සිදුවෙනවා, එය "කවියා" කෙරෙහිවන අපරිමිත සනෙහසින් යුතුව කෙරෙන විශේෂ පරිත්‍යාගයක්, එතුමිය එවැන්නියක විය යුතුයි.....
හේමමාලි මැතිණියනි, ඔබට සුබ රාත්‍රියක්.........!!!
හැම දෙයක් ම දේශපාලනීකරණය වෙද්දී, ඒ ප්‍රවාහයෙන් බේරෙන්න තරම් ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයාට ශක්තියක් තිබුණේ නැහැ. ඒ ජාතියේ අවාසනාව.
Deleteමා හිතන්නෙත් ඇය සිය යුතුකම මැනවින් ඉටු කළා!
අස්වැන්නේ ලිපිය මමත් කියෙව්වා.. එතුමා වරක් අපේ පාසලටත් ආවා.. මෙතරම් කරුණු කාරණා ගොන්නක් දැනන් උන්නේ නෑ.. මල්ලිට නම් දෑසින් ඒ අවස්ථාව නැරඹීමේ ඉඩක් හෝ තිබුණා. නමුත් අපිට?
ReplyDeleteමගේ විද්‍යාලයේ, පාසල් ගීය රචනා කර තිබෙන්නේත් රත්න ශ්‍රී විජේසිංහයන්. ඒ දුක්බර මොහොතට සහභාගී වීම එක්තරා විදියක අවාසනාවක් අක්කේ..
Deleteදුක්බර ලිපියක්.. ඒත් හොදට ලියලා තියෙනවා..
ReplyDeleteමට මතක විදියට අපේ පාසල් ගීය ලිව්වෙ බන්දුල නානායක්කාරවසම්.හරියටම මතක නෑ.පොඩ්ඩක් හොයලා බලපන්...
නෑ නෑ. අපි ඉස්කෝලේ සයිට් එක හැදුවා නේ. එතකොට හෙව්වා. අනික රත්න ශ්‍රී එක්ක කතා කරද්දී, මගේ ඉස්කෝලේ ඇහුවා. මම කිව්වම මගෙන් ඇහුවා පාසල් ගීය ලිව්වේ එයා කියලා දන්නවා ද කියලා!!
Deleteබොහාම හොද ලිපියක්.රත්න ශ්‍රී මහත්තයාට මං ගොඩක් කැමතියි.ජය !
ReplyDeleteමාත් සැහෙන්න ගරු කරන පුද්ගලයෙක්!!
Deleteඑකොලොස් වෙනි පැය ඇත්තටම ලස්සන අත්දැකීමක් වුනා... රෑ අටට වැස්සේම වුනත් එතනින් එළියට ආවේ තව ඉන්න බැරිම වුන නිසා.. නැත්නම් තව ඉන්නවා..
ReplyDeleteඅනිවාර්යයෙන් ම. සංවිධානය නම් බොහොම ඉහල මට්ටමක තිබුණා.. සදුන් අයියටයි, මහින්ද අයියටයි එහි ගෞරවය හිමි වෙන්න ඕන!
Delete