ඔන්න හා හා පුරා කියලා හොර වැඩකින් ම වැඩේ පටන් ගන්න හිතුවා..
මම මේ කියන්න යන සිද්ධියට පාදක වෙලා තියෙන්නේ 19 වන සියවසේ, ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන් වල උඩරට ප්‍රදේශයේ හරියටම කියනවා නම් පාත හේවාහැටේ එක්තරා ගමක ජීවත් වුනු එක්තරා පුද්ගලයෙක් හා බැඳුනු සිදුවීමක්..
නියම නමක් තිබුනත් ගමේ ලොකු කුඩා හැමෝම අපේ කථා නායකයා ව දැනගෙන හිටියේ "විසිරා" කියන නමින්.. විසිරා කියන්නේ ඒ කාලයේ ගමේ ප්‍රසිද්ධ චරිතයක්..ඇත්තට ම විසිරා ප්‍රසිද්ධ වෙලා හිටියේ හොඳ දේවල් වලින් නම් නෙවෙයි.. කෙලින් ම කියනවා නම් විසිරා කියන්නේ හොරෙක්.. ඒ වගේ ම ස්ථානෝචිතව කථා කරන්නත්, කවට කමක් කරලා ඕන ම තැනකින් බේරිලා යන්නත් ඔහුට සහහයෙන් ම හැකියාව ලැබිලා තිබුණා..
විසිරා ගැන ගමේ මිනිස්සුන්ගේ තිබුණු ආකල්පය කොයි විදියේ ද කියනවා නම්, විසිරා ගමේ ගෙදරකට ආවම ගෙදර මිනිස්සු ඒ ගෙදර තියෙන හැම පොඩි දෙයක් ගැනම හොඳ අවධානෙකින් හිටියා. මොකද ඒ අවධානය යන්තම් වත් පිට යාමෙන් ලොකු පාඩුවක් වන්න පුළුවන් කියලා ඔවුන් දැනගෙන හිටියා..
විසිරා වැඩියෙන් ම හොරකම් කළේ ගෙවල් වල තියෙන පොඩි පොඩි දේවල්.. ඒ විදියේ දෙයක් නැති උනත් ගෙදර මිනිස්සුන්ට ඒක දැනුනේ ටික වෙලාවකින්,එහෙමත් නැත්නම් වෙනත් දවසක ඒ උපකරණය අවශ්‍ය වෙලා හොයද්දි.. උදාහරණයක් විදියට ගිරයක්, බුලත් හෙප්පුවක් වගේ දෙයක් නම් විසිරාගෙන් බේරා ගන්න ගොඩක් අමාරු උණා..වැරදිලාවත් හොරකම අහු උනත් අවස්ථානුකුලව කවටමකමක් කරලා එතනින් ගැලවිලා යන්න විසිරා දක්ෂයෙක්..
තවත් දෙයක්..
විසිරා දෙයක් හොරකම් කලාම අදාල භාණ්ඩයේ අයිති කරුට ඒ පිළිබඳව පොඩි ඉඟියක් දෙන්න පුරුදු වෙලා හිටයා.. බොහෝ වෙලාවට අයිතිකරු ඒ ඉඟිය පිළිබඳව අවබෝධ කර ගත්තේ තමන්ගේ බඩු නැති වෙලා කියලා දැනගත්තට පස්සේ..
ඒ කොච්චර කොහොම උනත් කව්රුවත් විසිරා එක්ක අමනාප උනේ වත් ඔහුට තාඩන පීඩන කළේ වත් නෑ.. "ඒ විසිරාගේ හැටි නේ.." කියලා අමතක කරන්න ගමේ මිනිස්සු පුරුදු වෙලා හිටියා..සමහර විට ඒ අපේ සංස්කෘතිය හා බැඳුනු අනුකම්පා කිරීමේ ලක්ෂණයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ඔහු ගමේ කැපී පෙනෙන චරිතයක් උණා..අදටත් විසිරා පිළිබඳව ඔහුගේ ගම් ප්‍රදේශයේ කථා වෙන බව අහන්න ලැබෙනවා..
මේ කියන්න යන්නේ විසිරාගේ එක හොරකමක් ගැන..
ඔන්න එක්තරා දවසක දහවල් විසිරා කිසිම වාසියක් නැතිව ගෙදරට වෙලා අපේ භාෂාවෙන් කියනවා නම් "වේලි වේලි" හිටියා.. කීයක් හරි හොයා ගන්න විදියක් කල්පනා කර කර ඉන්දෙද්දී විසිරාගේ මොලේට නියම අදහසක් ආවා.. ඒක ක්‍රියාත්මක කරන්න හිතාගෙන විසිරා ගමේ තියෙන ටිකක් වත් පොහොසත් උදවිය හත් දෙනෙක්ගේ ගෙවල් වලට ගියා.. දහවල් වෙලාව හින්දා ගෙවල් වල පිරිමි කවුරුත් හිටියේ නෑ..
විසිරා ඒ හැම ගෙදරක ම පිළිකන්නෙන් ගෙට ගොඩ වෙලා ගෘහනීන් එක්ක රහසින් මොන මොනවා දෝ කතා බහ කරලා හිනා වෙවී යන්න ගියා.. ගෙවල් හතට ම ගිහින් එද්දී ටිකක් හවස් වෙලා..
ඒ උනත් විසිරා සතුටින්..
කව්රුවත් දැනගෙන හිටියේ නෑ වෙන්න යන්නේ මොකද්ද කියලා..
ටිකෙන් ටික රෑ උණා..
විසිරා හෙමින් හෙමින් ගමේ පොහොසත් වැසියෙකුගේ ගෙදරට රිංගුවා.. මේ ගෙදර නම් විසිරා දවල් ගිය ගෙදරක් නෙවෙයි..
හෙමින් හෙමින් මුළුතැන්ගෙට ගිය විසිරා ගෙදර තිබුණු තරමක් වටිනා අලුත් වංගෙඩිය කරට ගත්තා.. එහෙම වංගෙඩියත් අරන් හඬ නොනැගෙන්න ගෙදරින් නික්මිලා දවල් මුලින් ම ගිය ගෙදරට ගියා..ගිහින් ඒ ගෙදර පිටිපස්සේ දොරට හෙමින් දෙපාරක් තට්ටු කළා..
"මැණිකේ..මැණිකේ.."
ගෙදර ගෘහණිය හොරෙන් වගේ දොර ඇරියා.. විසිරා ගෘහණිය එක්ක හෙමින් මොනවද කතා උණා..
"ඔන්න මැණිකේ, දවල් කිව්වා විදියට ම බඩුව ගෙනාවා.."
මැණිකේගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳුනා..
"කීයක් ඕන ද විසිරෝ.?"
"අනේ මැණිකේ මට තඹ දොයිතුවක් වත් වැඩිපුර එපා.. කියපු විදියට රුපියලක් තිබුනොත් ඇති.."
ඒ කාලේ හැටියට රුපියලක් ගොඩක් වටිනවා..ඒ උනත් ඇත්තට ම ඒ වංගෙඩිය රුපියලකට වඩා බොහොම වටිනවා.. ඒ හින්දා මැණිකේ කිසිම පැකිලීමක් නැතිව විසිරාට රුපියලක් දුන්නා..
"එහෙනම් විසිරෝ උඹව ඕක ගෙනිහින් මඩු ගෙට දාලා පලයන්.."
"හොඳමයි මැණිකේ.."
කොහොම උනත් විසිරා විශ්වාස කරන්න බෑ නේ..ඒ හින්දා මැණිකේ අවධානෙන් හිටියා..
විසිරා වංගෙඩිය ගෙනිහින් මඩු ගෙට දාන හඬ මැණිකේට ඇහුනා..
මැණිකේ මඩු ගේ දිහා හොරෙන් බලද්දී දැක්ක විසිරා වංගෙඩිය තියලා යනවා..
සැනසුම් සුසුමක් හෙලපු මැණිකේ පදුරට ගිහින් නිදා ගත්තා..
ඒ අතරේ කොහේදෝ හැංගිලා හිටපු විසිරා මිදුලේ කොස් ගහ ලඟින් මතු උණා.. හොරෙන් හොරෙන් මඩු ගේ පැත්තට ගිය විසිරා ටික වෙලාවකට කලින් තමන් ම ගෙනත් දාපු වංගෙඩිය ආයෙත් කරට ගත්තා..
එහෙම්ම ගිහින් ඊළඟට කථා කල ගෙදරට ගියා..
මුල් ගෙදර දී උන දේ ම මේ ගෙදරදීත් සිද්ධ උණා.. තවත් රුපියලක් සාක්කුවේ දා ගත්ත විසිරා ඊළඟ ගෙදරටත් ගියා..
පාන්දර වෙද්දී විසිරා ගෙවල් හතට ම ගිහින් ඉවරයි.. එක ම වංගෙඩිය හත් දෙනෙකුට විකිණුවා.. විසිර දැන් බොහොම සතුටින්..රුපියල් හතක් ම සාක්කුවේ දා ගත්ත විසිරා හත් වෙනි ගෙදරින් වංගෙඩිය අරන් ගිහින් අයිති කාරයාගේ ගෙදර තිබුණු විදියට ම තියලා උදේ පාන්දර තමන්ගේ ඇඟට කඩා පනින අංගනාවන් ගැන දන්නා නිසා හිමින් සීරුවේ ගෙදරින් පිට උණා..
පාන්දර නැගිටලා මඩුගෙට ගිය පළමු ගෙදර ගෘහණියට වංගෙඩිය නෑ කියලා දකින්න ලැබුනා.. විසිරාගේ කපටි කමකට තමන් ලක් උණා කියලා දැන ගත්ත ඇය එයින් කෝපයට පත් උණා.. තේරෙන බාසාවෙන් කියනවා නම් මළ පැන්නා.. ඇය කේන්තියෙන් ගෙදරින් එලියට ඇවිත් විසිරා හොයන්න නික්මුනා..මගදී ඇයට විසිරා හමු උණා.. විසිරා දැක්ක ගමන් ඇයට උන් හිටි තැන් පවා අමතක උණා..කාන්තාව තමන් දන්නා ඉහළ ම වචන වලින් විසිරාට බනින්න පටන් ගත්තා..
ටික වෙලාවක් බැණුම අහගෙන හිටපු විසිරා අනුකම්පා උපදවන විදියේ මුහුණක් මවා ගත්තා..
"අනේ මැණිකේ..මගේ වරදක් නෙවෙයි.. ඔය වංගෙඩිය අපේ කිරි බණ්ඩා නිලමේට අයිති ජීවං කරපු එකක්..ඒ හින්දා කොහේ ගෙන ගියත් ඒ ගෙදරට සෘදියෙන් යනවා.."
"අහා..ඒකත් එහෙම ද.? එහෙනම් මගේ රුපියල දියන් මෙහාට..." මැණිකේ ආයෙත් කා ගැහුවා..
"අනේ අපේ මැණිකේ..ඊයේ රෑ ගොස්තරේට බඩට රිංගුවේ ඒ රුපියල තමා.."කියලා හෙමින් එතනින් මාරු උණා..
මැණිකෙත් කෝපයෙන් ආපහු යන්න හැරෙද්දී අනිත් ගෙවල් හයේ කාන්තාවනුත් ඇයට මග දී හමු උණා... තමන්ට විසිරා හමු වුණු බවත්, තමන් බැන්න ආකාරයත්, ඔහු දුන් පිළිතුරත් ඇය අනිත් කාන්තාවන් ට පැවසුවා.. ඒ අහපු පිරිස අතරින් සමහරුන් කෙන්තියෙනුත් තවත් සමහරු එක ම වංගෙඩිය හත් දෙනෙකුට විකිණූ විදිය ගැන සිනා සෙමිනුත් විසිරී ගියා...
Subscribe to:
Post Comments (Atom)
මම වගේ පොරක්!
ReplyDeleteනියම වැඩක්!
මරු මරු
ReplyDeleteඅනේ මන්දා..
ReplyDelete@වර්ණා
ReplyDeleteස්තුතියි..
ayyoo!meka hari na
ReplyDeleteනියම කතාව!
ReplyDeleteපක්ෂව 3 යි.. විපක්ෂව යි.. තව බලමුකෝ...
ReplyDeleteඞී. පී. වික‍්‍රමසිංහ, මග දිගට ජනකථා, කථා අංක 21, 118 පිටුව
ReplyDelete@Kawshala
ReplyDeleteජන කතාවක් උපුටා ගැනීමක් නොවන නිසයි මම පිටු අංකය සහ පොතේ නම නොදැම්මේ.. මම මේ කතාව කියෙව්වෙත් ඒ පොතෙන් ම තමයි..තව ගුණසේකර ගුණසෝම මහතාගේ කොත්මලේ ජන කතා සහ දිගාමඩුලු ජන කතා ආශ්‍රයෙන් කතා කිහිපයක් ඉදිරියේ දී පල වේවි..
niyama kathawa
ReplyDeletekoma wunath me wage katha damana 1th hondai
nathnam me blog 1 ta ekakaree bawayak enawane :)
@Chamindi
ReplyDeleteමාත් හැදුවේ ඉඳල හිටලා එකක් දාන්න..
ස්තුතියි!