අප අවට පවතී යයි සිතන ලෝකය (හෙවත් වාස්තවික ලෝකය) සැබවින් ම පවතී ද යන්න (යතාර්ථය ද යන්න) සිතා බැලීමට වටිනා කරුණකි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරනුයේ ඒ පිළිබඳව යි.
මේ (වාතවික) ලෝකයේ පවතී යැයි හැඟෙන යම් යම් දෑ, අපගේ පංචෙන්ද්‍රිය භාවිත කරමින් අපි දැන ගන්නෙමු. උදාහරණයක් ලෙස,මට මේ ලියන ලද අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. ඔබගේ තිරයේ දෝෂයක් නොවේ නම් ඔබට ද නිසැකව ම ඒ අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. එහි ගැටළුවක් නැත. නමුත් මා කළු පැහැය යැයි හඳුන්වන දෙය සහ ඔබ කළු පැහැය යැයි හඳුන්වන දෙය එක ම වේ ද? සරලව අපි මෙසේ සිතමු. උපතේ පටන් මගේ දෑසේ යම් ගැටළුවක් නිසා ව්‍යවහාරයේ පවතින කළු පැහැය රතු පැහැයෙනුත්, රතු පැහැය නිල් පැහැයෙනුත්, නිල් පැහැය කළු පැහැයෙනුත් පෙනෙයි යැයි සිතමු. එවිට මා කළු පැහැය ලෙස හඳුන්වන්නේ රතු පැහැය යි. රතු පැහැය ලෙස හඳුන්වන්නේ නිල් පැහැය යි. නිල් පැහැය ලෙස හඳුන්වන්නේ කළු පැහැය යි.
ඔබ මේ අකුරු දැක ඒවා කළු පැහැති යැයි කිව හැකි ය. නමුත් මට ඒවා පෙනෙන්නේ ඔබ හඳුන්වන ආකාරයට නිල් පැහැයෙනි. එසේ වුවත්, අදාල පාට මා හඳුන්වන්නේ කළු ලෙස ය. එහි දී ප්‍රවාදය එක ම වී ඇත. හේතුව අප ජීවත් වන සංස්කෘතිය එක ම වීම යි. නමුත් මගේ වාස්තවික ලෝකය සහ ඔබේ වාස්තවික ලෝකය වෙනස් ඒවා දෙකකි. ඒ අනුව පැහැදිලි විය යුත්තේ යතාර්ථය ලෙස දෙයක් නැති බව සහ පවතී යැයි අප සිතා සිටින වාස්තවික ලෝකය (සංවේදනය වන ලෝකය) අපේ විඥ්ඥානය විසින් කරනු ලැබූ නිර්මාණයක් පමණක් බවත් ය. එනම්, වාස්තවික ලෝකය යනු අපගේ විඥ්ඥානය පවතින තුරු පවතින, අප මිය යද්දී මිය යන, ජීවත් වන වුන් හා රැඳී සිටින මායාවක් බවයි. බටහිර විද්‍යාව මගින් කෙරෙන්නේ මේ මායාව යතාර්ථයක් බව අවබෝධ කරවමින් ඊට අදාල ප්‍රවාද ගෙතීමයි. මේ ප්‍රවාද අපේ සිතට කාවදින තරම අනුව යතාර්ථය යන සංකල්පය අප තුළ පවතී ද නැති ද යන්න තීරණය වේ..
සරලව (බටහිර) විද්‍යාව යනු පංචෙන්ද්‍රියයන් මගින් දැන ගන්නා දේ විද්‍යාත්මක ක්‍රමය භාවිත කරමින් වඩාත් නිවැරදි ද යි දැන ගැනීම ලෙස විග්‍රහ කළ හැකි ය. මෙහි යම් යම් තැන සඳහා ඌන පූර්ණයන් යෙදී තව තවත් හැඩ වීම විවිධ අර්ථ දැක්වීම් යටතේ සිදු කෙරෙයි. නමුත් මුලික වශයෙන් සංවේදන ආකාරයෙන් දැන ගන්නා දේ පිළිබඳව කෙරෙන අධ්‍යයනයක් ලෙස මෙය සැළකීමේ වරදක් නොපෙනෙයි.
මෙහි දී විද්‍යාත්මක ක්‍රමය ලෙස ඉදිරිපත් වන්නේ යම් අයෙක්, සිය සංවේදනයක් හරහා දැන ගනු ලබන යම් දෙයක් පිළිබඳව කෙරෙන විග්‍රහයකි. උදාහරණයක් ලෙස, දහවල් කාලයේ එළිමහනට ගිය විට මට උණුසුමක් දැනෙයි. මා ඒ පිළිබඳව දැනුමක් නිර්මාණය කරන්නෙක් නම්, මගේ කාර්යය වනුයේ ඊට අදාල හේතු විග්‍රහ කරමින් ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් ගෙතීමයි. නමුත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවේ.. විග්‍රහ කිරීමේ පහසුව සඳහා කාලය යන වචනය යොදා ගන්නා අතර, එහි අදහස ඔබ තුළ ඒ පිළිබඳව ඇති සාමාන්‍ය අදහස ම වේ.(කාල ඒකක සම්බන්ධ නොවේ.) පළමුවෙන් ම, එළිමහන සහ දහවල් කාලය යනු කුමක්දැයි අර්ථ දක්විය යුතු ය. ඊළඟට උණුසුම යන සංවේදනය කවරක් දැයි අර්ථ දක්වා ගත යුතු ය.
මෙහි දී කළ යුතු උපකල්පනයක් වන්නේ, මා දකින දේ අනෙක් අයත් දකින බවත්, මට දැනෙන දේ අනෙක් අයටත් දැනෙන බවත් ය. එනම් මා එළිමහන ලෙස දකින දෙය, ඒ ආකාරයෙන් ම ලෝක වාසි සියලු දෙනා දකිනා බව උපකල්පනය කළ යුතු ය. ඒ සඳහා ආලෝකය යන්න මා අත් විඳින ආකාරය අන් සියලු දෙනා අත් විඳින ආකාරයට සමාන බව උපකල්පනය කිරීමට සිදු වේ.
තව ද යම් 'වෙලාවක් (ලෙස අප හඳුන්වන දෙයක්) ' දහවල් කාලය ලෙස මා අර්ථ දක්වනවා නම්, අන් අය ද ඒ වෙලාව ඒ ආකාරයට ම අර්ථ දක්වා ගත යුතු ය. දැන් දවල් යයි මා කීවොත්, විරුද්ධ අයට ඊට විරුද්ධ විය හැකි ය යන ප්‍රවාදය මත මෙය සාපේක්ෂව පහසු විය හැකි ය.නමුත් මා දහවල් ලෙස හඳුන්වන කාලයේ අන් අයට හැඟෙන්නේ මට හැඟෙන දේ ම නොවන්නේ නම් මෙය ගැටළුවක් විය හැකි ය. ඒ අනුව මේ ප්‍රවාදය ගෙතීම ද එතරම් පහසු නැති බව පෙනී යනු අත. දවසක් ලෙස අප හඳුන්වන කාලය තුළ, දහවල් කාලය යන්න මා අත්දකිනා ලෙස ම අන් සියලු දෙනා ම අත් දකිනා බව මට උපකල්පනය කිරීමට සිදු වෙයි.
අවසානයේ මට උණුසුම ලෙස දැනෙන සංවේදනය එලෙසින් ම අදාල කාලයේ, අදාල තැනට යන සෙසු අයට ද දැනෙන බව ස්ථිර කර ගත යුතු ය. මෙහි දී කිරීමට අපහසු ම දෙය මෙයයි. කෙනෙක්ට යම් සංවේදනයක් දැනෙන ආකාරය, තවත් කෙනෙක්ට එය දැනෙන ආකාරයට සමාන ද? නැතිද යන වග තීරණය කිරීමට බෙහෙවින් ම අසීරු ය. උදාහරණයක් ලෙස, දුක ලෙස හඳුන්වන හැගීම, කෙනෙක්ට දැනුනු විට ඔහු හෝ ඇය හඬා වැටෙන්නට පුළුවන. නැතහොත් කලහකාරී ලෙස හැසිරීමට පුළුවන. නැතිනම් ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නට පුළුවන. මෙය එක් එක් පුද්ගලයා අදාල හැගීමට මුහුණ දෙන ආකාරය වෙනස් වීම මිසක්, හැගෙන ආකාරයේ වෙනසක් නොවේ යයි අයෙකුට තර්ක කළ හැකි ය. නමුත් එක් එක් පුද්ගලයා වෙනස් ආකාර වලින් හැසිරීම, එක ම හැගීම එක ම ආකාරයට දැනුනු එක් එක් අයගෙන් බලාපොරොත්තු විය නොහැක. එ නිසා හැගීම් දැනෙන ආකාරය වෙනස් විය හැකි අතර, මේ ප්‍රවාදය ගෙතීමේ දී සියලු දෙනා සම්බන්ධව උණුසුම යන හැගීමෙහි අර්ථ දැක්වීම එක ම බව උපකල්පනය කිරීමට සිදු වේ.
දැන් අදාල පරීක්ෂණය දෙසට හැරෙමු. මෙහි දී අප ප්‍රවාදය ගොතන්නේ ප්‍රධාන උපකල්පන තුනක් මත සිට ය. යම් හෙයකින් එක් උපකල්පනයක් හෝ බිඳ වැටුනේ නම්, සමස්ත ප්‍රවාදය ම බිඳ වැටෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිතර ප්‍රති නිර්මාණය වන්නේ ඒ හේතුව නිසා විය හැකි ය. මොහොතකට අදාල උපකල්පන තුන දෙස බලමු.
මේ උපකල්පන තුනෙහි ප්‍රධාන ලක්ෂණයක් වන බව පෙනී යනු ඇත. එනම්, එ උපකල්පන තුන සඳහා ම යොදා ගෙන ඇත්තේ, මා දකින දෙය ඇත්තට ම පවතිනවා ය යන්න සහ ඒ දේවල් අන් අයත් එලෙසින් ම විඳිනවා ය යන්න යි. එනම් මම යන පුද්ගලයා වටා, හෙවත් මගේ විඥ්ඥානය වටා අදාල ප්‍රවාදය ගෙතී ඇත. එනම් ඒ ප්‍රවාදයෙහි ඇත්තේ මමත්වය යි. හෙවත් ආත්මාර්ථකාමීත්වය යි.
මා දකින දේ හරි ය. මට සියලු දේ හරියට පෙනිය යුතු ය. මගෙන් පිට යතාර්ථයක් නැත යන කරුණු සියල්ල එයින් කියවේ. අප සලකන ලද සුළු උදාහරණය තුළ ද ඒ ලක්ෂණ මැනවින් පිළිබිඹු විය. මෙවැනි ප්‍රවාද දහස් ගණනකින් සකස් වුණු බටහිර විද්‍යාව තුළ ආත්මාර්ථකාමීත්වය ගැබ් වන්නේ මේ ලෙසිනි. එවැනි සංස්කෘතියක් තුළ ආත්මාර්ථකාමී වනවා මිස, අන්‍යයන් ගැන සිතීමක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.
අපේ සංස්කෘතිය තුළ මෙවැනි ලක්ෂණ පැවතී නැත. පවතී ඇතත් ඒ අල්ප වශයෙනි. මිනිසා යනු තවත් එක් සත්වයෙක් සහ පරිසරයේ ම කොටසක් විනා එහි හිමිකරු නොවන බව අවබෝධ කර ගැනීම තිබුනේ අප සංස්කෘතියේ මිස මමත්වයෙන් ලෝකය දෙස බලන බටහිර සංස්කෘතිය (සහ විද්‍යාව) තුළ නොවේ.ඒ නිසා සමස්ත ලෝකය (මනුෂ්‍යයින්, සත්වයින් සහ සියලු පරිසර පද්ධති) දෙස බැලීමේ දී සාපේක්ෂව අපේ සංස්කෘතිය සහ අපේ දැනුම පරිසරයට සහ ලෝකයට වඩාත් හිතකර එකක් බව කිව හැකි ය.
මේ කරුණු ටික නම් නියමයි. තව තුන් හතර පාරක් කියවලාම තමා හරියට ඔලුවට දාගන්න පුලුවන් වෙන්නේ.
ReplyDeleteස්තුතියි යාළුවා.. ආයෙත් පාරක් උත්සාහ කරන්නකෝ..
Deleteවිජ්‍යාව නේ මලයා... :)
ReplyDeleteඑහෙමයි අයියේ! බටහිර විද්‍යාව!!
Deleteවටිනා කරුණු ටිකක්.තව දෙතුන් පාරක් කියවන්න ඕනි..
ReplyDeleteවෙලාව තියෙනවා නම් පොඩි උත්සාහයක් දරන්න!!
Deleteජය වේවා!
මෙන්න වැදුනා ඉහ මොලේටම...
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඉහ මොළ රත් වෙයි ද මන්දා!!
Deleteජය වේවා!!
හ්ම්ම් ආපහු කියවන්න ඕනේ :) අපේ සංස්කෘතියටත් දැන් මමත්වය රිංගලා කියලා මට හිතෙනවා
ReplyDeleteඑතැන තියෙන්නේ මමත්වය අපේ සංස්කෘතියට රිංගවන්න උත්සාහ කිරීමක්. මමත්වය රිංගුවොත් නම් ඉතින් අපේ සංස්කෘතියත් ඉවරයි!!
Deleteටිකක් සරල කරලා ලියන්න. ගොඩ දෙනෙක්ට එකපාර තේරෙන එකක් නැති වෙයි. කොහොම වුනත් හොඳ විග්‍රහයක්.
ReplyDeleteස්තුතියි අයියේ! මටත් හිතෙනවා. මේ ලිපිය හිතුවට වඩා සංකීර්ණ වුණා. ඊළඟ ලිපියේ ඉඳන් සරලව ලියන්න උත්සාහ කරන්නම්..
Deleteජය වේවා!
හොද ලිපියක් හ්ම්ම් :)
ReplyDeleteස්තුතියි හිමාවී!!
Deleteජය වේවා!
ගොඩක් කල්පනාවෙන් කියවන්න ඕනා මේක. ඇත්තමයි නැත්නම් තේරෙනව මදි මට. මට පුදුමයි මල්ලි, ඔයාගේ මේ සිතීමේ හැකියාව ගැන
ReplyDeleteඔව් අක්කේ.. හිතුවට වඩා ටිකක් සංකීර්ණ වුණා. ඊළඟ ලිපි වල ඉඳන් සරලව ලියන්න උත්සාහ කරන්නම්.
Deleteමට විතරක් නෙවෙයි. අපේ වයසේ බොහෝ දෙනෙක්ට දකින දේවල් ගැන වෙනස් විදියට හිතන්න පුරුදු කරපු අයගේ ලේඛනයේ ඔයාගේ නමත් තියෙනවා අක්කේ!!
කියල තියෙන කරුණු ගැන මම එකඟය්.
ReplyDeleteඅපේ විඥානය අපට පෙනෙන ලෝකයේ මැවුම් කරුවා කියල කිව්වොත් ඒක වැරදි නැහැ මම හිතන්නේ. වෙනත් සත්ව වර්ගයකට පෙනෙන ලෝකය මිට වඩා වෙනස් වෙන්න පුළුවන්
කමෙන්ට් එකේ දෝෂ නැහැ. හැබැයි, වෙනත් සත්ව වර්ගයකට පෙනෙන ලෝකය විතරක් නෙවෙයි, මා දකින ලෝකය හෙවත් මගේ ලෝකය සහ ඔබ දකින ලෝකය වන ඔබේ ලෝකයත් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්..
Deleteමට මතක් වෙන්නේ 2004 වගේ සිට කියවන විදුසර පත්තරේ නලින් ද සිල්වා ගේ අපේ ප්‍රවාද පෙළ.... යහලුවෙක් ඔය කාලෙදි ඔය අපේ ප්‍රවාද ගැන ප්‍රශ්න කරලා විදුසරටම ලිපියක් ලිව්වා. ඒක පලවුනා. ඊට පසුව ආපු අපේ ප්‍රවාද පෙළ ලිපි කිහිපයේම නලින් ද සිල්වා කරේ මගේ යාලුවටයි ඉස්කෝලෙටයි මඩ ගහපු එක. මම හිතනවා මේ ලිපි පෙළේ එහෙම වෙන එකක් නෑ කියල(අන්තර්ගතය අපේ ප්‍රවාද ම වුනත්)..
ReplyDeleteපොඩි ප්‍රශ්නයක් අහන්නම්, "බටහිර" විද්‍යාවේ කොතනද කියලා තියෙන්නේ අපි මේ හදාරන්නේ නිරපේක්ෂ යතාර්ථයක් කියලා?? මතකද මන්දා පොඩි කාලේ ආරම්භක විද්‍යාවට ඉගෙන ගත්තා 'නිරීක්ෂණ මත නිගමන වෙනස් වේ' කියලා.
මට ඒ සිද්ධිය මතකයි. හැබැයි, මඩ ගහපු කතාවට මම එකඟ නැහැ. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය කියන්නේ බොහොම සීරුවෙන් කරපු වියමනක් වගේ දෙයක්. බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙලා ඉන්න ගමන්, ඉන් පිටතට ඇවිත්, වෙනත් සංස්කෘතියකට අදාල දැනුම නිර්මාණය කරලා ඒ තුලින් වැරදි අවම වන ආකාරයේ ප්‍රවාදයක් ගොඩ නැගීම ලේසි නැහැ. ඒ වගේ නිර්මාණයකට හානි කරන්න ම හිතාගෙන ගොන් ප්‍රශ්න ඇහුවම ඕන කෙනෙක්ට තරහා යනවා තමයි.
Deleteතවත් දෙයක්. නලින් ද සිල්වා මහාචාර්යතුමා ගොඩ නගපු සමස්ත ප්‍රවාදය ම තර්කානුකුලයි. බිඳින්න බොහෝ අපහසු තර්ක මතයි එය ගොඩනගලා තියෙන්නේ. ඒ ප්‍රවාදයට එකඟ වෙන්නේ නැත්නම්, ඒ තර්ක බිඳ දැමෙන විදියේ ප්‍රවාදයක් ගොඩනගලා වැරදි පෙන්නනවා මිසක් මෝඩ ප්‍රශ්න අහන එක තේරුමක් නැහැ.
උදාහරණයක් ලෙස, දැන් මෙතැන අහපු ප්‍රශ්නය හඳුන්වන්න පුළුවන්. මේ කියන ප්‍රවාදයේ කිසිම තැනක මම කිව්වේ නැහැ 'අපි මේ හදාරන්නේ නිරපේක්ෂ යතාර්ථයක්' කියලා. හැබැයි ඔබ මගෙන් ඒ ප්‍රශ්නය අහනවා. මා ඉදිරිපත් කළ කරුණු වල ගැටළු සහිත හෝ තර්කානුකුල නොවූ තැනක් තිබෙනවා නම් එය පැහැදිලි කර ගැනීම හෝ විරුද්ධත්වය පළ කිරීම කර, ඔබේ අදහස ඉදිරිපත් කරනවා විනා එහෙන් මෙහෙන් ප්‍රශ්න ඇසීම කරද්දී අදාල ප්‍රවාදය නිර්මාණය කළ පුද්ගලයාට තරහා යාම සාධාරණයි.
වාදය තිබිය යුත්තේ දැනුම දියුණු කර ගැනීමට මිස දැනුම නිර්මාණය කරන්නා සමච්චලයට හෝ අපහසුතාවට පත් කිරීමට නොවෙයි.
ඒ වගේ ම ඔබේ ගැටළුවට පිළිතුරක් දීම අවශ්‍ය යැයි සිතෙනවා. බටහිර විද්‍යාවේ සෘජුව කියවෙන්නේ නැහැ අප හදාරන්නේ නිරපේක්ෂ යතාර්ථයක් කියලා. හැබැයි එහි සංකල්ප ගොඩනැගී තිබෙන්නේ ඒ බව ප්‍රත්‍යක්ෂ වන ආකාරයට. උදාහරණයක් ලෙස අප මීටරය ලෙස හඳුන්වන දිගට අදාල දිගක් කලින් තීරණය කර තිබෙනවා. නමුත් අප මිනුම් කරන්නේ අදාළ දිගට සාපේක්ෂව අප මනින දිගෙහි අගය නොවෙයි. අප කරන්නේ සහ අපට කිරීමට පොළඹවා තිබෙන්නේ මීටරය නමැති ඒකකයෙන් අප මනිනු ලබන දිගෙහි අගය කීමටයි. ඔබට මේ දෙක ම එකක් ලෙස සිතෙන්නට පුළුවන්. සංඛ්‍යාත්මකව එක ම පිළිතුර ලැබුනත් මෙහි දී යෙදෙන්නේ සංකල්ප දෙකක්. නමුත් යතාර්ථයක් නොමැති විට සහ වාස්තවික ලෝකය නිරීකෂකයාට (හෝ අදාල විඥ්ඥානයේ හිමිකරුට) සාපේක්ෂ විට නිරපේක්ෂ යතාර්ථයක් ගැන කතා කිරීම තරම් මෝඩ කමක් තවත් නැහැ.
සහෝදරයා වගකීමෙන් ද කියන්නේ මඩ ගහපු කතාවට එකඟ නෑ කියලා?? මම ඒ අසාධාරණයට ලක් වුනු මගේ යාලුවා වත් පුලුවන් නම් මේකට එකතු කරගන්නම්. මට පෙනෙන්නේ ඔබටත් මහාචාර්යතුමාගේ ලක්ෂණ ඒ විදියටම පිහිටගෙන එනවා වගේ.. නැත්නම් මගේ කමෙන්ට් එකට ඔය තරම් තරහ ගන්න හේතුවක් නෑ නේ (ඔබ කියයි තරහ ගත්තේ නෑ කියලා ). නිරපේක්ෂ යතාර්ථයක් ගැන යමක් කියන්න ඕන නැත්නම් මොකටද දන්නේ නෑ ඔබ ලිපියේ 1,2,3 ඡේද තුන ලියලා තිබෙන්නේ. ඒක කියෙව්වාම ඕන කෙනෙකුට තේරෙනවා කියවෙන්නේ නිරපේක්ෂ යතාර්ථයක් නැති බව කියලා. ඔබ හිතනවා නම් ඔබ ඒ තුළින් කියන්න හදන්නේ වාස්තවික ලෝකය ඊනියා ලෝකයක් කියලා, කණගාටුයි ඔබ වෙනත් දෙයක් කියලා තිබෙන්නේ. දැන්වත තේරුම් ගන්න පුලුවන් නම් හොඳයි මම කළේ එහෙන් මෙහෙන් ප්‍රශ්න ඇසීමක් නෙවෙයි කියලා.
Deleteඔබ මට ලස්සන පිළිතුරක් දීලා තිබෙනවා, මම ආරාධනා කරනවා ආයෙමත් ඔබ ඔබේම පිළිතුර කියවලා බලන්න කියලා.
ඔබේ ලිපියේ ඔබ ලියලා තියෙනවා නිරපේක්ෂ යතාර්ථයක් නෑ කියලා සරලම විදියට-අඩු ගනනේ නිරපේක්ෂ කියන වචනය වත් භාවිත නොකර, ඔබේ පිළිතුරේ කියවෙනවා බටහිර විද්‍යාවේ නිරපේක්ෂ යතාර්ථයක් තියෙනවා කියලා කියවෙන විදියට ප්‍රවාද ගොඩනැගිලා තියෙනවා කියලා. ඒ වගේම මම දැක්කා ඔබ ෆේස්බුක් කමෙන්ට් එකක අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය පිළිගන්නවා කියලා ලියලා තිබෙනවා....පොඩ්ඩක් මම ඉහත කියපු කරුණු ටික සැදැහැ සිතින් සෙමෙන් කියවලා බලලා අයෙමත් පිළිතුර සංස්කරණය කරන ලෙස.
තවත් දෙයක් කියන්න ඕනෑ, ඕනෑම ප්‍රවාදයක් හෝ වේවා, විද්‍යාවක් හෝ වේවා ගොඩනගන්නේ මිනිස්සු. මිනිස්සුන්ගේ අතින් වැරදීම් වෙනවා නිතර, නමුත් වැරදි දේ බොහෝ වෙලාවට අවබෝධ වෙනවා, එවිට වැරැදි හදාගන්නවා. දැනුම කියන දේ ප්‍රතිනිර්මාණය වෙන්නේ ඒ නිසා. ඒකට සමච්චල් කරන්න එපා.
"වාදය තිබිය යුත්තේ දැනුම දියුණු කර ගැනීමට මිස දැනුම නිර්මාණය කරන්නා සමච්චලයට හෝ අපහසුතාවට පත් කිරීමට නොවෙයි."<<මේක වඩාතම වටින්නේ ඔබේ මහාචාර්යතුමාට කිව්වා නම්. ඒත් 'දැනුම' කියන පදය වෙනුවට 'ප්‍රවාද' කියන පදය යොදලා...
ඔබේ මුල් ඡේද තුනේ කියලා තියෙනේ මම කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ අඩංගු කරුණුම නෙවෙයි ද??
Deleteපැහැදිළි වෙනස්කම් තිබෙනවා යාළුවා. ආයෙත් කියවලා බලන්න!!
Deleteහෝව් හෝව් යාළුවා.. මම කිසිම තැනක කිව්වේ නැහැ මම විශේෂ සාපේක්ෂතාවාදය පිළි ගන්නවා කියලා. ඔබ කතා කරන්නේ මේ කතාව වෙන්න ඇති..
Delete//Upekshe Jayasekera මචං මට එක දෙයක් කියහන්කො උඹ ගුරුත්වය පිළිගන්නවද? නැත්තන් ඒ ඇයි?
Wednesday at 9:36pm · Like
Najath Akram පෞද්ගලිකව මම පිළි ගන්නවා.. මොකද, මට අයින්ස්ටයින් කියපු කතාව ඒ හැටි තේරෙන්නේ නෑ. හැබැයි එයින් කියවෙන්නේ නැහැ ඒ කතාව ඇත්ත කියලා මම පිළි ගන්නවා කියලා.. මම ඒක පිළි ගන්නේ පැහැදිලි කිරීමක් විදියට විතරයි.. මට ඒ පැහැදිලි කිරීම තේරෙනවා. ඒ හින්දා ඒක මම පිළි ගන්නවා. නමුත් ඒක වැරදියි කියලා අයින්ස්ටයින් ඔප්පු කළා කියලා මම දන්නවා! ඒ හින්ද මගේ පිළිගැනීම වැරදියි කියලාත් මම දන්නවා!!
Wednesday at 9:39pm · Like · 1//
මෙතැන කිසිම විදියකින් මම කියලා නැහැ මම ඒ දේවල් පිළි ගන්නවා කියලා. අඩු ම තරමින් විශේෂ සාපේක්ෂතාවාදය කියන වචනය වත් මම මතක ඇති කාලයක පාවිච්චි කළේ නෑ. ඉතින් කොහොමද යාළුවා එහෙම කියන්නේ?
//ඔබේ ලිපියේ ඔබ ලියලා තියෙනවා නිරපේක්ෂ යතාර්ථයක් නෑ කියලා සරලම විදියට-අඩු ගනනේ නිරපේක්ෂ කියන වචනය වත් භාවිත නොකර, ඔබේ පිළිතුරේ කියවෙනවා බටහිර විද්‍යාවේ නිරපේක්ෂ යතාර්ථයක් තියෙනවා කියලා කියවෙන විදියට ප්‍රවාද ගොඩනැගිලා තියෙනවා කියලා.//
ඒ කතාව ඇත්ත. ඉතින් හත් දෙයියනේ ඔබ මේ කමෙන්ට් එකේ ම කියලා තියෙනවා නේ, මම බටහිර විද්‍යාව පිළි ගන්නේ නැහැ කියලා. නිරපේක්ෂ යතාර්ථයක් ගොඩ නගන්න හදන්නේ මමවත්, අපේ දැනුමෙන් වත් නෙවෙයි යාළුවා. බටහිර විද්‍යාවෙන්. නිරපේක්ෂ යතාර්ථයක් නෑ කියන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද වැරදියි කියන එක නෙව..
ඔබේ අන්තිම කමෙන්ටුව මගේ මුවගට සිනහවකුත් ගෙනාවා. විද්‍යාවේ කොතනකවත් කියලා නැහැ නිරපේක්ෂ යතර්ථයක් තියෙනව කියලා. මම ඒක අවධාරණය කරනවා. පුලුවන් නම් එහෙම එකක් අපි දන්න විද්‍යාවේ සෘජුව හෝ වක්‍රව හෝ කියවිලා තියෙනවා කියලා ඔප්පු කරන්න. ඔබේ මීටරයේ තර්කය ඉතාම ප්‍රාථමිකයි. මිනුම සැමවිටම සාපේක්ෂයි, නමුත් අපේ පහසුව තකා අප විසින්ම අපි මිනුම් ගනිද්දී ඒ මිනුමට අනුගත වෙනවා. එහෙම නැතුව මිනුම නිරපේක්ෂයි කියල හිතන්නේ නෑ.
Deleteමමත් කීපවතාවක්ම කියෙව්වා. මට වැටහුණු විදියට නම් මම සහ මමමත්වය යන කාරණයෙන් බැහැරව සාපේක්ෂතාව තේරුම් ගතයුතුය යන්නයි අදහස් වෙන්නේ. මම හස මමත්වය තියෙන තුරු එයින් මිදී සාපේඛ්ෂතාවය තේරුම්ගන්න බෑ.
ReplyDeleteමෙතන තවත් පැත්තක් මම දකිනවා. කිහිප දෙනෙක් එකම ප්‍රශ්නයක් දිහා බලන්නේ එක එක පාට කන්නාඩි වලින්. උදාහරණයක් හැටියට ඔබ මේ කතා කරන්න උත්සාහ කරන බටහිර දැනුම සහ අපේ දැනුම පිළිබද ලිපි පෙළ වෙතම උනත් විවිධ අදහස් ලැබෙන්න පුළුවන්. ඒ එක එක පුද්ගලයා මේ දිහා බලන කෝණය අනුව. අපේ දැනුම පිළිබද ගොඩාක් හිතන කෙනෙක් ඉදිරිපත් කරන්නේ බටහිර දැනුම ඉස්මුදුනින් පිළිගන්න කෙනෙක් දක්වන අදහසට වඩා හාත්පසින්ම වෙනස් අදහසක්.
ReplyDelete// මා දකින දේ හරි ය. මට සියලු දේ හරියට පෙනිය යුතු ය. මගෙන් පිට යතාර්ථයක් නැත යන කරුණු සියල්ල එයින් කියවේ. අප සලකන ලද සුළු උදාහරණය තුළ ද ඒ ලක්ෂණ මැනවින් පිළිබිඹු විය. මෙවැනි ප්‍රවාද දහස් ගණනකින් සකස් වුණු බටහිර විද්‍යාව තුළ ආත්මාර්ථකාමීත්වය ගැබ් වන්නේ මේ ලෙසිනි. එවැනි සංස්කෘතියක් තුළ ආත්මාර්ථකාමී වනවා මිස, අන්‍යයන් ගැන සිතීමක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.//
මේ ආත්මාර්ථකාමිත්වය තියෙන්නේ බටහිර විද්‍යාවේ විතරක් නෙවෙයි. අපි හැමෝම ලග මමත්වය ආත්මාර්ථකාමිත්වය කියන දෙය අනිවාර්යයෙන් තියෙන දෙයක්. ඒ දෙක නැති කර ගන්න පුළුවන් නම් ඒ කෙනා ඉන්නේ ගොඩාක් උත්තරීතර තත්වයක.
හරියටම හරි. මමත්වය ආත්මාර්ථකාමීතවය කියන්නේ අපි හැමෝම තුළ පවතින දෙයක්. ඔය දේවල් අපේ සංස්කෘතිය තුළ තිබුනේ නැත්නම් බුදු බණ තුළ ඒවා ගැන සඳහන් වෙන්නේ මොකද... මමතවය,ආත්මාර්ථකාමීතවය, ද්වේශය, මෝහය කියන්නේ මිනිසා තුළ ස්වභාවයෙන්ම අඩංගු දේවල්. ඒවා මිනිසාගේ සංස්කෘතියෙන්, ආගමෙන්, දේශයෙන් ස්වායක්තයි.
Deleteඔබේ ඒ කතාවට මම එකඟ වෙනවා. මිනිසා තුළ තිබෙන මමතවය,ආත්මාර්ථකාමීතවය, ද්වේශය, මෝහය කියන්නේ මිනිසා තුළ ස්වභාවයෙන්ම අඩංගු දේවල්. ඒවා මිනිසාගේ සංස්කෘතියෙන්, ආගමෙන්, දේශයෙන් ස්වායක්තයි.
Deleteමෙතැන දී කතා කරන්නේ සංස්කෘතියක තිබෙන මමතවය සහ ආත්මාර්ථකාමීතවය පිළිබඳව. තවත් දෙයක්. ඔබ කරුණු දැක්වීමේ දී සංස්කෘතීන් අතර දෝලනය වනවා. ස්ථාවර බවක් නැතිව. ඔබේ මතය බටහිර දැනුම මගින් පැහැදිළි කිරීම හෝ සිංහල බෞද්ධ දැනුම මගින් පැහැදිළි කිරීම යන අවස්ථා දෙකෙන් එකක් ඔබට තෝරා ගත හැකියි. නමුත් බටහිර දැනුම මගින් දෙයක් පැහැදිළි කරන්න ගොස් තවත් සංස්කෘතියක ඉගැන්වීම් සාක්ෂි ලෙස දැක්වීම කිසිසේත් ම සාධාරණ නැහැ.
මට ආගමක් නෑ.. නමුත් මම බුද්ධාගම උපුටා දැක්වූයේ ඔබ ඒ ගැන කතා කරපු නිසා. ඉතින් ඔබ පිළිගන්නා ඒ ධර්මයේත් ඔය මමත්වය, ආත්මාර්ථය ගැන කියවිලා තියෙනවා නම් ඉතින් ඒ ගැන අහන්න දෙයක් නෑ නේ.
Deleteකොහොමත් සාරවත් ශක්තිමත් ශිෂ්ඨාචාරයක් තිබුනේ ආසියාතිකරේ නොවැ සුද්ද මෙහෙ ඇවිත් අපේ දෙවල් හොරකන් කොරගෙන ගියා එවට ඉතින් උඩගෙඩි දුන්නෙත් මේ ආසියාතිකරේ හිටපු හොරිකඩයොම තමා
ReplyDeleteසහතික ඇත්ත රාජ් අයියේ!!
Deleteතේරුම්ගන්න ටිකක් ආමාරුයි මොකඩ ගැඹුරු මාතෘකාවක්. ඒත් වැදගත් කරුණු.
ReplyDeleteස්තුතියි අයියේ.. සරලව ඒ ගැන කතා කරමු!
Deleteසත්‍ය කතාව බං
ReplyDeleteතිත්තයි :ප
වටිනවා පොස්ට් එක
ස්තුතියි මල්ලි!
Deleteසිරාවටම කතා කරන්න ඕන මාතෘකාවක්.මත බලන හිටියේ සංවාදයක් ඇති වෙයි කියල.ඊළඟ ලිපියේ ඉදන් ටිකක් සරලව ලියපන්.බ්ලොග් ලියන සේරම දන්නෙ නෑනේ සාපේක්ෂතාවාදය.නලින් ද සිල්වා කියන්නේ කව්ද කියලත් දන්නෙ නැතුවැති!:p
ReplyDeleteකොහොම උණත් බටහිර සහ අපි අතර වෙනස නම බටහිර හැමදේටම ආරම්භයක් සහ අවසානයක් හොයන්න යෑම.පරිණාමවාදයෙන් කියන්නෙත් ඒක,මාක්ස්වාදයෙන් කියන්නෙත් ඒක.ඒ රාමුව තුල සත්‍ය වටහ ගැනීම අපහසුයි කියලයි මට හිතෙන්නේ!