අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව..
වේලාව : දහවල් 12.30
අද දවසට නියමිත දේශන අවසන් වෙලා, අපි දේශන ශාලාවෙන් (LT 01) පිටතට පැමිණෙමින් සිටියා. ශාලාවේ දොරට ලං වෙනවාත් එක්ක ම කවුදෝ එකෙක් "රැංගෝ" කියවා ඇහුණු නිසා ටිකක් පස්සට ඇවිත් මොකාද මේ කියලා බලද්දී කොහේදෝ ඉඳලා දුවගෙන ආවේ චොකා.
"මචං. පොඩි අවුලක්. ටිකකට ගාලු ගිහින් එමු ද?"
මළා..ගෙදරට වාත වෙලා වෙලා පැට්‍රොල් ටික ගහ ගත්ත ගමන් මොකෙක් හරි හෙනහුරෙක් පහත් වෙනවා නේ.. මොනවා කරන්න ද! බැචා නේ..
"මොකෝ මචං සීන් එක?"
"නෑ බං.. අපේ අක්කගේ යාලුවෙක් අද ගාලු ඇවිත්. එයාට ටිකක් අසනීපයි ලු. Faint වෙනවා කියල කිව්වා. පොඩ්ඩක් බලන්න ලු. ධර්මපාල පාක් එකේ ලු දැන් ඉන්නේ"
ලෙඩකට දුකකට නැති බයික් එක ගිනි තියපිය කිව්වලු!
"අඩේ.. එහෙම ද? එහෙනම් යමන්.. "
පහළට ඇවිත්, නවත්තලා තිබුණු බයික් එකකින් හෙල්මට් එකකුත් ගත්ත අපි ගාල්ල දිහාවට ඇදුණා. ටික වෙලාවක් යද්දී චොකා ආයෙත් එයාගේ අක්කට කෝල් එකක් දුන්නා. දෙන්නා මොන මොනවදෝ කතා වෙනවා ඇහුණත් අනුන්ගේ කතා වලට කන් නොදෙන හොඳ ළමයෙක් හින්දා රැංගෝ ඒ පැත්තට කන දැම්මේ නෑ..
"මචං.. වැඩේ ටිකක් දරුණුයි ලු. මේ අක්කගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ලු. පැරෙක් (parallel batch එකක කෙනෙක්) ලු.. කොල්ලගේ සීන් එකක් හින්දා පැනඩෝල් බීලා කියලා කිව්වා..දැන් එතන යාළුවො දෙන්නෙක් ඉන්නවා ලු. හැබැයි ඒ එයාගේ යාළුවෙක්ගේ යාළුවො දෙන්නෙක් ලු.. එයා අඳුනන්නේ නෑ ලු.. අපිට පුළුවන් නම් hospital එකට admit කරන්න කිව්වා"
කිරි අප්පට බල්ලෝ බුරාපිය.. මේ මොකද්ද බොලේ මේ වෙන්න යන්නේ.. සිය දිවි නසා ගැනීමට තැත් කිරීම.. අපරාධ නීතිය යටතේ නඩු දාන්න පුළුවන් වැරද්දක්.. විශ්වාස නැති කෙනෙක් ඉන්නවා නම් අපේ දයානන්ද රත්නායක අයියාගෙන් අහ ගන්න පුළුවන්!!
"කලින් කියන්න එපයි බං. එහෙනම් ලත වෙන්න බෑ නේ.. "
මම දෙන්න පුළුවන් උපරිමෙන් ම gas දීලා බයික් එක. ධර්මපාල පාක් එක පැත්තට ගත්තා.. පාරේ හිටපු එවුන් බනිනවා වගේ යන්තමින් ඇහුණත් ජීවිතයක ඉරණම විසඳෙන්න තියෙන වෙලාවේ මාර්ග නීති ගැන සැලකිලිමත් වෙවී ලත වෙන්න හිත දුන්නේ නෑ.
අන්තිමට අපි ධර්මපාල උද්‍යානය ළඟ.. ඇතුලට යන්න හදද්දී ම දොරටුව ළඟ හිටපු කෙනා කතා කළා..
"අයියේ.. අපේ යාලුවෙක් අසනීප වෙලා.. එයාව hospital එකට ගෙනියන්න ආවේ. ඇතුළට ගියාට අවුලක් නෑ නේ?"
"එයාට එලියට එන්න කියන්න. නැත්නම් ටිකට් එකක් ගන්න"
ඒක කියපු විදියට හොම්බ කට සමතලා වෙන්න දෙකක් දෙන්න හිතුනත්, වාද කර කර අපතේ යවන්න වෙලාවක් නොවුණු නිසා රුපියල් 20 ක් දීලා ටිකට් දෙකක් අරගෙන ඇතුළට ගිහින් යන්තම් අදාල පුද්ගලයෝ තුන් දෙනා හොයා ගත්තා. හිටපු යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් නම් මම දන්නා කියන නංගි කෙනෙක්.ඒ වෙද්දීත් පැනඩෝල් බීපු අක්කා වමනය දාලා තිබුණා. ටිකක් අසනීප ගතියක් තිබුණත් වෛද්‍යවරයෙක් හමු වීම ප්‍රතික්ෂේප කරපු ඇය, මහරගම බස් එකකට නග්ගන්න කියලා විතරක් කිව්වා.. අපි කොච්චර උත්සාහ කළත් ඇය අපේ මතයට එකඟ වුනේ නැහැ. නගරය මැද දී කෙල්ලෙක්ව බලෙන් ඇදගෙන යන්නත් බැහැ. පාරේ හැම තැන ම සේවයේ නියුතු පොලිස් නිලධාරීන්. එහෙම වුනොත් අනිවාර්යයෙන් ම ප්‍රශ්නය දුර දිග යනවා. ඒ හින්දා අපි එයාට යන්න දුන්නා. නමුත් බෑග් එකේ තිබුණු, ඉතිරි බෙහෙත් ටික ඉවත් කර ගත්තා.. ඒ වෙද්දී ඇය මිලදී ගත්ත පැනඩෝල් කාඩ් හතරෙන් එකකුත් තවත් පෙති 5ක් පමණ ප්‍රමාණයක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊට අමතරව පිරිටන් පෙති කිහිපයකුත් තිබුණා. තව මහා ගොඩක් පෙති වර්ග තිබුණා. ඒ හැම එකක් ම ඉවත් කරගෙන ඇයට යන්න දීලා, ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. ඊළඟට චොකාගේ අක්කට කතා කරලා, බස් එක මහරගමට එන වෙලාව වෙද්දී එතැනට ඇවිත් ඇය ව ගන්න කියලා කිව්වා.. ඒ කටයුතු ටික ඉවරයක් කරලා අපි ගාල්ලෙන් එද්දී පැය දෙකකටත් වඩා ගත වෙලා.
මේ පොස්ට් එක ලිව්වේ ඒ සිද්ධිය ගැන කියන්න ම නෙවෙයි. අපි ඒ අත්වින්දේ එක සිද්ධියක් විතරයි. ආදර සම්බන්ධතා බිඳ වැටීම නිසා දිනපතා කී දෙනෙක් නම් සියදිවි නසා ගන්න පෙළඹෙනවා ද? මේ කතාවේ කතා නායිකාව, ලංකාවේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඇය අද ගාලු ඇවිත් තිබුණේ ඇගේ පෙම්වතා මුණ ගැහෙන්න.. ඔහුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. දෙදෙනා අතර ඇති වුණු කුමක් හෝ ප්‍රශ්නයක් නිසා ඇය සියදිවි නසා ගන්න තීරණය කළා. ඒ බව ඇගේ හොඳ ම මිතුරියකට දැනුම් දීම හරහා යි අපි මේ කතාවට සම්බන්ධ වුනේ. අර මිතුරියන් දෙදෙනා අපට කලින් එතැනට නොඑන්නට සමහර විට ඇය අද ජීවතුන් අතර නොසිටින්නට තිබුණා.
හෙට සමාජයේ වගකිව යුතු තැන් වලට පත් වෙන්න සුදුසුකම් සපුරන්නන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මගේ හැගීම. පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමණයි. ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කරන්නට සමහර විට ඒ ආදරය හේතු වෙන්න පුළුවන්. ඒ වගේ ම ජීවිතය සාර්ථකත්වය සඳහා ගෙන යන්න ආදරය එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ආදරය නිසා ජීවිතයක් නැති කර ගන්නට යෙදෙනවා නම්, එතන පැහැදිලිව ම වරදක් තිබිය යුතුයි..
ආදරය වෙනුවෙන් ජීවිතය නැති කර ගැනීම සාධාරණීකරණය කරන්නන් දක්වන එක් උදාහරණයක් වන්නේ රෝමියෝ ජුලියට් කතාන්දරය. මෙය කිසිසේත් ම තර්කානුකුල නැහැ. ජුලියට් මිය ගියා යි සිතු රෝමියෝ කලබල වී සිය දිවි නසා නොගන්නට, ඔවුන් දෙදෙනාට සතුටින් ජීවත් වන්නට ඉඩ තිබුණා..
වසර ගණනාවක් ගෙවූ ජීවිතය නැති කර ගත යුතු යි තීරණය කරන්නට මිනිත්තු කිහිපයකින් හෝ පැය කිහිපයකින් බැරි බව අප වටහා ගත යුතුයි. ආදරය වෙනුවෙන් සියදිවි නසා ගන්නවාට වඩා ඒ ආදරය වෙනුවෙන් ම ජීවත් වීම උතුම් දෙයක්. අප ආදරය කරන කෙනා අපට අහිමි වීම නිසා අපි ජීවිතය අහිමි කර ගැනීමෙන් අපි රිද්දන්නේ ඒ පුද්ගලයාට පමණක් නොවෙයි.
බඩගින්නේ හඬද්දී ලේ කිරි කර පොවා උස් මහත් කළ, යන්තම් ඇවිද ගන්නටවත් බැරිව සිටියදී නැගිටින්න වාරු දුන්,අපේ ජීවිත කාලය පුරාවට ම අපි වෙනුවෙන් කැප වුණු ආදරණීය දෙමාපියන්ට, අවුරුදු කිහිපයක්, එහෙමත් නැත්නම් මාස කිහිපයක් හෝ දින කිහිපයක් හඳුනා ගත් අයෙකුට වඩා අපේ වියෝව දැනෙනවා. රිදෙනවා. ඔබට යමෙක් හෝ යමක් නැති වුණා යැයි සිතෙනවා නම්, ඒ මොහොතේ ම ඔබ සතුව තිබෙන දේ ගැන සිතන්න.. සෑම තත්පරයක දී ම මිනිසුන් 1.8 ක් මිය යන ලෝකයක තවමත් ජීවත් වීමට තරම් ඔබ භාග්‍යවන්ත බව සිතන්න..
ජීවිතය නැති කර ගන්න හිතෙනවා නම්, හිතෙන හැම දේ ම ලියන්න.. එපා වෙනකම් ම ලියන්න.. ඔබට ආයෙත් ජීවත් වෙන්න හිතෙන තුරු ම ලියන්න.. සමහර විට එයින් බොහොම වටිනා නිර්මාණයක් බිහි වේවි! මගේ මිතුරියක් වරක් මට දුන්නු සටහනක, මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ මේ කවිය තිබුණා. මෙතැනට එය අදාල ද දන්නේ නැහැ. නමුත් මට එහෙම හිතෙනවා..
ලෝ වැසි සැමගෙන් සැඟවුණු
ඔබේ සොඳුරු මුදු සෙනෙහස
මා හද ගැබ සුරැකෙන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..
හෙළනා දිගු සුසුමෙන් මිස
බැහැර හොයන මගෙ සෙනෙහස
කවියක් සේ බිහි වන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..
ඔබ හැර ගිය ආදරවන්තයා ගැන සිතීමෙන් පලක් නැහැ.. මේ ළඟදී වෙනි අයියා බුකියේ share කරලා තිබුණු photo එකක තිබුණා, "අප ආදරය කරන උන්, අප ළඟ රැඳීය යුතු යැයි නීතියක් නැත. සිදු විය යුත්තේ ඔවුන් කොහේ හෝ හොඳින් සිටීම පමණි." ඒ ගැන මොහොතක් සිතන්න.. ඔබ ඇත්තට ම ආදරය කළ අයෙක් නම්, කවදාවත් ජීවිතය නැති කර ගන්න තීරණය කරන්නේ නැහැ..
ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!