skip to main |
skip to sidebar
ජීවිතය පිලිබඳ Spring නිර්වචනය!

මේ ළඟදී දවසක මට මගේ පරණ මිත්රයෙක් හමු වුණා . කාලෙකට පස්සේ හමු වුණු නිසා ම වැඩි වෙලාවක් කතා බහ කරමින් හිටියා..මේ දවස් වල සැහෙන්න වැස්ස නේ.. අපේ කතාව අතර මග දී එක් වර ම මහා වැස්සක් වැටෙන්න ගත්තා.ඉක්මනින් ආයෙත් එන්න විදිහක් නැති නිසා කතාව තවත් දිගට ඇදුනා. අපි කතා වුණු දේවල් ඇසුරෙන් පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනේ වැස්ස තුරල් කරාට පස්සේ ගෙදර එද්දියි. යම් යම් හේතු උඩ ඒ කාරණාව කල් ගිහින් දැන් තමයි ඉඩක් ලැබුණේ.
කාලයත් සමග සහ එක් එක් පුද්ගලයන් හමු වීමේ දී අපි ජීවිතයේ එක් එක් චරිත රඟපානවා.'ජීවිතය රඟ මඩලකි. අපි එහි නළුවෝ වෙමු' කියලා කිව්වේ විලියම් ශේක්ස්පියර්. මේ ප්රකාශය ආකාර කිහිපයකින් තේරුම් ගන්න පුළුවන්. මට එය තේරුම් ගත හැකි ආකාර දෙකෙන් එක් ආකාරයකට අනුවයි මේ පෝස්ට් එක සකස් වෙන්නේ..
අපි අපේ සිතුවිලි බාහිරට ප්රදර්ශනය කිරීමේ දී යම් යම් ප්රතිශත වලින් යම් යම් අයට දැන ගන්නට ඉඩ දීමයි සිදු වෙන්නේ. මෙය යම් ප්රමාණයකට අන්තරාවෘත වීමක් සහ බාහිරාවෘත වීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්.එහෙමත් නැත්නම් සුළු හෝ වැඩි වශයෙන් වෙනත් අයෙකුගේ චරිතයකට පණ පෙවීමක්. අපි කැමති වගේ ම අකමැති චරිතත් මේ විදියට රඟපාන්න සිදු වෙනවා.ඒත් අපි වැඩිපුර ම කැමති අපේ ම චරිතය රඟපාන්න. එහෙමත් නැත්නම් විවෘතව අපේ අදහස් ප්රකාශ කරන්න.
අපි හැමෝම කැමති අපේ සිතුවිලි වලට සමාන සිතුවිලි සහ අපේ අදහස් වලට සමාන අදහස් තියෙන කෙනෙක් ව ඇසුරු කරන්න. කෙනෙක්ට යම් චරිතයකට කොතරම් දුරට අනුගත වෙලා සාධාරණත්වයක් ඉෂ්ට කරන්න පුළුවන් ද කියන කාරණාව මත, ඒ පුද්ගලයා ගොඩනගා ගත සම්බන්ධතා වල පැවැත්ම තීරණය වෙනවා.මොහොතකට හිතන්න. ගොඩක් සමාජශීලී පුද්ගලයෙක්, එක් එක් සමාජ ස්ථර වල පුද්ගලයන් ඇසුරු කරද්දී ඒ ඒ පුද්ගලයාගේ මානසික තත්වයට ගැළපෙන පරිදි තමන්ගේ සිතුවිලි සහ වචන හැසිරවිය යුතුයි. එහෙම නොවුණොත් ඒ සම්බන්ධතාව අසාර්ථක වෙනවා පමණක් නොවෙයි. එහි පැවැත්මක් ද නැති වෙනවා.
ඒ හේතුව නිසා කෙනෙක් සමාජශීලී වන තරමට ඔහු තමන්ගේ සැබෑ ස්වරුපයෙන් දෙපසට අපගමනය වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් තමාගේ නියම චරිතය රඟ දක්වන්න අවකාශයක් නොලැබෙන තරම් ම වෙනවා. ඒත් එතරම් ම සමාජශීලී නොවූ අයෙකුට ඒ ප්රශ්නය ඒ තරම් ම ඇති වන්නේ නෑ.. මොකද ඔහුට ඔහුගේ චරිතය රඟ දක්වන්න ඇති තරම් අවකාශ ලැබෙනවා. සමහර විට ඔහු රඟ දක්වන්නේ ඒ චරිතය ම පමණක් වෙන්නත් පුළුවන්.
මේ සඳහා උදාහරණයක් විදියට මිනිසා, දුන්නකට එහෙමත් නැත්නම් spring එකකට උපමා කරන්න පුළුවන්. සමාජශීලී බව වැඩි වෙනවා කියන්නේ දුනු නියතය අඩු වෙනවා කියන එක. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඒකක දිගක් අදින්න යෙදිය යුතු බලය අඩු වෙනවා කියන එක. එහෙම දුන්නක් සාපේක්ෂව ඉහල පරාසයක් ඔස්සේ චලනය කරන්න පුළුවන්. නො ඇදෙන දුන්නකට වඩා පහසුවෙන්. ඒත් ඒ චලනය වීමේ දී දුන්න විඩාවට පත් වෙනවා. අපි එක් කෙළවරක් අත් හැරි සැනෙන් එය මුල් පිහිටුමට ම එනවා. දුන්න කොතරම් ඇදෙන සුළු වුණත් ස්ථාවර වන්නේ ඒ පිහිටීම ම පමණයි.
ඔන්න අන්තිමේ කියන්න ඕන කාරණාවට ආවා.. කොහෙන් ගියත් අන්තිමට ආදරේ ළඟ නේ නවතින්නේ! මෙහෙම කියමුකෝ. අපි ආදරය කරන්න කෙනෙක් තෝරා ගන්නේ ඒ පුද්ගලයා සමග ජීවිත කාලය ම එකට ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතිව. එහෙම තෝරා ගනු ලබන පුද්ගලයා ආශ්රය කිරීමේ දී අපිට දුන්නක් ලෙස ඇදෙන්නට සිදු වුණොත්, එහෙමත් නැත්නම් වෙනස් වෙන්නට සිදු වුණොත්, කාලයත් සමග අපි විඩාවට පත් වෙනවා. සමහර විට යම් තරම් කාලයක් එය දරාගෙන ඉන්න හැකි වේවි. ඒත් අවසානයේ විශාල පීඩනයකින් කල් ගෙවන්න ට සිදු වෙනවා.
ඒ නිසා කෙනෙක් තමන්ට ගැලපෙනවා දැයි තීරණය කිරීමේදී, තමන් වෙනස් නොවී, ඒ පුද්ගලයාවත් වෙනස් නොකර, දෙදෙනා ම නිදහසේ සිටින වෙලාවට දෙදෙනාගේ අදහස් සහ හැසිරීම් එකිනෙක ගැළපෙනවා දැයි බැලිය යුතුයි. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් යම් යම් නරක පුරුදු අත හැරීම නම් හොඳ දෙයක්. නමුත් එය අකමැත්තෙන් කරන්නේ නම් නැවත වරක් ඒ අත හැරි දේ පටන් ගැනීමට පැකිලීමක් ඇති නොවෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ට ආදරය කළ යුත්තේ 'කොහොම හරි හදා ගන්නවා' හෝ 'මම එයාට ඕන විදියට වෙනස් වෙනවා.' ලෙස ඇති කර ගත් ආකල්පයකින් නොවේ.
අවසානයේ කිව යුතු දෙයක් ඇත. ආදරය යනු නිදහසයි. ආදරය කරන්නා විසින් එය ලබන්නාට උපරිම වූ නිදහස ලබා දිය යුතුයි. ඒ නිදහස සමග ජීවත් වන ආදරය ලබන්නා වෙත පෙර ලෙස ම ආදරය කළ හැකි නම්, ඒ ආදරය ආත්මීය බැඳීමක් වනු නොඅනුමානයි!
ගොඩක් අදහස් එක්ක එකඟ වෙනවා....එ උනට ආදරය තුල එකිනෙකාගෙ අදහස් වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් ,නිදහස නැති විමක් නෙමෙයි.
ReplyDeleteඒ කැප කිරීම වදයක් වෙන තරම් නොවිය යුතුයි. කැප වීමේ වරදක් නැහැ. ඒත් තමන් වෙනත් පුද්ගලයෙකුගේ චරිතයක් රඟ දක්වමින් ආදරය කිරීම නම් වැරදියි!
Delete//ආදරය කරන්නා විසින් එය ලබන්නාට උපරිම වූ නිදහස ලබා දිය යුතුයි.//
ReplyDeleteවිශ්වාසය තරම් මේ සඳහා වැදගත්වෙන වෙන කිසිම දෙයක් නෑ..
හිතන්න දෙයක් එකතු කලාට ස්තුතියි..
විශ්වාසය නැති තැන ආදරයට පැවැත්මක් නැහැ.. :D
Deleteජීවිතය ගැන මේ දවස් වල ලියන කියන ඕනම දෙයක් භාර ගන්නවා.. මොකද මම දැන් වෙනස් වෙමි..
ReplyDeleteඒ මොකද ඒ .? මේ යන විදිය නම් එච්චර හොඳ නෑ අයියේ!
Deleteහරි ලස්සන දෙයක් ජීවිතේ ඒක විදින්න දන්න අය අඩුයි...
ReplyDeleteවිඳීම සහ විඳවීම පටලවා ගත්තම සමහර වෙලාවට එහෙම වෙනවා!
Deleteඋපමා, උදාහරණ එක්ක හොඳ ට ජීවිතය විග්රහ කළා මල්ලි. මේක මම කැමති ම ලිපියක්. සුපිරි.........
ReplyDelete~~~**දඟ මල්ල**~~~
ස්තුතියේ අක්කේ!
Deleteඑදිනෙදා සමාජයේ ගැටෙන විට හැම වෙලාවෙම ක්රියාත්මක වෙන්නෙ අපේ සිතුවිලි මුලින්ම.
ReplyDeleteආදරේදිත් එහෙමයි. හැම විටම සිතුවිලි සමපාත වූවොත් එතැන ගැලපීමක් තියෙනවා. අදහස් හි සිතුවිලි ගැලපුනේ නැත්නම් රැඳෙන්න අපහසුයි
සිතුවිලි ගැලපීම පරීක්ෂා කරනවා වෙනුවට සිතුවිලි වලට වහල් වීමයි නොකළ යුත්තේ...
Deleteමෙක සහතික ඇත්තක් ගැහැණිය පිරිමියා අතර ඇති ආදරයට පදනම දෙදෙනා අතර ආකර්ශනය පමනක් නොවෙයි දෙදෙනාගේ රුචි අරුචිකම් නිදහස ද වැදගත් එහෙත් එහි සීමාවන් විවාහය විසින් බැද තබා ගත යුතුයි. එහෙත් අහි අදහස ගැහැනිය ත් පිරිමියාත් නීති දමා ගැනීම නම් නෙමෙයි
ReplyDeleteමෙ පොත හොද ඔත්තුවක්
http://www.priyangadezoysa.com/Woman%20World%20-%20Man%20World.html
එකඟ වෙනවා! මොහොම ස්තුතියි මිත්රයා මේ පැත්තේ ආවාට..
Delete//.'ජීවිතය රඟ මඩලකි. අපි එහි නළුවෝ වෙමු' // මේ කතාවනම් මට කි සරයක්නම් හිතිලා තියේද?
ReplyDeleteඇත්තම කථාව මල්ලියෝ.. ආදරේ කියන්නේ මේ හැමදේම.. විස්වාසය තමා වැදගත්ම..
ReplyDelete