Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තුන් වන සංස්කරණය (3rd Edition) නිකුත් වීම!

Sunday, July 22, 2012

නොයෙකුත් කට කතා, ඇනුම් බැනුම්, ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන සංස්කරණය අද නිකුත් විය. මෙය තවත්  සංස්කරණයක් (Edition එකක්) ලෙස හඳුන්වන්නට යෙදුනේ, තව කී වතාවක් මෙය වෙනස් විය හැකි දැයි නොදන්නා බැවිනි.

 2011 ප්‍රතිඵල ලේඛනයේ පළමු කලාපය පිට වීමේ දී දෝෂය ඇති වී තිබුනේ ප්‍රතිඵල ඇතුලත් කිරීමෙහි ය. එය නිවරදි කරන ලදුව, නිකුත් කල දෙවන කලාපයේ z අගය සෙවීමේ ක්‍රමය වැරදී තිබිණි. අද පිටත් වූ තුන් වන කලාපයෙහි වැරදි කොහෙද, නිවැරදි කොහෙද යන්න ශක්‍රයාගේ පුතා වයිමා තබා, බන්දුල ගුණවර්ධන ඇමැති තුමා වත් දන්නවා යයි සිතිය නොහැක.

ප්‍රතිඵල පිට වූ පසු බොහෝ දෙනා ඒ පිලිබඳ සිය අප්‍රසාදය පල කරන්නට වීම නිසා, අද මුණ ගැසුණු අප ශිෂ්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් සමග මෙහි ඇති ගැටලුව පිලිබඳ සාකච්ඡා කරන්නට යෙදුනි..සංඛ්‍යානය පිළිබඳව විශේෂයෙන් හදාරා නැතත්, අප හදාරා ඇති සංඛ්‍යානය අනුව ද මේ ක්‍රමය වැරදි බව මනාව වැටහිණි.

කෙටියෙන් කියන්නේ නම්, z අගය මගින් කෙරෙනුයේ, භරිත මධ්‍යන්‍ය ක්‍රමයක් මගින් ලකුණු ලබා දීමයි. උදාහරණයක් ලෙස, සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව විෂයයන් දෙක සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍ර දෙක සලකමු. යම් වසරක භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වඩා, ගණිතය ප්‍රශ්න පත්‍රය බෙහෙවින් අසීරු යයි සිතමු. එවිට, සමස්තයක් ලෙස ගණිතයට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අඩු වේ. එනම් මධ්‍යන්‍යය අඩු වෙයි.(උදා: ලකුණු 40) එමෙන් ම භෞතික විද්‍යාව සඳහා ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය ඉහල අගයක පවතී. (උදා:50). එවිට භෞතික විද්‍යාවට ලබා ගන්නා ලකුණු 50කට වඩා ගණිතය වෙනුවෙන් ලබා ගන්නා ලකුණු 50ක් වෙනුවෙන් ශිෂ්‍යයා වැඩියෙන් වෙහෙස විය යුතු ය. අතීතයේ පැවති මුළු ලකුණු මත පදනම ක්‍රමයේ දී ගණිතයට ගන්නා ලකුණු 50ත්, භෞතික විද්‍යාවට ගන්නා ලකුණු 50ත් සැලකුනේ එක ලෙස ය. නමුත් Z අගය ලබා දීමේ දී අසීරු විෂයයට ලබා ගන්නා ලකුණු වලට වැඩි වටිනාකමක් හිමි වෙයි. සරලව Z ලකුණ පිළිබඳව එසේ පැහැදිලි කල හැකි ය.


මෙවර සිදු වුයේ කුමක් ද?

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය පිරිසෙන් එක් කොටසක්(දෙවන හා තුන් වන වාරය) පැරණි විෂයය නිර්දේශය යටතේ ද, ඉතිරි කොටස(පළමු වාරය) අලුත් විෂයය නිර්දේශය යටතේ ද විභාගයට මුහුණ දුන් අතර දෙපිරිස සඳහා වෙන වෙන ම ප්‍රශ්න පත්‍ර සැපයිනි.

ප්‍රතිඵල දෙවන නිකුතුවේ වරද කුමක් ද?

Z අගය ගණනය කිරීමේ දී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍රය සඳහා ශිෂ්‍යයන් ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය සැලකිල්ලට ගන්නා බව කලින් කීවෙමි. දෙවන නිකුතුවේ දී එක් එක් විෂයයන් සඳහා Z අගය, එකට ගෙන ගණනය කර තිබිණි. එනම්, විෂයය සඳහා පොදු මධ්‍යන්‍යයක් සලකා ඇත. උදාහරණයක් ලෙස, අලුත් නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු එක ම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී ලබා ගත් ලකුණු ලෙස සලකා කටයුතු කර ඇත. එනම් ප්‍රශ්න පත්‍ර දෙක ම එක ලෙස අමාරු ඒවා ලෙස සලකා ඇත. එවිට Z ලකුණ ලබා දීමෙන් අභිමත දේ සිදු නොවන බව ඕනෑ මෝඩයෙකුට වැටහෙන කරුණකි. (නමුත් මෙය විභාග දෙපාර්තමේන්තුවට වැටහී නැත)

තෙවන නිකුතුවේ වරද?

මෙවර Z ලකුණ ගණනය කිරීම නිවැරදිව සිදු කර ඇති බව පවසයි. එනම් එක් එක් ප්‍රශ්න පත්‍රයට වෙන වෙන ම ගණනය කර ඇත. මෙහි ගැටළුවක් නැත. 

එසේ නම් වරද කුමක් ද??

යම් විභාගයකට වරක් මුහුණ දෙන සිසුවා දෙවන හෝ තෙවන වර ඒ විභාගයට ම මුහුණ දෙද්දී, ඒ පිලිබඳ හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරයි. පෙර අත්දැකීම් තිබීම ඊට හේතුව යි. උසස්පෙළ විභාගයෙන් සමස්තයක් ලෙස ගත් කල දෙවන වාරයේ පෙනී සිටි සිසුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය වැඩි වීම මේ නිසා සිදු වන්නකි. එනම්, දෙවන වර පෙනී සිටින සිසුන්ගේ මධ්‍යන්‍යය ලකුණ ඉහල මට්ටමක පවතී. පළමු වර පෙනී සිටින බොහෝ සිසුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ දෙවන වාරයේ ද පෙනී සිටීමේ අපේක්ෂාවෙනි. එසේ නැතිනම්, යන්තම් විභාගය සමත් වීමේ අපේක්ෂාවෙනි. සමස්තය සලකු විට, සුළු පිරිසක් පමණක් විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කර ගනිමින් ම විභාගයට පෙනී සිටියි. ඒ හේතුව නිසා දෙවන වර පෙනී සිටි අයට වඩා පළමු වර පෙනී සිටි අයගේ එක ම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම වුවත් මධ්‍යන්‍යය අඩු අගයක් ගනී. 

උදාහරණයක් ලෙස පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 45 ක් පමණ වෙද්දී දෙවන වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 50 ක් පමණ විය හැකි ය. ඒ හේතුව නිසා ලකුණු 47ක් ලබා ගන්නා පළමු වර ශිෂ්‍යයාට ධන Z ලකුණක් හිමි වෙද්දී ඒ ලකුණු ප්‍රමාණය ම ඒ ප්‍රශ්න පත්‍රය සඳහා ම ලබා ගන්නා දෙවන වර ශිෂ්‍යයා ට හිමි වන්නේ සෘණ Z ලකුණකි. මෙවර සිදු වී ඇත්තේ එයයි. ප්‍රශ්න පත්‍රය මත පදනම් ව Z ලකුණ ගණනය කිරීමේ වරදක් නැත. නමුත් මෙහි දී නොසලකා හැරී කරුණු කිහිපයක් පවතී. එනම් පසුගිය වසර වල, දෙවන හා තෙවන වර ශිෂ්‍යයන් ලබා ගත් ලකුණු වල මධ්‍යන්‍යයේ සහ පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය වල වෙනස කවර ආකාර ද? සමස්තයක් ලෙස, පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්යේ සහ අනෙක් ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය අතර අනුපාතය කවර ආකාර ද? තෝරා ගත් ස්ථාන ප්‍රමාණයක් තුල පළමු වර ශිෂ්‍යයෝ කීයක්‌ සිටිත් ද? දෙවන වර සහ තෙවන වර කීයක්‌ සිටිත් ද?

වසර ගණනාවක අදාළ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව, ඒ අනුපාතය ආරක්ෂා වන පරිදි Z ලකුණ නැවත සකස් කල යුතු ය. මේ සියල්ල සිදු කිරීමට දින දෙක තුනකට වඩා ගත නොවේ. හේතුව, සියලු ම ලකුණු සටහන් පරිඝනක වල සටහන් කර තිබීමයි. ඉන් පසු අදාළ පරිඝනක වැඩසටහනේ සමීකරනය, නව සමීකරණය මගින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් මිනිත්තු කිහිපයක් තුල නව ප්‍රතිඵලය ලබා ගත හැකි ය. මුද්‍රණය සඳහා දවසක් ගත වුවත්, සතියක් තුල නිවැරදි ප්‍රතිඵලය ලබා දිය හැකි ය.

සංඛ්‍යානය විධිමත් ව හැදෑරු එක් අයෙක් හෝ විභාග දෙපාර්තමේන්තුවේ සේවය නොකරතියි සිතිය නොහැක. එසේ නම්, මේ සඳහා නිවැරදි ව ම ගැලපෙන ක්‍රමය භාවිත නොකර, Firefox Web Browser එක සේ මාසයකට වරක් හෝ දෙකක් ප්‍රතිඵල වල සංස්කරණ ඉදිරිපත් කිරීම අත්වැරැද්දක් යයි සිතිය නොහැක.

අද නිකුත් වූ ප්‍රතිඵල අනුව, බොහොමයක් අයගේ දිවයින් කුසලතාව 300 කින් පමණ වෙනස් වී ඇත. වසර ගණනාවක ප්‍රතිඵල සහ දත්ත අනුව, තමන් අනිවාර්යයෙන් ම ඉංජිනේරු හෝ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබතියි සිතා සිටි බොහොමයකගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇත. ඊට අමතරව, අඩු ලකුණු ලැබූ පළමු වර සිසුන් බොහෝ දෙනෙක් ඉහල Z ලකුණු ලබා ඉදිරියට පැමිණ ඇත. 

කුසලතා වෙනස් වී, තමන් සුදුසුකම් ලැබීමට සිටි පාඨමාලාව වෙනස් වීම නිසා බොහෝ දෙනෙකුට නැවත විභායට මුහුණ දීමට සිදු වී තිබේ. තුන් හිතකින් වත නොහිතු ලෙස, ඉතිහාසයේ නොවූ විරූ ලෙස කුසලතාව වෙනස් වීම නිසා දෙවන සංස්කරණයට අනුව ඉහල Z අගයයන් ලැබුවන් ට ද නැවත උසස් පෙළ කරන්නට සිදු වී ඇත. ඒ අතින් ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව සුපිරි ය. ඒ සඳහා ඔවුන්ට සති ම දෙකක කාලයක් ලබා දී ඇත. වසරක් තිස්සේ අමතක වී ගිය පාඩම් මතක් කර, උසස් පෙළ ලියා උසස් ලෙස සමත් වීමට සති දෙකක් වැඩිත් එක්ක ඇති ය! 

ඊයේ මගේ මිත්‍රයෙකු හමු වී කතා බහ කිරීමේ දී පැවසු දෙයක් තදින් ම මගේ සිතට කා වැදුනි. එය මෙසේ ඔහුගේ වචනයෙන් ම ලියා තබමි.

"2010 A/L  කරපු අපි ඔක්කොම කාලකන්නි බං. උඹලා First Shy ම ගියා. ඒත් ස්ට්‍රයික් හින්දා උඹලා ගෙදර. අපි second shy කළා. තාම ප්‍රතිඵල නැතුව ගෙදර. තවත් සමහර එවුන් Third shy කරන්න හිතුවා. උන්ට තාම Admission වත් නැතුව, තීරණයක් ගන්න බැරුව ගෙදර!"

මෙය සම්පුර්ණයෙන් ම විභාග දෙපාර්තමේන්තුවේ වරදකි. ලංකාවේ තිබෙන වැදගත් ම සහ වඩාත් ම තරඟකාරී විභාගයේ ප්‍රතිඵල සමග සෙල්ලම් කිරීම දැන් වත් නතර කල යුතු ය. දහසින් බැඳී පියල්ලෙන් පඩි ගන්නා උන් පුටු රත් කරන අතරේ ඉඳ හිට වත් තමා එතනට ගෙනා නිදහස් අධ්‍යාපනය ගැන සිතිය යුතු ය. නො එසේ නම්, මේ සියල්ල වෙනස් කරවන අරගලයක් ඇති වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ප.ලි:
මේ ගැටලුව නිරාකරණය සඳහා විසඳුමක් සොයන අතර වාරයේ, මෙවැන්නක් මගේ සිතට ආවේ ය. මෙහි නිරවද්‍යතාව පිළිබඳව එතරම් ම පැහැදීමක් නැතත්, පවතින ක්‍රමයට වඩා එය යහපත් වනු ඇති සිතමි. ඒ මෙසේ ය.

පසුගිය වසර කිහිපයක, එක් එක් විෂයයන්ගේ උසස් පෙළ ප්‍රතිඵල වල, මධ්‍යන්‍යයන් ලබා ගත යුතු ය. ඉන් අනතුරුව, ඒ ඒ විෂයයන් සඳහා දෙවන /තෙවන වර සහ පළමු වර පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය වෙන වෙන ම ලබා ගත යුතු ය. සමස්ත මධ්‍යන්‍යය සහ එක් එක් වාරයේ ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය අතර යම් පොදු අනුපාත ලබා ගැනීම මෙහි දී අසීරු නොවනු ඇත. ඉන් අනතුරුව, අදාළ අනුපාතය සලකා, මෙවර උසස් පෙළ පළමු වර ශිෂ්‍යයන් සඳහා එක් මධ්‍යන්‍යයකුත්(මෙය බොහෝ විට ඔවුන්ගේ දැන් මධ්‍යන්‍යයට වඩා වැඩි අගයක් විය හැකි ය) දෙවන සහ තෙවන වර ශිෂ්‍යයන් සඳහා තවත් මධ්‍යන්‍යයකුත් (මෙය දැන් සලකනු ලබන මධ්‍යන්‍යයට වඩා බොහෝ විට අඩු අගයක් වේ) ලබා ගත හැකි ය. දැන් මේ ලබා ගත් කල්පිත මධ්‍යන්‍යයන් මත පදනම් ව වෙන වෙන ම Z ලකුණ ගණනය කළ හැකි ය. මෙහි දී ලැබෙන Z ලකුණ පොදු එකක් ලෙස සැලකිය හැකි නිසා කෙලින් ම අදාල ලකුණ මගින් කුසලතා අංකය (rank) තීරණය කළ හැකි ය!

පුළුන් සහ කළු ගල්

Sunday, July 15, 2012

සැහැල්ලු ය
සුදු ය, මුදු ය
සුමුදු ය පුළුන්..


අසා උන්ගේ බස
සොයා ගියෙමි මම
පුළුන්..

රූස්ස ගසක හිස රැඳී
ගෙඩියක් පුපුරා
පාවී ආවේ ය
මහා ගොඩක්
පුළුන්..

අල්ලා ගන්නට නොහැකිව
සියුමැලි ද බලන්නට
පසුපසින් ගියෙමි පා වී යන
පුළුන්..

කපු කටින තැන
නූල් වී එතෙන
ඒ නූල් වලින්
කම්බා වියෙන
තැනට වී
අතගා බැලුවෙමි
පුළුන්..

මතුපිට නම් රළු ය
තරමක් අවශෝශී ය
හිතුවාට වඩා
දැඩි ය
පුළුන්..

එන්නට ආමි නික්මී
එක්වෙන, වියෙන
කන්දක් ව රැඳී
පුළුන්..

මග රැඳී අයෙකි
අතෙහි රැඳී කටුවකි
සියුමැලි ව හැඩගැසෙන
සුවිසල් කළුගලකි..

පුළුන් සේ සුදු නැත
පා වීමක් ද එහි නැත
සැහැල්ලුවක් නැත
නමුත්..
කැටයමකට
එය අනුගත ය..


වටහා ගත නොහී එය
සිතුවෙමි මම..
මේ තරම් සියුමැලි ද
කළු ගල්??


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

නොලැබීම

Friday, July 13, 2012

කඳුළු කැටවලින්
සිමෙන්ති දිය කර
වැගිරෙන දහදියෙන්
පිරියම් කර
සේද වලාකුළු
වියන් මැදි කර
අහසේ තැනූ
සිහින මාළිගාව,
අරුමයකින් මෙන්
කිරුළ දරන්නට
පෙර වූ ඇසිල්ලෙහි
කෑලි කැඩී  බිඳී
විසිර ගියේ ය..


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.


ගණිතය සිසු තරණ - අපේ සමාජ සත්කාර

Thursday, July 12, 2012

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා සාමාන්‍ය පෙළ අසමත් ව දරුවන්ගේ විභාගයට මුහුණ දීමට තබා, හරි හමන් රැකියාවක් වත් ලබා ගත නොහැකිව ලත වනු ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ය.

පවතින රටාව තුළ ගණිතය විෂයය ලබා ගන්නේ සුවිශේෂී ස්ථානයකි. තර්කානුකුල වීම, සැලසුම් සහගත වීම, පිළිවෙල සහ ඉක්මණින් වඩාත් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ගණිතය විෂයය නිසි පරිදි ඉගෙනීමෙන් ලැබෙනා බව පොදු පිළිගැනීමයි. එවන් තත්වයක් පවතිද්දී, සාමාන්‍ය පෙළ විභාගයෙන්ගණිතය විෂයය අසමත් වීම, සම්මුඛ පරීක්ෂණයක පළමු අදියරයේ දී ම ඉවතට විසි වීමට ප්‍රධාන හේතුවක් වීම නොවැලක්විය හැකි ය.

අපි ජීවත් වීමේ දී කරනු ලබන සෑම කටයුත්තක දී ම පාහේ භාවිත වන්නේ ගණිතය යි. ගණිතය පිලිබඳ නිසි අවබෝධයක් නැතිනම්, සරලව කියන්නේ නම් 'ගණන් බැරි නම්', අඩු තරමේ ඇවිදින්නට වත් හැකියාවක් පැවතිය නොහැක. නමුත් බොහොමයක් සිසුන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට ලකුණු 35 සීමාව ලඟා කර ගත නොහැකිව අසමත් වීම දැකිය හැකි ය. මෙහි පවතින්නේ ගණිතය නොදන්නා කමක් නොව, නිසි ලෙස ගණිතමය මුලධර්ම තහවුරු නොවීමක්‌ වන බව අපි අවබෝධ කර ගත්තෙමු. ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින යම් යම් දුර්වලතා සහ ද්විතියක පංතිවල ගුරුවරු සිය කාර්යය භාරය නිසි පරිදි ඉටු නොකිරීම මේ ගැටළුවට ප්‍රධානතම හේතුවක් වන බව අපි නිරීක්ෂණය කළෙමු. 


මේ සියල්ල අධ්‍යයනය කිරීමට අප පෙලඹවූයේ, ගණිතය සිසු තරණ වැඩසටහනේ සම්පත් දායකයන් වශයෙන් කටයුතු කරන්නට අප විශ්ව විද්‍යාලයේ, 13 වන ශිෂ්‍ය කණ්ඩායමට හෙවත් අපගේ ශිෂ්‍ය කණ්ඩායමට ආරාධනාවක් ලැබීම යි. ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින, 10 ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයේ දී 40 ට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත, සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම අප ලද වගකීම විය.

මේ යටතේ, පළමුව අපි අදාල වැඩසටහන දැනට ක්‍රියාත්මක වන ගාල්ල, බටදුව ශ්‍රී රතනජෝති විද්‍යාලයේ පැවති වැඩසටහනක් අධ්‍යනය කළෙමු. ඉන් අනතුරුව අපි කණ්ඩායම් 7 කට බෙදී තෝරා ගත් විද්‍යාල 7 ක එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කළෙමු. මා ඇතුළු පිරිස ගාල්ල ඕල්කට් විද්‍යාලයේ පැවත්වෙන සිසු තරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නම් කෙරුණි.ඒ අනුව, අප විසින් ක්‍රියාත්මක කරන ලද පළමු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 7 ක දී පසුගිය සෙනසුරාදා (ජුලි 7) පැවැත්විණි. වැළක්විය නොහැකි හේතුවක් නොවන්නට සෑම සතියක ම සෙනසුරාදා දින අදාල විද්‍යාල වල මෙකී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

ගාල්ලේ නගරබද පීඩිත පවුල් වල, නිසි මග පෙන්වීමක් නොලත්, අතහැර දැමුණු සොයුරු සොයුරියන් පිරිසක්  සමග යන මේ ගමනේ පළමු දිනයේ ම වෙනස් ආකාරයේ අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු විය. ගණිතය විෂයය සිය ප්‍රියතම විෂයය කර ගත්, ඒ විෂයයට අතිශයින් දස්කම් දැක්වූ පිරිසක් සමග ගණිතයට අදක්ෂ යැයි හංවඩු ගැසුණු, එහෙයින් ම ඒ විෂයය සිය අප්‍රියතම විෂයය කර ගත් පිරිසක් එක්ව කෙරෙන මේ කටයුත්ත සැබවින් ම අභියෝගාත්මක එකක් වීමට බොහෝ විට ඉඩ ඇත. ඒ අතරතුර අප අත්දකින, ලොග් සටහන් පොතෙහි ලියවෙන/නොලියවෙන රස මුසු දේ අරුණැල්ලෙහි පාඨක ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. ඒ ලිපි පෙළ සමග එක් වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමි!

ජය වේවා!!


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

මගේ පුංචි කුමාරියේ

Wednesday, July 11, 2012

මැද පෙරදිග ගිනි අව්වේ
වියළි කටුක දුහුවිල්ලේ
සෙවණක් නැති වැලි කතරේ
දැවුනු වතට සිසිල දෙන්න
සීගිරියට නැගෙනා හිරු
කොටු පවුරට මුදුන් වෙලා
රූමස්සල කඳු අතරින්
මැකිලා යන හැටි බලන්න
මකරන්දය ගලා හැලෙන
සිහිල් මිහිරි උදෑසනේ

බඹරුන් නැති සුළඟ වෙතට
නුඹේ ලපෙති දිග හරින්න..


දවස පුරා වෙහෙස වෙලා
දැනෙන වෙහෙස නිවා ලන්න
වසන්තයේ සුළං රොදක්
මගෙ කුටියට කැඳව ගන්න
ඔහේ හමන ඒ සුළඟට
නුඹේ සුසුමක් මුසු කරන්න
මා එන තුරු සුවඳ මලේ
නුඹේ සුසුම් නොහෙලා ඉන්න..

නුඹේ උකුලේ හිස තියාන
දෑස් එක්ක හිනා වෙන්න
මැවිසුරු වී මට ලෝකෙට
නුඹේ ලෝකෙට ඉරක් වෙන්න
වෙදැදුරු වී නුඹ ලෝකෙට
මගේ ලෝකෙට සඳක් වෙන්න
මගේ පුංචි කුමාරියේ
හද මඩලට වැඩමවන්න..



Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

සිත්තරා රැවටීම

Tuesday, July 10, 2012

ජීවිත උයනේ
සක්මන් කරනා
සිංහ රුවක්‌ ඔහු
සිතුවම් කෙරුවා..
වෘක වෙසක් ගෙන
සිත්තර රවටා,
සිඟාලයෙකු සේ
හූ හඬ නංවා,
සුලු දිය පහ කොට
සුනඛ විලාසෙන්,
කපටි සිංහයා
සිනාසුනා..

ඒ දිය වැදිලා
සිත්තර සිතුවම්
පාට බොඳ වෙලා
දහදිය වැගිරෙන
දෑතහි දිය වී
කාසි කොළ වල
පාට හේදිලා..


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

වෙහෙස නිවීම

Monday, July 9, 2012



වෘදංග ගැටබෙර
තාල අභිබවා
සසැලෙන දණහිස් 
පුපුරු ගස්සවා
නිදිබර බොර නෙත්
බලෙන් ඇහැරවා
නලියන නළලත
රේඛා මකවා
තිරයේ නුඹේ වත 
යළිත් හිනැහුණා..



Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

මගේ පැමිණීම සහ ඔබේ නොපැමිණීම - කෙටි කතාව

Saturday, June 30, 2012

සත් සමුදුරෙන් එහා දුර රටක හැදිලා වැඩිලා ආයෙමත් තමන්ගේ මවු රට හොයාගෙන ආපු ඔයා, උපන් බිමෙන් සැතපුම් ගාණක් ඈතට ඇවිත් ගාල්ලේ ම නතර වෙන්න හේතුව සමහර විට අපි දෙන්නා හමු විය යුතුයි කියලා දෛවයේ ලියවී තිබීම වෙන්න ඇති.

මුලින් ම ඔයාව දැකපු දවසේ ඔයාගේ මුහුණේ තිබුණු ඒ ලස්සන හිනාව දිහා බලාගෙන කොයි තරම් වෙලා හිටියත් ඇති වෙන එකක් නැහැ කියලා මට හිතුණේ එවෙලාවේ ම යි. කළු පාට ෆර්දාවෙන් වට වෙලා සුදු පාටින් හඳක් වගේ බැබලෙන ඔයාගේ සුන්දර වතේ තිබෙන ඒ පුදුමාකාර සුන්දරත්වය දැක්කේ මං විතරක් නොවුණට, ඒ සුන්දර වත මගේ කර ගන්න පෙරුම් පිරූ පළමුවැන්නා මම වෙන්න ඇති. ඔයාගේ යාළුවෝ කියපු දේවල් වලින් මට හිතුණේ එහෙමයි.

වචනයකට දෙකකට වඩා හුවමාරු කර නොගත්තත්, දෙතුන් වරකට වඩා හමු නොවුණත් ඒ වාර කිහිපයේ ඇති වුණු බැඳීම මහා විශාල එකක් විදිහට මට දැනුණා. මගේ හිතේ ඇති වුණු හැගීම ම ඔයාගේ හිතෙත් ඇති වෙලා ද කියලා දැන ගන්න තිබුණු උවමනාව හින්දා හවස් වරුවේ තිබුණු වැඩ සේරම අතැරලා දාලා ඔයා හමු වෙන්න ම කියලා කරාපිටිය දිහාවට ආවේ, හිතේ තෙරපෙන, හිතට වද දෙන සිතුවිලි කන්ද ඔයා දිහාවට තල්ලු කරලා දාලා හිත සැහැල්ලු කර ගන්න හිතාගෙන.

"අයියා මොකද මෙහේ කරන්නේ? අද කැම්පස් නැතෙයි??"


ඔයාගේ ඒ සුන්දර මුහුණ දිහා බලාගෙන කල්පනා ලෝකයක කිමිදෙමින් හිටිය මං පියවි ලෝකයට ආවේ තිවංකයාගේ හඬින්. මගේ හීන ලෝකය බිඳ වැටීමත් එක්ක තරහවක සේයාවක් හිතේ ඇති වෙලා මැකිලා ගියේ ඒ මුහුණ දැක්කේ කාලෙකට පස්සේ නිසා. තිවංක කියන්නේ අපේ මාමා කෙනෙක්ගේ පුතා. නෑ කම ටිකක් දුර එකක් වුණාට තිවංකයගෙයි මගෙයි තිබුණේ නෑ කමට එහා යාලු කමක්. කරාපිටිය හන්දියේ රෑ කඩයක අයිතිකාරයෝ තිවංකලා. ඕන වෙලාවක කරාපිටියේ බස් නැවතුම ළඟ වට දෙක තුනක් කරකෙද්දී තිවංකයා කොහෙන් හරි මතු වෙනවා. 


"අද හවස වැඩ නෑ මල්ලි. යාලුවෙක් හම්බ වෙන්න ආවා පොඩි වැඩ වගයකට.."


"එහෙම ද? කෑල්ලක් ද?"


"පිස්සු ද මල්ලි.. අපිට මොන කෑලි ද? අපි තාම තනිකඩ මිනිස්සු නේ.."


ආපු කාරණේ තිවංකයට කියන්න බැරි කමක් නොතිබුණාට ඔයාට කෑල්ල කියලා කියපු හින්දා ද මන්දා, මොකද්දෝ තරහවක් හිතට ඇවිත් තිබුණේ.

"පොඩ්ඩක් හිටපන් මලයෝ " කියලා ටික වෙලාවකට තිවංකයාව මග ඇරපු මම, අතේ තිබුණු ෆෝන් එකේ ඔයාගේ පින්තුරය දිහා ආයෙත් පාරක් බලලා සාක්කුවේ දමා ගත්තා.

දොළහයි තිහට අපේ දිවා අහාර විවේකය දෙද්දී කැම්පස් එකෙන් එළියට ආපු මම පැය හතරකටත් වඩා කරාපිටියට වෙලා කාලය කාපු බව වැටහුණේ බයිසිකලයේ පාලන මුහුණතේ වුණු ඔරලෝසුව දැකීමෙන්. මේ තරම් වෙලා මම කළේ මොනවා ද?  හපුගල ඉඳලා කරාපිටියට එන්න විනාඩි 10ක් වත් ගත වුණේ නැති බව හොඳට මතකයි. ඊට පස්සේ, කොයි මොහොතක හෝ ඔයා එළියට ඒවි කියන බලාපොරොත්තුව ඇතිව, වෛද්‍ය පීඨයේ ගේට්ටුවට ටිකක් එහායින් බයිසිකලය නවත්තගෙන බලාගෙන හිටියා. දිවා විවේකයේ බොහෝ දෙනෙක් එළියට ආවත් ඔයා ආවේ නැති නිසා, අඩු ගානේ දේශන ඉවර වෙලා යද්දී වත් දකින්න බලාපොරොත්තුවෙන් ගෙදර නොයා නැවතුණා. කම්මැලි කම යන්න කියලා බුකියෙන් සොයා ගත්ත ඔයාගේ ඡායාරුප ටික දහස් වන වතාවටත් බලන්න කියලා ආයෙත් පටන් ගත්තා. කලින් කොයි තරම් බලලා තිබුණත් හැම එකක ම තිබුණේ පළමු වර බලද්දී දැනෙන තරම් නැවුම් බවක්. පැය තුනකටත් වඩා කාලයක් මම ඒ විදියට කාලය ගෙවලා තිබුණා කියලා දැනෙද්දී, මගේ මුහුණ ලජ්ජාවෙන් රතු වෙනවා, පසුපස බලන කන්නාඩියෙන් මට පෙනුණා. 


"කොහොමද මල්ලි දැන් පාඩම් වැඩ? ලබන අවුරුද්දේ විභාගේ නේ ද?"


ඒ බව තිවංකයාට පෙනේවි කියලා බය හිතුණු නිසා යි, උත්තරයක්‌ බලාපොරොත්තු නොවුණු, පිළිතුරු දැනගෙන හිටපු ප්‍රශ්නයක් අහලා, වෙන කතාවක් ඇදලා ගන්න කල්පනා කළේ.


දවස් දහ හතරකට පස්සේ ඔයාව දකින්න එනවා කියලා, ඔයාව මගේ කර ගන්න මට වැඩිපුර ම උදවු කරන මදනායකයට වත් නොකිව්වේ, මගේ පැමිණීම ඔයා වෙනුවෙන් ම වුණු නිසා.

ටිකෙන් ටික හතර පහු වෙද්දීත් ඔයා ආවේ නැති හින්දා මදනයකට මෙසේජ් එකක් දාලා අහනවා හැර මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. 


"මචං. අද ආව ද? මොකද වෙන්නේ??"

පණිවුඩය යැව්වට පස්සේ, පිළිතුරු එන්න ගත වුණු මිනිත්තු දෙකක කාලය මට දැනුනේ පැය ගණනක් වගේ. අන්තිමේ දී බලාපොරොත්තු වුණු කෙටි පණිවුඩය ආවා..

"එයා අද ආවේ නෑ මචං. එයාලට මගුල් ගෙදරක් තියෙනවා ලු. ලබන සතියේ ඉඳලා ඒවි.."

බයිසිකලයේ සුදු පාට මුහුණතේ වුණු කළු පාට පැල්ලමක් ඇඟිල්ලෙන් පිහිදා දැමූ මම ආපහු ගෙදර එන්න පිටත් වුණා.හිතට ආපු හැගීම දුකක් ද? තරහවක් ද? කලකිරීමක් ද කියලා මට තේරුමක් තිබුණේ නැහැ.ඒත් එද්දී ගියර් පහ ම මාරු කරන්න මීටර් 100 ක දුරක් වත් ධාවනය නොකළ බව නම් මට මතක තිබුණා..


ප.ලි:     මෙය හිතලුවක් පමණි.. නම්, ගම්, සිද්ධීන් සියල්ල මනඃකල්පිත ය..

වාස්තවික ලෝකය, විද්‍යාත්මක ක්‍රමය සහ ආත්මාර්ථකාමිත්වය.. (අපේ දැනුම ලිපි අංක 2)

Thursday, June 28, 2012


අප අවට පවතී යයි සිතන ලෝකය (හෙවත් වාස්තවික ලෝකය) සැබවින් ම පවතී ද යන්න (යතාර්ථය ද යන්න) සිතා බැලීමට වටිනා කරුණකි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරනුයේ ඒ පිළිබඳව යි.




මේ (වාතවික) ලෝකයේ පවතී යැයි හැඟෙන යම් යම් දෑ, අපගේ පංචෙන්ද්‍රිය භාවිත කරමින් අපි දැන ගන්නෙමු. උදාහරණයක් ලෙස,මට මේ ලියන ලද අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. ඔබගේ තිරයේ දෝෂයක් නොවේ නම් ඔබට ද නිසැකව ම ඒ අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. එහි ගැටළුවක් නැත. නමුත් මා කළු පැහැය යැයි හඳුන්වන දෙය සහ ඔබ කළු පැහැය යැයි හඳුන්වන දෙය එක ම වේ ද? සරලව අපි මෙසේ සිතමු. උපතේ පටන් මගේ දෑසේ යම් ගැටළුවක් නිසා ව්‍යවහාරයේ පවතින කළු පැහැය රතු පැහැයෙනුත්, රතු පැහැය නිල් පැහැයෙනුත්, නිල් පැහැය කළු පැහැයෙනුත් පෙනෙයි යැයි සිතමු. එවිට මා කළු පැහැය ලෙස හඳුන්වන්නේ රතු පැහැය යි. රතු පැහැය ලෙස හඳුන්වන්නේ නිල් පැහැය යි. නිල් පැහැය ලෙස හඳුන්වන්නේ කළු පැහැය යි. 

ඔබ මේ අකුරු දැක ඒවා කළු පැහැති යැයි කිව හැකි ය. නමුත් මට ඒවා පෙනෙන්නේ ඔබ හඳුන්වන ආකාරයට නිල් පැහැයෙනි. එසේ වුවත්, අදාල පාට මා හඳුන්වන්නේ කළු ලෙස ය. එහි දී ප්‍රවාදය එක ම වී ඇත. හේතුව අප ජීවත් වන සංස්කෘතිය එක ම වීම යි. නමුත් මගේ වාස්තවික ලෝකය සහ ඔබේ වාස්තවික ලෝකය වෙනස් ඒවා දෙකකි. ඒ අනුව පැහැදිලි විය යුත්තේ යතාර්ථය ලෙස දෙයක් නැති බව සහ පවතී යැයි අප සිතා සිටින වාස්තවික ලෝකය (සංවේදනය වන ලෝකය) අපේ විඥ්ඥානය විසින් කරනු ලැබූ නිර්මාණයක් පමණක් බවත් ය. එනම්, වාස්තවික ලෝකය යනු අපගේ විඥ්ඥානය පවතින තුරු පවතින, අප මිය යද්දී මිය යන, ජීවත් වන වුන් හා රැඳී සිටින මායාවක් බවයි. බටහිර විද්‍යාව මගින් කෙරෙන්නේ මේ මායාව යතාර්ථයක් බව අවබෝධ කරවමින් ඊට අදාල ප්‍රවාද ගෙතීමයි. මේ ප්‍රවාද අපේ සිතට කාවදින තරම අනුව යතාර්ථය යන සංකල්පය අප තුළ පවතී ද නැති ද යන්න තීරණය වේ..

සරලව  (බටහිර) විද්‍යාව යනු පංචෙන්ද්‍රියයන් මගින් දැන ගන්නා දේ විද්‍යාත්මක ක්‍රමය භාවිත කරමින් වඩාත් නිවැරදි ද යි දැන ගැනීම ලෙස විග්‍රහ කළ හැකි ය. මෙහි යම් යම් තැන සඳහා ඌන පූර්ණයන් යෙදී තව තවත් හැඩ වීම විවිධ අර්ථ දැක්වීම් යටතේ සිදු කෙරෙයි. නමුත් මුලික වශයෙන් සංවේදන ආකාරයෙන් දැන ගන්නා දේ පිළිබඳව කෙරෙන අධ්‍යයනයක් ලෙස මෙය සැළකීමේ වරදක් නොපෙනෙයි. 

මෙහි දී විද්‍යාත්මක ක්‍රමය ලෙස ඉදිරිපත් වන්නේ යම් අයෙක්, සිය සංවේදනයක් හරහා දැන ගනු ලබන යම් දෙයක් පිළිබඳව කෙරෙන විග්‍රහයකි. උදාහරණයක් ලෙස, දහවල් කාලයේ එළිමහනට ගිය විට මට උණුසුමක් දැනෙයි. මා ඒ පිළිබඳව දැනුමක් නිර්මාණය කරන්නෙක් නම්, මගේ කාර්යය වනුයේ ඊට අදාල හේතු විග්‍රහ කරමින් ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් ගෙතීමයි. නමුත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවේ.. විග්‍රහ කිරීමේ පහසුව සඳහා කාලය යන වචනය යොදා ගන්නා අතර, එහි අදහස ඔබ තුළ ඒ පිළිබඳව ඇති සාමාන්‍ය අදහස ම වේ.(කාල ඒකක සම්බන්ධ නොවේ.) පළමුවෙන් ම, එළිමහන සහ දහවල් කාලය යනු කුමක්දැයි අර්ථ දක්විය යුතු ය. ඊළඟට උණුසුම යන සංවේදනය කවරක් දැයි අර්ථ දක්වා ගත යුතු ය. 

මෙහි දී කළ යුතු උපකල්පනයක් වන්නේ, මා දකින දේ අනෙක් අයත් දකින බවත්, මට දැනෙන දේ අනෙක් අයටත් දැනෙන බවත් ය. එනම් මා එළිමහන ලෙස දකින දෙය, ඒ ආකාරයෙන් ම ලෝක වාසි සියලු දෙනා දකිනා බව උපකල්පනය කළ යුතු ය. ඒ සඳහා ආලෝකය යන්න මා අත් විඳින ආකාරය අන් සියලු දෙනා අත් විඳින ආකාරයට සමාන බව උපකල්පනය කිරීමට සිදු වේ.

තව ද යම් 'වෙලාවක් (ලෙස අප හඳුන්වන දෙයක්) ' දහවල් කාලය ලෙස මා අර්ථ දක්වනවා නම්,  අන් අය ද ඒ වෙලාව ඒ ආකාරයට ම අර්ථ දක්වා ගත යුතු ය. දැන් දවල් යයි මා කීවොත්, විරුද්ධ අයට ඊට විරුද්ධ විය හැකි ය යන ප්‍රවාදය මත මෙය සාපේක්ෂව පහසු විය හැකි ය.නමුත් මා දහවල් ලෙස හඳුන්වන කාලයේ අන් අයට හැඟෙන්නේ මට හැඟෙන දේ ම නොවන්නේ නම් මෙය ගැටළුවක් විය හැකි ය. ඒ අනුව මේ ප්‍රවාදය ගෙතීම ද එතරම් පහසු නැති බව පෙනී යනු අත. දවසක් ලෙස අප හඳුන්වන කාලය තුළ, දහවල් කාලය යන්න මා අත්දකිනා ලෙස ම අන් සියලු දෙනා ම අත් දකිනා බව මට උපකල්පනය කිරීමට සිදු වෙයි.

අවසානයේ මට උණුසුම ලෙස දැනෙන සංවේදනය එලෙසින් ම අදාල කාලයේ, අදාල තැනට යන සෙසු අයට ද දැනෙන බව ස්ථිර කර ගත යුතු ය. මෙහි දී කිරීමට අපහසු ම දෙය මෙයයි. කෙනෙක්ට යම් සංවේදනයක් දැනෙන ආකාරය, තවත් කෙනෙක්ට එය දැනෙන ආකාරයට සමාන ද? නැතිද යන වග තීරණය කිරීමට බෙහෙවින් ම අසීරු ය. උදාහරණයක් ලෙස, දුක ලෙස හඳුන්වන හැගීම, කෙනෙක්ට දැනුනු විට ඔහු හෝ ඇය හඬා වැටෙන්නට පුළුවන. නැතහොත් කලහකාරී ලෙස හැසිරීමට පුළුවන. නැතිනම් ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නට පුළුවන. මෙය එක් එක් පුද්ගලයා අදාල හැගීමට මුහුණ දෙන ආකාරය වෙනස් වීම මිසක්, හැගෙන ආකාරයේ වෙනසක් නොවේ යයි අයෙකුට තර්ක කළ හැකි ය. නමුත් එක් එක් පුද්ගලයා වෙනස් ආකාර වලින් හැසිරීම, එක ම හැගීම එක ම ආකාරයට දැනුනු එක් එක් අයගෙන් බලාපොරොත්තු විය නොහැක. එ නිසා හැගීම් දැනෙන ආකාරය වෙනස් විය හැකි අතර, මේ ප්‍රවාදය ගෙතීමේ දී සියලු දෙනා සම්බන්ධව උණුසුම යන හැගීමෙහි අර්ථ දැක්වීම එක ම බව උපකල්පනය කිරීමට සිදු වේ.

දැන් අදාල පරීක්ෂණය දෙසට හැරෙමු. මෙහි දී අප ප්‍රවාදය ගොතන්නේ ප්‍රධාන උපකල්පන තුනක් මත සිට ය. යම් හෙයකින් එක් උපකල්පනයක් හෝ බිඳ වැටුනේ නම්, සමස්ත ප්‍රවාදය ම බිඳ වැටෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිතර ප්‍රති නිර්මාණය වන්නේ ඒ හේතුව නිසා විය හැකි ය. මොහොතකට අදාල උපකල්පන තුන දෙස බලමු. 

මේ උපකල්පන තුනෙහි ප්‍රධාන ලක්ෂණයක් වන බව පෙනී යනු ඇත. එනම්, එ උපකල්පන තුන සඳහා ම යොදා ගෙන ඇත්තේ, මා දකින දෙය ඇත්තට ම පවතිනවා ය යන්න සහ ඒ දේවල් අන් අයත් එලෙසින් ම විඳිනවා ය යන්න යි. එනම් මම යන පුද්ගලයා වටා, හෙවත් මගේ විඥ්ඥානය වටා අදාල ප්‍රවාදය ගෙතී ඇත. එනම් ඒ ප්‍රවාදයෙහි ඇත්තේ මමත්වය යි. හෙවත් ආත්මාර්ථකාමීත්වය යි.

මා දකින දේ හරි ය. මට සියලු දේ හරියට පෙනිය යුතු ය. මගෙන් පිට යතාර්ථයක් නැත යන කරුණු සියල්ල එයින් කියවේ. අප සලකන ලද සුළු උදාහරණය තුළ ද ඒ ලක්ෂණ මැනවින් පිළිබිඹු විය. මෙවැනි ප්‍රවාද දහස් ගණනකින් සකස් වුණු බටහිර විද්‍යාව තුළ ආත්මාර්ථකාමීත්වය ගැබ් වන්නේ මේ ලෙසිනි. එවැනි සංස්කෘතියක් තුළ ආත්මාර්ථකාමී වනවා මිස, අන්‍යයන් ගැන සිතීමක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.

අපේ සංස්කෘතිය තුළ මෙවැනි ලක්ෂණ පැවතී නැත. පවතී ඇතත් ඒ අල්ප වශයෙනි. මිනිසා යනු තවත් එක් සත්වයෙක් සහ පරිසරයේ ම කොටසක් විනා එහි හිමිකරු නොවන බව අවබෝධ කර ගැනීම තිබුනේ අප සංස්කෘතියේ මිස මමත්වයෙන් ලෝකය දෙස බලන බටහිර සංස්කෘතිය (සහ විද්‍යාව) තුළ නොවේ.ඒ නිසා සමස්ත ලෝකය (මනුෂ්‍යයින්, සත්වයින් සහ සියලු පරිසර පද්ධති) දෙස බැලීමේ දී සාපේක්ෂව අපේ සංස්කෘතිය සහ අපේ දැනුම පරිසරයට සහ ලෝකයට වඩාත් හිතකර එකක් බව කිව හැකි ය. 

අසල්වැසියාට ප්‍රේම කිරීම හෙවත් බණ්ඩි ගුරාගේ ඛේදාන්තය

Sunday, June 24, 2012




අතේ එකෙකි
කරේ එකෙකි
බණ්ඩි ගුරා එක්ක තුනකි
නළඟන සේ ඇය,
පසු පස්සෙනි..

ශී ශී අනේ ඒ සී මදි
මේක ඇතුලේ හරි රස්නෙයි
තව මොනවද ඇය කියවයි
බණ්ඩි ගුරා පවන් සලයි..

වැඩිමහල්ලා ලෙඩ පාට ය
ආලි මෑලි ගතිය ඇති ය
දෑස ඔහුගේ, ඇගේ මෙන් ය
නාසය නම් ගුරුගේ වැන්න..

බාලයා නම් දඟ පාට ය
දෑස, ඇගේ ලෙස ම නිල් ය
පාටින් නම් බොහෝ සුදු ය
බණ්ඩි ගුරා ගුරා වගේ නැති ය..
 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading