Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

මචං, උඹට ගොඩක් ස්තුතියි.!

Tuesday, December 20, 2011

හැමදාම එක එක විදියේ පොස්ට් දාපු එකේ මට හිතුනා අද ටිකක් වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න.. මේක කතාවක් නම් නෙවෙයි.. කැමති කෙනෙක් ට කැමති නමක් කියන්න පුළුවන්..

මම කතාව මෙහෙම පටන් ගන්නම් කෝ..මම කියවන්න ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලේ.. මට මතකයි මම පෙර පාසල් යද්දී මට ඉංග්‍රීසි හෝඩිය ම ලියන්න පුළුවන්. ඒ වගේ ම සිංහල සැලකිය යුතු තරම් කියවන්නත් පුළුවන්.(ඒ කිව්වේ ඉතින් අකුරු ටිකක් දහිරිය දාලා ගැට ගහලා කියව ගන්න පුළුවන් කියන එක හොඳේ!)

මම පාසල් යන්න පටන් ගත්තේ 1997 අවුරුද්දේ. ඒ උනත් මම විජය පත්තරේ කියවන්න ගත්තේ 1996 අවුරුද්දේ ඉඳන්. (කියෙව්වා කියන්නේ ඉතින් අකුරු ගැට ගහ ගහ කියවනවා.. කාගේ හරි උදවු ඇතිව පැයකට වචන දහයක විතර සීග්‍රතාවෙන්..) තවමත් ඒ කාලේ ගත්ත සමහර පත්තර අපේ ගෙදර තියෙනවා.. ඒත් ඒ කාලේ ගැන ලොකු මතකයක් නම් නෑ.. ඒත් 1998 වගේ ඉඳන් කියවපු ඒවා සමහරක් මට තාම මතකයි.ඒ කාලේ විජය පත්තරේ ගිය මලිත්තා කියන කතාව දවසක් විතර තියාගෙන කියවනවා මට යන්තමින් මතකයි.

1997 අවුරුද්දේ මම මුලින් ම ඇතුලත් උණේ ගිංතොට මහා විද්‍යාලයට. ඊට පස්සේ 1998 අවුරුද්දේ 2 වසරට හපුගල මහා විද්‍යාලයට ඇතුලත් උණා.

මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ ඒ දේවල් කියන්න නෙවෙයි. ඒත් ඒ දේවල් නොකිව්වොත් මම කියන්න යන දේට අදාල පසුබිම නිර්මාණය නොවෙන්න පුළුවන්. ඒකයි.

මම 2 වසරට අලුත් පාසලකට ගියාම අලුත් මිත්‍රයෝ කණ්ඩායමක් මුණ ගැහුණා. ඒ සමහර මිතුරුකම් තාමත් එහෙමමයි.. හපුගල දී මට මුණ ගැහුණු එක්තරා මිත්‍රයෙක් හිටියා.. ඒ කාලයේ මට වගේ ම ඔහුටත් හොඳට කියවන්න පුළුවන්. ඒ උනත් මම වැඩිපුර කියෙව්වේ කතන්දර පොත්. ඒත් ඔහු එක එක විදියේ පොත් කියෙව්වා.. ඔහු ඇසුරු කරද්දී මාත් ඒ විදියේ පොත් කියවන්න පටන් ගත්තා..

අපේ අත්තම්මා ගුරුවරියක්. ඒ නිසා අපේ ගෙදර විවිධ ශ්‍රේණි වලට අදාල පෙළ පොත් සමහරක් තිබුනා. ඒ වගේ ම මගේ මිත්‍රයාගේ ගෙදරත් ඒ විදියේ පොත් තිබුනා. අපි දෙන්නා ඒවා කියවලා ඉගෙන ගත්ත දේවල් ඉස්කෝලේ ආවම බෙදා හදා ගන්නවා.. මට මතකයි අපි 4 වසරේ ඉන්දෙද්දී 7,9 වසරේ සිංහල පොත් කියවනවා.. ඒ කාලේ හරියට ඒ දේවල් නොතේරුණත් අපි සැලකිය යුතු දේවල් ප්‍රමාණයක් ඒවායින් ලබා ගත්තා. උපමා, ප්‍රස්තාව පිරුළු, ආප්තෝපදේශ ගොඩක්. ඔහු වරක් මට කිව්වා "වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ" කියන පිරුළ. එකේ තේරුම අපිට හරියට තේරුම් ගන්න බැරි වුණා. ඒත් අපි කොහොම හරි තේරුම හොයා ගත්තා.. පසු කාලයක දී මම එක්තරා සාමාන්‍ය දැනීම තරඟයකට සහභාගී උණා. ඒ තරඟයේ එක වටයක (මතක විදියට පළමු වටයේ. නැත්නම් අවසන් වටයේ)ලිඛිත කොටසේ එක ප්‍රශ්නයක් උනේ ඒ ප්‍රස්තාව පිරුළේ හිස් තැනක් සම්පුර්ණ කිරීම. මම ඒ තරඟයෙන් ජයග්‍රහණය කළා. මට ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියද්දි එක් වර ම මට මතක උනේ මගේ මිත්‍රයව.

ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මම සිරිධම්ම විද්‍යාලයට ඇතුලත් වුණා. මගේ මිත්‍රයත් සමත් වුනත් ඔහුට වෙන හොඳ විද්‍යාලයකට යන්න තරම් ඒ ලකුණු ප්‍රමාණවත් වුනේ නෑ. කොහොම හරි ඒ කාලයේ භාෂාව කෙරෙහි ඇති වුනු ආශාව නිසා ලබා ගත හැකියාව වෙනස් නොවී දිගට ම තිබුණු නිසා ද කොහෙද මට සිංහල විෂයය සඳහා නිතර ම ඉහල ලකුණු ලැබුණා.

සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ හදාරද්දී මට ඒ මිත්‍රයා නැවතත් හමු වුණා. සමහර නොතේරුණු කොටස් අපි එකතු වෙලා සාකච්ඡා කළා. ඒ වෙද්දී මම කියවීමෙන් ටිකක් විතර ඈත් වෙලා හිටියේ. වෙනදා තරම් කියවන්න වෙලාවක් තිබුනේ නෑ විභාගය නිසා. ඒත් ඔහු ඒ තරම් ම ඒකෙන් ඈත් වෙලා තිබුනේ නෑ. මම මිත්‍රයා එක්ක ගත කරන පැය කිහිපයක කාලය තුළ ගොඩක් දේවල් දැන ගත්තා.  ඒ කාලේ බ්ලොග් ගැන මම දැනගෙන හිටියේ නෑ. මම මට හිතෙන දේවල් පොතක ලියලා තිබ්බා.

පහු වෙද්දී මම බ්ලොග් එකක් ලියන්න ගත්තා. මගේ බ්ලොග් එකේ හැම පෝස්ට් එකකට ම වගේ ඔහුගේ comment එකක් අනිවාර්යයෙන් ම වැටුණා. ඒ වගේ ම ඒ comment වලින් සහ කතා බහ කරද්දී මම ලිවිය යුතු ආකාරය සහ මගේ අඩුපාඩු පිළිබඳව ගොඩක් දේවල් තේරුම් ගත්තා.. ඔහුත් ටික දවසකින් බ්ලොග් එකක් ලියන්න ගත්තා. මගේ වගේ නිතර ම ඔහුගේ බ්ලොග් එකේ පොස්ට් වැටෙන්නේ නම් නෑ.. ඒත් කාලෙකින් හරි වැටෙන පොස්ට් එකක් ගොඩක් වැදගත් එකක්. අර්ථාන්විත සහ භාෂාව මනා ලෙස හසුරවපු එකක්.

අධ්‍යාපන මට්ටමෙන් අපි දෙන්නා තැන දෙකක ඉන්න පුළුවන්.. ඒත් ගොඩක් දේවල් වල දී ඔහු මට ගුරුවරයෙක් උණා.. මම කරන නිර්මාණයක යම්කිසි සාර්ථක බවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔහුගෙන් වුණු දායකත්වය ඉතාම ඉහළයි.

මම මෙච්චර වෙලා විස්තර කිව්වට මිත්‍රයාගේ නම කිව්වේ නෑ.. ඒත් මාව සහ ඔහුව දන්නා අය නම් මේ වෙනකොට නම අනුමාන කරලා ඇති.. ඔහුගේ නම නුවන්. නුවන් තාරක.මේ පෝස්ට් එක ලිව්වේ ad එකක් දාන්න නෙවෙයි.. මගේ මිත්‍රයාගෙන් ලැබුණු දේවල් අමතක කරන්න බැරි නිසා..





මචං නුවන්.. උඹට ගොඩක් ස්තුතියි.!


මම
~Nj~

11 comments

  1. Mula mataka tiyena eka godak watinawa bn.

    ReplyDelete
  2. මුල මතකනම් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් ..
    දෙන්නටම ජයවේවා.

    ReplyDelete
  3. හ්ම්ම් ජය වේවා/

    ReplyDelete
  4. එල එල.....ඌ දැන් මක්කයි කොරන්නේ මලයෝ???

    ReplyDelete
  5. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම හිදිතී
    බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී

    …ඔය වගෙ යාලුවේ ලබන්නත් පිං කරන්න ඔනෙ

    ReplyDelete
  6. අතීතය වගේ ම අනාගතයත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අන් අයගේ උදව් උපකාර මතක තියෙන එකත් ලොකු දෙයක්. එහෙම කළගුණ සලකන අය ට ජීවිතේ වරදින්නේ නෑ........

    ReplyDelete
  7. Dear Sir

    Thank you for sharing truthfulness and the showing the world how your friend help you to come this far is fantastic. I went to Richmond but not very far from Gintota Maha Vidyalaya.

    All the best keep reading

    Saman

    ReplyDelete
  8. @ගිනි කුරුල්ලා
    තාමත් උසස් පෙළ දෙවන වාරයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    @ලොකු ජෝන්
    ඇත්ත කතාව ලොක්කා..

    @මහි
    ස්තුතියි යාළුවා..

    @Saman
    Thanks yaar.. Nice to have ur comment.. I wish u would be with Arunalla...

    ReplyDelete
  9. malli athithaya sihinayak newei kiyana eka tharum ganna bari e athithaya amathaka karanna kamathi aya inna rataka oyanam supiri tharuwak. wish u all the very best.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading