Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ප්‍රමිතිකරණ පනත සහ අපි...

Friday, January 13, 2012



කලින් පොස්ට් එකට එක එක විදියේ ප්‍රතිචාර සැහෙන්න ප්‍රමාණයක් ලැබුණා. ඒ අතරේ බහුතරයක් අපේ අදහසට පක්ෂව වගේ ම විපක්ෂවත් සමහරු අදහස් දක්වලා තිබුණා. එක් එක් පුද්ගලයාට වෙන වෙනම උත්තර දෙද්දී එක ම ප්‍රශ්නේ නැවත නැවත ගොඩක් අය අහපු නිසා හැම දෙනාම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නයි මේ පොස්ට් එක දාන්නේ. අපිට විරුද්ධව කමෙන්ට් කරපු කිසිම කෙනෙක් ගැන අපේ පෞද්ගලික තරහක් නෑ.. රාජ්‍ය මාධ්‍ය වලින් අපිට කරන පහර දීම් වල හැටියට සහ අපි ගැන මවලා තියෙන රූපයේ හැටියට ඉතින් මේ තරමින් බේරුනා ඇති.

මේ පනත ගැන විස්තර දැන ගන්න ඕන අයට බලන්න කියලා මම පොස්ට් එකක ලින්ක් එක දුන්නා. ඒත් කමෙන්ට් කරපු ගොඩක් අය ඒ පෝස්ට් එක අවධානයෙන් කියවලා නෑ කියලා හිතෙනවා. එහෙම නැත්නම් තමන් ඒ පිළිබඳව මතයකට එළඹිලා ඒ මතය තුලින් මේ ප්‍රශ්නය දිහා බලලා තියෙනවා කියලා හැඟෙනවා. ඒ හින්දා කරුණාවෙන් ඉල්ලනවා මේ පෝස්ට් එක කියවන්න තම තමන් දාගෙන ඉන්න පාට කණ්නාඩි ඉවත් කරලා විවෘත මනසකින් අපි කියන දේ අහන්න කියලා..

මේ පනත එහෙමත් නැත්නම් Quality Assurance Accreditation and Qualification Framework Bill එක කොටස් දෙකකින් යුක්තයි.

1.උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව,ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලය.(Sri Lanka Qualifications Framework, Quality Assurance and Accreditation Board.)
මේ මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 11ක්. එයින් දෙදෙනෙක් පත් වෙන්නේ නම් නිල බලයෙන්. ඒ සභාපති-ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC) සහ සභාපති-ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය(IESL). ඉතිරි 9 දෙනා ම පත් වෙන්නේ දේශපාලන හැකියාවන් මත. දැනට පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා පුද්ගලික සහ රජයේ විශ්ව විද්‍යාල සියල්ලේ ම කටයුතු අධීක්ෂණය කරන්නේ මේ මණ්ඩලයෙන්.
මීට අමතරව,
  • උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරිම
  • උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම
  • ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම හා 
  • සමාගම් පනතින් හෝ අයෝජන මණ්ඩල පනතින් රජයට ඉටු කර ගැනීමට නොහැකි වූ විශ්ව විද්‍යාල සතු දේපල විකිණීමේ හා බදු දීමේ නෛතික බලය මෙම මණ්ඩලය සතු යි.
2.රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසම.


 (Non-State Higher Educational Institutions Council)

  • උසස් අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන නැතිනම් සංවිධාන ලියාපදිංචි කිරීම
  • එම ආයතන දියුණු කිරීමට ආධාර සැපයීම 
  • අධ්‍යාපනික ප්‍රතිපත්ති වලදී රජයට උපදෙස් දීම  වැනි බලතල රාශියක් මේ සභාව සතු යි.
භයානක ම තත්වය වෙන්නේ 13 ක් වන සාමාජිකයින්ගෙන් සියළු දෙනාම පත්වන්නේ දේශපාලන හැකියාවන්(ජනාධිපති හෝ උසස් අධ්‍යාපන ඇමතිගේ) මත වීම යි.


අපි මොකද මේකට විරුද්ධ වෙන්නේ.. මම එක කරුණක් අරන් පැහැදිලි කරන්නම්. මේ පනතේ පැහැදිලිව තියෙනවා උසස් අධ්‍යාපන ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම .උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව, ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලයේ වගකීමක් කියලා. මෙතන දී rank කරන්න භාවිත කරන්නේ භෞතික සම්පත් ප්‍රමාණය. එහෙමත් නැත්නම් ඉන්න මහාචාර්ය වරුන් සහ අධ්‍යන කාර්ය මණ්ඩලයේ සුදුසුකම් සහ ප්‍රමාණය. ටිකක් හිතලා බලන්න.. දැනටත් පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉන්න අයට සෑහෙන්න හොඳ පහසුකම් තියෙනවා. ඒ වගේ ම ඒවායේ ඉගැන්වීම් කරන්න ආචාර්ය වරුන් සොයා ගැනීමේ ප්‍රශ්නයක් නෑ. මොකද ඔවුන්ට වැටුප් ගෙවීමේ දී රජයේ විශ්ව විද්‍යාලයක ගෙවන වැටුප වගේ 10 ගුණයක වැඩි වැටුපක් උනත් ගෙවන එක ඒ තරම් ප්‍රශ්නයක් නොවෙන නිසා. ඒත් මම කලින් කිව්වා වගේ අපේ විශ්ව විද්‍යාලය පටන් අරන් අවුරුදු 12 ක් ඉවරයි. මේ 13 වෙනි අවුරුද්ද. තාමත් මහාචාර්ය වරයෙක් නෑ විශ්ව විද්‍යාලයට. තවමත් ලංකාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආධිපත්‍ය යටතේ තියෙන්නේ.. එහෙම වෙලත් අපිට අවශ්‍ය පහසුකම් දෙන්නේ නැත්නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ආවම දේවි ද? එහෙම උනොත් ඉතින් වෙන්නේ ලං.ග.ම. ට උන දේ තමයි. කොහොම හරි මේ හේතු නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා ඉහල ranks වලට අනිවාර්යයෙන් ම පෞද්ගලික විශ්ව විද්‍යාල එනවා. ඒක නවත්තන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්නේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් නැති අය. එහෙම අය එලියට එන්නේ රජයේ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයාට වඩා ඉහල rank එකක් තියෙන විශ්ව විද්‍යාලයකින් උපාධියක්‌ අරන්. එහෙම ආවම රැකියා අවස්ථා ලබා දෙද්දී වැඩි ප්‍රමුඛතාවක් හිමි වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් ආපු ශිෂ්‍යයාට කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. දරුණු ම ප්‍රශ්නේ වෙන්නේ පශ්චාත් උපාධි සඳහා අපේ රටට ලැබෙන ශිෂ්‍යත්ව සම්බන්ධයෙන්. මේ අවසරයෙන් අනිවාර්යයෙන් රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ගානක් විවෘත වෙනවා. ඒ ශිෂ්‍යත්ව ලබා දෙද්දී රජයේ විශ්ව විද්‍යාලයෙන් අඩු පහසුකම් යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යයාට තරඟ කරන්න වෙන්නේ තමන් ලබන පහසුකම් වලට වඩා වැඩි පහසුකම් සහිතව වඩාත් හොඳ ආචාර්ය වරු යටතේ ඉගෙන ගත් අයත් එක්ක. රටකට ශිෂ්‍යත්ව දෙන්නේ ඒ රටේ ශිෂ්‍යයන්ගේ සමස්ත මට්ටම ගැන හිතලා. ලංකාවට මෙච්චරක් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් කියලා.. කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් උඹලා කියන ඔය මීටර් වලට පුළුවන් නේ ප්‍රයිවට් එවුන් පරද්දලා ඒවා ගන්න කියලා.. පුළුවන්.. ඒත් මේ තත්ත්ව යටතේ එහෙම කරන එක ප්‍රයෝගික නෑ. මොකද එහෙම උනා නම් අද MIT එකෙන් Oxford එකෙන් ලෝකෙට ම පොදුවේ දෙන ශිෂ්‍යත්ව වලට ලංකාවෙන් සෑහෙන්න පිරිසක් ගිහින් තියෙන්න ඕන. අපිට තියෙන පහසුකම් මදි. ඒ නිසා වැඩි පහසුකම් ප්‍රමාණයක් එක්ක ඉගෙන ගන්න වෙන රටවල අය එක්ක තරඟ කරන්න අපිට අපහසුයි. සමහර නවීන උපකරණ අපි දැකලා වත් නෑ. ඒ තරඟයට මුහුණ දීලා ජය ගන්නේ එහෙමටත් කෙනෙක්. ඒ මම කිව්වේ ලෝකයේ ඉහල ම පෙලේ විශ්ව විද්‍යාලයකට යන්න තියෙන තරඟය. එහෙම නොවී රටකට ලැබෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය භාවිත කරලා කෙනෙක් ට පුළුවන් ඉහලට ඉගෙන ගන්න. ඒත් මේ ප්‍රශ්නය නිසා අපේ රටට ලැබෙන ශිෂ්‍යත්වයක් ලබා ගන්නත් අපිට තරඟ කරන්න වෙන්නේ අපිට වඩා වැඩි පහසුකම් යටතේ ඉහල rank එකක් සහිත විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත්ත අයත් එක්ක. අනෙක විශ්ව විද්‍යාල වලට ප්‍රතිපාදන සහ ශිෂ්‍යත්ව ලබා දෙද්දී rank එක අනිවාර්යයෙන් සැලකිල්ලට ගන්නවා. එහෙම වෙද්දීත් අපිට ලොකු අවාසියක් වෙනවා. අන්තිමට වෙන්නේ සෑහෙන්න මහන්සි වෙලා දුක් විඳලා ඉගෙන ගෙන, ඒ ඉගෙනීම සාර්ථකව කර ගෙන රජයේ විශ්ව විද්‍යාලයකට ආපු  දුප්පත් කොල්ලෙක්ට කෙල්ලෙක්ට වඩා තමන්ගේ දෙමාපියන්ගේ සල්ලි වල බලයෙන් සල්ලිකාර මුදලාලිලාගේ මෝඩ පුත්තුඉහල rank එකක් තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහින් වැඩි පිළි ගැනීමක් සහිත උපාධියක්‌ ලබා ගන්න එක.
මේ වෙන තුරු අපිට ඒ ප්‍රශ්නේ තිබුනේ නෑ. මොකද කවුරුවත් SLIIT එක සහ අපේ කොළඹ විශ්ව විද්‍යාලය වත් NIBM එකත් එක්ක ජ'පුර විශ්ව විද්‍යාලය වත් සංසන්දනය කරන්න ගියේ නෑ.. එහෙම කරලා ඒ රජයේ විශ්ව විද්‍යාලය පහළට දැම්මේ නෑ. ඒත් ඉදිරියේදී වෙන්න යන්නේ එකයි. අපි කෑ ගහන්නේ එහෙම කරන්න එපා කියලා.  අපේ උපාධිය අවතක්සේරු කරන්න එපා. අපි එක ගන්න මහා දුක් කන්දරාවක් විඳිනවා.. සමහරු කියනවා අපි වැඩ නොකර පිකට් කරනවා ලු. රටේ සල්ලි අපරාදේ යවනවා ලු. ටිකක් හිතන්න. අද අපි මේ ප්‍රශ්නෙට විරුද්ධ නොවී ඉඳලා මේ පනත සම්මත උණොත්, මේ නාස්ති උනා ට වඩා සම්පත් ප්‍රමාණයක් අපතේ යනවා. ඉන්ජිනේරුවෙක්ට, වෛද්‍යවරයෙක්ට තියෙන ඉල්ලුම අඩු වෙද්දී අපිටත් අපේ කලා උපාධිය ගත්ත සහෝදරයෝ වගේ අපිට රස්සාවල් දියව් කිය කිය පාරවල් ගානේ පිකට් කරන්න වෙයි. අපිට විතරක් නෙවෙයි. හෙට ඉපදෙන්න ඉන්න දරුවොන්ගේ ඉඳන් හැමෝටම..
අපිට මේ අධ්‍යාපනය රැකලා දීපු ත්‍රිමා අයියලා, වෙනුර අයියල ගැන අපි අදටත් කතා කරනවා. එයාලට පිං සිද්ධ වෙන්න අපි තාමත් නොමිලේ ඉගෙන ගන්නවා. ඒ 1983 දී  5/6 ක ජන බලයක් එක්ක ගෙනාපු ධවල පත්‍රිකාව ඒ ජනතාව ම නැගිට්ටවලා පරද්දවපු හින්දා. අද අපේ ඉදිරියේත් ඒ අභියෝගය තියෙනව.අපිට මේකෙන් මහා ලොකු බලපෑමක් වෙන්නේ නෑ. මොකද අපි උපාධිය අරන් යනකම් මේ පනත සම්මත වෙලා පෞද්ගලික උපාධි අරන් යන අය ඒ විශ්ව විද්‍යාල වලින් උපාධිය ගන්නේ නැති නිසා.මේ ප්‍රශ්නේ බලපාන්නේ ලබන අවුරුද්දේ, නැත්නම් ඊළඟ අවුරුද්දේ ඉඳන් එන අයට. අපි කට පියාගෙන හිටියොත් අපෙන් පස්සේ එන එවුන් අපිට කොච්චර නම් සාප කරාවි ද? අපි උන්ගේ අයිතිය නැති වෙනකම් කට පියන් ඉන්න එක සාධාරණ ද? 

රටේ සාමාන්‍ය ජනතාව මේ ප්‍රශ්නය දිහා බලන්නේ මහා කරදර කාරයෝ ටිකක් තවත් කරදරයක් අරන් ඇවිත්, ඒ දිහා බලනවා වගේ. මේ ප්‍රශ්නේ ඔවුන් තේරුම ගන්නේ නැත්නම් අපිට පුළුවන් තරමින් ඒ වෙනුවෙන් දෙයක් කරන එක වැරද්දක් ද? අපි කළේ මේ ප්‍රශ්නේ ගැන හැමෝටම කියන්න උත්සාහ කළ එක. ඒත් අපිට ඒ වෙනුවෙන් ලැබුනේ පොලු පාරවල් සහ කඳුළු ගෑස්. 

පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි. අපි නෑ කියන්නේ නෑ. ඒත් ඒ මේ පිළිවෙලට නෙවෙයි. රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ප්‍රමුඛතාව දීලා ඊළඟට පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන බලන්න. අපිට ඕන කරන දේවල් ගොඩක් තියෙනවා.. ඒ අඩුපාඩු අපිට සම්පුර්ණ කරලා දෙන්න. අපි ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න.. අද ලොකු ලොකු තැන් වල වැජඹෙන බහුතරයක් එහෙමයි. ඒ ක්‍රමය ඉදිරියටත් ආරක්ෂා කරලා දෙන්න. අපි ඉල්ලන්නේ එච්චරයි. අපි වැරදි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. පිළි ගන්නවා. මොකද අපි තාම කැම්පස් යන පොඩි කොල්ලෝ කෙල්ලෝ.. ඒත් මේ නිදහස් අධ්‍යාපනයට උර දෙන්න ලක්ෂ 10-15 ක මාසික වැටුපක් ගන්න පුළුවන් කම තියන රුපියල් 50,000 ක් වත් පඩි නොගෙන සේවය කරන අපේ ආදරණීය සරසවි ආචාර්ය වරු මේ පනතට විරුද්ධව එක් දිනක සංකේත වර්ජනයක් කරනවා. ඒ රටේ මිනිස්සුන්ගේ ඇස් අරවන්න. අපිත් පෙළපාලියක් යන්න හැදුවා. ඒත් එක නවත්තන්න සිදු උනා. අපිට කරන්න පුළුවන් එච්චරයි.  මේ කරදර කාරයොන්ගේ වැඩක් නෙවෙයි. ඒ වගේ ම අපි කොටිත් නෙවෙයි. අපිත් ඔයාලා වගේ ම අය. ඔයාලා අතරින් ම විශ්ව විද්‍යාලයට තේරිලා ආපු අය.ඒත් මේ ප්‍රශ්නේ අපි දකිනවා. අපි කෑ ගහන්නේ ඔයාලා වෙනුවෙන්. ටිකක් හිතන්න. අපි කරන්නේ වැරද්දක් ද? එහෙම නම් ඒ වැරැද්ද නිවැරදි විය යුතු ආකාරය පෙන්නලා දෙන්න. අපි බොහොම කැමැත්තෙන් පිළි ගන්නවා..



12 comments

  1. මම නම් මේව කියවන්නවත් කැමති නෑ බං,,,,

    ReplyDelete
    Replies
    1. මම මේ දන්නෙත් කැමැත්තකින් නෙවෙයි මචෝ.. මොනවා කරන්න ද?

      Delete
  2. // එහෙම අය එලියට එන්නේ රජයේ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයාට වඩා ඉහල rank එකක් තියෙන විශ්ව විද්‍යාලයකින් උපාධියක්‌ අරන්. එහෙම ආවම රැකියා අවස්ථා ලබා දෙද්දී වැඩි ප්‍රමුඛතාවක් හිමි වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් ආපු ශිෂ්‍යයාට කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ//

    රැකියා වෙලඳ පොලේ ප්‍රමුඛතාවය තියෙන්නේ විශ්ව විද්‍යාලයේ රැන්ක් එකට නෙවෙයි පුද්ගලයාගේ දක්ෂතාවයට .පොඩ්ඩක් හොයල බලන්න !

    ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් වල මානව සම්පත් නිලධාරින්ගෙ වැඩමුලුවලදි නිත්‍ර ඇහෙන දෙයක් තමයි .රැකියා තියනව , ඒත් සුදුස්සන් නැහැය කියන එක . විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ගැටලු රාශියක් තියන බව පේන්න තියනව , මම ඒක නැ කියන්නේ නැ . නමුත් ඒ නිසාවෙන්ම තවත් පිරිසකට ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවට අකුල් හෙලන්න එපාය කියලයි කියන්නේ . ඔබතුමා කියල තියනව පෞද්ගලික විශ්ව විද්‍යාල දානවට නෙමේය විරුද්ධ දාන ක්‍රමයට කියල . නමුත් සමාජ ගතවෙලා තියන අදහස ඕක නෙවෙයි . විශ්ව විද්‍යාල ශිෂ්‍යයා පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පයටම විරුද්ධයි කියන එක . ඔබතුමාලට පුලුවන් නම් සමාජයට කියන්න අපි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට නෙමේ විරුද්ධ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අඩු පාඩු රාශියක් තබාගෙන පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීමටය කියල ඔයිට වඩා ප්‍රසාදයක් ජනතාවගෙන් ලැබෙයි .

    ReplyDelete
  3. කැම්පස් යන්න විඳපු දුක දන්නේ කැම්පස් ගිය, යන අය ම තමයි. සල්ලි තිබුණත්, නැතත් හැමෝට ම ගොඩක් මහන්සි වෙලා තමයි විශ්ව විද්‍යාල වරම් ලබා ගන්න වෙන්නේ. ඒ මහන්සිය හෑල්ලුව ට ලක් කරන එක සම්පූර්ණයෙන් ම වැරදියි....
    පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනේ තමයි. එතකොටයි රටේ අධ්‍යාපන අවස්ථා පුළුල් වෙන්නේ. ඒ වුණත් ඒ ක්‍රමය සාධාරණ වෙන්න ඕනේ. උසස් පෙළ විභාගයක් තියලා, හොඳ ම සිසු සිසුවියන් ‍තෝරලා කැම්පස් යවලා, ඊට වඩා අඩු ප්‍රතිපල තියෙන අය ට ඊට වඩා සුදුසුකම් ලබා දෙන එක කොහෙත්ම සාධාරණීකරණය කරන්න බෑ. කැම්පස් යන්න තරම් ප්‍රතිපලයක් ලබන්න ඒ සිසු සිසුවියන් දරන වෙහෙස මහන්සිය දන්නේ ඔවුන් ම තමයි. කැම්පස් ගියා ට පස්සෙත් උපධිය ලබන්න කොයි තරම් නම් වෙහෙසෙන්න ඕනේ ද!!

    අද බොහෝ දෙනෙක් කරන්නේ කට මැත දොඩවන එක. මේ අර්බුදයේ සැබෑ බරපතලකම ඔවුන් ට තේරෙන්නේ නෑ. දේශපාලනික වශයෙන් එකිනෙකා ට මඩ ගසා ගැනීමක් තමයි දක්න ට ලැබෙන්නේ. අද විශ්ව විද්‍යාල සිසුන් මේ වෙනුවෙන් පෙනී සිටියේ නැත්තම් නිවහල් අධ්‍යාපනයක් වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෙච්චර කතා අහගෙනත් අපි මේ ගැන කතා කරන්නේ.. ඒත් එහෙම කතා කරද්දී රටේ මිනිස්සු හිතන්නේ අපිට පිස්සු කියලා.. ඇයි ඉතින් පත්තර වල, රුපවාහිනියේ කියනවා නේ අපි කොටි කියලා..

      Delete
  4. අපිට ඒවා කියන්න දෙන්නේ නැත්නම් අපි අපේ අදහස් කොහේ කියන්න ද? රැකියාවක් දෙද්දී ඒවා බලන්නේ නෑ. දීපු රැකියාවක ඉහලට යද්දී නම් තමන්ගේ හැකියාවන් පදනම කර ගෙන යන්න පුළුවන්. සහතිකෙට වඩා හැකියාව සලකලා රැකියා දෙන තැන් නැත්තේ නෑ. ඒත් බොහොම සුළු ප්‍රමාණයක්. කැම්පස් එකට ඇවිත් ජොබ් වලට කතා කරන්නේ උපාධිය ගන්න කලින් ඉඳන් ම. එහෙම කරන්නේ හැකියාවට වඩා සහතිකේ හින්දා. අපි පැහැදිලිව කියනවා. අපි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නෑ. අපි විරුද්ධ මේ ක්‍රමයට. අපි ගන්න උපාධියේ තත්වය පහළට දානවාට..

    ReplyDelete
  5. මමත් ටිකක් විවුර්තව බැලුව. එහෙම බැලුවම පනත එක්ක අවුල් තමයි. හැබය් මල්ලි මේ වැඩේ ෆුල් ටයිම් වැඩක්. අපි එස්.බී . මේවා ගැන කවුරු කන්සල්ට් කරනවද දන්නේ නෑ. දැන් ඔය පැනල් එකේ දේශපාලන පත්වීම් කියන්නේ ඇමති කවුරු හරි recommended educationist කෙනෙක් පත්කළත් එකත් දේශපාලන පත්විමක්ද? මේක දන ගන්නේ නැතිව මුකුත් කියන්න බෑ. යු.ගී.සී. එකේ වැඩ කෙරෙන්නේ කොහොමද , අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කෙරෙන්නේ කොහොමද දන්නේ නෑ. ඔය පනතෙන් ඇත්තටම කියන්නේ මොකක්ද කියල දැනගන්න පාර්ලිමේන්තු විවාදය අහන්න වෙනවා. එක නිසා මට මේක ගැන තර්කයක් දාන්න බෑ.මල්ලි දනගෙනද කියන්නේ ඔය පැනල් එකෙන් කැම්පස් රෑන්ක් කරනේ භෞතික සම්පත් වලින් කියල එහෙම වුනොත් අවුල් තමයි. මේක අපි වගේ පාට් ටයිම් අධ්‍යයනයක් කරලා බෑ. ලොකු රිසර්ච් එකක් කරන්න වෙන වැඩක්.
    මොනවා වුනත් සල්ලිකාර මෝඩයින්ට හොඳ ඩිග්රි ගන්න පුළුවන් වේවි කියල මම හිතන්නේ නෑ. එතකොට ස්ටෑන්ඩඩ් බස්සන්න වෙනවා. එතකොට reputation එක නැති වෙනවා. එක වෙයි කියල හිතන්න අමරුය්. ඒ වුනත් මේ ක්‍රමයට ගියොත් එහෙම නිදහස් අද්යපනයට ලොකු අනතුරක් තියෙනවා. ප්‍රයිවට් ඒවා වලින් නෙවේ ආණ්ඩුවේ නොසැලකිල්ල තවත් වැඩි වීමෙන්.

    ReplyDelete
  6. දැනටත් private eng degree දෙන institute ඕනේ තරම් තියනවා.ඒ අස්සේ අපේ degree එකට ඔය හොඳ demand 1ක් තියෙන්නේ.තමන්ට required qualities and skills තියනවනම් අනිත් උන්ට වැඩේ දෙන 1 ගේමක් නෑ

    ReplyDelete
  7. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අවශ්‍ය මුදල් වලින් 10න් 1ක් වත නොගෙවපු රජය අද ඔය විශ්ව විද්‍යාලයට මිලියන 600ක් දෙන්න තරම් කාරුණික වෙලා!
    කොහොම උණත් මේ රටේ අධ්‍යාපනය පැත්තෙන් විතරක් නෙමෙයි,හැම පැත්තෙන්ම අඳුරු කාලයක් ඉසරහට ඇති වෙනව.අපහු මේක 89 වගේ අව්රුද්දක් වෙනව ෂුවර්

    ReplyDelete
  8. හ්ම්ම් ඇත්ත.. මහිගේ අදහසට මමත් එකගයි

    ReplyDelete
  9. 100% හරි ඒ කතාව නම්;world ranking වල පහලට යන එක තමයි ඒකෙන් වෙන්නෙ

    ReplyDelete
  10. ඒ වුනාට සහෝ ඔය private campus ඕන කියන එවුන්ගෙන් වැඩි හරියක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත උන් තමයි (ඔය කියන“රජයේ විශ්ව විද්‍යාලයකට ආපු දුප්පත් කොල්ලන් කෙල්ලන්“)එක නිසා දැන් උඹල පොළවෙ හැපිල කෑගැහුවත් කවදහරි උඹලටත් ඉන්න වෙන්නෙ ඔය කියන මතේ තමයි :D

    ReplyDelete

 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading