Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අසිරිය

Tuesday, December 13, 2011



ඉරා අඳුරු කඩ
නැගෙන විට හිරු
ගිලිහෙන්නට පළමු
වියලෙන්නට වන
පත් අග රැඳී
පිනි බිඳක්
විඳ ගන්නේ
යම් සේ ද
එ හිරු කිරණින් ම
විකසිත වන
කැකුළක අසිරිය
එපරිද්දෙන් ම...

අපේ එවුන්

Sunday, December 11, 2011



එකෝමත් එක කාලෙක
හිස් අහස දිහා බලාගෙන
අවුරුද්දක් පුරාවට හුල්ලපු
අපේ කාලයේ මීටර ටිකක්..

නා නා විධ ආයිත්තම් පැළඳ
තවත් අයෙක්
අතුල්ලා නූල් ගිය
දිය වී ගිය
රෙදි පෙරෙදි හැඳ
තැන් තැන් වල
වල බැස්සහ..

විසිරී ගිය උන් රැල
එක තැනකට එක් වී
ගත විය මාසයක්
ඉන් පසු තවත් එකක්..

දැන් උන්ගේ
කතාව කඩ්ඩෙනි..
මුවග
ඩිජිටල් සිනහවකි..
කවුරු කෙසේ කීවත්
දෙසියය ම එකා මෙනි..

කට්ට කා අවසන් වූ විට
මදය හමු වන බව
උහු දනිති...

මදය හමු වන තුරු
උහු කට්ට කති..





සරසවිය

Friday, December 9, 2011



පටුනෙහි
රැඳී හුන් අපි
පෙරලන්නෙමු
පිටුවෙන් පිටුවට
ජීවිතය..

හැඩ ගැන්වෙයි
අකුරු ඇමිණී..
විය
සවිය
රසවිය
සරසවිය..



විසිරාගේ වැඩ - නගුලේ ඇව්ළුම් බොහොම හොදයි

Wednesday, December 7, 2011

සමා වෙලා වදාරන්න ඕන ටිකක් පමා උනාට.. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව හින්දා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න නෙවෙයි.. නිකමට ඇවිත් යන්න වත් බැරි උණා.. ඔන්න අද ඕන එකක් උනාවේ කියලා ආවා..
අද දාන්නේ කලින් ලියලා තිබ්බ එකක්..මේ කතාව කියන ශෛලිය කලින් ට වඩා වෙනස්.. හොඳ ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ.. පෞද්ගලිකව මගේ අදහස නම් මේ ලියන විදිය ටිකක් අවුල් කියලා.. ඒත් අනිත් අයගේ අදහස් විමසන්නත් එක්ක දාන්න හිතුව..
කියවලා හිතෙන දේවල් කියලා යන්නකෝ...

තමන්ගෙ "හාට් බීට්" එක ගැනවත් හිතන්න වෙලාවක් නැති කාලෙක අනුන්ගේ "හාට්" එකක් ගැන ෆුල් සෝදිසියක් දාන්න හිතිලද කොහෙද අයිස් දියවෙන්න තරම් ඉර පායපු දවාලක විසිරා ගෙදරින් අතුරුදහන් උනා.
"ල(ර්)නර්ස්ලා" වටරවුම් ගහනවා වගේ දවසෙම ඇවිදලා ගෙදර එන්න "රිවස්" කරද්දි මගදිම කළුවර වැටුනා.අලි මදිවට කොටි කිව්ව වගේ මහා වරුසාවක් වැටෙන්න පටන් ගත්තා.
හැම අදුරු වළාවක් අතරෙම රිදී රේඛාවක් තියෙනවා කිව්වා වගේ විසිරට ළගපාත තියෙන ගොවි ගෙදරක් "ෆෝකස්" උනා.ලැබුන අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගන්න ඕන කියල හිතපු විසිරා කාන්දමක් වගේ ගොවි ගෙදර පැත්තට ඇදුනා.
කොහොම කොහොමහරි විසිරගෙ හැගීම්බර "ස්ටෝරි" එක අහන් හිටපු ගොවියා අන්තිමට විසිරට අවසර දුන්නා එදා රෑ එහේ ඉන්න.ඒත් අතපය හොදට දිගෑරගෙන ගොවි ගෙදර ඇදක් උඩට වෙලා ගොරව ගොරව නිදාගන්න පෙරුම් පුරපු විසිරට අන්තිමට උරුම වුනේ මඩු ගෙයි ලගින්න.ඒත් ලද දෙයින් සෑහීමකට පත්නොවුනොත් මහ පාරෙ නිසා විසිරා මඩු ගෙයි රෑ ගත කරන්න තීරණය කරා.
හිරිගඩු පිපෙන්න තරම් හීතල දැනෙද්දී විසිරගේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩිය "කූල්' වෙන්න පටන් ගත්තා. ගිනිමැලයක් ගහන්න ඇත්නම් කියල විසිරට හිතුනා. හතර වටේටම ඇන්ටනාව කරකවලා මාර ගේමක් දීල පොල්ලෙලි ටිකක් එකතු කරල ගිනිමැලයක් ගැහුවා.ගින්නක් නැතුව දුමක් නොනගී කිව්වට විසිරගේ ගිනිමැලේ දුම විතරයි.ආයිමත් වටයක් කැරකිලා බලද්දී විසිරට ගලවපු නගුලක කෑලි ටිකක් "මීටර්" වුණා.
"නතින් එනිතින් මොනතින්" උනත් කමක්නෑ කියල හිතල විසිරා වරකට එක බැගින් කෑලි ටික අරපිරිමැස්මෙන් ගිනිමැලයට දම දම ගිනි ඇවිළුවා.


අනුන්ගේ හොද දේ හිතේ කහටක් නැතුව අගේ කරන්න විසිරට තියෙන පුරුද්ද නිසාම විසිරා ගොවියාට කතා කරල මෙහෙම කිව්වා."අපේ නිළමේ,නිළමේගේ නගුල නම් එළකිරි  "
විසිරගේ කතාවෙන් "අප්" වුන ගොවියා විසිරට මෙන්න මෙහෙම කිව්වලු "ඔව් විසිරෝ,මේ නිළමේගෙ බඩු ගැන ආයෙත් අහල .ඕකෙ ඇවුලුම් (පොලවට කාවදින ගතිය ) කිරි ගහට ඇන්න වගේ.බොරුනම් බලාපන් "
අනේ මෙහෙමත් මැට්ටෙක් කියල හිතපු විසිරා "ඔව්,ඔව් ගල් පැලෙන ඇත්ත.ඒකෙ ඇවිලීම නම් පංකාදුයි  .මේ ගිනි ගොඩෙන් ඒ බව හොදට පේනව"


රවියගෙ "ඇණේට "උදේම ජීවන චක්රෙ "රීස්ටාර්ට්" කරපු ගොවියා,නගුල "සෙට්" කරන්  වැඩට බහින්න හැදුවලු.ගොවියට විසිරා "ඇවිලුම හොදයි" කියලා කියපු දේ "මීටර්" වුනේ මඩුවේ එතකනුත් ඇවිලෙමින් තිබුන ගිනිගොඩ දැක්කම.
ගොවියගෙ ඇගේ හිටපු මාළු ඔක්කොම"ඩිස්කො" නටන්න පටන්ගත්තා.නටන මාළුත් එක්කම ගොවියා  විසිරව හම්බවෙලා විසිරගෙ ඇගට  පැනපි. "යකෝ තෝ මගේ නගුල පිච්චුවේ අම්මගේ අප්පගේ බුදලේ කියල හිතලද ?"
විසිරත් "සෙකන්ඩ්"වෙන්න ගියේ නෑ "ඇයි යකෝ උඹේ ඔළුවට ඊයේ රෑ පිනිපිනිබෑවයි.එහෙනම් අහවල් මගුලකටද ඇවිලුම හොද ද බලන්න කිව්වේ "
"ඇයි ගොනෝ! මම කිව්වේ නගුල පුච්චන්නද?නගුලේ ලී වැලේ ඇවුලුම් හොදද කියල බලන්නනෙ බූරුවෝ මම තොට කිව්වේ ? "
"හාන්න කුඹුරක්‌ නැති තැනකදී,ගිනිගොඩක් ලගදි නගුලේ ඇවිලීම හොඳ ද බලන්නට කිව්ව් උඹද නැත්තම් මම ද ගොනා?" කියල විසිරා ආඳා වගේ ලිස්සල ගියා.

විසිරාගේ වැඩ - කුකුළා මග දී හඬලයි..

Wednesday, November 30, 2011



ඔන්න මම අද කියන්න යන්නෙත් විසිරාගේ ම කතාවක් තමයි.. විසිරා කියන්නේ එක තැනක එක විදියකට ඉන්න බැරි මිනිහෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..
ඔන්න ඉතින් දවසක් විසිරා තමන්ගේ ගමෙන් නික්මලා උඩ හේවාහැට ප්‍රදේශයේ ඇවිදින්න ගියා. ඇවිදින්න ගියා කිව්වේ මොකක් හරි වැඩකට යන්න ඇති.. කොහොම හරි ඔහු ගිය කටයුත්ත හිතපු තරම් ඉක්මනින් ඉවර කර ගන්න බැරි උන හින්දා එන ගමනේ මග දී ටිකෙන් ටික අඳුරු වැටුණා..
රෑ වෙද්දී ගමන් කරන එක ඒ ප්‍රදේශවල ටිකක් අමාරු කටයුත්තක්.. ගම් වටේට තියෙන මහා කැලය නිසා සතුන්ගෙන් සිදු විය හැකි උවදුරු වගේ ම, පාරවල් අද වගේ මනාව පිළිසකර කරලා නැති නිසා අනතුරු සිදු විය හැකි බව අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. ඒ වගේ ම අද වගේ වීදි ලාම්පු එදා තිබුනේ නෑ..
ඔන්න ඉතින් විසිරා අමාරුවෙන් ටික ටික ඉදිරියට ආවා.. අලි මදිවට හරක් කියන්න වගේ එක පාරට ම මහා වැස්සකුත් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.. විසිරාට තේරුනා දැන් නම් ගමන නවත්වලා කොහේ හරි රෑ ගත කරලා යන්න තියෙනවා නම් හොඳයි කියලා.. එහෙම හිතලා වට පිට බලද්දී ඔහු දැක්කා ළඟ තිබුණු ගෙදරක්..
අතේ තිබුණු බඩු පොට්ටනියත් කිහිල්ලේ ගහගෙන විසිරා ඒ පැත්තට ගියා..
විසිරාගේ ගමේ විතරක් නෙවෙයි.. අහල ගම් හතක අය උනත් විසිරා කියන්නේ කවුද කියලා හොඳින් දැනගෙන හිටියා.විසිරා දැක්ක ගමන් ගෙදර ඇයට ඇති උනේ පහන සිතිවිල්ලක් නම් නෙවෙයි..

ඒත් විසිරා එලවා දමන්න තරම් ඔවුන් තුල තිබූ සාරධර්ම පිරිහිලා තිබුනේ නෑ..සිංහල සංස්කෘතිය විසින් කාලයක් තිස්සේ පුරුදු පුහුණු කෙරුණු, බටහිර සිරිත් විරිත් වලින් ඉඳුල් නොවුණු අපේ ආගන්තුක සත්කාර දැක්වීම සහ ඒ ලකුණ විසිරා දුර්ජනයෙක් වීමෙන් යටපත් කරන්නට ඔවුන්ට හිත් නොදුන්නා වන්නට පුළුවන්.. ඒ කොහොම උනත් එදා රෑ විසිරා නවාතැන් ගත්තේ මම කියපු ගම ගෙදර..

විසිරා කවුරු උනත් ඒ ගෙදර අය ඔහුට බොහොම හොඳින් සත්කාර කරලා නිදා ගන්නත් ඉස්තෝප්පුවේ තැනක් පිළියෙළ කරලා දුන්නා. එදා ගම ගෙදරක අනිවාර්යයෙන් කුකුලෙක් හිටියා.. ආදී කාලේ ඉඳන් උදේ අවදි කිරීමේ කාර්යය භාරව තිබුනේ කුකුළාට කියලා දන්නවා නේ.. (මේ මේ.. මම කියන්නේ අර පිහාටු තියෙන සතා ගැන.. නැතුව වෙන වෙන අය ගැන නෙවෙයි හොඳේ..)

ඔන්න ඉතින් මේ කියන ගෙදරත් සුදු පාට තඩි කුකුළෙක් හිටියා..ඌ හිටියේ ඉස්තෝප්පුවේ ම එක කොනක.. ඉස්තෝප්පුවේ ම නිදා ගන්න ආව විසිරා ඌව දැක්කා... විසිරා ගැන ඉතින් දන්නවා නේ.. ඒ වගේ දෙයක් දැක්කම තියලා යන්න අ හිතෙන්නේ ම නැති කෙනෙක් නේ විසිරා.. විසිරාට උවමනා උනා මේ කුකුළා ගන්න..විසිරට දෙයක් ගන්න ඕන උනාම ඒ දේ ගන්න  විදිය මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...

ඔන්න ඉතින් රෑ දෙගොඩ හරියේ විසිරා අවදි උණා.. අවදි උන ගමන් බැලුවේ කුකුළා දිහා..මෙන්න ඉන්නවා තඩි සුදු කුකුල් රාජයා. පැත්තකට වෙලා.. වටේ පිටේ අඳුර තාමත් අඩු වෙලා නැති හින්දා කුකුළා නිදි වගේ.. තාමත් වැස්ස හොඳට ම අඩු වෙලා නෑ..

විසිරා තමන්ගේ කරේ දාන තුවාය අතට ගත්තා.. අරගෙන වැහි වතුරෙන් ම තෙමා ගෙන ඒකෙන් කුකුළා වැහුවා.. තෙත රෙද්දකින් වැහුවම කුකුල්ලු කිසි ශබ්දයක් කරන්නේ නෑ කියලා පැරැන්නන් අතරේ මතයක් තියෙනවා. (ඒක හරි ද වැරදි ද කියලා මම දන්නේ නෑ..)

කොහොම හරි තෙත රෙද්දක් දාලා වපු කුකුලව කිහිල්ලේ ගහ ගත්ත විසිරා තමන්ගේ බඩු මුට්ටු ටික ඒක අතකට ගත්තා..අරගෙන ගෙදර ගෘහණියට කතා කළා..

"අපේ මැණිකේ..මම එහෙනම් ගිහින් එන්නම්"

"ඒ මොකද විසිරෝ මේ තරම් උදෙන්.? කුකුළා හඬලනකම් වත් ඉඳලා ගියා නම්"

"අනේ කමක් නෑ මැණිකේ.. ඌ මගදී හඬලාවි නේ.."

එහෙම කිවූ විසිරා වැස්සේ ම නික්මිලා ගියා..

'කුකුළා මගදී හඬලාවි නේ  මැණිකේ' කියපු විසිරාගේ කතාව මැණිකේට තේරුනේ උදේ කුකුළා නැති බව දැන ගත්තාට පස්සේ..

විසිරාගේ වැඩ - වං ගෙඩියේ කතාව

Sunday, November 27, 2011

ඔන්න හා හා පුරා කියලා හොර වැඩකින් ම වැඩේ පටන් ගන්න හිතුවා..
මම මේ කියන්න යන සිද්ධියට පාදක වෙලා තියෙන්නේ 19 වන සියවසේ, ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන් වල උඩරට ප්‍රදේශයේ හරියටම කියනවා නම් පාත හේවාහැටේ එක්තරා ගමක ජීවත් වුනු එක්තරා පුද්ගලයෙක් හා බැඳුනු සිදුවීමක්..
නියම නමක් තිබුනත් ගමේ ලොකු කුඩා හැමෝම අපේ කථා නායකයා ව දැනගෙන හිටියේ "විසිරා" කියන නමින්.. විසිරා කියන්නේ ඒ කාලයේ ගමේ ප්‍රසිද්ධ චරිතයක්..ඇත්තට ම විසිරා ප්‍රසිද්ධ වෙලා හිටියේ හොඳ දේවල් වලින් නම් නෙවෙයි.. කෙලින් ම කියනවා නම් විසිරා කියන්නේ හොරෙක්.. ඒ වගේ ම ස්ථානෝචිතව කථා කරන්නත්, කවට කමක් කරලා ඕන ම තැනකින් බේරිලා යන්නත් ඔහුට සහහයෙන් ම හැකියාව ලැබිලා තිබුණා..
විසිරා ගැන ගමේ මිනිස්සුන්ගේ තිබුණු ආකල්පය කොයි විදියේ ද කියනවා නම්, විසිරා ගමේ ගෙදරකට ආවම ගෙදර මිනිස්සු ඒ ගෙදර තියෙන හැම පොඩි දෙයක් ගැනම හොඳ අවධානෙකින් හිටියා. මොකද ඒ අවධානය යන්තම් වත් පිට යාමෙන් ලොකු පාඩුවක් වන්න පුළුවන් කියලා ඔවුන් දැනගෙන හිටියා..
විසිරා වැඩියෙන් ම හොරකම් කළේ ගෙවල් වල තියෙන පොඩි පොඩි දේවල්.. ඒ විදියේ දෙයක් නැති උනත් ගෙදර මිනිස්සුන්ට ඒක දැනුනේ  ටික වෙලාවකින්,එහෙමත් නැත්නම් වෙනත් දවසක ඒ උපකරණය අවශ්‍ය වෙලා හොයද්දි.. උදාහරණයක් විදියට ගිරයක්‌, බුලත් හෙප්පුවක් වගේ දෙයක් නම් විසිරාගෙන් බේරා ගන්න ගොඩක් අමාරු උණා..වැරදිලාවත් හොරකම අහු උනත් අවස්ථානුකුලව කවටමකමක් කරලා එතනින් ගැලවිලා යන්න විසිරා දක්ෂයෙක්..
තවත් දෙයක්..
විසිරා දෙයක් හොරකම් කලාම අදාල භාණ්ඩයේ අයිති කරුට ඒ පිළිබඳව පොඩි ඉඟියක් දෙන්න පුරුදු වෙලා හිටයා.. බොහෝ වෙලාවට අයිතිකරු ඒ ඉඟිය පිළිබඳව අවබෝධ කර ගත්තේ තමන්ගේ බඩු නැති වෙලා කියලා දැනගත්තට පස්සේ..
ඒ කොච්චර කොහොම උනත් කව්රුවත් විසිරා එක්ක අමනාප උනේ වත් ඔහුට තාඩන පීඩන කළේ වත් නෑ.. "ඒ විසිරාගේ හැටි නේ.." කියලා අමතක කරන්න ගමේ මිනිස්සු පුරුදු වෙලා හිටියා..සමහර විට ඒ අපේ සංස්කෘතිය හා බැඳුනු අනුකම්පා කිරීමේ ලක්ෂණයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ඔහු ගමේ කැපී පෙනෙන චරිතයක් උණා..අදටත් විසිරා පිළිබඳව ඔහුගේ ගම් ප්‍රදේශයේ කථා වෙන බව අහන්න ලැබෙනවා..
මේ කියන්න යන්නේ විසිරාගේ එක හොරකමක් ගැන..
ඔන්න එක්තරා දවසක දහවල් විසිරා කිසිම වාසියක් නැතිව ගෙදරට වෙලා අපේ භාෂාවෙන් කියනවා නම් "වේලි වේලි" හිටියා.. කීයක්‌ හරි හොයා ගන්න විදියක් කල්පනා කර කර ඉන්දෙද්දී විසිරාගේ මොලේට නියම අදහසක් ආවා.. ඒක ක්‍රියාත්මක කරන්න හිතාගෙන විසිරා ගමේ තියෙන ටිකක් වත් පොහොසත් උදවිය හත් දෙනෙක්ගේ ගෙවල් වලට ගියා.. දහවල් වෙලාව හින්දා ගෙවල් වල පිරිමි කවුරුත්  හිටියේ නෑ..
විසිරා ඒ හැම ගෙදරක ම පිළිකන්නෙන් ගෙට ගොඩ වෙලා ගෘහනීන් එක්ක රහසින් මොන මොනවා දෝ කතා බහ කරලා හිනා වෙවී යන්න ගියා..  ගෙවල් හතට ම ගිහින් එද්දී ටිකක් හවස් වෙලා..
ඒ උනත් විසිරා සතුටින්..

කව්රුවත් දැනගෙන හිටියේ නෑ වෙන්න යන්නේ මොකද්ද කියලා..

ටිකෙන් ටික රෑ උණා..

විසිරා හෙමින් හෙමින් ගමේ පොහොසත් වැසියෙකුගේ ගෙදරට රිංගුවා.. මේ ගෙදර නම් විසිරා දවල් ගිය ගෙදරක් නෙවෙයි..
හෙමින් හෙමින් මුළුතැන්ගෙට ගිය විසිරා ගෙදර තිබුණු තරමක් වටිනා අලුත් වංගෙඩිය කරට ගත්තා.. එහෙම වංගෙඩියත් අරන් හඬ නොනැගෙන්න ගෙදරින් නික්මිලා දවල් මුලින් ම ගිය ගෙදරට ගියා..ගිහින් ඒ ගෙදර පිටිපස්සේ දොරට හෙමින් දෙපාරක් තට්ටු කළා..
"මැණිකේ..මැණිකේ.."
ගෙදර ගෘහණිය හොරෙන් වගේ දොර ඇරියා.. විසිරා ගෘහණිය එක්ක හෙමින් මොනවද කතා උණා..
"ඔන්න මැණිකේ, දවල් කිව්වා විදියට ම බඩුව ගෙනාවා.."
මැණිකේගේ මුහුණේ ලස්සන හිනාවක්‌ ඇඳුනා..
"කීයක්‌ ඕන ද විසිරෝ.?"
"අනේ මැණිකේ මට තඹ දොයිතුවක් වත් වැඩිපුර එපා.. කියපු විදියට රුපියලක් තිබුනොත් ඇති.."
ඒ කාලේ හැටියට රුපියලක් ගොඩක් වටිනවා..ඒ උනත් ඇත්තට ම ඒ වංගෙඩිය රුපියලකට වඩා බොහොම වටිනවා.. ඒ හින්දා මැණිකේ කිසිම පැකිලීමක් නැතිව විසිරාට රුපියලක් දුන්නා..
"එහෙනම් විසිරෝ උඹව ඕක ගෙනිහින් මඩු ගෙට දාලා පලයන්.."
"හොඳමයි මැණිකේ.."
කොහොම උනත් විසිරා විශ්වාස කරන්න බෑ නේ..ඒ හින්දා මැණිකේ අවධානෙන් හිටියා..
විසිරා වංගෙඩිය ගෙනිහින් මඩු ගෙට දාන හඬ මැණිකේට ඇහුනා..
මැණිකේ මඩු ගේ දිහා හොරෙන් බලද්දී දැක්ක විසිරා වංගෙඩිය තියලා යනවා..

සැනසුම් සුසුමක් හෙලපු මැණිකේ පදුරට ගිහින් නිදා ගත්තා..

ඒ අතරේ කොහේදෝ හැංගිලා  හිටපු විසිරා මිදුලේ කොස් ගහ ලඟින් මතු උණා.. හොරෙන් හොරෙන් මඩු ගේ පැත්තට ගිය විසිරා ටික වෙලාවකට කලින් තමන් ම ගෙනත් දාපු වංගෙඩිය ආයෙත් කරට ගත්තා..

එහෙම්ම ගිහින් ඊළඟට කථා කල ගෙදරට ගියා..

මුල් ගෙදර දී උන දේ ම මේ ගෙදරදීත් සිද්ධ උණා.. තවත් රුපියලක් සාක්කුවේ දා ගත්ත විසිරා ඊළඟ ගෙදරටත් ගියා..

පාන්දර වෙද්දී විසිරා ගෙවල් හතට ම ගිහින් ඉවරයි.. එක ම වංගෙඩිය හත් දෙනෙකුට විකිණුවා.. විසිර දැන් බොහොම සතුටින්..රුපියල් හතක් ම සාක්කුවේ දා ගත්ත විසිරා හත් වෙනි ගෙදරින් වංගෙඩිය අරන් ගිහින් අයිති කාරයාගේ ගෙදර තිබුණු විදියට ම තියලා උදේ පාන්දර තමන්ගේ ඇඟට කඩා පනින අංගනාවන් ගැන දන්නා නිසා හිමින් සීරුවේ ගෙදරින් පිට උණා..

පාන්දර නැගිටලා මඩුගෙට ගිය පළමු ගෙදර ගෘහණියට වංගෙඩිය නෑ කියලා දකින්න ලැබුනා.. විසිරාගේ කපටි කමකට තමන් ලක් උණා කියලා දැන ගත්ත ඇය එයින් කෝපයට පත් උණා.. තේරෙන බාසාවෙන් කියනවා නම් මළ පැන්නා.. ඇය කේන්තියෙන් ගෙදරින් එලියට ඇවිත් විසිරා හොයන්න නික්මුනා..මගදී ඇයට විසිරා හමු උණා..  විසිරා දැක්ක ගමන් ඇයට උන් හිටි තැන් පවා අමතක උණා..කාන්තාව තමන් දන්නා ඉහළ ම වචන වලින් විසිරාට බනින්න පටන් ගත්තා..
ටික වෙලාවක් බැණුම අහගෙන හිටපු විසිරා අනුකම්පා උපදවන විදියේ මුහුණක් මවා ගත්තා..
"අනේ මැණිකේ..මගේ වරදක් නෙවෙයි.. ඔය වංගෙඩිය අපේ කිරි බණ්ඩා නිලමේට අයිති ජීවං කරපු එකක්..ඒ හින්දා කොහේ ගෙන ගියත් ඒ ගෙදරට සෘදියෙන් යනවා.."
"අහා..ඒකත් එහෙම ද.? එහෙනම් මගේ රුපියල දියන් මෙහාට..." මැණිකේ ආයෙත් කා ගැහුවා..
"අනේ අපේ මැණිකේ..ඊයේ රෑ ගොස්තරේට බඩට රිංගුවේ ඒ රුපියල තමා.."කියලා හෙමින් එතනින් මාරු උණා..
මැණිකෙත් කෝපයෙන් ආපහු යන්න හැරෙද්දී අනිත් ගෙවල් හයේ කාන්තාවනුත් ඇයට මග දී හමු උණා... තමන්ට විසිරා හමු වුණු බවත්, තමන් බැන්න ආකාරයත්, ඔහු දුන් පිළිතුරත් ඇය අනිත් කාන්තාවන් ට පැවසුවා..  ඒ අහපු පිරිස අතරින් සමහරුන් කෙන්තියෙනුත් තවත් සමහරු එක ම වංගෙඩිය හත් දෙනෙකුට විකිණූ විදිය ගැන සිනා සෙමිනුත් විසිරී ගියා...

ජන කතා

Saturday, November 26, 2011


අරුණැල්ල කියවන හැමෝම කවි කියවනවාට වඩා කතා කියවන්න කැමති කියලා අපි දන්නවා..ඒ හින්දා අලුත් වැඩකට අත ගහන්න හිතුවා..ඒත් මේ වැඩේ මට තනියම කරන්න නම් බෑ.. පාඨක ඔබේ සහාය මේ කටයුත්තේ දී ගොඩාක් වැදගත් වෙනවා..
අපේ රටේ විවිධ ප්‍රදේශ වලට අදාල කටයුතු සහ ඒ ප්‍රදේශ වල අතීත සිදුවීම් ආශ්‍රිතව ජනකතා ගොඩ නැගී තියෙනවා..ඒ බොහොමයක් මුඛ පරම්පරා ගත ව මේ දක්වා නොනැසී රැඳිලා තියෙනවා..ඒත් වර්තමානයේ බොහෝ දෙනා මේ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් අපේ ලකුණ නැති වෙලා යන්න පටන් අරන් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. ඒ නිසා අරුණැල්ල ඔස්සේ අපි දන්නා සහ නොදන්නා ජන කතා අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න උත්සාහයක් දරන්න හිතුණා..
ආරම්භය සටහන් කරන්න මම දන්නා කතා කිහිපයක් මෙතැන් පටන් post කරන්නම්... ඒ බොහොමයක් මම පොත් පත් වලින් සහ දන්නා කියන අයගෙන් අහලා දැන ගත්ත ඒවා..
තම තමන්ගේ ප්‍රදේශ හා සම්බන්ධ ජන කතා අපිත් එක්ක බෙදා ගන්න කැමති නම් අරුණැල්ලට ලියන්න..
මේ මගේ e-mail ලිපිනය.. එන්න අපි දන්න කතා බෙදා ගනිමු..
najathakram1@gmail.com

Orientation සහ අපි..

Tuesday, November 15, 2011

දිලෙන විදුලි එළි
යටින් එල්ලී
බමන පංකා
ඊටත් යටින්
නිදන අපි...
ලියවෙයි මැකෙයි
සුදු පුවරුවක
කළු පැහැයෙන්
තවත් විටෙක
නිල් පැහැයෙන්
වැදගත් නම්
රතු පැහැයෙන්..
තට්ට හිසෙන්
උපැස් යටින්
සම්ප්‍රේෂණය වෙයි
"ග්‍රැමර්"
කන කකියයි
පොත් ගෙන එයි
පියවෙන නෙත්
නොපියා අසනෙමු
උගන්වන හැටි
"රයිටින්"
"ඩෝන්ට් රයිට්,
අයිල්  ගිව් යූ
ටයිම් ටු රයිට්..."



අලයන් හා අල වීම..

Thursday, November 3, 2011


වසර හතරක්
යහතින් වෙසෙනු පිණිස
මාස කිහිපයක්
වාත වීමට සිදු විය..
මාසයක්
යන්තමින් වාත වීමු..
හොඳ හරිය තවම නැත..
කොහේ දෝ ලොවකින්
හිටි වනම
ගසාගෙන ආ
ගිනි පුපුරකින්
වාතය රත් වී
ඉහළ නගින්නට විය..
නොහොත්
දෙපිටින් යන්නට විය..
වාත වූ මාසය අපරාදේ ය..
කවුරුන් කෙසේ කීවත්
වැඩේ අල විය...


ප.ලි: -     අල වීම අහවර විය..දැන් අපි පැරණි පුරුදු දිවියට ම අනුගත් වී ඇත්තෙමු...

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්..

Wednesday, November 2, 2011

දෙනෝ දාහක් මැද
හුදෙකලා වෙමි
සරන පිරිවර 
නික්ම නොයන හින්දා

අතීතය මම 
සිතින් විඳින්නෙමි
ගෙවුණු කාලය
යළි නො එන හින්දා

සිතින් දිරි ගෙන 
දුකට සිනාසෙමි
කඳුළු කැට උණු
නෙතට නුහුරු හින්දා..
 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading