Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා...

Saturday, January 12, 2013

ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්‍රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් මේ පිලිබඳ නොලියා ම බැරි නිසයි කාලෙකට පස්සේ අරුණැල්ල දිහාවට ආවේ.

එක ම පාසලක, එක ම පන්තියක බොහෝ වෙලාවට ඉගෙනුම ලබන්නේ එක ම ගමක, එහෙම නැත්නම් එක ම නගරයක, එහෙමත් නැත්නම් එක ම දිස්ත්‍රික්කයක ළමයි. දුර පළාත් වලින් ඇවිත්, නගරයේ පාසලක ඉගෙන ගන්න අය නැතිවා ම නෙවෙයි. නමුත් බහුතරයක් එහෙම නෑ.

පාසල් කාලයේ දී අපට හමු වෙන මිත්‍රයන්, පහ වසරේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන අදියර තුනේ දී කොටස් වශයෙන් අපෙන් වෙන් වෙලා යනවා. අපි කාටත් පාසල හැර යන මොහොතේ දුකක් දැනුණත්, ඔවුන්ගේ වෙන් වීම ඒ තරම් ම නොදැනෙන්නේ ඔවුන්ගෙන් බහුතරයක් පසු කාලිනවත් නිරන්තරයෙන් මුණ ගැසෙන නිසා. 

නමුත් විශ්ව විද්‍යාලයකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මුළු රට ම නියෝජනය වන පරිදියි තෝරා ගැනෙන්නේ. බොහොම වෙලාවට එක් දිස්ත්‍රික්කයකින්, එක් පීඨයකට තෝරා ගැනෙන ශිෂ්‍ය සංඛ්‍යාව උපරිමව අදාළ කණ්ඩායමේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10 % ඉක්මවන්නේ නැහැ. (නමුත් සමහර අවස්ථා වලදී නම් මෙය වෙනස් වෙනවා.)

කොහොම නමුත් අපට විශ්ව විද්‍යාලයේ දී හමු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරය, වෙනත් දිස්ත්‍රික්ක වල සිට පැමිණි අය කියන කරුණ මා සම්බන්ධව නම් නිවැරදියි. වසර හතරක කාලයක් එකට ගත කරලා, දුක සැප බෙදාගෙන ආයෙත් සුපුරුදු පරිදි තම තමන්ගේ ගම් බිම් බලා යන්න අපි හැමෝට ම සිදු වෙනවා. විභාග, කුප්පි, Assignments, Tutorials, One to One, Practicals, Report Writing අතරේ ගෙවෙන මේ කාලය ජීවිතයේ වටිනා ම කාල වලින් එකක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ අතරේ විවිධ වයස්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ගනුදෙනු කරන්නත්, ඔවුන් එක්ක සුහදව කටයුතු කරන්නත් අපට සිදු වෙනවා.



වරින් වර ක්‍රියාත්මක වුණු වර්ජන හේතුවෙන්, අනෙක් වසර වලට තිබුණු දේශන කාල සටහන් සංශෝධනය කළ නිසා, අපි කැම්පස් එකට එද්දී සහ මේ වන තුරු ම වැඩි කාලයක් ගත කරන්න සිදු වුනේ අවසන් වසරේ අයියලා අක්කලා එක්ක. සමහර කාල වල දී මුළු කැම්පස් එකට ම හිටියේ අපේ 200ත්, අවසන් වසරේ 200ත් විතාරයෝ. කැම්පස් එකට ආගන්තුක අපිට, කැම්පස් එකෙන් යන්න ඔන්න මෙන්න හිටපු ඒ අයියලා අක්කලාගෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තිබුණා. අපි විශ්ව විද්‍යාලයට ඇවිත් ගත වුණු වසරකට ටිකක් වැඩි ඒ කාල සීමාව තුළ ඔවුන් හා අප අතර ගොඩ නැගුණේ පුදුමාකාර බැඳීමක්. අධ්‍යයන කටයුතුවල දී වගේ ම විවිධ බාහිර කටයුතු හා ක්‍රීඩා වලදී ඒ බැඳීම තවත් ශක්තිමත් වුණා.

නමුත් ඔවුන්ට සමු දෙන්න කාලය ඇවිත්. අද ජනවාරි 12 වෙනිදා. හෙට හවස් වෙද්දී ඔවුන් පීඨයෙන් පිට වී යෑමට නියමිතයි. බොහොම දුර පළාත් වල ඉඳලා ආපු ඔවුන්ගෙන් බොහොම දෙනෙක් ආයෙත් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ආසියාවේ ආශ්චර්යයට පිං සිද්ධ වෙන්න බොහොමයක් දෙනා විදේශ ගත වේවි. තවත් අය ලබන රැකියා, අපි ඉගෙන ගන්නා ක්ෂේත්‍රයේ නොවෙන නිසා වැඩ බිම් වලදී හමු වීමේ ප්‍රවණතාවත් බොහොම අඩුයි. ඒ නිසා සමහර අය දැක ගන්න ලැබෙන අවසන් වාරය හෙට වෙන්න පුළුවන්.

සිව් වසරක සරසවි ජීවිතය තුළ, තමන්ගේ කණ්ඩායම හැර අඩු ම ගණනේ තවත් ශිෂ්‍ය කණ්ඩායම් 6ක් එක්ක ගනුදෙනු කරන්න අපි හැමෝට ම සිදු වෙනවා. ඒ අතරින් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් අපෙන් සමු අරගෙන නික්ම යන අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ අතරින් පළමුවැන්න. ඒ නිසා සමහර විට මේ වගේ හැඟීමක් දැනෙනවා ඇති. ඒ කොහොම වුණත්, අපිට වඩා බොහොම කල් මේ බිමේ විස්කම් කරපු, විශ්ව විද්‍යාලය වෙනුවෙන් බොහොම දේ කළ ඔවුන් නැති අඩුව පුරවන්න සමහර විට අපිට කවදාවත් බැරි වෙයි. නමුත් ඒ දේ කරන්න උත්සාහ කළ යුතුයි කියලා හැඟීමක් තදින් දැනෙනවා.

තවත් අවුරුදු තුනකින් අපිත් විශ්ව විද්‍යාලය හැර යා යුතුයි නේ ද කියලා කල්පනා වෙද්දී, සාංකාවක් වගේ හැඟීමක් දැනෙනවා. මේ කවිය උපුටා ගත්තේ අපේ ම අක්කා කෙනෙක්ගේ සටහනකින්.


අඹ ගහ, තාමත් හොයනවද අපිව
බංකුව අදත් අපි ගැන ඇහුවලු නේද
එතකොට අර හොස්ටල් එකේ
එක පෙළට තිබ්බ මේස ටික එහෙම
වෙන කාට හරි අයිති ඇති නේද
සිවිල් එක ගාව ලොකු ගහ යට
මිකැනිකල් බෙන්ඩ් එක ලඟ
තාමත් කට්ටිය මුණගැහෙනවැති
උදේට අපි ලෙක්චර්ස් යන පාරෙ
තාමත් මැයි මල් වැටෙනවා ඇති
වේලිච්ච කොල අහුලනවද තව අයත්?

ලෙක්චර්ස් අස්සෙ අපි තරම් හොඳට
කවුරුත් චිට් පාස් කරාවිද මන්දා
ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් වල ගහපු හොර සයින්
තාමත් මතකයි අද වගේ මට
රෑ තිස්සෙ නිදිමරන් ගොඩ දාපු ටියුට්
මෙච්චර ගොඩක් තිබුනද මන්දා

ලයිබ්‍රරියෙ තුන්වෙනි මේසෙට
දැන් නම් වෙන අය ඇවිත් ඇති
කැන්ටින් එකේ තාමත්
කුප්පි එහෙමත් යනවත් ඇති
කැම්පස් එකේ කොට තාප්ප උඩ
පෝළිමට දැනුත් වෙන අය ඉඳන් ඇති
කොල්ලොන්ගෙ හොස්ටල් එකේ
සිංදු සද්දෙ දෝංකාර දෙනව ඇති
ෆැකල්ටිය ඇතුළෙ මේ දැනුත්
කැන්ටින් එකේ පුටු මේස වලට
ඉඳහිට අපිවත් මතක් වෙනව ඇති

Bucket, Social ,Going Down අස්සෙ
අවුරුදු හතරක් ගෙවුනද මන්ද
මතක ඇහිඳිනව මං නම් තාම
අද ඊයෙ වගෙ, 
දයාබර රුහුණ....




විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, එහෙමත් නැත්නම් ඉංජිනේරු ශිෂ්‍යයා කියන භුමිකාවේ සිට ඉංජිනේරුවා කියන භූමිකාව දක්වා සංක්‍රමණය වන 10th එකේ එහෙමත් නැත්නම් දහ වන ශිෂ්‍ය කණ්ඩායමේ අයියලා අක්කලා හැම දෙනාට ම ප්‍රීතිමත් සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.

14 comments

  1. "ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි".. හ්ම්ම්. ඇත්ත වෙන්නැති.දුක සැප, සතුට කඳුල, මේ හැමදෙයක්ම එක්ක ජිවිතේ ගලාගෙන යනවා.
    අපිත් දවසක ඔහොම කැම්පස් එකෙන් යාවි නේද මල්ලි?
    :/ එහෙම හිතනකොට හිතට එන්නේ අමුතුම හැඟීමක්..

    ReplyDelete
  2. මමත් සුභ පතමි.ශ්‍රි ලාංකීකයෙකු ලෙස ඔවුන් සැමටම සේවය කිරීමට ශක්තිය ලැබේවා ! කියලා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. අනේ එසේම වේවා !ජය වේවා !

    ReplyDelete
  4. මම විශ්ව විද්‍යාලයට ගියේ 1967දී, පිට උනේ 1971දී .එතකොට එකේ නම විද්‍යෝදය. අද 2013 යි. වසර 46ක් ගත උනත් එදා මුණ ගැහුන යාලුවෝ අදත් මුණ ගැහෙනවා.අත්තෙමන් ම ඒ වසර 4 තුලින් තමයි මම ජීවිතය දැක්කේ.අඳුන ගත්තේ. වින්දේ.
    සමරසේකර

    ReplyDelete
  5. අඩේ!!! අපිටත් යන්න වෙනවනේ තව අවුරුදු 3 කින්...... ...හ්ම්ම්ම්...මේ පුංචි රටේ..කොතනකදී හෝ යලි අප හමුවේවි...

    ReplyDelete
  6. ඇත්ත. ඉස්කෝලෙ අන්තිම දවසෙදි ඒ තරම් දුකක් දැනුනෙ නැත්තෙ ඒ යාලුවො ඉස්කෝලෙන් අයින් උනත් උදේ හවස දකින්න ලැබෙන නිසයි. ඒත් කැම්පස් එකේ තත්වය ඊට වෙනස්නෙ. ඒ නිසා කැම්පස් එකෙන් අයින් වෙද්දි දැනෙන දුක ගොඩක් වැඩියි...

    ඔයාට විභාගය හොඳින් කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මල්ලි...

    ජය!

    ReplyDelete
  7. මල්ලියේ EFAC එක රැක ගන්න එක ඒක උබලගේ මල්ලිලාටත් හොදින් බාර දෙන ඒක උබලට බාරයි. ආපහු lecture එන්න බැරි උනාට උබලව හමු වෙන්න බැරි උනාට උබල දිහා උබලගේ සිනියස්ලා විදියට 10 විදියට අපි ආදරෙන් බලන ඉන්නවා. උබල වෙනුවෙන් EFAC ඒක වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමේ අපි කරනවා. සුබ අනාගතයක්...

    ReplyDelete
  8. ජීවිතය කියන්නේ එක්තරා ආකාරයක හමුවීම් සහ වෙන්වීම් ගොඩක එකතුවක්. Campus ජීවිතේ කියන්නේ ඒ අතරින් දාලා එන්න ගොඩක් අමාරු සොඳුරු බැඳීමක්. Campusස් එක දාල එද්දි දැනුනේ හරියට ගෙදර දාලා එනවා වගේ හැඟීමක්. එකේ පුදුමෙකුත් නැහැ. මොකද අවුරුදු හතරක් පුරාවට අපිට ගෙදර උනේ campus එක නිසා. අපි එහෙම out උනු 8 වෙනි batch එක. අපිට කලිනුත් ඒක එහෙම්මයි. අපෙන් පස්සෙත් ඒක එහෙම්මයි. තියෙන්නෙ කාලය සහ මිනිසුන් අතර වෙනසක් විතරයි....

    Nicely written malli.. :)

    ReplyDelete
  9. හ්ම්ම්ම්.. එහෙනම් අළුත් ජීවිතයකට සුභ පැතුම් !

    ReplyDelete
  10. මේක කියෙව්වෙ පොස්ට් එක දැම්ම වෙලාවෙමයි.් ඒත් සටහනක් දාන්නෙ ටිකක් පහුවෙලා. සරසවියෙදි ලබන අත්දැකීම් සහ හමුවීම් ජීවිතේ සාදාකාලික මතකයන් පමණයි. මොකද මේ හැම කෙනෙක්ම ඉන්පස්සෙ හමුවන්නෙ වෘත්තීය ජීවිත විදියට ‍වැදගත්කම එයයි.

    ReplyDelete
  11. ප්‍රියේ හි විප්පයෝගෝ දුක්කෝ
    ඕක ජිවිතයේ හම්බුවන තවත් එක වෙන්වීමක් විතරයි කියල තමයි හිත හදාගන්න වෙන්නේ!
    ඔයිට වැඩ හිතට දැනෙන වෙන්වීම් ඉදිරියට හම්බුවේවි!

    ReplyDelete
  12. ම්..මෙහෙම දවසක් අපිටත් තිබුනු බව මතක් වුනා..ස්තුතියි රැංගෝ අතීත මතක ආයෙ අළුත් කලාට..

    ReplyDelete
  13. හ්ම්.. මොනවා කරන්නද,ඔයාලගෙ සරසවියෙම සරච්චන්ද්‍ර සර් කිව්වානෙ නො‍ගොස් එන්‍ට බැරිය,නෑවිත් යන්ට බැරිය කියලා....!

    ReplyDelete
    Replies
    1. අපි රුහුණේ නංගියෝ.. සරච්චන්ද්‍ර සර් පේරාදෙණියේ නේ!! :)

      ඔව්.. ඇත්තට ම ඒ කතාව කොයි තරම් ඇත්ත ද කියලා මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ... ජය වේවා!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading