Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

වෙන් වීම

Thursday, February 21, 2013



දෑත බිම ඔබා, පස්සට වාරු වී
ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ
නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම
සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම..


වක්කඩ ළඟ, දිය බොර කර නටාපු
තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි
තටු අකුලාගෙන,කඳුළු දරාගෙන,
මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි
ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම..


රතු රෝස මල් වෙනුවට දෑතේ,
සුදු අරලියා මල් පිපිලා
රොබරෝසියා මල් යහනා වෙනුවට
වතුසුදු මල් පාවඩ එළලා.
එරබදු ගස් අස, කොහෝ නාද නෑ
කණ කොක් හඬ දෙයි, සවන් උගුළුවා..


දෙතොල් අග, මුදු සිනා රැඳෙව් නුඹ,
කඳුළු විලක උල්පත වෙලා
මගුල් තුලාවට ගෙන ආ පිරුවට,
නුඹ යන මග පාවාඩ වෙලා
රන් කෙණ්ඩියෙ පැන් වෑහෙයි සොඳුරියේ,
අෂ්ටක හඬ නම් නොඑයි ගලා..


මිදුලේ කෙළවර
ගාඩිනියා ගස
කොළ එහි හැර දා,
සුදු මල් පළඳා
නුඹ' මළගම වෙනුවෙන්
සළුවක් ඇඳලා..



ප.ලි :

බොහොම කාලෙකින් අරුණැල්ල පැත්තේ වගේ ම, මුහුණු පොත පැත්තේ එන්නත් බැරි වුණේ විභාග කටයුතු නිසා, ටිකක් නෙවෙයි, බොහොම කාර්යය බහුල වෙලා හිටපු හින්දයි! කොහොම නමුත් අවසානයේ සුබ ආරංචියක් ගෙන එන්න පුළුවන් වුණා.

අපි මුහුණ දෙන විභාග බොහොමයක පළමු වාරයේ දී, බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය ලබා ගන්න බැරි වුණොත් දෙවන හෝ තෙවන වර උත්සාහ කරන්න හැකියාව තිබෙනවා. නමුත් සමහර අවස්ථා ලැබෙන්නේ ජීවිතයට ම එක වරයි.

රැංගෝගේ ජීවිතයේ දී එවැනි විභාග තුනකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. පළමුවැන්න 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය. දෙවැන්න සහ තෙවැන්න විදියට විශ්ව විද්‍යාලයේ පළමු වසරට අදාළ විභාග දෙක. අනාගතයේ වෘත්තීය ලෙස තෝරා ගන්නා ක්ෂේත්‍රය තීරණය කෙරෙන්නේ මේ විභාග දෙකෙහි ලකුණු මත.තමන් කැමති විෂයය ක්ෂේත්‍රය ඔස්සේ ඉගෙන ගන්න අවස්ථාව හිමි කර ගන්න නම්, අඩු තරමේ මුල් 75 අතරට පැමිණීම අවශ්‍යයි.

විභාගයට බොහොම සාර්ථකව මුහුණ දෙන්න වගේ ම, සැළකිය යුතු තරම් හොඳ තත්වයේ ප්‍රතිඵලයක් ලබා ගන්නත් රැංගෝට පුළුවන්කම ලැබුණා. ඒ අනුව විදුලි හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව හදාරන්න අවස්ථාව හිමි වුණා. ඒ වෙනුවෙන් උදව් උපකාර කළ හැම කෙනෙක්ට ම බොහොම ස්තුතියි!

32 comments

  1. "වෙන්වීම" ලස්සන පද ගැළපුමක් අයියේ...

    ඔන්න ආයෙම සුබපතනවා ලබපු ජයග්‍රහණයට ! :)

    ReplyDelete
  2. මගේ සුභ පැතුම් මල්ලී.ඉදිි වැඩ කටයුතු සාර්ථක වේවා!

    ReplyDelete
  3. එල මචන් එල.... අනාගතේට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රජෝ..
      රාජ සම්පත් වැඩි දියුණු වේවා!!

      Delete
  4. සුභ පැතුම් රැංගෝ..

    ReplyDelete
  5. සුභ පැතුම් රැංගෝ!!! ඉදිරි අධ්‍යාපන කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා කියල ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Chams!! :)
      ජය වේවා!

      Delete
  6. ජී.බී. මහත්තයාගේ කයි පන්තිය මතක් වුනා..

    සුබ පැතුම් මචන් මගෙන් අනාගතේට

    ReplyDelete
    Replies
    1. මම බොහොම ප්‍රිය කරන වගේ ම උසස් පෙළට සිංහල නොකරත් කටපාඩම් කවි පන්තියක්. නොදැනුවත්වම වගේ ඒ කවියේ කොටසකින් ආරම්භ කලේ..
      බොහොම ස්තුතියි මිත්‍රයා!

      Delete
  7. ලස්සන කවි පෙළක් රැංගො!!! අනාගතයට සුභම සුභ පැතුම්!!!!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිතු අක්කේ!!
      ජය වේවා!

      Delete
  8. මගේ සුභ පැතුම් අයියේ.නියමෙට ලියල තියනවා.ගයානි අක්ක පුරුදු කරන දුන්නු විදියට දැන් කවි ලියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි.
      හැබැයි අර පස්සේ කියපු කතාව නම් හරියට තේරුණේ නෑ..

      Delete
  9. කවි ටික එල ඈ..

    ReplyDelete
  10. කවියක් සේම ජීවිතයත් ලස්සන වෙන්න ඒජයග්‍රහණයට මගේ සුබ පැතුම්..

    අර කවි පන්තියේ ඇලෙන් කියවෙන දුක කපුගේගේ "සුමනෝ" ගීතය වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. කවිය ලියද්දි වරින් වර මට ඒ ගීතය ම යි මතක් වුණේ." මම තනිවම ඔලිඳ ගනිනවා" කියන පදය හැම වෙලේ ම මතකයට ආවා. නිරායාසයෙන් ම ආපු එකක්.

      බොහොම ස්තුතියි අයියේ!!

      Delete
  11. මුලින් ම සුබ පතනවා අය්යාගෙ ජයග්‍රහණයට.කවදාවත් හමු වෙලා නැතත් අය්යව මට දැනෙන්නෙ මගෙම සහෝදරයෙක් වගේ.ඉතින් පවුලෙ කෙනෙක්ගෙ ජයග්‍රහණයක් ඇහුවා වගෙ සතුටුයි.ඔයාගෙ ජීවිතයේ සියලුම ඉදිරි යහපත් කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනවා!

    කවිය ගැන කියනවා නම් හිතෙන්නෙ අය්යා ජනප්‍රිය නිර්මාණ කීපයකට අලුතින් අරුතක් දෙන්න උත්සාහ කරලා වගෙයි කියල.ජී.බී.සේනනායකගෙ පළිගැනීම,දිවුල්ගනේ ගයන සුදු ඇදගෙන සද ඇවිදින් ගීතය,අමරදේව මාස්ටර්ගෙ වක්කඩ ළග දිය වැටෙන තාලයට,කපුගේ ගයන සුමනෝ ගීතය,වගේ නිර්මාණ කීපයක් මතකෙට නැගුණා.ඒක ඔයා නොදැනුවත්වම වුණාද දන්නෙත් නෑ..

    මෙන්න මේ කොටස තමයි කවියෙ උපරිමය කියල මං දකින්නෙ,
    රන් කෙණ්ඩියෙ පැන් වෑහෙයි සොඳුරියේ,
    අෂ්ටක හඬ නම් නොඑයි ගලා..
    බලාපොරොත්තු සුන් වුණ ආත්මයක කටහඩ ඒ පද ඇතුළෙ තියෙනව!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම නංගියෝ.. මටත් බොහොම වෙලාවට දැනෙන්නේ එහෙමයි! සුබපැතුම් වලට බොහොම ස්තුතියි!

      ජී.බී සේනානායකගේ නිශ්ශබ්දතාවය සහ සුමනෝ ගීතය නම් මතකයට නැගුණා ලියද්දි. ඒත් ඒවා භාවිත කලේ නම් ඒ තරම් අවබෝධයකින් නෙවෙයි. නිරායාසයෙන් ම ආවා කියලයි හිතෙන්නේ.

      මට ඒ උපරිමය තව ටිකක් වෙනස් කරන්න තිබුණා නම් කියලා හිතෙනවා. අනේ මන්දා. ඒත් වෙන විදියක් හිතුනේ නෑ නේ!!

      Delete
  12. හදවතින්ම සුභ පතනවා මල්ලියේ.... කරන හැමදෙයක්ම සාර්ථකම වේවා.. !!
    කවියත් හැමදාම වගේ සුපිරි.. :)

    ReplyDelete
  13. ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම් මල්ලි! (Y)
    කවි පෙළ ආයෙමත් නිවිහැනහිල්ලේ හොඳට කියවලම අදහස් කියන්නම්කො. ඒත් ඉතින් කවදත් වගේ නියමයි කියල තමයි කියන්න වෙන්නේ. :)

    තව පොඩි දෙයක් එකතු කරන්නම් අන්තිමට ඔය කියපු දේට. මේ විභාගේ බොහොම වැදගත් තමයි. ඒත් සම්පුර්ණයෙන්ම අනාගතය ඒකෙන්ම තීරණය වෙනවාම කියල හිතන්න එපා.මොකද අපි ඒලෙවල් කලේ හිතන් හිටියට වැඩ ඉංජිනේරු ක්ෂේත්‍රය ගොඩක් වෙනස්. ටිකක් කලි ගිහින් හොඳටම තේරේවි මං කියපු දේ. සමහරවිට ඔයාට පස්සේ හිතුනොත් සිවිල් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරන්න.. බැරි කමක් නෑ. :)

    කොහොම වුනත් ලැබුණු ජයග්‍රහණය ඇති විශිෂ්ටයි.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. අපි මේ දුවන්නේ නවතින්නේ නැති රේස් එකක.. මේකේ කෙළවරක් නෑ. හරියට මිරිඟුවක් වගේ. ඔයාට, මට වඩා අත්දැකීම් තියෙනවා නේ.ඒ නිසා පිලි ගන්න ම වෙනවා..

      බොහොම ස්තුතියි අයියේ.. :) :

      Delete
  14. මා වෙන්වීම යන පද දකින කොටම සිතුවේ බ්ලොග් ලෝකෙන් ඈත් වීමක් ද කියා.
    පෙළැබවීමත් සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. කවදා හරි දවසක මේ හැම දෙයක් ම දාලා යන්න වෙනවා නේ අක්කේ!! බ්ලොග් එකත් එහෙම ම තමයි! ඒත් දැන් ම නම් යන්න අදහසක් නෑ!! බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට! :) :)

      Delete
  15. ලස්සන කවි පෙළක්...ඔබගේ ඉගෙනීමේ කටයුතු වලට ජය...

    ReplyDelete
  16. machan niyamai. ohoma yamu. last week saw a letter in a newspaper by a sri lankan poet who claims the death of modern sri lankan poetry. but im very happy to see such a page with nice artistic ideas. well done.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading