Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

වැරැද්ද කාගේ ද?

Sunday, March 11, 2012

පහුගිය දවස ටිකේ හිතේ එකලාසයක් තිබුණේ නැති නිසා හරියට post එකක් දාන්නත් බැරි වුණා. අද කරන්න විශේෂ වැඩකුත් තිබුණේ නැහැ. ඒ හින්දා අද නිවාඩු දවසේ ටිකක් නිදහසේ කල්පනා කරන්න ඉඩක් ලැබුණා. අරමුණක් නැතිව සිතුවිලි ඔහේ පා වෙලා යද්දී මීට ටික කාලෙකට ඉස්සර සිද්ධ වුණු එක්තරා සිද්ධියක් ළඟ මගේ හිත නැවතුණා. එදා ඒ තරම් ම නොදැනුනත් අද වෙද්දී ඒ සිද්ධිය නිසා ඇති වුණු පසු  සිදුවීම් නම් හිතට ලොකු දුකක් ඇති කරනවා.

මේ සිද්ධිය සිදු වුණේ මම සාමාන්‍ය පෙළ කරපු කාලේ.. පසුබිම් වුණේ මම සහභාගී වුණු එක්තරා අමතර පන්තියක්. ඒ පන්තියේ හුන් මගේ හොඳ ම මිතුරෙක් සහ මිතුරියක්. කවුරුවත් අපහසුතාවයට පත් නොවෙන්න මම අනන්‍යතාව හෙළි නොකර කතාව කියන්නම්.

ඒ කාලේ අපි වයස අවුරුදු 15 ක 16 ක පොඩි කොල්ලෝ නේ.. ඒ වයසේ එවුන්ට ඇති වෙන සුපුරුදු අසහනකාරී ප්‍රශ්නයට අපිත් මුහුණ දීලා හිටියේ. ඒ තමයි ආදරය කියලා වරදවා තේරුම් ගනිපු ආකර්ෂණය. මගේ මිත්‍රයාටත් මල්සරා ගේම දීලා තිබුණේ. ඔහුත් 9 වසරේ දී පටන් ම එක්තරා ගැහැණු ළමයෙක් ගැන පිලිබඳ සිතක් ඇති කර ගෙන හිටියේ. අපි පිරිමි ළමයා නිමල් විදියටත් ගැහැණු ළමයා ඉසුරි විදියටත් හඳුන්වමු.. කතාව අතර මැද දී හමු වන තවත් චරිතයක් තියෙනවා. ඔහු ව අපි සුනිල් කියලා හඳුන්වමු.

නිමල් කියන්නේ මහා ලොකුවට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒත් යම් තරමක අධ්‍යාපනික දක්ෂතා තිබුණු අයෙක්. ඒ වගේ ම ඔහු කාර්මික වැඩ වලට පුදුමාකාර දක්ෂතාවක් දැක්වුවා. ඒ වැඩ වලින් නම් ඔහු සුපිරි චරිතයක්. මා වරක් ඔහුගේ නිවසට යද්දී කාඩ්බෝඩ් වලින් නිර්මාණය කර තිබුණු කන්ටේනරයක අනුරුවක් දැක්කා. එය සම්පුර්ණයෙන් ම නිර්මාණය කර තිබුණේ ඔහු. එහි රෝද වල ඇක්සල් පවා සවි කර තිබුණා. ඒ වගේ ම විදුලි පහන් දැල්වීම සඳහා වෙන ම wiring system එකකුත් එහි සවි කර තිබුණා.. ඇත්තට ම මම ඒ නිර්මාණය දැකීමෙන් සැහෙන්න පුදුම වුණා.

නිමල් තමන්ගේ ආදරය ඉසුරි ට ප්‍රකාශ නොකර අවුරුදු දෙකක් හිටියා. ඒ කාලය තුළ ඔහු ඒ බව ඇයට යන්තමින් හෝ දැනෙන්නට දුන්නේ නැහැ. ඒකට හේතුව වුණේ ඇගේ අධ්‍යාපනය.. ඔහු හැම වෙලාවේම කිව්වේ

"මචං. ඒකි ඉගෙන ගන්න කෙල්ලෙක්. මේ විකාර දැන් ම ඒකිගේ ඔලුවට දාන්න බැහැ. විභාගේ ඉවර වෙලා බලමු."කියලා.

ඒත් ඒ කාලේ සුනිල් කියන චරිතය ඉසුරිට try කරන්න පටන් අරන් තිබුණේ. පෙනුණු විදියට නම් ඇය ඒකට කැමැත්තක් දැක්වුවේ නෑ.. ඒත් මේ හේතුවෙන් නිමල් නම් සැහෙන්න අවුල් වෙලා හිටියේ. ඒත් ඔහු කිව්වේ 'එයා කැමති නැත්නම් යාලු වෙන්න බෑ නේ ' කියලා.

කොහොම හරි සුනිල් සහ ඉසුරි දෙන්නා අතර සම්බන්ධයක් ඇති වුණේ නැහැ. කාලය සුපුරුදු විදියට ගෙවිලා ගියා. මේ අතරේ ඉසුරි සමග හොඳ මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න මටත් නිමල්ටත් පුළුවන් වුණා. ටිකෙන් ටික සාමාන්‍ය පෙළ විභාගය ආසන්න වුණා.



දවසක් ඉසුරි මට දෙයක් කියන්න තියෙනවා කිව්වා. මම ඒ ගැන ඇහුවම පෞද්ගලිකව කියන්නම් කිව්වා.. ඉතින් මාත් නිමලුත් දවසක් වැඩිය පන්තියේ ළමයි නොහිටිය වෙලාවක ඉසුරි එක්ක කතා කළා.
හරියට ම කියපු වචන නම් මතක නැහැ. ඒත් මේ දේවල් ටික තමයි කතා වුණේ කියලා හොඳට මතකයි.

"මම කෙනෙක් ට ආදරේ කරනවා. මම එයාට ගොඩක් කැමතියි කියලා හිතෙනවා. පුළුවන් නම් මට උදව් කරන්න"

ඒක අහපු ගමන් අපි දෙන්නා හොල්මන් වුණා. ඒත් නිමල් කිසි අවුලක් පෙන්නුවේ නෑ.

"ඉතින් කවුද ඒ.? නම කියන්නකෝ.."

"ඔයාලා කීයට වත් හිතන්නේ නෑ ඒ එයා කියලා. ඒත් මම එයාට ගොඩක් කැමතියි."

"එහෙම ද? කමක් නෑ. නම කියන්නකෝ.."
"සුනිල්"

ඒක අහපු ගමන අපි දෙන්නව කරකවල කරකවල අත හරින්නේ නැතුව තවත් කරකවනවා වගේ දැනෙන්න ගත්තා..

"හරි. අපි දැන් මොකද්ද කරන්න ඕන?"
මම අමාරුවෙන් වචන ගැළපුවා.

"එයාගේ හිතේ කෙනෙක් ඉන්නවා ද? නැත්නම් එයා මගේ ගැන හිතනවා ද? කියලා එයාගෙන් අහලා කියන්න. හැබැයි මම අහන්න කිව්වා කියන්න එපා"

කාලා වරෙන් කෝ..
මේ මොකද්ද අපේ පිට වැටෙන්න යන්නේ..දැන් මේකිට බෑ කියන්නත් බෑ. අහන්නත් බෑ.. මොකද්ද කරන්නේ??
කමක් නෑ..ඔන්න ඔහේ උගෙනුත් අහනවා..  වෙන දෙයක් වෙයි නේ..
ඒත් අපි දැනගෙන හිටියා ඒ වෙද්දී සුනිල් වෙන කෙල්ලෙක්ට try කියලා. ඒ හින්දා අපේ විශ්වාසයක් තිබුණා මු මේකිට කැමති වෙන එකක් නෑ කියලා..

අපි ඉතින් එදා ම හවස උගෙන් ඇහුවා. ලැබුණේ අපි බලාපොරොත්තු වුණු පිළිතුර ම යි. අපි ඉතින් ඒ සුභ ආරචියෙන් ඔද වැඩුණු සිත් ඇතිව ඉසුරි හමු වෙලා සිද්ධිය කිව්වා.. එයාට නිවුස් ඒක දුන්න ගමන් අප්සට් ගියා. අපි මොනවා කරන්න ද? ඔන්න ඔහේ අපි අපේ පාඩුවේ හිටියා.

එහෙම මාස කිහිපයක් ගත වුණා. ටිකෙන් ටික ඉසුරි සාමාන්‍ය තත්වයට පත් වුණා. ඒ අතරේ නිමල්ට ඕන වුණා තවත් අවුලක් වෙන්න කලින් අහන්න.

ඉතින් පෙරුම් පුරාගෙන අපි ලියුමක් ලිව්වා. ඒ ලියුම ඇගේ අතට දෙන්න නිමල් ට සෑහෙන්න ධෛර්යය දීලා ඉසුරි ව හමු වෙන්න යැව්වා.. ඒත් ඒ ගැන ඇගෙන් පල වුණේ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. මම දන්නා තරමින් ඉසුරි සහ නිමල් අතර නොගැළපෙන කරුණු තිබුණේ නැහැ. ඇත්තට ම නිමල් කියන්නේ ඉසුරිට සාපේක්ෂ ව ගොඩක් ලස්සන කොල්ලෙක්. ඒත් ඉතින් ආදරේ බලෙන් ඇති කර ගන්න බැහැ නේ. එහෙම කියලා අපි සද්ද නැතිව හිටියා. ඒත් මට දැනුනා නිමල් නම් හිතින් ගොඩක් දුක් විඳින බව. ඒත් මගේ ළඟ ඔහු ව සනසවන්න වචන තිබුණේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයට අපි මුහුණ දුන්නා. මහා ලොකු අපහසුතාවයකින් තොරව අපි 3 දෙනා ම සමත් වෙලා තිබුණා. මම ගණිත අංශයෙන් උසස් පෙළ කරද්දී නිමල් සහ ඉසුරි ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න තීරණය කරලා තිබුණා. ඒත් මට නිමල් වැඩ කරාවි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. මම දන්නා තරමින් අවුරුදු 3 කටත් වඩා ඇය ගැන ඔහු බලාපොරොත්තු තියාගෙන හිටියේ.

මට ඊට පස්සේ වැඩිය නිමල් හමු වුණේ නැහැ. ඒත් උසස් පෙළ කලාට පස්සේ මට ආරංචි වුණා දෙන්න ම අසමත් වෙලා කියලා. ඉසුරි අසමත් වෙන්න නම් හේතුව ඇගේ ම වැරැද්ද කියලා මට තේරුණා. ඇය ඒ කාලය තුළ වෙන පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන ගිහින් ගොඩක් දේවල් වරද්දවාගෙන කියලා මට විස්තර කියපු කෙනා කිව්වා. දෙවන වරටත් ඇය උසස් පෙළ කළා. ඒත් නිමල් German Technology Institute ඒකට සම්බන්ධ වෙන්න ගොඩක් ආසාවෙන් හිටිය නිසා ඒ සඳහා මහන්සි වුණා.

ඒ වෙද්දී ඉසුරිගෙන් පළි ගන්න හිතාගෙන නිමල් වෙනත් ගැහැණු ළමයෙක් එක්ක මිත්‍ර වෙලා හිටියේ. නමුත් ඒ ගැහැණු ළමයා නම් කිසිම විදියකින් ඔහුට ගැලපෙන කෙනෙක් නෙවෙයි. බොහොම ඉක්මණින් කේන්ති ගන්න, ඒ වගේ ම සැර පරුෂ අයෙක්. ඒ සම්බන්ධය නිසා ඔහු තවමත් බොහොම දුක් විඳිනවා. ඒත් දෙන්නා අතර සිදු වුණු දේවල් නිසා ඒ සම්බන්ධය නවත්වන්න විදියක් නැහැ.

මට මේ ලඟදී ඉසුරිගේ ගෙවල් ළඟ මිත්‍රයෙක් හමු වුණා. ඔහු එක්ක කතා බහ කරද්දී මම ඇගේ ගැන විමසුවා. ඇය ගැන ගමේ අය කියන දේවල් ඒ තරම් හොඳ නැති බව මට දැන ගන්න ලැබුණේ ඔහුගෙන්. කතාවේ හැටියට ඇගේ ජීවිතය කාලකණ්නි වී ගිහින්. තවත් ගත යුත්තක් නැති තරම් ම. ඒ වගේ ම නිමල් ගේ ජීවිතයත් ඒ වගේ තත්වයකට පත් වෙලා. මට හිතෙන්නේ ඒකට හේතුව ඔවුන් දෙදෙනා තමන්ට ගැලපෙන අය තෝරා නොගැනීම.

ඉසුරි වෙනත් කෙනෙක් සමග මිත්‍ර වුණේ සුනිල් ගෙන් පළි ගන්න. ඒ වගේ ම මම හිතන්නේ නැහැ ඇය සමග මිත්‍ර වුණු කෙනා ඇත්තට ම ඇයට ආදරය කළා කියලා. ඒ වගේ ම නිමල් වෙන කෙනෙක් එක්ක මිත්‍ර වුණේ ඉසුරිට රිද්දන්න හිතාගෙන. ඒත් අද දෙන්නා රිද්දගෙන තියෙන්නේ තමන්ට ම යි. තමන් ආදරය කරන කෙනාට රිද්දන්න යෑමෙන් තමන්ගේ ජීවිත කාලකණ්නි කරගෙන. අද නිමල් German Technology Institute හි අධ්‍යාපනය ලබනවා. ඒත් ඔහු කිසිම සතුටකින් ජීවත් නොවෙන බව පෙනෙනවා.

තමන් ආදරය කරන කෙනාට රිද්දවන්න හිතෙන්නේ කොන්දේසි ඇතිව ආදරය කරන්නෙක්ට විතරයි. තමන්ට ආදරය කරන කෙනෙක්ට පෙරළා ආදරය කරන්න පුළුවන් නම් එයින් ජීවිතය ගොඩක් ලස්සන කර ගන්න පුළුවන්. මම කලින් post එකෙන් කියන්න හැදුවෙත් මේ වගේ ම දෙයක්.
මගේ පෞද්ගලික අදහසේ හැටියට නිමල් සහ ඉසුරි මිත්‍ර වුණා නම් අද ඔවුන් දෙදෙනා ගොඩක් සතුටින් ජීවත් වෙන්න තිබුණා. ඒ නැතත්, අඩු තරමේ එක් අයෙක් වත්... ඒත් වැරැද්ද කාගේ ද?


11 comments

  1. මේක නිමල්ටත් පෙන්නහන්!:D
    එතකොට හරි!:P

    ReplyDelete
    Replies
    1. පෙන්නුවා පෙන්නුවා.. මිනිහත් හරියට සිද්ධිය දැන ගත්තේ මේක දැක්කට පස්සේ..

      Delete
  2. යාළුව උසස් අධ්‍යාපනේ ගැන එච්චර හිතං නැත්තං, එයා ගිහිං ඉන්න ටෙක්නිකල් ආයතනේ හොඳටම හොඳා. [මාත් එතන ඉගෙන ගත්ත කෙනෙක් 1971-1975] පොඩි කාලෙ ලව් සීන් අමතක කරල දාල [ ඒ ගමන් ජීවිතෙත් එන්ජෝයි කරල ] දැන් ඉගෙන ගන්න දේ ඉහලටම නොගියත්, ජීවිතේ ජය ගන්න පුළුවන් කියල පහදල දෙන්න. කොමෙන්ට් එක හරියට ලග්න පලාපලයක් වගේ කියල හිතුන ලිව්වට පස්සෙ....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. මිනිහා නම් දැන් බොක්කෙන් ම වැඩේට බැහැලා..මට හිතෙන විදියට ඒක කරගෙන යාවි.. ඔබා මාමාත් ඒකෙ කියලා මම දැක්කා..බුකියේ දාලා තිබුණා නේ.. හෙහ් හෙහ්..

      Delete
  3. dedenama adraya kara aththe itha bolnda akarayatai

    ReplyDelete
  4. මාර වටිනා ලිපියාක්‌ මමත් දැකලා තියෙනවා ලවු කරපු කෙල්ලගෙන් පළි ගන්න ඇතැම් කොල්ලෝ උත්සහ කරනවා.ඒත් ඒ කෙල්ලොන්ගෙන් පළි ගන්න හොඳම විදියා ඊට වඩා හොඳ කෙල්ලෙක් හොයාගෙන සමගියෙන් ජිවත් වීමයි මේ කතාවේ හැටියට දෙන්නම පවු..

    ReplyDelete
  5. aththatama supiri kathawak

    ReplyDelete
  6. adarshayak dena katawak ayye,paw ithin apeth ohoma hitiya yaluwo

    ReplyDelete
  7. අසරණයා අයියා කියපු දේ එක්ක මාත් එකඟයි.. ආදරය කියන්නේ කවදාවත් පළිගැනීමක් වෙන්න බෑ..

    ReplyDelete
  8. "ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති"

    කෙනෙක්ගෙන පළිගන්න වෙන කෙනෙකුට ආදරය කිරීම නම් අනුවන කමක්.

    ඔන්න මමත් පළමු වතාවට ආවා. "අරුණැල්ල" දුටු පමණින් හිතට වැදුන නමක් වගේම ‍හොඳ යමක් කරන එකක් කියලත් හිතුනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!
      අඩු තරමින් එහෙම දෙයක් කරන්න උත්සාහ කරන එකක්! දිගට ම රැදේවි කියලා හිතනවා!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading