මේ 2012 අවුරුද්ද. 2012 කියන ඉලක්කම 4 න් ඉතිරි නැතිව බෙදෙනවා. ඒ වගේ ම අග ඉලක්කම් දෙක 00 නෙවෙයි. ඒ කියන්නේ මේ අවුරුද්ද අධික අවුරුද්දක්. මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ එන බොහෝ දුරට එක ම අධික අවුරුද්දත් මේක වෙන්න පුළුවන්. ඒ අතින් නම් එක මටත් සුවිශේෂයි. අධික අවුරුද්දක් ඕන කොල්ලෙක්ට සුවිශේෂයි නේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේ පොස්ට් එක ලියවෙන්නේ ඒ ගැන.
ඔන්න ඉතින් Leap Year movie එක බලපු අය කෑ ගහන්නේ නැතිව ඉන්නවා හොඳයි. මොකද මේ කියන්න යන්නේ ඒ කතාවට සම්බන්ධ කතාවක්. මොකද්ද එතකොට මේ කතාව. ඒ තමයි මේක.
සරලව කියනවා නම් අධික අවුරුද්දක පෙබරවාරි 29 වෙනිදා එහෙමත් නැත්නම් Leap Day එක දවසේ ගැහැණු ළමයෙක්ට පුළුවන්, තමන්ගේ හිත ගිය පිරිමි ළමයට ප්‍රේම සම්බන්ධයක් සඳහා ආරාධනා කරන්න.එහෙමත් නැත්නම් Propose කරන්න.
ඒක ඉතින් එදා ම වෙන්න ඕන ද? ඕන දවසක පුළුවන් නේ. මොකද වෙන දවසක කිව්වා කියලා වචන පිට නොවී තියෙන්නේ නෑ නේ.. නේද?
ඒත් මෙහෙම දේකුත් තියෙනවා. අපි ජීවත් වෙන සමාජයේ, රට මොකක් උණත් Propose කිරීම පිරිමි ළමයා සතු දෙයක් කියලා පොදු පිළි ගැනීමක්, නැත්නම් රීතියක් තියෙනවා. ඒ අනුව යම් හේතුවක් මත කෙල්ලෙක්, කොල්ලෙක්ට Propose කලොත් ඒ කෙල්ල දිහා ටිකක් අමුතු විදියට බලන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා. ඒක අපේ රටේ නෙවෙයි, යුරෝපයේ පවා අද විතරක් නෙවෙයි, අතීතයේත් තිබුණු දෙයක්.ඒත් වසර 4 ක ට වරක් එළඹෙන Leap Day එක දවසේ කෙල්ලෙක්ට නිදහසේ තමන්ගේ හිත ගිය කෙනාට ඒ බව දැනුම් දෙන්න අවකාශය සමාජය විසින් ම නිර්මාණය කරලා දීලා තියෙනවා. මම මේ කියන්න යන්නේ ඒ සඳහා පාදක වුණු කතාව.
මේ සිද්ධියට පාදක වෙන්නේ 5 වෙනි සියවස. යුරෝපා මහාද්වීපය. රට අයර්ලන්තය. St.Bridget තුමිය විසින් St.Patrck තුමාට විවාහ යෝජනාවක් කරනු ලැබ තියෙන්නේ Leap Day එකක. පුරාවෘත්ත වල හැටියට එදා St.Patrick තුමා ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ මොහොතේ පටන් Leap Day එකක දී තමන් ආදරය කරන පිරිමි ළමයාට, ගැහැණු ළමයා විසින් යෝජනා කරනු ලැබිය යුතු බවට.
ඒ වගේ ම තවත් කතාවක් තියෙනවා. ඉංග්‍රීසි නීතියේ හැටියට පෙබරවාරි 29 වෙනිදා නොසලකා හැරෙනවා. ඒ වගේ ම නීතිමය තත්වයක් නොමැති දිනයක් විදියට එදින හඳුන්වනවා. ඒ වගේ ම මේ හේතුව නිසා ම කිසිඳු පදනමක් නැති පරණ හණමිටි රීතියක් නොසලකා හැරීමටත් ඒ දිනය ම යොදා ගන්න ඇති කියලත් සමහරු මත පළ කරනවා. මේ පිළිබඳව වන පළමු වන ලියවිල්ල හමු වන්නේ 1288 වර්ෂයෙන්. ස්කොට්ලන්තයේ මේ සම්බන්ධව නීතියක් සම්මත වී තිබෙනවා. ඒ නීතියේ හැටියට ඕනෑම කාන්තාවකට තමන්ගේ හිත ගිය පිරිමියාට විවාහ යෝජනාවක් Leap Day එකේ දී කරන්න පුළුවන්. දරුණු ම තත්වය තමයි ඒ යෝජනාවට පිරිමියා අකමැති වුණොත් අදාල කාන්තාව වෙත දඩයක් ගෙවීමට සිදු වීම. මේ දඩය හාදුවක සිට සේද ගවුමක් හෝ අත් වැසුම් දක්වා වෙන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ.
කොහොම උණත් බොහෝ රටවල් වල මේ සිරිත පිළි ගැනෙනවා. මගේ පෞද්ගලික අදහසේ හැටියටත් මේ චාරිත්‍රය වැදගත්. මොකද යම් හේතුවක් මත අදාළ තරුණිය වෙත යෝජනා කරන්න තරුණයාට බාධාවක් තිබුනොත් ලියවෙන්න තියෙන ලස්සන පෙම් කතාවක් ආරම්භ නොකර ම නැවතීමේ තිත තියන්න වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොස්ට් එක කියවන කෙනෙක්ට තවත් කෙනෙක් ගැන අදහසක් තියෙනව නම් කල් නොයවා හැකි තරම් ඉක්මණින් අදාළ කෙනාට ප්‍රකාශ කරන්න. ඒ වගේමයි ගැහැණු ළමයින් ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔබ ගොඩක් ලඟින් ඇසුරු කරන තරුණයෙක් කෙරෙහි ඔබේ හිත ගිහින් නම් තියෙන්නේ ඒ බව මේ මාසේ පෙබරවාරි 29 වෙනිදාට වත් ප්‍රකාශ කරන්න. මොකද කොල්ලෙක්ට නම් අවුරුද්දේ ඕන ම දවසක ඒ බව කියන්න පුළුවන්. ඒත් ඔබේ මේ අවස්ථාව ගිලිහුණොත් නැවත ඒ අවස්ථාව ලබා ගන්න තවත් අවුරුදු 4 ක් බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන්.
වැඩිදුර විස්තර අවශ්‍ය අය ඉන්නවා නම් මේ පහල තියෙන පොත පතින් හොයා ගන්න පුළුවන්.
- Marian Morton, "Should Women Propose?", The Scrap Book, v5, January-June 1908, page 656.
- Kristina Seleshanko, Carry Me Over the Threshold: A Christian Guide to Wedding Traditions, page 61.
- Clarissa Bye, "Take the leap today, girls", smh.com.au, February 29, 2004.