ඔන්න මම අද කියන්න යන්නෙත් විසිරාගේ ම කතාවක් තමයි.. විසිරා කියන්නේ එක තැනක එක විදියකට ඉන්න බැරි මිනිහෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..
ඔන්න ඉතින් දවසක් විසිරා තමන්ගේ ගමෙන් නික්මලා උඩ හේවාහැට ප්‍රදේශයේ ඇවිදින්න ගියා. ඇවිදින්න ගියා කිව්වේ මොකක් හරි වැඩකට යන්න ඇති.. කොහොම හරි ඔහු ගිය කටයුත්ත හිතපු තරම් ඉක්මනින් ඉවර කර ගන්න බැරි උන හින්දා එන ගමනේ මග දී ටිකෙන් ටික අඳුරු වැටුණා..
රෑ වෙද්දී ගමන් කරන එක ඒ ප්‍රදේශවල ටිකක් අමාරු කටයුත්තක්.. ගම් වටේට තියෙන මහා කැලය නිසා සතුන්ගෙන් සිදු විය හැකි උවදුරු වගේ ම, පාරවල් අද වගේ මනාව පිළිසකර කරලා නැති නිසා අනතුරු සිදු විය හැකි බව අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. ඒ වගේ ම අද වගේ වීදි ලාම්පු එදා තිබුනේ නෑ..
ඔන්න ඉතින් විසිරා අමාරුවෙන් ටික ටික ඉදිරියට ආවා.. අලි මදිවට හරක් කියන්න වගේ එක පාරට ම මහා වැස්සකුත් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.. විසිරාට තේරුනා දැන් නම් ගමන නවත්වලා කොහේ හරි රෑ ගත කරලා යන්න තියෙනවා නම් හොඳයි කියලා.. එහෙම හිතලා වට පිට බලද්දී ඔහු දැක්කා ළඟ තිබුණු ගෙදරක්..
අතේ තිබුණු බඩු පොට්ටනියත් කිහිල්ලේ ගහගෙන විසිරා ඒ පැත්තට ගියා..
විසිරාගේ ගමේ විතරක් නෙවෙයි.. අහල ගම් හතක අය උනත් විසිරා කියන්නේ කවුද කියලා හොඳින් දැනගෙන හිටියා.විසිරා දැක්ක ගමන් ගෙදර ඇයට ඇති උනේ පහන සිතිවිල්ලක් නම් නෙවෙයි..
ඒත් විසිරා එලවා දමන්න තරම් ඔවුන් තුල තිබූ සාරධර්ම පිරිහිලා තිබුනේ නෑ..සිංහල සංස්කෘතිය විසින් කාලයක් තිස්සේ පුරුදු පුහුණු කෙරුණු, බටහිර සිරිත් විරිත් වලින් ඉඳුල් නොවුණු අපේ ආගන්තුක සත්කාර දැක්වීම සහ ඒ ලකුණ විසිරා දුර්ජනයෙක් වීමෙන් යටපත් කරන්නට ඔවුන්ට හිත් නොදුන්නා වන්නට පුළුවන්.. ඒ කොහොම උනත් එදා රෑ විසිරා නවාතැන් ගත්තේ මම කියපු ගම ගෙදර..
විසිරා කවුරු උනත් ඒ ගෙදර අය ඔහුට බොහොම හොඳින් සත්කාර කරලා නිදා ගන්නත් ඉස්තෝප්පුවේ තැනක් පිළියෙළ කරලා දුන්නා. එදා ගම ගෙදරක අනිවාර්යයෙන් කුකුලෙක් හිටියා.. ආදී කාලේ ඉඳන් උදේ අවදි කිරීමේ කාර්යය භාරව තිබුනේ කුකුළාට කියලා දන්නවා නේ.. (මේ මේ.. මම කියන්නේ අර පිහාටු තියෙන සතා ගැන.. නැතුව වෙන වෙන අය ගැන නෙවෙයි හොඳේ..)
ඔන්න ඉතින් මේ කියන ගෙදරත් සුදු පාට තඩි කුකුළෙක් හිටියා..ඌ හිටියේ ඉස්තෝප්පුවේ ම එක කොනක.. ඉස්තෝප්පුවේ ම නිදා ගන්න ආව විසිරා ඌව දැක්කා... විසිරා ගැන ඉතින් දන්නවා නේ.. ඒ වගේ දෙයක් දැක්කම තියලා යන්න අ හිතෙන්නේ ම නැති කෙනෙක් නේ විසිරා.. විසිරාට උවමනා උනා මේ කුකුළා ගන්න..විසිරට දෙයක් ගන්න ඕන උනාම ඒ දේ ගන්න විදිය මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...

ඔන්න ඉතින් රෑ දෙගොඩ හරියේ විසිරා අවදි උණා.. අවදි උන ගමන් බැලුවේ කුකුළා දිහා..මෙන්න ඉන්නවා තඩි සුදු කුකුල් රාජයා. පැත්තකට වෙලා.. වටේ පිටේ අඳුර තාමත් අඩු වෙලා නැති හින්දා කුකුළා නිදි වගේ.. තාමත් වැස්ස හොඳට ම අඩු වෙලා නෑ..
විසිරා තමන්ගේ කරේ දාන තුවාය අතට ගත්තා.. අරගෙන වැහි වතුරෙන් ම තෙමා ගෙන ඒකෙන් කුකුළා වැහුවා.. තෙත රෙද්දකින් වැහුවම කුකුල්ලු කිසි ශබ්දයක් කරන්නේ නෑ කියලා පැරැන්නන් අතරේ මතයක් තියෙනවා. (ඒක හරි ද වැරදි ද කියලා මම දන්නේ නෑ..)
කොහොම හරි තෙත රෙද්දක් දාලා වපු කුකුලව කිහිල්ලේ ගහ ගත්ත විසිරා තමන්ගේ බඩු මුට්ටු ටික ඒක අතකට ගත්තා..අරගෙන ගෙදර ගෘහණියට කතා කළා..
"අපේ මැණිකේ..මම එහෙනම් ගිහින් එන්නම්"
"ඒ මොකද විසිරෝ මේ තරම් උදෙන්.? කුකුළා හඬලනකම් වත් ඉඳලා ගියා නම්"
"අනේ කමක් නෑ මැණිකේ.. ඌ මගදී හඬලාවි නේ.."
එහෙම කිවූ විසිරා වැස්සේ ම නික්මිලා ගියා..
'කුකුළා මගදී හඬලාවි නේ මැණිකේ' කියපු විසිරාගේ කතාව මැණිකේට තේරුනේ උදේ කුකුළා නැති බව දැන ගත්තාට පස්සේ..
