සිය ගණන් තරු මැවෙනවා 
නිල් ගුවන් තෙර - අඳුරු මුලුවල
තරු යුවළ පෙම් කරනවා 
හිරු නැගෙන විට - සඳට පෙම් කළ 
තරු එකින් එක මැකෙනවා 
තරු නැතත් ලොව - එළිය වනු දැක 
නිරාමිස සුව විඳිනවා 
සෙනගක තනි වී - තරු මතක් වී 
හිරු ද කඳුලැලි හෙලනවා 
හෙලන සුසුමන් - නගන කඳුලැල් 
අඳුරු වලාවල රැඳෙනවා 
තවත් මොහොතක - හිරු ද ඉඳහිට 
සඳට රහසින් නැගෙනවා 
සඳුත් නොදැන ම - බියපත් තරු රල 
හිරු නොදැක ම මැකෙනවා 
සඳුට රහසේ - හිරුට පෙම් කළ 
පහන් තරුවක් තිබෙනවා 
හිරුගේ තනියට - තවම ඉඳ හිට 
අලුයම් අහසේ නැගෙනවා..

 
 
