දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!
විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි ඒ නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..
මෙතෙක් කල් මා නුදුටු ඒ රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇය' රුව
දිගු රැයක සිත හඬවන ඒ රුව
කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී ය - මට ඉගැන්වූ ඇය..
නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...
'මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.
"නිවැරදි කල යුතු ය ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..
"හිටපිය ඔතැන, ඔහොම ම!"
හඬ නගයි මා හෘද සාක්ෂිය.
බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...
නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."
වියළි තන පුඩුව, බිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා ය ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට..