Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරය කියන්නේ ගනුදෙනුවක් ද?

Wednesday, March 7, 2012

අද පෝය දවස නිදහසේ ගත කරන්න හිතුවත් නොයෙක් වැඩ රාජකාරි නිසා එහෙම කරන්න බැරි උණා.. සාමාන්‍යයෙන් පෝය දවසට මම රුපවාහිනියේ විකාශනය වන ධර්ම දේශනාවලට සවන් දෙනවා. අදහන ආගම මොකක් උණත් ඒ හැම දෙයකින් ම අපට ගත හැකි දෙයක් තියෙනවා නේ..එහෙම උණත් මේ ටිකේ වැඩ වැඩි නිසා ඒ සඳහා වෙලාවක් ලැබුණේ නෑ.

අද තිබුණු වැඩ කටයුතු ඉවර වෙලා හවස් වෙලා යාලුවෙක්ගෙ ගෙදර පැත්තේ රවුමක් යන්න හිතුණා. එහෙම ගිය වෙලාවේ අහම්බෙන් වගේ රුපවාහිනියේ විකාශනය වුණු ධර්ම දේශනයකට සවන් දෙන්න ඉඩක් ලැබුනා.. ඒ නිසා කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටපු සටහනක් ලියන්න ඕන කියලා මතක් උණා.. අද හවස් කාලය වෙරළ අයිනට වෙලා ගෙවද්දී බොහොමයක් කරුණු ලිවිය යුතුයි කියලා මතක් උණා.. මේ පෙළ ගැහෙන්නේ ඒ කරුණු ටික.. 

මේ කියන්නෙත් ආදරය ගැන.ඔන්න පටන් ගන්න කලින් ම කියන්නම්. මේ කියන්න යන්නේ බණක් නෙවෙයි. ආදරය ගැන මම අවබෝධ කර ගත්ත දේ.. එකඟ වෙන්නේ නැත්නම් කෙලින් ම මට බනින්න.. ඒත් මේ කියන දේ සම්පුර්ණයෙන් ම කියවලා ඉන්න..


ඇත්තට ම ආදරේ කියන්නේ මොකද්ද? නිර්වචන නම් ඕන තරම්. කෙනෙක් ට පුළුවන් මිනිස් සිතේ ඇති වන තවත් එක් හැගීමක්, එහෙමත් නැත්නම් තෘෂ්ණාවේ එක් පැත්තක් විදියට ආදරය හඳුන්වන්න. තවත් කෙනෙක් ආදරය කියන්නේ සාංසාරිකව පවතින අධ්‍යාත්මික බැඳීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්.. ඒ කොහොම උණත්, ආදරය කියන්නේ මොකක් උණත්, අපි කාට හරි ආදරය කරනවා ද? අපි ආදරය කරන විදිය හරි ද? හරි විදියට ආදරය කරන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න තමන් ම උත්සාහ කරනවා නම් තමන් ආදරය කරන කෙනාට තමන් ඇත්තට ම ආදරෙයි ද, නැද්ද, කියලා අවබෝධ කර ගන්න පුළුවන්.. 

ඔබ කෙනෙක්ට ආදරය කරද්දී ඒ පුද්ගලයාගෙන් පෙරළා ආදරය බලාපොරොත්තු වෙනවා ද? එහෙමත් නැත්නම් ඒ ආදරය වෙනුවෙන් කායික හෝ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ද? ඒ ප්‍රශ්න දෙකෙන් එකකට හෝ පිළිතුර ඔව් නම්, ඔබ ආදරය කියලා හිතාගෙන සිටින හැගීම ගැන තවත් වරක් හිතලා බලනවා නම් හොඳයි. එහෙම කියන්න හේතුව මේ ලිපිය අවසන් වෙනකම් කියෙව්වොත් ඔබට අවබෝධ වේවි..

මා වරක් එක්තරා ප්‍රේමවන්තයෙක් සමග සාකච්ඡා කරද්දී ඔහු කියපු එක්තරා දෙයක් තමයි, 'අපි තාම පෘතග්ජනයෝ නේ. ඒ හින්දා ඉන්න ටිකේ ජීවිතේ විඳලා සතුටින් මැරෙන්න ඕන'  කියන එක. මම හිතන විදියට  නම් අපේ ඉලක්කය විය යුත්තේ ඒ මානසිකත්වයෙන් මිදීම. අඩුම තරමින් ආදරය සම්බන්ධව වත්. ඒ වගකීමක් නැති අදහස නිසා තමන් අතින් කවදාවත් නිවැරදි කරන්න බැරි වැරදි සිදු වෙන්න පුළුවන්.අපි ආදරය කරන්නේ අපි ආදරය කරන කෙනාට. ඒ ආදරය හැම වෙලාවේ ම විශේෂිත දෙයක් විය යුතුයි..

ආදරය කියන්නේ ගනුදෙනුවක් නම්, අපි දෙන දෙය වෙනුවෙන් පෙරළා යමක් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ ආදරණීයයා වෙනුවෙන් කරන දේවල් ආදරය වෙනුවෙන් කරන ආයෝජනයන් විදියටයි දකින්නේ.. මම හිතන විදියට නම් ඒක සාධාරණ නෑ.. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. ඔබ ආදරයේ දී කරන දේවල් වෙනුවෙන් පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිසක් ආදරය නෙවෙයි. 

ආදරයට රාගය මුසු වෙන්නේ, ප්‍රජනන අවශ්‍යතාව වෙනුවෙන්. යම් හෙයකින් ප්‍රජනනය සඳහා සංසර්ගය අවශ්‍ය නොවුණා නම් රාගය කියන හැගීම ලෝකයේ නොපවතින්න තිබුණා. ඒත් ආදරය කියන්නේ ඊට වඩා බොහෝ ම එහා ගිය දෙයක්. ඒ නිසා මගේ මතය අනුව නම් අනිවාර්යයෙන් ආදරය ලෝකයේ පවතින්න ඉඩ තියෙනවා. 

අපි ආදරය කරන කෙනා අපිටත් පෙරළා ආදරය කරනවා නම්, සමාජ තත්වයන් ගැළපීම යම් තරමකට හෝ සිදු වෙනවා නම් බොහෝ විට එතන ප්‍රේම සම්බන්ධතාවක් ඇති වෙනවා. ඒත් ඒ සම්බන්ධතාව facebook එකේ in a relationship ලෙස දැමූ පමණින් වත්, මල් පැකේජයක් භාවිත කරමින් දවස පුරාම කතා බහ කළ පමණින් ආදරණීය ආධ්‍යාත්මික බැඳීමක් වෙන්නේ නෑ. මා පිළි ගන්නා ලෙසට ආදරය තුළ නීති කියලා දෙයක් පැවතීම අනවශ්‍යයි. හේතුව ඔබට ලැබෙන ආදරය නීති දමා රක ගන්නට උත්සාහ කිරීමෙන් අවංකව තෘප්තිමත් වීමේ කිසිම හැකියාවක් නෑ. ඒ නීති බිඳ වැටුණු දවසක හෝ ඒ නීති බිඳ දමාගෙන යාමට අනෙකාට හිතුනු දවසක එයින් පීඩාවට පත් වන්නට සිදු වන්නේත් ඔබට ම වෙන්න පුළුවන්. 


ඒ වගේමයි, කෙනෙක් චපල වීම. කෙනෙක් ආදරය කරන කෙනා තමන්ට පෙරළා ආදරය නොකිරීම හෝ ආදරය කරන බව දක්වමින් ඉඳලා වෙනත් කෙනෙක් වෙත යාම නිසා චපල කෙල්ලෙක් හෝ කොල්ලෙක් විදියට හඳුන්වන්න යොමු වෙන්න පුළුවන්. නමුත් මොහොතකට හිතන්න. ඔබ ආදරය කරන කෙනාට ඔබ ආදරය කරන්නේ පෙරළා කිසි ම දෙයක් බලාපොරොත්තු නොවී නම්, ඔහු හෝ ඇය චපල වීමෙන් ඔබට දුකක් ඇති වෙන්න පුළුවන් ද? කොහෙත් ම ඉඩක් නෑ. 


ඔබ ආදරය කරන කෙනාට ආදරය කරන්න, ඔහු හෝ ඇය වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හෝ වෙනත් කෙනෙක් සමග කලින් සම්බන්ධතාවක් පවත්වා තිබීම හෝ ඔහු හෝ ඇය සමග කළ කී දේ ගැටළුවක් වෙන්නේ නෑ. ඔබට එය ගැටළුවක් වන්නේ නම් ඒ ඔබ ආදරය ලෙස රාගය පටලවාගෙන තිබීම නිසා.. අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ. ඒත් ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒ නිර්මල බව අවබෝධ කර ගන්න අපි මාර්ගඵල ලබා ගැනීමක් අවශ්‍ය නැහැ. ඔබ ආදරය කරන කෙනාට ගැඹුරින් ආදරය කරන්න. පෙරළා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. යම් හෙයකින් ඒ කෙනා ඔබේ ආදරය අවබෝධ කර ගත්තොත් ඔබේ අනෙක් හැගීම් වලටත් ඉඩක් ලැබේවි. ඒත් එහෙම උණා කියලා නීති දාලා හිර කර ගන්න උත්සාහ කරන්න එපා. මොකද, ඒ නීති වලින් මිදිලා ඔහු හෝ ඇය ඉගිලිලා ගිය දවසක ඔබට බොහොම දුක් වෙන්න සිදු වේවි.. ඒ ආදරය නිසා නෙවෙයි. ආදරය ලෙස ඔබ තෘෂ්ණාව පටලවා ගෙන නිසා..


29 comments

  1. ගොඩක් දේවල් හරි, ඒත් සමහර දේවල් ප්‍රායෝගික මදි කියලයි මටනම් දැනෙන්නේ!

    ReplyDelete
    Replies
    1. සමහර විට.. ඒත් ඒ අපි හිතන විදියේ වැරද්දක් නිසා වෙන්න පුළුවන්.. සමහර විට අපි හිතන විදිය වෙනස් කර ගැනීමෙන් ඒ දේ ප්‍රායෝගිකයි කියල අපිට ම ඒත්තු යන්නත් පුළුවන්..

      Delete
  2. මන්දා.. මම අදටත් එයාට ආදරෙයි.. ඒත් දුක නැත්තේ නෑ..

    ReplyDelete
    Replies
    1. ආදරය කරද්දී දුක බලාපොරොත්තු විය යුතු ම යි.. හේතුව අනිවා ඒ දෙය ඔබට ලැබෙනවා..
      වෙනත් යමක් බලාපොරොත්තු වෙන්න එපා.. මොකද ඒ දේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්..

      Delete
    2. ආදරයේ දී දුක බලාපොරොත්තු විය යුතු ම යි.. මොන දේ නැතත් ඒ දෙය අනිවා ලැබෙනවා..

      Delete
  3. මල්ලී උඹට ලංකාවේ දේශපාලනය තේරෙනවද?

    මට නම් නෑ... හැබැයි මමත් මනුස්සයෙක්...





    ප.ලි. මෙයින් පෝස්ටුව නොතේරෙන බවක් නොඇගවේ...

    ReplyDelete
    Replies
    1. මට ද කිසිවක් නොවැටහෙයි..
      පොස්ටුව තේරෙන්නේ නම් මගේ වෑයම අසාර්ථක වී නැති බවක් දැනෙයි.. ඒ හා එකඟ වේ නම් වෑයම සාර්ථක වී ඇති බව මගේ හැගීමයි..

      Delete
  4. ඔය ආදරය උඹ මාර එකක් කියල හිතුවට ඒක එහෙම නෑ බං.ලෝකේ ඉස්සල්ලම බිහි වෙන්නේ sex.ඒවා ආදම්ට love කලේ නෑනේ.ඔහොම තමන්ගේ තෘප්තිය සදහා තියෙන මේ ශරීරීක ගණදෙනුවට පස්සේ අපි ශිෂ්ට නමක් දෙනවා ආදරය කියලා.අරක ගෙඩි පිටින් කියන්න මිනිස්සු බය නිසා කොලේ වහලා ගහනවා අධ්‍යාත්මික ආදරය කියලා.බම්බුව..love කයලා අදත් අපි ගොන් කමට හිතාගෙන හිටියට මේක පට්ට ශාරීරික ගණුදෙනුවක්

    ReplyDelete
    Replies
    1. හැබැයි ආදම් සහ ඒවා කායිකව එකතු වෙන්න කලින් ඔවුන් අතරේ ලොකු මානසික බැඳීමක් තිබුණා. ඒ බැඳීම ඇති වුණේ sex කියන්නේ මොකද්ද කියලා වත් ඔවුන් නොදැන හිටපු කාලේ. ඒ හින්දා ආදරය කියන්නේ බොරුවක් ම යි කියන්න බෑ..

      Delete
  5. අන්තිමට ලියලා තියෙන ටිකනම් සම්පූර්ණ ඇත්ත.. මාත් ඒ අදහස් වලට එකගයි..

    ReplyDelete
    Replies
    1. අයියාටත් අත්දැකීම් තියෙනවා වගේ.. නේ??

      Delete
  6. තව ටිකක් ගැඹුරට හිතන්න මල්ලි. ආදරේ කියන්නෙ ගනුදෙනුවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ආදරය ගනුදෙනුවක් නෙවෙයි අයියේ.. ඒත් අපි ඒක ගනුදෙනුවක් කර ගන්න සහ එහෙමයි කියල හිතන්න උත්සාහ කරනවා.. එතන දී තමයි මේ හැම අවුලක් ම වෙන්නේ.. නේද?

      Delete
  7. හැමෝම ආදරේ කරන්නේ යමක් තමන්ට ලැබෙනව කියලා හිතාගෙන. දෙමා පියන් වුනත් තමන්ගේ දරුවෝ කවද හරි එයාලට සලකාවි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් තමන්ට දෙයක් නොලැබුණා කියලා දෙමව්පියන් තමන්ගේ ළමයින්ට තියෙන ආදරය අඩු කරනවා ද? එහෙම වෙනවා නම් ඒ දෙමව්පියෝ වැඩක් ඇති අය නෙවෙයි. තමන් සංසර්ගයේ යෙදීමෙන් කර ගත්ත වැරැද්ද වහ ගන්න දඟලන පිරිසක්.. ආදරය කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්..

      Delete
  8. ආදරය කියන්නේ ගරු රඟපෑමක්

    ReplyDelete
  9. ආදරය ගැන මට හිතෙන දේ කිව්වේ.. මගේ මතය 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒත් ඒ විදියට ආදරය කරන්න පුළුවන් නම්, ආදරයෙන් පරාජය උණා කියල මහා ලොකු දුකක් දැනෙන එකක් නෑ..

    ReplyDelete
  10. adarayen kaika thrupthiyak balaporoththu weema waraddak.bt manasikawa thrupthiyak balaporoththu wenawa.anith hama idea 1 kata ma 100% agree...

    ReplyDelete
    Replies
    1. කායික තෘප්තිය බලාපොරොත්තු නොවෙනවා නම් ඒ කෙනා සාමාන්‍ය හැගීම් තියෙන කෙනෙක් වෙන්න බෑ.. මොකද අපි හැමෝ ම කායික වින්දනයක් හිතේ කොනක තියාගෙනයි ආදරේ කරන්නේ.. ආදරය කියන්නේ sex නෙවෙයි. ඒත් ආදරයේ අවසානයේ sex තියෙනවා..

      Delete
  11. ආදරය කියන්නෙ ගනුදෙනුවක්, කොළ හංගල සෙල්ලම් කිරිල්ලක්... එහෙම නැතුව කියනව නම් මාතලන් අයිය කියල තියෙනව වගේ ගරු රඟපෑමක්...

    පෝස්ට් එකකට මාතෘකාවක් දුන්නට ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. ඒත් අපි කොල හංගන්නේ අපෙන් ම යි නේද?? අපි අපිට ම කොලේ වහගෙන...

      Delete
  12. ආදරය කියන්නෙ ආත්මාර්ථකාමී හැගීමක්!
    (බොහෝවිට )

    ReplyDelete
    Replies
    1. ඒත් ආත්මාර්ථයෙන් තොරව ආදරය නොකරන තාක් ආදරය කියන්නේ දුකට හේතුවක්..

      Delete
  13. ආදරේ කියන්නේ sex නෙමේ...
    sex කියන්නෙ ආදරෙත් නෙමේ...
    ආදරේදී sex ඕන...
    ඒත් අනිසි විදියට නෙමේ...

    ReplyDelete
  14. හරියටම හරි... ආදරේ කියන්නෙ දෙන දෙයක්, බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි.

    ReplyDelete
  15. ආදරය ගනුදෙනුවක් ..නිවන් නොදැකපු රහත් නොඋන පුද්ගලයන් විදිහට ,ආදරය දීල ආදරය බලාපොරොත්තුවෙනව බොහෝම දෙනෙක්.ඉතින් ආදරය ගනුදෙනුවක්.හැබැයි ආදරය ලාභ පාඩු විද දරාගන්නා ගනුදෙනුවක්,එතන ආදරයක පැවැත්ම රදනව...

    ReplyDelete
    Replies
    1. ආදරය පුජනීයි කිව්වට, අපි ඇත්තට ම ආදරේ කරන්නේ, ආදරය කළ යුතු විදියට ද? එහෙම විදියක් තියෙනවා ද? අනේ මන්දා..
      මේ පැත්තේ ආවට ස්තුතියි!!
      ජය වේවා..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading