කන රිදෙන්න හෝන් ගහන
පාට පාට, ලොකු ලොකු කාර් වල
සයිලන්සර් පිහිදා ගෙන ඇවිත්
දාඩියට මුහුණේ ඇලුණු
කළු පාට - දුම් රොටු
දුඹුරු පාට - දුවිලි
සෝදා ගෙන,
පයිප්පයෙන් එන
මලකඩ වතුරෙන්,
තෙත මාත්තු කර
සායම ගිය
චීත්ත ගවුමේ
දිග ඇරුණු බෝරිච්චි අතින්,
ඉරුණු කෙලවර සඟවගෙන..
අව්වට තඹ වුණු
කිවුලට සේදුනු
කෙස් ගුලිය උණ්ඩි කර බැඳ
වරෙන් නුඹ,
හන්දියේ
අපේ ප්‍රේම යාත්‍රාව
ගාල් කරන තැනට..
වෙනදා වගේ ම
පෙම් මුල්ල අල්ල ගන්න
මට කලින් නුඹ'විත් හිටපන්
බස් නැවතුම් පොලට..
ආදරියේ..
අළු පැහැ මුහුණට
වත්සුණු මොකට ද?
රතු වුණු දෑසට
අංජන මොකටද?
පිච්ච රටා නැති වුණාට
තඹ පාට කෙස් වල,
තවමත් සුවඳයි
ඉස්සර වගේ ම..
අපි පොහොසත් වුණාම
මහපොළ ලැබෙන දාට
වරෙන් කැන්ටිමේ කෙලවර
පාළු මේසයක් ළඟට
අපේ ප්‍රේමය සමරන්න
අමෘතයට ටිකක් අඩු රස
තුනේ ප්ලේන්ටියක්
තොල ගාන්න..
අඹ ගහ යට බැංකුව උඩ
මගෙ පපුවට තුරුළු වෙලා
මුළු ලෝකෙම අමතක කර
අපිට අපි අමතක වෙන්න
නළලට නොවෙයි,
දෙතොලට හාදුවක් දෙන්න...