Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts

සඳ - හිරු - තරු

Wednesday, April 30, 2014

සඳ නැගෙන විට - සඳේ තනියට
සිය ගණන් තරු මැවෙනවා 
නිල් ගුවන් තෙර - අඳුරු මුලුවල
තරු යුවළ පෙම් කරනවා 

හිරු නැගෙන විට - සඳට පෙම් කළ 
තරු එකින් එක මැකෙනවා 
තරු නැතත් ලොව - එළිය වනු දැක 
නිරාමිස සුව විඳිනවා 

සෙනගක තනි වී - තරු මතක් වී 
හිරු ද කඳුලැලි හෙලනවා 
හෙලන සුසුමන් - නගන කඳුලැල් 
අඳුරු වලාවල රැඳෙනවා 

තවත් මොහොතක - හිරු ද ඉඳහිට 
සඳට රහසින් නැගෙනවා 
සඳුත් නොදැන ම - බියපත් තරු රල 
හිරු නොදැක ම මැකෙනවා 

සඳුට රහසේ - හිරුට පෙම් කළ 
පහන් තරුවක් තිබෙනවා 
හිරුගේ තනියට - තවම ඉඳ හිට 
අලුයම් අහසේ නැගෙනවා..

අහවර පෙමක්

Tuesday, March 11, 2014

උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග

ඕ නොදන්නී ය - කවියක් වන වග
මිහිරි මතකය - එක් සොඳුරු යුගයක
ප්‍රේමය මළ තැන - හර බැර එක් කර
හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ

සයුර හඬන තැන - අඳුරු වලා මැද
රිදී ඉරක් විය - මැවෙන මැකී යන
ගල් දෙබොක්කාවක - රළ මැරෙන තැන
වැටකෙයියා කටු ඇණී - මියැදුණේ ය අපේ ප්‍රේමය

එහෙන් මෙහෙන් එකිනෙක අහුලා ගෙන
දුහුවිලි පිහිදා අත්ලෙහි ගුලි කල
පිළිවෙළක් නැති හැඟුම් පොදි ඇත
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය


දුම්රියේ දී ඇය ව දුටුවෙමි!

Thursday, January 9, 2014

දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!

විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි ඒ නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..

මෙතෙක් කල් මා නුදුටු ඒ රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇය' රුව
දිගු රැයක සිත හඬවන ඒ රුව

කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී ය - මට ඉගැන්වූ ඇය..

නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...


'
මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.

"
නිවැරදි කල යුතු ය ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..

"
හිටපිය ඔතැන, ඔහොම ම!"
හඬ නගයි මා හෘද සාක්ෂිය.

බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...

නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."

වියළි තන පුඩුව, බිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා ය ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට.. 

අවසානයේ සමනලයා මිය ගියේ ය.

Friday, November 15, 2013

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.

හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.

සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ

පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ ය පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.


තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ ය
මටසිළුටු තටු .

ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා ආ රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...

සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.




අරුත නුඹ නම්

Thursday, November 14, 2013

කවි සිතක නැගී දුක් හැඬුම්
සිඳිමි බිඳ ලමි නිය පිටින්
රිදෙන නෙත් යුග සනසමින්
කඳුළු පිසලමි වී සඳ කැළුම්..

නුඹ ලියන කවි කියවමින්
දෙතත් විවරණ මදහසින්
අරුත මා මිස අනෙක් නොව බව
දතත් නො විමසමි වදනකින්..

අකුර නිමියේ නගන පහන් පෙම
එළිය කරවයි ජීවිතේ 
අරුත නුඹ නම් ඇරඹුමෙහි සිට
ඉඩක් කුමට ද සිහිනයේ?

ප.ලි. :
වර්ෂා නංගිගේ කවියකට ලියපු පිළිතුරු කවියක්..කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබුණු එකේ බ්ලොග් එකේ පල කරන්න හිතුණා. 

සර්ව ආගමික ප්‍රේමය

Thursday, August 22, 2013





අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...





පින්තුරය උපුටා ගැනීම : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ6KYNQzYxOl_KJrRakcpv-A6JWwQa1z-hx9QeVVs43EQGrd7VmyN6PzmPrOPXeLT1uPMtI8tRAnDmgPKg7ekOY3gVTktNuiNp7BuBK8TSj7eQ75wRbBbAzDZ27PNyb887WaikY_TvFiw/s600/weddingar600.jpg

සරසවියේ පෙම්වතියට 2

Saturday, July 6, 2013



තවත් යන්තම් - පාට වැටෙන්නට
වත දොවනා නුඹ , දුහුවිලි යන්නට
දෝතට පුරවා - මලකඩ කිරි ගෙන
ක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මම

හෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන
එළලු කෙලවර - හොරෙන් සඟවගෙන
මැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙස
මලකඩ පාටින් - නුඹ වෙයි ලස්සන

ප්‍රේම යාත්‍රාව - නැංගුරම් ලන තැන
බස් තොටේ අපෙ - පුරුදු තැන වෙත
ඇවිත් හිටපන් - හැකි නම් මට පෙර
දිනා ගනිමු අපි - පෙම් මුල්ල සටන් වැද

මහපොළ දවසට - අපි පොහොසත් වන
කැන්ටිම කෙලවර - තනිවුණු මේසෙට
රුපියල් දිය කර - ප්ලේන්ටියක් ගෙන
ප්‍රේමය සමරමු - අනෙකුන් මග හැර..

හෙට ගැන සිහි කර - අපෙ උන් මග හැර
පීඩිත පන්තිය - වෙනුවෙන් හඬ දෙන
නුඹ තුරුලට ගෙන - ලොව අමතක කර
දෙතොල සිඹිමි මම - නළලත මගහැර..

ප.ලි :
මෑතක දී බ්ලොග් පල කරපු කවියක් ම ටිකක් සංස්කරණය කරන්න හිතුණා. අමතක වීමකින් නෙවෙයි, බ්ලොග් එකේ පල කළේ දයානන්ද අයියාගේ අදහසකට අනුව! මේ ගැන අදහස් දැනගන්න කැමතියි!
 :)

සරසවියේ පෙම්වතියට

Tuesday, May 28, 2013



කන රිදෙන්න හෝන් ගහන
පාට පාට, ලොකු ලොකු කාර් වල
සයිලන්සර් පිහිදා ගෙන ඇවිත්
දාඩියට මුහුණේ ඇලුණු
කළු පාට - දුම් රොටු
දුඹුරු පාට - දුවිලි
සෝදා ගෙන,
පයිප්පයෙන් එන
මලකඩ වතුරෙන්,
තෙත මාත්තු කර
සායම ගිය
චීත්ත ගවුමේ
දිග ඇරුණු බෝරිච්චි අතින්,
ඉරුණු කෙලවර සඟවගෙන..

අව්වට තඹ වුණු
කිවුලට සේදුනු
කෙස් ගුලිය උණ්ඩි කර බැඳ
වරෙන් නුඹ,
හන්දියේ
අපේ ප්‍රේම යාත්‍රාව
ගාල් කරන තැනට..
වෙනදා වගේ ම
පෙම් මුල්ල අල්ල ගන්න
මට කලින් නුඹ'විත් හිටපන්
බස් නැවතුම් පොලට..

ආදරියේ..
අළු පැහැ මුහුණට
වත්සුණු මොකට ද?
රතු වුණු දෑසට
අංජන මොකටද?
පිච්ච රටා නැති වුණාට
තඹ පාට කෙස් වල,
තවමත් සුවඳයි
ඉස්සර වගේ ම..

අපි පොහොසත් වුණාම
මහපොළ ලැබෙන දාට
වරෙන් කැන්ටිමේ කෙලවර
පාළු මේසයක් ළඟට
අපේ ප්‍රේමය සමරන්න
අමෘතයට ටිකක් අඩු රස
තුනේ ප්ලේන්ටියක්
තොල ගාන්න..

අඹ ගහ යට බැංකුව උඩ
මගෙ පපුවට තුරුළු වෙලා
මුළු ලෝකෙම අමතක කර
අපිට අපි අමතක වෙන්න
නළලට නොවෙයි,
දෙතොලට හාදුවක් දෙන්න...




සඳ, නුඹ බැස යන්න...

Monday, April 22, 2013

තරු කැටවල තනි රකින්න
නෙක තරු මැද සඳක් වෙන්න
කළුවර රැය එළිය වෙන්න
රෑ අහසට නුඹ නැගෙන්න..

හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න
දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න
සංහිඳ ළඟ නතර වෙන්න
මල් පහන අරන් නිවාලන්න..

නුඹේ මතක මන්දිරයේ
එළිය දැනෙන පාළු පැලේ
අගුවක හෝ පිල්කඩයේ
බිම් අඟලක් මට සෑහේ!




සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය

Saturday, April 20, 2013

නුඹට වෛර කළ කඳුළ,
බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,
නුඹ වෙනුවෙන් වග උත්තර බඳින
මගේ නෙත් බොඳ කළා...

නුඹට වෛර කළ කේශ නාලිකා,
නුඹ දැක ගන්නට
නොනිත් ආශාවෙන් පෙළුණු
දෙඇස, ලෙයින් පිරවුවා..

නුඹ වෙනුවෙන් නික්මන්න
අකමැති වුණු ඉකිය,
නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම
මොහොතකට ඇද සිර කළා..

නුඹේ සුවඳට වෛර කළ නාසය,
ඒ සුවඳ යළි නො එන්නට,
ඇසෙහි පිරවුණු කඳුළු ගෙන
සංවේදක වසා දැමුවා..

නුඹේ හඬ අසන්නට රිසි ව
වට පිට බලන විට හිස,
නුඹේ හඬට වෛර කළ දෙකන්
තදින් අගුළු වැටුණා..

සර්වාංගය දෙපිළකට බෙදී
නුඹ නිසා ගැටෙන විට,
අන් මත නො ඉවසූ සිත
නුඹ වෙත ම සිත් ඇති ව
නුඹ වෙන අතක යනු දැක
හදේ දොරගුළු වසා දැමුවා!

සොබාදහම සහ අනුවර්තනය

Monday, December 3, 2012

කිඩාරම් මල් පීදිලා - නැවුම් සුවඳ නෑ වියැකිලා.
නියඟලා අල විෂ වෙලා - මහ පොළොව යයි ඉරිතලා.

ගසුත්, කොළ අතු වියලිලා - බුරුත, නැදුන් ගස් මැලවිලා.
ලූණු කොළ, කඳ වියලිලා - දුවිල්ල එහි පැටලිලා.

තෙතක් නැති දිව වියලිලා - ලෙයක් නැති ශිරා හැකිලිලා
හාමතේ, පිපාසෙන් මත් වෙලා - ඇත්තු මියැදෙත්, කතර තනි වෙලා.

හමන හුළඟක දැවටිලා - සුමුදු වළා රැළි, එයි ගලා
වැටෙයි මහ වැහි ගුගුරලා - වියළි ඉරි බිම ඇඳි මකා

නැවුම් පුසුඹ එන විට හමා - ලූණු දලු යළි මතු වෙලා..
බුරුත නැදුන් කඳ තෙත් වෙලා - එහෙත් ඒ නෑ පණ ලබා..

සංසාරගත ප්‍රේමය

Saturday, November 10, 2012


මා මුසපත් කරවන
උපුල් නයන යුගැත්තිය,
කන මී සා මිහිර වගුරන
සිහින් සරැත්තිය,
නෙතඳුන් සා දසුන් මවන
සියුම් රුවැත්තිය,
අමා රසයෙන්
ම' සිත කුල්මත් කරන්නිය,
දිමුතු දසන් දිදුලවා
මුතු සිනා වස්සානය හැඩ කරන්නිය,
ම' පුන් රත් පියුම නුඹ
සිත් විල සරසවන්නි ය..


ශ්වේත වර්ණ වළා වියන යට
සුපුෂ්පිත නේක කුසුම් මැද
පංච කල්‍යාණිය,
නුඹ විරාජමානවන්නීය..

පබාවතිය සේ නුඹ,
වීරිය පෙරුම් පුරවන්නී ය.
මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,
සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...

සංසාර සයුරු වෙරළ අසබඩ
නුඹේ නවාතැන පල වෙත,
තීර්ථ යාත්‍රාව පදවන්නා වෙමි මම
පරිබ්‍රාජක වෙස් ගෙන..














විසූක දස්සන

Wednesday, October 31, 2012

යතුරු ඉගිලෙත්
ළඳුන් වෙත වැදහෙත් මුණින්
දහස් පියලි වටනා
යකඩ අස් රියවල උනුන් සතු..

සැලෙත නාරි ලතා කැල
හැඩති බඳ ළෙලවමින
මද පවන නොවැද,
බෙර හඬට, රන් රුවැතිව
රනින් දිදුලන පහන් සිල ලෙද..

සොටු පෙරාගෙන
හඬත බිළිඳු ඈත
නොලැබ සුහුරු පිටි කිර
බෝතලයට වත් කර..


'අම්මා නුඹේ කිරට ගියා'
කියත් එහි වූ මැහැලියෝ
අරුත් නැති පදයක් මිස
වෙනෙකක් නැති ලෙස..

අරුණලු නැග එයි
තවත් අය එක්වෙති,
බැඳෙති එකෙකා
යෙදෙති උහු
උනුන් හා රමණයෙහි..

රිද්මය නංවයි පෙර ලෙස රළ බිඳ

Tuesday, September 25, 2012

මුහුදු රැල්ලක්
ඇතුලේ සැඟවුණු
පෙණ කැටි අහුරක
සිර වුණු ඉකියක්
හැඬවුණු මොහොතක
නුඹ හා මා හුන්
වෙරළ පසු කළ
තුන්වෙනි පන්තියේ
දුම්රිය මැදිරිය
දෙදරා වැළපෙනු
අසා උන්නෙමි මම
සැන්දෑ යාමෙක.

පෙර එක් දවසක
සැන්දෑ මොහොතක
මා තුරුලෙහි හිඳ
නුඹ කල් ගෙවූ
ඒ ගල් කුළු මත
වෙන වෙන අය අද..
ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

දුයිෂෙන් නොකී කවිය

Sunday, September 16, 2012

සැඩ සුළඟ, මද පවනක් ව
තුරු ගොමු සිසාරා හමන
වියළි හිම කැට
තෙත බරිත වී
ධවල කඳු හිස්
සුනිල්වන් වන
සුපුෂ්පිත කුසුම්හි මකරන්දය
බඹර පහසින් ගෙත්තම් වන
වසන්තය එළඹෙන තුරු
කටුක ශිශිරය අවසන් ව,
බලා හිඳිමි මම
පොප්ලර් අතු අතරින්
තිමිරය ඉරාගෙන
නැගෙන හිරු දකින්නට..

කඳු ඉහත්තාවේ
පාසලට ඉහළින්
නුඹ  ගුරු තරුව කරවා,
පොප්ලර් ගස් සෙවනෙහි හිඳ
යළිත් ගුරු ගීතය ලියන්නට
අල්තීනායි විය නොහැකි ය මට..

නුඹේ තේජස ඉදිරිපිට
යළිත් තේජස් වන අයුරු මට
උගන්වනු මැන කමා කර
සුලෙයිමානවා මැතිණිය..

අසරණව නුඹ නොදැක නික්මුණ
වියපත් ලියුම් බෙදන්නා වෙමි මම..

නගරය

Saturday, September 8, 2012

ආං බලාපියව්...
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!

තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?

හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..

ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..




ඇය සහ හදවත

Thursday, August 16, 2012

ඇඟ හිරිගඩු පිපෙන
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..

ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..

කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..

මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..

නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..

ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..

ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,

වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..







පුළුන් සහ කළු ගල්

Sunday, July 15, 2012

සැහැල්ලු ය
සුදු ය, මුදු ය
සුමුදු ය පුළුන්..


අසා උන්ගේ බස
සොයා ගියෙමි මම
පුළුන්..

රූස්ස ගසක හිස රැඳී
ගෙඩියක් පුපුරා
පාවී ආවේ ය
මහා ගොඩක්
පුළුන්..

අල්ලා ගන්නට නොහැකිව
සියුමැලි ද බලන්නට
පසුපසින් ගියෙමි පා වී යන
පුළුන්..

කපු කටින තැන
නූල් වී එතෙන
ඒ නූල් වලින්
කම්බා වියෙන
තැනට වී
අතගා බැලුවෙමි
පුළුන්..

මතුපිට නම් රළු ය
තරමක් අවශෝශී ය
හිතුවාට වඩා
දැඩි ය
පුළුන්..

එන්නට ආමි නික්මී
එක්වෙන, වියෙන
කන්දක් ව රැඳී
පුළුන්..

මග රැඳී අයෙකි
අතෙහි රැඳී කටුවකි
සියුමැලි ව හැඩගැසෙන
සුවිසල් කළුගලකි..

පුළුන් සේ සුදු නැත
පා වීමක් ද එහි නැත
සැහැල්ලුවක් නැත
නමුත්..
කැටයමකට
එය අනුගත ය..


වටහා ගත නොහී එය
සිතුවෙමි මම..
මේ තරම් සියුමැලි ද
කළු ගල්??


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

මගේ පුංචි කුමාරියේ

Wednesday, July 11, 2012

මැද පෙරදිග ගිනි අව්වේ
වියළි කටුක දුහුවිල්ලේ
සෙවණක් නැති වැලි කතරේ
දැවුනු වතට සිසිල දෙන්න
සීගිරියට නැගෙනා හිරු
කොටු පවුරට මුදුන් වෙලා
රූමස්සල කඳු අතරින්
මැකිලා යන හැටි බලන්න
මකරන්දය ගලා හැලෙන
සිහිල් මිහිරි උදෑසනේ

බඹරුන් නැති සුළඟ වෙතට
නුඹේ ලපෙති දිග හරින්න..


දවස පුරා වෙහෙස වෙලා
දැනෙන වෙහෙස නිවා ලන්න
වසන්තයේ සුළං රොදක්
මගෙ කුටියට කැඳව ගන්න
ඔහේ හමන ඒ සුළඟට
නුඹේ සුසුමක් මුසු කරන්න
මා එන තුරු සුවඳ මලේ
නුඹේ සුසුම් නොහෙලා ඉන්න..

නුඹේ උකුලේ හිස තියාන
දෑස් එක්ක හිනා වෙන්න
මැවිසුරු වී මට ලෝකෙට
නුඹේ ලෝකෙට ඉරක් වෙන්න
වෙදැදුරු වී නුඹ ලෝකෙට
මගේ ලෝකෙට සඳක් වෙන්න
මගේ පුංචි කුමාරියේ
හද මඩලට වැඩමවන්න..



Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

සිත්තරා රැවටීම

Tuesday, July 10, 2012

ජීවිත උයනේ
සක්මන් කරනා
සිංහ රුවක්‌ ඔහු
සිතුවම් කෙරුවා..
වෘක වෙසක් ගෙන
සිත්තර රවටා,
සිඟාලයෙකු සේ
හූ හඬ නංවා,
සුලු දිය පහ කොට
සුනඛ විලාසෙන්,
කපටි සිංහයා
සිනාසුනා..

ඒ දිය වැදිලා
සිත්තර සිතුවම්
පාට බොඳ වෙලා
දහදිය වැගිරෙන
දෑතහි දිය වී
කාසි කොළ වල
පාට හේදිලා..


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.
 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading