Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Showing posts with label ගීත. Show all posts
Showing posts with label ගීත. Show all posts

සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)

Tuesday, December 3, 2013

අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ.
මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.

වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..

තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.

පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා.

ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..

මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..

කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.

ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.

තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා.

මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ.  ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා.

තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.

වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ ?

අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.

ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.


පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ


සර්ව ආගමික ප්‍රේමය

Thursday, August 22, 2013





අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...





පින්තුරය උපුටා ගැනීම : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ6KYNQzYxOl_KJrRakcpv-A6JWwQa1z-hx9QeVVs43EQGrd7VmyN6PzmPrOPXeLT1uPMtI8tRAnDmgPKg7ekOY3gVTktNuiNp7BuBK8TSj7eQ75wRbBbAzDZ27PNyb887WaikY_TvFiw/s600/weddingar600.jpg

ගීතයක් ගැන : සුභාරතී මැණිකේ

Wednesday, July 10, 2013

අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා.

මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ.

දුෂ්කර, කටුක එකක් වුණු මේ චාරිකාව අපේ කතා නායකයාව බොහොම වෙහෙසට පත් කරනවා. තැඹිලි මිශ්‍ර දුඹුරු පාටින් දිලිසෙන, අව්වට පුපුරු ගහන කාන්තාරයක් වගේ ගමන් මග අතරමැද එක්තරා තැනක දී ඔහු ගමන් කරන රථය නවත්වන්න සිදු වෙන්නේ පාර මාරු වෙන, සිය ගණනක් වුණු එළු රංචුවකට ඉඩ දෙන්න. පැය ගණනක් තිස්සේ හුරු වුණු ඒකාකාර දර්ශන පථය වෙනස් කරමින් මතු වුණු මේ දර්ශනය රථයේ හුන් පිරිසට බොහොම චමත්කාර ජනක එකක් වුණු බවට සැකයක් නැහැ.. බොහොම පිළිවෙලකට දක්කාගෙන ආ මේ එළු රංචුවේ ගොපල්ලා නම් පෙනෙන්නට හිටියේ නෑ. විමසිල්ලෙන් බලද්දී, තරමක වෙලාවකට පස්සේ, එළු පැටවුන් අතරින් පුංචි කෙල්ලක් මතු වෙනවා. මේ පුංචි කෙල්ල, බොහොම සුරුවමින් එළු රංචුව පාලනය කරනවා දකිද්දී මේ ලස්සන දර්ශනයේ නිර්මාණ කාරියත් එක්ක වචන කිහිපයකින් දොඩමලු වෙන්න අපේ කතා නායකයාට සිත් වෙනවා.

ඇය වෙත පාන මද සිනහවට ඇයත් පෙරලා දක්වා සිනාසෙනවා. මේ සිනහව ඔවුනොවුන් අතරේ කතාවක් ඇති වෙන්න මග පාදනවා.


"දුවගේ නම මොකක් ද? "

ඔහු බොහොම ආදරයෙන් අහනවා..

"සුභාරතී මැණිකේ"
ඇය නළලට වැටුණු කෙස් රොදක් පසුපසට කරමින්, කටකාර කෙල්ලක් වගේ පිළිතුරු දෙනවා..

"සුභාරතී මැණිකේ.... සුභාරති කියන්නේ දෙමළ නමක් නේ.. මැණිකේ කියන්නේ සිංහල නමක්.. දුව සිංහල ද? දෙමළ ද?"

ඔහුට තවත් ප්‍රශ්නයක්.. මේ ප්‍රශ්නයට නම් කටකාර කෙල්ලගෙන් පිළිතුරක් නැති හැඩයි.

ඇය නොදන්නා බව හඟවන්න හිස දෙපැත්තට වනනවා..
විස්තර දැන ගන්නා අදහසින් ඔහු තවත් ටිකක් කතා බහ කරනවා..

"දුවගේ අම්මාගේ ගම කොහෙද?"

"මෙහේ ම තමයි.."

"එතකොට තාත්තා .?"

"ගාල්ලේ ඇත්තිලිගොඩ"

ඇගේ පිළිතුරෙන් ඔහුට කතාව අවබෝධ වෙනවා..

ඇත්තට ම තමන් මුලින් ඇගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර මොකක් ද? තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ඇය ළඟ විතරක් නෙවෙයි, තමන් ළඟත් නැහැ නේ ද කියලා ඔහුට වැටහෙනවා.. ජාති, ආගම් භේද කොයි තරම් දුරකට මිනිස්සු බෙදන්න භාවිත වුණත්, ඒ බෙදීම් කොයි තරම් නොදියුණු ගණයේ ඒවා ද කියලා ඔහුට අවබෝධ වෙනවා.. ආදරය හමුවේ ඒ බෙදීම් නැති ව ගිහින් මනුෂ්‍යත්වය නම් හේතු සාධකය ඉදිරියට එනවා. මේ මනුෂ්‍යත්වය ඉදිරියේ කිසිම බෙදීමක් තවදුරටත් වලංගු වෙන්නේ නැහැ..

අපි මෙතෙක් කතා කළ 'කතා නායකයා' ප්‍රවීණ ගීත රචක, 'රත්න ශ්‍රී විජේසිංහයන්'..

මේ සංවේදී සිදුවීම ඔහු අතින් ගීතයකට නැගෙනවා.. මේ ගීතයේ එක්තරා විශේෂයක් තිබෙනවා.. මේ රචකයාගේ සෙසු බොහෝ ගීත වල දී වගේ ම මෙහිදීත් ඇත්ත ම නම් ගම් ම භාවිත වෙනවා. මේ පද මාලාව තවත් අලංකාරවත් වන්නේ ජානක වික්‍රමසිංහයන්ගේ මියුරු හඬින්..

නින්දවුර් කලපුව ළඟ - ඔලුවිල් යන පාරේ
නින්ද නැති ඇහෙන් බලනා - සුභාරතී මැණිකේ
මට ලියන්න බැරි කවියේ - මට ලියන්න බැරි කවියේ...

යුද්ධය ඇවිත් මුළු ගං ගොඩ - ගිනියම් වුණු දවසේ
ගං සූරිය මලක් වගේ - මැලවී ගිය මුහුණේ
ඇත්ත කියාපන් නංගියෙ - කඳුළු නේද තිබුණේ..

අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේ
අම්මා නුඹේ මඩකලපුවෙ බත තිරි කර දුන්නේ
රත්තරනේ නුඹ කව්රුද - සිංහල මට නොදැනේ...

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : ජානක වික්‍රමසිංහ

ගීතය මෙතැනින් අහන්න.

දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)

Sunday, March 3, 2013

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.

නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ලබා දීමට සුදුසු ම පුද්ගලයා වන්නේ එහි කතුවරයා යි. එසේත් නැතිනම් පද රචකයා යි. සයිබරය තුළ ඔබ මොබ සරද්දී හමු වුණු තවත් එක් සුමධුර ගීයක් පිළිබඳව, එහි පද රචකයා විසින් ම තබන ලද සටහනකි මේ..

ගීතය : දුල් මන බැන්ද
ගායනය : ශානිකා මධුමාලි
පද රචනය : නාරද විජයසුරිය
සංගීතය : උදාර සමරවීර




රාගයෙන් තොර ප්‍රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්‍රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?

සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !

යොවුන් ප්‍රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්‍රේමය හරහා පමණි !

එහෙයින්ම අපි ප්‍රේමණීය ලෙස ඉඳුරන් සතපවමු ! ප්‍රේමයක් නොමැතිව ආශාව පමණක් ඉටු කර ගැනීමට යාම සම්බෝල නැතිව ඉඳි ආප්ප ගිල දැමීමකි !

අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රේමය පිලිබඳ ඉරණම විසඳීම දෙයාකාරය ! මන්ද යත් ආශාවන් සතපා ගත් පසු ඉතිරිවන්නේ හිස් බවක් නම් ප්‍රේමයක් අත් නොදකින පිරිමියා පලා යයි ;
ගැහැණියට එසේ යන්නට නොහැක .ඇය " කන්‍යා භාවය " නම් දඬුවමෙන් බැඳ තබා ඇත .

දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා

ලෝකය මවන ලද්දක් නම් , සර්වබලධාරියා අසාධාරණයක් කර ඇත ; මහා බ්‍රහ්මයා අව සිහියෙන් සිට ඇත ! එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට
යටත් කරයි ,

ප්‍රේමය සහ ආශාවන් සන්තර්පනය කර ගැනීම මානුෂික අවශ්‍යතාවයකි ; වැඩිහිටි සමාජයට එය උහුලන්නට බැරිය ! සංස්කෘතිය සහ සභ්‍යත්වය ඔසවා එයින් පහර දී සමාජය ඉදිරියේ තරුණ පෙළ මාණසිකව ඝාතනය කරති .
වරක් ලත් පහස නැවත නැවත ලැබීමේ ආශාව උපතේ සිටම ජීවීන්ට පොදු ධර්මතාවයකි ;
යටපත් කර ගන්නා තරමට පොළා පනින ආශාවන් අත්‍යන්තයෙන්ම ස්වභාවික බව පිළිගන්නට
මේ ධාර්මික සමාජය ඔබට ඉඩ නොදෙයි !අපි අපව රවටා ගනිමින් සිටිමු

මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ

අවසානයේ අසරණ වන්නේ ගැහැනියයි ; අපේ සමාජය මේ කතාව කියන්නට අපූරු වාග් මාලාවක් යොදා ගනී . "පිරිසිදු කම නැති කළා " " ගැහැනියක් බවට පත් වුණා "

ගනු දෙනුවේ අනෙක් පාර්ශ්වය වූ පිරිමියාට කිසිවක් සිදු වන්නේ නැත . ඔහුව නාවා ගෙට ගත හැකිය ! ගැහැණිය සියලු පව් කර ගසා ගත යුතුය ! ඇය සමාජයට මැසිවිලි කියයි
" මාව අනාථ කළා " ඇතැම් විට ඇය "කන්‍යා භාවයම " ආයුධයක් කර ගනී .
තමා විසින්ම පොළඹවා ගත් පිරිමියා වරද කරුවෙකු බවට පත් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ගනී ! ආදරණීය සම්භෝගය අවසන් කර නැගිටින විට ස්ත්‍රී දුෂකයෙක් බවට පත් වී හමාරය !
ගල් යුගයේ පවා නොතිබුණු වනචාරී සංකල්ප දේවත්වයෙන් සළකන සමාජයකට ඔහොම වෙලා මදිය !
ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !
ගැහැනියගේ පැත්තෙන් මේ වනාහී වටිනා පුජා භාණ්ඩයකි ! ලේ තැවරුණු රෙදි කඩ වනාහී පාරිශුද්ධ භාවයේ සංකේතයකි ! එහෙයින් ප්‍රේමයේ සැබෑ ප්‍රහර්ෂය විඳ ඇත්නම් විවාහ වන්නට බාධාවකි ; පිරිමියෙකුට ඕනෑ තරම් ජීවිතය විඳින්නට අවසර තිබේ .
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැතැයි ඔවුහු දනිති !

සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ ......... //

පෙම්වතා හැර යාමෙන් තනිවන තරුණිය , ප්‍රේමය අහිමිවීමේ වියෝ දුකට වඩා වැඩි භයානක ඉරණමකට මුහුණ දෙයි , ඈ විවාහ විය යුතුය . ඒ පිරිමියෙකු සමගය . ඔහුද මේ තිරිසන් සමාජයේ අංශුවකි . තමා අතීතයේ කෙතරම් ගැහැණුන් සමග යහන් ගත වූවත් තම මනාළිය කාන්යාවක් විය යුතුය . විවාහයට මුහුණ දෙන තරුණිය ප්‍රේමය දත යුතුය ! කන්යාවියක්ද විය යුතුය !
මධු සමය අවමංගල රාත්‍රියකි ,
අපේ රටවල යොවුන් ප්‍රේමය ඛේදවාචකයකි !
මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ

(ගණිකා නිවාස සහ කන්‍යා භාවය පිළිසකර කිරීමේ ශල්‍යාගාර වලට ඇඟිල්ල දිගු කිරීමට මේ සමාජයට අයිතියක් නැත )

නාරද විජයසුරිය 



උපුටා ගැනීම : https://www.facebook.com/kwijewardena1/posts/408560075903765

පිදිය යුත්තෝ : ලයනල් රන්වල ශුරීන්

Sunday, April 15, 2012

මෑත යුගයේ දී ශ්‍රී ලාංකේය ජන සංගීතයේ ස්වර රටා යළි සකස් කර, නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කළ අයෙක් වේ නම් ඒ ලයනල් රන්වල ශුරීන් ම ය. අමරදේව ලා, කේමදාස ලා දකුණු ඉන්දීය සහ බටහිර සංගීතයේ අභාෂය ලබා ගනිමින් නිර්මාණ කරද්දී රන්වලයන් තෝරා ගත්තේ අපේ රටේ ම ජන සංගීතයයි. අවුරුදු කාලයේ අපට ඇසෙන අපේ සංගීත භාණ්ඩ වල අපේ රිද්මයත්, සොබාදහම සහ අපේ සංස්කෘතිය හා බැඳී සංගීත ස්වර වල ආශ්චර්යයත් මනාව ඉස්මතු කළ නිර්මාණකරණයේ යෙදුනු එතුමා සිහි කිරීමට මේ රබන් සුරල් වැයෙන අවුරුදු කාලය, සුදුසු ම කාලය විය යුතු බව මගේ හැගීමයි.
 මේ දිග හැරෙන්නේ එතුමාගේ ජීවිතය පිලිබඳ කෙටි සටහනකි.



1939 නොවැම්බර් මස 27 වන දා උපත ලැබූ ලයනල් රන්වලයන් ඉන්දියාවේ පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද අයෙක්. සිය සංගීත දැනුම නව පරම්පරාවට ද උරුම කර දීමේ අරමුණෙන් එතුමා 1959 දී සිය ගුරු ජීවිතය ආරම්භ කරන්නේ ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලයෙන්. වසර 38ක් පුරාවට කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ රටේ සංගීතය පිළිබඳව මනාව අවබෝධ කරවූ එතුමා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ, ශ්‍රී ලංකාවේ පළමු වන හේවිසි වාදන කණ්ඩායම ආරම්භ කරන්නේ 1964 වර්ෂයේ දී.

රන්වලයන් සංගීතඥයෙකු මතු නොව රංගන ශිල්පියෙක් ද වූවා. ඔහු ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් සිය දායකත්වය දක්වූ අයෙක්. ඒ අතරින් ස්වර්ණවාහිනියේ විකාශය වූ "රඟමඩල සමු ගනී" නාට්‍යය ප්‍රධාන වෙයි.

'ගම අවුලඥ්ඥං', 'මේ අවුරුදු කාලේ','වන්නම් සවුදම්' ආදී තවමත් මතකයේ රැඳී ගීත රැසක් එතුමා අතින් නිර්මානය කෙරුණු අතර දේශීය ජන සංගීතය රැක ගැනීම සඳහා 'තල මල පදනම' නිර්මාණය කිරීම ද එතුමා අතින් සිදු කෙරුණු කටයුත්තකි.

හදිසි අනතුරකට ලක් වීමෙන් 2002 නොවැම්බර් 13 වන දා එතුමා මෙලොවින් සමු ගත්තත් අදටත් ඒ හඬ ශ්‍රී ලාංකේය සංගීතාම්බරයේ විරාජමාන ය. එතුමාගෙන් පසු ඒ උතුම් කාර්යයට නැවතීමේ තිත තබන්නට සූදානම් නොවූ ලයනල් රන්වලයන්ගේ පුත් සහන රන්වල සහ චිරන්ත රන්වල අදටත් රට පුරා එතුමාගේ ප්‍රසංග පැවැත්වීම සැබවින් ම අගය කල යුතු කරුණකි.

අවුරුදු කාලය පිලිබඳ කියැවෙන රන්වලයන්ගේ 'මේ අවුරුදු කාලේ' ගීතය මෙතනින් ශ්‍රවනය කල හැකියි.

සබඳ..

Thursday, April 12, 2012




දෙතොලේ

මදහස්‌ රැළි නැංවේ
මියුරු සිනහවක
හඬ පැතිරේ
කලක් සෙවූ
පදරුත් ගැළපේ
අපේ මිතුදමේ
කව ලියවෙයි..

ගලා හැලෙන
නිල් දියරැළි මත රැඳී
සුළඟට විසිරෙන
පිනි බිඳු සේ දිළි
මනුසත් උයනක
සිරි අසිරිය රැඳී
සොඳුරු ම මිතුදම
අපේ ම වෙයි සකි..

සවිය නුඹයි මා
ළඟ හිඳ දිරි දුන්
හසරැල්ල නුඹයි මා
කඳුළැලි පිස දුන්
වෙන් වී නොයනෙමු
අපි මියැදෙන තෙක්
එක කුස උපදිමු
මතු භවයක යම්..

                                    ~Nj_A~

"සයුර මැද" ගීතයක් ලෙස ඔබ වෙතට එන වගයි!

Sunday, March 4, 2012

ගීත දෙකක් කළාට පස්සේ හිතුණා තවත් එකක් කරන්න.. ඒ වගේ ම සයුර මැද එකට තිබුණු යහපත් ප්‍රතිචාර නිසා ඒකට ගීතයක් කරන්න අදහස් කළා.

කලින් ගීත වල සංගීතමය පැත්තෙන් තිබුණු අඩුපාඩු පිළිබඳව ගොඩක් අය comments දාලා තිබුණු නිසා හිතුවා මේ පාර මුලින්  instrumental එකක් release කරලා බලන්න.. ගීතයට කලින්. මේ music ඒක අහලා අඩුපාඩු තියෙනවා නම් කියන්න..

මෙන්න track එක.

තනි වී..

Friday, September 16, 2011

Night Gypsy Half Moon


කුරහන් යායට
අටවක පිරිලා
කරල් වැනෙනවා
හඳ පානේ..
තරු නැති පැහැදිළි
හැඩි වී නැති
නිල් ආකාසේ..
එක තනි තරුවක්
බලා හිඳිනවා
හොරෙන් වගේ..
හමනා හුළඟට
හිත හිරි වට්ටන
වෙනදා වාගේ
තනිය දැනේ..
තරුවට සඳ ඇත..
මට අද නුඹ නැත
තරුවට එය
වැටහිලා වගේ...
පා වී ආ කළු
වලාකුලක් මැද
සැඟවී යන්නේ
හොරෙන් වගේ...




















ප.ලි.: තනි වී දැන් ගීතයක් ලෙසින් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඒ සඳහා පහත link එක භාවිත කරන්න..
http://nj-a.net84.net/thaniwee.mp3

දිරියෙන් නුඹ..

Thursday, September 8, 2011





කරගැට මතු වී
නුඹේ අත් රළු වී
විඩාව විඳි
වත කමල මිලින වී...
වියලි දෙතොල් අග
සිනහව වියැකී
වයසට වැඩියෙන්
නුඹ වියපත් වී..
දා බිඳු පිසින්න
පමා නොවී නුඹ
දරු දිවි රකින්න
දරනා වීරිය
මතු බුදු වන්නට
පුරනා පෙරුමන් වේවා..




 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading