Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Showing posts with label ආ ගිය තොරතුරු. Show all posts
Showing posts with label ආ ගිය තොරතුරු. Show all posts

අද අපේ රිසල්ට්ස් cover of අද අපේ තාත්තා - Ruhuna RockzZz

Wednesday, September 11, 2013

ජනප්‍රියත්වය යනු බොහෝ විට වර්තමානයේ නිර්මාණය වන ගීතයක ප්‍රධාන ම අභිමතාර්ථය යි. එසේ නිර්මාණය වී ජනප්‍රිය වන ගීත වල‍ට වෙනස් රූප රචනා යෙදීම හෝ ඒ ගීතවල තනු යොදාගෙන ලියැවුණු පද මාලා වලට රූප රචනා නිර්මාණය කිරීම අලුත් දෙයක් නොවේ.

නමුත් මෙසේ නිර්මාණය වන ගීත බොහෝ විට සමාජයේ උපහාසයට ලක් වෙයි. මුල් ගීතය විනාශ කරන බවට එහෙමත් නැති නම් කන බවට චෝදනාවට ලක් වෙයි.. විශේෂයෙන් ම ගීතයේ මුල් නිර්මාණකරුවා අපහසුතාවට පත් වීම මෙමගින් බොහෝ විට සිදු වේ.. මෙය ද අලුත් දෙයක් නොවේ.

නමුත් මෙසේ නිර්මාණය වන ගීතයක් මුල් නිර්මාණ කරුවාගේ ඇගයීමට ලක් වෙනවා නම්, එහෙමත් නැතිනම් එසේ කෙරුණු ප්‍රතිනිර්මාණය ප්‍රසිද්ධ කරවීම මුල් නිර්මාණ කරු අතින් ම සිදු වෙනවා නම්, එය සැබවින් ම අලුත් දෙයකි. අමුතු දෙයකි.

අපි එය කළෙමු. රුහුණු විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ දහතුන් වන ශිෂ්‍ය කණ්ඩායමේ අපි සාර්ථකව ඒ ප්‍රතිනිර්මාණය කළෙමු.

මේ දිනවල බෙහෙවින් ම ජනප්‍රිය ' අද අපේ තාත්තා' ගීතය අපි ප්‍රතිනිර්මාණය කළේ විශ්ව විද්‍යාල ජීවිතය, එහෙමත් නැතිනම් uni life එක සහ විභාග පදනම් කර ගත් පද මාලාවක් යොදා ගනිමිනි.

එය සාර්ථක ව තිබේ.. ඒ බව කියන්නේ අප නොවේ. ගීතය ඇසූ අපේ මිතුරු මිතුරියන් ද නොවේ. ගීතයේ මුල් නිර්මාණකරුවා යි.!



ඉතින් ඒ විශිෂ්ටත්වය කියන්නට මීට වඩා අටුවා ටීකා අවශ්‍ය ද?
රුහුණේ වීම ගැන අපිට ආඩම්බර නොවී සිටිය හැකි ද!!

ගීතය මෙතැනින් අහන්න/ බලන්න!!




මිතුරු දම් බිඳුණු පසු..

Tuesday, July 2, 2013

ජීවිතය නම් කෙටියි ආ මග
යා යුතුව ඇත තව බොහෝ දුර
කටු කොහොල් මැද - ගල් ගොඩැලි වල
තවත් සිර වෙයි - අපේ ජීවිත..

තරඟයක් මැ යි අපේ ජීවිත
අරමුණක් වෙත ඇදෙන ගමනක
තියුණු වන විට අපේ තරඟය
තවත් නැති වෙයි නුඹට කාලය..

ලොවේ හසරක් දැනෙන දා සිට
ඊයේ වාගේම අදත්, තව හෙට
වැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙස
දුවමු අපි - සිතිජය දිහාවට...

එකෙක් පරදා දිනන දවසක
සව්දියට නැත අපට කාලය
උනුන් පහු කර සැතපුමක් ගිය තැන
හැරී බලමු අපි මග හැරුණු දේ ගැන...

කඳුළු රැඳවෙයි දෙනෙත් අද්දර
සොඳුරු මතක අපෙ රැඳුණු තැන්වල
සිතුම් නවතියි තවත් මොහොතක,
ඒත් තව නැත අපට කාලය!!!


හුණුවටයේ කතාව නැරඹුයෙමි.

Monday, January 28, 2013




හෙල ගැඹුරුයි
පුත නොබලන්

සෙලවෙන කොට
වැල් පාලම
දෑස බයෙන්
බිම නොබලන්

අපට පුතේ 
මගක් නැතේ
මේ මග මිස
යමන පුතේ 

දෙවියෝ බලයි
මුණ නුඹේ
නුඹව රකියි 
යමන් පුතේ




සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් වචන කිහිපයක් නොවන්නට මෙය විදේශීය බව කිසිවෙකුට නොසිතෙන තරම් ම ලාංකීය ය. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍යයේ එන 'වැල් පාලමේ ගීතය' නම් ගීතය ඒ බව නොදන්නා වුන්ගේ දැන ගැනීම පිණිස සිහිපත් කරමි. 

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබ, ගාල්ලේ 'Hall de Galle' ශාලාවේ වේදිකා ගත වුණු 'හුණුවටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය රස විඳීමේ භාග්‍යය මට ද හිමි විය. රසවින්දනයේ උච්ඡත ම අවස්ථාවට පැමිණ, මා ලද අත්දැකීම, බෙදා ගනු පිණිස, දවස ගෙවෙන්නට පළමු මෙසේ යුනිකෝඩ් කරමි.

යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා 
මගේ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගනියි නිරතුරු

ස්වර්ගෙට ගිය කළේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ..

හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු වුණු අතර, 1999 දී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකු යොදා ගනිමින් දෙවන වර නිර්මාණය විය. 1967 සිට 1999 දක්වා වසර 32ක් එක ම චරිත රඟ දැක්වූ නළු නිළියන්ට, තව දුරටත් එය සිදු කිරීම සැබවින් ම අසීරු කරුණක් වන්නට ඇත. හෙන්රි ජයසේනයන් විසින් ම 'හුණු වටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය කරන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳව, තෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් ඔහු දක්වන අදහසෙහි ඒ බව සඳහන් වෙයි.

මට නරඹන්නට අවකාශ ලැබුණේ මෙකී තෙවන නිෂ්පාදනය යි. පැරණි නළු නිළියන් අතුරින් තිදෙනෙක් පමණක් මෙහි රඟන අතර, සෙසු සියල්ලන් ම පාහේ අලුත් නළු නිළියන් ය. පෙර වෙනත් චරිත රඟ පෑ 'නිමල් ජයසිංහ' අද පොතේ ගුරු චරිතය රඟපායි. එදා ෂව්වාගේ චරිතය රඟපෑ 'චූලා කාරියවසම්' අදත් එම චරිතය ම රඟපායි. එදා නොන්ඩි සොල්දාදුවා ලෙස රඟපෑ 'විජිත සල්ගාදු' අදත් එම චරිතය ම වෙනත් නළුවෙකු(ලලිත් ජයකාන්ත) සමග රඟපායි.

කෙසේ නමුත් අද වෙද්දී එහි ප්‍රධාන නළු නිළි දෙපල ම ජීවතුන් අතර නැත. එදා හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් ඔපවත් වුණු අසඩක්ගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට නලීන් ප්‍රදීප් උඩුවෙල දරණ උත්සාහය සාර්ථක බව මගේ හැඟීමයි. එදා මානෙල් ජයසේන රඟ දැක්වූ ගෘෂාගේ චරිතයට අද පණ  පොවන්නේ රුවනි මනම්පේරියි. 
ප්‍රධාන කොටස් දෙකක් යටතේ දිවෙන මෙහි අංක 5කි. සිව්වෙනි අංකයේ දී හෙවත් විනිශ්චයකරු පිලිබඳ කතාවේ, පළමු අංකයේ දී සබයට පිවිසෙන අසඩක්, සමස්ත කතාව පුරා ම මතුවුණු සෙසු චරිත සියල්ල ම අභිබවා සිය නායකත්වය සටහන් කරන්නේ සිය රංගන කාලය පැයකටත් අඩුවෙන් ලබා ගනිමිනි. ඒ තරම් කෙටි කාලයකින්, නරඹන්නන් තුළ, ප්‍රධාන චරිතය වූ අසඩක් කෙරේ පහන් හැඟීමක් ඇති කිරීම සැබවින් ම දුෂ්කර කටයුත්තක් බව නොකිව මනා ය. ඒ සඳහා මස් වන සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවක් අදාළ රංගන ශිල්පියා සතු විය යුතු ය. හෙන්රි ජයසේනයන් සතුව  ඒ ප්‍රතිභාව තිබුණු බව අපි දනිමු. ක්ෂේත්‍රයේ හෙන්රි ජයසේනයන් තරම් ප්‍රවීනයෙක් නොවුනත්, නලින් ප්‍රදීප්ගේ රංගනය ද සැබවින් ම ප්‍රශංසනීය එකකි. 

හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.

ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති. 

නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි.  තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.

මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්‍රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි. 

වේදිකාව මත, හුණු වටයේ කතාව එසේ දිවෙද්දී වේදිකාව පිටුපස අසඩක් ඉදිරියේ වූ යුෂ්මතිය හෙවත් ගෘෂා, සැබෑ ජීවිතයේ දී, හෙන්රි ජයසේනයන්ගේ ආදරණීය බිරිඳ විය. අද ඔවුන් දෙදෙනා ම ජීවතුන් අතර නැත. නමුත් ඔවුනගේ රංගනයෙන් හැඩ වූ 'හුණු වටයේ කතාව' අපට දායාද වී ඇත. මේ සිය ආදරණිය ගෘෂා හෙවත් මානෙල් ජයසේන නම් ආදරවන්තියට, අසඩක් හෙවත් හෙන්රි ජයසේන නම් ආදරවන්තයා ලියු කවියකි. අවාසනාවකට මෙන් මෙය ලියවෙද්දී මානෙල් ජයසේන අප අතරින් සමුගෙන ගොසිනි.

අසඩක් ලෙස වෙස් ගත් මා
කොතෙක් නම් වෙලා බලා සිටියෙම් ද
වේදිකාවේ පසෙක සිට
ඔබේ විස්කම්
මගේ ගෘෂාවෙනි..

පා ඇඟිලි තුඩගින්
කඳු ප්‍රාන්තයට පිය නැඟූ ගමන්
කරේ හොවාගෙන
ළදරු මයිකල් කුමරුවන්
ඔබේ උණුසුම ඔහුට දුන් ඔබ
මුළු රටකට ම දුන්නා නොවේ ද
ඔබේ අභිරංගනයේ උණුසුම

මුළු දැයකට ම බෙදුවා නොවේ ද
ඔබේ දෑස, දෑත දෙපයේ
හුරුබුහුටි මහිමය!

තවමත් සිතින් බලා සිටිමි මම
මගේ ම ගෘෂවෙනි
ඔබේ ඒ
නො මියෙන මහා ප්‍රතිභා දෙස
ඔබේ ලලිත රුව දෙස

මට නම් 
දිවි ඇති තෙක් ම නොමියේ
ඔබේ ඒ මහා ප්‍රතිභා..

ඔබ නොලද්දේ ය 
පඬුරු - ඵලක - තිලිණ
ඔබේ මහා ප්‍රතිභාවට
මේ තාක් කල්...

මායිම් නොකළා ය ඔබ
කිසිවිටෙකත් 
ඒ සා පුද පඬුරු
නිරතුරුව ම ලද නිසා
මුළු මහත් දැයක ම 
ප්‍රසාද - ප්‍රණාම

ලද නිසා ඔබ
සුවහසක් ප්‍රේක්ෂක දනන්ගේ
උණුසුම් සෙනෙහස..

අත්වැල් බැඳ සිටිමු අපි
මගේ ගෘෂාවෙනි
දායාද පුදමින්
හෙළ කරලියේ 
අලුත් පරපුරකට..




ප.ලි: 
අද නාට්‍යය නරඹන්නට ගොස් සිටිය දී, එහි දී ම හමු වී, හරි හැටි මුහුණ වත් නොදැක, නිකමට කළ ඉල්ලීමකින්, නුඹට ලැබුණු නාට්‍යයේ විස්තර අඩංගු සමරු පොත මට දෙන්නට තරම් කාරුණික වුණු නාඳුනන මහත්මයාණෙනි. නුඹට බොහොම ස්තුතියි.

නගරය

Saturday, September 8, 2012

ආං බලාපියව්...
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!

තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?

හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..

ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..




රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක්

Wednesday, September 5, 2012

2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, එහි වූ Red Riding Hood සොයුරිය හමු ව ඇය හා එදින සවස් කාලය ගත කළෙමි.


මා සිතා උන්නාට වඩා බෙහෙවින් ම වෙනස් ආකාරයකට ය අදාල උත්සවය සුදානම් කර තිබුණේ. උත්සවය පටන් ගෙන තරමක් වෙලා ගත වුව ද මා බලා හුන් චරිතය, පැමිණුනේ නැත. මද වෙලාවක් ගත වූ තන්හි නිවේදනය කළ සොයුරා ප්‍රකාශ කළේ, ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් පැමිණි රථයේ යම් දෝෂයක් හේතුවෙන් සුළු පමාවක් වනු ඇති නමුත්, ඔහු අනිවාර්යයෙන් ම පැමිණෙන බවයි.

තවත් අඩ හෝරාවක් පමණ ගෙවුණු තැන, විජේසිංහයන් උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සිය බිරිඳගේ යම් අසනීප තත්වයක් නිසා තමන් පැමිණීම ප්‍රමාද වූ බවත්, පැමිණෙන අතරතුර දී රථය කාර්මික දෝෂයකට ලක් වීමෙන් තව දුරටත් ප්‍රමාද වූ බවත් දැන ගන්නට ලැබුණි. ඉන් අනතුරුව,  බෙහෙවින් ම හරවත් දේශනයකින් සභාව පෝෂණය කිරීමට ඔහු සමත් විය. දේශනයේ දී විජේසිංහයන් යෙදූ සාරවත් වදන් හා වැකි මට ඒ ආකාරයෙන් ම සිහියට නොනැගෙන හෙයින්, ඒ දේශනය පිලිබඳ කියන්නට ගොස් මගේ ග්‍රාම්‍ය වදන්, වැකි යොදා එතුමාණන්ට අපහාසයක් කිරීමට මම අකමැත්තෙමි. නමුත් දේශනය අවසානයේ, මා වරකට දෙකකට වඩා අසා නැති, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් ගැයෙන "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික" නම් සුමධුර ගීතය සහ ඊට පසුබිම් වූ සිද්ධි සමුහය පිළිබඳව විස්තර කෙරුණු බව කිව මනා ය.

දිනය ගත වී අවසන් වෙද්දී, කෙමෙන් රෑ බෝ වෙද්දී, යළි ගම් බිම් බලා එන්නට සැරසුණු මට, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෞද්ගලික රථයෙන් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි විය. කලකට පෙර, එතුමාගේ තරු ලකුණ පොතේ, කියවූ පද දෙකක අනුසාරයෙන් මා ලියන්නට උත්සාහ කළ කවියක් (හෝ එවැන්නක්) අඩුපාඩු විමසා ගන්නට එතුමා අතට පත් කළෙමි. මගේ නම හෝ දුරකථන අංකයක් එහි සඳහන් කරන්නට අමතක වුයෙන් පසු දා දුරකතනයෙන් ඔහු අමතන්නට පොරොන්දු වූ මම සතර දේවාලය ළඟින් බැස ගත්තෙමි.

පොරොන්දු ප්‍රකාරව ඉරිදා දින ඔහු අමතන්නට බැරි වුණු අතර, සඳුදා බැහැරක ගොස් එමින් සිටි මම සතර දේවාලය අසල අවමඟුල් සැරසිලි දුටුවෙමි. නරකක හෝ නපුරක සේයාවක් සිතේ ඇඳි වහා ම මැකී ගියේ එවැන්නක් වෙතැයි මා සිහිනයකින් වත් නොසිතු හෙයිනි. නිවසට පැමිණි මම ඇඳුම් අහවර නොකර ම රත්න ශ්‍රී විජේසිංහයන් ඇමතුවෙමි.

"සර්. මම එදා වාහනේ දී සර් ට කවිය දුන්නු කෙනා කතා කරන්නේ."
"ඔව්. කියන්න.."
"සර් ඒ කවිය බැලුවා ද? මට ඇමතුමක් දෙන්න කිව්වා."
"අපේ ගෙදර මළ ගෙයක් වෙලා දරුවෝ. මට ඒක බලන්න වුනේ නැහැ."
"කවුද සර්?"
"මගේ නෝනා නැති වුණා."
සිදු වුයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වූ මම ගොළු වීමි. මා සිහි එලවා ගනිද්දී, දුරකථනය විසන්ධි වී තිබුණි.

මට එක වර ම සිහි වූයේ විජේසිංහයන් ඇය පිලිබඳ රචිත කවි සහ ගීත යි. ඒවායේ පරිදි ඔහු සිය බිරිඳට කෙතරම් ආදරය කළේ ද යන වගයි. වෙසෙසින් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය යි.


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ


ලේන කුලයේ සිට පතා ආ බෝසතුන් සේ, රත්න ශ්‍රී ද සිය බිරිඳට දැඩි ව ආලය කළ බව දැන හුන් මට අවමංගල්‍ය උත්සවය සඳහා කෙසේ හෝ සහභාගී විය යුතු බව හැඟුණි. එබැවින් අවසන් කටයුතු සිදු කෙරෙන දින මම, මිත්‍ර නුවන් ද සමග එහි යන්නට තීරණය කළෙමි. මීට පෙර ඇයව දැක නැතත්, බෙහෙවින් ම හිතවත් කිසිවකුගේ අවමගුලකට සහභාගී වනවා ය යන හැඟීම අප සිත් තුළ විය. 

නිවසේ දී අපි යළිත් වරක් රත්න ශ්‍රී විජේසිංහයන් හමු වීමු. මා කවුරුන්දැයි හඳුනා ගත්  පසු විජේසිංහයන්,

"පුතා නේද මට කවියක් දුන්නේ?"

"එහෙමයි සර්"

"මේක තමයි පුතේ කවිය. නරක ම කවිය."


මේ දක්වා මට ජීවිතයේ අමතක නොවන තරම් විශේෂ සිදුවීම් තිබී නැත.  මා බෙහෙවින් ම අගය කරන, ශ්‍රේෂ්ඨතම පුරුෂයා බෙහෙවින් ම සංවේදී ව මා ඉදිරිපිට හිඳ, වෙවුලන ස්වරයෙන් කියූ  ඒ වචන කිහිපය, ඒ වචන වලටත් වඩා ඔහුගේ ස්වරය මට කෙදිනක වත් අමතක නොවනු ඇතැයි මට සිතේ.

අස්වැන්නේ මේ පිළිබඳව වඩාත් විස්තර සහිතව සටහනක් පල වුණු අතර මේ සටහන මගින් කළේ හේමමාලා විජේසිංහයන්ගේ අවමංගල්‍යය හා බැඳි මගේ ජීවිතය හා සම්බන්ධ වුණු සිදුවීම් පිළිබඳව යම් සඳහනක් කිරීම පමණි.  මේ සටහනට විරාමයක් තැබෙන්නේ ද අදාල ලිපියේ අවසානයේ වූ වැකියෙනි.

බදාදා හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.



ප.ලි:- 
මෙතෙක් කල් දුරකථන ඇමතුමකින් හෝ වත් පොතේ දෙබසකින් මිස සජීවී හමු වීමක් වන්නට නොයෙදුණු දයානන්ද රත්නායක අයියා (අස්වැන්න) හමු වන්නට ද එදා අවකාශ සැලසිණි. 

එමෙන් ම එකොලොස්වන පැය උත්සවයේ දී  Red Riding Hood අක්කා පිට ව ගිය පසු, දන්නා හඳුනන කිසිවෙක් නැතිව, එතැන තනිව හුන් මා හා මිත්‍ර ව කතා කරමින් තවත් බොහෝ දෙනෙක් හඳුන්වා දුන් බුන්දියේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් අක්කාට ද මම බෙහෙවින් ම කෘතඥ වෙමි.

ගණිතය සිසු තරණ - අපේ සමාජ සත්කාර

Thursday, July 12, 2012

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා සාමාන්‍ය පෙළ අසමත් ව දරුවන්ගේ විභාගයට මුහුණ දීමට තබා, හරි හමන් රැකියාවක් වත් ලබා ගත නොහැකිව ලත වනු ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ය.

පවතින රටාව තුළ ගණිතය විෂයය ලබා ගන්නේ සුවිශේෂී ස්ථානයකි. තර්කානුකුල වීම, සැලසුම් සහගත වීම, පිළිවෙල සහ ඉක්මණින් වඩාත් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ගණිතය විෂයය නිසි පරිදි ඉගෙනීමෙන් ලැබෙනා බව පොදු පිළිගැනීමයි. එවන් තත්වයක් පවතිද්දී, සාමාන්‍ය පෙළ විභාගයෙන්ගණිතය විෂයය අසමත් වීම, සම්මුඛ පරීක්ෂණයක පළමු අදියරයේ දී ම ඉවතට විසි වීමට ප්‍රධාන හේතුවක් වීම නොවැලක්විය හැකි ය.

අපි ජීවත් වීමේ දී කරනු ලබන සෑම කටයුත්තක දී ම පාහේ භාවිත වන්නේ ගණිතය යි. ගණිතය පිලිබඳ නිසි අවබෝධයක් නැතිනම්, සරලව කියන්නේ නම් 'ගණන් බැරි නම්', අඩු තරමේ ඇවිදින්නට වත් හැකියාවක් පැවතිය නොහැක. නමුත් බොහොමයක් සිසුන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට ලකුණු 35 සීමාව ලඟා කර ගත නොහැකිව අසමත් වීම දැකිය හැකි ය. මෙහි පවතින්නේ ගණිතය නොදන්නා කමක් නොව, නිසි ලෙස ගණිතමය මුලධර්ම තහවුරු නොවීමක්‌ වන බව අපි අවබෝධ කර ගත්තෙමු. ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින යම් යම් දුර්වලතා සහ ද්විතියක පංතිවල ගුරුවරු සිය කාර්යය භාරය නිසි පරිදි ඉටු නොකිරීම මේ ගැටළුවට ප්‍රධානතම හේතුවක් වන බව අපි නිරීක්ෂණය කළෙමු. 


මේ සියල්ල අධ්‍යයනය කිරීමට අප පෙලඹවූයේ, ගණිතය සිසු තරණ වැඩසටහනේ සම්පත් දායකයන් වශයෙන් කටයුතු කරන්නට අප විශ්ව විද්‍යාලයේ, 13 වන ශිෂ්‍ය කණ්ඩායමට හෙවත් අපගේ ශිෂ්‍ය කණ්ඩායමට ආරාධනාවක් ලැබීම යි. ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින, 10 ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයේ දී 40 ට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත, සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම අප ලද වගකීම විය.

මේ යටතේ, පළමුව අපි අදාල වැඩසටහන දැනට ක්‍රියාත්මක වන ගාල්ල, බටදුව ශ්‍රී රතනජෝති විද්‍යාලයේ පැවති වැඩසටහනක් අධ්‍යනය කළෙමු. ඉන් අනතුරුව අපි කණ්ඩායම් 7 කට බෙදී තෝරා ගත් විද්‍යාල 7 ක එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කළෙමු. මා ඇතුළු පිරිස ගාල්ල ඕල්කට් විද්‍යාලයේ පැවත්වෙන සිසු තරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නම් කෙරුණි.ඒ අනුව, අප විසින් ක්‍රියාත්මක කරන ලද පළමු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 7 ක දී පසුගිය සෙනසුරාදා (ජුලි 7) පැවැත්විණි. වැළක්විය නොහැකි හේතුවක් නොවන්නට සෑම සතියක ම සෙනසුරාදා දින අදාල විද්‍යාල වල මෙකී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

ගාල්ලේ නගරබද පීඩිත පවුල් වල, නිසි මග පෙන්වීමක් නොලත්, අතහැර දැමුණු සොයුරු සොයුරියන් පිරිසක්  සමග යන මේ ගමනේ පළමු දිනයේ ම වෙනස් ආකාරයේ අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු විය. ගණිතය විෂයය සිය ප්‍රියතම විෂයය කර ගත්, ඒ විෂයයට අතිශයින් දස්කම් දැක්වූ පිරිසක් සමග ගණිතයට අදක්ෂ යැයි හංවඩු ගැසුණු, එහෙයින් ම ඒ විෂයය සිය අප්‍රියතම විෂයය කර ගත් පිරිසක් එක්ව කෙරෙන මේ කටයුත්ත සැබවින් ම අභියෝගාත්මක එකක් වීමට බොහෝ විට ඉඩ ඇත. ඒ අතරතුර අප අත්දකින, ලොග් සටහන් පොතෙහි ලියවෙන/නොලියවෙන රස මුසු දේ අරුණැල්ලෙහි පාඨක ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. ඒ ලිපි පෙළ සමග එක් වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමි!

ජය වේවා!!


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

යෞවනය, ආදරය සහ සියදිවි නසා ගැනීම

Thursday, May 31, 2012

අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව..



ස්ථානය : University of Ruhuna - Faculty of Engineering, LT 01
වේලාව  : දහවල් 12.30 

අද දවසට නියමිත දේශන අවසන් වෙලා, අපි දේශන ශාලාවෙන් (LT 01) පිටතට පැමිණෙමින් සිටියා. ශාලාවේ දොරට ලං වෙනවාත් එක්ක ම කවුදෝ එකෙක් "රැංගෝ" කියවා ඇහුණු නිසා ටිකක් පස්සට ඇවිත් මොකාද මේ කියලා බලද්දී කොහේදෝ ඉඳලා දුවගෙන ආවේ චොකා. 

"මචං. පොඩි අවුලක්. ටිකකට ගාලු ගිහින් එමු ද?"

මළා..ගෙදරට වාත වෙලා වෙලා පැට්‍රොල් ටික ගහ ගත්ත ගමන් මොකෙක් හරි හෙනහුරෙක් පහත් වෙනවා නේ.. මොනවා කරන්න ද! බැචා නේ..

"මොකෝ මචං සීන් එක?"

"නෑ බං.. අපේ අක්කගේ යාලුවෙක් අද ගාලු ඇවිත්. එයාට ටිකක් අසනීපයි ලු. Faint වෙනවා කියල කිව්වා. පොඩ්ඩක් බලන්න ලු. ධර්මපාල පාක් එකේ ලු දැන් ඉන්නේ"

ලෙඩකට දුකකට නැති බයික් එක ගිනි තියපිය කිව්වලු!

"අඩේ.. එහෙම ද? එහෙනම් යමන්.. "

පහළට ඇවිත්, නවත්තලා තිබුණු බයික් එකකින් හෙල්මට් එකකුත් ගත්ත අපි ගාල්ල දිහාවට ඇදුණා. ටික වෙලාවක් යද්දී චොකා ආයෙත් එයාගේ අක්කට කෝල් එකක් දුන්නා. දෙන්නා මොන මොනවදෝ කතා වෙනවා ඇහුණත් අනුන්ගේ කතා වලට කන් නොදෙන හොඳ ළමයෙක් හින්දා රැංගෝ ඒ පැත්තට කන දැම්මේ නෑ..

"මචං.. වැඩේ ටිකක් දරුණුයි ලු. මේ අක්කගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ලු. පැරෙක් (parallel batch එකක කෙනෙක්) ලු.. කොල්ලගේ සීන් එකක් හින්දා පැනඩෝල් බීලා කියලා කිව්වා..දැන් එතන යාළුවො දෙන්නෙක් ඉන්නවා ලු. හැබැයි ඒ එයාගේ යාළුවෙක්ගේ යාළුවො දෙන්නෙක් ලු.. එයා අඳුනන්නේ නෑ ලු.. අපිට පුළුවන් නම් hospital එකට admit කරන්න කිව්වා"

කිරි අප්පට බල්ලෝ බුරාපිය.. මේ මොකද්ද බොලේ මේ වෙන්න යන්නේ.. සිය දිවි නසා ගැනීමට තැත් කිරීම.. අපරාධ නීතිය යටතේ නඩු දාන්න පුළුවන් වැරද්දක්.. විශ්වාස නැති කෙනෙක් ඉන්නවා නම් අපේ දයානන්ද රත්නායක අයියාගෙන් අහ ගන්න පුළුවන්!!

"කලින් කියන්න එපයි බං. එහෙනම් ලත වෙන්න බෑ නේ.. " 

මම දෙන්න පුළුවන් උපරිමෙන් ම gas දීලා බයික් එක. ධර්මපාල පාක් එක පැත්තට ගත්තා.. පාරේ හිටපු එවුන් බනිනවා වගේ යන්තමින් ඇහුණත් ජීවිතයක ඉරණම විසඳෙන්න තියෙන වෙලාවේ මාර්ග නීති ගැන සැලකිලිමත් වෙවී ලත වෙන්න හිත දුන්නේ නෑ. 

අන්තිමට අපි ධර්මපාල උද්‍යානය ළඟ.. ඇතුලට යන්න හදද්දී ම දොරටුව ළඟ හිටපු කෙනා කතා කළා.. 

"අයියේ.. අපේ යාලුවෙක් අසනීප වෙලා.. එයාව hospital එකට ගෙනියන්න ආවේ. ඇතුළට ගියාට අවුලක් නෑ නේ?"

"එයාට එලියට එන්න කියන්න. නැත්නම් ටිකට් එකක් ගන්න"

ඒක කියපු විදියට හොම්බ කට සමතලා වෙන්න දෙකක් දෙන්න හිතුනත්, වාද කර කර අපතේ යවන්න වෙලාවක් නොවුණු නිසා රුපියල් 20 ක් දීලා ටිකට් දෙකක් අරගෙන ඇතුළට ගිහින් යන්තම් අදාල පුද්ගලයෝ තුන් දෙනා හොයා ගත්තා. හිටපු යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් නම් මම දන්නා කියන නංගි කෙනෙක්.ඒ වෙද්දීත් පැනඩෝල් බීපු අක්කා වමනය දාලා තිබුණා. ටිකක් අසනීප ගතියක් තිබුණත් වෛද්‍යවරයෙක් හමු වීම ප්‍රතික්ෂේප කරපු ඇය, මහරගම බස් එකකට නග්ගන්න කියලා විතරක් කිව්වා.. අපි කොච්චර උත්සාහ කළත් ඇය අපේ මතයට එකඟ වුනේ නැහැ. නගරය මැද දී කෙල්ලෙක්ව බලෙන් ඇදගෙන යන්නත් බැහැ. පාරේ හැම තැන ම සේවයේ නියුතු පොලිස් නිලධාරීන්. එහෙම වුනොත් අනිවාර්යයෙන් ම ප්‍රශ්නය දුර දිග යනවා. ඒ හින්දා අපි එයාට යන්න දුන්නා. නමුත් බෑග් එකේ තිබුණු, ඉතිරි බෙහෙත් ටික ඉවත් කර ගත්තා.. ඒ වෙද්දී ඇය මිලදී ගත්ත පැනඩෝල් කාඩ් හතරෙන් එකකුත් තවත් පෙති 5ක් පමණ ප්‍රමාණයක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊට අමතරව පිරිටන් පෙති කිහිපයකුත් තිබුණා. තව මහා ගොඩක් පෙති වර්ග තිබුණා. ඒ හැම එකක් ම ඉවත් කරගෙන ඇයට යන්න දීලා, ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. ඊළඟට චොකාගේ අක්කට කතා කරලා, බස් එක මහරගමට එන වෙලාව වෙද්දී එතැනට ඇවිත් ඇය ව ගන්න කියලා කිව්වා.. ඒ කටයුතු ටික ඉවරයක්‌ කරලා අපි ගාල්ලෙන් එද්දී පැය දෙකකටත් වඩා ගත වෙලා.




මේ පොස්ට් එක ලිව්වේ ඒ සිද්ධිය ගැන කියන්න ම නෙවෙයි. අපි ඒ අත්වින්දේ එක සිද්ධියක් විතරයි. ආදර සම්බන්ධතා බිඳ වැටීම නිසා දිනපතා කී දෙනෙක් නම් සියදිවි නසා ගන්න පෙළඹෙනවා ද? මේ කතාවේ කතා නායිකාව, ලංකාවේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඇය අද ගාලු ඇවිත් තිබුණේ ඇගේ පෙම්වතා මුණ ගැහෙන්න.. ඔහුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. දෙදෙනා අතර ඇති වුණු කුමක් හෝ ප්‍රශ්නයක් නිසා ඇය සියදිවි නසා ගන්න තීරණය කළා. ඒ බව ඇගේ හොඳ ම මිතුරියකට දැනුම් දීම හරහා යි අපි මේ කතාවට සම්බන්ධ වුනේ. අර මිතුරියන් දෙදෙනා අපට කලින් එතැනට නොඑන්නට සමහර විට ඇය අද ජීවතුන් අතර නොසිටින්නට තිබුණා. 

හෙට සමාජයේ වගකිව යුතු තැන් වලට පත් වෙන්න සුදුසුකම් සපුරන්නන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මගේ හැගීම. පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමණයි. ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කරන්නට සමහර විට ඒ ආදරය හේතු වෙන්න පුළුවන්. ඒ වගේ ම ජීවිතය සාර්ථකත්වය සඳහා ගෙන යන්න ආදරය එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ආදරය නිසා ජීවිතයක් නැති කර ගන්නට යෙදෙනවා නම්, එතන පැහැදිලිව ම වරදක් තිබිය යුතුයි.. 

ආදරය වෙනුවෙන් ජීවිතය නැති කර ගැනීම සාධාරණීකරණය කරන්නන් දක්වන එක් උදාහරණයක් වන්නේ රෝමියෝ ජුලියට් කතාන්දරය. මෙය කිසිසේත් ම තර්කානුකුල නැහැ. ජුලියට් මිය ගියා යි සිතු රෝමියෝ කලබල වී සිය දිවි නසා නොගන්නට, ඔවුන් දෙදෙනාට සතුටින් ජීවත් වන්නට ඉඩ තිබුණා.. 

වසර ගණනාවක් ගෙවූ ජීවිතය නැති කර ගත යුතු යි තීරණය කරන්නට මිනිත්තු කිහිපයකින් හෝ පැය කිහිපයකින් බැරි බව අප වටහා ගත යුතුයි. ආදරය වෙනුවෙන් සියදිවි නසා ගන්නවාට වඩා ඒ ආදරය වෙනුවෙන් ම ජීවත් වීම උතුම් දෙයක්. අප ආදරය කරන කෙනා අපට අහිමි වීම නිසා අපි ජීවිතය අහිමි කර ගැනීමෙන් අපි රිද්දන්නේ ඒ පුද්ගලයාට පමණක් නොවෙයි. 

බඩගින්නේ හඬද්දී ලේ කිරි කර පොවා උස් මහත් කළ, යන්තම් ඇවිද ගන්නටවත් බැරිව සිටියදී නැගිටින්න වාරු දුන්,අපේ ජීවිත කාලය පුරාවට ම අපි වෙනුවෙන් කැප වුණු ආදරණීය දෙමාපියන්ට, අවුරුදු කිහිපයක්, එහෙමත් නැත්නම් මාස කිහිපයක් හෝ දින කිහිපයක් හඳුනා ගත් අයෙකුට වඩා අපේ වියෝව දැනෙනවා. රිදෙනවා. ඔබට යමෙක් හෝ යමක් නැති වුණා යැයි සිතෙනවා නම්, ඒ මොහොතේ ම ඔබ සතුව තිබෙන දේ ගැන සිතන්න.. සෑම තත්පරයක දී ම මිනිසුන් 1.8 ක් මිය යන ලෝකයක තවමත් ජීවත් වීමට තරම් ඔබ භාග්‍යවන්ත බව සිතන්න..



ජීවිතය නැති කර ගන්න හිතෙනවා නම්, හිතෙන හැම දේ ම ලියන්න.. එපා වෙනකම් ම ලියන්න.. ඔබට ආයෙත් ජීවත් වෙන්න හිතෙන තුරු ම ලියන්න.. සමහර විට එයින් බොහොම වටිනා නිර්මාණයක් බිහි වේවි! මගේ මිතුරියක්‌ වරක් මට දුන්නු සටහනක, මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ මේ කවිය තිබුණා. මෙතැනට එය අදාල ද දන්නේ නැහැ. නමුත් මට එහෙම හිතෙනවා..

ලෝ වැසි සැමගෙන් සැඟවුණු
ඔබේ සොඳුරු මුදු සෙනෙහස
මා හද ගැබ සුරැකෙන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..
හෙළනා දිගු සුසුමෙන් මිස
බැහැර හොයන මගෙ සෙනෙහස
කවියක් සේ බිහි වන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..


ඔබ හැර ගිය ආදරවන්තයා ගැන සිතීමෙන් පලක් නැහැ.. මේ ළඟදී වෙනි අයියා බුකියේ share කරලා තිබුණු photo එකක තිබුණා, "අප ආදරය කරන උන්, අප ළඟ රැඳීය යුතු යැයි නීතියක් නැත. සිදු විය යුත්තේ ඔවුන් කොහේ හෝ හොඳින් සිටීම පමණි." ඒ ගැන මොහොතක් සිතන්න.. ඔබ ඇත්තට ම ආදරය කළ අයෙක් නම්, කවදාවත් ජීවිතය නැති කර ගන්න තීරණය කරන්නේ නැහැ.. 

ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!




ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - අවසන් කොටස

Saturday, May 26, 2012


2012 වර්ෂයේ මා විසින් ගත කරන්නට යෙදුනු වැඩි ම ජීවිතයට අවදානමක් තිබූ සතියේ පස් වන හා හය වන දින පිළිබඳව කෙරෙන සටහනයි මේ..
පෙර කොටස් නොකියවූ අයගෙන්, පහත ලින්ක් වලින් ගොස් ඒවා කියවා එන මෙන් ඉල්ලමි!

පේරාදෙණිය උද්භිදඋද්‍යානයේ දී

ඊයේ දවසේ දවල් කාලය ගෙවුණේ බොහොම සාමාන්‍ය විදිහට. කම්මැලි කම නිසා වැඩිය ඇවිද්දේ නෑ. ටිකක් හවස් වෙලා මාකස් එක පැත්තේ ගිහින් පැංචා, පන්දේ, පිසාචයා, කුබෝටා ඇතුළු පිරිස දැක බලා ගත්තා.

පළමු නාට්‍යය වුණු බර්නාඩා ගේ සිපිරි ගෙදර නාට්‍යය බලන්න ගිහින් පිනි බෑම නිසා ඇති වුණු රෝගී තත්වයෙන් ඊයේ වෙද්දීත් කුබෝටා සුවය ලබා තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් වතාවක් ප්‍රතිකාර ලබන්න සිදු වෙලා තිබුණා. අද වෙද්දී නම් ඔහුට බොහොම දුරට සුවයි. ඒ නිසා අද නාට්‍යය බලන්න නම් ඇවිත් හිටියා!
අද දවල් පැංචා, පන්දේ සහ මම පේරාදෙණිය උද්භිත උද්‍යානය බලන්න ගියා.. බොහොම කාලෙකට පස්සෙයි ඒ පැත්තේ ගියේ. දවස පුරා ම ඇවිද්ලා අන්තිමට යකා පාලම ළඟට ආයෙත් පාරක් ගියා. අපි පාලම මත ඉන්දෙද්දී කෝච්චියක් ආවා. රේල් පාරේ පැත්තක තියෙන යකඩ පටි මතට ගිහිනුයි අපි අයින් වුණේ. වැරදිලා වත් ආපහු ගොඩට දුවන්න ගියා නම් අනිවාර්යයෙන් ම පාලමෙන් පහලට වැටෙනවා.

කල්පනී අක්කා සහ අකිලා අක්කා ආයෙත් ගාලු යන බව දැන ගන්න ලැබුණේ හවස. ඒ පිසාචයා සහ බුල් බුල් සමග. කාලෙකින් කල්පනී අක්කා හමු වුණේ නැති නිසා නාදන් එක පැත්තේ ගිහින් ටිකක් වෙලා කියව කියව ඉඳලා වලට ගියේ. එයාලාගෙන් හෙට කෝච්චි තියෙන වෙලාවල් පිළිබඳව දැන ගන්නත් පුළුවන් වුණා. කොහොම වුණත් මම අද වලට ගියේ තනියම!

ඊයේ හවස් වරුවේ නාට්‍යය බලන්න ගියේ පැංචා සහ පන්දේ සමග. පෙරේදා නාට්‍යය පසුපස ම පේළියේ ඉඳගෙන බලලා ලබපු අත්දැකීම නිසා ඊයෙත් එහෙම වෙන්න දෙන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මට ඉදිරියට යන්න ඕන වුණා. නමුත් අනිත් එවුන් දෙන්නාට කම්මැලියි කියපු නිසා අපේ ගිනි කුරුල්ලා අයියා සහ ඔහුගේ ආදරණීය වෙන්ඩ භාර්යාව අක්කා හිටපු තැනට සම්ප්‍රාප්ත වුණා.අපි හිටියේ පුජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන් කරපු පේලියට පසු පස පේළියේ. එහෙම කළේ, නාට්‍යය ආරම්භ කරන වෙලාව වෙද්දී, ඉදිරියේ ඉඩ තියෙන තැන් වලට පසුපස පේලි වල ඉන්න අයට එන්න ලැබෙන නිසා. කොහොමත් ස්වාමීන් වහන්සේලා වැඩි දෙනෙක් එතැනට වඩින්නේ නැති නිසා ඒ පේලි දෙකේ බොහොම දවසට ඉඩ තියෙනවා.

කලා පීඨය අසල ඇති පාලම

ඊයේ දවසේ මට හමු වුණු විශේෂිත ම පුද්ගලයා ගිනි කිරිල්ලි අක්කා! ඊයේ රඟ දැක්වුවේ චරන්දාස් නාට්‍යය. සෙනග වැඩි නිසා අපි ඊයෙත් කලින් වලට ගියා. ඒ හින්දා පැය දෙකක් විතර නාට්‍යය පටන් ගන්න කලින් වෙලාව තිබුණා. අපි තුන් දෙනා බොහොම වෙලා එක එක ඒවා කියව කියව හිටියා. (මගේ කියවිල්ල හින්දා ඒ දෙන්නට කතා කරන්න බැරි වුණා ද මන්දා.. එහෙම වුණා නම් සමා වෙන්න අයියේ.. හොඳේ!!)

පරාක්‍රම නිරිඇල්ල මහතාගේ, “චරන්දාස්” නාට්‍යය  කලින් නාට්‍ය වලට සාපේක්ෂව ගොඩක් හොඳයි කියන්න පුළුවන්. නමුත් සමහර තැන් වල අනවශ්‍ය විහිලු තිබුණා. (හිනා යන්නේ නැති එව්වා! කෙලින් ම කියනවා නම්, ගොන් පාට් වගේ එව්වා) නමුත් සමස්තයක් විදියට හොඳයි. කතාව නම් කලින් අහපු එකක්. සිදු වීම් පෙළ ගැස්වීම විශිෂ්ටයි! ඒ වගේ ම කරලිය නාට්‍ය කණ්ඩායමේ විශේෂතා ගොඩක් තිබුණා. එය ජාතින් කිහිපයක රංගන ශිල්පීන් ගෙන සැදුම් ලත් නාට්‍ය කණ්ඩායමක්. ඒ වගේ ම, නාට්‍යය අවසානයේ එක් එක් ශිල්පියා වේදිකාවට ඇවිත් තමන්ගේ නම සහ ගම ප්‍රකාශ කළා. එය මම මීට පෙර දැක නොතිබුණු දෙයක්. ඒ වගේ ම එය අගය කළ යුතු යයි හැඟෙනවා.

අද රඟ දැක්වුණේ, ධර්මසිරි බණ්ඩාරයන්ගේ, “ට්‍රෝජන් කාන්තාවෝ”  නාට්‍යය. කතාවට පසුබිම් වෙලා තිබුණේ ට්‍රෝයි නගරයේ විනාශ වීම. නාට්‍යය සම්භාව්‍ය ගණයේ නාට්‍යයක් කියන්න පුළුවන්. 1999 වර්ෂයේ හොඳ ම නාට්‍යයට හිමි සම්මානයත් හිමි කර ගත්තේ ඒ නාට්‍යය! මට දැනුණු විදියට නම් ඒ නාට්‍යය තරමක් එපා වෙන ගතියක් තිබුණු එකක්. කතාව බොහොම ප්‍රකට එකක්. නළු නිළියන්ගේ රංගනය නම් විශිෂ්ටයි. භාෂා භාවිතයේ වැරදි නම් බොහොමයක් තිබුණා. කථනයේ දී ව්‍යාකරණ නිවැරදි වීම අත්‍යවශ්‍ය නැහැ. ඒත් අනවශ්‍ය පරිදි විධිමත් (formal) කිරීමට යාමෙන්  වැරැද්දීම නම් පිළි ගත නොහැකියි. ‘මම එය නොකළෙමි’ කියන වාක්‍යය කථනයේ දී ‘මම එය කළේ නැහැ’ හෝ ‘මා එය කළේ නැහැ’ ලෙස යෙදීමෙන් සැලකිය යුතු වරදක් දැනෙන්නේ නැහැ. නමුත් එය ‘මා එය නොකළෙමි’ යැයි යෙදීමෙන් වැරදි ආදර්ශයක් සැපයෙනවා. මේ වරද අද නාට්‍යයේ මා වැඩි වශයෙන් දුටු දෙයක්. ඒ හැරුණු විට ඒකාකාරී බව නැති වෙන්න හාස්‍ය රසයක් යම් තරමකින් හෝ එකතු වුණා නම් වඩාත් හොඳ යැයි හිතෙනවා.

යකා පාලම මත දී කෝච්චියක පැමිණීම



මේ ටිකේ බලපු නාට්‍ය හැම එකේ ම වගේ දෝෂ මහා ගොඩක් දැකපු රත්තා නාට්‍යයකට තිර පිටපතක් ලියලා. මට ඒක කියවන්න දුන්නා. ඒත් තවම කියවන්න නම් බැරි වුණා. අනිවාර්යයෙන් ම යන්න කලින් බලන්න ඕන.

රෑට ටිකක් රස්නේ වගේ නිසා මම කාමරේ ජනේල ඇරලා නිදා ගන්නේ.පරණ අවුරුද්දට සහ අලුත් අවුරුද්දට හැරුණ ම නිකම් වත් නාන්නේ නැති රත්ගමයා අයියාට පිනි බෑමෙන් බොහෝ ගැටළු ඇති වෙන බව දැනුම් දුන්නා. ඒ හින්දා ඊයේ සහ පෙරේදා එයා එහා කාමරේ නිදා ගත්තා. අදත් ගොඩක් දුරට එහෙම වේවි!

මේ ගත වෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, අක්බාර් ශාලාවේ මම ගත කරන අවසාන රාත්‍රිය. රත්ගමයා සමග ගත කරපු සතියේ අවසාන පැය කිහිපය. ඉරිදා උදේ ගාල්ලෙන් පිට වෙලා රත්ගමයා, පිසාචයා, බුල් බුල්, මගෝඩියා සහ තවත් කෙල්ලෙක් ඇතුළු පිරිස එක්ක පේරාදෙණියට ඇවිත් මේ වෙද්දී දවස් 6ක් ගත වෙලා.

මෙහෙට ආවට පස්සේ අපේ බැචාලා හතර දෙනෙක් මුණ ගැහුණා. උන් හතර දෙනාගෙන්  දෙන්නෙක් හෙට මාත් එක්ක යන්න එකතු වෙනවා. තව ගිනි කුරුල්ලා අයියා හෙවත් ටොපියා එන බව කිව්වා.හෙට උදේ 10.30 ට පේරාදෙණියෙන් පිට වෙන දුම්රියෙන් අපි ආයෙත් ගම රට බලා යනවා.

උඩවැඩියා විශේෂයක්

රත්තා හෙවත් රයියෝ!
කැම්පස් එකටා ආපු දවසේ ඉඳන් මේ වෙනකම් සහෝදරයෙක් සහ යාලුවෙක් විදියට උඹ ගොඩක් උදවු කළා. උඹේ කාමරේ මට දීලා උඹ වෙන කාමරේකට ගියා.මම ෆන් එකට උඹට මඩ කොච්චර ගැහුවත් ගණන් නොගෙන,ඒවාට  උඹත් මාත් එක්ක ම හිනා වුණා. හෙට මම යනවා මචං. මෙච්චර කල් කරපු හැම උදව්වකට ම බොහොම  පිං! ගිහිං එන්නම්! ජය!!






විශ්ව විද්‍යාලය තුල


ලංකා පොකුණ





ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 4 කොටස

Thursday, May 24, 2012

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තරාදායක ම භුමි කලාපය වන රත්ගමයාගේ කාමරයේ වාසයට පැමිණ මේ වන විට දින 4 ක් ගෙවී ගොස් ඇති අතර මම තවමත් ආරක්ෂිතව, පසුවෙමි. ඒ ශුභ ආරංචියත් සමග මේ දිග හැරෙන්නේ එකී මෙහෙයුම් වාර්තාකරණයේ සිව් වන දිග හැරුමයි..


මාකස් ප්‍රනාන්දු ශාලාව

අද උදේ රත්ගමයාට ලෙක්චර්ස් තිබුණේ නැතත්, මට උදෙන් ම අවදි වෙන්න සිද්ධ වුණේ ඊයේ රෑ අපේ කාමරයේ නවාතැන් ගත් අනෙක් එකා කුකුළා අතේ අරං ගමේ යන්න තීරණය කරලා තිබුණු නිසා! රත්තා අවදි කිරීමේ තේරුමක් නැති වැඩේට කිසිම උත්සාහයක් නොදරා ම පිට වී යන්න ඒකා තීරණය කරලා තිබුණා! ඒ හින්දා මම උදේ 6 ට විතර අවදි වෙලා ආයෙත් ටික වෙලාවකට නිදා ගත්තා! අද ප්‍රැක්ටිස් තිබුණු නිසා රත්තා උදේ 9 වෙද්දී යන්න සුදානම් වුණා. විශේෂ වැඩක් නැති වුණත් මාත් ඒ වෙලාවේ ම අවදි වෙලා මුණ කට සෝදා ගත්තා!
අපේ බැචා ලා තුන් දෙනෙකුත් වල බලන්න එන බව ඊයේ කියලා තිබුණු නිසාත්, කරන්න විශේෂ වැඩක් තිබුණේ නැති නිසාත් මම පැංචා ට කතා කළා. ඒ වෙද්දී උන් හිටියේ ගමනේ අතර මග! තනියම ඇවිදින්න කම්මැලි නිසා රත්තාගේ ලැප අරගෙන ෆිල්ම් එකක් දිග ඇර ගත්තා! ඒක බලද්දී අපේ එවුන් තුන් දෙනා ගෙන් දෙන්නෙක් පේරාදෙණිය කරා ළඟා වෙලා තිබුණා.
පේරේ ඇවිත් දවස් හතරක් ම හිටපු හින්දා, පොර වගේ අද ම පෙරට ගොඩ බැහැපු එවුන් දෙන්නට, රට තොට පෙන්නන්න කියලා ගියා! දවස් හතරේ පුරුද්ද හින්ද ම ද කොහෙද එක පාරකට දෙපාරකට වඩා පාර වරද්ද නොගෙන යන්තම් පැංචාගේ අක්ක හිටපු රාමනාදන් එක වෙත යන්න පුළුවන් වුණා! ඒ යන ගමන යෙදුණේ විරු සිසු ස්මාරකය අසලින්.. 

විරු සිසු ස්මාරකය


ඊට පස්සේ අපි ගියේ උන් තුන් දෙනා නවාතැන් ගන්න නියමිත මාකස් එකට! මාකස් එකේ දී, අපිත් එක්ක නායකත්ව පුහුණු කඳවුරේ හෙවත් කෑම්ප් එකේ හිටපු එවුන් කිහිප දෙනෙක් ම හමු වුණා! ගාල්ලේ ඉඳන් ආවට පස්සේ කතා කරන්න පුළුවන් විදියට පිසාචයා හමු වුණෙත් එතන දී! 

මාකස් ප්‍රනාන්දු ශාලාවේ බරාදයක්
ආ ගිය තොරතුරු වලින් පස්සේ ගමන වල දිහාවට! අද පෙන්නන්න නියමිතව තිබුණේ ජයලත් මනෝරත්නයන්ගේ ‘තල මල පිපිලා’ නාට්‍යය. එහි ජනප්‍රියත්වය නිසා ම හවස 7.30 ට පටන් ගන්න නියමිත නාට්‍යයට පැමිණි අයගෙන් හවස 6 වෙද්දී මුළු වල ම පිරී ගිහින් තිබුණා.5. 45 වෙද්දී එතැනට ගිය අපටත් සිදු වුණේ සෙනග වැඩි නිසා අන්තිම පේලියේ අසුන් ගන්න යි.

7.30දර්ශනය සඳහා 5.45 වෙද්දී පැමිණි පිරිස

බටහිරයන්ගේ  අත පෙවීම් නිසා සහ උන්ට ගැති අපේ එවුන්ගේ ක්‍රියා කලාපය නිසා සංස්කෘතිය පරිහානියට ලක් වීම සහ අවශෝෂණය යැයි පටලවා ගත් සංස්කෘතික අනුකරණය බොහොම සියුම්ව නිරූපිත නාට්‍යයක් විදියට එය හඳුන්වන්න පුළුවන්. නාට්‍යයේ ළමා චරිතය නිරුපනය නම් අති විශිෂ්ටයි. කිසිසේත් ම කුඩා දරුවෙකුගෙන් අපි බලාපොරොත්තු නොවන රංගනයක් දැකගන්න ලැබුණා. නාට්‍යය අවසානයේ ඒ කුඩා දරුවා වෙනුවෙන් නැගුණු අත්පොලසන් නාදය ඊට සාක්ෂි සපයනවා. 

හැම දේක ම හොඳ සහ නරක කියලා පැති දෙකක් තියෙනවා වගේ ම, මේ නාට්‍යයේත් සමහර දුර්වලතා කිහිපයක් දකින්න ලැබුණා. ප්‍රධාන වශයෙන් ම නාට්‍යයේ දර්ශන කාලය ටිකක් වැඩියි. ඒ වගේ ම යොදා ගත් සමහර හාස්‍යෝත්පාදක කොටස් වලින්, අදාල කාර්යය නිසි ආකාරයට සිදු වුණේ නැහැ කියලයි මගේ හැගීම. ඒ හේතු දෙක නිසා ම අවසාන භාගයේ දී රසය නිසි ආකාරයට විඳින්න බැරි වුණා. ඒ වගේ ම සංස්කෘතිය විනාශ වීම, මිනිසාගේ පැවැත්ම අවසන් වීම ට හේතු වන බව පෙන්නන්න යොදා ගත් රොබෝ ගේ කොටස ඊට වඩා සාර්ථකව කරන්න තිබුණා.. ඒ වගේ ම නාට්‍යය අතර මග දී ලබා දුන් විවේකයේ දී වේදිකාවේ තිබූ භාණ්ඩ වෙනස් කිරීම කෙරුණා සාර්ථක මදි කියල යි මගේ හැගීම. 

කොහොම වුණත් නාට්‍යය අවසානයේ කුඩා දරුවාගේ රංගනය සුපිරි මට්ටමක තිබුණා.. විශේෂයෙන් ම අවසාන දර්ශනයේ දී.. සමස්තයක් විදියට ඉතා හොඳ නාට්‍යයක්. සෑම කෙනෙක් ම නැරඹිය යුතු නාට්‍යයක්. විශේෂයෙන් ම තරුණ සහ ළමා පරපුර වෙනුවෙන් ඉතා සුදුසු යි..

තල මල පිපිලා අතර මැද
අද වැඩිය ඇවිද්දේ නැති නිසා ලියන්න දෙයක් නැහැ. ඒත් හෙට නම් ලියන්න දේවල් තියේවි කියලා විශ්වාස කරනවා! හෙට පොස්ට් ඒකෙන් හමු වෙමු!

ප/ලි:
ගේ හිත කැලණිය පැත්තට ගිහින් වගේ..  හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආදරයට වයස ප්‍රශ්නයක් වෙනවා ද? ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ද?

ප/ප/ලි:
ගේ හිත ගිය තැන රත්ගමයාත් මාලිගාවක් හදන්න උත්සාහ කරනවා. ඒ වගේ ම මට තරඟයකට ආරාධනා කරනවා.ඒ හින්දා යාලුවා එක්ක වුණත් සෑහෙන්න තරඟයක දෙන්න වෙයි වගේ! මොකද කට්ටිය කියන්නේ? යාළුවා නිසා වැඩේ අතැරලා දාන්න ද?

ප/ප/ප/ලි:
කලින් පොස්ට් එකේ මයිනන් ගැන කතාවට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකට පිළිතුරු දීම සඳහා මේ වැඩ ටික ඉවර වෙලා ගෙදර ගිය ගමන් ම ඉක්මනින් ම පොස්ට් එකක් දානවා. 

රොබට්

සිත ඇදී ගිය තැනක්


අවසාන කොටස





ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 3 කොටස

Wednesday, May 23, 2012

රත්ගමයා සමග සතියක් පේරාදෙණියේ ගත කිරීමේ මහා මෙහෙයුමේ තුන් වන දිනය අවසානයේ දිගහැරෙන සිංහාවලෝකනය යි මේ... මෙතෙක් සිදු වූ දෑ පිළිබඳව නොදන්නා යමෙකු වේ නම් පහත ලින්කු ඔබා දැන ගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි! ස්තුතියි! හෙක් හෙක්!!


 


ඊයේ පෝස්ට් එකේ විදියට ම අද නිවාඩු දවසක්.. ඒ හින්ද ම කොහොම හරි කැම්පස් එක වටේ රවුමක් ගහන්න ඕන කම තිබුණා. සුපුරුදු බාධාව වුණු රත්ගමයාගේ නින්ද බොහොම අමාරුවෙන් මැඩ පවත්වන්න පුළුවන් වුණේ උදේ පාන්දර 10 පහු වෙලා.. 

“අනේ මචං.. අද වත් යමන්කෝ... මට මේකේ තනියම ඇවිදින්න ගිහින් අතරමං වෙන්න බෑ බං!”
සැහෙන්න වෙලාවක් ඇඩුවට පස්සේ රත්ගමයාගේ දෑස් විවර වුණා..

“හා හා.. යමන්! හැබැයි මට 12 ට ප්‍රැක්ටිස් බං..අපි 11 ට විතර යමන්!”

ඔන්න ඔය විදියට පේරාදෙණිය විශ්ව විද්‍යාලය පුරා කෙරෙන මගේ කුළුදුල්  සැරි සරියට අවකාශ සැලසුණා..

අක්බාර් එකෙන් එලියට ඇවිත් මුලින් ම ගියේ කඩොලාන ගහ ළඟට! වලට ගිහින් එද්දී නිතර ම දැකලා තිබුණත්, එතැන ටිකක් නැවතිලා වෙලාව ගත කරන්න පුළුවන් වුණේ අද.. ( කඩොලාන ගහ ළඟ නැවතුනා කිව්වේ ගහ යටට ගිහින් නම් නෙවෙයි! හරි ය!! ගහට ටිකක් මෙහා පාරෙයි අපි හිටියේ) මේ ගහ සැලකෙන්නේ ලංකාවේ, මුහුදු මට්ටමෙන් ඉහළින් ම පිහිටි කඩොලාන ශාකය විදියට ලු! නිකම් හිතුනු හින්දා ඒ ගැන හොයලා බලලා මතක තියා ගත්ත කියලයි රත්තා නම් කිව්වේ! :P ඒ වගේ ම හිච් වෙලා නැති අය තනියම ගහ යට රැඳෙන්නේ නෑ කියලයි අහන්න ලැබුනේ..




ඊළඟට ගමන යෙදුණේ පිට්ටනිය දිහාවට! පාපන්දු ක්‍රීඩා පිටිය පහු කරලා ක්‍රිකට් පිටියට ත්, එතැනින් ගල අඟුරු ධාවන පථය හරහා කිරි හල දිහාවටත් අපේ ගමන් මාර්ගය වැටී තිබුණා.  අද සකස් වෙන බොහොමයක් ධාවන පථ සකස් කෙරෙන්නේ තාර යොදා ගනිමින්.. එහෙත් මේ ධාවන පථය සකස් වෙලා තියෙන්නේ කළු ගල් අල්ලන ලද පොළොවට ගල් අඟුරු යෙදීමෙන්. ඒ හින්දා ම මේකත් විශ්ව විද්‍යාලයේ වැදගත් තැනක් විදියට හැඳින්වෙනවා!


අද වැඩ වර්ජනය නිසා කිරි හල වහලා තිබුණා. ඒ හින්දා එතන තිබුණු මහා විශාල ගහ යට ට වෙලා ටිකක් වෙලා කාලය ගත කළා. තාම හිච් වෙලා නැති හින්දා වැඩක් නැති වෙලාවට මෙතනට ඇවිත් ඉඳලා ගියාට කමක් නෑ කියලයි දැනගන්න ලැබුණේ. ඉක්මනින් හිච් කර ගන්න ඕන කමකුත් තියෙන නිසා හෙටත් ඒ පැත්තේ යන්න හිතෙනවා! (ඒ අතරේ හිච් වුණොත් දැනගන්න සලස්වන්නම්!!) අපි එතන ඉන්දෙද්දී තමන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමී ව මයිනන් විසින් සංවිධානය කරන ලද පා ගමනක් අපේ ඉදිරියට ආවා!


ටික වෙලාවක් ගත කරලා ආයෙත් අපි ගමන පටන් ගත්තා. කලාගාරය, ශාස්ත්‍ර පීඨය පහු කරගෙන ආයෙත් අපි වල දිහාවට ඇවිත් තිබුණා. කලින් දවස් දෙකේ දී ම ඇවිත් තිබුණු තැන නිසා එතැන නම් මටත් අඳුන ගන්න පුළුවන් වුනා. ටික වෙලාවක් එතන කරක් ගහද්දි පරණ මිත්‍රයෙක් වුනු ‘දිගා’ හමු වුනා. කදේ දාගෙන එයා එක්ක ම WUS එක පැත්තට ආවා! ටික වෙලාවකින් අපි දවල් කෑම ගත්තා. එහෙම්ම රත්තා බේස් බෝල් ගහන්න පිටත් වෙලා ගිය නිසා එහේ මෙහෙ කරකැවෙමින් කෙරෙන දේවල් නිරීක්ෂණය කරන්න මට මොහොතකට අවස්ථාව සැලසුණා.

AHS එකේ එවුන්ගේ උපාධිය වසර 4 සිට වසර 3 දක්වා අඩු කිරීමට තීරණය කිරීමට එරෙහිව ඔවුන් පෝස්ටර් කැම්පේන් එකක් සංවිධානය කරලා තිබුණා. එතනට වෙලා ටික වෙලාවක් ගත කරද්දී අපේ බැචෙක් වුනු පැංචාගේ ආදරණීය අක්කණ්ඩිය හමු වුණා. ආගිය තොරතුරු කතා බහ කරමින් ඉඳලා ටික වෙලාවක් ඉඳලා ඇය නික්මුණා. (තව පොඩ්ඩෙන් මම අක්කාගේ හිච් එක කියලා එතන හිටපු එවුන් හිතනවා! යන්තම් අක්කා මම කවුද කියලා කිව්වා හින්දා  වැඩේ ශේප් වුණා!!) ඊළඟට අපේ පාසලේ හිටපු අපේ අක්කා කෙනෙක් හමු වුණා.. බොහොම කාලෙකින් දැකලා තිබුණු නිසා ගොඩක් වෙලා කතා බහ කළා..අපිත් එක්ක චෙස් කරපු තවත් අයියා කෙනෙක් (කුබෝටා) පේරේ ඉන්නවා කියලා මට මතක ක් කරලා දුන්නේ එයා.(එවෙලාවෙත් තව පොඩ්ඩෙන් මට ඒ අක්කගේ හිච් එකේ චරිතය රඟන්න වෙනවා! හොඳ වෙලාවට ඒකත් අක්කා ශේප් කළා..)



ඊළඟට කෙලින් ම කෝල් එක කුබෝටා ට.

“හලෝ මචං කොහොම ද?”

“මම දැන් උඹලගේ කැම්පස් එකේ. WUS එක ලඟට වරෙන්”

“හරි මචං.. මට විනාඩි 20ක් දීපන්. එන්නම්!”

අන්තිමට කොහොම හරි මට කුබෝටා ව අක්බාර් පාලම ළඟ දී හමු වුණා. එතන ඉඳං ආයෙත් සවාරිය පටන් ගත්තා.. පරණ කතා, ආගිය තොරතුරු, කැම්පස් ජීවිතේ ගැන කතා ඉවරයක්‌ නෑ. අතරමග දී මම,

“කොහෙද බං අර යකා පාලම තියෙන්නේ?”

“ආ.. උඹ එකට ගිහින් නැද්ද? ඒක තියෙන්නේ ස්ටේෂන් එක ගාව..යමන් බලන්න”
ගමන ඊළඟට යකා පාලම දිහාවට!

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් තුල තියෙන එක ම දුම්රිය ස්ථානය හෙවත් පේරාදෙණියේ ‘සරසවි උයන’ දුම්රිය ස්ථානය අපි යන පාරේ දකින්න ලැබුණා. මොහොතකට ඒ ලඟට ගිහින් ආයෙත් හැරෙද්දී ම නලා හඬක් ඇහුණා. පිටිපස්සෙන් කෝච්චියක්.. හනිකට පාරෙන් ඉවතට පැන ගත්ත අපි කෝච්චිය යනකම් හිටියා..

“අපරාදේ මචං.තව විනාඩි 5කට කලින් ආවා නම් පාලම උඩට වෙලා කෝච්චිය යන ෆොටෝ එකක් ගන්න තිබුණා.”
ඒ කුබෝටා!


යකා පාලම කියන්නේ ඇත්තට ම පිස්සු හැදෙන තැනක්. පාලම උඩින් යද්දී පහළින් පෙණ විසිරුවමින් බොහොම ලස්සනට ගලාගෙන යන ගඟ පෙනෙනවා.. එක පැත්තක ගඟේ දිය කෙලින පිරිසක්. අනෙක් පැත්තේ හන්තාන කඳු වැටිය! ඒ ලෝකයේ තියෙන ලස්සන ම තැන් වලින් එකක් කියලයි හිතුණේ!



ටික වෙලාවක් යකා පාලමේ සුන්දරත්වය විඳපු අපි, ආයෙමත් එන්න පිටත් වුණා. පළමු වන වතාවට මාකස් එක පැත්තට ගියේ අද.. මාකස් එකේ කැන්ටිමෙන් තේ එකක් බීලා, ටික වෙලාවක් කුබෝටා එක්ක කයියක් ගහලා වල දිහාවට ඇදුනා.. ඒ එද්දී සංඝමිත්තා, හිල්ඩා වගේ කලින් නම් අහලා තිබුණට දැකලා නොතිබුණු නේවාසිකාගාර කිහිපයක් ම දැක ගන්න පුළුවන් වුණා.. වල ළඟ දී අපේ ගම් පලාතෙන් ම ගියපු එකෙක් හමු වුණා. අද රෑ නවතින්න ඌ අපේ කාමරය ට ආවා! මේ මොහොතේ කාමරේ අපි තුන් දෙනෙක් ඉන්නවා!

කතාවෙන් කතාවෙන් අද නාට්‍යය ගැන කියන්න අමතක වෙනවා.. අද රාජ්‍ය සම්මානලාභී කෙටි නාට්‍ය 3ක් පෙන්නුවා..
  • ඩයිනොසර්  ප්‍රේමය
  • බොක්ස්
  • තනියෙක් විශිෂ්ටයි

ඒ අතුරින් නුවන් දර්ශන ගේ ‘ඩයිනොසර් ප්‍රේමය’ නාට්‍යය නම් අති විශ්ෂ්ඨයි.. සෙසු නාට්‍ය දෙක සමග සසඳද්දී අනිවාර්යයෙන් ම පළමු තැන හිමි වෙන්නේ ඒ නාට්‍යයට! මට හිතුනු විදියට නම් දෙවන තැන ‘තනියෙක් විශිෂ්ටයි’ නාට්‍යයට ලැබිය යුතුයි. නමුත් සමස්තයක් වශයෙන් නාට්‍ය තුන ම හොඳ තත්වයේ තිබුණා.(නැත්නම් ඉතින් සම්මාන දේවි යැ?)



කුබෝටා හමු වෙන්න ගිය වෙලාවේ, මාකස් එකේ 14 වෙනි කාමරේ තිබුණු එක්තරා කවි පද කිහිපයක් හිතට බොහොම සංවේදී වුණා. කාලෙකට කලින් ලියවුණු බවක් තිබුනත්, දිනයක් නම් දකින්න තිබුණේ නැහැ..

ඔබට එළිය ඕන කිව්වා හින්දයි
මම අහසට සඳ අරගෙන ආවේ..
ඔබට සුවඳ ඕන කිව්වා හින්දයි
මම නටුවට මල අරගෙන ආවේ..

ඒ සඳ එළියේ
ඔබ තවත් මලක් සිඹීන කොට
මා සඳ ගන්නේ කොහොමද?
අහසින් ඉවතට..

ඒ මල සුවඳේ
ඔබ තරු රැසක් විඳින කොට
මා මල් ගන්නේ කොහොමද?
නටුවෙන් ඉවතට..

ඊට ටිකක් පහළින්, වෙනස් අත් අකුරු වලින් මෙහෙම එකක් ලියලා තිබුණා..

ආදරය විශ්වාස නොකරන්න.
ඒත්, විශ්වාසයෙන් යුතුව ආදරය කරන්න..
2006/01/06



අද නාට්‍ය නරඹලා කාමරයට ආවේ දැන් ටිකකට කලින්. අද සටහන ටිකක් දිග වුණා. ඊයේ වැඩි දෙයක් කිව්වෙත් නැති නිසයි අද දිග වුණේ. හෙට තවත් සිදුවීම් ටිකක් එක්ක හමු වෙමු!













4 කොටස




ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 2 කොටස

Tuesday, May 22, 2012

මේ වෙද්දී මම පේරාදෙණියට ඇවිත් කාලය පැය විසි හතරකට එහා ගත වෙලා.. රත්ගමයා සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, එක ම කාමරයේ සතියක් ගත කිරීමේ මහා මෙහෙයුම පිළිබඳව 'ලක් වැසි' සහ 'පිට රට වැසි' පාඨකයන් දැනුවත් කිරීමේ මෙහෙයුම් වාර්තාකරණයේ දෙවන දිග හැරුමයි මේ..

කලින් කොටස කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා එන්න... මේ ඊට පස්සේ සිදු වුණු ටික!



කාමරයේ ජනේලයෙන් පිටත බැලූ විට

ඊයේ රෑ නිදා ගන්න ගිය වෙලාවේ, රත්ගමයා එක පාරට ම මහා විකාර ප්‍රශ්නයක් ඇහුවා.. 

"මචං.. උඹේ ෆෝන් එකේ එලාම් එක තියන්න පුළුවන් ද බං??"


ඇයි යකෝ.. HTC Rhyme එකක් පාවිච්චි කරන එකෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ද ඒ? අමතක වුනා නේ. මූ හරකා නේ!!


"පුළුවන් බං.. ඇයි මොකෝ??"


"නෑ බං.. හෙට ලෙක්චර්ස් තියෙනව නේ.. මට උදෙන් නැගිටින්න ඕන.. මගේ එකෙත් එලාම් එක තිබ්බා. ඒ උනාට ඒක ෂුවර් නෑ.."


ඒකත් ඇත්ත නේ! ඇපල් චයිනීස් එව්වා වල වගේ හොඳට චයිනීස් ඇපල් එව්වයේ එලාම් වදිනවා යැ.. විශේෂයෙන් රත්තගේ ඇපල් එකේ!



"හා හා.. හරි බං.. මම තියන්නම්.. කීයට ද එලාම් එක තියන්න ඕන?"

"7.30 ට වගේ තිබ්බම ඇති බං.. හෙට ලෙක්චර්ස් තියෙන්නේ 10 ට"

අඩේ.. මේ ගස් ගොබිලා මෙච්චර බයේ ඉන්නේ 7.30 ට ඇහැරෙන්නේ නැති වෙයි කියලා ද.!


කොහොම හරි උදේ 7.30 වෙද්දී එලාම් එකට අවදි වුනු එකා ටික වෙලාවක් එහෙ මෙහෙ කරක් ගහලා 8 විතර වෙද්දී, 

"අනේ මචං අද ලෙක්චර්ස් යන්න බෑ.. අද CS එකත් නෑ.. අනිත් දෙකට ගිහින් වැඩක් නෑ.."


කමක් නෑ ඉතින්.. හැමදාම නෑ නේ.. මට ඉතින් රත්තා වගේ සතෙක් වගේ ඉඳලා පුරුදු නැති නිසා ගිහින් මුණ කට හෝදගෙන ආවා.. එද්දී සතා නිදි.. (රත්තාට ගැසූ මඩ අද දිනට අවසන්)




කරන්න දේකුත් නැති නිසා දවල් වරුව ෆිල්ම් බල බල හිටියා.. ඇවිදින්න හිතුනේ නැහැ.( මේකේ සයිස් එකේ හැටියට අතරමං උනොත් එහෙම ගම්පොල දිහාවෙන් මතු වෙන්න පුළුවන් හින්දා මගේ පුංචි හිතට බයක් වගේ එකක් දැනුණා)



හවස් වෙද්දී මොකද්ද මීටිං කෑල්ලක් පිටින් දාලා සයන්ස් එකේ එවුන් සෙට් එක ම මාරු. වලට යන්න වත් මොකෙක් වත් නෑ..කල්පනා කර කර ඉන්දෙද්දී එක පාරට ම යෝධ බල යෝධ වීරිය මගේ ඇඟටයි, හිතටයි දෙකට ම ආවා! වෙන එවුන් මොකට ද? මම යනවා තනියම!


අක්බාර් හෝල් එකේ ඉඳං වල පැත්තට යන්න ඕන අක්බාර් පාලම හරහා.. වෙලාව හවස 5.30 ට විතර ඇති.. නාට්‍ය පටන් ගන්නේ 7.30 ට විතර. ඉර බැහැගෙන යන වෙලාවේ ඒ සුන්දරත්වය පුදුමාකාර විදියට විඳින්න අක්බාර් පාලම මතට වෙලා පුළුවන්. කලින් අහලා තිබුණට විඳලා තිබුණේ නැති නිසා ඒ අත්දැකීම පුදුමාකාර විදියට හිතට කා වැදුනා. 
අක්බාර් පාලම මතට දිස් වෙන මහවැලිය

"උදේ පාන්දරට මෙතන මාර ලස්සනයි බං.." 

ඊයේ හවස අක්බාර් පාලම උඩින් එද්දී රත්තා කිව්ව කතාව මට මතක් වුනේ ඒ වෙලාවේ.. ඉර බහිද්දී මෙච්චර ලස්සන නම්, ඉර පායද්දි කොහොම වෙයි ද කියලා මට හිතා ගන්න පුළුවන්.. ටික වෙලාවක් ඒ සුන්දරත්වය විඳපු මම ආයෙමත් වල පැත්තට ඇදුනා..

ඊයේට වඩා අද වලේ සෙනග පිරිලා..  පනහේ ටිකට් එකකින් යන්තම් ඇතුලට රිංග ගත්ත මම, මුලින් ම හෙව්වේ වාඩි වෙන්න, ඉඩ කඩ සහ හොඳ අසල්වැසියෙක් ඉන්න තැනක්.. ඉඩ කඩ තියෙන තැන් කිහිපයක් තිබුණත් අසල්වැසියන් හිතට වැදුනේ නැති නිසා ඒ තැන් කිහිපය ම මග හැරලා අන්තිමට එක තැනකින් වාඩි වුනා.. (හොඳ අයියා කෙනෙක් විදියට තමන්ගේ එක ම නංගි කියන දේවල් ඉඳලා හිටලා හරි අහන්න ඕන නේ!) 

අපේ කැම්පස් එකේ බැචියකට ටිකක් සමාන රුවක් තියෙන, ලස්සන කෙල්ලෙක් මගේ ළඟ හිටියා.. 

'අද නම් වැඩේ ගොඩ! ඕන් නංගියේ මේකිට කොල්ලෙක් නැත්නම් මේ ඉන්නේ උඹේ නෑනා!'
මගේ යටි හිත හෙමිහිට කෙඳිරුවා.. ටික වෙලාවක් ගත වෙද්දී එයා කොහෙන්දෝ මන්දා ජංගම දුරකතනයක් ඇදලා අරන් කාට ද මන්දා කොටන්න ගත්තා.. ඊට ටික වෙලාවකට පස්සේ ඇමතුමක්! 


"මම මෙහේ අනේ! කෝ ඔයව මට පේන්නේ නෑ නේ! අනේ එන්නකෝ.."

"ආ.. මම ඔයාව දැක්කා.. මම මේ මෙතන ඉන්නේ අනේ.. කෝ ඔයාට පේන්නේ නැද්ද? ඔහොමම ඉස්සරහට එන්නකෝ.. තව පහලට එන්න.. තව.. ආ දැන් එන්න.."


කොහේදෝ ඉඳලා ආපු හිපාටුවෙක්ගේ අතේ ඈ එල්ලුනා.. අන්තිමට ඌ අපි දෙන්නා අතරට ඇවිත් නාට්‍යය බලන්න ගත්තා.. පේරාදෙණියේ මගේ කුළුදුල් ප්‍රේම කතාව අවසන් වුණේ එහෙමයි! 

අපි ගාල්ලේ කොල්ලෝ..  ඔව්වයින් අපි සැලෙන්නේ නෑ.. දිගට ම උත්සාහ කරනවා! තාම ඇවිත් දවසයි නේ!



විකාර මිසක් අද නාට්‍යය ගැන කියන්න බැරි වුනා නේ.. අද පෙන්නුවේ දොළහක් කියන නාට්‍යය!පැය දෙකක ධාවන කාලයක් තිබුණත් අතරමැද දී විවේකයක් තිබුණේ නැහැ.. හැබැයි නාට්‍යය අතරේ විවේකයක් අවශ්‍ය වුනෙත් නැහැ.. ඒ තරම්ම සුපිරි නාට්‍යයක්! කාලය ගත වුණා දැනුනේ ම නෑ.. 

නාට්‍යයේ අවස්ථාවක්

මේ නාට්‍යය කලින් වාරයක ගාල්ලේ දී බලන්න හිතන් හිටියට අවස්ථාවක් ලැබුනේ නැහැ.. හැබැයි අද නම් උපරිම වින්දනයෙන් යුතුව නැරඹුවා! කෙනෙක්ට අවස්ථාවක් ලැබෙනවා නම් නැරඹිය යුතු ම කතාවක්.


අද  ටිකක් වෙහෙසයි! ඒ නිසා පෝස්ට් එක කෙටි කරන්න වුණා. අද කියන්න බැරි වුණු ටිකත් හෙට කියලා දාන්නම්!


ප/ලි:
හෙට  මයිනන් හෙවත් minor staff එකේ වැඩ වර්ජනයක් පැවැත්වෙන බව දැන ගන්නට ලැබුණා.. එහෙම වුණොත් ලෙක්චර්ස් නැති නිසා කැම්පස් එකේ සමහර තැන් පිරී ඉතිරී යනු ඇතැයි ද, සමහර භාණ්ඩ වැඩි වැඩි වශයෙන් අලෙවි විය හැකි යයි ද තතු දන්නා එවුන් පැවසුවා! ඒ ගැන වැඩි විස්තර කීම තහනම් නිසා මීට වඩා කිසිවක් නොකියමි!


ප/ප/ලි:  
මේ සටහන ලියන වෙලාවේ, කොහේදෝ අවලමේ ගොස් සිටි, 'රත්තා' නොහොත් 'කුප්පයා' මේ ස්ථානයට කඩා වැදුනා.. ඒ තමන් මිල දී ගත් ජාතික සම්පත ලොතරැයියක ජය අංක බලා ගන්න! 

පළමු අංකය ගැළපීමෙන් ඔහු මේ වන විට රුපියල් ම විස්සක් ජයග්‍රහණය කර තිබෙනවා! ඒ මුදලෙන් සෑහීමකට පත් නොවන නිසා තවත් ඉදිරියට යන බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කර, යළි තහවුරු කළා.. තවත් ඉදිරියට යාමෙන් ලද රුපියල් විස්සත් නොලැබිය හැකි බවට අප අවවාද කර තිබියදීත් තම තීරණයේ ම රැදී සිටින්න රත්ගමයා මහතා ගත් තීරණය අප අගය කරනවා! ඔහුට හොඳ තරඟයක දෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා..

ඉදිරි වට වල සහ පේරේ ජීවිතය පිලිබඳ තවත් තොරතුරු සමග හෙට හමු වෙමු!

3 කොටස

ජීවිතය පිළිබද ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 1 කොටස

Monday, May 21, 2012

ඔන්න ඔහේ ගෙදරට වෙලා වේලි වේලි ඉන්දෙද්දී නිකම් ඉන්න බැරුවට බුකිය පැත්තේ රවුම් ගහන්න ගිය වරදට, පේරා කැම්පස් එකේ වල ගැන තිබුණු පෝස්ට් එකක් දකින්න ලැබුණා..රැංගෝ ට ඉතින් ඒ වගේ එකක් දැක්කම නිකම් ඉන්න බෑ නේ.. සතියක් ම දිග නිවාඩුවක් තියෙන හින්දා කොහොම හරි යන්න ඕන කියලා පත සයිස් එකේ ආසාවක් ආවේ මට නොදැනීමයි!කාටද කතා කරන්නේ? පේරේ අම්බානක් දන්න එවුන් හිටියට මුලින් ම මතක් වුනේ මේ ඊයේ පෙරේදා ඩ්‍රීම් ෆෙස්ටිවල් යන්න ගිහින් අම්බානක් චාටර් වුනු එකාව! රත්ගමයා!
 සල්ලි සල්ලි කියලා නොබලා ගත්තා කෙලින් ම කෝල් එක!

"හලෝ.."
අපෝ.. අර (අ)ප්‍රසන්න කටහඬ ආයෙමත්.. මේ නම් අනිවා රත්තා තමයි..


"හලෝ මචං.. කොහොමද?"

"ඒ.. කවුද බං ඔය??"

"නෙද්දකින් අලුගුත්තෙරුවා... තොගේ ළඟ නම්බර් එක තිබිලත්, මගෙන් කවුද කියල අහන්න ලජ්ජ නැද්ද? !@#$"

"අනේ සොරි බං.. මේ අලුත් ෆෝන් එකක් බං.. අපේ මල්ලි රට ගිහින් එද්දී මට ෆෝන් එකක් ගෙනාවා නේ! උඹ දන්නේ නෑ නේ! ඒක පට්ට එකක් බං... පොඩි අවුලකට තියෙන්නේ ඒකෙ ඔබන්න බොත්තම් නෑ බං.. එපා වෙනවා! "

මට තේරුනා නම්බර් නැති කතාව මූ ඇදබාපු කෙබ්බයක් බව! කමක් නෑ ඉතින්.. පොඩි එකා ආසාවෙන් ඇරපු නයා නේ!


"අහා.. එහෙම ද මචං.. එල නේ! ඒක නෙවෙයි.. උඹලගේ වල සතිය තියෙනවා නේ..මටත් නිකමට වගේ එන්න හිතෙනවා.. මොකද කරන්නේ?"

"අයියෝ වරෙන් මචං.. මගේ කාමරේ ඕන තරම් ඉඩ තියෙනවා.. වරෙන් වරෙන්.. මම දැන් ගාල්ලේ ඉන්නේ.. 20 නුවර යනවා. උඹට අපිත් එක්ක ම යන්න පුළුවන්.."

බයත් හිතෙනවා..අහලා  තියෙන විදියට රත්ගමයා ගේ කුරුල්ලන්ගේ සංගමයේ සාමාජිකයෙක් නේ. ඒ හින්දා පරිස්සම් වෙයන් කියලා මගේ හිත කොඳුරන්න පටන් ගත්ත..කමක් නෑ.. වෙන දෙයක් වෙද්දෙන්.. ඔන්න ඔහේ යනවා!


"එහෙනම් මචං මම එනවා...20 උඹලා යනවා නේ!  එහෙනම් යන වෙලාව කියලා මට මෙසේජ් එකක් දාපන්!"

"හරි මචං.."

ඔන්න  ඔහොමයි පේරා යන වැඩේ සෙට් වුනේ... දෙයියනේ කියලා අද උදේ 10.30 ට විතර ගාල්ලෙන් එන්න හිතාගෙන බස් ස්ටෑන්ඩ් එකට ගියත්, ගාල්ලෙන් එද්දී 12 ත් පහු වෙලා තිබුනේ! ඉතාම අවාසනාවන්ත ලෙස ගාල්ල කොළඹ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කිහිපයක් කරන්න කියලා මහාමාර්ග ඇමති තුමා හදිස්සියේ නියෝග කිරීම නිසා පාර වහලා.. ඒ හින්දා කොළඹට බස් එකෙ ඇවිත්, කොළඹින් නුවරට කෝච්චියේ ආවා..



මග තොට විස්තර නම් කියන්න දෙයක් නෑ නේ. නුවර කෝච්චියේ යනවා කියන්නේ ඉතින් සුන්දර භුමි දර්ශන  නරඹමින් යන සුන්දර චාරිකාවක් නේ.. ඒ රසය උපරිමෙන් විඳිම්න් පේරාදෙණියට ම ආවා.. ඔය තියෙන්නෙ පේරේ දී ගත්ත ෆොටෝ ටිකක්..




කැම්පස් එකේ සුන්දරත්වය නම් ඉතින් කියන්න වචන නැහැ! විශිෂ්ටයි!සොබාව සෞන්දර්යය අතින් උපරිමයි!



අක්බාර් එකට එද්දී වෙලාව 6.30 පහු වෙලා.. යන්තම් මුණ කට සෝදා ගෙන කෙලින් ම වලට ගියා.. අද පෙන්නුවේ "බර්නාඩාගේ සිපිරි ගෙදර " නාට්‍යය.. 
සම්භාව්‍ය නාට්‍යයක් වුණත් තේරුම් ගන්න පුළුවන් මට්ටමක තිබුණා! 

අද පටන් සතියක් මට ගත කරන්න වෙන්නේ අක්බාර් එකේ.. රත්ගමයාගේ කාමරේ! සැහෙන්න භයානක අඩවියක ජීවත් වෙන බවක් මගේ පුංචි හිතට දැනෙනවා.. ඒ හින්දා හිතට එන හැම දේ ම ලියනවා.. මේ සතියේ ම හැම දා ම වෙන දේවල් පුළුවන් විදියට සටහන් කරන්න උත්සාහ කරනවා!

යම්කිසි හේතුවක් මත මගේ ලිවිල්ල එක පාර ම නතර වුණොත් මගේ ජීවිතයට අනතුරක් සිදු වී ඇති බව ස්ථිරයි. ඒ නිසා කට්ටිය නිවාඩු එහෙම වෙන් කර ගන්න! මේ පෝස්ට් එක දාන්න යොදා ගත්තේ රත්තාගේ ලැප.. ඒ වෙනුවෙන් රත්තා මගෙන් පොඩි උපකාරයක්‌ බලාපොරොත්තු වෙනවා..එයාගේ ෆෝන් එකේ ෆොටෝ එකක් අරුණැල්ලේ දාන්න ලු!මෙච්චර උදව් කළ එකාගේ ඉල්ලීමට පිටු පාන්න බැරි නිසා ෆොටෝ එක දානවා! කාට හරි ඒක චීනයේ නිෂ්පාදිත එකක් කියලා හිතෙනවා නම්, ඒ අදහස වෙනත් කෙනෙක් ට දැනගන්න දෙන්න එපා කියලා රත්ගමයා මහතා කරුණාවෙන්ඉල්ලා සිටිනවා..


අදට නවතිනවා! හෙට තත්වය ගැන පෝස්ට් එකක් දාන්නම්! අනිවාර්යයෙන් ම ඇවිත් යන්න එන්න!





ප/ලි:
බ්ලොග් එක දිනපොතක් කර ගන්න එකට මගේ එච්චර කැමැත්තක් නෑ.. ඒත් මේ වාරයේ විතරක් මේ දවස කිහිපයේ වෙන දේවල් ලිව්වට කවුරුත් අහිතක් හිතන එකක් නෑ කියලා හිතනවා!



ප/ප/ලි:  
පෝස්ට් එක ලියලා ඉවර වෙද්දී ම  රැංගෝ ගේ නංගිගෙන් කෙටි පණිවිඩයක් ආවා!
"අයියේ.. මේ පාර එද්දී අඩු ගානේ ඔය පැත්තෙන් වත් නෑනා කෙනෙක් හොයාගෙන එන්න.."
අපේ නංගි මගෙන් දෙයක් ඉල්ලුවේ බොහොම කාලෙකට පස්සේ!ඒ හින්දා ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා!



2 කොටස



 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading