Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

යෞවනය, ආදරය සහ සියදිවි නසා ගැනීම

Thursday, May 31, 2012

අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව..



ස්ථානය : University of Ruhuna - Faculty of Engineering, LT 01
වේලාව  : දහවල් 12.30 

අද දවසට නියමිත දේශන අවසන් වෙලා, අපි දේශන ශාලාවෙන් (LT 01) පිටතට පැමිණෙමින් සිටියා. ශාලාවේ දොරට ලං වෙනවාත් එක්ක ම කවුදෝ එකෙක් "රැංගෝ" කියවා ඇහුණු නිසා ටිකක් පස්සට ඇවිත් මොකාද මේ කියලා බලද්දී කොහේදෝ ඉඳලා දුවගෙන ආවේ චොකා. 

"මචං. පොඩි අවුලක්. ටිකකට ගාලු ගිහින් එමු ද?"

මළා..ගෙදරට වාත වෙලා වෙලා පැට්‍රොල් ටික ගහ ගත්ත ගමන් මොකෙක් හරි හෙනහුරෙක් පහත් වෙනවා නේ.. මොනවා කරන්න ද! බැචා නේ..

"මොකෝ මචං සීන් එක?"

"නෑ බං.. අපේ අක්කගේ යාලුවෙක් අද ගාලු ඇවිත්. එයාට ටිකක් අසනීපයි ලු. Faint වෙනවා කියල කිව්වා. පොඩ්ඩක් බලන්න ලු. ධර්මපාල පාක් එකේ ලු දැන් ඉන්නේ"

ලෙඩකට දුකකට නැති බයික් එක ගිනි තියපිය කිව්වලු!

"අඩේ.. එහෙම ද? එහෙනම් යමන්.. "

පහළට ඇවිත්, නවත්තලා තිබුණු බයික් එකකින් හෙල්මට් එකකුත් ගත්ත අපි ගාල්ල දිහාවට ඇදුණා. ටික වෙලාවක් යද්දී චොකා ආයෙත් එයාගේ අක්කට කෝල් එකක් දුන්නා. දෙන්නා මොන මොනවදෝ කතා වෙනවා ඇහුණත් අනුන්ගේ කතා වලට කන් නොදෙන හොඳ ළමයෙක් හින්දා රැංගෝ ඒ පැත්තට කන දැම්මේ නෑ..

"මචං.. වැඩේ ටිකක් දරුණුයි ලු. මේ අක්කගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ලු. පැරෙක් (parallel batch එකක කෙනෙක්) ලු.. කොල්ලගේ සීන් එකක් හින්දා පැනඩෝල් බීලා කියලා කිව්වා..දැන් එතන යාළුවො දෙන්නෙක් ඉන්නවා ලු. හැබැයි ඒ එයාගේ යාළුවෙක්ගේ යාළුවො දෙන්නෙක් ලු.. එයා අඳුනන්නේ නෑ ලු.. අපිට පුළුවන් නම් hospital එකට admit කරන්න කිව්වා"

කිරි අප්පට බල්ලෝ බුරාපිය.. මේ මොකද්ද බොලේ මේ වෙන්න යන්නේ.. සිය දිවි නසා ගැනීමට තැත් කිරීම.. අපරාධ නීතිය යටතේ නඩු දාන්න පුළුවන් වැරද්දක්.. විශ්වාස නැති කෙනෙක් ඉන්නවා නම් අපේ දයානන්ද රත්නායක අයියාගෙන් අහ ගන්න පුළුවන්!!

"කලින් කියන්න එපයි බං. එහෙනම් ලත වෙන්න බෑ නේ.. " 

මම දෙන්න පුළුවන් උපරිමෙන් ම gas දීලා බයික් එක. ධර්මපාල පාක් එක පැත්තට ගත්තා.. පාරේ හිටපු එවුන් බනිනවා වගේ යන්තමින් ඇහුණත් ජීවිතයක ඉරණම විසඳෙන්න තියෙන වෙලාවේ මාර්ග නීති ගැන සැලකිලිමත් වෙවී ලත වෙන්න හිත දුන්නේ නෑ. 

අන්තිමට අපි ධර්මපාල උද්‍යානය ළඟ.. ඇතුලට යන්න හදද්දී ම දොරටුව ළඟ හිටපු කෙනා කතා කළා.. 

"අයියේ.. අපේ යාලුවෙක් අසනීප වෙලා.. එයාව hospital එකට ගෙනියන්න ආවේ. ඇතුළට ගියාට අවුලක් නෑ නේ?"

"එයාට එලියට එන්න කියන්න. නැත්නම් ටිකට් එකක් ගන්න"

ඒක කියපු විදියට හොම්බ කට සමතලා වෙන්න දෙකක් දෙන්න හිතුනත්, වාද කර කර අපතේ යවන්න වෙලාවක් නොවුණු නිසා රුපියල් 20 ක් දීලා ටිකට් දෙකක් අරගෙන ඇතුළට ගිහින් යන්තම් අදාල පුද්ගලයෝ තුන් දෙනා හොයා ගත්තා. හිටපු යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් නම් මම දන්නා කියන නංගි කෙනෙක්.ඒ වෙද්දීත් පැනඩෝල් බීපු අක්කා වමනය දාලා තිබුණා. ටිකක් අසනීප ගතියක් තිබුණත් වෛද්‍යවරයෙක් හමු වීම ප්‍රතික්ෂේප කරපු ඇය, මහරගම බස් එකකට නග්ගන්න කියලා විතරක් කිව්වා.. අපි කොච්චර උත්සාහ කළත් ඇය අපේ මතයට එකඟ වුනේ නැහැ. නගරය මැද දී කෙල්ලෙක්ව බලෙන් ඇදගෙන යන්නත් බැහැ. පාරේ හැම තැන ම සේවයේ නියුතු පොලිස් නිලධාරීන්. එහෙම වුනොත් අනිවාර්යයෙන් ම ප්‍රශ්නය දුර දිග යනවා. ඒ හින්දා අපි එයාට යන්න දුන්නා. නමුත් බෑග් එකේ තිබුණු, ඉතිරි බෙහෙත් ටික ඉවත් කර ගත්තා.. ඒ වෙද්දී ඇය මිලදී ගත්ත පැනඩෝල් කාඩ් හතරෙන් එකකුත් තවත් පෙති 5ක් පමණ ප්‍රමාණයක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊට අමතරව පිරිටන් පෙති කිහිපයකුත් තිබුණා. තව මහා ගොඩක් පෙති වර්ග තිබුණා. ඒ හැම එකක් ම ඉවත් කරගෙන ඇයට යන්න දීලා, ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. ඊළඟට චොකාගේ අක්කට කතා කරලා, බස් එක මහරගමට එන වෙලාව වෙද්දී එතැනට ඇවිත් ඇය ව ගන්න කියලා කිව්වා.. ඒ කටයුතු ටික ඉවරයක්‌ කරලා අපි ගාල්ලෙන් එද්දී පැය දෙකකටත් වඩා ගත වෙලා.




මේ පොස්ට් එක ලිව්වේ ඒ සිද්ධිය ගැන කියන්න ම නෙවෙයි. අපි ඒ අත්වින්දේ එක සිද්ධියක් විතරයි. ආදර සම්බන්ධතා බිඳ වැටීම නිසා දිනපතා කී දෙනෙක් නම් සියදිවි නසා ගන්න පෙළඹෙනවා ද? මේ කතාවේ කතා නායිකාව, ලංකාවේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඇය අද ගාලු ඇවිත් තිබුණේ ඇගේ පෙම්වතා මුණ ගැහෙන්න.. ඔහුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. දෙදෙනා අතර ඇති වුණු කුමක් හෝ ප්‍රශ්නයක් නිසා ඇය සියදිවි නසා ගන්න තීරණය කළා. ඒ බව ඇගේ හොඳ ම මිතුරියකට දැනුම් දීම හරහා යි අපි මේ කතාවට සම්බන්ධ වුනේ. අර මිතුරියන් දෙදෙනා අපට කලින් එතැනට නොඑන්නට සමහර විට ඇය අද ජීවතුන් අතර නොසිටින්නට තිබුණා. 

හෙට සමාජයේ වගකිව යුතු තැන් වලට පත් වෙන්න සුදුසුකම් සපුරන්නන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මගේ හැගීම. පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමණයි. ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කරන්නට සමහර විට ඒ ආදරය හේතු වෙන්න පුළුවන්. ඒ වගේ ම ජීවිතය සාර්ථකත්වය සඳහා ගෙන යන්න ආදරය එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ආදරය නිසා ජීවිතයක් නැති කර ගන්නට යෙදෙනවා නම්, එතන පැහැදිලිව ම වරදක් තිබිය යුතුයි.. 

ආදරය වෙනුවෙන් ජීවිතය නැති කර ගැනීම සාධාරණීකරණය කරන්නන් දක්වන එක් උදාහරණයක් වන්නේ රෝමියෝ ජුලියට් කතාන්දරය. මෙය කිසිසේත් ම තර්කානුකුල නැහැ. ජුලියට් මිය ගියා යි සිතු රෝමියෝ කලබල වී සිය දිවි නසා නොගන්නට, ඔවුන් දෙදෙනාට සතුටින් ජීවත් වන්නට ඉඩ තිබුණා.. 

වසර ගණනාවක් ගෙවූ ජීවිතය නැති කර ගත යුතු යි තීරණය කරන්නට මිනිත්තු කිහිපයකින් හෝ පැය කිහිපයකින් බැරි බව අප වටහා ගත යුතුයි. ආදරය වෙනුවෙන් සියදිවි නසා ගන්නවාට වඩා ඒ ආදරය වෙනුවෙන් ම ජීවත් වීම උතුම් දෙයක්. අප ආදරය කරන කෙනා අපට අහිමි වීම නිසා අපි ජීවිතය අහිමි කර ගැනීමෙන් අපි රිද්දන්නේ ඒ පුද්ගලයාට පමණක් නොවෙයි. 

බඩගින්නේ හඬද්දී ලේ කිරි කර පොවා උස් මහත් කළ, යන්තම් ඇවිද ගන්නටවත් බැරිව සිටියදී නැගිටින්න වාරු දුන්,අපේ ජීවිත කාලය පුරාවට ම අපි වෙනුවෙන් කැප වුණු ආදරණීය දෙමාපියන්ට, අවුරුදු කිහිපයක්, එහෙමත් නැත්නම් මාස කිහිපයක් හෝ දින කිහිපයක් හඳුනා ගත් අයෙකුට වඩා අපේ වියෝව දැනෙනවා. රිදෙනවා. ඔබට යමෙක් හෝ යමක් නැති වුණා යැයි සිතෙනවා නම්, ඒ මොහොතේ ම ඔබ සතුව තිබෙන දේ ගැන සිතන්න.. සෑම තත්පරයක දී ම මිනිසුන් 1.8 ක් මිය යන ලෝකයක තවමත් ජීවත් වීමට තරම් ඔබ භාග්‍යවන්ත බව සිතන්න..



ජීවිතය නැති කර ගන්න හිතෙනවා නම්, හිතෙන හැම දේ ම ලියන්න.. එපා වෙනකම් ම ලියන්න.. ඔබට ආයෙත් ජීවත් වෙන්න හිතෙන තුරු ම ලියන්න.. සමහර විට එයින් බොහොම වටිනා නිර්මාණයක් බිහි වේවි! මගේ මිතුරියක්‌ වරක් මට දුන්නු සටහනක, මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ මේ කවිය තිබුණා. මෙතැනට එය අදාල ද දන්නේ නැහැ. නමුත් මට එහෙම හිතෙනවා..

ලෝ වැසි සැමගෙන් සැඟවුණු
ඔබේ සොඳුරු මුදු සෙනෙහස
මා හද ගැබ සුරැකෙන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..
හෙළනා දිගු සුසුමෙන් මිස
බැහැර හොයන මගෙ සෙනෙහස
කවියක් සේ බිහි වන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..


ඔබ හැර ගිය ආදරවන්තයා ගැන සිතීමෙන් පලක් නැහැ.. මේ ළඟදී වෙනි අයියා බුකියේ share කරලා තිබුණු photo එකක තිබුණා, "අප ආදරය කරන උන්, අප ළඟ රැඳීය යුතු යැයි නීතියක් නැත. සිදු විය යුත්තේ ඔවුන් කොහේ හෝ හොඳින් සිටීම පමණි." ඒ ගැන මොහොතක් සිතන්න.. ඔබ ඇත්තට ම ආදරය කළ අයෙක් නම්, කවදාවත් ජීවිතය නැති කර ගන්න තීරණය කරන්නේ නැහැ.. 

ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!




අක්බාර් පාලම මත ආදරය (කෙටි කතාව)

Sunday, May 27, 2012






අවුරුදු ගණනාවක් පුරාවට,එහෙමත් නැත්නම් ජීවිත කාලය පුරාවට ගොඩ නැගුණු මතකයන්, හැම දේ ම මාසයක් දෙකක් ඇතුලත අමතක කරලා, ජීවිතේ අලුතින් ම පටන් ගන්න එක ලේසි නැහැ. නැති වී ගිය සම්බන්ධතා නිසා බිඳ වැටුණු මානසික තත්වය ගොඩ ගන්න තවත් ඒ වගේ ම සම්බන්ධතා බොහොමයක් අවශ්‍ය වෙනවා. ඒත් එහෙම වෙලා තියෙන වෙලාවක හුදෙකලා වෙන්න සිදු වුනොත්? එහෙම වුණොත් ඒ මතකයන් නිසා පිස්සු නොහැදී බේරෙන්න ලැබෙනවා නම් වාසනාවක්.

ආදරය කරන කෙනෙක් ආදරයෙන් පරදින එක ජීවිතය නැති කර ගන්න තරම් දෙයක් නෙවෙයි. ඒත්, දන්න කියන කාලේ ඉඳලා ම ආශ්‍රය කරලා, හිතා ගන්න බැරි තරම් ලං වෙලා, ඒ තරම් ම, නැත්නම් ඊටත් වඩා ආදරය කරපු දෙන්නෙක්ට තමන්ගේ වැරද්දක් නැතිව, සමාජයේ යම් යම්  සම්මතයන් නිසා වෙන් වෙන්න සිද්ධ වෙනවා නම්, එතන දී හිත හදා ගන්න විදියක් තියෙනවා ද? ඊළඟ ආත්මයේ දී වත් අපි දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වෙන් වෙමු කියලා ඔයා කියද්දී, මම ඊළඟ ආත්මයක් ගැන විශ්වාස කරන්නේ නැති බව සමහර විට ඔයාට අමතක වෙන්න ඇති. 

කැම්පස් එකේ නිවාඩුවත් එක්ක ම ගෙදරට වෙලා තනියෙන් ඉන්නේ නැතුව, පේරාදෙණියේ ආවේ පිස්සු නොහැදී ඉන්න කියලා කියන එකේ වරදක් නැහැ.. ඇත්තට ම මම ආවේ ඒ මතකයන් අමතක කරන්න.සැරින් සැරේ ඔයා මට කතා කරන්න උත්සාහ කළත්, මම පිළිතුරු නොදුන්නේ ඔයාගෙන් ඈත් වෙන්න හිතාගෙන මේ ආපු ගමන ඵල රහිත එකක් කර ගන්න ඕන නැති නිසාමයි. පිළිගන්න අකමැති වුණත්, ආයෙමත් ගමේ ගියාම ඔයාව දකිද්දී ඒ අමතක කරපු මතකයන් හැම එකක් ම මතක් වෙන බව මම හොඳින් ම දැනගෙන හිටියා. 

වසන්තයේ අගදී ත්  පේරාදෙණිය බොහොම සුන්දරයි. කහ පාට ට, රෝස පාට ට රොබරෝසියා මල නොපිපුනාට රතු ම රතු පාටට මහා විශාල මැයි ගස් පිරී ඉතිරිලා යන්න තරම් පිපුණු මැයි මල්, මුළු පේරාදෙණිය ම ලස්සන කරනවා. සැරින් සැරේ හමන සිසිල් සුළං රැල්ලට පාට පාට මල් පෙති බොහොම සීරුවට පාවෙලා ඇවිත් ආදරෙන් පොළොව වැළඳ ගන්නවා. හරියට බොහොම කාලයක් වෙන් වෙලා හිටපු ආදරවන්තියක් තමන්ගේ ප්‍රියයා හමු වෙනවා වගේ..

අක්බාර් පාලම උඩට වෙලා පහළින් පෙනෙන ආදර වීදිය දිහා බලාගෙන ඉන්න මට, ආදරෙන් තුරුළු වුණු පෙම් යුවළ බොහොම හෙමින් ඒ දිගේ පියමං කරනවා දකිද්දී මතක් වෙන්නේ මගේ අතේ එල්ලිලා ගියපු ඔයාව.. ඒ හැම දේ ම දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. හරියට බොහොම ලස්සන දර්ශනයක් මවමින්, ඉර බැහැගෙන ගියාට පස්සේ අක්බාර් පාලම ඝන අඳුරේ ගිලෙනවා වගේ.

හිතේ ඇති වුණු කණස්සල්ලෙන් මිදෙන්න වෙන්න ඇති සමහර විට මම පාලමෙන් එහා පැත්තට යන්න ඇත්තේ. ඒත් පාලමෙන් එහා පැත්තේ, මහා විශාලව වැඩුණු කඩොලාන ගහ යට, පෙම් සුව විඳින පෙම්වතුන් ආයෙමත් මගේ හිත චංචල කළා. ලස්සනට පිපුණු මල් වලින් සැරසුණු, ක්‍රමානුකුල මාවත් දිගේ තේරුමක් නැතිව ඔහේ ඇවිදලා මම ආයෙමත්  ආවේ අක්බාර් පාලම උඩට. දැන් ටිකෙන් ටික ඉර බැහැගෙන යන්න සැරසෙනවා. පරිසරය පුදුමාකාර විදියට ලස්සනයි. පාලමේ එක බැම්මකට හේත්තු වෙලා ගඟ දිහාව බලාගෙන ඉඳිද්දී, මට කාලය ගත වෙනවා දැනුනේ නැහැ.

මගේ උරහිස මත කවුරු හරි සීරුවට ඇත තියනවා වගේ දැනුණු හින්දා ඒ දිහාව බැලුවා.

“මොකද මෙතන තනියම කරන්නේ? කතා නොකරන්නේ මාත් එක්ක තරහා වෙලා ද?”

ඒ ඔයාගේ ම සුපුරුදු ලයාන්විත කට හඬ..

මම කොහොම ද මගේ ඇස් අදහා ගන්නේ? ඔයා ඇත්තට ම මාව හොයාගෙන ඇවිත්..මගෙන් පිළිතුරක් නැති නිසා සැතපුම් සිය ගානක් ගෙවාගෙන, ඔයා මාව හොයාගෙන ඇවිත්..

“ආදරේ කියන්නේ මේක නෙවෙයි ද?”

මගේ උරහිස මත තිබුණු ඔයාගේ අත උඩින් මගේ අත තියන ගමන් මම මගෙන් ම අහ ගත්තා..





සැ.යු:
සම්පුර්ණයෙන් ම හිතලුවකි.. සැබෑ ජීවිතයට මෙලෝ සම්බන්ධයක් නැත!

ප/ලි:
නව කතාවක ලක්ෂණ වලට සමාන ලක්ෂණ සහිත කෙටි කතාවක් ලියන්න ආසාවක් තිබුණා. ඒ වගේ ම පේරාදෙණියේ දී අත්විඳපු සමහර දේවල් නිසා මෙහෙම ලියන්න හිතුණා.අඩුපාඩු බොහොමයක් තියෙන්න පුළුවන්. (භාෂාව ටිකක් බොළඳ වැඩි වීම ඇතුළුව) 
ඒවා පෙන්වා දීම ශක්තියක් වේවි!

ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - අවසන් කොටස

Saturday, May 26, 2012


2012 වර්ෂයේ මා විසින් ගත කරන්නට යෙදුනු වැඩි ම ජීවිතයට අවදානමක් තිබූ සතියේ පස් වන හා හය වන දින පිළිබඳව කෙරෙන සටහනයි මේ..
පෙර කොටස් නොකියවූ අයගෙන්, පහත ලින්ක් වලින් ගොස් ඒවා කියවා එන මෙන් ඉල්ලමි!

පේරාදෙණිය උද්භිදඋද්‍යානයේ දී

ඊයේ දවසේ දවල් කාලය ගෙවුණේ බොහොම සාමාන්‍ය විදිහට. කම්මැලි කම නිසා වැඩිය ඇවිද්දේ නෑ. ටිකක් හවස් වෙලා මාකස් එක පැත්තේ ගිහින් පැංචා, පන්දේ, පිසාචයා, කුබෝටා ඇතුළු පිරිස දැක බලා ගත්තා.

පළමු නාට්‍යය වුණු බර්නාඩා ගේ සිපිරි ගෙදර නාට්‍යය බලන්න ගිහින් පිනි බෑම නිසා ඇති වුණු රෝගී තත්වයෙන් ඊයේ වෙද්දීත් කුබෝටා සුවය ලබා තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් වතාවක් ප්‍රතිකාර ලබන්න සිදු වෙලා තිබුණා. අද වෙද්දී නම් ඔහුට බොහොම දුරට සුවයි. ඒ නිසා අද නාට්‍යය බලන්න නම් ඇවිත් හිටියා!
අද දවල් පැංචා, පන්දේ සහ මම පේරාදෙණිය උද්භිත උද්‍යානය බලන්න ගියා.. බොහොම කාලෙකට පස්සෙයි ඒ පැත්තේ ගියේ. දවස පුරා ම ඇවිද්ලා අන්තිමට යකා පාලම ළඟට ආයෙත් පාරක් ගියා. අපි පාලම මත ඉන්දෙද්දී කෝච්චියක් ආවා. රේල් පාරේ පැත්තක තියෙන යකඩ පටි මතට ගිහිනුයි අපි අයින් වුණේ. වැරදිලා වත් ආපහු ගොඩට දුවන්න ගියා නම් අනිවාර්යයෙන් ම පාලමෙන් පහලට වැටෙනවා.

කල්පනී අක්කා සහ අකිලා අක්කා ආයෙත් ගාලු යන බව දැන ගන්න ලැබුණේ හවස. ඒ පිසාචයා සහ බුල් බුල් සමග. කාලෙකින් කල්පනී අක්කා හමු වුණේ නැති නිසා නාදන් එක පැත්තේ ගිහින් ටිකක් වෙලා කියව කියව ඉඳලා වලට ගියේ. එයාලාගෙන් හෙට කෝච්චි තියෙන වෙලාවල් පිළිබඳව දැන ගන්නත් පුළුවන් වුණා. කොහොම වුණත් මම අද වලට ගියේ තනියම!

ඊයේ හවස් වරුවේ නාට්‍යය බලන්න ගියේ පැංචා සහ පන්දේ සමග. පෙරේදා නාට්‍යය පසුපස ම පේළියේ ඉඳගෙන බලලා ලබපු අත්දැකීම නිසා ඊයෙත් එහෙම වෙන්න දෙන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මට ඉදිරියට යන්න ඕන වුණා. නමුත් අනිත් එවුන් දෙන්නාට කම්මැලියි කියපු නිසා අපේ ගිනි කුරුල්ලා අයියා සහ ඔහුගේ ආදරණීය වෙන්ඩ භාර්යාව අක්කා හිටපු තැනට සම්ප්‍රාප්ත වුණා.අපි හිටියේ පුජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන් කරපු පේලියට පසු පස පේළියේ. එහෙම කළේ, නාට්‍යය ආරම්භ කරන වෙලාව වෙද්දී, ඉදිරියේ ඉඩ තියෙන තැන් වලට පසුපස පේලි වල ඉන්න අයට එන්න ලැබෙන නිසා. කොහොමත් ස්වාමීන් වහන්සේලා වැඩි දෙනෙක් එතැනට වඩින්නේ නැති නිසා ඒ පේලි දෙකේ බොහොම දවසට ඉඩ තියෙනවා.

කලා පීඨය අසල ඇති පාලම

ඊයේ දවසේ මට හමු වුණු විශේෂිත ම පුද්ගලයා ගිනි කිරිල්ලි අක්කා! ඊයේ රඟ දැක්වුවේ චරන්දාස් නාට්‍යය. සෙනග වැඩි නිසා අපි ඊයෙත් කලින් වලට ගියා. ඒ හින්දා පැය දෙකක් විතර නාට්‍යය පටන් ගන්න කලින් වෙලාව තිබුණා. අපි තුන් දෙනා බොහොම වෙලා එක එක ඒවා කියව කියව හිටියා. (මගේ කියවිල්ල හින්දා ඒ දෙන්නට කතා කරන්න බැරි වුණා ද මන්දා.. එහෙම වුණා නම් සමා වෙන්න අයියේ.. හොඳේ!!)

පරාක්‍රම නිරිඇල්ල මහතාගේ, “චරන්දාස්” නාට්‍යය  කලින් නාට්‍ය වලට සාපේක්ෂව ගොඩක් හොඳයි කියන්න පුළුවන්. නමුත් සමහර තැන් වල අනවශ්‍ය විහිලු තිබුණා. (හිනා යන්නේ නැති එව්වා! කෙලින් ම කියනවා නම්, ගොන් පාට් වගේ එව්වා) නමුත් සමස්තයක් විදියට හොඳයි. කතාව නම් කලින් අහපු එකක්. සිදු වීම් පෙළ ගැස්වීම විශිෂ්ටයි! ඒ වගේ ම කරලිය නාට්‍ය කණ්ඩායමේ විශේෂතා ගොඩක් තිබුණා. එය ජාතින් කිහිපයක රංගන ශිල්පීන් ගෙන සැදුම් ලත් නාට්‍ය කණ්ඩායමක්. ඒ වගේ ම, නාට්‍යය අවසානයේ එක් එක් ශිල්පියා වේදිකාවට ඇවිත් තමන්ගේ නම සහ ගම ප්‍රකාශ කළා. එය මම මීට පෙර දැක නොතිබුණු දෙයක්. ඒ වගේ ම එය අගය කළ යුතු යයි හැඟෙනවා.

අද රඟ දැක්වුණේ, ධර්මසිරි බණ්ඩාරයන්ගේ, “ට්‍රෝජන් කාන්තාවෝ”  නාට්‍යය. කතාවට පසුබිම් වෙලා තිබුණේ ට්‍රෝයි නගරයේ විනාශ වීම. නාට්‍යය සම්භාව්‍ය ගණයේ නාට්‍යයක් කියන්න පුළුවන්. 1999 වර්ෂයේ හොඳ ම නාට්‍යයට හිමි සම්මානයත් හිමි කර ගත්තේ ඒ නාට්‍යය! මට දැනුණු විදියට නම් ඒ නාට්‍යය තරමක් එපා වෙන ගතියක් තිබුණු එකක්. කතාව බොහොම ප්‍රකට එකක්. නළු නිළියන්ගේ රංගනය නම් විශිෂ්ටයි. භාෂා භාවිතයේ වැරදි නම් බොහොමයක් තිබුණා. කථනයේ දී ව්‍යාකරණ නිවැරදි වීම අත්‍යවශ්‍ය නැහැ. ඒත් අනවශ්‍ය පරිදි විධිමත් (formal) කිරීමට යාමෙන්  වැරැද්දීම නම් පිළි ගත නොහැකියි. ‘මම එය නොකළෙමි’ කියන වාක්‍යය කථනයේ දී ‘මම එය කළේ නැහැ’ හෝ ‘මා එය කළේ නැහැ’ ලෙස යෙදීමෙන් සැලකිය යුතු වරදක් දැනෙන්නේ නැහැ. නමුත් එය ‘මා එය නොකළෙමි’ යැයි යෙදීමෙන් වැරදි ආදර්ශයක් සැපයෙනවා. මේ වරද අද නාට්‍යයේ මා වැඩි වශයෙන් දුටු දෙයක්. ඒ හැරුණු විට ඒකාකාරී බව නැති වෙන්න හාස්‍ය රසයක් යම් තරමකින් හෝ එකතු වුණා නම් වඩාත් හොඳ යැයි හිතෙනවා.

යකා පාලම මත දී කෝච්චියක පැමිණීම



මේ ටිකේ බලපු නාට්‍ය හැම එකේ ම වගේ දෝෂ මහා ගොඩක් දැකපු රත්තා නාට්‍යයකට තිර පිටපතක් ලියලා. මට ඒක කියවන්න දුන්නා. ඒත් තවම කියවන්න නම් බැරි වුණා. අනිවාර්යයෙන් ම යන්න කලින් බලන්න ඕන.

රෑට ටිකක් රස්නේ වගේ නිසා මම කාමරේ ජනේල ඇරලා නිදා ගන්නේ.පරණ අවුරුද්දට සහ අලුත් අවුරුද්දට හැරුණ ම නිකම් වත් නාන්නේ නැති රත්ගමයා අයියාට පිනි බෑමෙන් බොහෝ ගැටළු ඇති වෙන බව දැනුම් දුන්නා. ඒ හින්දා ඊයේ සහ පෙරේදා එයා එහා කාමරේ නිදා ගත්තා. අදත් ගොඩක් දුරට එහෙම වේවි!

මේ ගත වෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, අක්බාර් ශාලාවේ මම ගත කරන අවසාන රාත්‍රිය. රත්ගමයා සමග ගත කරපු සතියේ අවසාන පැය කිහිපය. ඉරිදා උදේ ගාල්ලෙන් පිට වෙලා රත්ගමයා, පිසාචයා, බුල් බුල්, මගෝඩියා සහ තවත් කෙල්ලෙක් ඇතුළු පිරිස එක්ක පේරාදෙණියට ඇවිත් මේ වෙද්දී දවස් 6ක් ගත වෙලා.

මෙහෙට ආවට පස්සේ අපේ බැචාලා හතර දෙනෙක් මුණ ගැහුණා. උන් හතර දෙනාගෙන්  දෙන්නෙක් හෙට මාත් එක්ක යන්න එකතු වෙනවා. තව ගිනි කුරුල්ලා අයියා හෙවත් ටොපියා එන බව කිව්වා.හෙට උදේ 10.30 ට පේරාදෙණියෙන් පිට වෙන දුම්රියෙන් අපි ආයෙත් ගම රට බලා යනවා.

උඩවැඩියා විශේෂයක්

රත්තා හෙවත් රයියෝ!
කැම්පස් එකටා ආපු දවසේ ඉඳන් මේ වෙනකම් සහෝදරයෙක් සහ යාලුවෙක් විදියට උඹ ගොඩක් උදවු කළා. උඹේ කාමරේ මට දීලා උඹ වෙන කාමරේකට ගියා.මම ෆන් එකට උඹට මඩ කොච්චර ගැහුවත් ගණන් නොගෙන,ඒවාට  උඹත් මාත් එක්ක ම හිනා වුණා. හෙට මම යනවා මචං. මෙච්චර කල් කරපු හැම උදව්වකට ම බොහොම  පිං! ගිහිං එන්නම්! ජය!!






විශ්ව විද්‍යාලය තුල


ලංකා පොකුණ





ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 4 කොටස

Thursday, May 24, 2012

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තරාදායක ම භුමි කලාපය වන රත්ගමයාගේ කාමරයේ වාසයට පැමිණ මේ වන විට දින 4 ක් ගෙවී ගොස් ඇති අතර මම තවමත් ආරක්ෂිතව, පසුවෙමි. ඒ ශුභ ආරංචියත් සමග මේ දිග හැරෙන්නේ එකී මෙහෙයුම් වාර්තාකරණයේ සිව් වන දිග හැරුමයි..


මාකස් ප්‍රනාන්දු ශාලාව

අද උදේ රත්ගමයාට ලෙක්චර්ස් තිබුණේ නැතත්, මට උදෙන් ම අවදි වෙන්න සිද්ධ වුණේ ඊයේ රෑ අපේ කාමරයේ නවාතැන් ගත් අනෙක් එකා කුකුළා අතේ අරං ගමේ යන්න තීරණය කරලා තිබුණු නිසා! රත්තා අවදි කිරීමේ තේරුමක් නැති වැඩේට කිසිම උත්සාහයක් නොදරා ම පිට වී යන්න ඒකා තීරණය කරලා තිබුණා! ඒ හින්දා මම උදේ 6 ට විතර අවදි වෙලා ආයෙත් ටික වෙලාවකට නිදා ගත්තා! අද ප්‍රැක්ටිස් තිබුණු නිසා රත්තා උදේ 9 වෙද්දී යන්න සුදානම් වුණා. විශේෂ වැඩක් නැති වුණත් මාත් ඒ වෙලාවේ ම අවදි වෙලා මුණ කට සෝදා ගත්තා!
අපේ බැචා ලා තුන් දෙනෙකුත් වල බලන්න එන බව ඊයේ කියලා තිබුණු නිසාත්, කරන්න විශේෂ වැඩක් තිබුණේ නැති නිසාත් මම පැංචා ට කතා කළා. ඒ වෙද්දී උන් හිටියේ ගමනේ අතර මග! තනියම ඇවිදින්න කම්මැලි නිසා රත්තාගේ ලැප අරගෙන ෆිල්ම් එකක් දිග ඇර ගත්තා! ඒක බලද්දී අපේ එවුන් තුන් දෙනා ගෙන් දෙන්නෙක් පේරාදෙණිය කරා ළඟා වෙලා තිබුණා.
පේරේ ඇවිත් දවස් හතරක් ම හිටපු හින්දා, පොර වගේ අද ම පෙරට ගොඩ බැහැපු එවුන් දෙන්නට, රට තොට පෙන්නන්න කියලා ගියා! දවස් හතරේ පුරුද්ද හින්ද ම ද කොහෙද එක පාරකට දෙපාරකට වඩා පාර වරද්ද නොගෙන යන්තම් පැංචාගේ අක්ක හිටපු රාමනාදන් එක වෙත යන්න පුළුවන් වුණා! ඒ යන ගමන යෙදුණේ විරු සිසු ස්මාරකය අසලින්.. 

විරු සිසු ස්මාරකය


ඊට පස්සේ අපි ගියේ උන් තුන් දෙනා නවාතැන් ගන්න නියමිත මාකස් එකට! මාකස් එකේ දී, අපිත් එක්ක නායකත්ව පුහුණු කඳවුරේ හෙවත් කෑම්ප් එකේ හිටපු එවුන් කිහිප දෙනෙක් ම හමු වුණා! ගාල්ලේ ඉඳන් ආවට පස්සේ කතා කරන්න පුළුවන් විදියට පිසාචයා හමු වුණෙත් එතන දී! 

මාකස් ප්‍රනාන්දු ශාලාවේ බරාදයක්
ආ ගිය තොරතුරු වලින් පස්සේ ගමන වල දිහාවට! අද පෙන්නන්න නියමිතව තිබුණේ ජයලත් මනෝරත්නයන්ගේ ‘තල මල පිපිලා’ නාට්‍යය. එහි ජනප්‍රියත්වය නිසා ම හවස 7.30 ට පටන් ගන්න නියමිත නාට්‍යයට පැමිණි අයගෙන් හවස 6 වෙද්දී මුළු වල ම පිරී ගිහින් තිබුණා.5. 45 වෙද්දී එතැනට ගිය අපටත් සිදු වුණේ සෙනග වැඩි නිසා අන්තිම පේලියේ අසුන් ගන්න යි.

7.30දර්ශනය සඳහා 5.45 වෙද්දී පැමිණි පිරිස

බටහිරයන්ගේ  අත පෙවීම් නිසා සහ උන්ට ගැති අපේ එවුන්ගේ ක්‍රියා කලාපය නිසා සංස්කෘතිය පරිහානියට ලක් වීම සහ අවශෝෂණය යැයි පටලවා ගත් සංස්කෘතික අනුකරණය බොහොම සියුම්ව නිරූපිත නාට්‍යයක් විදියට එය හඳුන්වන්න පුළුවන්. නාට්‍යයේ ළමා චරිතය නිරුපනය නම් අති විශිෂ්ටයි. කිසිසේත් ම කුඩා දරුවෙකුගෙන් අපි බලාපොරොත්තු නොවන රංගනයක් දැකගන්න ලැබුණා. නාට්‍යය අවසානයේ ඒ කුඩා දරුවා වෙනුවෙන් නැගුණු අත්පොලසන් නාදය ඊට සාක්ෂි සපයනවා. 

හැම දේක ම හොඳ සහ නරක කියලා පැති දෙකක් තියෙනවා වගේ ම, මේ නාට්‍යයේත් සමහර දුර්වලතා කිහිපයක් දකින්න ලැබුණා. ප්‍රධාන වශයෙන් ම නාට්‍යයේ දර්ශන කාලය ටිකක් වැඩියි. ඒ වගේ ම යොදා ගත් සමහර හාස්‍යෝත්පාදක කොටස් වලින්, අදාල කාර්යය නිසි ආකාරයට සිදු වුණේ නැහැ කියලයි මගේ හැගීම. ඒ හේතු දෙක නිසා ම අවසාන භාගයේ දී රසය නිසි ආකාරයට විඳින්න බැරි වුණා. ඒ වගේ ම සංස්කෘතිය විනාශ වීම, මිනිසාගේ පැවැත්ම අවසන් වීම ට හේතු වන බව පෙන්නන්න යොදා ගත් රොබෝ ගේ කොටස ඊට වඩා සාර්ථකව කරන්න තිබුණා.. ඒ වගේ ම නාට්‍යය අතර මග දී ලබා දුන් විවේකයේ දී වේදිකාවේ තිබූ භාණ්ඩ වෙනස් කිරීම කෙරුණා සාර්ථක මදි කියල යි මගේ හැගීම. 

කොහොම වුණත් නාට්‍යය අවසානයේ කුඩා දරුවාගේ රංගනය සුපිරි මට්ටමක තිබුණා.. විශේෂයෙන් ම අවසාන දර්ශනයේ දී.. සමස්තයක් විදියට ඉතා හොඳ නාට්‍යයක්. සෑම කෙනෙක් ම නැරඹිය යුතු නාට්‍යයක්. විශේෂයෙන් ම තරුණ සහ ළමා පරපුර වෙනුවෙන් ඉතා සුදුසු යි..

තල මල පිපිලා අතර මැද
අද වැඩිය ඇවිද්දේ නැති නිසා ලියන්න දෙයක් නැහැ. ඒත් හෙට නම් ලියන්න දේවල් තියේවි කියලා විශ්වාස කරනවා! හෙට පොස්ට් ඒකෙන් හමු වෙමු!

ප/ලි:
ගේ හිත කැලණිය පැත්තට ගිහින් වගේ..  හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආදරයට වයස ප්‍රශ්නයක් වෙනවා ද? ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ද?

ප/ප/ලි:
ගේ හිත ගිය තැන රත්ගමයාත් මාලිගාවක් හදන්න උත්සාහ කරනවා. ඒ වගේ ම මට තරඟයකට ආරාධනා කරනවා.ඒ හින්දා යාලුවා එක්ක වුණත් සෑහෙන්න තරඟයක දෙන්න වෙයි වගේ! මොකද කට්ටිය කියන්නේ? යාළුවා නිසා වැඩේ අතැරලා දාන්න ද?

ප/ප/ප/ලි:
කලින් පොස්ට් එකේ මයිනන් ගැන කතාවට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකට පිළිතුරු දීම සඳහා මේ වැඩ ටික ඉවර වෙලා ගෙදර ගිය ගමන් ම ඉක්මනින් ම පොස්ට් එකක් දානවා. 

රොබට්

සිත ඇදී ගිය තැනක්


අවසාන කොටස





ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 3 කොටස

Wednesday, May 23, 2012

රත්ගමයා සමග සතියක් පේරාදෙණියේ ගත කිරීමේ මහා මෙහෙයුමේ තුන් වන දිනය අවසානයේ දිගහැරෙන සිංහාවලෝකනය යි මේ... මෙතෙක් සිදු වූ දෑ පිළිබඳව නොදන්නා යමෙකු වේ නම් පහත ලින්කු ඔබා දැන ගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි! ස්තුතියි! හෙක් හෙක්!!


 


ඊයේ පෝස්ට් එකේ විදියට ම අද නිවාඩු දවසක්.. ඒ හින්ද ම කොහොම හරි කැම්පස් එක වටේ රවුමක් ගහන්න ඕන කම තිබුණා. සුපුරුදු බාධාව වුණු රත්ගමයාගේ නින්ද බොහොම අමාරුවෙන් මැඩ පවත්වන්න පුළුවන් වුණේ උදේ පාන්දර 10 පහු වෙලා.. 

“අනේ මචං.. අද වත් යමන්කෝ... මට මේකේ තනියම ඇවිදින්න ගිහින් අතරමං වෙන්න බෑ බං!”
සැහෙන්න වෙලාවක් ඇඩුවට පස්සේ රත්ගමයාගේ දෑස් විවර වුණා..

“හා හා.. යමන්! හැබැයි මට 12 ට ප්‍රැක්ටිස් බං..අපි 11 ට විතර යමන්!”

ඔන්න ඔය විදියට පේරාදෙණිය විශ්ව විද්‍යාලය පුරා කෙරෙන මගේ කුළුදුල්  සැරි සරියට අවකාශ සැලසුණා..

අක්බාර් එකෙන් එලියට ඇවිත් මුලින් ම ගියේ කඩොලාන ගහ ළඟට! වලට ගිහින් එද්දී නිතර ම දැකලා තිබුණත්, එතැන ටිකක් නැවතිලා වෙලාව ගත කරන්න පුළුවන් වුණේ අද.. ( කඩොලාන ගහ ළඟ නැවතුනා කිව්වේ ගහ යටට ගිහින් නම් නෙවෙයි! හරි ය!! ගහට ටිකක් මෙහා පාරෙයි අපි හිටියේ) මේ ගහ සැලකෙන්නේ ලංකාවේ, මුහුදු මට්ටමෙන් ඉහළින් ම පිහිටි කඩොලාන ශාකය විදියට ලු! නිකම් හිතුනු හින්දා ඒ ගැන හොයලා බලලා මතක තියා ගත්ත කියලයි රත්තා නම් කිව්වේ! :P ඒ වගේ ම හිච් වෙලා නැති අය තනියම ගහ යට රැඳෙන්නේ නෑ කියලයි අහන්න ලැබුනේ..




ඊළඟට ගමන යෙදුණේ පිට්ටනිය දිහාවට! පාපන්දු ක්‍රීඩා පිටිය පහු කරලා ක්‍රිකට් පිටියට ත්, එතැනින් ගල අඟුරු ධාවන පථය හරහා කිරි හල දිහාවටත් අපේ ගමන් මාර්ගය වැටී තිබුණා.  අද සකස් වෙන බොහොමයක් ධාවන පථ සකස් කෙරෙන්නේ තාර යොදා ගනිමින්.. එහෙත් මේ ධාවන පථය සකස් වෙලා තියෙන්නේ කළු ගල් අල්ලන ලද පොළොවට ගල් අඟුරු යෙදීමෙන්. ඒ හින්දා ම මේකත් විශ්ව විද්‍යාලයේ වැදගත් තැනක් විදියට හැඳින්වෙනවා!


අද වැඩ වර්ජනය නිසා කිරි හල වහලා තිබුණා. ඒ හින්දා එතන තිබුණු මහා විශාල ගහ යට ට වෙලා ටිකක් වෙලා කාලය ගත කළා. තාම හිච් වෙලා නැති හින්දා වැඩක් නැති වෙලාවට මෙතනට ඇවිත් ඉඳලා ගියාට කමක් නෑ කියලයි දැනගන්න ලැබුණේ. ඉක්මනින් හිච් කර ගන්න ඕන කමකුත් තියෙන නිසා හෙටත් ඒ පැත්තේ යන්න හිතෙනවා! (ඒ අතරේ හිච් වුණොත් දැනගන්න සලස්වන්නම්!!) අපි එතන ඉන්දෙද්දී තමන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමී ව මයිනන් විසින් සංවිධානය කරන ලද පා ගමනක් අපේ ඉදිරියට ආවා!


ටික වෙලාවක් ගත කරලා ආයෙත් අපි ගමන පටන් ගත්තා. කලාගාරය, ශාස්ත්‍ර පීඨය පහු කරගෙන ආයෙත් අපි වල දිහාවට ඇවිත් තිබුණා. කලින් දවස් දෙකේ දී ම ඇවිත් තිබුණු තැන නිසා එතැන නම් මටත් අඳුන ගන්න පුළුවන් වුනා. ටික වෙලාවක් එතන කරක් ගහද්දි පරණ මිත්‍රයෙක් වුනු ‘දිගා’ හමු වුනා. කදේ දාගෙන එයා එක්ක ම WUS එක පැත්තට ආවා! ටික වෙලාවකින් අපි දවල් කෑම ගත්තා. එහෙම්ම රත්තා බේස් බෝල් ගහන්න පිටත් වෙලා ගිය නිසා එහේ මෙහෙ කරකැවෙමින් කෙරෙන දේවල් නිරීක්ෂණය කරන්න මට මොහොතකට අවස්ථාව සැලසුණා.

AHS එකේ එවුන්ගේ උපාධිය වසර 4 සිට වසර 3 දක්වා අඩු කිරීමට තීරණය කිරීමට එරෙහිව ඔවුන් පෝස්ටර් කැම්පේන් එකක් සංවිධානය කරලා තිබුණා. එතනට වෙලා ටික වෙලාවක් ගත කරද්දී අපේ බැචෙක් වුනු පැංචාගේ ආදරණීය අක්කණ්ඩිය හමු වුණා. ආගිය තොරතුරු කතා බහ කරමින් ඉඳලා ටික වෙලාවක් ඉඳලා ඇය නික්මුණා. (තව පොඩ්ඩෙන් මම අක්කාගේ හිච් එක කියලා එතන හිටපු එවුන් හිතනවා! යන්තම් අක්කා මම කවුද කියලා කිව්වා හින්දා  වැඩේ ශේප් වුණා!!) ඊළඟට අපේ පාසලේ හිටපු අපේ අක්කා කෙනෙක් හමු වුණා.. බොහොම කාලෙකින් දැකලා තිබුණු නිසා ගොඩක් වෙලා කතා බහ කළා..අපිත් එක්ක චෙස් කරපු තවත් අයියා කෙනෙක් (කුබෝටා) පේරේ ඉන්නවා කියලා මට මතක ක් කරලා දුන්නේ එයා.(එවෙලාවෙත් තව පොඩ්ඩෙන් මට ඒ අක්කගේ හිච් එකේ චරිතය රඟන්න වෙනවා! හොඳ වෙලාවට ඒකත් අක්කා ශේප් කළා..)



ඊළඟට කෙලින් ම කෝල් එක කුබෝටා ට.

“හලෝ මචං කොහොම ද?”

“මම දැන් උඹලගේ කැම්පස් එකේ. WUS එක ලඟට වරෙන්”

“හරි මචං.. මට විනාඩි 20ක් දීපන්. එන්නම්!”

අන්තිමට කොහොම හරි මට කුබෝටා ව අක්බාර් පාලම ළඟ දී හමු වුණා. එතන ඉඳං ආයෙත් සවාරිය පටන් ගත්තා.. පරණ කතා, ආගිය තොරතුරු, කැම්පස් ජීවිතේ ගැන කතා ඉවරයක්‌ නෑ. අතරමග දී මම,

“කොහෙද බං අර යකා පාලම තියෙන්නේ?”

“ආ.. උඹ එකට ගිහින් නැද්ද? ඒක තියෙන්නේ ස්ටේෂන් එක ගාව..යමන් බලන්න”
ගමන ඊළඟට යකා පාලම දිහාවට!

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් තුල තියෙන එක ම දුම්රිය ස්ථානය හෙවත් පේරාදෙණියේ ‘සරසවි උයන’ දුම්රිය ස්ථානය අපි යන පාරේ දකින්න ලැබුණා. මොහොතකට ඒ ලඟට ගිහින් ආයෙත් හැරෙද්දී ම නලා හඬක් ඇහුණා. පිටිපස්සෙන් කෝච්චියක්.. හනිකට පාරෙන් ඉවතට පැන ගත්ත අපි කෝච්චිය යනකම් හිටියා..

“අපරාදේ මචං.තව විනාඩි 5කට කලින් ආවා නම් පාලම උඩට වෙලා කෝච්චිය යන ෆොටෝ එකක් ගන්න තිබුණා.”
ඒ කුබෝටා!


යකා පාලම කියන්නේ ඇත්තට ම පිස්සු හැදෙන තැනක්. පාලම උඩින් යද්දී පහළින් පෙණ විසිරුවමින් බොහොම ලස්සනට ගලාගෙන යන ගඟ පෙනෙනවා.. එක පැත්තක ගඟේ දිය කෙලින පිරිසක්. අනෙක් පැත්තේ හන්තාන කඳු වැටිය! ඒ ලෝකයේ තියෙන ලස්සන ම තැන් වලින් එකක් කියලයි හිතුණේ!



ටික වෙලාවක් යකා පාලමේ සුන්දරත්වය විඳපු අපි, ආයෙමත් එන්න පිටත් වුණා. පළමු වන වතාවට මාකස් එක පැත්තට ගියේ අද.. මාකස් එකේ කැන්ටිමෙන් තේ එකක් බීලා, ටික වෙලාවක් කුබෝටා එක්ක කයියක් ගහලා වල දිහාවට ඇදුනා.. ඒ එද්දී සංඝමිත්තා, හිල්ඩා වගේ කලින් නම් අහලා තිබුණට දැකලා නොතිබුණු නේවාසිකාගාර කිහිපයක් ම දැක ගන්න පුළුවන් වුණා.. වල ළඟ දී අපේ ගම් පලාතෙන් ම ගියපු එකෙක් හමු වුණා. අද රෑ නවතින්න ඌ අපේ කාමරය ට ආවා! මේ මොහොතේ කාමරේ අපි තුන් දෙනෙක් ඉන්නවා!

කතාවෙන් කතාවෙන් අද නාට්‍යය ගැන කියන්න අමතක වෙනවා.. අද රාජ්‍ය සම්මානලාභී කෙටි නාට්‍ය 3ක් පෙන්නුවා..
  • ඩයිනොසර්  ප්‍රේමය
  • බොක්ස්
  • තනියෙක් විශිෂ්ටයි

ඒ අතුරින් නුවන් දර්ශන ගේ ‘ඩයිනොසර් ප්‍රේමය’ නාට්‍යය නම් අති විශ්ෂ්ඨයි.. සෙසු නාට්‍ය දෙක සමග සසඳද්දී අනිවාර්යයෙන් ම පළමු තැන හිමි වෙන්නේ ඒ නාට්‍යයට! මට හිතුනු විදියට නම් දෙවන තැන ‘තනියෙක් විශිෂ්ටයි’ නාට්‍යයට ලැබිය යුතුයි. නමුත් සමස්තයක් වශයෙන් නාට්‍ය තුන ම හොඳ තත්වයේ තිබුණා.(නැත්නම් ඉතින් සම්මාන දේවි යැ?)



කුබෝටා හමු වෙන්න ගිය වෙලාවේ, මාකස් එකේ 14 වෙනි කාමරේ තිබුණු එක්තරා කවි පද කිහිපයක් හිතට බොහොම සංවේදී වුණා. කාලෙකට කලින් ලියවුණු බවක් තිබුනත්, දිනයක් නම් දකින්න තිබුණේ නැහැ..

ඔබට එළිය ඕන කිව්වා හින්දයි
මම අහසට සඳ අරගෙන ආවේ..
ඔබට සුවඳ ඕන කිව්වා හින්දයි
මම නටුවට මල අරගෙන ආවේ..

ඒ සඳ එළියේ
ඔබ තවත් මලක් සිඹීන කොට
මා සඳ ගන්නේ කොහොමද?
අහසින් ඉවතට..

ඒ මල සුවඳේ
ඔබ තරු රැසක් විඳින කොට
මා මල් ගන්නේ කොහොමද?
නටුවෙන් ඉවතට..

ඊට ටිකක් පහළින්, වෙනස් අත් අකුරු වලින් මෙහෙම එකක් ලියලා තිබුණා..

ආදරය විශ්වාස නොකරන්න.
ඒත්, විශ්වාසයෙන් යුතුව ආදරය කරන්න..
2006/01/06



අද නාට්‍ය නරඹලා කාමරයට ආවේ දැන් ටිකකට කලින්. අද සටහන ටිකක් දිග වුණා. ඊයේ වැඩි දෙයක් කිව්වෙත් නැති නිසයි අද දිග වුණේ. හෙට තවත් සිදුවීම් ටිකක් එක්ක හමු වෙමු!













4 කොටස




ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 2 කොටස

Tuesday, May 22, 2012

මේ වෙද්දී මම පේරාදෙණියට ඇවිත් කාලය පැය විසි හතරකට එහා ගත වෙලා.. රත්ගමයා සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, එක ම කාමරයේ සතියක් ගත කිරීමේ මහා මෙහෙයුම පිළිබඳව 'ලක් වැසි' සහ 'පිට රට වැසි' පාඨකයන් දැනුවත් කිරීමේ මෙහෙයුම් වාර්තාකරණයේ දෙවන දිග හැරුමයි මේ..

කලින් කොටස කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් කියවලා එන්න... මේ ඊට පස්සේ සිදු වුණු ටික!



කාමරයේ ජනේලයෙන් පිටත බැලූ විට

ඊයේ රෑ නිදා ගන්න ගිය වෙලාවේ, රත්ගමයා එක පාරට ම මහා විකාර ප්‍රශ්නයක් ඇහුවා.. 

"මචං.. උඹේ ෆෝන් එකේ එලාම් එක තියන්න පුළුවන් ද බං??"


ඇයි යකෝ.. HTC Rhyme එකක් පාවිච්චි කරන එකෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ද ඒ? අමතක වුනා නේ. මූ හරකා නේ!!


"පුළුවන් බං.. ඇයි මොකෝ??"


"නෑ බං.. හෙට ලෙක්චර්ස් තියෙනව නේ.. මට උදෙන් නැගිටින්න ඕන.. මගේ එකෙත් එලාම් එක තිබ්බා. ඒ උනාට ඒක ෂුවර් නෑ.."


ඒකත් ඇත්ත නේ! ඇපල් චයිනීස් එව්වා වල වගේ හොඳට චයිනීස් ඇපල් එව්වයේ එලාම් වදිනවා යැ.. විශේෂයෙන් රත්තගේ ඇපල් එකේ!



"හා හා.. හරි බං.. මම තියන්නම්.. කීයට ද එලාම් එක තියන්න ඕන?"

"7.30 ට වගේ තිබ්බම ඇති බං.. හෙට ලෙක්චර්ස් තියෙන්නේ 10 ට"

අඩේ.. මේ ගස් ගොබිලා මෙච්චර බයේ ඉන්නේ 7.30 ට ඇහැරෙන්නේ නැති වෙයි කියලා ද.!


කොහොම හරි උදේ 7.30 වෙද්දී එලාම් එකට අවදි වුනු එකා ටික වෙලාවක් එහෙ මෙහෙ කරක් ගහලා 8 විතර වෙද්දී, 

"අනේ මචං අද ලෙක්චර්ස් යන්න බෑ.. අද CS එකත් නෑ.. අනිත් දෙකට ගිහින් වැඩක් නෑ.."


කමක් නෑ ඉතින්.. හැමදාම නෑ නේ.. මට ඉතින් රත්තා වගේ සතෙක් වගේ ඉඳලා පුරුදු නැති නිසා ගිහින් මුණ කට හෝදගෙන ආවා.. එද්දී සතා නිදි.. (රත්තාට ගැසූ මඩ අද දිනට අවසන්)




කරන්න දේකුත් නැති නිසා දවල් වරුව ෆිල්ම් බල බල හිටියා.. ඇවිදින්න හිතුනේ නැහැ.( මේකේ සයිස් එකේ හැටියට අතරමං උනොත් එහෙම ගම්පොල දිහාවෙන් මතු වෙන්න පුළුවන් හින්දා මගේ පුංචි හිතට බයක් වගේ එකක් දැනුණා)



හවස් වෙද්දී මොකද්ද මීටිං කෑල්ලක් පිටින් දාලා සයන්ස් එකේ එවුන් සෙට් එක ම මාරු. වලට යන්න වත් මොකෙක් වත් නෑ..කල්පනා කර කර ඉන්දෙද්දී එක පාරට ම යෝධ බල යෝධ වීරිය මගේ ඇඟටයි, හිතටයි දෙකට ම ආවා! වෙන එවුන් මොකට ද? මම යනවා තනියම!


අක්බාර් හෝල් එකේ ඉඳං වල පැත්තට යන්න ඕන අක්බාර් පාලම හරහා.. වෙලාව හවස 5.30 ට විතර ඇති.. නාට්‍ය පටන් ගන්නේ 7.30 ට විතර. ඉර බැහැගෙන යන වෙලාවේ ඒ සුන්දරත්වය පුදුමාකාර විදියට විඳින්න අක්බාර් පාලම මතට වෙලා පුළුවන්. කලින් අහලා තිබුණට විඳලා තිබුණේ නැති නිසා ඒ අත්දැකීම පුදුමාකාර විදියට හිතට කා වැදුනා. 
අක්බාර් පාලම මතට දිස් වෙන මහවැලිය

"උදේ පාන්දරට මෙතන මාර ලස්සනයි බං.." 

ඊයේ හවස අක්බාර් පාලම උඩින් එද්දී රත්තා කිව්ව කතාව මට මතක් වුනේ ඒ වෙලාවේ.. ඉර බහිද්දී මෙච්චර ලස්සන නම්, ඉර පායද්දි කොහොම වෙයි ද කියලා මට හිතා ගන්න පුළුවන්.. ටික වෙලාවක් ඒ සුන්දරත්වය විඳපු මම ආයෙමත් වල පැත්තට ඇදුනා..

ඊයේට වඩා අද වලේ සෙනග පිරිලා..  පනහේ ටිකට් එකකින් යන්තම් ඇතුලට රිංග ගත්ත මම, මුලින් ම හෙව්වේ වාඩි වෙන්න, ඉඩ කඩ සහ හොඳ අසල්වැසියෙක් ඉන්න තැනක්.. ඉඩ කඩ තියෙන තැන් කිහිපයක් තිබුණත් අසල්වැසියන් හිතට වැදුනේ නැති නිසා ඒ තැන් කිහිපය ම මග හැරලා අන්තිමට එක තැනකින් වාඩි වුනා.. (හොඳ අයියා කෙනෙක් විදියට තමන්ගේ එක ම නංගි කියන දේවල් ඉඳලා හිටලා හරි අහන්න ඕන නේ!) 

අපේ කැම්පස් එකේ බැචියකට ටිකක් සමාන රුවක් තියෙන, ලස්සන කෙල්ලෙක් මගේ ළඟ හිටියා.. 

'අද නම් වැඩේ ගොඩ! ඕන් නංගියේ මේකිට කොල්ලෙක් නැත්නම් මේ ඉන්නේ උඹේ නෑනා!'
මගේ යටි හිත හෙමිහිට කෙඳිරුවා.. ටික වෙලාවක් ගත වෙද්දී එයා කොහෙන්දෝ මන්දා ජංගම දුරකතනයක් ඇදලා අරන් කාට ද මන්දා කොටන්න ගත්තා.. ඊට ටික වෙලාවකට පස්සේ ඇමතුමක්! 


"මම මෙහේ අනේ! කෝ ඔයව මට පේන්නේ නෑ නේ! අනේ එන්නකෝ.."

"ආ.. මම ඔයාව දැක්කා.. මම මේ මෙතන ඉන්නේ අනේ.. කෝ ඔයාට පේන්නේ නැද්ද? ඔහොමම ඉස්සරහට එන්නකෝ.. තව පහලට එන්න.. තව.. ආ දැන් එන්න.."


කොහේදෝ ඉඳලා ආපු හිපාටුවෙක්ගේ අතේ ඈ එල්ලුනා.. අන්තිමට ඌ අපි දෙන්නා අතරට ඇවිත් නාට්‍යය බලන්න ගත්තා.. පේරාදෙණියේ මගේ කුළුදුල් ප්‍රේම කතාව අවසන් වුණේ එහෙමයි! 

අපි ගාල්ලේ කොල්ලෝ..  ඔව්වයින් අපි සැලෙන්නේ නෑ.. දිගට ම උත්සාහ කරනවා! තාම ඇවිත් දවසයි නේ!



විකාර මිසක් අද නාට්‍යය ගැන කියන්න බැරි වුනා නේ.. අද පෙන්නුවේ දොළහක් කියන නාට්‍යය!පැය දෙකක ධාවන කාලයක් තිබුණත් අතරමැද දී විවේකයක් තිබුණේ නැහැ.. හැබැයි නාට්‍යය අතරේ විවේකයක් අවශ්‍ය වුනෙත් නැහැ.. ඒ තරම්ම සුපිරි නාට්‍යයක්! කාලය ගත වුණා දැනුනේ ම නෑ.. 

නාට්‍යයේ අවස්ථාවක්

මේ නාට්‍යය කලින් වාරයක ගාල්ලේ දී බලන්න හිතන් හිටියට අවස්ථාවක් ලැබුනේ නැහැ.. හැබැයි අද නම් උපරිම වින්දනයෙන් යුතුව නැරඹුවා! කෙනෙක්ට අවස්ථාවක් ලැබෙනවා නම් නැරඹිය යුතු ම කතාවක්.


අද  ටිකක් වෙහෙසයි! ඒ නිසා පෝස්ට් එක කෙටි කරන්න වුණා. අද කියන්න බැරි වුණු ටිකත් හෙට කියලා දාන්නම්!


ප/ලි:
හෙට  මයිනන් හෙවත් minor staff එකේ වැඩ වර්ජනයක් පැවැත්වෙන බව දැන ගන්නට ලැබුණා.. එහෙම වුණොත් ලෙක්චර්ස් නැති නිසා කැම්පස් එකේ සමහර තැන් පිරී ඉතිරී යනු ඇතැයි ද, සමහර භාණ්ඩ වැඩි වැඩි වශයෙන් අලෙවි විය හැකි යයි ද තතු දන්නා එවුන් පැවසුවා! ඒ ගැන වැඩි විස්තර කීම තහනම් නිසා මීට වඩා කිසිවක් නොකියමි!


ප/ප/ලි:  
මේ සටහන ලියන වෙලාවේ, කොහේදෝ අවලමේ ගොස් සිටි, 'රත්තා' නොහොත් 'කුප්පයා' මේ ස්ථානයට කඩා වැදුනා.. ඒ තමන් මිල දී ගත් ජාතික සම්පත ලොතරැයියක ජය අංක බලා ගන්න! 

පළමු අංකය ගැළපීමෙන් ඔහු මේ වන විට රුපියල් ම විස්සක් ජයග්‍රහණය කර තිබෙනවා! ඒ මුදලෙන් සෑහීමකට පත් නොවන නිසා තවත් ඉදිරියට යන බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කර, යළි තහවුරු කළා.. තවත් ඉදිරියට යාමෙන් ලද රුපියල් විස්සත් නොලැබිය හැකි බවට අප අවවාද කර තිබියදීත් තම තීරණයේ ම රැදී සිටින්න රත්ගමයා මහතා ගත් තීරණය අප අගය කරනවා! ඔහුට හොඳ තරඟයක දෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා..

ඉදිරි වට වල සහ පේරේ ජීවිතය පිලිබඳ තවත් තොරතුරු සමග හෙට හමු වෙමු!

3 කොටස

ජීවිතය පිළිබද ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 1 කොටස

Monday, May 21, 2012

ඔන්න ඔහේ ගෙදරට වෙලා වේලි වේලි ඉන්දෙද්දී නිකම් ඉන්න බැරුවට බුකිය පැත්තේ රවුම් ගහන්න ගිය වරදට, පේරා කැම්පස් එකේ වල ගැන තිබුණු පෝස්ට් එකක් දකින්න ලැබුණා..රැංගෝ ට ඉතින් ඒ වගේ එකක් දැක්කම නිකම් ඉන්න බෑ නේ.. සතියක් ම දිග නිවාඩුවක් තියෙන හින්දා කොහොම හරි යන්න ඕන කියලා පත සයිස් එකේ ආසාවක් ආවේ මට නොදැනීමයි!කාටද කතා කරන්නේ? පේරේ අම්බානක් දන්න එවුන් හිටියට මුලින් ම මතක් වුනේ මේ ඊයේ පෙරේදා ඩ්‍රීම් ෆෙස්ටිවල් යන්න ගිහින් අම්බානක් චාටර් වුනු එකාව! රත්ගමයා!
 සල්ලි සල්ලි කියලා නොබලා ගත්තා කෙලින් ම කෝල් එක!

"හලෝ.."
අපෝ.. අර (අ)ප්‍රසන්න කටහඬ ආයෙමත්.. මේ නම් අනිවා රත්තා තමයි..


"හලෝ මචං.. කොහොමද?"

"ඒ.. කවුද බං ඔය??"

"නෙද්දකින් අලුගුත්තෙරුවා... තොගේ ළඟ නම්බර් එක තිබිලත්, මගෙන් කවුද කියල අහන්න ලජ්ජ නැද්ද? !@#$"

"අනේ සොරි බං.. මේ අලුත් ෆෝන් එකක් බං.. අපේ මල්ලි රට ගිහින් එද්දී මට ෆෝන් එකක් ගෙනාවා නේ! උඹ දන්නේ නෑ නේ! ඒක පට්ට එකක් බං... පොඩි අවුලකට තියෙන්නේ ඒකෙ ඔබන්න බොත්තම් නෑ බං.. එපා වෙනවා! "

මට තේරුනා නම්බර් නැති කතාව මූ ඇදබාපු කෙබ්බයක් බව! කමක් නෑ ඉතින්.. පොඩි එකා ආසාවෙන් ඇරපු නයා නේ!


"අහා.. එහෙම ද මචං.. එල නේ! ඒක නෙවෙයි.. උඹලගේ වල සතිය තියෙනවා නේ..මටත් නිකමට වගේ එන්න හිතෙනවා.. මොකද කරන්නේ?"

"අයියෝ වරෙන් මචං.. මගේ කාමරේ ඕන තරම් ඉඩ තියෙනවා.. වරෙන් වරෙන්.. මම දැන් ගාල්ලේ ඉන්නේ.. 20 නුවර යනවා. උඹට අපිත් එක්ක ම යන්න පුළුවන්.."

බයත් හිතෙනවා..අහලා  තියෙන විදියට රත්ගමයා ගේ කුරුල්ලන්ගේ සංගමයේ සාමාජිකයෙක් නේ. ඒ හින්දා පරිස්සම් වෙයන් කියලා මගේ හිත කොඳුරන්න පටන් ගත්ත..කමක් නෑ.. වෙන දෙයක් වෙද්දෙන්.. ඔන්න ඔහේ යනවා!


"එහෙනම් මචං මම එනවා...20 උඹලා යනවා නේ!  එහෙනම් යන වෙලාව කියලා මට මෙසේජ් එකක් දාපන්!"

"හරි මචං.."

ඔන්න  ඔහොමයි පේරා යන වැඩේ සෙට් වුනේ... දෙයියනේ කියලා අද උදේ 10.30 ට විතර ගාල්ලෙන් එන්න හිතාගෙන බස් ස්ටෑන්ඩ් එකට ගියත්, ගාල්ලෙන් එද්දී 12 ත් පහු වෙලා තිබුනේ! ඉතාම අවාසනාවන්ත ලෙස ගාල්ල කොළඹ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කිහිපයක් කරන්න කියලා මහාමාර්ග ඇමති තුමා හදිස්සියේ නියෝග කිරීම නිසා පාර වහලා.. ඒ හින්දා කොළඹට බස් එකෙ ඇවිත්, කොළඹින් නුවරට කෝච්චියේ ආවා..



මග තොට විස්තර නම් කියන්න දෙයක් නෑ නේ. නුවර කෝච්චියේ යනවා කියන්නේ ඉතින් සුන්දර භුමි දර්ශන  නරඹමින් යන සුන්දර චාරිකාවක් නේ.. ඒ රසය උපරිමෙන් විඳිම්න් පේරාදෙණියට ම ආවා.. ඔය තියෙන්නෙ පේරේ දී ගත්ත ෆොටෝ ටිකක්..




කැම්පස් එකේ සුන්දරත්වය නම් ඉතින් කියන්න වචන නැහැ! විශිෂ්ටයි!සොබාව සෞන්දර්යය අතින් උපරිමයි!



අක්බාර් එකට එද්දී වෙලාව 6.30 පහු වෙලා.. යන්තම් මුණ කට සෝදා ගෙන කෙලින් ම වලට ගියා.. අද පෙන්නුවේ "බර්නාඩාගේ සිපිරි ගෙදර " නාට්‍යය.. 
සම්භාව්‍ය නාට්‍යයක් වුණත් තේරුම් ගන්න පුළුවන් මට්ටමක තිබුණා! 

අද පටන් සතියක් මට ගත කරන්න වෙන්නේ අක්බාර් එකේ.. රත්ගමයාගේ කාමරේ! සැහෙන්න භයානක අඩවියක ජීවත් වෙන බවක් මගේ පුංචි හිතට දැනෙනවා.. ඒ හින්දා හිතට එන හැම දේ ම ලියනවා.. මේ සතියේ ම හැම දා ම වෙන දේවල් පුළුවන් විදියට සටහන් කරන්න උත්සාහ කරනවා!

යම්කිසි හේතුවක් මත මගේ ලිවිල්ල එක පාර ම නතර වුණොත් මගේ ජීවිතයට අනතුරක් සිදු වී ඇති බව ස්ථිරයි. ඒ නිසා කට්ටිය නිවාඩු එහෙම වෙන් කර ගන්න! මේ පෝස්ට් එක දාන්න යොදා ගත්තේ රත්තාගේ ලැප.. ඒ වෙනුවෙන් රත්තා මගෙන් පොඩි උපකාරයක්‌ බලාපොරොත්තු වෙනවා..එයාගේ ෆෝන් එකේ ෆොටෝ එකක් අරුණැල්ලේ දාන්න ලු!මෙච්චර උදව් කළ එකාගේ ඉල්ලීමට පිටු පාන්න බැරි නිසා ෆොටෝ එක දානවා! කාට හරි ඒක චීනයේ නිෂ්පාදිත එකක් කියලා හිතෙනවා නම්, ඒ අදහස වෙනත් කෙනෙක් ට දැනගන්න දෙන්න එපා කියලා රත්ගමයා මහතා කරුණාවෙන්ඉල්ලා සිටිනවා..


අදට නවතිනවා! හෙට තත්වය ගැන පෝස්ට් එකක් දාන්නම්! අනිවාර්යයෙන් ම ඇවිත් යන්න එන්න!





ප/ලි:
බ්ලොග් එක දිනපොතක් කර ගන්න එකට මගේ එච්චර කැමැත්තක් නෑ.. ඒත් මේ වාරයේ විතරක් මේ දවස කිහිපයේ වෙන දේවල් ලිව්වට කවුරුත් අහිතක් හිතන එකක් නෑ කියලා හිතනවා!



ප/ප/ලි:  
පෝස්ට් එක ලියලා ඉවර වෙද්දී ම  රැංගෝ ගේ නංගිගෙන් කෙටි පණිවිඩයක් ආවා!
"අයියේ.. මේ පාර එද්දී අඩු ගානේ ඔය පැත්තෙන් වත් නෑනා කෙනෙක් හොයාගෙන එන්න.."
අපේ නංගි මගෙන් දෙයක් ඉල්ලුවේ බොහොම කාලෙකට පස්සේ!ඒ හින්දා ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා!



2 කොටස



ඇගෙයි වරද (සත්‍ය සිද්ධියක් ඇසුරෙනි)

Friday, May 18, 2012


අඩවන් වූ නෙත් සඟලේ
නුරා ගින්න ඇවිලිලා,
ඊට යටින් කඳුලැල්ලක්
යාන්තමට වියළිලා,
තව ටිකකින් අන්ධකාරේ 
සැඟවෙයි ඇය නික්මිලා,
ඒ එක්ක ම කඳුලැල්ලත්
මැකී යාවි වියළිලා..

අපේ අතේ නෑ වරදක්
ඇයයි වරදේ බැඳෙන්නේ,
මැකී ගියත් කඳුළු බිඳුව
යළි නෙතගට උනන්නේ,
මහ ගඟකින් දිය දෝතක්
බිව්වට නැහැ දැනෙන්නේ,
ගඟෙන් වතුර බී යන උන්
මුහුදට ආවඩන්නේ!!





ධරණීය නොවූ සංවර්ධනය

Thursday, May 17, 2012




මහා ගස් පෙරළලා
කැලෑ බිම් එළි කළා
සොබා දම වනසලා
"සංවර්ධනය(??)" නම් කළා..

වැහි පොදක් නො වැටිලා
කාලයක් ගත වෙලා
වන සතුන් මියැදිලා
මහ පොළොව වියැළිලා..

බොහෝ කල් ගත වෙලා
වර්ෂාව නැති වෙලා
සංයෝග කළඹලා
ඔවුන් වැසි ඇති කළා..

වැහි ලිහිණි හඬ සලා
අහස් කුස ඉගිලිලා
වැසි වැටෙන සන් වෙලා
ගම්මාන හිනැහිලා..

සතන් සිත් තුටු වෙලා
වර්ෂාව ඇති වෙලා
පස් තට්ටු සේදිලා
මඩ වතුර යයි ගලා..

මහ සුළං පැතිරිලා
ගස් මුලින් ඉදිරිලා
වැට කඩුලු බිම් තලා
ගං වතුර යයි ගලා..






ගෙවී යන දවස!

Tuesday, May 15, 2012

නුඹ හා හුන්
තවත් දවසක්
ගෙවී යන යුරු
බලා හිඳිනෙමි
අන්තිම පැන්සයත්
පරාද වූ
සූදු අන්තුවෙකුගේ
බැල්මෙන්...





ප/ලි:
මේ ටිකේ මම ගොඩක් අයගේ බ්ලොග් වලට ආවේ නෑ කියලා ඇති වෙන්න නෝක්කාඩු ඇහුව නේ.. ඔන්න තව පැය කිහිපයකින් ඔලුව පිරිලා තිබුණු මගේ වැඩ ටික ඉවර වෙනවා.. ඊට පස්සේ ආපු නැති බ්ලොග් වලට එනවා.. කාගේ හරි බ්ලොග් එකක් මග හැරිලා නම් කියන්න හොඳේ!!

ආදරණීය ඔබා මාමේ!

Sunday, May 13, 2012



ලෝකේ පෙරලුනත් අඟහරුවාදාට කලින් පෝස්ට් එකක් දාන්නේ නෑ කියලා හිතාගෙන උන්නට
හිතුවේ නෑ කවදාවත් උඹ හින්දා මට පෝස්ට් එකක් දාන්න වෙයි කියලා.. ඒ කාලකන්ණි ආරංචිය අද උදේ එද්දී මම බ්ලොග් එකක් වත් කියවන මානසිකත්වයකින් නෙවෙයි හිටියේ. ඒත් ඒ මොහොතේ ම ඇවිත් බලද්දී සයිබරය පුරා ම ඔබා මාමගේ ගැන පෝස්ට් වැටිලා..



ජීවිතේට එක ම වරක් විතරක් හමු වෙලා කතා කරලා තිබුණට, ඔබා මාමේ, කමෙන්ට් සහ බුකියේ චැට් වලින් අපි අතරේ ගොඩනැගිලා තිබුණේ පුදුමාකාර යාලු කමක්..

බ්ලොග් ලියන්න ආපු කාලේ, ලොකු ලොකු බ්ලොග් වල Observer කියලා පොරක් කමෙන්ට් කරලා තියෙනවා දැක්කම, ඒ හැමෝම ගරු කරන ලොකු පොරක් බව දැනුනම, ඔබා මාමේ උඹ ගැන මහා ලොකු ගෞරවයක් හිතේ ඇති වුණේ මට වත් නොදැනීම.

ඒ පොර එක දවසක් මගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකකට කමෙන්ට් කරලා තියෙනවා දැක්කම,  Facebook request එක accept කරලා මාත් එක්කත් chat කරන්න ගත්තම, මාත් බ්ලොග් ලියන සැහෙන්න පොරක් වෙලා කියලා දැනෙන්න ගත්තා..

සිහින උළෙලේදී හමු වෙලා අතට අත දුන්නට මාමා, මාව අඳුන ගත්තේ නැහැ. ඒත් නම කියපු ගමන් මාව වැළඳගෙන බොහොම ලෙන්ගතුව කතා කළා.. මට සැඟවුණු පෙට්ටියේ තරගෙන් ලැබුණු ටිකට් එක ඔබ තුමාටයි මම ඉස්සෙල්ල ම ඕන ද ඇහුවේ! ලබන පාරත් සිහින උළෙලට එන්න බලනවා, ආයෙත් ආයෙත් ආපු වෙලාවක ගාලුත් ඇවිත් යනවා කියාගෙන ගිය මාමා, ආයෙත් කවදාවත් දකින්න නොලැබේවි කියලා තුන් හිතකින් වත් මට හිතුනේ නැහැ..



අනිත් එවුන් හැමෝම මාමා නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කළත්, නිවන් දකින්න කලින් ආයෙත් අපි අතරට ඇවිත් යන්න.. ආයෙමත් ඔබා මාමගේ කමෙන්ට් එකක් වැටෙනකම් අපේ බ්ලොග් බලාගෙන ඉන්නවා.. ඒ අඩුව මකන්න වෙන කාටවත් බෑ..

වරම් අයැදීම

Saturday, May 12, 2012

අද පෝස්ට් කරන කවිය නම් මම ලියපු එකක් නෙවෙයි. සමහර තැන් වලට පොඩි පොඩි දේවල් ටිකක් මම අලුතින් එකතු කළා. මගේ යාලුවෙක් හිතාගෙන ඉන්නේ එයාට ලියන්න බැහැ කියලා. මේ පෝස්ට් එක එයාට කියලා බලෙන් වගේ ලියවපු එකක්.
මතක ඇතිව  තමන්ට දැනෙන විදියට හොඳ-නරක කියලා යන්න.. ඒක එයාට ශක්තියක් වේවි..

අහඹුවකි
පිය සටහන්
නොඉඳුල් හද
වැලඳ ගත්..

උදා වූ කල,
ඒ පිය සටහන්
අහඹුවකින්ම
මැකී යන දින..

ආලය පිරි හද
වරම් අයදියි
කඳුලින්
පා දොවන්නට..

මෙන්න මෙහෙමයි සිද්ධිය.

අපි හිතමු X සහ Y කියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කොල්ලෙක්. අනිත් කෙනා කෙල්ලෙක්. X ගේ ජීවිතයට Y එනවා. ඒ එන්නේ යාලුවෙක් විදියට. ඒ දෙන්නා හොඳ ම යාලුවෝ පමණක් බව දෙන්නා ම දන්නවා. නමුත් X, Y ට ආදරය කරනවා. ඒත් Y, Xට ආදරේ කරන්නේ නැහැ. ඒත් Yගේ ජීවිතයට X ගොඩක් වැදගත්. ඒ දෙන්න අතරේ නොගැළපීම් ගොඩක් තියෙනවා. කාලය ගත වෙද්දී Y කවදා හරි තමන් ව දාල යන්න ම යන බව X දන්නවා.  තමන්ට කවදාවත් හිමි නොවුණත් ඒ වෙන් වෙන දවසෙදී Y ගේ පාමුල වැටිලා හඬා වැළපෙන්න X අවසර ඉල්ලනවා..

මෙතැනදී කවුරු වැරදි ද, කවුරු හරි ද කියලා මට නම් හිතා ගන්න බෑ.. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් සඳහන් කරන්න..

මෙතන දී මේ කවිය කොල්ලා කියන එකක් වෙන්නත් පුළුවන්, කෙල්ල කියන එකක් වෙන්නත් පුළුවන්. නමුත් වැඩි ඉඩක් ඇත්තේ කෙල්ල කියන එකක් වීමට. මොකද, කෙල්ලෙක් ගේ පාමුල සාමාන්‍යයෙන් කොල්ලෙක් වැටෙන්නේ නෑ නේ!! ඒ හින්දයි X සහ Y වෙන වෙන ම හැඳින්වුයේ නැත්තේ!!

ඉරබටු තරුව (හැඟීම් මාත්‍රයක් පමණි - කවියක් නොවේ)

Thursday, May 10, 2012

නැතක් නම් තරු
තැන් තැන් වල
රාශි වෙලා..
තට්ට තනියම
නුඹ විතරක්..

හඳ නැගුණත්,
අමාවකටත්..
සීතල රෑටත්,
ගිනි රස්නෙත්..
හැමදාමත්
නුඹ එතන ම යි...

බොහොම ඈත
තරු දහස් ගණන් අතරේ
කලබලේ දුවන දෑස්
ඇයි නුඹේ ළඟ ම
හැමදාමත්
නතර වෙන්නේ..
ඒ නතර වෙලා
බොහොම ශාන්තව
බලාගෙන ඉන්නේ
ඇයි කියලා
තවමත් මට තේරුමක් නැහැ..

වෙලාවකට
පහ තරුව ලු..
තවත් වෙලාවකට
ඉරබටු තරුව ලු..
සමහරු කියන්නේ
සිකුරු තරුව ලු..
බහුශ්‍රතයන්ට නම්
නුඹ ග්‍රහ ලෝකයක් ලු..

කාට කොහොම උණත්
මට නම්
නුඹ
හැමදාමත්
ඈත බටහිර ක්ෂිතිජයෙන්
අහසට නැගිලා,
මගේ තනිකම, පාළුව
ඇසිල්ලකින් නැති කරන
මගේ ම
ඉරබටු තරුව...

ඒ බැඳීමට
නමක් දෙන්න තරම්
මට තේරුමක් නැහැ..
ඒත්..
නමක් නැති
ඒ සදාකාලික බැඳීමට
මම මහා ගොඩක්
ආදරෙයි..




 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading