Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Showing posts with label පිදිය යුත්තෝ. Show all posts
Showing posts with label පිදිය යුත්තෝ. Show all posts

හුණුවටයේ කතාව නැරඹුයෙමි.

Monday, January 28, 2013




හෙල ගැඹුරුයි
පුත නොබලන්

සෙලවෙන කොට
වැල් පාලම
දෑස බයෙන්
බිම නොබලන්

අපට පුතේ 
මගක් නැතේ
මේ මග මිස
යමන පුතේ 

දෙවියෝ බලයි
මුණ නුඹේ
නුඹව රකියි 
යමන් පුතේ




සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් වචන කිහිපයක් නොවන්නට මෙය විදේශීය බව කිසිවෙකුට නොසිතෙන තරම් ම ලාංකීය ය. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍යයේ එන 'වැල් පාලමේ ගීතය' නම් ගීතය ඒ බව නොදන්නා වුන්ගේ දැන ගැනීම පිණිස සිහිපත් කරමි. 

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබ, ගාල්ලේ 'Hall de Galle' ශාලාවේ වේදිකා ගත වුණු 'හුණුවටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය රස විඳීමේ භාග්‍යය මට ද හිමි විය. රසවින්දනයේ උච්ඡත ම අවස්ථාවට පැමිණ, මා ලද අත්දැකීම, බෙදා ගනු පිණිස, දවස ගෙවෙන්නට පළමු මෙසේ යුනිකෝඩ් කරමි.

යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා 
මගේ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගනියි නිරතුරු

ස්වර්ගෙට ගිය කළේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ..

හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු වුණු අතර, 1999 දී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකු යොදා ගනිමින් දෙවන වර නිර්මාණය විය. 1967 සිට 1999 දක්වා වසර 32ක් එක ම චරිත රඟ දැක්වූ නළු නිළියන්ට, තව දුරටත් එය සිදු කිරීම සැබවින් ම අසීරු කරුණක් වන්නට ඇත. හෙන්රි ජයසේනයන් විසින් ම 'හුණු වටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය කරන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳව, තෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් ඔහු දක්වන අදහසෙහි ඒ බව සඳහන් වෙයි.

මට නරඹන්නට අවකාශ ලැබුණේ මෙකී තෙවන නිෂ්පාදනය යි. පැරණි නළු නිළියන් අතුරින් තිදෙනෙක් පමණක් මෙහි රඟන අතර, සෙසු සියල්ලන් ම පාහේ අලුත් නළු නිළියන් ය. පෙර වෙනත් චරිත රඟ පෑ 'නිමල් ජයසිංහ' අද පොතේ ගුරු චරිතය රඟපායි. එදා ෂව්වාගේ චරිතය රඟපෑ 'චූලා කාරියවසම්' අදත් එම චරිතය ම රඟපායි. එදා නොන්ඩි සොල්දාදුවා ලෙස රඟපෑ 'විජිත සල්ගාදු' අදත් එම චරිතය ම වෙනත් නළුවෙකු(ලලිත් ජයකාන්ත) සමග රඟපායි.

කෙසේ නමුත් අද වෙද්දී එහි ප්‍රධාන නළු නිළි දෙපල ම ජීවතුන් අතර නැත. එදා හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් ඔපවත් වුණු අසඩක්ගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට නලීන් ප්‍රදීප් උඩුවෙල දරණ උත්සාහය සාර්ථක බව මගේ හැඟීමයි. එදා මානෙල් ජයසේන රඟ දැක්වූ ගෘෂාගේ චරිතයට අද පණ  පොවන්නේ රුවනි මනම්පේරියි. 
ප්‍රධාන කොටස් දෙකක් යටතේ දිවෙන මෙහි අංක 5කි. සිව්වෙනි අංකයේ දී හෙවත් විනිශ්චයකරු පිලිබඳ කතාවේ, පළමු අංකයේ දී සබයට පිවිසෙන අසඩක්, සමස්ත කතාව පුරා ම මතුවුණු සෙසු චරිත සියල්ල ම අභිබවා සිය නායකත්වය සටහන් කරන්නේ සිය රංගන කාලය පැයකටත් අඩුවෙන් ලබා ගනිමිනි. ඒ තරම් කෙටි කාලයකින්, නරඹන්නන් තුළ, ප්‍රධාන චරිතය වූ අසඩක් කෙරේ පහන් හැඟීමක් ඇති කිරීම සැබවින් ම දුෂ්කර කටයුත්තක් බව නොකිව මනා ය. ඒ සඳහා මස් වන සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවක් අදාළ රංගන ශිල්පියා සතු විය යුතු ය. හෙන්රි ජයසේනයන් සතුව  ඒ ප්‍රතිභාව තිබුණු බව අපි දනිමු. ක්ෂේත්‍රයේ හෙන්රි ජයසේනයන් තරම් ප්‍රවීනයෙක් නොවුනත්, නලින් ප්‍රදීප්ගේ රංගනය ද සැබවින් ම ප්‍රශංසනීය එකකි. 

හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.

ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති. 

නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි.  තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.

මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්‍රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි. 

වේදිකාව මත, හුණු වටයේ කතාව එසේ දිවෙද්දී වේදිකාව පිටුපස අසඩක් ඉදිරියේ වූ යුෂ්මතිය හෙවත් ගෘෂා, සැබෑ ජීවිතයේ දී, හෙන්රි ජයසේනයන්ගේ ආදරණීය බිරිඳ විය. අද ඔවුන් දෙදෙනා ම ජීවතුන් අතර නැත. නමුත් ඔවුනගේ රංගනයෙන් හැඩ වූ 'හුණු වටයේ කතාව' අපට දායාද වී ඇත. මේ සිය ආදරණිය ගෘෂා හෙවත් මානෙල් ජයසේන නම් ආදරවන්තියට, අසඩක් හෙවත් හෙන්රි ජයසේන නම් ආදරවන්තයා ලියු කවියකි. අවාසනාවකට මෙන් මෙය ලියවෙද්දී මානෙල් ජයසේන අප අතරින් සමුගෙන ගොසිනි.

අසඩක් ලෙස වෙස් ගත් මා
කොතෙක් නම් වෙලා බලා සිටියෙම් ද
වේදිකාවේ පසෙක සිට
ඔබේ විස්කම්
මගේ ගෘෂාවෙනි..

පා ඇඟිලි තුඩගින්
කඳු ප්‍රාන්තයට පිය නැඟූ ගමන්
කරේ හොවාගෙන
ළදරු මයිකල් කුමරුවන්
ඔබේ උණුසුම ඔහුට දුන් ඔබ
මුළු රටකට ම දුන්නා නොවේ ද
ඔබේ අභිරංගනයේ උණුසුම

මුළු දැයකට ම බෙදුවා නොවේ ද
ඔබේ දෑස, දෑත දෙපයේ
හුරුබුහුටි මහිමය!

තවමත් සිතින් බලා සිටිමි මම
මගේ ම ගෘෂවෙනි
ඔබේ ඒ
නො මියෙන මහා ප්‍රතිභා දෙස
ඔබේ ලලිත රුව දෙස

මට නම් 
දිවි ඇති තෙක් ම නොමියේ
ඔබේ ඒ මහා ප්‍රතිභා..

ඔබ නොලද්දේ ය 
පඬුරු - ඵලක - තිලිණ
ඔබේ මහා ප්‍රතිභාවට
මේ තාක් කල්...

මායිම් නොකළා ය ඔබ
කිසිවිටෙකත් 
ඒ සා පුද පඬුරු
නිරතුරුව ම ලද නිසා
මුළු මහත් දැයක ම 
ප්‍රසාද - ප්‍රණාම

ලද නිසා ඔබ
සුවහසක් ප්‍රේක්ෂක දනන්ගේ
උණුසුම් සෙනෙහස..

අත්වැල් බැඳ සිටිමු අපි
මගේ ගෘෂාවෙනි
දායාද පුදමින්
හෙළ කරලියේ 
අලුත් පරපුරකට..




ප.ලි: 
අද නාට්‍යය නරඹන්නට ගොස් සිටිය දී, එහි දී ම හමු වී, හරි හැටි මුහුණ වත් නොදැක, නිකමට කළ ඉල්ලීමකින්, නුඹට ලැබුණු නාට්‍යයේ විස්තර අඩංගු සමරු පොත මට දෙන්නට තරම් කාරුණික වුණු නාඳුනන මහත්මයාණෙනි. නුඹට බොහොම ස්තුතියි.

රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක්

Wednesday, September 5, 2012

2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, එහි වූ Red Riding Hood සොයුරිය හමු ව ඇය හා එදින සවස් කාලය ගත කළෙමි.


මා සිතා උන්නාට වඩා බෙහෙවින් ම වෙනස් ආකාරයකට ය අදාල උත්සවය සුදානම් කර තිබුණේ. උත්සවය පටන් ගෙන තරමක් වෙලා ගත වුව ද මා බලා හුන් චරිතය, පැමිණුනේ නැත. මද වෙලාවක් ගත වූ තන්හි නිවේදනය කළ සොයුරා ප්‍රකාශ කළේ, ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් පැමිණි රථයේ යම් දෝෂයක් හේතුවෙන් සුළු පමාවක් වනු ඇති නමුත්, ඔහු අනිවාර්යයෙන් ම පැමිණෙන බවයි.

තවත් අඩ හෝරාවක් පමණ ගෙවුණු තැන, විජේසිංහයන් උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සිය බිරිඳගේ යම් අසනීප තත්වයක් නිසා තමන් පැමිණීම ප්‍රමාද වූ බවත්, පැමිණෙන අතරතුර දී රථය කාර්මික දෝෂයකට ලක් වීමෙන් තව දුරටත් ප්‍රමාද වූ බවත් දැන ගන්නට ලැබුණි. ඉන් අනතුරුව,  බෙහෙවින් ම හරවත් දේශනයකින් සභාව පෝෂණය කිරීමට ඔහු සමත් විය. දේශනයේ දී විජේසිංහයන් යෙදූ සාරවත් වදන් හා වැකි මට ඒ ආකාරයෙන් ම සිහියට නොනැගෙන හෙයින්, ඒ දේශනය පිලිබඳ කියන්නට ගොස් මගේ ග්‍රාම්‍ය වදන්, වැකි යොදා එතුමාණන්ට අපහාසයක් කිරීමට මම අකමැත්තෙමි. නමුත් දේශනය අවසානයේ, මා වරකට දෙකකට වඩා අසා නැති, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් ගැයෙන "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික" නම් සුමධුර ගීතය සහ ඊට පසුබිම් වූ සිද්ධි සමුහය පිළිබඳව විස්තර කෙරුණු බව කිව මනා ය.

දිනය ගත වී අවසන් වෙද්දී, කෙමෙන් රෑ බෝ වෙද්දී, යළි ගම් බිම් බලා එන්නට සැරසුණු මට, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෞද්ගලික රථයෙන් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි විය. කලකට පෙර, එතුමාගේ තරු ලකුණ පොතේ, කියවූ පද දෙකක අනුසාරයෙන් මා ලියන්නට උත්සාහ කළ කවියක් (හෝ එවැන්නක්) අඩුපාඩු විමසා ගන්නට එතුමා අතට පත් කළෙමි. මගේ නම හෝ දුරකථන අංකයක් එහි සඳහන් කරන්නට අමතක වුයෙන් පසු දා දුරකතනයෙන් ඔහු අමතන්නට පොරොන්දු වූ මම සතර දේවාලය ළඟින් බැස ගත්තෙමි.

පොරොන්දු ප්‍රකාරව ඉරිදා දින ඔහු අමතන්නට බැරි වුණු අතර, සඳුදා බැහැරක ගොස් එමින් සිටි මම සතර දේවාලය අසල අවමඟුල් සැරසිලි දුටුවෙමි. නරකක හෝ නපුරක සේයාවක් සිතේ ඇඳි වහා ම මැකී ගියේ එවැන්නක් වෙතැයි මා සිහිනයකින් වත් නොසිතු හෙයිනි. නිවසට පැමිණි මම ඇඳුම් අහවර නොකර ම රත්න ශ්‍රී විජේසිංහයන් ඇමතුවෙමි.

"සර්. මම එදා වාහනේ දී සර් ට කවිය දුන්නු කෙනා කතා කරන්නේ."
"ඔව්. කියන්න.."
"සර් ඒ කවිය බැලුවා ද? මට ඇමතුමක් දෙන්න කිව්වා."
"අපේ ගෙදර මළ ගෙයක් වෙලා දරුවෝ. මට ඒක බලන්න වුනේ නැහැ."
"කවුද සර්?"
"මගේ නෝනා නැති වුණා."
සිදු වුයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වූ මම ගොළු වීමි. මා සිහි එලවා ගනිද්දී, දුරකථනය විසන්ධි වී තිබුණි.

මට එක වර ම සිහි වූයේ විජේසිංහයන් ඇය පිලිබඳ රචිත කවි සහ ගීත යි. ඒවායේ පරිදි ඔහු සිය බිරිඳට කෙතරම් ආදරය කළේ ද යන වගයි. වෙසෙසින් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය යි.


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ


ලේන කුලයේ සිට පතා ආ බෝසතුන් සේ, රත්න ශ්‍රී ද සිය බිරිඳට දැඩි ව ආලය කළ බව දැන හුන් මට අවමංගල්‍ය උත්සවය සඳහා කෙසේ හෝ සහභාගී විය යුතු බව හැඟුණි. එබැවින් අවසන් කටයුතු සිදු කෙරෙන දින මම, මිත්‍ර නුවන් ද සමග එහි යන්නට තීරණය කළෙමි. මීට පෙර ඇයව දැක නැතත්, බෙහෙවින් ම හිතවත් කිසිවකුගේ අවමගුලකට සහභාගී වනවා ය යන හැඟීම අප සිත් තුළ විය. 

නිවසේ දී අපි යළිත් වරක් රත්න ශ්‍රී විජේසිංහයන් හමු වීමු. මා කවුරුන්දැයි හඳුනා ගත්  පසු විජේසිංහයන්,

"පුතා නේද මට කවියක් දුන්නේ?"

"එහෙමයි සර්"

"මේක තමයි පුතේ කවිය. නරක ම කවිය."


මේ දක්වා මට ජීවිතයේ අමතක නොවන තරම් විශේෂ සිදුවීම් තිබී නැත.  මා බෙහෙවින් ම අගය කරන, ශ්‍රේෂ්ඨතම පුරුෂයා බෙහෙවින් ම සංවේදී ව මා ඉදිරිපිට හිඳ, වෙවුලන ස්වරයෙන් කියූ  ඒ වචන කිහිපය, ඒ වචන වලටත් වඩා ඔහුගේ ස්වරය මට කෙදිනක වත් අමතක නොවනු ඇතැයි මට සිතේ.

අස්වැන්නේ මේ පිළිබඳව වඩාත් විස්තර සහිතව සටහනක් පල වුණු අතර මේ සටහන මගින් කළේ හේමමාලා විජේසිංහයන්ගේ අවමංගල්‍යය හා බැඳි මගේ ජීවිතය හා සම්බන්ධ වුණු සිදුවීම් පිළිබඳව යම් සඳහනක් කිරීම පමණි.  මේ සටහනට විරාමයක් තැබෙන්නේ ද අදාල ලිපියේ අවසානයේ වූ වැකියෙනි.

බදාදා හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.



ප.ලි:- 
මෙතෙක් කල් දුරකථන ඇමතුමකින් හෝ වත් පොතේ දෙබසකින් මිස සජීවී හමු වීමක් වන්නට නොයෙදුණු දයානන්ද රත්නායක අයියා (අස්වැන්න) හමු වන්නට ද එදා අවකාශ සැලසිණි. 

එමෙන් ම එකොලොස්වන පැය උත්සවයේ දී  Red Riding Hood අක්කා පිට ව ගිය පසු, දන්නා හඳුනන කිසිවෙක් නැතිව, එතැන තනිව හුන් මා හා මිත්‍ර ව කතා කරමින් තවත් බොහෝ දෙනෙක් හඳුන්වා දුන් බුන්දියේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් අක්කාට ද මම බෙහෙවින් ම කෘතඥ වෙමි.

ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

Tuesday, August 21, 2012

මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි.

මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත 'ගුරු ගීතය' නම් අද්විතීය කෘතිය යුනිකෝඩ් කරන ලදී.

ගුරු ගීතය PDF ගොනුව මෙතැනින් බාගත කළ හැකි ය!


ප.ලි :

2011 වසරේ අගෝස්තු මස 21 වන දින, එතෙක් Nj_A  ලෙස තිබූ බ්ලොගය අරුණැල්ල නමින් ලියන්නට ගෙන මේ වන විට වසරක් ගතවී ගොස් හමාර ය. වසරක් තුල Page Views 40,000 කට අධික සංඛ්‍යාවක් අරුණැල්ලට හිමි කර දෙමින් මේ දක්වා අරුණැල්ල සමග රැඳී හුන් ඔබ සැමට අරුණැල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි!

 සයිබරයේ කරක් ගසා කොතෙක් සෙව්වත් scan කරන ලද pdf ගොනුවක් ලෙස මිස සොයාගත නොහැකි වූ ගුරු ගීතය යුනිකෝඩ් කිරීමෙහිලා,

ස්වායක්ත ලියන නුවන් තාරක සොහොයුරා
නේජා ලියන රුවී
ගිනි කුරුල්ලා හෙවත් සමිල අයියා
අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා
ක්සැන්ඩරගේ කොලම ලියන ක්සැන්ඩර්
සුදාගේ සිතුවිල්ලක් ලියන මුදිත සුදාරක
Feels Like ලියන සඳුනි
බිම්සර
සිතුම් පැතුම්
චතුර බුද්ධික
ජනරඟ විජයිඳු දේවසුරේන්ද්‍ර
සඳ කිඳුරා
දඟ මල්ල
දඟකාරි
හසිත අයියා
ප්‍රදීප් අයියා
මී ගොඩයා
පුබුදු මල්ලි
ඇතුළු පිරිසත්, විශේෂයෙන් Red Riding Hood දක්වූ සහයෝගයත් බෙහෙවින් ම අගය කළ යුතු ය.

අරුණැල්ල වෙනුවෙන් එක කමෙන්ට් එකක් හෝ යෙදූ මගේ මිත්‍රයින්ටත්, අරුණැල්ලට ඇවිත්, රහසෙන් ම නික්ම ගිය දහස් ගණනටත් බොහොමත් ම ස්තුතියි! ඔබේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි!

ජය වේවා!!


දන්නා නන්දා මාලිනිය ගැන නොදන්නා දෙයක්

Thursday, August 9, 2012




බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදී ය.

අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරා ගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.

කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.

අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.

මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.
නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු 'කොටහේනේ කෝට් බාසුන්නැහේ' ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.

ඒ කා‍ලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කා‍ලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.

කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැ‍ලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.

පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.

'මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කා‍ලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි' ඈ කියන්නීය.

තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ ‍පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග ‍පොළට යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.

පෙරේරා පවු‍ලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේ‍ලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.

අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි. ඈ කීවාය.

පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.

මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
'මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ ඈ කියන්නීය.

නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහ‍ලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල් විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. 'තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ' යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.

නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ 'කට්ට සෙරෙප්පු' ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. 'කට්ටා සෙරෙප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළමෝ නන්දාට 'කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.

මෙකල 'කට්ටයාගේ' කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී 'හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන' බව පසක් කළාය.

හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. 'මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා' ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. 'බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්.....'.

නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය.

මෙකල රේඩියෝ සිලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ 'එයාර් ශිප් ගීත තරගය' යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ‍ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ 'සුපර් ස්ටාර්' වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.

'සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා'

මේ ‍පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.

'තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්' නන්දා කීවාය.

ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. 'තාත්තා ‍පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා' නන්දා තාත්තාට කීවාය.
'විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ' තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. 'එහෙනම් අපි ලයිටුත් ගනිමු' ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.

'රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.
නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. 'ගලන ගඟකි ජීවිතේ' ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි.
බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.

'මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.
අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට.
මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ' නන්දා මාලිනී කියන්නීය.

මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.

නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. 'ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්' ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.

නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.

ඈ ගයන්නීය මෙසේ,
දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි



මිහිරි ෆොන්සේකා විසින් 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙනි.






x

පිදිය යුත්තෝ : ලයනල් රන්වල ශුරීන්

Sunday, April 15, 2012

මෑත යුගයේ දී ශ්‍රී ලාංකේය ජන සංගීතයේ ස්වර රටා යළි සකස් කර, නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කළ අයෙක් වේ නම් ඒ ලයනල් රන්වල ශුරීන් ම ය. අමරදේව ලා, කේමදාස ලා දකුණු ඉන්දීය සහ බටහිර සංගීතයේ අභාෂය ලබා ගනිමින් නිර්මාණ කරද්දී රන්වලයන් තෝරා ගත්තේ අපේ රටේ ම ජන සංගීතයයි. අවුරුදු කාලයේ අපට ඇසෙන අපේ සංගීත භාණ්ඩ වල අපේ රිද්මයත්, සොබාදහම සහ අපේ සංස්කෘතිය හා බැඳී සංගීත ස්වර වල ආශ්චර්යයත් මනාව ඉස්මතු කළ නිර්මාණකරණයේ යෙදුනු එතුමා සිහි කිරීමට මේ රබන් සුරල් වැයෙන අවුරුදු කාලය, සුදුසු ම කාලය විය යුතු බව මගේ හැගීමයි.
 මේ දිග හැරෙන්නේ එතුමාගේ ජීවිතය පිලිබඳ කෙටි සටහනකි.



1939 නොවැම්බර් මස 27 වන දා උපත ලැබූ ලයනල් රන්වලයන් ඉන්දියාවේ පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද අයෙක්. සිය සංගීත දැනුම නව පරම්පරාවට ද උරුම කර දීමේ අරමුණෙන් එතුමා 1959 දී සිය ගුරු ජීවිතය ආරම්භ කරන්නේ ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලයෙන්. වසර 38ක් පුරාවට කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ රටේ සංගීතය පිළිබඳව මනාව අවබෝධ කරවූ එතුමා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ, ශ්‍රී ලංකාවේ පළමු වන හේවිසි වාදන කණ්ඩායම ආරම්භ කරන්නේ 1964 වර්ෂයේ දී.

රන්වලයන් සංගීතඥයෙකු මතු නොව රංගන ශිල්පියෙක් ද වූවා. ඔහු ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් සිය දායකත්වය දක්වූ අයෙක්. ඒ අතරින් ස්වර්ණවාහිනියේ විකාශය වූ "රඟමඩල සමු ගනී" නාට්‍යය ප්‍රධාන වෙයි.

'ගම අවුලඥ්ඥං', 'මේ අවුරුදු කාලේ','වන්නම් සවුදම්' ආදී තවමත් මතකයේ රැඳී ගීත රැසක් එතුමා අතින් නිර්මානය කෙරුණු අතර දේශීය ජන සංගීතය රැක ගැනීම සඳහා 'තල මල පදනම' නිර්මාණය කිරීම ද එතුමා අතින් සිදු කෙරුණු කටයුත්තකි.

හදිසි අනතුරකට ලක් වීමෙන් 2002 නොවැම්බර් 13 වන දා එතුමා මෙලොවින් සමු ගත්තත් අදටත් ඒ හඬ ශ්‍රී ලාංකේය සංගීතාම්බරයේ විරාජමාන ය. එතුමාගෙන් පසු ඒ උතුම් කාර්යයට නැවතීමේ තිත තබන්නට සූදානම් නොවූ ලයනල් රන්වලයන්ගේ පුත් සහන රන්වල සහ චිරන්ත රන්වල අදටත් රට පුරා එතුමාගේ ප්‍රසංග පැවැත්වීම සැබවින් ම අගය කල යුතු කරුණකි.

අවුරුදු කාලය පිලිබඳ කියැවෙන රන්වලයන්ගේ 'මේ අවුරුදු කාලේ' ගීතය මෙතනින් ශ්‍රවනය කල හැකියි.

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading