Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

විසූක දස්සන

Wednesday, October 31, 2012

යතුරු ඉගිලෙත්
ළඳුන් වෙත වැදහෙත් මුණින්
දහස් පියලි වටනා
යකඩ අස් රියවල උනුන් සතු..

සැලෙත නාරි ලතා කැල
හැඩති බඳ ළෙලවමින
මද පවන නොවැද,
බෙර හඬට, රන් රුවැතිව
රනින් දිදුලන පහන් සිල ලෙද..

සොටු පෙරාගෙන
හඬත බිළිඳු ඈත
නොලැබ සුහුරු පිටි කිර
බෝතලයට වත් කර..


'අම්මා නුඹේ කිරට ගියා'
කියත් එහි වූ මැහැලියෝ
අරුත් නැති පදයක් මිස
වෙනෙකක් නැති ලෙස..

අරුණලු නැග එයි
තවත් අය එක්වෙති,
බැඳෙති එකෙකා
යෙදෙති උහු
උනුන් හා රමණයෙහි..

මම බ්ලොග් එකේ ටොපි නොවිකුණ මි! (ඉතින් බ්ලොග් ලියන්නේ මොකට ද? )

Thursday, October 18, 2012

මේ වන විට උසස් පෙළ අවසන් වී මාස කිහිපයක් ගත වී ඇත. විභාගය නිසා පරිගණකය දෙස වත් බලන්නට අවසර නොලත් අය දැන්අන්තර්ජාල පහසුකම් ද ලබා ඇත. මදක් සොයා බැලු විට, වත් පොතේ අලුතෙන් ගිණුම් නිර්මාණය කරගෙන දවස පුරා ම 'චැට්' කරනු දදැකිය හැකි ය. 


ඒ අතර සයිබරයේ අලුත් පිරිසෙන් කිහිප දෙනෙක් බ්ලොග් ලිවිල්ලට ද එකතු වී අති බව මම නිරීක්ෂණය කළෙමි.මම ද උසස් පෙළ අවසන් ව බ්ලොග් ලියන්නට පිවිසුණෙක් මි. බ්ලොග් එකකට - දෙකකට වඩා නොදැක බ්ලොග් ලියන්නට පටන් ගත් මට, නිවැරදි ව බ්ලොග් එකක් යනු කුමක්ද යන්නත්, එයින් කෙරෙන දේ සහ කළ හැකි දේ පිළිබඳවත් අවබෝධ කර ගැනීමට කලක් ගතවිය. නමුත් මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සයිබරය ඔස්සේ දැන හඳුනා ගත් අයගෙන් දැන උගත් කරුණු මත පදනම්ව මා යම්දැනුමක් ලබා ඇති යි සිතෙයි. 

බ්ලොග් ක්ෂේත්‍රයට අලුතින් පැමිණියවුන්ට මා මේ ලියන සටහනෙන් යම් දෙයක් ලබා ගත හැකි වේ නම් මම සතුටු වෙමි.සයිබරය පුරා බ්ලොග් අඩවි දස දහස් ගණනක් විසිරී ඇත. ඒ අතර සිංහල බ්ලොග් දහස් ගණනකි. ඒවායින් සමහරක් අතහැර දැමූ ඒවා ය.තවත් සමහරක් කිසිවෙකුට හෝ කිසි ම පලක් නැති ඒවා ය. තවත් ඒවා හිට්ස් බලාපොරොත්තුවෙන් කුණුගොඩවල් මාකට් කරන ඒවා ය.සමහරක් ඒවා දිනපොත් ය. බොහෝ විට බ්ලොග් එකක් ලියන්නට පටන් ගත් ඔබ, ඒවා අතර අතරමං ව මගේ බ්ලොගයෙන් කවරක් කළයුතු දැයි සිතා ගත නොහැකිව සිටිනවා විය හැකි ය.

සැබවින් ම බ්ලොග් එකක් යනු කුමක් ද? 

තමන් විසින් ලියන ලද හෝ උපුටා ගන්නා ලද හෝ නිර්මාණය කරන ලද හෝ සටහන්,අන්තර්ජාලයේ පල කළ හැකි පහසු ම සහ ලාභදායි ම මාර්ගය ලෙස බ්ලොග් එකක් සරලව හඳුන්වා දිය හැකි ය. බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස්ඇතුළු සේවා සම්පාදකයන්ගේ සහය ඇතිව මිනිත්තු කිහිපයක දී, පහසුවෙන් අපට අවශ්‍ය පරිදි බ්ලොග් එකක් නිර්මාණය කර ගත හැකි ය.

හැමදේම මාකට් වෙන කාලයකදී බ්ලොග් මාකට් වීම වැලක්විය නොහැක්කකි! නමුත් අප දන්නා තරමින් සිංහල බ්ලොග් ලියන අතිමහත් බහුතරය වාණිජ පරමාර්ථයකින් බ්ලොග් ලියන්නේ නැත.එනම් සිංහල බ්ලොග් කලාවට වෙළඳපොළ කියන දේ ගැවී නැත. ඒ කියන්නේහැමදේටම මුල්‍යමය වටිනාකමක් ඇති මේ ක්‍රමයට විරුද්ධව යා හැකි පහසු මාධ්‍යයක් ලෙස බ්ලොග් කලාව හැඳින්විය හැකි ය.


පුවත්පතක, මාධ්‍යවේදියාගේ පටන් කතුවරයා දක්වා කරන්නේ රැකියාවකි. සමස්තයක් ලෙස ඔවුන් සිය වෘත්තියෙන් යම් තෘප්තියක්ලබනවා විය හැකි ය. නමුත් අවසානයේ එය රැකියාවක් හෙවත් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට පත් වී ඇත. මෙහි වරදක් මම නොදකිමි.එහෙත් මෙය සමහර අවස්ථා වල දී මුදලට විකිණීම දක්වා ම දරුණු වීමක් දැකිය හැකි ය. සරලව කියන්නේ නම් පත්තරය ද මාකට් වී ඇත.එය කෙසේ වත් සාධාරණීකරණය කල නොහැක්කකි. නමුත් සංසන්දනාත්මකව, බ්ලොග් එකක් ලියැවෙන්නේ හුදෙක් ආත්ම තෘප්තියසඳහා ම පමණි. (Ad Sense හෝ වෙනත් දැන්වීම් හරහා බ්ලොගය විකුණන්නට උත්සාහ කරන්නන් හැර)

බ්ලොග් එකක් ලිවීමේ අරමුණු මොනවා ද?බ්ලොග් එකක් සමාන වන්නේ, පත්තරයක තීරු ලිපියකට යැයි සරලව කිව හැකි ය. එක් තීරු ලිපියක් හේතුවෙන් පුවත්පතක අලෙවිය ශීඝ්‍රලෙස වැඩි කරවීමට මෙන් ම, සමාජයට දිය යුතු පණිවුඩයක් පහසුවෙන් සහ වඩාත් සංවේදී ලෙස ලබා දිය හැකි ය. බ්ලොග් එකක් යනුසයිබරයේ සැරිසරන බොහෝ දෙනෙක්ට කිසිඳු අමතර වියදමකින් තොරව ප්‍රවේශ විය හැකි තැනකි. ඒ නිසා බ්ලොග් එකක් මගින් අප ලබාදෙන පණිවුඩය පහසුවෙන් ම වැඩි පිරිසක් වෙත ගෙන යා හැකි ය.

වෙළඳ දැන්වීම් සඳහා ද බ්ලොග් බෙහෙවින් භාවිත කෙරෙන්නේ මේ නිසා ය. වෙළඳ අරමුණු වලින් බැහැරව පුළුල් සමාජ කතිකාවතක් ඇති කෙරීමට බ්ලොග් එකක් භාවිත කිරීම එතරම් අපහසු නොවේ.

අද සමාජයේ සාරධර්ම පිරිහී ඇති බවට සමහරු චෝදනා කරති. භාෂාව සහ සාහිත්‍යය වැරදි ලෙස භාවිත වන බවට සහ විනාශ කෙරෙනබවට සමහරෙක් දොස් නගති. තවත් උන් කියන්නේ මාධ්‍ය සිය මෙහෙවර නිසි පරිදි ඉටු නොකරන බව යි. සුභාවිත සිංහල ගීතය ජනතාවඅතරට නිසි පරිදි නොයන බවත්, හොඳ ගීත දැන් අහන්න නොලැබෙන බවත් අයෙක් කියති. දක්ෂ නිර්මාණකරුවන්ට තැනක් නැති බවත්,ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට යවන්නට ක්‍රමයක් නැති බවටත් දොස් නැගෙයි. එමෙන් ම යම් යම් විෂයය කරුණු හොඳින් දන්නා අයට, ඒ කරුණු අන් අයට කියා දෙන්නට කාලය මදි වීම නිසා හෝ ක්‍රමයක් නොමැති වීම නිසා අදාළ දැනුම අපතේ යයි. 

අන්‍යයන්ට දොස්කියමින් ගත කළ කාලය දැන් අවසන් කළ යුතු ය. ඔබ දන්නා දේ, ඔබට කිව යුතු යැයි හැඟෙන දේ කිසිඳු බාධාවකින් තොරව කියන්නටබ්ලොග් අඩවියක් භාවිත කළ හැකි ය.මේ සියල්ලට ම පිළිතුරු බ්ලොග් කලාව සතු වෙයි.

ඔබ ලියන බ්ලොග් එකකින් භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකි ය.එමෙන් ම ඔබ දන්නා විෂයය කරුණුවෙනත් අයට කියා දීමට, ගීතය, කවිය වෙනුවෙන් ඉදිරිපත් වීමට, ඔබ සතුව ඇති හොඳ ගීත බෙදා හදා ගැනීමට, ඒවාට පසුබිම් වූ සිදුවීම් සහ ඒ හා බැඳුණු කරුණු පල කිරීමට, ඔබේ නිර්මාණ පල කිරීමට, ඔබට හැඟෙන පරිදි සමාජය වෙත දිය යුතු පණිවුඩයක් දීමට ඔබට මෙයින්අවස්ථාව සැලසෙයි.මෙහි එක් ගැටලුවක් ඇත. සියල්ල අවසානයේ ඔබට ආත්ම තෘප්තිය විනා වෙනත් යමක් හිමි නොවේ. බ්ලොග් එක වෙත එන පිරිසත්, පලවන අදහස් ටිකත් ඒ සඳහා හේතු වේ. 

බ්ලොග් එකක් පටන් ගත් කාලයේ බොහෝ විට ලැබෙන හිට්ස් ගණන අඩු විය හැකි ය. එමෙන් ම එහි සටහන් වලට අදහස් පල වීම බොහෝ අඩු විය හැකි ය. බොහෝ දෙනා බ්ලොග් ලිවීම එපා කර ගන්නේ හෝ කිසිවෙකුට වැඩක් නැතිඑහෙත් හිට්ස් බොහෝ ලැබෙන වල්පල් ලියන්නට පෙළඹෙන්නේ මේ හේතුව නිසා ය. නමුත් මෙයින් බ්ලොග් එකෙහි Ranking ඉහළට එනනිසා Google වැනි සෙවුම් යන්ත්‍ර වලින් බ්ලොගය සොයා ගැනීමේ දී අදාළ ලයිස්තුවේ ඉහළට පැමිණීම සිදු වේ. මෙය වාසියකි.

ඔබට හිට්ස් අවශ්‍ය නම් Traffic Source එකක සහය ලබා ගත හැකි ය. දිනකට හිට්ස් දහසක් ලබා ගැනීම එතරම් දෙයක් නොවනු ඇත. නමුත් 'මා ලියන දේවල් කියවන්නට කැමැත්තෙන් මෙහි පැමිණි එවුන් මේ තරම් විණි යැ' යි ලැබෙන ආත්ම තෘප්තිය එවිට ඔබට නොලැබෙනු ඇත.

උසස් නවකතාවක් කියවා එහි රසය ලබන්නට උත්සාහ කරනවාට වඩා බොහෝ දෙනා පෙළඹෙන්නේ මල් නවකතාවක් කියවා ක්ෂණිකසතුටක් විඳීමට ය. රසය ද වාණිජකරණය වී තිබීම මෙයට හේතුව යි. 'චිංගීස් අයිත්මාතව්ගේ' "අම්මා සහ මිහිකත" පොතේ (පරිවර්තන)පිටපත් වලට වඩා ලංකාවේ 'සුජීව ප්‍රසන්න ආරච්චිගේ' "සින්දුර්" විකිණෙන්නේ ඒ නිසා ය. එය සමාජයේ වරදක් නොවේ. අප හුරුව ඇත්තේ එවන් රටාවකට ය.ටොපියක් කද්දී දැනෙන පැණි රසය ක්ෂණික ය. මිහිර මුළු සිරුරට ම දැනෙයි. එමෙන් ම එය නැති වී යන්නේ ද ඒ වේගයෙන් ම ය. 

නෙල්ලිගෙඩියක් කෑම ටොපියක් තරම් පහසු නැත. නොයෙක් රස සමුහයක් දිවට දැනෙයි. ඒ රසය බොහෝ වෙලා දිවෙහි රැඳී තිබෙයි. අවසානයේටොපිය හරහා රසකාරක පොදියක් ඇඟට ඇතුළු වී ඇත. නෙල්ලි හරහා රෝග බොහොමයක් නසන ඔසු ලැබී ඇත. නමුත් නෙල්ලි ගෙඩියට වඩා මාකට් වන්නේ ටොපියයි. නමුත් නෙල්ලි වලට පිරිසක් හුරු කරවා ගන්නට ඔබ සමත් වුයේ නම් ඔවුන් ක්ෂණිකව රසය දෙන, ඒ ක්ෂණයෙන් ම නැති වන ටොපි පසුපස නො දුවනු ඇත. අවසානයේ මාකට් එක නෙල්ලි වෙත යොමුවනු ඇත.

බ්ලොග් එක ටොපි විකුණන්නක් නොවිය යුතු ය. මුලින් ඔබ වටා වැඩ පිරිසක් නො රැඳෙනු ඇත. නමුත් අවසානයේ ඔබ හා රැඳෙන පිරිසඔබ හැර නොයනු ඇත. ඒ හැරත් කමෙන්ට් සහ හිට්ස් පස්සේ එළවා නොගොස් සමාජයට යමක් දුන්නේ යැයි තෘප්තියක් ඔබ සතු වනු ඇත.

මම, අමන්දානන්දයට පත්ව සිටිමි!

Friday, October 12, 2012

අවුරුදු විසි එකක ජීවිත කාලය පුරාවට වැඩි ම සතුටක් ලැබූ දවසේ ඒ සතුට ගිලිහෙන්නට පළමු ලියමි.

හිතාදර දුයිෂෙන්,

ගුරු ගීතය කියවූ පළමු වර පටන්, මා උගත් නොයෙක් විධ වූ ගුරුවර ගුරුවරියන්ගේ මුහුනුවර හා මුසු ව, මහා පෞරුෂයකින් හෙබි, චිත්‍රයකින් ඇඳ මෙසේ යැයි දැක්විය නොහැකි සුවිසල් රුවක් ලෙස නුඹේ රුව හදේ ඇඳී තිබුණි. කවදාක හෝ, කුමන අයුරකින් හෝ, අල්තීනායිට නුඹ වූ සර්ව සම්පුර්ණ ගුරුවරයා වීමේ නොනිත් ආශාවකින් මම පෙළුනෙමි. අද මගේ සිහිනය සැබෑ වී ඇතැයි හැඟෙයි.

 මා නුඹ තරම් දක්ෂ ගුරුවරයෙක් නොවුවත්, නුඹ තරම් ඉවසිලිවන්ත නොවුවත්, මගෙන් උගත්තවුන් අල්තීනායි තරම් අසරණ වුන් නොවුවත්, උන්ගේ දෙමාපියන් ඉගෙනීමේ වටිනාකම නොදන්නවුන් නොවුවත්, අද මා ලැබූ යම් සාර්ථකත්වයක් වේ නම් එහි අයිතිය සම්පුර්ණයෙන් ම නුඹ සතු ය.

යම් යම් පරිපාලන ගැටළු කිහිපයක් හේතුවෙන්, ඉගෙන ගන්නට බැරිව, අසරණ ව හුන්, ඒ කුඩා වුන් සමුහය වෙත යද්දී මට අවැසි වුයේ, නුඹෙන් අල්තීනායි ලද දෙයින් දහසකින් එකක් හෝ මගෙන් උගන්නා උන්ට ලබා දීම යි.

මම නුඹ තරම් කල් එහි නො ඉගැන්වුයෙමි. නුඹ තරම් මම දක්ෂ නොවූයෙමි. මා ඉගැන්වූයේ මට ආගන්තුක වූ බසකිනි. නමුත් මම උන්ට සමීප වුයෙමි. සමහර විට නුඹට අල්තීනායි ආදරය කළ තරම් උන් මට ආදරය නොකරන්නට අත. නමුත් මට  ඒ තරම් යැයි දැනෙන තරම් උහු ආදරය කළහ.

එහි යන්නේ කුමක් සඳහා දැයි මම නොදැන උන්නෙමි. මට උගන්වන්නට වෙන්නේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා උන් පිරිසකට පමණක් බව මම දැන උන්නෙමි. මම උන්ට භෞතික විද්‍යාවේ සිට ගණිතයටත්, තොරතුරු තාක්ෂණයේ සිට සිංහලටත් ඉගැන්වුයෙමි. දවස් හතරෙන් තුනක කාලච්ඡේද හතක් ඉගැන්වුයෙමි. ඉතිරි දවසේ කාලච්ඡේද හයක් ඉගැන්වුයෙමි. එය මට වෙහෙසකර නොවීය. මද වෙහෙසක් දැනෙද්දී මගේ ඉදිරියේ මැවුණේ නුඹේ රුවයි. පරම්පරා ගණනාවක් පුරාවට අකුරක් වත් කියවා ගන්නට නොදත් එවුන්ගේ අලුත් පරම්පරාවට, වචන උගන්වන නුඹ වෙහෙසට පත් නොවී ඉන්නට තනන අයුරු මට මැවී පෙනුණි. ඒ දකින මගේ වෙහෙස ඉබේටම මැකී ගියේ ය.

මා ඉගැන්වූයේ ප්‍රාථමික අංශයට පමණක් නොවේ. සමහරෙක්  උසස් පෙළ සිසුන් වුහ. සමහර උන් මෙවර සාමාන්‍ය පෙළ කරන්නාහ. තවත් අයෙක් සාමාන්‍ය පෙළ කරන්නේ ලබන වසරේ ය. දවස් දෙකක් ප්‍රාථමික අංශයේ උන් ද මගෙන් සිංහල උගත්තාහ.

මා එහි ගියේ ටික කලකට ය. වර්ජනය තිබෙන තුරු ය. සැබවින් ම මා එහි සිටියේ දින හතරකි. නමුත් ඒ දින හතර තුළ මම බොහෝ දේ උගත්තෙමි. මා දන්නා බොහෝ දේ ඉගැන්වුයෙමි. සිංහලට වඩා යමක් ඔවුන්ට කියා දෙන්නට උත්සාහ කලෙමි. ගණිත ගැටළුවකට වඩා යමක් විසඳන්නට ඔවුන් පෙළඹවුයෙමි. තොරතුරු තාක්ෂණයට වඩා යමක් ඔවුන් ලවා සොයවන්නට මට උවමනා විය. භෞතික විද්‍යාවට වඩා යමක් ඔවුන් සිතනු දැකීම මගේ අරමුණ විය. සැබවින් ම, නුඹ වැන්නෙක් වන්නට මට උවමනා විය. සත්‍යයකි. මම නුඹව කොපි කළෙමි. මම නුඹේ පිටපතක් වන්නට උත්සාහ කළෙමි.

සමහර විට මා සාර්ථක වන්නට ඇත.මට එසේ සිතෙයි. මා අසාර්ථක වුවා නම්,  මා වට කරගෙන, ඉල්ලීම් කරමින්, රඳවා ගන්නට උන් උත්සාහ නොකරන්නට ඉඩ තිබුණි. භෞතික විද්‍යාව උගන්වන්නට, මාව දිගට ම ඉල්ලා නොසිටින්නට ඉඩ තිබුණි. ඒ හැරත්, මා යන්නට සැරසෙන විට, උන්  කුරුටු ගා දුන් අදහස් වල ඒ තරම් ම දේ නොතිබෙන්නට ඉඩ තිබුණි. ඒ හැරත් ඒ දේවල් කියවද්දී මගේ දෑස් තෙත් නොවන්නට ඉඩ තිබුණි. අඩු තරමේ උන් හැර එද්දී, තෙත බරිත වුණු මගේ දෑස් ඒ පුංචි එවුන්ගෙන් සඟවා ගන්නට මට සිදු නොවන්නට ඉඩ තිබුණි.

මා යළි එහි එනු දකින්නට උන්ට ඕනෑ ය. මට එය පොරොන්දු වන්නට ද සිදු විය. මම පොරොන්දු වුයෙමි. එය මුළු හදින් ම වූ පොරොන්දුවකි. රකින්නට හිතාගෙන වුන් පොරොන්දුවකි. නැවතත් කවදාක හෝ උන් වෙත යන්නට මට අවශ්‍ය ය. ඒ පුංචි එවුන්ගේ මුහුණු ටික යලි දකින්නට මට ඕනෑ ය. දෙවියන් මට ඉඩ දෙන්නේ නම්, මම සැබවින් ම යලිත් එහි යන්නට කැමැත්තෙමි. අඩු තරමින් උන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය බලන්නට හෝ යන්නට මම ආශා කරමි.

බොහොමයක් උන් තවම අවුරුදු දොළහක් දහ හතරක් තරම් වුන් ය. සමහර විට ඒ කුඩා වුන්ට මා පිලිබඳ වැඩි කලක් මතක නොතිබෙනු ඇත. වෙනත් ගුරුවරයෙක් පැමිණ උගන්වද්දී, කෙමෙන් උන් ඉහල පන්ති වලට යද්දී මා අමතක වුවහොත් ඒ පිලිබඳ මම පුදුම නොවෙමි. ඒ සියල්ල පසෙක තබා, අද මා වෙත පල කෙරුණු උන්ගේ ප්‍රතිචාරය ගැන මම බෙහෙවින් ම සතුටු වෙමි.

දින හතරක් ඉගැන්වීම වෙනුවෙන් අපට වේතනයක් පිරිනැමුණි. එය, මහපොළ මාසික දීමනාවට වඩා යන්තමින් වැඩි ගණනකි. ඒ මුදලේ අගය මට ඒ තරම් වැදගත් නොවේ. මගේ මහන්සියෙන් පළමු වරට මුදලක් ඉපැයුවේ අද ය. ලැබී පැය හයක් ගත වන්නට පළමු එය සම්පුර්ණයෙන් ම පාහේ අවසන් විය. . එයින් බොහෝ දේ කරන්නට කලක පටන් සිතා සිටියෙමි. එයින් බොහෝ දේ ඉටු කළෙමි. තවත් කිහිපයකට මුදල් වෙන් කරගෙන හිඳිමි. සියල්ල අවසානයේ, පළමු වරට යුතුකමක් ඉටු කළ බව හැඟෙයි. සැබවින් ම මම අද අමන්දානන්දයට පත්ව සිටිමි.

වේතනයෙන් ඉතිරි වූ රුපියල් පනහක මුදල අත තබාගෙන මම එයින් කළ යුත්තක් කල්පනා කරමි. අද මට මුදලට ලබා ගත නොහැකි බොහෝ දේ හිමි ව තිබේ. ජීවිත කාලය තුළ කෙදිනක වත් නොලැබූ තරම් සතුටකට මම පත්ව සිටිමි. මට ඒ සතුට ලබා දුන් දෙවියන් වහන්සේට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

එමෙන් ම, ගුරු ගීතයේ පිටු අතරින් මතු වූ නුදුටු ගුරුවරයාණෙනි. මම නුඹට ස්තුතිවන්ත වෙමි!


කුමට ද මට?

Wednesday, October 3, 2012

දියක් බොන්ට සෙම්බු කුමට මට
දෝතටත් දිය පිරෙන්නේ
සා ගිනි නිවන්න රන් තලි කුමට මට
බෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ..

දාහය නිවන්න පංකා කුමට මට
මද සුළඟක් මෙහි හමන්නේ
කඳුලැලි පිසින්න සළුවක් කුමට මට
පවනේ කඳුලැලි මැකෙන්නේ

කවක් ලියන්නට නින්දගම් කුමට මට
තේවාවට දුන් පරවේණි තිබෙන්නේ
නැතක් ගී වල තාල කුමට මට
කවිය තනිකම නිවන්නේ...

ප.ලි : නිකම් ම හොඳයි කියා යනවා ට වඩා ඔබට දැනෙන අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් වඩාත් සතුටුයි.
 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading