ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්‍රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් මේ පිලිබඳ නොලියා ම බැරි නිසයි කාලෙකට පස්සේ අරුණැල්ල දිහාවට ආවේ.
එක ම පාසලක, එක ම පන්තියක බොහෝ වෙලාවට ඉගෙනුම ලබන්නේ එක ම ගමක, එහෙම නැත්නම් එක ම නගරයක, එහෙමත් නැත්නම් එක ම දිස්ත්‍රික්කයක ළමයි. දුර පළාත් වලින් ඇවිත්, නගරයේ පාසලක ඉගෙන ගන්න අය නැතිවා ම නෙවෙයි. නමුත් බහුතරයක් එහෙම නෑ.
පාසල් කාලයේ දී අපට හමු වෙන මිත්‍රයන්, පහ වසරේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන අදියර තුනේ දී කොටස් වශයෙන් අපෙන් වෙන් වෙලා යනවා. අපි කාටත් පාසල හැර යන මොහොතේ දුකක් දැනුණත්, ඔවුන්ගේ වෙන් වීම ඒ තරම් ම නොදැනෙන්නේ ඔවුන්ගෙන් බහුතරයක් පසු කාලිනවත් නිරන්තරයෙන් මුණ ගැසෙන නිසා.
නමුත් විශ්ව විද්‍යාලයකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මුළු රට ම නියෝජනය වන පරිදියි තෝරා ගැනෙන්නේ. බොහොම වෙලාවට එක් දිස්ත්‍රික්කයකින්, එක් පීඨයකට තෝරා ගැනෙන ශිෂ්‍ය සංඛ්‍යාව උපරිමව අදාළ කණ්ඩායමේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10 % ඉක්මවන්නේ නැහැ. (නමුත් සමහර අවස්ථා වලදී නම් මෙය වෙනස් වෙනවා.)
කොහොම නමුත් අපට විශ්ව විද්‍යාලයේ දී හමු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරය, වෙනත් දිස්ත්‍රික්ක වල සිට පැමිණි අය කියන කරුණ මා සම්බන්ධව නම් නිවැරදියි. වසර හතරක කාලයක් එකට ගත කරලා, දුක සැප බෙදාගෙන ආයෙත් සුපුරුදු පරිදි තම තමන්ගේ ගම් බිම් බලා යන්න අපි හැමෝට ම සිදු වෙනවා. විභාග, කුප්පි, Assignments, Tutorials, One to One, Practicals, Report Writing අතරේ ගෙවෙන මේ කාලය ජීවිතයේ වටිනා ම කාල වලින් එකක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ අතරේ විවිධ වයස්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ගනුදෙනු කරන්නත්, ඔවුන් එක්ක සුහදව කටයුතු කරන්නත් අපට සිදු වෙනවා.
වරින් වර ක්‍රියාත්මක වුණු වර්ජන හේතුවෙන්, අනෙක් වසර වලට තිබුණු දේශන කාල සටහන් සංශෝධනය කළ නිසා, අපි කැම්පස් එකට එද්දී සහ මේ වන තුරු ම වැඩි කාලයක් ගත කරන්න සිදු වුනේ අවසන් වසරේ අයියලා අක්කලා එක්ක. සමහර කාල වල දී මුළු කැම්පස් එකට ම හිටියේ අපේ 200ත්, අවසන් වසරේ 200ත් විතාරයෝ. කැම්පස් එකට ආගන්තුක අපිට, කැම්පස් එකෙන් යන්න ඔන්න මෙන්න හිටපු ඒ අයියලා අක්කලාගෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තිබුණා. අපි විශ්ව විද්‍යාලයට ඇවිත් ගත වුණු වසරකට ටිකක් වැඩි ඒ කාල සීමාව තුළ ඔවුන් හා අප අතර ගොඩ නැගුණේ පුදුමාකාර බැඳීමක්. අධ්‍යයන කටයුතුවල දී වගේ ම විවිධ බාහිර කටයුතු හා ක්‍රීඩා වලදී ඒ බැඳීම තවත් ශක්තිමත් වුණා.
නමුත් ඔවුන්ට සමු දෙන්න කාලය ඇවිත්. අද ජනවාරි 12 වෙනිදා. හෙට හවස් වෙද්දී ඔවුන් පීඨයෙන් පිට වී යෑමට නියමිතයි. බොහොම දුර පළාත් වල ඉඳලා ආපු ඔවුන්ගෙන් බොහොම දෙනෙක් ආයෙත් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ආසියාවේ ආශ්චර්යයට පිං සිද්ධ වෙන්න බොහොමයක් දෙනා විදේශ ගත වේවි. තවත් අය ලබන රැකියා, අපි ඉගෙන ගන්නා ක්ෂේත්‍රයේ නොවෙන නිසා වැඩ බිම් වලදී හමු වීමේ ප්‍රවණතාවත් බොහොම අඩුයි. ඒ නිසා සමහර අය දැක ගන්න ලැබෙන අවසන් වාරය හෙට වෙන්න පුළුවන්.
සිව් වසරක සරසවි ජීවිතය තුළ, තමන්ගේ කණ්ඩායම හැර අඩු ම ගණනේ තවත් ශිෂ්‍ය කණ්ඩායම් 6ක් එක්ක ගනුදෙනු කරන්න අපි හැමෝට ම සිදු වෙනවා. ඒ අතරින් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් අපෙන් සමු අරගෙන නික්ම යන අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ අතරින් පළමුවැන්න. ඒ නිසා සමහර විට මේ වගේ හැඟීමක් දැනෙනවා ඇති. ඒ කොහොම වුණත්, අපිට වඩා බොහොම කල් මේ බිමේ විස්කම් කරපු, විශ්ව විද්‍යාලය වෙනුවෙන් බොහොම දේ කළ ඔවුන් නැති අඩුව පුරවන්න සමහර විට අපිට කවදාවත් බැරි වෙයි. නමුත් ඒ දේ කරන්න උත්සාහ කළ යුතුයි කියලා හැඟීමක් තදින් දැනෙනවා.
තවත් අවුරුදු තුනකින් අපිත් විශ්ව විද්‍යාලය හැර යා යුතුයි නේ ද කියලා කල්පනා වෙද්දී, සාංකාවක් වගේ හැඟීමක් දැනෙනවා. මේ කවිය උපුටා ගත්තේ අපේ ම අක්කා කෙනෙක්ගේ සටහනකින්.
අඹ ගහ, තාමත් හොයනවද අපිව
බංකුව අදත් අපි ගැන ඇහුවලු නේද
එතකොට අර හොස්ටල් එකේ
එක පෙළට තිබ්බ මේස ටික එහෙම
වෙන කාට හරි අයිති ඇති නේද
සිවිල් එක ගාව ලොකු ගහ යට
මිකැනිකල් බෙන්ඩ් එක ලඟ
තාමත් කට්ටිය මුණගැහෙනවැති
උදේට අපි ලෙක්චර්ස් යන පාරෙ
තාමත් මැයි මල් වැටෙනවා ඇති
වේලිච්ච කොල අහුලනවද තව අයත්?
ලෙක්චර්ස් අස්සෙ අපි තරම් හොඳට
කවුරුත් චිට් පාස් කරාවිද මන්දා
ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් වල ගහපු හොර සයින්
තාමත් මතකයි අද වගේ මට
රෑ තිස්සෙ නිදිමරන් ගොඩ දාපු ටියුට්
මෙච්චර ගොඩක් තිබුනද මන්දා
ලයිබ්‍රරියෙ තුන්වෙනි මේසෙට
දැන් නම් වෙන අය ඇවිත් ඇති
කැන්ටින් එකේ තාමත්
කුප්පි එහෙමත් යනවත් ඇති
කැම්පස් එකේ කොට තාප්ප උඩ
පෝළිමට දැනුත් වෙන අය ඉඳන් ඇති
කොල්ලොන්ගෙ හොස්ටල් එකේ
සිංදු සද්දෙ දෝංකාර දෙනව ඇති
ෆැකල්ටිය ඇතුළෙ මේ දැනුත්
කැන්ටින් එකේ පුටු මේස වලට
ඉඳහිට අපිවත් මතක් වෙනව ඇති
Bucket, Social ,Going Down අස්සෙ
අවුරුදු හතරක් ගෙවුනද මන්ද
මතක ඇහිඳිනව මං නම් තාම
අද ඊයෙ වගෙ,
දයාබර රුහුණ....




