අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා.
මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්රී ලංකාවේ නැගෙනහිර ප්රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ.
දුෂ්කර, කටුක එකක් වුණු මේ චාරිකාව අපේ කතා නායකයාව බොහොම වෙහෙසට පත් කරනවා. තැඹිලි මිශ්ර දුඹුරු පාටින් දිලිසෙන, අව්වට පුපුරු ගහන කාන්තාරයක් වගේ ගමන් මග අතරමැද එක්තරා තැනක දී ඔහු ගමන් කරන රථය නවත්වන්න සිදු වෙන්නේ පාර මාරු වෙන, සිය ගණනක් වුණු එළු රංචුවකට ඉඩ දෙන්න. පැය ගණනක් තිස්සේ හුරු වුණු ඒකාකාර දර්ශන පථය වෙනස් කරමින් මතු වුණු මේ දර්ශනය රථයේ හුන් පිරිසට බොහොම චමත්කාර ජනක එකක් වුණු බවට සැකයක් නැහැ.. බොහොම පිළිවෙලකට දක්කාගෙන ආ මේ එළු රංචුවේ ගොපල්ලා නම් පෙනෙන්නට හිටියේ නෑ. විමසිල්ලෙන් බලද්දී, තරමක වෙලාවකට පස්සේ, එළු පැටවුන් අතරින් පුංචි කෙල්ලක් මතු වෙනවා. මේ පුංචි කෙල්ල, බොහොම සුරුවමින් එළු රංචුව පාලනය කරනවා දකිද්දී මේ ලස්සන දර්ශනයේ නිර්මාණ කාරියත් එක්ක වචන කිහිපයකින් දොඩමලු වෙන්න අපේ කතා නායකයාට සිත් වෙනවා.
ඇය වෙත පාන මද සිනහවට ඇයත් පෙරලා දක්වා සිනාසෙනවා. මේ සිනහව ඔවුනොවුන් අතරේ කතාවක් ඇති වෙන්න මග පාදනවා.
"දුවගේ නම මොකක් ද? "
ඔහු බොහොම ආදරයෙන් අහනවා..
"සුභාරතී මැණිකේ"
ඇය නළලට වැටුණු කෙස් රොදක් පසුපසට කරමින්, කටකාර කෙල්ලක් වගේ පිළිතුරු දෙනවා..
"සුභාරතී මැණිකේ.... සුභාරති කියන්නේ දෙමළ නමක් නේ.. මැණිකේ කියන්නේ සිංහල නමක්.. දුව සිංහල ද? දෙමළ ද?"
ඔහුට තවත් ප්රශ්නයක්.. මේ ප්රශ්නයට නම් කටකාර කෙල්ලගෙන් පිළිතුරක් නැති හැඩයි.
ඇය නොදන්නා බව හඟවන්න හිස දෙපැත්තට වනනවා..
විස්තර දැන ගන්නා අදහසින් ඔහු තවත් ටිකක් කතා බහ කරනවා..
"දුවගේ අම්මාගේ ගම කොහෙද?"
"මෙහේ ම තමයි.."
"එතකොට තාත්තා .?"
"ගාල්ලේ ඇත්තිලිගොඩ"
ඇගේ පිළිතුරෙන් ඔහුට කතාව අවබෝධ වෙනවා..
ඇත්තට ම තමන් මුලින් ඇගෙන් අහපු ප්රශ්නයට පිළිතුර මොකක් ද? තමන්ගේ ප්රශ්නයට පිළිතුරක් ඇය ළඟ විතරක් නෙවෙයි, තමන් ළඟත් නැහැ නේ ද කියලා ඔහුට වැටහෙනවා.. ජාති, ආගම් භේද කොයි තරම් දුරකට මිනිස්සු බෙදන්න භාවිත වුණත්, ඒ බෙදීම් කොයි තරම් නොදියුණු ගණයේ ඒවා ද කියලා ඔහුට අවබෝධ වෙනවා.. ආදරය හමුවේ ඒ බෙදීම් නැති ව ගිහින් මනුෂ්යත්වය නම් හේතු සාධකය ඉදිරියට එනවා. මේ මනුෂ්යත්වය ඉදිරියේ කිසිම බෙදීමක් තවදුරටත් වලංගු වෙන්නේ නැහැ..
අපි මෙතෙක් කතා කළ 'කතා නායකයා' ප්රවීණ ගීත රචක, 'රත්න ශ්රී විජේසිංහයන්'..
මේ සංවේදී සිදුවීම ඔහු අතින් ගීතයකට නැගෙනවා.. මේ ගීතයේ එක්තරා විශේෂයක් තිබෙනවා.. මේ රචකයාගේ සෙසු බොහෝ ගීත වල දී වගේ ම මෙහිදීත් ඇත්ත ම නම් ගම් ම භාවිත වෙනවා. මේ පද මාලාව තවත් අලංකාරවත් වන්නේ ජානක වික්රමසිංහයන්ගේ මියුරු හඬින්..
නින්දවුර් කලපුව ළඟ - ඔලුවිල් යන පාරේ
නින්ද නැති ඇහෙන් බලනා - සුභාරතී මැණිකේ
මට ලියන්න බැරි කවියේ - මට ලියන්න බැරි කවියේ...
යුද්ධය ඇවිත් මුළු ගං ගොඩ - ගිනියම් වුණු දවසේ
ගං සූරිය මලක් වගේ - මැලවී ගිය මුහුණේ
ඇත්ත කියාපන් නංගියෙ - කඳුළු නේද තිබුණේ..
අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේ
අම්මා නුඹේ මඩකලපුවෙ බත තිරි කර දුන්නේ
රත්තරනේ නුඹ කව්රුද - සිංහල මට නොදැනේ...
පද රචනය : රත්න ශ්රී විජේසිංහ
ගායනය : ජානක වික්රමසිංහ
ගීතය මෙතැනින් අහන්න.
සරසවියේ පෙම්වතියට 2
Saturday, July 6, 2013
තවත් යන්තම් - පාට වැටෙන්නට
වත දොවනා නුඹ , දුහුවිලි යන්නට
දෝතට පුරවා - මලකඩ කිරි ගෙන
ක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මම
හෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන
එළලු කෙලවර - හොරෙන් සඟවගෙන
මැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙස
මලකඩ පාටින් - නුඹ වෙයි ලස්සන
ප්රේම යාත්රාව - නැංගුරම් ලන තැන
බස් තොටේ අපෙ - පුරුදු තැන වෙත
ඇවිත් හිටපන් - හැකි නම් මට පෙර
දිනා ගනිමු අපි - පෙම් මුල්ල සටන් වැද
මහපොළ දවසට - අපි පොහොසත් වන
කැන්ටිම කෙලවර - තනිවුණු මේසෙට
රුපියල් දිය කර - ප්ලේන්ටියක් ගෙන
ප්රේමය සමරමු - අනෙකුන් මග හැර..
හෙට ගැන සිහි කර - අපෙ උන් මග හැර
පීඩිත පන්තිය - වෙනුවෙන් හඬ දෙන
නුඹ තුරුලට ගෙන - ලොව අමතක කර
දෙතොල සිඹිමි මම - නළලත මගහැර..
ප.ලි :
මෑතක දී බ්ලොග් පල කරපු කවියක් ම ටිකක් සංස්කරණය කරන්න හිතුණා. අමතක වීමකින් නෙවෙයි, බ්ලොග් එකේ පල කළේ දයානන්ද අයියාගේ අදහසකට අනුව! මේ ගැන අදහස් දැනගන්න කැමතියි!
:)
Labels:
නිසඳැස්,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්,
සාහිත්යමය
මිතුරු දම් බිඳුණු පසු..
Tuesday, July 2, 2013
ජීවිතය නම් කෙටියි ආ මගයා යුතුව ඇත තව බොහෝ දුර
කටු කොහොල් මැද - ගල් ගොඩැලි වල
තවත් සිර වෙයි - අපේ ජීවිත..
තරඟයක් මැ යි අපේ ජීවිත
අරමුණක් වෙත ඇදෙන ගමනක
තියුණු වන විට අපේ තරඟය
තවත් නැති වෙයි නුඹට කාලය..
ලොවේ හසරක් දැනෙන දා සිට
ඊයේ වාගේම අදත්, තව හෙට
වැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙස
දුවමු අපි - සිතිජය දිහාවට...
එකෙක් පරදා දිනන දවසක
සව්දියට නැත අපට කාලය
උනුන් පහු කර සැතපුමක් ගිය තැන
හැරී බලමු අපි මග හැරුණු දේ ගැන...
කඳුළු රැඳවෙයි දෙනෙත් අද්දර
සොඳුරු මතක අපෙ රැඳුණු තැන්වල
සිතුම් නවතියි තවත් මොහොතක,
ඒත් තව නැත අපට කාලය!!!
Labels:
Emotional,
ආ ගිය තොරතුරු,
මට හිතුනු දේවල්
සරසවියේ පෙම්වතියට
Tuesday, May 28, 2013
කන රිදෙන්න හෝන් ගහන
පාට පාට, ලොකු ලොකු කාර් වල
සයිලන්සර් පිහිදා ගෙන ඇවිත්
දාඩියට මුහුණේ ඇලුණු
කළු පාට - දුම් රොටු
දුඹුරු පාට - දුවිලි
සෝදා ගෙන,
පයිප්පයෙන් එන
මලකඩ වතුරෙන්,
තෙත මාත්තු කර
සායම ගිය
චීත්ත ගවුමේ
දිග ඇරුණු බෝරිච්චි අතින්,
ඉරුණු කෙලවර සඟවගෙන..
අව්වට තඹ වුණු
කිවුලට සේදුනු
කෙස් ගුලිය උණ්ඩි කර බැඳ
වරෙන් නුඹ,
හන්දියේ
අපේ ප්රේම යාත්රාව
ගාල් කරන තැනට..
වෙනදා වගේ ම
පෙම් මුල්ල අල්ල ගන්න
මට කලින් නුඹ'විත් හිටපන්
බස් නැවතුම් පොලට..
ආදරියේ..
අළු පැහැ මුහුණට
වත්සුණු මොකට ද?
රතු වුණු දෑසට
අංජන මොකටද?
පිච්ච රටා නැති වුණාට
තඹ පාට කෙස් වල,
තවමත් සුවඳයි
ඉස්සර වගේ ම..
අපි පොහොසත් වුණාම
මහපොළ ලැබෙන දාට
වරෙන් කැන්ටිමේ කෙලවර
පාළු මේසයක් ළඟට
අපේ ප්රේමය සමරන්න
අමෘතයට ටිකක් අඩු රස
තුනේ ප්ලේන්ටියක්
තොල ගාන්න..
අඹ ගහ යට බැංකුව උඩ
මගෙ පපුවට තුරුළු වෙලා
මුළු ලෝකෙම අමතක කර
අපිට අපි අමතක වෙන්න
නළලට නොවෙයි,
දෙතොලට හාදුවක් දෙන්න...
Labels:
ආදරය,
නිසඳැස්,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්
සඳ, නුඹ බැස යන්න...
Monday, April 22, 2013
තරු කැටවල තනි රකින්න
නෙක තරු මැද සඳක් වෙන්න
කළුවර රැය එළිය වෙන්න
රෑ අහසට නුඹ නැගෙන්න..
හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න
දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න
සංහිඳ ළඟ නතර වෙන්න
මල් පහන අරන් නිවාලන්න..
නුඹේ මතක මන්දිරයේ
එළිය දැනෙන පාළු පැලේ
අගුවක හෝ පිල්කඩයේ
බිම් අඟලක් මට සෑහේ!
Location:
Gintota, Sri Lanka
සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය
Saturday, April 20, 2013
නුඹට වෛර කළ කඳුළ,
බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,
නුඹ වෙනුවෙන් වග උත්තර බඳින
මගේ නෙත් බොඳ කළා...
නුඹට වෛර කළ කේශ නාලිකා,
නුඹ දැක ගන්නට
නොනිත් ආශාවෙන් පෙළුණු
දෙඇස, ලෙයින් පිරවුවා..
නුඹ වෙනුවෙන් නික්මන්න
අකමැති වුණු ඉකිය,
නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම
මොහොතකට ඇද සිර කළා..
නුඹේ සුවඳට වෛර කළ නාසය,
ඒ සුවඳ යළි නො එන්නට,
ඇසෙහි පිරවුණු කඳුළු ගෙන
සංවේදක වසා දැමුවා..
නුඹේ හඬ අසන්නට රිසි ව
වට පිට බලන විට හිස,
නුඹේ හඬට වෛර කළ දෙකන්
තදින් අගුළු වැටුණා..
සර්වාංගය දෙපිළකට බෙදී
නුඹ නිසා ගැටෙන විට,
අන් මත නො ඉවසූ සිත
නුඹ වෙත ම සිත් ඇති ව
නුඹ වෙන අතක යනු දැක
හදේ දොරගුළු වසා දැමුවා!
බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,
නුඹ වෙනුවෙන් වග උත්තර බඳින
මගේ නෙත් බොඳ කළා...
නුඹට වෛර කළ කේශ නාලිකා,
නුඹ දැක ගන්නට
නොනිත් ආශාවෙන් පෙළුණු
දෙඇස, ලෙයින් පිරවුවා..
නුඹ වෙනුවෙන් නික්මන්න
අකමැති වුණු ඉකිය,
නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම
මොහොතකට ඇද සිර කළා..
නුඹේ සුවඳට වෛර කළ නාසය,
ඒ සුවඳ යළි නො එන්නට,
ඇසෙහි පිරවුණු කඳුළු ගෙන
සංවේදක වසා දැමුවා..
නුඹේ හඬ අසන්නට රිසි ව
වට පිට බලන විට හිස,
නුඹේ හඬට වෛර කළ දෙකන්
තදින් අගුළු වැටුණා..
සර්වාංගය දෙපිළකට බෙදී
නුඹ නිසා ගැටෙන විට,
අන් මත නො ඉවසූ සිත
නුඹ වෙත ම සිත් ඇති ව
නුඹ වෙන අතක යනු දැක
හදේ දොරගුළු වසා දැමුවා!
වෙන් ව ගිය මිතුරාට
Tuesday, March 19, 2013
සහසක් සතන් සුව සදවන වරම් ලබා

පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා
පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා
කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා..
මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු
නිල් දිය දහර වී එක ගඟකට වැටුණු
සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු
ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු..
සසර සරන තුරු අප අතරේ ඉපදේවා
නුඹේ සිනා මුව මඩලේ දිදුලාවා
මින් මතු සසර මග අනතුරු නොම වේවා..
මෙතේ බුදුන් දැක නිවනෙන් සැනසේවා.
ප.ලි:
මේ පද පෙල, මියගිය වෛද්ය ශිෂ්යයෙක් වෙනුවෙන් ගැයෙන ගීතයක් සඳහා සුදුසු ද? අඩුපාඩු සහ වෙනස් විය යුතු තැන් මොනවා ද කියා පුළුවන් නම් පහළින් කොමෙන්ටුවක් විදිහට යොදන්න..
දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)
Sunday, March 3, 2013
ඕනෑම සන්නිවේදන මාධ්යයක මෙන් ම ගීතය නමැති ප්රකාශන මාධ්යය මගින් කෙරෙන භාව ප්රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.
නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්යංගය මගින් කියැවෙන අර්ථය ශ්රාවකයා වෙත යන්නේ බොහෝ ප්රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ලබා දීමට සුදුසු ම පුද්ගලයා වන්නේ එහි කතුවරයා යි. එසේත් නැතිනම් පද රචකයා යි. සයිබරය තුළ ඔබ මොබ සරද්දී හමු වුණු තවත් එක් සුමධුර ගීයක් පිළිබඳව, එහි පද රචකයා විසින් ම තබන ලද සටහනකි මේ..
ගීතය : දුල් මන බැන්ද
ගායනය : ශානිකා මධුමාලි
පද රචනය : නාරද විජයසුරිය
සංගීතය : උදාර සමරවීර
රාගයෙන් තොර ප්රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?
සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !
යොවුන් ප්රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්රේමය හරහා පමණි !
එහෙයින්ම අපි ප්රේමණීය ලෙස ඉඳුරන් සතපවමු ! ප්රේමයක් නොමැතිව ආශාව පමණක් ඉටු කර ගැනීමට යාම සම්බෝල නැතිව ඉඳි ආප්ප ගිල දැමීමකි !
අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්රේමය පිලිබඳ ඉරණම විසඳීම දෙයාකාරය ! මන්ද යත් ආශාවන් සතපා ගත් පසු ඉතිරිවන්නේ හිස් බවක් නම් ප්රේමයක් අත් නොදකින පිරිමියා පලා යයි ;
ගැහැණියට එසේ යන්නට නොහැක .ඇය " කන්යා භාවය " නම් දඬුවමෙන් බැඳ තබා ඇත .
දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා
ලෝකය මවන ලද්දක් නම් , සර්වබලධාරියා අසාධාරණයක් කර ඇත ; මහා බ්රහ්මයා අව සිහියෙන් සිට ඇත ! එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට
යටත් කරයි ,
ප්රේමය සහ ආශාවන් සන්තර්පනය කර ගැනීම මානුෂික අවශ්යතාවයකි ; වැඩිහිටි සමාජයට එය උහුලන්නට බැරිය ! සංස්කෘතිය සහ සභ්යත්වය ඔසවා එයින් පහර දී සමාජය ඉදිරියේ තරුණ පෙළ මාණසිකව ඝාතනය කරති .
වරක් ලත් පහස නැවත නැවත ලැබීමේ ආශාව උපතේ සිටම ජීවීන්ට පොදු ධර්මතාවයකි ;
යටපත් කර ගන්නා තරමට පොළා පනින ආශාවන් අත්යන්තයෙන්ම ස්වභාවික බව පිළිගන්නට
මේ ධාර්මික සමාජය ඔබට ඉඩ නොදෙයි !අපි අපව රවටා ගනිමින් සිටිමු
මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ
අවසානයේ අසරණ වන්නේ ගැහැනියයි ; අපේ සමාජය මේ කතාව කියන්නට අපූරු වාග් මාලාවක් යොදා ගනී . "පිරිසිදු කම නැති කළා " " ගැහැනියක් බවට පත් වුණා "
ගනු දෙනුවේ අනෙක් පාර්ශ්වය වූ පිරිමියාට කිසිවක් සිදු වන්නේ නැත . ඔහුව නාවා ගෙට ගත හැකිය ! ගැහැණිය සියලු පව් කර ගසා ගත යුතුය ! ඇය සමාජයට මැසිවිලි කියයි
" මාව අනාථ කළා " ඇතැම් විට ඇය "කන්යා භාවයම " ආයුධයක් කර ගනී .
තමා විසින්ම පොළඹවා ගත් පිරිමියා වරද කරුවෙකු බවට පත් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ගනී ! ආදරණීය සම්භෝගය අවසන් කර නැගිටින විට ස්ත්රී දුෂකයෙක් බවට පත් වී හමාරය !
ගල් යුගයේ පවා නොතිබුණු වනචාරී සංකල්ප දේවත්වයෙන් සළකන සමාජයකට ඔහොම වෙලා මදිය !
ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !
ගැහැනියගේ පැත්තෙන් මේ වනාහී වටිනා පුජා භාණ්ඩයකි ! ලේ තැවරුණු රෙදි කඩ වනාහී පාරිශුද්ධ භාවයේ සංකේතයකි ! එහෙයින් ප්රේමයේ සැබෑ ප්රහර්ෂය විඳ ඇත්නම් විවාහ වන්නට බාධාවකි ; පිරිමියෙකුට ඕනෑ තරම් ජීවිතය විඳින්නට අවසර තිබේ .
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැතැයි ඔවුහු දනිති !
සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ ......... //
පෙම්වතා හැර යාමෙන් තනිවන තරුණිය , ප්රේමය අහිමිවීමේ වියෝ දුකට වඩා වැඩි භයානක ඉරණමකට මුහුණ දෙයි , ඈ විවාහ විය යුතුය . ඒ පිරිමියෙකු සමගය . ඔහුද මේ තිරිසන් සමාජයේ අංශුවකි . තමා අතීතයේ කෙතරම් ගැහැණුන් සමග යහන් ගත වූවත් තම මනාළිය කාන්යාවක් විය යුතුය . විවාහයට මුහුණ දෙන තරුණිය ප්රේමය දත යුතුය ! කන්යාවියක්ද විය යුතුය !
මධු සමය අවමංගල රාත්රියකි ,
අපේ රටවල යොවුන් ප්රේමය ඛේදවාචකයකි !
මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්රේමයද මියැදෙන්නේ යව්වන විලේ
(ගණිකා නිවාස සහ කන්යා භාවය පිළිසකර කිරීමේ ශල්යාගාර වලට ඇඟිල්ල දිගු කිරීමට මේ සමාජයට අයිතියක් නැත )

නාරද විජයසුරිය
උපුටා ගැනීම : https://www.facebook.com/kwijewardena1/posts/408560075903765
Labels:
Emotional,
ආදරය,
ගීත,
සමාජයීය,
සාහිත්යමය
වෙන් වීම
Thursday, February 21, 2013
දෑත බිම ඔබා, පස්සට වාරු වී
ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ
නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම
සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම..
වක්කඩ ළඟ, දිය බොර කර නටාපු
තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි
තටු අකුලාගෙන,කඳුළු දරාගෙන,
මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි
ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම..
රතු රෝස මල් වෙනුවට දෑතේ,
සුදු අරලියා මල් පිපිලා
රොබරෝසියා මල් යහනා වෙනුවට
වතුසුදු මල් පාවඩ එළලා.
එරබදු ගස් අස, කොහෝ නාද නෑ
කණ කොක් හඬ දෙයි, සවන් උගුළුවා..
දෙතොල් අග, මුදු සිනා රැඳෙව් නුඹ,
කඳුළු විලක උල්පත වෙලා
මගුල් තුලාවට ගෙන ආ පිරුවට,
නුඹ යන මග පාවාඩ වෙලා
රන් කෙණ්ඩියෙ පැන් වෑහෙයි සොඳුරියේ,
අෂ්ටක හඬ නම් නොඑයි ගලා..
මිදුලේ කෙළවර
ගාඩිනියා ගස
කොළ එහි හැර දා,
සුදු මල් පළඳා
නුඹ' මළගම වෙනුවෙන්
සළුවක් ඇඳලා..
ප.ලි :
බොහොම කාලෙකින් අරුණැල්ල පැත්තේ වගේ ම, මුහුණු පොත පැත්තේ එන්නත් බැරි වුණේ විභාග කටයුතු නිසා, ටිකක් නෙවෙයි, බොහොම කාර්යය බහුල වෙලා හිටපු හින්දයි! කොහොම නමුත් අවසානයේ සුබ ආරංචියක් ගෙන එන්න පුළුවන් වුණා.
අපි මුහුණ දෙන විභාග බොහොමයක පළමු වාරයේ දී, බලාපොරොත්තු වුනු ප්රතිඵලය ලබා ගන්න බැරි වුණොත් දෙවන හෝ තෙවන වර උත්සාහ කරන්න හැකියාව තිබෙනවා. නමුත් සමහර අවස්ථා ලැබෙන්නේ ජීවිතයට ම එක වරයි.
රැංගෝගේ ජීවිතයේ දී එවැනි විභාග තුනකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. පළමුවැන්න 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගය. දෙවැන්න සහ තෙවැන්න විදියට විශ්ව විද්යාලයේ පළමු වසරට අදාළ විභාග දෙක. අනාගතයේ වෘත්තීය ලෙස තෝරා ගන්නා ක්ෂේත්රය තීරණය කෙරෙන්නේ මේ විභාග දෙකෙහි ලකුණු මත.තමන් කැමති විෂයය ක්ෂේත්රය ඔස්සේ ඉගෙන ගන්න අවස්ථාව හිමි කර ගන්න නම්, අඩු තරමේ මුල් 75 අතරට පැමිණීම අවශ්යයි.
විභාගයට බොහොම සාර්ථකව මුහුණ දෙන්න වගේ ම, සැළකිය යුතු තරම් හොඳ තත්වයේ ප්රතිඵලයක් ලබා ගන්නත් රැංගෝට පුළුවන්කම ලැබුණා. ඒ අනුව විදුලි හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු විද්යාව හදාරන්න අවස්ථාව හිමි වුණා. ඒ වෙනුවෙන් උදව් උපකාර කළ හැම කෙනෙක්ට ම බොහොම ස්තුතියි!

හුණුවටයේ කතාව නැරඹුයෙමි.
Monday, January 28, 2013
හෙල ගැඹුරුයි
පුත නොබලන්
සෙලවෙන කොට
වැල් පාලම
දෑස බයෙන්
බිම නොබලන්
අපට පුතේ
මගක් නැතේ
මේ මග මිස
යමන පුතේ
දෙවියෝ බලයි
මුණ නුඹේ
නුඹව රකියි
යමන් පුතේ
සිංහල වේදිකා නාට්ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් වචන කිහිපයක් නොවන්නට මෙය විදේශීය බව කිසිවෙකුට නොසිතෙන තරම් ම ලාංකීය ය. ජර්මන් ජාතික බර්ටෝල් බ්රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්රේෂ්ඨ වේදිකා නාට්යයේ එන 'වැල් පාලමේ ගීතය' නම් ගීතය ඒ බව නොදන්නා වුන්ගේ දැන ගැනීම පිණිස සිහිපත් කරමි.
දකුණු පළාත් ප්රධාන ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබ, ගාල්ලේ 'Hall de Galle' ශාලාවේ වේදිකා ගත වුණු 'හුණුවටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය රස විඳීමේ භාග්යය මට ද හිමි විය. රසවින්දනයේ උච්ඡත ම අවස්ථාවට පැමිණ, මා ලද අත්දැකීම, බෙදා ගනු පිණිස, දවස ගෙවෙන්නට පළමු මෙසේ යුනිකෝඩ් කරමි.
යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා
මගේ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගනියි නිරතුරු
ස්වර්ගෙට ගිය කළේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ..
හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු වුණු අතර, 1999 දී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකු යොදා ගනිමින් දෙවන වර නිර්මාණය විය. 1967 සිට 1999 දක්වා වසර 32ක් එක ම චරිත රඟ දැක්වූ නළු නිළියන්ට, තව දුරටත් එය සිදු කිරීම සැබවින් ම අසීරු කරුණක් වන්නට ඇත. හෙන්රි ජයසේනයන් විසින් ම 'හුණු වටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය කරන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳව, තෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් ඔහු දක්වන අදහසෙහි ඒ බව සඳහන් වෙයි.
මට නරඹන්නට අවකාශ ලැබුණේ මෙකී තෙවන නිෂ්පාදනය යි. පැරණි නළු නිළියන් අතුරින් තිදෙනෙක් පමණක් මෙහි රඟන අතර, සෙසු සියල්ලන් ම පාහේ අලුත් නළු නිළියන් ය. පෙර වෙනත් චරිත රඟ පෑ 'නිමල් ජයසිංහ' අද පොතේ ගුරු චරිතය රඟපායි. එදා ෂව්වාගේ චරිතය රඟපෑ 'චූලා කාරියවසම්' අදත් එම චරිතය ම රඟපායි. එදා නොන්ඩි සොල්දාදුවා ලෙස රඟපෑ 'විජිත සල්ගාදු' අදත් එම චරිතය ම වෙනත් නළුවෙකු(ලලිත් ජයකාන්ත) සමග රඟපායි.
කෙසේ නමුත් අද වෙද්දී එහි ප්රධාන නළු නිළි දෙපල ම ජීවතුන් අතර නැත. එදා හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් ඔපවත් වුණු අසඩක්ගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට නලීන් ප්රදීප් උඩුවෙල දරණ උත්සාහය සාර්ථක බව මගේ හැඟීමයි. එදා මානෙල් ජයසේන රඟ දැක්වූ ගෘෂාගේ චරිතයට අද පණ පොවන්නේ රුවනි මනම්පේරියි.
ප්රධාන කොටස් දෙකක් යටතේ දිවෙන මෙහි අංක 5කි. සිව්වෙනි අංකයේ දී හෙවත් විනිශ්චයකරු පිලිබඳ කතාවේ, පළමු අංකයේ දී සබයට පිවිසෙන අසඩක්, සමස්ත කතාව පුරා ම මතුවුණු සෙසු චරිත සියල්ල ම අභිබවා සිය නායකත්වය සටහන් කරන්නේ සිය රංගන කාලය පැයකටත් අඩුවෙන් ලබා ගනිමිනි. ඒ තරම් කෙටි කාලයකින්, නරඹන්නන් තුළ, ප්රධාන චරිතය වූ අසඩක් කෙරේ පහන් හැඟීමක් ඇති කිරීම සැබවින් ම දුෂ්කර කටයුත්තක් බව නොකිව මනා ය. ඒ සඳහා මස් වන සුවිශේෂ වූ රංගන ප්රතිභාවක් අදාළ රංගන ශිල්පියා සතු විය යුතු ය. හෙන්රි ජයසේනයන් සතුව ඒ ප්රතිභාව තිබුණු බව අපි දනිමු. ක්ෂේත්රයේ හෙන්රි ජයසේනයන් තරම් ප්රවීනයෙක් නොවුනත්, නලින් ප්රදීප්ගේ රංගනය ද සැබවින් ම ප්රශංසනීය එකකි.
හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.
ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති.
නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි. තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.
මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි.
වේදිකාව මත, හුණු වටයේ කතාව එසේ දිවෙද්දී වේදිකාව පිටුපස අසඩක් ඉදිරියේ වූ යුෂ්මතිය හෙවත් ගෘෂා, සැබෑ ජීවිතයේ දී, හෙන්රි ජයසේනයන්ගේ ආදරණීය බිරිඳ විය. අද ඔවුන් දෙදෙනා ම ජීවතුන් අතර නැත. නමුත් ඔවුනගේ රංගනයෙන් හැඩ වූ 'හුණු වටයේ කතාව' අපට දායාද වී ඇත. මේ සිය ආදරණිය ගෘෂා හෙවත් මානෙල් ජයසේන නම් ආදරවන්තියට, අසඩක් හෙවත් හෙන්රි ජයසේන නම් ආදරවන්තයා ලියු කවියකි. අවාසනාවකට මෙන් මෙය ලියවෙද්දී මානෙල් ජයසේන අප අතරින් සමුගෙන ගොසිනි.
අසඩක් ලෙස වෙස් ගත් මා
කොතෙක් නම් වෙලා බලා සිටියෙම් ද
වේදිකාවේ පසෙක සිට
ඔබේ විස්කම්
මගේ ගෘෂාවෙනි..
පා ඇඟිලි තුඩගින්
කඳු ප්රාන්තයට පිය නැඟූ ගමන්
කරේ හොවාගෙන
ළදරු මයිකල් කුමරුවන්
ඔබේ උණුසුම ඔහුට දුන් ඔබ
මුළු රටකට ම දුන්නා නොවේ ද
ඔබේ අභිරංගනයේ උණුසුම
මුළු දැයකට ම බෙදුවා නොවේ ද
ඔබේ දෑස, දෑත දෙපයේ
හුරුබුහුටි මහිමය!
තවමත් සිතින් බලා සිටිමි මම
මගේ ම ගෘෂවෙනි
ඔබේ ඒ
නො මියෙන මහා ප්රතිභා දෙස
ඔබේ ලලිත රුව දෙස
මට නම්
දිවි ඇති තෙක් ම නොමියේ
ඔබේ ඒ මහා ප්රතිභා..
ඔබ නොලද්දේ ය
පඬුරු - ඵලක - තිලිණ
ඔබේ මහා ප්රතිභාවට
මේ තාක් කල්...
මායිම් නොකළා ය ඔබ
කිසිවිටෙකත්
ඒ සා පුද පඬුරු
නිරතුරුව ම ලද නිසා
මුළු මහත් දැයක ම
ප්රසාද - ප්රණාම
ලද නිසා ඔබ
සුවහසක් ප්රේක්ෂක දනන්ගේ
උණුසුම් සෙනෙහස..
අත්වැල් බැඳ සිටිමු අපි
මගේ ගෘෂාවෙනි
දායාද පුදමින්
හෙළ කරලියේ
අලුත් පරපුරකට..
ප.ලි:
අද නාට්යය නරඹන්නට ගොස් සිටිය දී, එහි දී ම හමු වී, හරි හැටි මුහුණ වත් නොදැක, නිකමට කළ ඉල්ලීමකින්, නුඹට ලැබුණු නාට්යයේ විස්තර අඩංගු සමරු පොත මට දෙන්නට තරම් කාරුණික වුණු නාඳුනන මහත්මයාණෙනි. නුඹට බොහොම ස්තුතියි.
Labels:
ආ ගිය තොරතුරු,
පිදිය යුත්තෝ,
සාහිත්යමය
Subscribe to:
Posts (Atom)