Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නොමැකෙන මතකයන්..

Monday, March 26, 2012



අද කාලෙකට පස්සේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරඟයක් පැවැත්වෙනවා.. ඒ හේතුව නිසා මෙතෙක් කාලයක් ගාල්ලේ පිට්ටනිය හා බැඳී මතකයන් අවදි කරන්න හිතුණා..


ගාල්ලෙන් පිට කෙනෙක් උණත් එක ම එක පාරක් හරි ගාලු ඇවිත් තියෙනවා නම් මේ ක්‍රීඩාංගනය නොදකින්න විදිහක් නෑ.මොකද ගාල්ලේ බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, ගාලු කොටුව,සමනල ක්‍රීඩාංගන වගේ ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයත් ගාලු පාරේ එක ම තැනක ඉඳන් දකින්න පුළුවන් විදියට ඉදි වෙලා තියෙනවා. නොදැකපු කෙනෙක් ඉන්නවා නම් අද ම ගාල්ලේ දුම්රිය ස්ථානය ළඟින් ගලන ඇළ, එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කුණු ඇල හරහා තියෙන පාලම උඩට ගිහින් බලන්න.

අපි දන්න කාලේ ඉඳලා ම ගාල්ලේ ක්‍රිකට් තරඟ පැවැත්වුණේ මේ තරඟය පවත්වන පිටියෙමයි. (වෙන එකක් නෑ නේ ඉතින්.. හෙක් හෙක්!!) මතක ඇති කාලෙක ක්‍රිකට් තරඟයකට අමතරව මේ ක්‍රීඩාංගනය යොදා ගත්තේ ගාලු වසන්තය සංදර්ශනයේ සමහර අංග සඳහා..ඒ කාලේ ගාල්ල එක්දින තරඟ සඳහාත් යොදා ගත්ත ක්‍රීඩාංගනයක්.මට මතක විදියට පැරෂුට් සංදර්ශනය පැවැත්වුණේ පිටියේ එක් පැත්තක.. ඒ 2000  අවුරුද්දේ. අලුත් සහස්‍රයේ උදාව සමරන්න ලංකාවේ ප්‍රධාන උත්සවය පැවතුනේ ගාල්ලේ.. ඒ හින්දා ම ගාල්ල, ‘සහස්‍රයේ පුරවරය’ එහෙමත් නැත්නම් ‘දෙදහසේ පුරවරය’ කියලත් හඳුන්වනවා. සුනාමිය නිසා බොහොමයක් විනාශ වුනත් අදටත් ගාල්ලේ සමහර තැන් වල ඒ බව සඳහන් කරපු කුළුණු දකින්න පුළුවන්.

සුනාමිය නිසා 2004 වර්ෂයේ දී ගාල්ල සම්පුර්ණයෙන් ම පාහේ විනාශ වෙද්දී, පිට්ටනියට වෙනම ම බේරෙන්න බැරි වුණා.ඇත්තට ම සුනාමිය නිසා ක්‍රීඩාංගනයට සෑහෙන්න අලාභ හානි සිදු වුණා.. එහෙම පිටින් ම කුණු ගොඩක් බවට ප්‍රේක්ෂකාගාරය පත් වෙලා තිබුණා.. ඒ දවස් වල පිට්ටනිය දකිද්දී අපිට හුඟක් දුකයි.. දැන් නම් සැලකිය යුතු තරම් දුරට අලුත්වැඩියා කරලා. ඒ උනාට  එක්දින තරඟ පවත්වන්න තරම් පහසුකම් නම් නැහැ..

2005 න් පස්සේ ගාල්ලේ පැවැත්වුණු ටෙස්ට් තරඟ වලින් වැඩි ප්‍රමාණයක් නරඹන්න අපිට පුළුවන් වුණා.. කොහොමත් ගාල්ලේ මැච් එකක් බලන්න කවුරුවත් ටිකට් ගන්න ඕන ම නැහැ.. අපිත් ඉස්සර නම් බලපු තරමක් බැලුවේ කොටුවට වෙලා.. ඒත් පහු වෙද්දී නම් ටිකක් වැදගත් විදියට ටිකට් එකක් අරන් ඇතුලට ගිහින් බලන්න පුරුදු වුණා.. (එහෙම කිව්වට ඉතින් ගොඩක් වෙලාවට ගියේ අපේ කාට හරි ලැබෙන පාස් එකකට පිං සිද්ධ වෙන්න.. )

ගොඩක් අය නිතර කියන කතාවක් තියෙනවා. ඒ ‘ගාල්ලේ මැච් එකක් ගැහුවොත් අනිවාර්යයෙන් ම වහිනවා’ කියලා.. .. මෑතක දී නම් දෙයියනේ කියලා වැස්සෙන් එහෙමට බාධාවක් වුණේ නෑ.. ඒත් ඉස්සර නම් මැච් එකක් බලන්න ගියොත් හැමදාම වැස්සට අහු වෙනවා.. ගෙදර එන්නේ හොඳට නාගෙන..ඒකට පදනම් වුණු විශේෂ හේතුවක් හරියට ම දැනගෙන හිටියේ නැතත් මාත් අත්දැකීමෙන් ඒ බව දන්නේ මම බලන්න ගිය තරඟ වලින් 2/3 කදී ම වගේ වැස්සෙන් බේරෙන්න කොටුව පුරා ම දුවලා තියෙන නිසා.

ඒ කාලේ අපි කොටුවට වෙලා තරගයක් බලන්න ගිය කිසි ම දවසක හරියට ඒ වැඩේ නම් කළේ නෑ.. කවුරු කවුරුත් හේතුව දන්නවා ඇති නේ.. ටිකක් වෙලා මැච් ඒක බලලා කොටුව පුරා ඇවිදලා ඇවිදලා හවස් වෙද්දී score එක බලාගෙන ගෙදර යනවා..ඒ අතරේ ඉතින් එක එක දේවල් වෙනවා.. සමහර ඒවා නම් ඉතින් බ්ලොග් එකේ ලියන්න බෑ නේ..
අපි එක සැරයක් මැච් එකක් බලන්න ගිහින් දවල් වරුවේ ම එහෙ මෙහෙ ඇවිදලා හවස් වෙද්දී කොටුවේ උඩ, සමනල එක ළඟ තියෙන කෙලවරට ආවා.. එදා තරඟය තිබුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර. එදා නම් අපේ එවුන් නැති වෙන්න ම එංගලන්තයට නෙලන්න අරන් තිබුණේ.. කොහොම හරි කාසියේ වාසිය දිනලා ලංකාව මුලින් පන්දුවට පහර දීලා සෑහෙන්න ලකුණු ප්‍රමාණයක් ලබාගෙන, ඉනිම අතරමග අත්හිටුවලා එංගලන්තයට පන්දුවට පහර දෙන්න අවස්ථාව දුන්නා.. ඒත් මට මතක විදියට ලකුණු 100ක් වත් නොලබා ඔවුන්ගේ සියලු ම දෙනා දැවී ගියා.. ඒ හින්දා එංගලන්තයට එහෙම්ම ම දෙවන ඉනිමත් ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වුණා.

අපි තරඟය නරඹමින් හිටපු තැන ඉංග්‍රීසි ජාතිකයෙක් ඉඳගෙන මැච් එක බලනවා.. එයා එක්ක ම මාර්ගෝපදේශකයා එහෙමත් නැත්නම් ගයිඩ් ඉඳගෙන කියව කියව ඉන්නවා.. අපිටත් ඉතින් නිකම් ඉන්න බෑ නේ.. ඔන්න ඔහේ කට දැම්මා කතාවට.  සුපුරුදු ප්‍රශ්නය.. ලංකාව කොහොම ද? මිනිස්සු හොදයි ද? සුද්දා ලංකාව ගොඩක් හොඳයි කිව්වා. ඒත් සමහර මිනිස්සු නම් හරි නෑ ලු..

මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා.. නැත්නම් නිකම් ඒ වගේ කතාවක් කියන්නේ නෑ නේ.. ඒ පාර ගයිඩ් අයියා ඉඳගෙන කියනවා,
“අපේ එවුන් එක්ක කරන්න බෑ නේ මල්ලි.. මුන් හිතන්නේ සුද්දෝ කියන්නේ මැටි හරක් කියල.. උන් රුපියල් 30 දුර ත්‍රී වීල් එකේ දාගෙන ගිහින් 500යි කියනවා.. මුන් දන්නවා සිද්ධිය. ඒත් ඉතින් මොනවා කරන්න ද? ගෙවලා දානවා.. ඒ අස්සේ සමහර එවුන් කිඹුල්ලු පෙන්නන්න කියලා කොග්ගල එක්කගෙන ගිහින් කබරු පෙන්නනවා.. මෙයාටත් එහෙම එකක් වෙලා. ඉතින් මුන් තවත් ඒවි ද.?”

හත්තිලව්වයි.. කොහොම උණත් ලංකාවේ රජ වැඩ කාරයෝ නේ ඉන්නේ.. වැඩිපුර ගන්න එක කෙසේ වෙතත් කිඹුල්ලු කියල කබරු පෙන්නන එක නම් සවුත්තුයි කියලා අපිටත් හිතුණා.. මොනවා කරන්න ද? අනුන්ගේ මල ඉලව් වලට හොට දාන්න ගිහින් නිකම් චා වෙන්න ඕන නෑ නේ.. ඒ කොහොම උණත් ඒ විදේශිකයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා නම් සෑහෙන්න අගය කළා.. මොන දේ උණත් අපෙත් වැරදි තියෙනවා නේ..

ඒ වගේ ම තවත් දවසක් අපි ගාල්ලේ මැච් එකක් බලන්න ගියා.. ඒ තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරේ. අපි ගිහින් හිටියේ රුපියල් 30 ටිකට් වලින්. ඒ හින්දා අව්වේ හිටගෙන තමයි බලන්න වුණේ. අපේ කිට්ටුව පන්දු රකින්න හිටියේ ක්‍රිස් ගේල් උන්නැහේ.. ඒ කාලේ ක්‍රිස් ගේල් සෑහෙන්න ජනප්‍රියයි. දැනුත් එහෙම තමයි.. ඒ උනාට ඒ කාලේ වැඩියි..අපේ එවුන්ටත් ඉතින් මැජික් වගේ නේ... සමහර එවුන් ගේල් ට අත වනනවා..  කෑ ගහනවා.. එක විකාරයයි.. සමහර එවුන් ඒ අස්සේ ගේල් ට බනිනවා. ටික වෙලාවක් යද්දී ගේල් නෑ.. අපි බලද්දී මිනිහා පිටියේ අනිත් කෙලවරට වෙලා පන්දු රකිනවා..මෙහෙම හිටියට අපේ එවුන්ට පිටියක ප්‍රතිවිරුද්ධ පිලේ පන්දු රකින්නන්ගේ සැකස්මත් වෙනස් කරන්න පුළුවන් නේ..ඒක දැකලා මට අනේ අපොයි කියලා හිතුණා...

කවුරු කොහොම කියව්වත්, කොහොම කළත්, වැඩ බැරි උණත් අපේ ගම ගාල්ල නේ.!




ප.ලි:
මෙවර තරඟය ද ඉස්සර එකක් වගේ අවසන් විය.. වැස්සේ නැත.. ඒ නිසා තරඟය ලංකාව ජයග්‍රහණය කළේ ය.. 

ම' පබාවතියට..

Monday, March 12, 2012




නොදන්නා ලොවක සිට
නොසිතු ඇසිල්ලක
ම වෙතට පැමිණි ඇය
ජීවිතය නම් මේ යැයි කියා දුන්නී ය..


සිය සිහින් සරින්
මා ඇමතු ඇය
මිහිර නම් මේ යැයි
කියා දුන්නී ය..


සවනෙහි වෑහෙන
මී සා වදන් තෙපලු ඇය
ප්‍රේමය නම් මේ යැයි
කියා දුන්නී ය..


සිය සුසිනිදු දෑත්
ම බඳ වටා යැවූ ඇය
ආලිංගනය නම් මේ යැයි
කියා දුන්නී ය..


තවත් ඇසිල්ලක
මා හා අමනාපව නික්මුණු ඇය
විරහව නම් මේ යැයි
කියා දුන්නී ය..


මගෙන් මිදී ඇය
වෙනකෙකු හා යන බව දැන
වේදනාව නම් මේ යැයි උගත් මට
ඉවසීම නම් මේ යැයි
ඇය කියා දෙන්නී ය..







වැරැද්ද කාගේ ද?

Sunday, March 11, 2012

පහුගිය දවස ටිකේ හිතේ එකලාසයක් තිබුණේ නැති නිසා හරියට post එකක් දාන්නත් බැරි වුණා. අද කරන්න විශේෂ වැඩකුත් තිබුණේ නැහැ. ඒ හින්දා අද නිවාඩු දවසේ ටිකක් නිදහසේ කල්පනා කරන්න ඉඩක් ලැබුණා. අරමුණක් නැතිව සිතුවිලි ඔහේ පා වෙලා යද්දී මීට ටික කාලෙකට ඉස්සර සිද්ධ වුණු එක්තරා සිද්ධියක් ළඟ මගේ හිත නැවතුණා. එදා ඒ තරම් ම නොදැනුනත් අද වෙද්දී ඒ සිද්ධිය නිසා ඇති වුණු පසු  සිදුවීම් නම් හිතට ලොකු දුකක් ඇති කරනවා.

මේ සිද්ධිය සිදු වුණේ මම සාමාන්‍ය පෙළ කරපු කාලේ.. පසුබිම් වුණේ මම සහභාගී වුණු එක්තරා අමතර පන්තියක්. ඒ පන්තියේ හුන් මගේ හොඳ ම මිතුරෙක් සහ මිතුරියක්. කවුරුවත් අපහසුතාවයට පත් නොවෙන්න මම අනන්‍යතාව හෙළි නොකර කතාව කියන්නම්.

ඒ කාලේ අපි වයස අවුරුදු 15 ක 16 ක පොඩි කොල්ලෝ නේ.. ඒ වයසේ එවුන්ට ඇති වෙන සුපුරුදු අසහනකාරී ප්‍රශ්නයට අපිත් මුහුණ දීලා හිටියේ. ඒ තමයි ආදරය කියලා වරදවා තේරුම් ගනිපු ආකර්ෂණය. මගේ මිත්‍රයාටත් මල්සරා ගේම දීලා තිබුණේ. ඔහුත් 9 වසරේ දී පටන් ම එක්තරා ගැහැණු ළමයෙක් ගැන පිලිබඳ සිතක් ඇති කර ගෙන හිටියේ. අපි පිරිමි ළමයා නිමල් විදියටත් ගැහැණු ළමයා ඉසුරි විදියටත් හඳුන්වමු.. කතාව අතර මැද දී හමු වන තවත් චරිතයක් තියෙනවා. ඔහු ව අපි සුනිල් කියලා හඳුන්වමු.

නිමල් කියන්නේ මහා ලොකුවට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒත් යම් තරමක අධ්‍යාපනික දක්ෂතා තිබුණු අයෙක්. ඒ වගේ ම ඔහු කාර්මික වැඩ වලට පුදුමාකාර දක්ෂතාවක් දැක්වුවා. ඒ වැඩ වලින් නම් ඔහු සුපිරි චරිතයක්. මා වරක් ඔහුගේ නිවසට යද්දී කාඩ්බෝඩ් වලින් නිර්මාණය කර තිබුණු කන්ටේනරයක අනුරුවක් දැක්කා. එය සම්පුර්ණයෙන් ම නිර්මාණය කර තිබුණේ ඔහු. එහි රෝද වල ඇක්සල් පවා සවි කර තිබුණා. ඒ වගේ ම විදුලි පහන් දැල්වීම සඳහා වෙන ම wiring system එකකුත් එහි සවි කර තිබුණා.. ඇත්තට ම මම ඒ නිර්මාණය දැකීමෙන් සැහෙන්න පුදුම වුණා.

නිමල් තමන්ගේ ආදරය ඉසුරි ට ප්‍රකාශ නොකර අවුරුදු දෙකක් හිටියා. ඒ කාලය තුළ ඔහු ඒ බව ඇයට යන්තමින් හෝ දැනෙන්නට දුන්නේ නැහැ. ඒකට හේතුව වුණේ ඇගේ අධ්‍යාපනය.. ඔහු හැම වෙලාවේම කිව්වේ

"මචං. ඒකි ඉගෙන ගන්න කෙල්ලෙක්. මේ විකාර දැන් ම ඒකිගේ ඔලුවට දාන්න බැහැ. විභාගේ ඉවර වෙලා බලමු."කියලා.

ඒත් ඒ කාලේ සුනිල් කියන චරිතය ඉසුරිට try කරන්න පටන් අරන් තිබුණේ. පෙනුණු විදියට නම් ඇය ඒකට කැමැත්තක් දැක්වුවේ නෑ.. ඒත් මේ හේතුවෙන් නිමල් නම් සැහෙන්න අවුල් වෙලා හිටියේ. ඒත් ඔහු කිව්වේ 'එයා කැමති නැත්නම් යාලු වෙන්න බෑ නේ ' කියලා.

කොහොම හරි සුනිල් සහ ඉසුරි දෙන්නා අතර සම්බන්ධයක් ඇති වුණේ නැහැ. කාලය සුපුරුදු විදියට ගෙවිලා ගියා. මේ අතරේ ඉසුරි සමග හොඳ මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න මටත් නිමල්ටත් පුළුවන් වුණා. ටිකෙන් ටික සාමාන්‍ය පෙළ විභාගය ආසන්න වුණා.



දවසක් ඉසුරි මට දෙයක් කියන්න තියෙනවා කිව්වා. මම ඒ ගැන ඇහුවම පෞද්ගලිකව කියන්නම් කිව්වා.. ඉතින් මාත් නිමලුත් දවසක් වැඩිය පන්තියේ ළමයි නොහිටිය වෙලාවක ඉසුරි එක්ක කතා කළා.
හරියට ම කියපු වචන නම් මතක නැහැ. ඒත් මේ දේවල් ටික තමයි කතා වුණේ කියලා හොඳට මතකයි.

"මම කෙනෙක් ට ආදරේ කරනවා. මම එයාට ගොඩක් කැමතියි කියලා හිතෙනවා. පුළුවන් නම් මට උදව් කරන්න"

ඒක අහපු ගමන් අපි දෙන්නා හොල්මන් වුණා. ඒත් නිමල් කිසි අවුලක් පෙන්නුවේ නෑ.

"ඉතින් කවුද ඒ.? නම කියන්නකෝ.."

"ඔයාලා කීයට වත් හිතන්නේ නෑ ඒ එයා කියලා. ඒත් මම එයාට ගොඩක් කැමතියි."

"එහෙම ද? කමක් නෑ. නම කියන්නකෝ.."
"සුනිල්"

ඒක අහපු ගමන අපි දෙන්නව කරකවල කරකවල අත හරින්නේ නැතුව තවත් කරකවනවා වගේ දැනෙන්න ගත්තා..

"හරි. අපි දැන් මොකද්ද කරන්න ඕන?"
මම අමාරුවෙන් වචන ගැළපුවා.

"එයාගේ හිතේ කෙනෙක් ඉන්නවා ද? නැත්නම් එයා මගේ ගැන හිතනවා ද? කියලා එයාගෙන් අහලා කියන්න. හැබැයි මම අහන්න කිව්වා කියන්න එපා"

කාලා වරෙන් කෝ..
මේ මොකද්ද අපේ පිට වැටෙන්න යන්නේ..දැන් මේකිට බෑ කියන්නත් බෑ. අහන්නත් බෑ.. මොකද්ද කරන්නේ??
කමක් නෑ..ඔන්න ඔහේ උගෙනුත් අහනවා..  වෙන දෙයක් වෙයි නේ..
ඒත් අපි දැනගෙන හිටියා ඒ වෙද්දී සුනිල් වෙන කෙල්ලෙක්ට try කියලා. ඒ හින්දා අපේ විශ්වාසයක් තිබුණා මු මේකිට කැමති වෙන එකක් නෑ කියලා..

අපි ඉතින් එදා ම හවස උගෙන් ඇහුවා. ලැබුණේ අපි බලාපොරොත්තු වුණු පිළිතුර ම යි. අපි ඉතින් ඒ සුභ ආරචියෙන් ඔද වැඩුණු සිත් ඇතිව ඉසුරි හමු වෙලා සිද්ධිය කිව්වා.. එයාට නිවුස් ඒක දුන්න ගමන් අප්සට් ගියා. අපි මොනවා කරන්න ද? ඔන්න ඔහේ අපි අපේ පාඩුවේ හිටියා.

එහෙම මාස කිහිපයක් ගත වුණා. ටිකෙන් ටික ඉසුරි සාමාන්‍ය තත්වයට පත් වුණා. ඒ අතරේ නිමල්ට ඕන වුණා තවත් අවුලක් වෙන්න කලින් අහන්න.

ඉතින් පෙරුම් පුරාගෙන අපි ලියුමක් ලිව්වා. ඒ ලියුම ඇගේ අතට දෙන්න නිමල් ට සෑහෙන්න ධෛර්යය දීලා ඉසුරි ව හමු වෙන්න යැව්වා.. ඒත් ඒ ගැන ඇගෙන් පල වුණේ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. මම දන්නා තරමින් ඉසුරි සහ නිමල් අතර නොගැළපෙන කරුණු තිබුණේ නැහැ. ඇත්තට ම නිමල් කියන්නේ ඉසුරිට සාපේක්ෂ ව ගොඩක් ලස්සන කොල්ලෙක්. ඒත් ඉතින් ආදරේ බලෙන් ඇති කර ගන්න බැහැ නේ. එහෙම කියලා අපි සද්ද නැතිව හිටියා. ඒත් මට දැනුනා නිමල් නම් හිතින් ගොඩක් දුක් විඳින බව. ඒත් මගේ ළඟ ඔහු ව සනසවන්න වචන තිබුණේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයට අපි මුහුණ දුන්නා. මහා ලොකු අපහසුතාවයකින් තොරව අපි 3 දෙනා ම සමත් වෙලා තිබුණා. මම ගණිත අංශයෙන් උසස් පෙළ කරද්දී නිමල් සහ ඉසුරි ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න තීරණය කරලා තිබුණා. ඒත් මට නිමල් වැඩ කරාවි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. මම දන්නා තරමින් අවුරුදු 3 කටත් වඩා ඇය ගැන ඔහු බලාපොරොත්තු තියාගෙන හිටියේ.

මට ඊට පස්සේ වැඩිය නිමල් හමු වුණේ නැහැ. ඒත් උසස් පෙළ කලාට පස්සේ මට ආරංචි වුණා දෙන්න ම අසමත් වෙලා කියලා. ඉසුරි අසමත් වෙන්න නම් හේතුව ඇගේ ම වැරැද්ද කියලා මට තේරුණා. ඇය ඒ කාලය තුළ වෙන පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන ගිහින් ගොඩක් දේවල් වරද්දවාගෙන කියලා මට විස්තර කියපු කෙනා කිව්වා. දෙවන වරටත් ඇය උසස් පෙළ කළා. ඒත් නිමල් German Technology Institute ඒකට සම්බන්ධ වෙන්න ගොඩක් ආසාවෙන් හිටිය නිසා ඒ සඳහා මහන්සි වුණා.

ඒ වෙද්දී ඉසුරිගෙන් පළි ගන්න හිතාගෙන නිමල් වෙනත් ගැහැණු ළමයෙක් එක්ක මිත්‍ර වෙලා හිටියේ. නමුත් ඒ ගැහැණු ළමයා නම් කිසිම විදියකින් ඔහුට ගැලපෙන කෙනෙක් නෙවෙයි. බොහොම ඉක්මණින් කේන්ති ගන්න, ඒ වගේ ම සැර පරුෂ අයෙක්. ඒ සම්බන්ධය නිසා ඔහු තවමත් බොහොම දුක් විඳිනවා. ඒත් දෙන්නා අතර සිදු වුණු දේවල් නිසා ඒ සම්බන්ධය නවත්වන්න විදියක් නැහැ.

මට මේ ලඟදී ඉසුරිගේ ගෙවල් ළඟ මිත්‍රයෙක් හමු වුණා. ඔහු එක්ක කතා බහ කරද්දී මම ඇගේ ගැන විමසුවා. ඇය ගැන ගමේ අය කියන දේවල් ඒ තරම් හොඳ නැති බව මට දැන ගන්න ලැබුණේ ඔහුගෙන්. කතාවේ හැටියට ඇගේ ජීවිතය කාලකණ්නි වී ගිහින්. තවත් ගත යුත්තක් නැති තරම් ම. ඒ වගේ ම නිමල් ගේ ජීවිතයත් ඒ වගේ තත්වයකට පත් වෙලා. මට හිතෙන්නේ ඒකට හේතුව ඔවුන් දෙදෙනා තමන්ට ගැලපෙන අය තෝරා නොගැනීම.

ඉසුරි වෙනත් කෙනෙක් සමග මිත්‍ර වුණේ සුනිල් ගෙන් පළි ගන්න. ඒ වගේ ම මම හිතන්නේ නැහැ ඇය සමග මිත්‍ර වුණු කෙනා ඇත්තට ම ඇයට ආදරය කළා කියලා. ඒ වගේ ම නිමල් වෙන කෙනෙක් එක්ක මිත්‍ර වුණේ ඉසුරිට රිද්දන්න හිතාගෙන. ඒත් අද දෙන්නා රිද්දගෙන තියෙන්නේ තමන්ට ම යි. තමන් ආදරය කරන කෙනාට රිද්දන්න යෑමෙන් තමන්ගේ ජීවිත කාලකණ්නි කරගෙන. අද නිමල් German Technology Institute හි අධ්‍යාපනය ලබනවා. ඒත් ඔහු කිසිම සතුටකින් ජීවත් නොවෙන බව පෙනෙනවා.

තමන් ආදරය කරන කෙනාට රිද්දවන්න හිතෙන්නේ කොන්දේසි ඇතිව ආදරය කරන්නෙක්ට විතරයි. තමන්ට ආදරය කරන කෙනෙක්ට පෙරළා ආදරය කරන්න පුළුවන් නම් එයින් ජීවිතය ගොඩක් ලස්සන කර ගන්න පුළුවන්. මම කලින් post එකෙන් කියන්න හැදුවෙත් මේ වගේ ම දෙයක්.
මගේ පෞද්ගලික අදහසේ හැටියට නිමල් සහ ඉසුරි මිත්‍ර වුණා නම් අද ඔවුන් දෙදෙනා ගොඩක් සතුටින් ජීවත් වෙන්න තිබුණා. ඒ නැතත්, අඩු තරමේ එක් අයෙක් වත්... ඒත් වැරැද්ද කාගේ ද?


ආදරය කියන්නේ ගනුදෙනුවක් ද?

Wednesday, March 7, 2012

අද පෝය දවස නිදහසේ ගත කරන්න හිතුවත් නොයෙක් වැඩ රාජකාරි නිසා එහෙම කරන්න බැරි උණා.. සාමාන්‍යයෙන් පෝය දවසට මම රුපවාහිනියේ විකාශනය වන ධර්ම දේශනාවලට සවන් දෙනවා. අදහන ආගම මොකක් උණත් ඒ හැම දෙයකින් ම අපට ගත හැකි දෙයක් තියෙනවා නේ..එහෙම උණත් මේ ටිකේ වැඩ වැඩි නිසා ඒ සඳහා වෙලාවක් ලැබුණේ නෑ.

අද තිබුණු වැඩ කටයුතු ඉවර වෙලා හවස් වෙලා යාලුවෙක්ගෙ ගෙදර පැත්තේ රවුමක් යන්න හිතුණා. එහෙම ගිය වෙලාවේ අහම්බෙන් වගේ රුපවාහිනියේ විකාශනය වුණු ධර්ම දේශනයකට සවන් දෙන්න ඉඩක් ලැබුනා.. ඒ නිසා කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටපු සටහනක් ලියන්න ඕන කියලා මතක් උණා.. අද හවස් කාලය වෙරළ අයිනට වෙලා ගෙවද්දී බොහොමයක් කරුණු ලිවිය යුතුයි කියලා මතක් උණා.. මේ පෙළ ගැහෙන්නේ ඒ කරුණු ටික.. 

මේ කියන්නෙත් ආදරය ගැන.ඔන්න පටන් ගන්න කලින් ම කියන්නම්. මේ කියන්න යන්නේ බණක් නෙවෙයි. ආදරය ගැන මම අවබෝධ කර ගත්ත දේ.. එකඟ වෙන්නේ නැත්නම් කෙලින් ම මට බනින්න.. ඒත් මේ කියන දේ සම්පුර්ණයෙන් ම කියවලා ඉන්න..


ඇත්තට ම ආදරේ කියන්නේ මොකද්ද? නිර්වචන නම් ඕන තරම්. කෙනෙක් ට පුළුවන් මිනිස් සිතේ ඇති වන තවත් එක් හැගීමක්, එහෙමත් නැත්නම් තෘෂ්ණාවේ එක් පැත්තක් විදියට ආදරය හඳුන්වන්න. තවත් කෙනෙක් ආදරය කියන්නේ සාංසාරිකව පවතින අධ්‍යාත්මික බැඳීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්.. ඒ කොහොම උණත්, ආදරය කියන්නේ මොකක් උණත්, අපි කාට හරි ආදරය කරනවා ද? අපි ආදරය කරන විදිය හරි ද? හරි විදියට ආදරය කරන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න තමන් ම උත්සාහ කරනවා නම් තමන් ආදරය කරන කෙනාට තමන් ඇත්තට ම ආදරෙයි ද, නැද්ද, කියලා අවබෝධ කර ගන්න පුළුවන්.. 

ඔබ කෙනෙක්ට ආදරය කරද්දී ඒ පුද්ගලයාගෙන් පෙරළා ආදරය බලාපොරොත්තු වෙනවා ද? එහෙමත් නැත්නම් ඒ ආදරය වෙනුවෙන් කායික හෝ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ද? ඒ ප්‍රශ්න දෙකෙන් එකකට හෝ පිළිතුර ඔව් නම්, ඔබ ආදරය කියලා හිතාගෙන සිටින හැගීම ගැන තවත් වරක් හිතලා බලනවා නම් හොඳයි. එහෙම කියන්න හේතුව මේ ලිපිය අවසන් වෙනකම් කියෙව්වොත් ඔබට අවබෝධ වේවි..

මා වරක් එක්තරා ප්‍රේමවන්තයෙක් සමග සාකච්ඡා කරද්දී ඔහු කියපු එක්තරා දෙයක් තමයි, 'අපි තාම පෘතග්ජනයෝ නේ. ඒ හින්දා ඉන්න ටිකේ ජීවිතේ විඳලා සතුටින් මැරෙන්න ඕන'  කියන එක. මම හිතන විදියට  නම් අපේ ඉලක්කය විය යුත්තේ ඒ මානසිකත්වයෙන් මිදීම. අඩුම තරමින් ආදරය සම්බන්ධව වත්. ඒ වගකීමක් නැති අදහස නිසා තමන් අතින් කවදාවත් නිවැරදි කරන්න බැරි වැරදි සිදු වෙන්න පුළුවන්.අපි ආදරය කරන්නේ අපි ආදරය කරන කෙනාට. ඒ ආදරය හැම වෙලාවේ ම විශේෂිත දෙයක් විය යුතුයි..

ආදරය කියන්නේ ගනුදෙනුවක් නම්, අපි දෙන දෙය වෙනුවෙන් පෙරළා යමක් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ ආදරණීයයා වෙනුවෙන් කරන දේවල් ආදරය වෙනුවෙන් කරන ආයෝජනයන් විදියටයි දකින්නේ.. මම හිතන විදියට නම් ඒක සාධාරණ නෑ.. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. ඔබ ආදරයේ දී කරන දේවල් වෙනුවෙන් පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිසක් ආදරය නෙවෙයි. 

ආදරයට රාගය මුසු වෙන්නේ, ප්‍රජනන අවශ්‍යතාව වෙනුවෙන්. යම් හෙයකින් ප්‍රජනනය සඳහා සංසර්ගය අවශ්‍ය නොවුණා නම් රාගය කියන හැගීම ලෝකයේ නොපවතින්න තිබුණා. ඒත් ආදරය කියන්නේ ඊට වඩා බොහෝ ම එහා ගිය දෙයක්. ඒ නිසා මගේ මතය අනුව නම් අනිවාර්යයෙන් ආදරය ලෝකයේ පවතින්න ඉඩ තියෙනවා. 

අපි ආදරය කරන කෙනා අපිටත් පෙරළා ආදරය කරනවා නම්, සමාජ තත්වයන් ගැළපීම යම් තරමකට හෝ සිදු වෙනවා නම් බොහෝ විට එතන ප්‍රේම සම්බන්ධතාවක් ඇති වෙනවා. ඒත් ඒ සම්බන්ධතාව facebook එකේ in a relationship ලෙස දැමූ පමණින් වත්, මල් පැකේජයක් භාවිත කරමින් දවස පුරාම කතා බහ කළ පමණින් ආදරණීය ආධ්‍යාත්මික බැඳීමක් වෙන්නේ නෑ. මා පිළි ගන්නා ලෙසට ආදරය තුළ නීති කියලා දෙයක් පැවතීම අනවශ්‍යයි. හේතුව ඔබට ලැබෙන ආදරය නීති දමා රක ගන්නට උත්සාහ කිරීමෙන් අවංකව තෘප්තිමත් වීමේ කිසිම හැකියාවක් නෑ. ඒ නීති බිඳ වැටුණු දවසක හෝ ඒ නීති බිඳ දමාගෙන යාමට අනෙකාට හිතුනු දවසක එයින් පීඩාවට පත් වන්නට සිදු වන්නේත් ඔබට ම වෙන්න පුළුවන්. 


ඒ වගේමයි, කෙනෙක් චපල වීම. කෙනෙක් ආදරය කරන කෙනා තමන්ට පෙරළා ආදරය නොකිරීම හෝ ආදරය කරන බව දක්වමින් ඉඳලා වෙනත් කෙනෙක් වෙත යාම නිසා චපල කෙල්ලෙක් හෝ කොල්ලෙක් විදියට හඳුන්වන්න යොමු වෙන්න පුළුවන්. නමුත් මොහොතකට හිතන්න. ඔබ ආදරය කරන කෙනාට ඔබ ආදරය කරන්නේ පෙරළා කිසි ම දෙයක් බලාපොරොත්තු නොවී නම්, ඔහු හෝ ඇය චපල වීමෙන් ඔබට දුකක් ඇති වෙන්න පුළුවන් ද? කොහෙත් ම ඉඩක් නෑ. 


ඔබ ආදරය කරන කෙනාට ආදරය කරන්න, ඔහු හෝ ඇය වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හෝ වෙනත් කෙනෙක් සමග කලින් සම්බන්ධතාවක් පවත්වා තිබීම හෝ ඔහු හෝ ඇය සමග කළ කී දේ ගැටළුවක් වෙන්නේ නෑ. ඔබට එය ගැටළුවක් වන්නේ නම් ඒ ඔබ ආදරය ලෙස රාගය පටලවාගෙන තිබීම නිසා.. අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ. ඒත් ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒ නිර්මල බව අවබෝධ කර ගන්න අපි මාර්ගඵල ලබා ගැනීමක් අවශ්‍ය නැහැ. ඔබ ආදරය කරන කෙනාට ගැඹුරින් ආදරය කරන්න. පෙරළා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. යම් හෙයකින් ඒ කෙනා ඔබේ ආදරය අවබෝධ කර ගත්තොත් ඔබේ අනෙක් හැගීම් වලටත් ඉඩක් ලැබේවි. ඒත් එහෙම උණා කියලා නීති දාලා හිර කර ගන්න උත්සාහ කරන්න එපා. මොකද, ඒ නීති වලින් මිදිලා ඔහු හෝ ඇය ඉගිලිලා ගිය දවසක ඔබට බොහොම දුක් වෙන්න සිදු වේවි.. ඒ ආදරය නිසා නෙවෙයි. ආදරය ලෙස ඔබ තෘෂ්ණාව පටලවා ගෙන නිසා..


"සයුර මැද" ගීතයක් ලෙස ඔබ වෙතට එන වගයි!

Sunday, March 4, 2012

ගීත දෙකක් කළාට පස්සේ හිතුණා තවත් එකක් කරන්න.. ඒ වගේ ම සයුර මැද එකට තිබුණු යහපත් ප්‍රතිචාර නිසා ඒකට ගීතයක් කරන්න අදහස් කළා.

කලින් ගීත වල සංගීතමය පැත්තෙන් තිබුණු අඩුපාඩු පිළිබඳව ගොඩක් අය comments දාලා තිබුණු නිසා හිතුවා මේ පාර මුලින්  instrumental එකක් release කරලා බලන්න.. ගීතයට කලින්. මේ music ඒක අහලා අඩුපාඩු තියෙනවා නම් කියන්න..

මෙන්න track එක.

ආදරය සහ අධික අවුරුද්ද

Friday, February 24, 2012

අද පොස්ට් එකක් දාන්න නෙවෙයි හිටියේ.. ඒත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්යය මණ්ඩල වලට පිං සිද්ධ වෙන්න අද පොඩි නිවාඩුවක් ලැබුණා. අපේ mid semester exam එකේ modules 4 න් 2 ක් තිබ්බට පස්සේ තමයි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක උණේ. ඒ හින්දා ඉතිරි modules දෙක මේ මාසේ ම 27 සහ 28 වෙනිදා ට කල් ගියා.. ඒ විස්තර කියන්න නෙවෙයි නේ පොස්ට් එක දැම්මේ. වැඩි කතා ඕන නෑ... මම මාතෘකාවට බහින්නම්කො..

මේ 2012 අවුරුද්ද. 2012 කියන ඉලක්කම 4 න් ඉතිරි නැතිව බෙදෙනවා. ඒ වගේ ම අග ඉලක්කම් දෙක 00 නෙවෙයි. ඒ කියන්නේ මේ අවුරුද්ද අධික අවුරුද්දක්. මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ එන බොහෝ දුරට එක ම අධික අවුරුද්දත් මේක වෙන්න පුළුවන්. ඒ අතින් නම් එක මටත් සුවිශේෂයි. අධික අවුරුද්දක් ඕන කොල්ලෙක්ට සුවිශේෂයි නේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේ පොස්ට් එක ලියවෙන්නේ ඒ ගැන.

ඔන්න ඉතින් Leap Year movie එක බලපු අය කෑ ගහන්නේ නැතිව ඉන්නවා හොඳයි. මොකද මේ කියන්න යන්නේ ඒ කතාවට සම්බන්ධ කතාවක්. මොකද්ද එතකොට මේ කතාව. ඒ තමයි මේක.

සරලව කියනවා නම් අධික අවුරුද්දක පෙබරවාරි 29 වෙනිදා එහෙමත් නැත්නම් Leap Day එක දවසේ ගැහැණු ළමයෙක්ට පුළුවන්, තමන්ගේ හිත ගිය පිරිමි ළමයට ප්‍රේම සම්බන්ධයක් සඳහා ආරාධනා කරන්න.එහෙමත් නැත්නම් Propose කරන්න.

ඒක ඉතින් එදා ම වෙන්න ඕන ද? ඕන දවසක පුළුවන් නේ. මොකද වෙන දවසක කිව්වා කියලා වචන පිට නොවී තියෙන්නේ නෑ නේ.. නේද?

ඒත් මෙහෙම දේකුත් තියෙනවා. අපි ජීවත් වෙන සමාජයේ, රට මොකක් උණත් Propose කිරීම පිරිමි ළමයා සතු දෙයක් කියලා පොදු පිළි ගැනීමක්, නැත්නම් රීතියක් තියෙනවා. ඒ අනුව යම් හේතුවක් මත කෙල්ලෙක්, කොල්ලෙක්ට Propose කලොත් ඒ කෙල්ල දිහා ටිකක් අමුතු විදියට බලන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා. ඒක අපේ රටේ නෙවෙයි, යුරෝපයේ පවා අද විතරක් නෙවෙයි, අතීතයේත් තිබුණු දෙයක්.ඒත් වසර 4 ක ට වරක් එළඹෙන Leap Day එක දවසේ කෙල්ලෙක්ට නිදහසේ තමන්ගේ හිත ගිය කෙනාට ඒ බව දැනුම් දෙන්න අවකාශය සමාජය විසින් ම නිර්මාණය කරලා දීලා තියෙනවා. මම මේ කියන්න යන්නේ ඒ සඳහා පාදක වුණු කතාව.

මේ සිද්ධියට පාදක වෙන්නේ 5 වෙනි සියවස. යුරෝපා මහාද්වීපය. රට අයර්ලන්තය. St.Bridget තුමිය විසින් St.Patrck තුමාට විවාහ යෝජනාවක් කරනු ලැබ තියෙන්නේ Leap Day එකක. පුරාවෘත්ත වල හැටියට එදා St.Patrick තුමා ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ මොහොතේ පටන් Leap Day එකක දී තමන් ආදරය කරන පිරිමි ළමයාට, ගැහැණු ළමයා විසින් යෝජනා කරනු ලැබිය යුතු බවට.

ඒ වගේ ම තවත් කතාවක් තියෙනවා. ඉංග්‍රීසි නීතියේ හැටියට පෙබරවාරි 29 වෙනිදා නොසලකා හැරෙනවා. ඒ වගේ ම නීතිමය තත්වයක් නොමැති දිනයක් විදියට එදින හඳුන්වනවා. ඒ වගේ ම මේ හේතුව නිසා ම කිසිඳු පදනමක් නැති පරණ හණමිටි රීතියක් නොසලකා හැරීමටත් ඒ දිනය ම යොදා ගන්න ඇති කියලත් සමහරු මත පළ කරනවා. මේ පිළිබඳව වන පළමු වන ලියවිල්ල හමු වන්නේ 1288 වර්ෂයෙන්. ස්කොට්ලන්තයේ මේ සම්බන්ධව නීතියක් සම්මත වී තිබෙනවා. ඒ නීතියේ හැටියට ඕනෑම කාන්තාවකට තමන්ගේ හිත ගිය පිරිමියාට විවාහ යෝජනාවක් Leap Day එකේ දී කරන්න පුළුවන්. දරුණු ම තත්වය තමයි ඒ යෝජනාවට පිරිමියා අකමැති වුණොත් අදාල කාන්තාව වෙත දඩයක් ගෙවීමට සිදු වීම. මේ දඩය හාදුවක සිට සේද ගවුමක් හෝ අත් වැසුම් දක්වා වෙන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ.

කොහොම උණත් බොහෝ රටවල් වල මේ සිරිත පිළි ගැනෙනවා. මගේ පෞද්ගලික අදහසේ හැටියටත් මේ චාරිත්‍රය වැදගත්. මොකද යම් හේතුවක් මත අදාළ තරුණිය වෙත යෝජනා කරන්න තරුණයාට බාධාවක් තිබුනොත් ලියවෙන්න තියෙන ලස්සන පෙම් කතාවක් ආරම්භ නොකර ම නැවතීමේ තිත තියන්න වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොස්ට් එක කියවන කෙනෙක්ට තවත් කෙනෙක් ගැන අදහසක් තියෙනව නම් කල් නොයවා හැකි තරම් ඉක්මණින් අදාළ කෙනාට ප්‍රකාශ කරන්න. ඒ වගේමයි ගැහැණු ළමයින් ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔබ ගොඩක් ලඟින් ඇසුරු කරන තරුණයෙක් කෙරෙහි ඔබේ හිත ගිහින් නම් තියෙන්නේ ඒ බව මේ මාසේ පෙබරවාරි 29 වෙනිදාට වත් ප්‍රකාශ කරන්න. මොකද කොල්ලෙක්ට නම් අවුරුද්දේ ඕන ම දවසක ඒ බව කියන්න පුළුවන්. ඒත් ඔබේ මේ අවස්ථාව ගිලිහුණොත් නැවත ඒ අවස්ථාව ලබා ගන්න තවත් අවුරුදු 4 ක් බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන්.

වැඩිදුර විස්තර අවශ්‍ය අය ඉන්නවා නම් මේ පහල තියෙන පොත පතින් හොයා ගන්න පුළුවන්.


  1. Marian Morton, "Should Women Propose?", The Scrap Book, v5, January-June 1908, page 656.
  2. Kristina Seleshanko, Carry Me Over the Threshold: A Christian Guide to Wedding Traditions, page 61.
  3. Clarissa Bye, "Take the leap today, girls", smh.com.au, February 29, 2004.



සයුර මැද

Monday, February 20, 2012

සුළඟේ ලෙළෙන
ලන්තෑරුම සවි කරලා,
හබලට රිදෙන
අත්දඬු යළි පිරිමදලා,
ඔරු කඳ උඩින් නැගෙනා
රළ බිඳ දමලා
සයුරේ සරමි
සරනා මින් කැල සොයලා..

තනිය දැනෙයි
මහ මෙරකට වඩා උස
ඔරුවක්‌ පෙනෙයි
සැලෙනා එළියෙන් දුරක
සිත නුඹ වෙතයි
කිමිදෙන රස පෙම් විලක
සිහිනක රැඳී එන්නට
සිත් වෙයි
සොඳුරිය නුඹ වෙතට..

සුරතල් පුතුන්
කිරි සිනහා සලන වෙලේ
වරම් නොමැත
හිස පිරිමදිනට නුඹගේ
වෙහෙසිය යුතුයි
රකිනට නුඹ සොඳුරේ
දිරි ගමි තවත්
නැත වෙහෙසක් තව දැනුණේ..


මම,
~Nj~

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

Sunday, February 12, 2012

ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook: Blog: http://nursinglanka.blogspot.com/





මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ අක්කාගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

සරසවියේ පාරමිතා..

Saturday, February 4, 2012




ඇත බොහෝ Practical
Enter කරන්නට

වේ ය බොහෝ Tutorial
Submit කරන්නට
නිදි වැරිය යුතු නැත
සිහි වූ කල
පහ වෙයි නින්ද..
Assignment පිටු අතර
සැඟවී සැනසුම
සොයා ගොස් හමු වී
එහි මහානුභාවයෙන්
සුව සේ
යහන් ගත වෙමි මම..

ඩිග්‍රිය ගන්නා තුරු
පාරමී පුරන
 මම..
~Nj~

නුඹ ද අස්ථීර ය..

Sunday, January 29, 2012




නුඹ හමු වන තුරු
ජීවත් වුණු ලෙස
ජීවත් වනු බැරි
කිමැයි අද මට
දන්නී වේ නම්
නුඹ මා සොඳුරිය
තෝරා දෙනු මැන
නොදනිමි තව මම..

එති යති ආගන්තුකයෝ
රැඳෙති අයෙක්
නික්මෙන විට
තවකෙක්..
නොනික්මෙන්නට ම පැමිණි
නුඹ ද නික්මෙන්නට
සැරසෙත් නම්,
වේ ද යමක්
ස්ථිර ව රැඳී
අස්ථිර වූ ජීවිතයේ..


 පසක් වෙතත්,
ඒ අස්ථීරත්වයේ ම
ස්ථීරත්වය සොයන..
මම
~Nj~

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading