අප අවට පවතී යයි සිතන ලෝකය (හෙවත් වාස්තවික ලෝකය) සැබවින් ම පවතී ද යන්න (යතාර්ථය ද යන්න) සිතා බැලීමට වටිනා කරුණකි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරනුයේ ඒ පිළිබඳව යි.
මේ (වාතවික) ලෝකයේ පවතී යැයි හැඟෙන යම් යම් දෑ, අපගේ පංචෙන්ද්‍රිය භාවිත කරමින් අපි දැන ගන්නෙමු. උදාහරණයක් ලෙස,මට මේ ලියන ලද අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. ඔබගේ තිරයේ දෝෂයක් නොවේ නම් ඔබට ද නිසැකව ම ඒ අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. එහි ගැටළුවක් නැත. නමුත් මා කළු පැහැය යැයි හඳුන්වන දෙය සහ ඔබ කළු පැහැය යැයි හඳුන්වන දෙය එක ම වේ ද? සරලව අපි මෙසේ සිතමු. උපතේ පටන් මගේ දෑසේ යම් ගැටළුවක් නිසා ව්‍යවහාරයේ පවතින කළු පැහැය රතු පැහැයෙනුත්, රතු පැහැය නිල් පැහැයෙනුත්, නිල් පැහැය කළු පැහැයෙනුත් පෙනෙයි යැයි සිතමු. එවිට මා කළු පැහැය ලෙස හඳුන්වන්නේ රතු පැහැය යි. රතු පැහැය ලෙස හඳුන්වන්නේ නිල් පැහැය යි. නිල් පැහැය ලෙස හඳුන්වන්නේ කළු පැහැය යි.
ඔබ මේ අකුරු දැක ඒවා කළු පැහැති යැයි කිව හැකි ය. නමුත් මට ඒවා පෙනෙන්නේ ඔබ හඳුන්වන ආකාරයට නිල් පැහැයෙනි. එසේ වුවත්, අදාල පාට මා හඳුන්වන්නේ කළු ලෙස ය. එහි දී ප්‍රවාදය එක ම වී ඇත. හේතුව අප ජීවත් වන සංස්කෘතිය එක ම වීම යි. නමුත් මගේ වාස්තවික ලෝකය සහ ඔබේ වාස්තවික ලෝකය වෙනස් ඒවා දෙකකි. ඒ අනුව පැහැදිලි විය යුත්තේ යතාර්ථය ලෙස දෙයක් නැති බව සහ පවතී යැයි අප සිතා සිටින වාස්තවික ලෝකය (සංවේදනය වන ලෝකය) අපේ විඥ්ඥානය විසින් කරනු ලැබූ නිර්මාණයක් පමණක් බවත් ය. එනම්, වාස්තවික ලෝකය යනු අපගේ විඥ්ඥානය පවතින තුරු පවතින, අප මිය යද්දී මිය යන, ජීවත් වන වුන් හා රැඳී සිටින මායාවක් බවයි. බටහිර විද්‍යාව මගින් කෙරෙන්නේ මේ මායාව යතාර්ථයක් බව අවබෝධ කරවමින් ඊට අදාල ප්‍රවාද ගෙතීමයි. මේ ප්‍රවාද අපේ සිතට කාවදින තරම අනුව යතාර්ථය යන සංකල්පය අප තුළ පවතී ද නැති ද යන්න තීරණය වේ..
සරලව (බටහිර) විද්‍යාව යනු පංචෙන්ද්‍රියයන් මගින් දැන ගන්නා දේ විද්‍යාත්මක ක්‍රමය භාවිත කරමින් වඩාත් නිවැරදි ද යි දැන ගැනීම ලෙස විග්‍රහ කළ හැකි ය. මෙහි යම් යම් තැන සඳහා ඌන පූර්ණයන් යෙදී තව තවත් හැඩ වීම විවිධ අර්ථ දැක්වීම් යටතේ සිදු කෙරෙයි. නමුත් මුලික වශයෙන් සංවේදන ආකාරයෙන් දැන ගන්නා දේ පිළිබඳව කෙරෙන අධ්‍යයනයක් ලෙස මෙය සැළකීමේ වරදක් නොපෙනෙයි.
මෙහි දී විද්‍යාත්මක ක්‍රමය ලෙස ඉදිරිපත් වන්නේ යම් අයෙක්, සිය සංවේදනයක් හරහා දැන ගනු ලබන යම් දෙයක් පිළිබඳව කෙරෙන විග්‍රහයකි. උදාහරණයක් ලෙස, දහවල් කාලයේ එළිමහනට ගිය විට මට උණුසුමක් දැනෙයි. මා ඒ පිළිබඳව දැනුමක් නිර්මාණය කරන්නෙක් නම්, මගේ කාර්යය වනුයේ ඊට අදාල හේතු විග්‍රහ කරමින් ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් ගෙතීමයි. නමුත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවේ.. විග්‍රහ කිරීමේ පහසුව සඳහා කාලය යන වචනය යොදා ගන්නා අතර, එහි අදහස ඔබ තුළ ඒ පිළිබඳව ඇති සාමාන්‍ය අදහස ම වේ.(කාල ඒකක සම්බන්ධ නොවේ.) පළමුවෙන් ම, එළිමහන සහ දහවල් කාලය යනු කුමක්දැයි අර්ථ දක්විය යුතු ය. ඊළඟට උණුසුම යන සංවේදනය කවරක් දැයි අර්ථ දක්වා ගත යුතු ය.
මෙහි දී කළ යුතු උපකල්පනයක් වන්නේ, මා දකින දේ අනෙක් අයත් දකින බවත්, මට දැනෙන දේ අනෙක් අයටත් දැනෙන බවත් ය. එනම් මා එළිමහන ලෙස දකින දෙය, ඒ ආකාරයෙන් ම ලෝක වාසි සියලු දෙනා දකිනා බව උපකල්පනය කළ යුතු ය. ඒ සඳහා ආලෝකය යන්න මා අත් විඳින ආකාරය අන් සියලු දෙනා අත් විඳින ආකාරයට සමාන බව උපකල්පනය කිරීමට සිදු වේ.
තව ද යම් 'වෙලාවක් (ලෙස අප හඳුන්වන දෙයක්) ' දහවල් කාලය ලෙස මා අර්ථ දක්වනවා නම්, අන් අය ද ඒ වෙලාව ඒ ආකාරයට ම අර්ථ දක්වා ගත යුතු ය. දැන් දවල් යයි මා කීවොත්, විරුද්ධ අයට ඊට විරුද්ධ විය හැකි ය යන ප්‍රවාදය මත මෙය සාපේක්ෂව පහසු විය හැකි ය.නමුත් මා දහවල් ලෙස හඳුන්වන කාලයේ අන් අයට හැඟෙන්නේ මට හැඟෙන දේ ම නොවන්නේ නම් මෙය ගැටළුවක් විය හැකි ය. ඒ අනුව මේ ප්‍රවාදය ගෙතීම ද එතරම් පහසු නැති බව පෙනී යනු අත. දවසක් ලෙස අප හඳුන්වන කාලය තුළ, දහවල් කාලය යන්න මා අත්දකිනා ලෙස ම අන් සියලු දෙනා ම අත් දකිනා බව මට උපකල්පනය කිරීමට සිදු වෙයි.
අවසානයේ මට උණුසුම ලෙස දැනෙන සංවේදනය එලෙසින් ම අදාල කාලයේ, අදාල තැනට යන සෙසු අයට ද දැනෙන බව ස්ථිර කර ගත යුතු ය. මෙහි දී කිරීමට අපහසු ම දෙය මෙයයි. කෙනෙක්ට යම් සංවේදනයක් දැනෙන ආකාරය, තවත් කෙනෙක්ට එය දැනෙන ආකාරයට සමාන ද? නැතිද යන වග තීරණය කිරීමට බෙහෙවින් ම අසීරු ය. උදාහරණයක් ලෙස, දුක ලෙස හඳුන්වන හැගීම, කෙනෙක්ට දැනුනු විට ඔහු හෝ ඇය හඬා වැටෙන්නට පුළුවන. නැතහොත් කලහකාරී ලෙස හැසිරීමට පුළුවන. නැතිනම් ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නට පුළුවන. මෙය එක් එක් පුද්ගලයා අදාල හැගීමට මුහුණ දෙන ආකාරය වෙනස් වීම මිසක්, හැගෙන ආකාරයේ වෙනසක් නොවේ යයි අයෙකුට තර්ක කළ හැකි ය. නමුත් එක් එක් පුද්ගලයා වෙනස් ආකාර වලින් හැසිරීම, එක ම හැගීම එක ම ආකාරයට දැනුනු එක් එක් අයගෙන් බලාපොරොත්තු විය නොහැක. එ නිසා හැගීම් දැනෙන ආකාරය වෙනස් විය හැකි අතර, මේ ප්‍රවාදය ගෙතීමේ දී සියලු දෙනා සම්බන්ධව උණුසුම යන හැගීමෙහි අර්ථ දැක්වීම එක ම බව උපකල්පනය කිරීමට සිදු වේ.
දැන් අදාල පරීක්ෂණය දෙසට හැරෙමු. මෙහි දී අප ප්‍රවාදය ගොතන්නේ ප්‍රධාන උපකල්පන තුනක් මත සිට ය. යම් හෙයකින් එක් උපකල්පනයක් හෝ බිඳ වැටුනේ නම්, සමස්ත ප්‍රවාදය ම බිඳ වැටෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිතර ප්‍රති නිර්මාණය වන්නේ ඒ හේතුව නිසා විය හැකි ය. මොහොතකට අදාල උපකල්පන තුන දෙස බලමු.
මේ උපකල්පන තුනෙහි ප්‍රධාන ලක්ෂණයක් වන බව පෙනී යනු ඇත. එනම්, එ උපකල්පන තුන සඳහා ම යොදා ගෙන ඇත්තේ, මා දකින දෙය ඇත්තට ම පවතිනවා ය යන්න සහ ඒ දේවල් අන් අයත් එලෙසින් ම විඳිනවා ය යන්න යි. එනම් මම යන පුද්ගලයා වටා, හෙවත් මගේ විඥ්ඥානය වටා අදාල ප්‍රවාදය ගෙතී ඇත. එනම් ඒ ප්‍රවාදයෙහි ඇත්තේ මමත්වය යි. හෙවත් ආත්මාර්ථකාමීත්වය යි.
මා දකින දේ හරි ය. මට සියලු දේ හරියට පෙනිය යුතු ය. මගෙන් පිට යතාර්ථයක් නැත යන කරුණු සියල්ල එයින් කියවේ. අප සලකන ලද සුළු උදාහරණය තුළ ද ඒ ලක්ෂණ මැනවින් පිළිබිඹු විය. මෙවැනි ප්‍රවාද දහස් ගණනකින් සකස් වුණු බටහිර විද්‍යාව තුළ ආත්මාර්ථකාමීත්වය ගැබ් වන්නේ මේ ලෙසිනි. එවැනි සංස්කෘතියක් තුළ ආත්මාර්ථකාමී වනවා මිස, අන්‍යයන් ගැන සිතීමක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.
අපේ සංස්කෘතිය තුළ මෙවැනි ලක්ෂණ පැවතී නැත. පවතී ඇතත් ඒ අල්ප වශයෙනි. මිනිසා යනු තවත් එක් සත්වයෙක් සහ පරිසරයේ ම කොටසක් විනා එහි හිමිකරු නොවන බව අවබෝධ කර ගැනීම තිබුනේ අප සංස්කෘතියේ මිස මමත්වයෙන් ලෝකය දෙස බලන බටහිර සංස්කෘතිය (සහ විද්‍යාව) තුළ නොවේ.ඒ නිසා සමස්ත ලෝකය (මනුෂ්‍යයින්, සත්වයින් සහ සියලු පරිසර පද්ධති) දෙස බැලීමේ දී සාපේක්ෂව අපේ සංස්කෘතිය සහ අපේ දැනුම පරිසරයට සහ ලෝකයට වඩාත් හිතකර එකක් බව කිව හැකි ය.